IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


අලුත් විසි එක මොකටද?

රටේ ආර්ථික තත්ත්වය අසීරුම අඩියකට වැටී ඇති බව මේ වන විට කවුරුත් දන්නා කාරණකි. ඒ ආර්ථික බිඳ වැටීම හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම්ද මේ වන විට හැමෝම දන්නා කරුණුය. පසුගිය මාස 03ක කාලය තුළ ඇතිවූ ආණ්ඩුවේ වෙනස්කම් අනුව දැන් තියෙන්නේ තුන්වෙනි කැබිනට් මණ්ඩලයයි. මාසයකට එක බැගින් කැබිනට් මණ්ඩලය ඉවත් කරන්නට සිදුවෙන තත්ත්වයකට රට පත්වී ඇතිවා සේය.

මේ තත්ත්වය හමුවේ සිදුවෙමින් තිබෙන වෙනස්කම් රාශියක් තිබෙන බවද පැහැදිලිය. අලුත්ම ආණ්ඩුව පිහිටවූයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත් කරමින්ය. ඔහුගේ නායකත්වයෙන් සිදු කරන සමහර ක්‍රියාමාර්ග ආර්ථික ක්ෂේත්‍රයේ ආරම්භ වී ඇති බවද සත්‍යයක්ය. ඒ සියල්ලට අමතරව 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය. එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට යෝජිතය.

වර්තමාන තත්ත්වය හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ප්‍රමුඛ අවශ්‍යතාවක් වන්නේය යන ප්‍රශ්නය සමහරුන් මතු කරන බව පෙනී යයි. මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ මේ මොහොතේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේද යන කාරණයයි. ඒ ප්‍රශ්නයට මුලින්ම කෙටි පිළිතුරක් ලබා දෙමින්ම මේ ලිපිය ආරම්භ කළ හැකිය. මම හිතන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ තිබෙන ප්‍රධාන ආර්ථික ගැටලුව විසඳීමට බරපතළ සහයෝගයක් සපයන බවය. මා එසේ කියන්නේ කිසිදු ආකාරයකින් මේ සංශෝධනය යම් පුද්ගලයකු ඉලක්ක කර ගත යුතුය යන පටු චේතනාවෙන් නොවේ. මේ සංශෝධනය රටේ වත්මන් ගැටලුව විසඳා ගැනීමේ පැත්තෙන් ධනාත්මක සහයෝගයක් ලබාගත හැකිය යන පිළිගැනීම මගේ ස්ථාවරයේ පදනම නිසාය.

 

ආර්ථිකය වැටුණේ ඇයි?

ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ආර්ථිකය ගොඩ ගන්නට සහායක් ලබා ගන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමට පෙර ආර්ථිකය කඩා වැටුණේ ඇයි කියා විමසීමත් ඉතාමත් වැදගත්ය. ඉතාමත් අදාළය.

අපේ ආර්ථිකය 1977 සිට ක්‍රියාත්මක වන්නේ විවෘත වෙළඳපොළ ක්‍රමයක් යටතේ බව හැමෝම දන්නා කරුණක්ය. ඒ ක්‍රමය යටතේ සංවිධානය වන ආර්ථිකයක රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයටද ඉතාමත් සුවිශේෂ භූමිකාවක් හිමිවීම සාමාන්‍ය තත්ත්වයයි. රට ඉදිරියට ගෙන යාම සඳහා ආර්ථිකයේ වර්ධනයට මේ අංශ දෙකේම (රාජ්‍ය හා පෞද්ගලික) මැදිහත්වීම අපේක්ෂා කරනු ලැබූ අතර ඒ නිසාම රජය පැත්තෙන් ඍජු තීරණ ගැනීම සඳහා විධායක ජනාධිපති ක්‍රමයක්ද 1978 ව්‍යවස්ථාව මගින් ඇති කරනු ලැබීය. මෙහිදී තේරුම් ගත යුතු ඉතාමත් වැදගත් කාරණයක් වන්නේ විධායක ජනාධිපති ධුරය ඇති කිරීම සහ 1977 ආරම්භ කළ විවෘත ආර්ථික ක්‍රමය අතර නිශ්චිත සම්බන්ධයක් තිබූ බවය. එවැනි සම්බන්ධයක් තිබෙන බවය. රාජ්‍යය සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීමට විධායක බලය එක් පුද්ගලයකු වෙතට ලබාදීම 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගත් එක් ප්‍රධාන සිද්ධාන්තයක් විය.

