IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ආරක්ෂක ලේකම්ටත් අභියෝග කරන හිරේ අයියලා

“බූස්ස බන්ධනාගාරය” දැන් පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාරගතව සිටින “පාතාල කෙරුමෝ” බුරුතු පිටින් බූස්ස බන්ධනාගාරයට එකතු කරන්නට බලධාරීන් මේ වනවිට පියවරගෙන තිබීම ඊට හේතුවයි.

ඇතැම් පාතාල සාමාජිකයන් එළියට වඩා ඇතුළට යාමට දඟලන්නේ එළියේ සිට කරන්නට බැරි බොහෝ දේ බන්ධනාගාරය තුළ සිට බොහෝම පහසුවෙන් සිදුකර ගත හැකි නිසා බවට දැන් දැන් හෙළිවී ඇති කාරණාවලින් පැහැදිලිය.

පාතාල කෙරුමෝ අපරාධ මූලස්ථානය ලෙසට බන්ධනාගාරය පත්කර ගෙන තිබුණේ නොඅඩුව ලැබෙන ජංගම දුරකතන පහසුකම නිසාය. ‘හිරේ ඉඳන් සෙල්ලම් දාද්දි අහුවෙන්නේ නැහැ” ඔවුන් ඒ සිද්ධාන්තය අනුගමනය කළත් අද වනවිට සියල්ල කණපිට පෙරළී ඇත්තේ මේ බූස්ස බන්ධනාගාරය නිසාය. දැඩි ආරක්ෂිත ක්‍රමවේදවලින් සමන්විත වන බූස්ස බන්ධනාගාරය තුළ සිරකරුවකුට හිමිව ඇත්තේ නියම අරුතකි. යම් වරදක් සිදුකළ පුද්ගලයකුට පුද්ගල නිදහස අහිමි කිරීමේ එකම පරමාර්ථය රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වුවත්, එමගින් ඔහු හෝ ඇය අසීමිත නිදහසක් භුක්ති විඳින්නේ නම් එම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නැත. බන්ධනාගාරය අපරාධයට තෝතැන්නක්ව තිබියදී බූස්ස බන්ධනාගාරය තුළ මේ ගත් ක්‍රියාමාර්ගය “අයියලාට” නම් ගොඩක් රිදී ඇත.

“සිරකරුවාද මනුෂ්‍යයෙකි” යන ශීර්ෂ පාඨයම පමණක් උලුප්පා ගනිමින් බන්ධනාගාර රැඳවියෝ 27 දෙනෙක් ඉකුත් ජුනි 24 වැනිදා ‘ආහාර වර්ජනයක’ නිරතව සිටිති. “වැඩි වේලාවක් සිර මැදිරියෙන් එළියේ සිටින්නට අවසර දෙන්න.” ඔවුන් ඉල්ලා සිටියේ එපරිද්දෙනි. මෙහි නියමුවෝ වූවෝ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා, කංජිපානි ඉම්රාන්, කොස්ගොඩ තාරක, පොඩි ලැසී’ ඇතුළු පිරිසකි.

රැඳවියන්ගේ මේ “ආහාර වර්ජනය” පිළිබඳව කණ වැකුණු බන්ධනාගාර ලොක්කන් වහා බූස්ස බන්ධනාගාරය වෙත යන්නේ සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳා දීම සදහාය. සාකච්ඡාවට මුල පුරන්නේ වර්ජනයේ ඉදිරි පෙළයි. බන්ධනාගාර මූලස්ථානයෙන් ගිය මහත්වරු සිරකරුවන් රඳවා සිටි සිරමැදිරි වෙත ගොස් ඔවුන් හා සාකච්ඡා කරන්නට වූහ. එක් එක් සිරකරුවනට තිබූ ප්‍රශ්න බන්ධනාගාර නිලධාරීන් වෙන වෙනමම සටහන් කරගනිද්දී “කොස්ගොඩ තාරක”ට තිබුණේ අමුතුම ප්‍රශ්නයකි.

