IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


ආර්ථිකය නැංවීමේ අයිතිය

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච් හා මුඩීස් යන ආයතන ශ්‍රී ලංකාව තරමක් ඉහළ මට්ටමකට පසුගිය 20 වැනිදා හා 23 වැනිදා ශ්‍රේණිගත කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙය ශ්‍රී ලංකාව නිල වශයෙන් ජාත්‍යන්තර ණය පැහැර හැරීමේ තත්වයෙන් බැහැර වීමක් ලෙස හඳුන්වා තිබිණි. සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද මෙය හඳුන්වා දී තිබුණේ රට ණය  පැහැර හැරී කණ්ඩායමෙන් බැහැරවීමක් ලෙසය.

ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කළේ 2022  අප්‍රේල් 12 වැනිදාය. පසුදාම මෙරට හා විදේශ ජනමාධ්‍ය එය හඳුන්වා තිබුණේ ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමක් ලෙසය. ශ්‍රී  ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධානියකු ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළේ 2022 ජූලි 5 වැනිදාය. ඒ එවක අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදීය.

රටක් නිල වශයෙන් ණය පැහැර හැරීම ප්‍රකාශයට පත් කිරීම බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමක් නම් එම රට ණය පැහැර හැරීමේ තත්වයෙන් බැහැරවීම බංකොලොත් භාවයෙන් බැහැර වීමකැයි ද තර්ක කළ නොහැකි ද? ශ්‍රී ලංකාව දැන් බංකොලොත් භාවයෙන් මිදී සිටීද?

ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන පසුගිය සතියේ  හා මේ සතිය මුල දී කළ නිවේදනවලින් පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රබල ආධාරකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් මෙය රට බංකොලොත්භාවයෙන් බැහැර වීමක් ලෙස පවසමින් එහි සම්පූර්ණ කීර්තිය වික්‍රමසිංහ මහතාට ලැබිය යුතු යැයි තර්ක කළේය.

සිදුවන සෑම දෙයකම කීර්තිය හෝ අපකීර්තිය පවතින ආණ්ඩුවට බාර කිරීමේ සිරිතක් සාමාන්‍ය ජනතාව තුළ පවතින නිසා ඔවුන්ගේ මේ කලබලවීම තේරුම් ගත හැක්කකි. සාමාන්‍ය ජනතාව එසේ කළ ද දේශපාලනඥයන් කරන්නේ අපකීර්තිය අනුන්ටත් කීර්තිය තමන්ටත් ලැබෙන සේ වාද කීරීමය.

ඒ අනුව විරුද්ධ පක්ෂයේ මතය අනුව හාල් සහ පොල් ආදියේ ඉහළ ගිය මිලට වගකිව යුත්තේ මාස තුනකට පෙර බලයට පත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. එසේම රුපියලේ අගය වැඩිවීම, කොටස් මිල දර්ශක ඉහළ යාම, අපනයන ආදායම ඉහළ යාම හා  සංචාරකයන්ගෙන් සහ  ප්‍රේෂණාවලින් ආදායම ඉහළ යාමේ කීර්තිය පසුගිය ආණ්ඩුව සතු විය යුතුය.

ආණ්ඩුවේ හිතවතුන් තර්ක කරන්නේ එහි අනෙක් පැත්තටයි. සහල් හා පොල් මිලට වගකිව යුත්තේ පසුගිය ආණ්ඩුවයි. එහෙත් සාර්ථක දෑ සම්බන්ධයෙන් කීර්තිය තමන්ට අත්විය යුතුය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදිම හා බංකොලොත්භාවය යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙරට දේශපාලනඥයන් අතර එකඟතාවක් ඇති බවක් නම් නොපෙනේ.

 ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු බවට ඉකුත් ජුනි 27 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි එම මාසයේ 23 වැනිදා සන්ඩේ ටයිම්ස්  පුවත්පත ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවතක් පළ කොට තිබිණි. 23 වැනිදාම ඒ ගැන ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශයක් කළ හර්ෂ ද සිල්වා මහතා පවසා තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බංකොලොත්භාවයෙන් මිදුණු බවට නිවේදනයක් නිකුත් කරන්නට යන නමුත් එවැන්නක් කළ යුත්තේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන බවයි.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමිකරුවන් සමඟ එකඟතාවක් ඇති කර නොගෙන එවැනි නිවේදනයක් කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය. පසුගිය දිනවල ණය ශ්‍රේණිගත  කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය ඉහළ දැම්මේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමිකරුවන් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමෙන් අනතුරුවය. එය ණය පැහැර හැරීමේ කණ්ඩායමෙන් ඉවත් කිරීමක් ලෙස ද සිල්වා මහතා පවසයි. එහෙත් දැන් ඔහු බංකොලොත්භාවය පිළිබඳ වෙනස් දෙයක් පවසයි.

දින කිහිපයකට පෙර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය ඉහළ දැමීමෙන් පසු ඔහු ජනමාධ්‍යයට පවසා තිබුණේ රටක් බංකොලොත් වීම කියා දෙයක් නැති බවත් රටක් බංකොලොත් නොවන බවත් ශ්‍රී ලංකාවේ මූල්‍යමය වගකීම්වලට වඩා වත්කම් ප්‍රමාණය ඉතා ඉහළ බවත්ය.

හිටපු මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතාද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමත් සමග රට බංකොළොත්භාවයෙන් මිදෙන බවට අදහසක් පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත්කළේය. රටේ බංකොලොත්භාවය අවසාන වීම පිළිබඳව ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සේමසිංහ මහතා ‘‘අපි දැන් ඉන්නේ ඒ ආසන්නයේයි. ලබන වසරේ  (20204) මුල් කාර්තුවේ දී අපි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කරනවා’’යි ඔහු කීවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා මෙරට රජයේ නියෝජිතයන් එම අරමුදලෙන් මෙරටට දෙන්නට යෝජිත වූ විස්තීර්ණ මූල්‍ය පහසුකම් පිළිබඳව 2022 සැප්තැම්බර් 1 වැනිදා එකඟතාවක් ඇතිකර ගත්හ.  2023 මාර්තු 20 වැනිදා එම අරමුදලේ විධායක මණ්ඩලය එම එකඟතාව අනුමත කරමින් ශ්‍රී ලංකාවට වසර හතරක් තුළ ඩොලර් බිලියන 2.9ක ණය දෙන්නට එකඟ විය.

ඒ ගැන එදිනම විශේෂ ප්‍රකාශයක් කළ එවක ජනාධිපති වූ වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත්  රටක්  ලෙස සැලකිය නොහැකි යැයි  පැවසීය. ඔහු ඊට හේතු වශයෙන් දැක්වුයේ ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව ඇති රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතිකයක් දීමේ හේතුවයි.

එහෙත් ඊට මාස එක හමාරකට පෙර පෙබරවාරි 8 වැනිදා ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාව 2026 දක්වා බංකොලොත් රටක් වශයෙන් පවතිනු ඇතැයි පැවසීය.

පසුව මාර්තු 20 වැනිදා රට බංකෙලොත්භාවයෙන් මිදුණු බව පැවසූ ඔහු යළිත් ජූනි 29 වැනිදා ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ වාර්ෂික සමුළුව අමතමින් පැවසුවේ එම වසරේ සැප්තැම්බර් මාසයේදී සමස්ත ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මිදෙනු ඇති බවයි. එහෙත් කුමක් පදනම්  කරගෙන තමන් එසේ පවසන්නේ දැයි ඔහු එහිදී පැවසුවේ නැත.

එම සැප්තැම්බර් මාසයේද රට බංකොලොත් බවින් මිදීමේ නිවේදනය ප්‍රකාශයට පත් නොවීය. ඒ වෙනුවට නොවැම්බර් 25 වැනිදා මාතලේ පැවැති රැස්වීමක් අමතා වික්‍රමසිංහ මහතා වසර අවසානයේදී රට  බංකොලොත් බවින් නිදහස්  වනු ඇති බව ප්‍රකාශ කළේය. ඔහු ඊට හේතු වශයෙන් දැක්වූයේ ආර්ථිකය ශීඝ්‍රයෙන් යළි යථා තත්වයට පත්වන බවයි.

