IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ආණ්ඩුවේ අනාගත අභියෝග

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයකු පත්කර ගත්තේම බංකොලොත් වූ රාජ්‍යයකටය. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනපති වශයෙන් දිවුරුම් දුන්නේ ඩොලර් බිලියන 7.6 ක පමණ විදේශ සංචිත තිබූ රටකය. ඩොලරයට රුපියල් 175 ක් 180 ක් ගෙවූ පසුබිමකය. කෙසේ වුවත් 2024 ජනපතිවරණය පවත්වන විට ලංකාව බංකොලොත් රාජ්‍යයකි.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන පාර්ශ්ව තුනකි. පළමු වතාවට දෙවැනි, තුන්වැනි මනාප පිළිබඳ කතා කළේ ඒ අනුවය. සියයට පනහට අඩු ඡන්ද ප්‍රතිශතයක් ගත් ජනපතිවරයකු රට කරවන්නේ ඉතිහාසයේ ප්‍රථම වරටය. එනම් සියයට පනහකට වැඩි පිරිසක් ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇති බවය. ප්‍රාදේශීය දේශපාලනයේ යම් යම් වෙනස්කම් වුවද ඉහළ දේශපාලනය පවුල් කිහිපයක් මත රැඳී තිබුණි. 2015 මෛත්‍රී ජනපති වීමෙන් මෙහි යම් වෙනසක් වුවද එය පවත්වාගෙන යාමට ඔහුට හැකිවුණේ නැත. රට අගාධයකට ගෙන යාමට ඔහුගේ ක්‍රියාවලිය හේතුවූ බවට පිරිසක් අර්ථකථනය කරති. ප්‍රේමදාස ජනාධිපතිවරයාට ඇත්තේද ඒ හා සමාන වූ ඉතිහාසයක් බවද ඔවුහු කියති. ඔහු ඝාතනය නොවූයේ නම් දේශපාලන පරිවර්තනයක් වීමට ඉඩ තිබුණි. එහෙත් මෙවර ගමෙන් පැමිණි සිංහල කතා කරන අයෙක් එම දේශපාලන වෙනස කර තිබේ. මෙය මෙරට දේශපාලනයට අලුත් අත්දැකීමකි.

ගමේ, තමන්ගේ ජනාධිපතිවරයකු පත්වීම පිළිබඳ ග්‍රාමීය ජනයා තවමත් සිටින්නේ උද්‍යෝගයෙනි. රටක් පාලනය හැඟීම්වලට වහල් වීමෙන් පමණක් කළ නොහැකි බව මුලින්ම වටහාගත යුතුය. 1997 පමණ වනවිට ලංකාව පහළ මැදි ආදායම් ලබන රටකි. 2019 ජූලි පමණ වනවිට ලංකාව ඉහළ මැදි ආදායම් රටකි. රටක් ඉහළ මැදි ආදායම් ලබන තත්වයට  පත්වූ පසු වැඩි කල් නොගොස් සංවර්ධිත රටක් බවට පත්වනු ඇත. 2032 පමණ වනවිට ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත්කිරීමේ හැකියාව තිබෙන බව මහ බැංකු වාර්තාවල පුරෝකථනවල සඳහන්ය. 2019 දේශපාලන පරිවර්තනයක් කළේ එවැනි පසුබිමකය. එහි ප්‍රතිඵලයක් වූයේ ඉහළ මැදි ආදායම් මට්ටමේ සිට පහළ මැදි ආදායම් රටක් බවට පත්වීමය. එයිනුත් නොනැවතී බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමය.

එහෙත් 2024 ගත් දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් එවැනි නිගමනයකට යාම සාධාරණ නැත. ඒ වගේම කාලෝචිතත් නැත. නව ජනපති සහ ඔහු වටා සිටින කණ්ඩායම දෙස බලන විට 2019 ට වඩා වෙනස් සමාජ, ආර්ථික පරිසරයක් දැක ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. වංචාව, දූෂණය, හොරකම ඉවත් කළ පාලනයක් බිහිවේය යන බලාපොරොත්තුව ජනතාවට තිබේ.