“අපි මේකට ගෙනල්ලා හිරකරලා දාලා මරන්නද සර් හදන්නේ?” තාරක ඇසුවේය.

“මොකක්ද මේ ප්‍රශ්නේ. නොකා නොබී හිටියම විසඳාගන්න පුළුවන් එකක් ද?” නිලධාරීහු අසති.

“කතා කරලා වැඩක් නැහැ සර්. අපි මෙහෙම හිර කළාට අපේ මිනිස්සු ඕනෑ තරම් එළියේ ඉන්නවා. ඒ වගේම යකඩ ටිකත් ක්‍රියාත්මකයි. අපේ ජාලේ සක්‍රීයයි සර්. කවුරු හරි කියනවා නම් එහෙම නැහැ කියලා ඒක ලොකු බොරුවක්” කොස්ගොඩ තාරක නිලධාරීන්ට කියාගෙන කියා ගෙනයයි.

“ජනාධිපතිතුමා ඉන්නේ අවුරුදු පහයිනේ. මට ජනාධිපතිත් ලොකු නැහැ. ආරක්ෂක ලේකම්නේ දැන් වැඩ පෙන්නන්නේ. ඕන්නම් එයාට මෙතනට එන්න කියන්න. එයාටත් කියන්න තියෙන්නේ මෙච්චරයි සර්. අපට මේ කරපු දේට මේකේ ඉන්න එවුනුත් මරාගෙන අපිත් මැරෙනවා” කොස්ගොඩ තාරක මේ තර්ජනය කරන්නේ බන්ධනාගාර මූලස්ථානයෙන්  ගිය නිලධාරීන් පිරිසටය. දැන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භවී තිබේ.

බන්ධනාගාර මූලස්ථානය ආරක්ෂක අමාත්‍යාංශයටත් පොලිස්පතිවරයාටත් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කළ අතර, මේ වනවිට රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් බූස්ස බන්ධනාගාරයට ගොස් එම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ආහාර වර්ජනයේ ඉදිරියෙන්ම සිටි රැඳවියන් අතරින් තාරකත් පොඩි ලැසීත් යන දෙදෙනා පමණක් ඉස්මතුවී ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි නිවැරදිවම තොරතුරු නැත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර පොලිස් නිලධාරීන් පිරිස මහ මුහුදෙන් මෙරටට ගෙනෙන හෙරොයින් බලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වෙත ගෙනැවිත් සති ගණන් රඳවා තබාගෙන සිටි සිද්ධිය දැන් මුළු රටක් දන්නා කාරණයකි. එම හෙරොයින් කොස්ගොඩ තාරකගේ බවට එදවස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මේ නිලධාරීන් කණ්ඩායම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

එහෙත් දවසකට රුපියල් හත් දහසක් අට දහසක් පමණ මුදලක් ගෙවා දමමින් බලපිටියේ පිහිටි එම “විලා” එකක ඔවුන් නතරවී සිටිමින් එම හෙරොයින් කොස්ගොඩ තාරකගේ යැයි හඳුනා දුන්නද, ඔවුන් නතරවී සිටි එම “විලා” එක අයිතිකාරයා “කොස්ගොඩ සුජී” වීම විශේෂිත සිදුවීමකි. කොස්ගොඩ සුජී, කාට හෝ කුමන හෝ උදව්වක් උපකාරයක් සිදුකර ඉල්ලන ප්‍රතිඋපකාරය එකම දෙයකි. “තාරකට ගහපන්. තාරක මරලා දුන්නොත් මම ඕන දෙයක් කරනවා” කොස්ගොඩ සුජීගේ ශබ්දකෝෂයේ ඇත්තේ එපමණකි. ඔහු කොස්ගොඩ තාරකගේ බෙල්ල ගැනීමට ඕනෑම දෙයක් කරයි. මේ දෙදෙනාගේ බද්ධ වෛරයට ඇත්තේ දිගු ඉතිහාසයකි.

බන්ධනාගාර ආහාර වර්ජනයේ සිටි තවත් චරිතයක් වන්නේ පොඩි ලැසීය.