මේ වසරේ ජූනි 26 වැනිදා ශ්‍රී ලංකාව ද්වි පාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් පැරිසියේදී එකඟතාවක් ඇති කර ගත්තේය. ඒ ගැන එදිනම ඉතා සතුටින් විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති වික්‍රමසිංහ මහතා ‘‘ මම සාර්ථකව  රට බංකොලොත් බවින් ඉහළට ඔසවා ගත්තෙමි’’යි සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂවල අවසාන රැස්වීම් පැවැත්වුණේ ඉකුත් සැප්තැම්බර් 18 වැනිදාය. 19 වැනිදාට ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිතයන් හා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡාවක්  නියමිතව තිබිණි. එම සාකච්ඡාව ගැන  සඳහන් කරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසාන දින රැස්වීමක කතා කරමින් වික්‍රමසිංහ මහතා ‘‘හෙට පැවැත්වෙන රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මිදෙන්නේ යයි’’ ප්‍රකාශ කළේය. එහෙත් එවැන්නක් ද නිල වශයෙන් සිදු නොවීය.

කෙසේ වෙතත් දැන් ණය ශ්‍රේණිගත කරන ආයතන ශ්‍රී ලංකාව සාපේක්ෂව ඉහළ ශ්‍රේණියකට නංවා ඇත. දැන් ඊට අයිතිවාසිකම් කියන්නෝ බොහෝය.

 දශක ගණනාවක් පුරා විදේශ ණය ගොඩ ගැසීමත්, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ වඩා අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තිත් හේතුවෙන් 2021/2022 වසරවල විශාල ආර්ථික අර්බුදයක් ඇතිවිය. කිසිදු රටක් ශ්‍රී ලංකාවට ණය නොදෙන තත්වයක්ද ඇති විය. මීට පිළියම් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට මුලදී විරුද්ධ වුවත් රාජපක්ෂ මහතා 2028 මාර්තු මාසයේදී ඊට එකඟවී එම අරමුදල සමග සාකච්ඡා ඇරඹීය.

ඒ සාකච්ඡාවලට සහභාගි වන මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාත් එම තනතුරුවලට පත් කරන ලද්දේ රාජපක්ෂ මහතා විසිනි. එම සාකච්ඡාවල දී ශ්‍රී ලංකාවට මූල්‍යමය හා නීති උපදෙස් දෙන ලාසාරඩ් හා ක්ලිෆර්ඩ් චාන්ස් යන ආයතන තොරා ගත්තේ ද රාජපක්ෂ ආණ්ඩුවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණයද ආණ්ඩුවේ අදහසක් නොව මූල්‍ය අරමුදලේ අනිවාර්ය කොන්දේසියකි. ඒ සඳහා ණය හිමියන් සමග කරන ලද සාකච්ඡාවලදී ද සිදුවී ඇත්තේ ණය හිමියන්ගේ අදහස්වලට මුල් තැන ලැබීමය. ආණ්ඩුව ණය ගෙවීම වසර දහයකට කල් දමා ගැනීමට අපේක්ෂා කළේය. එසේම ද්විපාක්ෂික ණය හිමියන් ණය කපා හරිනු ඇතැයි අපේක්ෂා කළේය. ඒවා සිදු නොවුයේ ණය හිමියන්ගේ අදහස්වලට මුල් තැන ලැබීම නිසාය.

ශ්‍රී ලංකාවට වෙන කරන්නට දෙයක්ද නැත. දැන් යමක් සිදුවී ඇත. ඒ අනෙකක් නොව හුස්ම ගැනීමට ඉඩකි. මෙය ආර්ථික සංවර්ධනයක් නොවේ. ඒ සඳහා වූ අවකාශයක් පෑදීම පමණි. ඒ සම්බන්ධයෙන්  වූ ‘‘කීර්තිය’’ සඳහා දබර කර ගැනීමෙන් පලක්  නැත. 2022 තුන් ගුණයකින් ද ඉහළ ගිය භාණ්ඩ මිල හා සේවා ගාස්තු තවමත් එතැනමය. කීර්තියක් ඇත්නම් ඉන් වැඩිම කොටස යා යුත්තේ මූල්‍ය අරමුදල වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාටය.

 

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (0)

ආර්ථිකය නැංවීමේ අයිතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 193 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 601 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 289 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 978 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 444 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 316 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 157 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 994 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site