දේශපාලන බල හුවමාරුවත් සමඟ ආර්ථික ගැටලුව අමතකව ගොස් තිබේ. ජනාධිපති පත්වන්නේම බංකොලොත් රාජ්‍යයකටය. රටේ බරපතළම ප්‍රශ්නයක් වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගණනාවක් ගත්තේය. වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යම් ප්‍රතිපත්තිමය එකඟතා ඇතිකර ගැනීමට ඔහුට හැකියාව තිබුණි. වත්මන් ජනපතිට එය විශාල භාග්‍යයකි. එම කටයුතු ඉදිරියට ගෙන යමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළොත් පමණක් ලංකාවට බංකොලොත්භාවයෙන් මිදීමට හැකිවනු ඇත. රට මේ තත්වයෙන් මුදා ගැනීමට ඇති එකම ක්‍රමය ණය තිරසරභාවය ඇති කිරීමය. එයට අවශ්‍ය පදනම හිටපු ජනපති රනිල් සෑහෙන පමණ සකසා තිබේ. මේ කටයුතු නැවතී ඇති තැනින් වේගයෙන් ඉදිරියට ගෙන යාමේ වගකීම නව ජනපති සතුය.

තවම ඇත්තේ දේශපාලන උණුසුමකි. කතාව මහ මැතිවරණය සම්බන්ධයෙනි. ඊට අවශ්‍ය රුපියල් කෝටි 1100 ක් වෙන්කොට තිබේ. මේ දේශපාලන වාතාවරණය යටතේ ආර්ථික කරුණු අමතක වුවොත් රට නැවත වරක් ආර්ථික ගැටලුවකට තල්ලු විය හැකිය. සංචිත තිබෙන්නේ මාස තුනකට පමණ ප්‍රමාණවත්වය. රටේ ආදායම 2024 දී සියයට 43 කින් පමණ වැඩි වෙතැයි අපේක්ෂා කර තිබේ. 2023 අපේක්ෂා කළ රජයේ ආදායම රුපියල් බිලියන 2850 ක් පමණය. එහෙත් වසර අවසානයේ රුපියල් බිලියන 3075 ක පමණ ආදායමක් ලැබී තිබුණි. 2024 ට රුපියල් බිලියන 4000 ඉක්මවූ රාජ්‍ය ආදායමක් බලාපොරොත්තු වී තිබේ. ඒ ආදායමට සරිලන ආකාරයට වියදම් ඇස්තමේන්තු සකසා තිබේ. එහෙත් ඒ වියදම් ටික කිරීමටවත් රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැත. ණය ගෙවීම් ඇතුළු සියල්ල කිරීමට රාජ්‍ය ආදායම ප්‍රමාණවත් වන්නේ සියයට 57 ක ප්‍රතිශතයකටය. ඉතිරි ප්‍රමාණයට ණය ගත යුතුය. පසුගිය අගෝස්තු දක්වා රාජ්‍ය ආදායම වැඩි වී ඇත්තේ සියයට 28 කිනි. එනම් අපේක්ෂා කළ සියයට 43 ක රාජ්‍ය ආදායම් වර්ධනය තවමත් ලබාගෙන නැති බවය. මේ නිසා සිදුවන්නේ අවශ්‍ය වියදම් පියවීමට තවදුරටත් ණය ගැනීමට සිදුවීමය. බංකොලොත් රාජ්‍යයක් වීම හේතුවෙන් තවදුරටත් විදෙස් ණය ගත නොහැක. එනිසා දේශීය වශයෙන් නැවත නැවත ණය ගැනීමට සිදුවනු ඇත. නව ජනපති පත්වී ගෙවුණු දින කිහිපය ඇතුළත රුපියල් බිලියන 120 ක බැඳුම්කර නිකුත් කළේය. එසේ කළේ ආදායම් ප්‍රමාණවත් නොවන නිසාය.

