IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ආදරේ ගින්දරෙන් පිච්චුණු අශානි

 7_RASA_P_2

 

යොවුන් විය සොඳුරුයි. අපූරුයි. හිතපුරා හැගෙන ආදර හැඟුම් මැද ජීවිතයේ මෙතෙක් කිසිදා නොවිඳ සෙනෙහෙබර සිතුවිලි යොවුන් වියේදී උපදිනවා. ෂෙරෝන් සහ ඉමේෂි කියන්නෙත් ඒ හැඟීම් ඒ වගේම අත්විඳපු සුන්දර යෞවනියෝ දෙදෙනෙක්. තවම වයස අවුරුදු දහඅටේ පසුවෙච්ච මේ දෙන්නාගේ ජීවිතේ ඉගීල්ලුනේ කිරිල්ලියෝ වගේ. මේ හොඳම යාළුවො දෙන්නා පසුගිය දා රාත්‍රී සමයේ වැල්ලවත්ත ප්‍රදේශයට ආවේ යහළුවෙකුගේ උපන්දින සාදයකට සහභාගී වෙන්න. මෙවර අ.පො.ස. උසස් පෙළ කඩ ඉමට මුහුණ දෙන්න දැකපු දහසක් හීන බලාපොරොත්තු එක්කම එදා රෑ මරදානේ ඉඳලා දකුණු කළුතර දෙසට වේගයෙන් ඇදුණු දුම්රිය කාටවත් නොකියා මේ සුන්දර රෝස පොහොට්ටු දෙක අරගෙන ගියා....


එදා අකීකරු වුණේ ෂෙරෝන්ගේත් ඉමේෂිගෙත් හදවතද, එහෙම නැත්නම් ශිරෝන්ලව නොදැකපු දුම්රියද? මේ සිදුවීම සුවහසක් ශ්‍රී ලාංකීකයන්ගේ හදවත කම්පනය කළ බව නිසැකයි. යොවුන් විය, කියන්නේ මව්පිය තුරුලෙන් කෙමෙන් කෙමෙන් ඉගිල්ලිලා එයාලගෙම ලෝකයකට ඉගිල්ලෙන්න හදන යුගයක්. මේ යුගය ඇතුළේ ෂෙරෝන් සහ ඉමේෂිත් මොකද්දෝ වරදකින් මේ ලෝකෙම දාලා ගිහින් හමාරයි.


තරුණ ජීවිතේ සෙල්ලක්කාරකම, අවධානයක් නොමැතිකම නිසා අද දුක් විඳින්නේ ඒ දරුවෝ මේ ලෝකෙට බිහි කරපු අහිංසක මාපියෝ දෙන්නා. ජීවිතේ අවදානම ගැන මීට වඩා සිතුව නම්, ෂෙරෝන්, ඉමේෂි තවමත් අපිත් එක්ක ජීවත් වෙනවා. ඒ යෞවනියන් දෙපළගේ ඡායාරූප දකිද්දි හැම අම්මෙකුටම තාත්තෙකුට මතක් වෙන්නේ තමන්ගේ දරුවන්ව කොයිතරම් රැකවල් දාලා ආරක්‍ෂා කරලා උස් මහත් කළත්, තරුණ ජීවිතවල නොසැලකිලිමත්කම නිසා ජීවිතය අකාලයේ මිලින වෙලා යනවා.