එපමණක් නොව රටේ ආර්ථිකය සම්බන්ධ ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක් වූ අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති තනතුරේ වපසරියක් ලෙසින් වෙන් කිරීමද එහිදී සිදු විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7, 8 සහ 9 වැනි පරිච්ඡේද තනිකරම වෙන් කර ඇත්තේ විධායක බලය අන්තර්ගත වන ආකාරය සෙවීමටය. ඒ පරිච්ඡේද මගින් පිළිවෙළින් කියවෙන්නේ, ජනරජයේ ජනාධිපතිවරයා (30-41 වගන්ති දක්වා), අමාත්‍ය මණ්ඩලය (42 සිට 53 වගන්ති දක්වා) සහ රාජ්‍ය සේවය (54 සිට 61 වගන්තිය දක්වා) විධායකයට අයිති කොටසය. මගේ පළමු තර්කය වන්නේ අපේ රටේ ආර්ථිකය සම්බන්ධ 1977 සිට ගනු ලැබූ තීරණ කෙරෙහි ජනාධිපති ධුරයට අයත් විධායක වපසරියේ ඍජු සම්බන්ධයක් ඇති බවය. මේ සම්බන්ධය නිසාම සමහර කාලවල ශක්තිමත් හා නිවැරදි තීරණ ගත් විධායක ජනාධිපතිවරුන් යටතේ රටේ ආර්ථිකය වේගවත්ව ගමන් කිරීම තේරුම් ගත හැකිය. (මේ දක්වා විධායක ජනාධිපතිවරුන් 7 දෙනකු පත් වී ඇති නිසා ඒ ඒ අයගේ තීරණ නිසා ආර්ථිකයට සිදුවූ බලපෑම විභාග කිරීමට මෙහිදී මා උත්සාහ කරන්නේ නැත.) එහෙත් මේ තනතුරට හිමි බලය සමග ආර්ථික ක්ෂේත්‍රයේ ගනු ලබන තීරණවලට ඍජු සම්බන්ධතාවක් ඇති බව තේරුම් ගැනීමත් ඒ නිසාම රටේ ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවී ඇති බරපතළ අර්බුදයකට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියට ව්‍යවස්ථාවේ තිබෙන විධායක බලය සමග සම්බන්ධයක් ඇති බව පැහැදිලි කිරීමත් මගේ උත්සාහයය.

රටේ ආර්ථිකයේ අද තිබෙන තත්ත්වයට එකම හේතුව 2019-20 වත්මන් පාලනය යැයි ප්‍රකාශ කිරීමද නිවැරදි කාරණයක් නොවේ. රටේ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය දක්වා ගමන් කිරීමේදී 2008 සිට මේ දක්වා සම්පූර්ණ කාලයම මේ අර්බුද සහගත කාලයට හේතුව බව ඉතාමත් පැහැදිලිය. ඒ අතරතුර ආණ්ඩු කීපයක්ම තිබූ බවත් එසේම පැහැදිලි කාරණයකි. 2008-2010 දක්වා එක රජයක්ද, 2010-15 දක්වා තවත් රජයක්ද, 2015-19 දක්වා තවත් රජයක්ද මේ රට පාලනය කළේය. 2019 සිට මේ දක්වා වර්තමාන ජනාධිපතිවරයා යටතේ ඇති කළ රජයත් (මේ වන විට 03 කි) මගින් රට පාලනය කරන බව විශේෂයෙන් කිව යුතු නොවේ.