මෙවන් පසුබිමක රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම ජනපතිට තිබෙන බරපතළ අභියෝගයකි. රාජ්‍ය ආදායම වැඩි වන්නේ ක්‍රම කිහිපයකටය. බදු ආදායම ඉන් එකකි. රාජ්‍ය ආදායමෙන් සියයට 95 ක් පමණ උපයන්නේ බදු ආදායමෙනි. රාජ්‍ය ආයතනවල ලාබය වැඩිකර ඒ හරහා ද යම් බදු ආදායමක් උපයන්නට පුළුවන. ජනතාවට තිබෙන බදු පීඩනය අඩුකර ගන්නට නව ජනපති පොරොන්දු දී තිබේ. උපයන විට ගෙවීමේ බදු සංශෝධනය, වැට් බදු අහෝසියට සහ අඩු කිරීම ඇතුළු පොරොන්දු රැසකි. ඉලක්කවලට වඩා සෑහෙන පසුපසින් ආදායම් තිබෙන තැනක මේ කියන්නා වූ බදු ගැලපීම් කර ආදායම් අඩුකර ගත්තොත් අවශ්‍ය ආදායම් උපයා ගන්නේ කුමන විකල්පවලින්ද යන්න අවධානයට ලක්විය යුතුය. 2019 දී පත්වූ ජනපති රුපියල් බිලියන 600 කින් පමණ රාජ්‍ය ආදායම අඩුකර ගත්තේය. රට බංකොලොත් වීමට එය බලපෑවේය.

නව ජනපති බලයට පත්වී දින කිහිපයකින්ම සහන දීම අරඹා තිබේ. ඒවා නරක නැත. බදු අඩු කරන්නේ නම් එය ද හොඳය. එහෙත් මේ සියල්ල 2019 කළා සේ හැඟීම්වලට යටත්ව නොකර නිවැරැදි විශ්ලේෂණයකින් කළොත් ඇත්තටම ජනතාවට සහන දිය හැකිය. රාජ්‍ය ද සුරක්ෂිතව තබාගත හැකිය. එසේ නොවී තීන්දු තීරණ ගත්තොත් රට නැවත ආර්ථික අගාධයට වැටීමේ අවදානමක් තිබේ.

දූෂණය තුරන් කිරීම, ත්‍රිකුණාමලයේ වැලි විකිණීම ආදිය සුරංගනා කතාය. දූෂණය තුරන් කිරීමෙන් යම් ප්‍රතිලාභ ලැබුණද ඉන් රටක් හැදිය නොහැක. එනිසා ආදායම් නැංවීම ගැන අනිවාර්යයෙන් සිතිය යුතුය. වත්මන් ජනපති ප්‍රමුඛ පාලනය නිතරම කතා කරන්නේ වියදම් කපා හැරීම පිළිබඳව මිස ආදායම් වැඩිකර ගැනීම ගැන නොවේ. ජනපතිගේ වියදම් සියයට පනහකින් කපා හරින්නේ නම් එය ජනතාවට දෙන හොඳ පණිවිඩයකි. හොඳ ආදර්ශයකි. අවශ්‍ය වන්නේ ආදායම් නැංවීමය. 2024 පමණ වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රාජ්‍ය ආදායම සියයට 20 ක් පමණ තිබුණි. එහෙත් ඉන්පසු දිගින් දිගටම එම ආදායම අඩු වී තිබේ. බදු කපා හැරීම ආදිය හරහා ජනප්‍රිය චරිතයක් වීමට පුළුවන. රාජ්‍ය ආදායම් කපා හැර රාජ්‍ය ආයතන පාඩු ලබන තත්වයට පත්කර බොහෝ දෙනා කළේ තම ජනප්‍රියත්වය වැඩිකර ගැනීමය. අවසානයේ රාජ්‍ය ආදායම් හිඟය පියවීමට ණය ගත්තේය. 2022 වන විටත් මෙරට රාජ්‍ය ආදායම සියයට 8 ක් වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් වියදම සියයට 20 ක් පමණය. අටක් අරගෙන විස්සක් වියදම් කරන්නේ නම් සියයට 12 ක් පමණ ණය ගැනීමට සිදුවනු ඇත.