කවුද මේ “පොඩි ලැසී”?
කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වූ අම්බන්ගොඩ කුලීගොඩ සැන්ටීන් ද සොයිසා මාවතේ පදිංචිව සිටි මෙරිඤ්ඤ තිළිණ රුවන් තිහාර ජයරත්න (44) මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ලෙසට මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංඛ ද සිල්වා (28) නොහොත් ‘පොඩි ලැසී” නැමැත්තාය. පොඩි ලැසීට ඇත්තේ මේ ඝාතන චෝදනාව  පමණක් නොවේ.

හික්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් (35), අම්බලන්ගොඩ පදිංචිව සිටි තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඇගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (4) යන සිවු පුද්ගල ඝාතනවලට එරෙහිව මෙන්ම තවත් ඝාතන රාශියක සැකකරුවකු වන මොහු මේ වනවිට ඇප මත සිටියත් ඇප ලබා නොගෙන ඇතුළටවී සිටින්නේ එළියට වඩා ඇතුලේ ඇති ආරක්ෂාව නිසා බව පැවසෙයි.

දැන් පොඩි ලැසී සිටින්නේ බූස්සේය. එහෙත් මීට කලකට පෙර කොළඹ බන්ධනාගාරය තුළ විශේෂ ආරක්ෂාව මැද රඳවා සිටි පොඩි ලැසීට නඩු කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ. එහිදී නඩු කටයුතු අවසන් වුවත් දින දෙක තුනක් සුවසේ සැප පහසුව එම බන්ධනාගාරයේ සිට ලැබීමට පොඩි ලැසීට අවස්ථාව උදාකර දීමට ඇතැම් බන්ධනාගාර බලධාරීහු පුරුදුව සිටියහ. පොඩි ලැසීට ඇති පදමට දුරකතන පහසුකම සලසා දීමට මෙම නිලධාරීහු උත්සුක වූහ. ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන්ගේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස තිළිණ රුවන් මහතා ඝාතනය වූ බවට කටකතාව පැතිර ගියද, මේ ඝාතනයේ සැකපිට හසු වන්නේ පොඩි ලැසීය. දකුණේ පාතාලයේ ප්‍රබල චරිතයක් හොබවන කොස්ගොඩ සුජීගේ අතිජාත මිත්‍රයකු වන “පොඩි ලැසී” කොස්ගොඩ තාරකගේ විරුද්ධවාදියකු ලෙසට අවි අත දරා සිටින්නෙකි.

මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තවත් සැකකරුවකු වන චමින්ද දිල්රුක් නොහොත් “පරෙයි සුදා” ද අද වනවිට කරළියේ කියැවෙන නම් අතරට එක්ව තිබේ. වැටලීම්වලදී අත්අඩංගුවට ගත් හෙරොයින්, ඡාවාරම්කරුවන් වෙත විකිණූ බව කියන සිද්ධියට අදාළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු හෝමාගම ප්‍රදේශයේ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී නිවසක් ‘පරෙයි  සුදාට” ලබාදීමට උදව් කර ඇති බවට විමර්ශන කණ්ඩායම් මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එම උප පොලිස් පරීක්ෂකවරයාගේ සහෝදරියගේ නමින් මෙම ඉඩම මිලදී ගෙන ඇති “පරෙයි සුදා” බන්ධනාගාරය තුළ සිට ජයටම හෙරොයින් මත්ද්‍රව්‍ය ඡාවාරම සිදුකර ගෙන යන බවට ද මේ වනවිට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙම සිද්ධියට අදාළව විමර්ශනය කරන රහස් පොලිස් කණ්ඩායම ඉකුත් 27 වැනිදා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී කරුණු ඉදිරිපත් විණි.