2008 සිට විදේශ මූල්‍ය සංචිත වැඩි කර ගැනීම කියා මේ හැම රජයක්ම සිදු කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් අධික පොලියක් මත ණය ලබා ගැනීමයි. ස්වෛරී බැඳුම්කර හරහා ඒ ඒ කාලවලට සාපේක්ෂව ලබාගත් මේ පන්නයේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 15ටත් අධිකය. මේ අපේ රටේ සම්පූර්ණ විදේශ ණය ප්‍රමාණය නොවන බවද මෙහිදී කිව යුතුය. පසුගිය දිනක සිටි මුදල් අමාත්‍යවරයකු වූ අලි සබ්රි මහතා කියූ පරිදි පසුගිය කාලයේ සෑම රජයක්ම සිදුකර ඇත්තේ, ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවන්නට වෙනත් බැංකුවකින් අලුත් ක්‍රෙඩිට් කාඩ් එකක් ගනිමින් පරණ කාඩ් එකේ ගණන පියවීම වැනි ක්‍රියාවකි. සිදු වුණේ ණය ගෙවීම නොව ණය ගත් බැංකුව වෙනස් කිරීම පමණක්ය. 2019 සිට බලයේ සිටින වත්මන් රජයේ එක් බරපතළ තීරණයක් වන්නේ අලුතින් ණය ගන්නේ නැතිව, අලුතින් ආදායම් මාර්ග නිර්මාණය කරන්නේ නැතිව, සංචිතවල තිබූ ඩොලර් ටික වසර  දෙකහමාරක් තිස්සේ වැය කිරීමය. එසේ වැය කර ඇත්තේ ණය ගෙවීමටත්, අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන ඒමටත්, රුපියල අවප්‍රමාණය වීම බලයෙන් අල්ලාගෙන සිටීමට වෙළඳපොළට ඩොලර් නිකුත් කිරීමටත්ය.

අද රට මුහුණ දෙන විදේශ මූල්‍ය අර්බුදයේ ප්‍රධාන හේතුව මේ කාරණයයි. ණයක් අරගෙන තවත් ණයක් ගෙවීම හරි වැඩක් නොවේ යැයි කීම නිවැරදිය. එසේම ණයක් ගැනීමත් නවතා අතේ තිබූ මුදල් ටික වැය කර තමන් බංකොලොත් බවට පත් කිරීම ඒ සියල්ලටමත් වඩා වැරදිය. මේ හේතුව නිසා වැටුණු ආර්ථිකය යළි ගොඩ ගැනීමේ අතිශයෙන් අමාරු සහ බියකරු උත්සාහයේ අපි යෙදී සිටින්නෙමු.

 

ආර්ථිකයට දේශපාලන සම්බන්ධය

මේ ආර්ථික අර්බුදය වෙන් කර වෙනමම විසඳිය යුතු බව සමහරුන්ගේ මතය බව පෙනේ. ආර්ථික ප්‍රශ්නය විසඳන්නට කියා ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ ඇයිදැයි අසන්නේ ඒ ස්ථාවරය නිසාය.

මුලින්ම කිව යුත්තේ 1977 සිට විවෘත ආර්ථිකයත්, 1978 සිට විධායක ජනාධිපති ක්‍රමය සහිත ව්‍යවස්ථාවත් යන දෙකම තීරණ ගැනීමේ ක්‍රියාදාමයේ එකිනෙක මත පදනම් වන ව්‍යාපෘති දෙකක් බවය.