මෙවන් පසුබිමක වියදම් කපා ආදායම් නංවන ක්‍රමය පෙන්වා දිය යුතුව තිබේ. මූල්‍ය අරමුදලේ කොන්දේසිවලින් ඉවත් නොවන බව ජනපතිවරයා ප්‍රකාශ කර තිබුණි. 2027 වනවිට මෙරට රාජ්‍ය ආදායම සියයට 15.4 කින් නැංවිය යුතු බව මූල්‍ය අරමුදල කියා තිබේ. බදු ගැසුවා යැයි හිටපු ජනපති රනිල්ට දොස් නැගුවද එතරම් බදු පනවා රාජ්‍ය ආදායම වැඩිකර ගත්තේ සියයට 11 කටය. එනම් තිබූ මට්ටමෙන් වැඩි වී ඇත්තේ සියයට 2.6 කිනි. තවත් සියයට 4 කින් රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට වත්මන් ජනපතිට සිදුවනු ඇත. එසේ ආදායම් වැඩි කරන ක්‍රමවේද, මූලාශ්‍ර මොනවාද? තවදුරටත් බදු ගසනවාද? ඒවා පැහැදිලි කළ යුතුය. මෙය ඉතා අපහසු කරුණකි. බදු පදනම පුළුල් කිරීම, පැහැර හැර ඇති බදු අයකර ගැනීම යනාදී නොයෙක් කතා කිව හැකිය. රාජ්‍ය ආදායම වැඩි කළ හැකිය. රටට අවශ්‍ය වන්නේ එසේ වැඩි කරන ක්‍රමයයි.

මූල්‍ය අරමුදල සමඟ එකඟතා තිබේ. එහි ප්‍රධාන කරුණු 17 ක් පමණ අඩංගුය. රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම ඉන් එකකි. ලංකාවේ ආයෝජනයට ඉන්දීය ආයෝජකයෝ යොමුව සිටිති. එය සැවොම දන්නා කරුණකි. ජනපතිවරණයට පෙර අනුර දිසානායක ඉන්දියාවට ගොස් අමුල් වැනි සමාගම් හමුවිය. පාඩු ලබන රාජ්‍ය ආයතනවලට ඉදිරියේදී කරන්නේ කුමක්ද? ඒවා විකුණනවද? රාජ්‍ය ආයතන විකිණීමෙන්, මුදල් මුද්‍රණයෙන්, ජනතාවගේ මුදල් පවරා ගැනීමෙන් ආර්ථිකයක් කළමනාකරණය කළ හැකි බව ජ.වි.පෙ. ප්‍රබලයෙක් ප්‍රකාශ කළේය. දැන් මුදල් මුද්‍රණය කළ නොහැක. ජනතා මුදල් පවරා ගැනීම ප්‍රායෝගික නැත. එසේ නම් නැවත යන්නේ පෞද්ගලීකරණය කරන ලිබරල්වාදී ආර්ථික දර්ශනයටද? එසේ නොවන්නේ නම් මේ ආණ්ඩුවට ඇති විකල්ප මොනවාද?

මෙරට ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් බහුතරයක් තැතිගැන්මකට ලක්ව සිටින ස්වභාවයක් පෙනෙන්නට තිබේ. ගෝල්ෆේස්හි පෙළගැසූ වාහනවල සිට බිත්තර මිල අඩුවීම, මාෆියාවක් හැටියට තිබූ සහල් මිල අඩුවීම ආදියෙන් එය පෙනේ. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නටත් පෙර අපි මිල අඩු කරන්නම් කියන තැනට ඇතැම් ව්‍යාපාරිකයෝ පත්ව සිටිති. ඉන්දියාව අඩු මිලට බිත්තර දෙන්නේ එරට කිකිළියන් වරකට බිත්තර දෙක බැගින් දමන නිසාදැයි වරක් වත්මන් ජනපති ප්‍රශ්න කර තිබුණි. දැන් මෙරට බිත්තර මිල ශීඝ්‍රයෙන් අඩු වන්නේ මෙරට කිකිළියන් වරකට බිත්තර දෙක බැගින් දමන්නට පටන් ගැනීමෙන්ද? ආණ්ඩුව කඩිනමින් තම අයවැය ඉදිරිපත් කිරීම හරහා තම ආර්ථික දර්ශනය සමාජගත කළ යුතුය. එම දර්ශනය නොදැන විදෙස් ආයෝජකයන් ලංකාවට එන්නේ නැත. සිටින ආයෝජකයන් රඳවා ගැනීමද ප්‍රශ්නයකි. එනිසා මෙය තවත් කල් නොයවා කළ යුත්තකි.