ෂෙරෝන් සහ ඉමේෂිත් යන්න ගියේ හැමෝටම ලොකු දුකක් දීලා වගේම මේ සමාජයට හොඳ පාඩමකුත් කියලා දීලා. මේ තරුණියන් දෙපළ ලෝකෙම දාලා ගියේ මේ සමාජයට වැරදි කරලා නෙමෙයි. ඒත් දැන් ඔවුන් මේ සමාජයේ වැරදිකාරයෝ කරලා. විවිධ මතවාද, අදහස් විශාලයි. ඒ කොහොම වුණත් නොදන්න තැනකින් රේල්පාර මාරුවෙද්දි ඒ අවධානය ගැන පොඞ්ඩක් හිතුවනම් මේ රෝස පොහොට්ටු අදත් හිනා වෙනවා නේද?.... දරුවන්ගේ ලෝකයේ දුක් සුසුම් ඇතුළේ තියෙන්නෙත් මේ විදිහේ ලස්සන ජීවිතවල ලියැවුණු අසුන්දර කථා විතරයි. සෙල්ලක්කාරකම, නොසැලකිමත්කම නිසා ජීවිතෙන් කොයිතරම් දේවල් උදුර ගත්තද? ජීවිතේම උදුරගෙන ගියාට පස්සේ එදාට අපට ඉතිරි වෙන්නේ කඳුළු විතරයි. කඳුළුත් එක්ක සිර වෙච්ච තවත් ජීවිතයක අසුන්දර කථාවක් මේ විදිහට අපට අහන්න ලැබුණේ බදුල්ල ප්‍රදේශයෙනි.


දරුවෝ තුන්දෙනෙකුගෙන් යුක්ත සෙනෙවිරත්න පවුලේ අශානි කියන්නේ පවුලේ වැඩිමහල්ම දරුවා. අශානිගේ තාත්තා රැකියාව කළේ විදේශ රටක. අශානිගේ තාත්තට අශානිලත් එක්ක ඉන්න වාසනාව ලැබුණේ වසරකට ලැබෙන මාස තුනක කෙටි නිවාඩුවක දී විතරයි. අශානිගේ අම්මා පෞද්ගලික අංශයක කරපු රැකියාවටත් මීට වසර කිහිපයකට උඩදී සමුදෙන්න තීරණය කළේ දවසින් දවස උස් මහත්වෙන දියණිවරුන් තිදෙනාගේ රැකවරණයට පුංචි හරි අතපසුවීමක් වේවි කියලා ඇති වුණු බිය නිසා. ජීවත් වීමේ අරගලයත් එක්ක අශානිගේ තාත්තා ලොකු ශක්තියක් වුණත් අශානිගේ අම්මට තමන්ගේ ස්වාමියා දුක් විඳලා එවන මුදල්වලින් කාලා බීලා සැප විඳින්න හිත කිව්වෙ නැහැ. අශානිගේ තාත්තා එවන මුදල් ඇරෙන්න මේ ගෙදරට වෙන ආදායමක් තිබුණෙත් නැහැ. දරුවො තුන්දෙනාට සැපවත් ජීවිතයක් දෙන්න අශානිගේ අම්මත් ගොඩක් දුක් වින්දා.


“හැමදාම ඔයා රට ඉන්නද කල්පනාව”
දරුවො එන්න එන්න ලොකු මහත් වෙනවා.... උන්ගේ අවශ්‍යතා, වුවමනා එන්න එන්න වැඩි වෙනවා... ඔයා එවන මුදල්වලින් අපි කීයක් හරි ඉතිරි කරමු.... මම ගෙදර වියදම්වලට රෙදි මහලා කීයක් හරි සොයා ගන්නම්.”


ඇය රැකියාවෙන් ඉවත් වුණත් දරුවො තුන්දෙනා වෙනුවෙන් ජීවිත අරගලයත් එක්ක හැප්පෙන්න ඇය දෑතේ රැකියාවක් කරන්න පටන් ගත්තා. සහජයෙන් පිහිටපු දෑතේ රස්සාවත් හිතපු තරම් නිදහස් රැකියාවක් වුණේ නැහැ. රෙදි මැසිල්ලත් එක්ක අශානිගේ අම්මා ටිකෙන් ටික කාර්ය බහුල වෙන්න ගත්තා. ඒ කොහොම වුණත් දරුවො තුන්දෙනාගේ අවශ්‍යතා සපුරන්න සහ ආරක්‍ෂාව ගැන අශානිගේ අම්මා, තමන්ගේ ජීවිතේ පළමු තැන දුන්නා.... පවුලේ වැඩිමහල් දියණිය අශානි වුණත් බාල දියණියන් දෙදෙනාට සේම හැම අවශ්‍යතාවක්ම අශානිගේ අම්මා සපයලා දුන්නා. අඩුම තරමේ ඉහුම් පිහුම් වැඩවලටවත් අම්මා අශානිව යොමු කරගත්තේ නැහැ. අම්මා නිතරම දැක්කේ අශානිත් තවම පොඩි දරුවෙක් විදිහට. අම්මාට අශානිව පොඩි දරුවෙක් විදිහට පෙනුණාට ඒ වෙනකොට අශානි ප්‍රේමවන්තියක්.