දෙවනුව තේරුම් ගත යුතු කාරණයක් වන්නේ මෑත කාලයේ මතුවී තිබෙන විදේශ මූල්‍ය පරිපාලනයේ භයානක වැරදි තත්ත්වයන් රාශියක් පදනම් වන්නේ විධායක තීරණ සමගින් බවයි. එනම්, ඇමතිවරුන් පත් කිරීම, ජනාධිපති ලේකම් හා මූල්‍ය ලේකම් පත් කිරීම්, මහ බැංකු අධිපති පත් කිරීම් වැනි විධායක තීරණ සමගින් ගැටගැසී ඇති බවයි. මා එයින් කියන්නේ අනාගතයේ ඇති විය හැකි වැරදි තීරණයක් ජනාධිපතිවරයා විසින් දිවසින් මෙන් දැන ගෙන පත් කිරීම් කිරීමේදී සැලකිලිමත් විය යුතු බව නොවේ. එහෙත් විධායකයේ සමහර තීරණ නිසි පරිදි ගැනීම සඳහා පළල් ප්‍රජාතන්ත්‍රීය පදනමක් වෙතට රැගෙන යාම මගින් මේ ආකාරයේ ගැටලු ඇතිවීම වළක්වා ගත හැකි බවයි. මේ නිසාම අමාත්‍යවරුන් පත්කිරීම, ජනාධිපති ලේකම්, මහ බැංකු අධිපති පත් කිරීම වැනි ක්ෂේත්‍ර තනි පුද්ගල තීරණයක සිට ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව දක්වා සම්බන්ධ කිරීම ඉතාමත් සුදුසු බවයි.

 

21 එක ගේන්නේ ඇයි?

මේ වන විට සංවාදයකට භාජන වී ඇති 21 වැනි සංශෝධනය මුලින්ම ඉදිරිපත් වුණේ විජයදාස රාජපක්ෂ මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින්ය. ඊට අමතරව කැබිනට් මණ්ඩලයට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරිපත් කළ සංශෝධන යෝජනාවක් සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවක්ද තිබේ. මේ යෝජනාවල අන්තර්ගතය මා මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ නැත. එහෙත් මේ සංශෝධනයේ අදාළත්වය ගැන සටහනක් තැබීම සුදුසුය.

පළමුව මේ සංශෝධනය මගින් 1978 ව්‍යවස්ථාවේ හරය (එනම් විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය) වෙනස් කරන්නේ නැත. ඒ පිළිබඳව ජාතික සංවිධානවල අය සැකයක් තබා ගත යුතු යැයි මා සිතන්නේ නැත.

දෙවනුව මේ සංශෝධනය මගින් රටේ රාජ්‍ය පාලනය සම්බන්ධව විධායකයේ තනි තීරණය වඩා පළල් ප්‍රජාතන්ත්‍රීය රාමුවක් වෙත ගමන් කරනු ඇත. එය ආර්ථික ක්ෂේත්‍රයේ පසුගිය කාලය තුළ පෙනී යන සමහර වැරදි පත්කිරීම් හා තීරණ යළි ඇති නොවීමට හේතු විය හැකිය. (මෙහිදී කිවයුතු කාරණයක් වන්නේ ව්‍යවස්ථාදායක සභාව තුළ ගනු ලබන තීරණ පාර්ලිමේන්තුව තුළ සභාගත කර සාකච්ඡා කිරීමට නෛතික තීරණයක් එයට ඇතුල් කළ යුතු බවයි.)

තුන් වෙනුවට රටේ මේ මොහොතේ මතුවී තිබෙන ආණ්ඩු විරෝධයට මෙම සංශෝධන මගින් යම් පිළිතුරක් නිර්මාණය කෙරෙනු ඇත. අද තිබෙන ආණ්ඩු විරෝධයේ ප්‍රධාන හේතුව වන්නේ ආර්ථිකය කඩා වැට්ටවීමට ආණ්ඩුවේ විධායකය සම්බන්ධ බවයි. ආණ්ඩුවේ පැත්තෙන් කොපමණ පැහැදිලි කිරීම් කළද රටේ ජනතාව වෙතින් මතුවී තිබෙන්නේ ‘‘අපේ කණ්ඩායම මැච් එක හරියට සෙල්ලම් කළේ නැති නිසා මුළු රටම පරාජයට පත්වූ බව’’ වැනි හැඟීමක්ය. ඒ තර්කයට තවත් පදනමක් වැටී ඇත්තේ දැන් අපි ‘‘එහා පැත්තේ ටීම් එකේ කැප්ටන්ව අපේ කැප්ටන් කරගෙන’’ ඇති තත්ත්වයකය. ඒ නිසා යළිත් වරක් පිටිය සකස් කර ගැනීම (ව්‍යවස්ථා සංශෝධනය) සහ අලුත් ටීම් එකක් පත් කර ගැනීම (ජනපති හා පාර්ලිමේන්තු මැතිවරණය) යන දෙකෙන් එකක් හෝ ඒ දෙකම හෝ කරන්නට සිදුවීම අත්‍යාවශ්‍ය වී ඇති බව පැහැදිලිය.