පෞද්ගලික අධ්‍යාපනය, පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධ පැහැදිලි ස්ථාවරය රටට අවශ්‍යය. වතුකරයේ ප්‍රශ්න සම්බන්ධ ස්ථාවරය ද කඩිනමින් සාකච්ඡාවට බඳුන් විය යුතුය. මේවා කල් දැමිය නොහැක.

කෝටියක් ඡන්ද අපේක්ෂා කළ ජනපතිට සියයට පනහ ඉක්මවීමට නොහැකි විය. මේ නිසා ඉදිරි මහ මැතිවරණයේදී ශක්තිමත් ආණ්ඩුවකට වඩා ශක්තිමත් විපක්ෂයක් බිහිවීමේ වැඩි ඉඩක් තිබිය හැකිය. මේ නිසා පාර්ලිමේන්තුවේදී පවා අභියෝගාත්මක පරිසරයක් නිර්මාණය වන්නට පුළුවන. ජාත්‍යන්තරවත් සහ වෙනත් බාහිර අභියෝග ද තිබිය හැකිය. ඉදිරියට එන්නේ මැතිවරණ කාලයකි. දැනට ලබා ඇති ඡන්ද ප්‍රතිශත අනුව මහ මැතිවරණයේදී 110 දෙනකු පත් වුවද ඉන් 95 ක් පමණ පළමු වරට පාර්ලිමේන්තුවට පත්වන අය වෙති. උගත් වුවත් අත්දැකීම් නැති පිරිසක් සමඟ ඉදිරිය කෙසේ වේද? උගත් වූ පමණින් දේශපාලනයට හරියන්නේ නැති බව වියත් මග ඔප්පු කළේය. ජනපතිගේ වේදිකාවේ විවේචනයට ලක්වූ මුදල් ලේකම්, මහ බැංකු අධිපති ඇතුළු චෝදනා එල්ල වූ නිලධාරීන් කිහිප දෙනෙක්ද ඉහළ තනතුරුවලට පත්ව සිටිති. සුපිරිසුදු පාලනයක් අපේක්ෂා කරන තැනක පුංචි වරදක් වුවත් ලොකුවට පෙනෙන බව අමතක නොකළ යුතුය. එසේ නොවුණොත් බරපතළ අඩියකට රට වැටෙනු ඇත. දේශපාලනයට එහා ගිය ආර්ථික කළමනාකරණයක් කිරීමට ජනපතිට සිදුවනු ඇත.

මේ රටේ තිබූ 71, 89 අරගල, 83 ජූලි කලබල, යුද්ධය හේතුවෙන් පියවා ගැනීමට නොහැකි බිලියන ගණනක ආර්ථික හානි සිදුවුණි. ගෙවුණු කාලයේ කුමක් කළත් ඒවාට එරෙහි වර්ජන දියත් විය. ඒ හේතුවෙන්ම සංවර්ධන ව්‍යාපෘති අඩාළ වුණි. ඇතැම් කර්මාන්ත වසා දැමුණේ වෘත්තීය සමිති අරගල හේතුවෙනි. ඉදිරි මැතිවරණයෙන් වෘත්තීය සමිති නායකයන් පාර්ලිමේන්තු එන්නට පුළුවන. එනිසා වෘත්තීය සමිති විරෝධතා නැතිව රට ගෙන යාමට ජනපතිට වාසනාව හිමි බවද අමතක නොකළ යුතුය.

(*** සටහන – චමින්ද මුණසිංහ)



අදහස් (2)

ආණ්ඩුවේ අනාගත අභියෝග

මහින්ද Thursday, 03 October 2024 09:28 AM

තිත්ත වුවත් ඇත්ත විමසුමකි. ගරු නව ජනාධිපති තුමා මෙම කරුණු ගැන අවධානය යොමු කිරීම වටී.

:       1       3

Janaka Thursday, 10 October 2024 07:32 AM

කොතැනින්ද එන්නේ කියලා අන්තිම ඡේදයෙන් පේනවා. අරගල නිසා බංකොළොත් වුණු හැටි පෙනීගිහින් අනිත් ඒවා අතපසු වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 111 0

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 41 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 182 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 336 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 74 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 56 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 245 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 416 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 931 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site