පරෙයි සුදා රක්ෂිත බන්ධනාගාර ගත වන්නේ ඉකුත් 2019 වර්ෂයේදීය. දිවුලපිටිය උල්ලලපොළ ප්‍රදේශයේ සුවිසල් නිවසක පවත්වාගෙන ගිය ප්‍රධාන පෙළේ හෙරොයින් ගබඩාවක් වැටලූ පොලීසිය එහි ගබඩා කර තිබූ රුපියල් කෝටි හැට දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් අත්අඩංගුවට ගන්නේ 2019 ඔක්තෝම්බර් 06 වැනිදාය. මෙහිදී හෙරොයින් ඡාවාරමේ යෙදුණු කාන්තාවක ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගනු ලැබ සිටියහ. මෙම සුවිසල් නිවස ජාවාරම්කරුවන් යොදාගෙන තිබුණේ හෙරොයින් මිශ්‍ර කිරීමේ ක්‍රියාවලිය සඳහා බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ දොරටුවේදී සුපිරි ජීප් රථයක හෙරොයින් තොගයක් රැගෙන යමින් සිටියදී තවත් සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවන් දෙදෙනා දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට හෙරොයින් ගෙන යමින් සිට ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබිණ. මෙම හෙරොයින් පරෙයිසුදාගේ හෙරොයින් බවට එහිදී කියැවී ඇත.

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ ඉහළින් සිටි තවත් කෙරුමකු වූයේ මාකඳුරේ මදූෂ්ගේ ළඟම ගෝලයකු වූ කැලුම් ඉන්දික සම්පත් නොහෙත් “කැවුමා”ය.

ඇරැව්වල පන්නිපිටියේ පදිංචි ක්‍රිෂාන් ඩේවිඩ් පීරිස් නැමැත්තාට අයත් රුපියල් කෝටි 2000ක් පමණ වටිනා බවට සඳහන් කරන දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට කැවුමා රක්ෂිත බන්ධනාගාරගතව සිටියි. ඔහු දියමන්තිය කොල්ලකා තිබුණේ මාකඳුරේ මධූෂ්ගේ අණ කිරීමකට අනුවය. මාකඳුරේ මධූෂ් ඩුබායි රාජ්‍යයේ සිට මෙරට පැමිණීමත් සමගම මේ දියමන්ති කොල්ලය පිළිබඳ වූ කතා බහ නැවතත් කරළියට පැමිණියේය. මේ දියමන්තිය මධූගේ ගෝලයන් පිටරටට යැවූ බවට ද රාවයක් පැතිරගොස් තිබිණි.

එහෙත් පානදුර කෙසෙල්වත්තේ පිහිටි කැවුමා කුලී පදනම මත ලබාගෙන තිබූ දෙමහල් නිවසක උඩු මහලේ අල්මාරියක සඟවා තිබියදී පවුම් 70කට අධික රන් භාණ්ඩ සමග මෙම දියමන්තිය සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබිණි. ඒවා සමග රන් සුරයක් ද සොයා ගැනීමට පොලීසියට හැකිවූ අතර කැවුමාට වෙඩි නොවැදීම සඳහා එම සුරය භාවිත කර ඇති බව ද සඳහන් විය. කැවුමා යනු මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා හෙවත් ලෝකල් මධූෂ් ලෙස ඔවුන්ගේ ලෝකයේ කිරුළ දරා සිටි අයෙකි. මධූෂ් මෙන්ම හැඩි දැඩි කඩවසම් සිරුරකින් යුතු කැවුමා මදූෂ්ගේ නියෝග මත අපරාධ මෙහෙයවමින් සුපිරි ජීවිතයක් ගත කළ අයෙකි.

කලකට පෙර කඹුරුපිටිය ප්‍රදේශයේ බස් රියැදුරකු ලෙස සේවය කළ කඹුරුපිටියේ මධූෂ්ගේ බස් රථයේ ගෝලයා වශයෙන් සේවය කළේ මේ “කැවුමා” ය. එදවස පටන් දෙදෙනා අතර ඇතිව තිබූ මිතුදම හේතුවෙන් කැවුමා මධූෂ්ගේ අතිජාත මිත්‍රයා වූවා පමණක් නොව මධූෂ්ගේ සියලු ආවතේවකම් කරමින් කල් ගෙවුවේය.