මේ ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කළ යුත්තේ ආර්ථික ගැටලුව මතුවීම කෙරෙහි බලපාන ලද විධායක වපසරියේ අවකාශය සංශෝධනය කිරීමය. එය ඉදිරිගාමී පියවරක් බව මගේ කිවිදා දැක්මය.

 

(*** මහාචාර්ය - චරිත හේරත්)



අදහස් (2)

අලුත් විසි එක මොකටද?

NM Friday, 03 June 2022 12:55 PM

ආර්ථිකය කළමනාකරණය පිළිබඳව දක්ෂ කණඩායම් එම තනතුරු සඳහා පත්කර එම ආයතන ස්වාධීනත්වය ආරක්ෂා කළයුතුවේ. රටේ මුදල් සහ ආර්ථික කළමනාකරණය, ආර්ථිකය නොදන්නා දේශපාලකයින් සහ ආර්ථික මර්මස්ථාන සියල්ල සඳහා දේශපාලන හිතවතුන් පත්කර කිසිඳු විනිවිද බවකින් තොරව සත්‍යය වසන් කරමින් ආර්ථිකය හැසිරවීම නිසාවෙනි. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී 1978 ව්‍යවස්ථාව මගින් ජේ.ආර්. රට පාලනය කළේය.. නමුත් ඔහු සුදුස්සන් සුදුසු තැනට පත්කර ආර්ථිකය පිළිබඳව පූර්ණ වගකීම ඔවුන් වෙත පැවරීය. එවිට ඔවුන්ට වගකීමක් සහ වගවීමක් තිබේ. ඉනපසු සිදුවන්නේ කුමක්ද කියා ජනාධිපතිවරයා විසින් සොයා බැලීය. වර්තමානයේ ආර්ථික කලමණාකරණය ඇතුළු සියල්ල සිදුවන්නේ දේශපාලන බලපෑම් මත සහ මැතිවරණ ජය ඉලක්ක කරමින් මිස රටේ පුරවැසියන් සහ රටේ සංවර්ධනය ඉලක්ක කර නොවේ. අයවැය ඉදිරිපත් කිරීමේ සිට සිදුවූ සියලු දූෂිත ක්‍රමවේදයන් නිසා යළිත් ඔවුන්ට දේශපාලනයට පැමිණීමේ අවස්ථාවන් ඔවුන් විසින්ම හමාර කරගෙන තිබේ. විදේශ රටවලින් ලැබෙන ඩොලර් මිලියන මුදල් ආධාර රජයේ ගිණුමේ තැන්පත් කර පොළිය ඔවුන්ගේ පුද්ගලික ගිණුම් වෙත ලබාගන්න. ඇමැතිවරු ලෝකයේ වෙනත් රටවල සිටින බව අප අසා ඇත.

:       0       1

anton Friday, 03 June 2022 03:25 PM

19 අහෝසි කරලා ආයිත් 19 (21) ගේන්න ට්‍රයි කරනවා. මොන විහිළුවක්ද? මෙහෙම ජනතාවක් එක්ක තමයි රට කරන්න වෙලා තියෙන්නේ. ලාංකීය ජනතාව වපුරපු බීජවල අස්වැන්න නෙලා ගනිමින් සිටියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 108 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 157 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 50 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 42 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 927 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1084 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 136 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site