හැමදේම අතට පයට කරලා දීලා අශානිව ඉස්කෝලේ යැව්වේ අශානිගේ අම්මා බලාපොරොත්තු කන්දක් හිතේ ගොඩගහගෙන. අශානි වැඩිවියට පත් වුණ දවසේ ඉඳලා අම්මාගේ හිතේ බර දවසින් දවස වැඩි වුණා. බාල දියණියන් දෙදෙනාට වඩා අශානි කුඩා කාලයේ සිටම ටිකක් නිහඬ චරිතයක්. දවසින් දවස ශරිරයෙන් උස් මහත් වෙනකොට දැනෙන අවශ්‍යතා සාමාන්‍ය දෙයක්. අශානිගේ අම්මා මේ දේවල් සහ සමාජය ගැන නිතරම අශානිට කියලා දුන්නා. මොකද වැඩිමහල් දරුවා වැරදි පාරක ගියොත් අනෙක් දරුවො දෙන්නත් වැරදි පාරෙම යාවි කියලා හැම අම්මෙකුට හිතේ බියක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ බිය අශානිගේ අම්මටත් දැනුණා.


ඒත් ඒ වයසට අම්මා තාත්තා කියන දේවල් ඒ කන් දෙකට ඇහෙන්නේ නීරස දේවල් විදිහට. එදා අශානිටත් ඒ දේවල් නීරස වුණා. නීරස විදිහට කනට ඇහුණ දේවල් ඔළුවට ගත්තා නම් අද මට මෙහෙම වෙන්නේ නැහැ කියලා දහස්වාරයක් හිතෙන් අඬ අඬා අශානි කියන්න හදන කථාවට ඉඩ දෙන්න හිතුවා.


“මට මුලින්ම ආදරේ කියලා දෙයක් ඇති වුණේ දහය වසරෙදී. ඒ නුවන් අයියට. නංගිලා දෙන්නයි, මමයි හැමදාම ඉස්කෝලේ ගියේ නුවන් අයියාගේ ත්‍රීවිල් එකේ. නුවන් අයියා අපේ ගමේ කෙනෙක් නෙමෙයි. නුවන් අයියා හිටියේ එයාගේ බාප්පා කෙනෙකුගේ ගෙදර. ඒ කියන්නේ අපේ ගෙවල් කිට්ටුවම... එයාගේ බාප්පාගේ ත්‍රීවිල් එකේ වැඩ කරගෙන තමයි නුවන් අයියා ජීවත් වුණේ. එහෙම ජීවත් වුණ නුවන් අයියා මගේ ජීවිතේට ආවේ හරිම අහම්බෙන්. අපේ අම්මත් නුවන් අයියව ගොඩක් විශ්වාස කළා. ඒ විශ්වාස නිසාම තමයි නංගිලා දෙන්නවයි, මාවයි නුවන් අයියා එක්ක ඉස්කෝලේ යවන්න තීරණය කළේ....