පාතාලයන් මේ ආකාරයෙන් හැසිරෙද්දී ඇතැම් බන්ධනාගාර  නිලධාරීන් මෙන්ම පොලිසියේ ඇතැම්හු මොවුන්ට ආධාර අනුබල දෙමින් සිටිති.

පාතාලයන් මේ ආකාරයෙන් හැසිරෙද්දී ඇතැම් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම පොලීසියේ ඇතැම්හුද මොවුන්ට අාධාර අනුබල දෙමින් සිටිති. ඒ පිළිබඳව අටුවා ටීකා අවශ්‍ය නැත. පාතාලයත් පොලීසියත් බන්ධනාගාරයත් එකම පැත්තේ තරාදියක සිටිද්දි මාධ්‍ය පමණක් අනෙක් පැත්තට තල්ලුවී සමාජය සමබර කිරීමේ වෑයමක යෙදෙන බව නම් පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් හොඳම ප්‍රකාශය කළේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාය. සැකකාර නාකොටික් නිලධාරීන් සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඉකුත් දා පැවැති අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ “මාධ්‍ය නැත්නම් මේ සිද්ධියට මොනවා වෙයිද දන්නේ නැහැ” යනුවෙනි.

සියල්ල අවසානයේ සඳහන් කළ යුතු දෙයක් තිබේ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන්න මේ පාතාලයටම ආවේණික වූ ආප්තෝපදේශයක් වුවද, අවියෙන් පමණක් නොව දිට්ඨ ධම්මවේදනීය කර්මය ද ඔවුන් පසුපස එනු නොඅනුමානය.

(*** විමුක්ති කුමාරසිංහ)



අදහස් (11)

ආරක්ෂක ලේකම්ටත් අභියෝග කරන හිරේ අයියලා

විජිත් Thursday, 23 July 2020 10:29 AM

ප්‍රශ්නය තේරුම් ගන්න එතරම් අපහසු නැහැ. අපි වසර කිහිපයක් පිටුපසට යමු. බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් විසි ගණනක් ඔවුන් නිදා සිටියදීම වෙඩි තබා මැරුවේ කවුද..? ඒ පිටුපස සිටි දේශපාලුවන් කවුද..? ඒ සිරකරුවන් දැනසිටි දේශපාලුවන්ගේ රහස් මොනවද? මේවාට පිළිතුරු සොයාගත හැකිනම් මේ දැනුත් බන්ධනාගාරවල හිර දඬුවම් විඳින... මිනීමරු කුඩු කාරයින්, දේශපාලුවන්ටත්, ඔවුන්ගේ නිලධාරීන්ටත් එළිපිටම තර්ජනය කරන්නේ ඇයි කියා සිතාගන්න පුළුවනි.. පහසුවෙන් මේ කුඩුවල සිටින්නේ අවුරුදු 71 ක් පුරාවටම මේ රට කාපු, විනාශකරපු රට චීනයටයි, ඉන්දියාවටයි, අමෙරිකාවටයි කෑලිකෑලි කරලා විකුණපු, අසික්කිත දේශපාලුවන් ඇසුරේ හැදී වැඩුණු.. දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් අනුව සියලුම "සමාජ විරෝධී" වැඩ වල යෙදුණු.. කුලී කාරයින් පිරිසක්. මොවුන්ට සමාජයට කියන්න ලොකුම ලොකු කතන්දර " ගොඩාක් " තියෙනවා.. ඒ කතන්දර කියන්න ගිය "වම්බොට්ටාට" සිදුවුණු දේ ඔවුන් නොදන්නවා නොවෙයි. ගවේෂණාත්මක ජනමාධ්‍ය කරුවෙකුට අවස්ථාවක් උදාවෙලා තියෙනවා.. හැබැයි.. ඔබගේ ජීවිතය ගැන අවධානම ඔබම ගන්න. ලසන්තට කළා වගේ අදිසි හස්තයකින් ඔබවත් මරන්නට පුළුවනි.

:       2327       2154

sunilThursday, 23 July 2020 02:14 PM

රටටත්, ජාතියටත් වැඩක් නැති අපතයින් මියයාම ගැන කැක්කුමක් ඇත්තේ තවත් අපතයෙකුට පමණයි.