මගේ අම්මා නංගිලා දෙන්නට වඩා මං වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කළා. අම්මා අපි නිසා රැකියාවෙන් ඉවත් වුණා. තාත්තා හිටියේ නැහැ කියලා අම්මා අපට කිසිම අඩුවක් කළේ නැහැ. ඒත් අම්මා හැමදේකදීම පස්සෙන් එන නිසා ඒක මට වෙලාවකට දැනුණේ මහ වදයක් විදිහට. මම කොච්චර ලොකු ළමයෙක් වුණත් අම්මා මාව ඉස්කෝලේ ළඟට ඇරලවන්න එනකොට යාළුවො පවා මට හිනා වුණා. මට ඕන වුණේ යාළුවො එක්ක තනියම යන්න. මේ දේවල් නිසා මම අම්මා එක්ක සමහර දවස්වලට රණ්ඩු කළා. අම්මාගේ රැකවරණය අශානිට වෙලාවකට දැනුණේ මහා කරදරයක් විදිහට. ඒත් දරුවෝ තුන්දෙනෙකුගේ වගකීම කියන්න වචනයෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. යම් දෙයක් වුණොත් අශානිගේ තාත්තා ඇඟිල්ල දිගු කරන්නේ අශානිගේ අම්මට. ඒ නිසා අශානිගේ අම්මා මේ දරුවෝ තුන්දෙනා රැකගත්තේ ඇහැක් වගේ.


“ඔය විදිහට තාත්තා විටින් විට ලංකාවට ඇවිත් ගියත් තාත්තාගේ රැකියාවත් එක්ක ලංකාවේ ඉන්න පුළුවන්කම තිබුණේ මාස තුනක කාලයක් විතරයි. අම්මත් රැකියාවෙන් ඉවත් වෙලා ගෙදර රෙදි මහන්න ගත්තට පස්සේ ටිකක් කාර්යබහුල වුණා. මේ දේවල් එක්ක තමයි නුවන් අයියා අපේ අම්මට මුණ ගැහෙන්නේ. ගොඩක් වෙලාවට ගෙදර ගමන් බිමන් යන්න අම්මගේ එකම විශ්වාසවන්තයා වුණේ නුවන් අයියා. ඔය විදිහට දැන හඳුන ගත්ත අපේ කථා බහ ආදරයකට පෙරලේවි කියලා මං කවදාවත් හිතුවෙ නැහැ. දවස් කිහිපයක්ම චුටි නංගිලා දෙන්නට හවස පාසලේ අමතර පන්ති නිසා නතර වෙන්න සිද්ධ වුණා. ඒ දිනවලට නුවන් අයියා එක්ක මම ආවේ තනියම. තනියම එන හැම දවසකම එයා මාත් එක්ක කථා කළේ හරි අමුතු දේවල්. ටික දවසක් යද්දී මගේ හිත නුවන් අයියව සොයනවා කියලා මට දැනුණා. ඔය විදිහට දන්නෙම නැතුව මගේ හිත නුවන් අයියට ආදරේ කරන්න ගත්තා. නංගිලා නැති දවසට අපි දෙන්නා නිදහසේ කථා කළා. අම්මා මාව ටියුෂන් පන්ති යැව්වෙත් නුවන් අයියගේ ත්‍රීවිල් එකේ. එදාට අපි දෙන්නා නිදහසේ කථා බහ කළා. මුණ ගැහෙන්න කථා බහ කරන්න බාධාවක් තිබුණෙම නැහැ. මොකද අපි යන හැම ගමනක්ම ගියේ නුවන් අයියා එක්ක නිසා. 


දවසින් දවස මගේ හිතේ නුවන් අයියට තියෙන ආදරය වැඩි වුණා. එයා නැති ජීවිතයක් මට හිතාගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ.”


මේ විදිහට ත්‍රීවිල් රියදුරා සමඟ ඇති වුණ ආදර සම්බන්ධය වැඩෙන්න පටන් ගත්තේ ලැඟුම්හල් තුළ. බියක් සැකක් නැතිව තමන්ගේ ප්‍රේමවන්තයා වුණ නුවන් කථා කරන ඕනම තැනකට යන්න අශානි පැකිළුණේ නැහැ. මොකද ආශානිගේ ජීවිතේ ඒ වෙනකොට නුවන් තරම් විශ්වාසවන්තයෙක් තවත් හිටයේ නැති නිසා. උපකාරක පන්ති යන සෑම දිනකම නුවනුත් අශානිත් පෙම් සුව වින්දේ ලැඟුම්හල්වල. අශානිට අ.පො.ස. සාමාන්‍ය පෙළ ලියන්න තිබුණේ මාස කිහිපයක් පමණයි. වෙහෙස මහන්සි වෙලා පාඩම් කරන දියණියට සියලු දේ ළඟටම සපයලා දුන්නේ අශානිගේ අම්මට තමන්ගේ දරුවා ඉහළින් විභාගේ පාස් වෙනවා තරම් තවත් සතුටක් නැති නිසා.