:       2026       1297

AnoSaturday, 25 July 2020 02:55 PM

නීත්‍යානුකූලවම මරණීය දණ්ඩනය නියම කළා නම් ඉවරයිනේ.

:       0       91

K Perera Thursday, 23 July 2020 11:53 AM

මරණ දඬුවම දුන්නානම් එය ක්‍රියාත්මක නොකර මහජනතාවගේ මුදල්වලින් මොවුන්ව හිරගෙවල්වල තියාගෙන නඩත්තු කර කර හුරතල් කරන විට ඔය වගේ භයානක දේවල් සිදුවෙනවා.

:       2       476

දිල්කා Friday, 24 July 2020 05:50 AM

හරි අපි රැවටුණා.. ලස්සන නාටිටියක්නේ.. එයාලම ලියලා එයාලාම රඟපානවා. ගියපාර එ්ක වෙඩිතියලාම ඉවර කෙරුවා. මේ පාර එකේ වස දීලා ඉවර කරලා.. මතුසම්බන්ධයි..

:       130       9

අමරසිරි හේරත් ( විශ්‍රාමික විදුහල්පති ) Friday, 24 July 2020 07:52 AM

විජිත් මහතාගේ කතාවේ ඉතා ගැඹුරු සත්‍යයක් සැඟවී ඇත. මේ සිරකරුවන් අපේ රටේ සිටින දේශපාලකයින් වෙනුවෙන් මොනතරම් මිනීමරලා ඇත්ද? තව කොතරම් දූෂණ වැඩවලට මොවුන්ව යොදාගෙන ඇතිද? ඒ නිසා වෙන්න ඇති ඔවුන් දැන් බය නැතිව දේශපාලකයින්ටයි, ආරක්ෂක අංශවලටයි අභියෝග කරන්නේ. මේ සිරකරුවන් කොයි මොහොතක හෝ ඝාතනය වෙන්නට ඉඩ තියෙනවා. එසේ වුනොත් ඔවුන් සඟවාගෙන ඇති රහස් කාටවත් දැනගන්නට වෙන්නේ නැත. සත්‍ය හෙළිකිරීමට ජනමාධ්‍යකරුවන්ට මෙහිදී ලොකු කාර්යභාරයක් පැවරී ඇත.

:       300       300

raveen304 Saturday, 25 July 2020 05:46 AM

දේශපාලකයෝම හදාගත්ත චණ්ඩි තමයි අද මේ විදිහට නීතියට යුද්ධ ප්‍රකාශ කරන්නේ.. රටට තර්ජනයක් වෙලා තියෙන්නේ... අර එල්ලුම් ගහ තියෙන්නේ මොකටද?

:       0       69

Bandu Sunday, 26 July 2020 01:56 PM

අහිංසක මිනිස්සු එල්ලන්න.

:       1       18

Ano Saturday, 25 July 2020 02:58 PM

හුරේ දැම්මට ඔය කුඩු සුද්ද කරන සීන් ඡන්දෙන් පස්සෙත් කරයිද කවුද දන්නේ...?

:       155       108

Senarath Monday, 27 July 2020 06:15 AM

හිරේ ඉන්න චන්ඩි තවම හිතාගෙන ඉන්නේ තමුන්ට ඕන විදියට හැම දේම කරන්න පුළුවන් කියලා.

:       27       127

athula Friday, 31 July 2020 05:11 PM

අපේ රටේ දහසකුත් ප්‍රශ්න නිර්මාණය කරන තිඹිරි ගෙය ගැන කිසිම කෙනෙකු සංවාද කරන්නේ නැහැ. මේ කිසිම කෙනෙක් උපතින් අරන් ආව දේවල් නොවේ. අදූරදර්ශී, තක්කඩි පාලනයන් විසින් ඔවුන්ගේ බලලෝභී අරමුණු ඉෂ්ඨ කරගන්න මේ සියලු දේ නිර්මාණය කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 64 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1383 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 641 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 200 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4628 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12964 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site