ඒත් අශානිගේ ලෝකේ තිබුණේ පොත් පත් නෙමෙයි. ආදරේ කියන ගින්දර කොහේදෝ ලෝකෙක තනිකරලා දාපු නුවන්ගේ ලෝකේ. කාලයත් එක්ක මේ ආදරේ ඇතුළේ බොහෝ දේ සිදු වුණා. දවස් ගණනාවක් අශානිට ඇඟට කියා ගත නොහැකි තරම් ඇඟට තෙහෙට්ටුවක් දැනුණා. දින ගණනාවක් යද්දි තෙහෙට්ටුව මඟ ඇරෙමින් තිබුණත් මේ කුස තුළ මොරන්නේ දරුවෙක් කියලා අශානිට දැනුණේ නැහැ. ඇය සුපුරුදු විදිහට පාසැල් ගියා. සුපුරුදු විදිහට ගෙදර දොරේ දුවපැන ඇවිද්දා. වැඩි දවසක් ගත වුණේ නැහැ.


“අනේ ටීචර් අශානිට බඬේ කැක්කුමක් හැදිලා.... එක පාරක් ක්ලාන්තෙත් වුණා.” බඬේ වේදනාවෙන් සිටි අශානිගේ සුව දුක් විමසු ගුරුවරියට ඇය කුමක් හෝ ශරීර අපහසුතාවයකින් පෙළෙන වග ඇයට වැටහිණි.


“අශානි අපි ඩොක්ටර් කෙනෙක් ළඟට යමු. මම අම්මට කෝල් එකක් දීලා කියන්නම්.” “අනේ ඕනෙ නෑ ටීචර් දෙහි ගෙඩියක් මිරිකලා යාළුවො දුන්නා තව ටිකකින් හරියාවි...”


“එහෙම කියලා බැහැ.... ඔයාට කලන්තෙත් දැම්මනේ දරුවෝ.... දැන් තියෙන්නේ අහලවත් නැති ලෙඩ... අපි කෝකටත් ඩොක්ටර් ළඟට යමු.” අශානිට කිසිවක් සිතා ගත නොහැකි විය. ගිනිගත් මනසින් ඇයට මැවී පෙනුණේ ගෙදර සිටින අම්මා සහ දුරුකතරක සිටින තාත්තාගේ රුවය.


“දෙවියනේ මොනවා හරි වෙලා තිබුණොත් අම්මා මාව මරයි...”


වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව පරීක්‍ෂණ කිහිපයකට ලක් කෙරුණු අශානිගේ වාර්තා දින දෙකකට පසු මව අතට පත් විය. “මිසිස් සෙනෙවිරත්න මේ වාර්තාවලට අනුව නම් ඔයාගේ දුව ප්‍රෙග්නන්ට්” ගිනිගත් මනසින් මරුවාවේසයෙන් ගෙදර ඉගිල්ලුණු අශානිගේ මව ඇයව නොමරා මැරුවාය. දරුවන් වෙනුවෙන් වැලිකතරේ දුක් විඳි පියා ලංකාවට පැමිණෙන විට තමන්ගේ වැඩිමහල් දියණිය ළමා ගැබිණියක් ලෙස පරිවාස ගත වී හමාරය. ආදරය සුන්දරයි වගේම ආදර ඇතුළේ කිඳා බැහැපු ගින්දර ආශානිගේ ජීවිතේ අළු කරලා දැම්මේ ඇයවත් නොසිතපු ලෙසටය.

5



අදහස් (0)

ආදරේ ගින්දරෙන් පිච්චුණු අශානි

කිත්සිරි Sunday, 15 May 2016 04:44 AM

ඉතාම හොඳ කතාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site