2017 මහ බැංකු වාර්තාව පසුගිය සතියේදී නිකුත් විය. එහෙත් රටේ ආර්ථික වර්ධන වේගය ඉතාම පහළ මට්ටමට බැස ඇති බව ඊට පෙර සිටම අපි දැනසිටියෙමු. යම්කිසි රටක ආර්ථික වර්ධනය සලකා බැලෙන සෑම පැතිකඩකින්ම අපේ රට පසුබෑමට ලක්ව ඇති බව දැන් පැහැදිලිය. ජාත්‍යන්තර සංවිධානවලින් මේ තත්ත්වය අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබිණ. එහිදී ගෝලීය ආර්ථික සංසදය සිය 2017-2018 වාර්තාවේ ශ්‍රී ලංකාව ගැන කර ඇති සඳහන වැදගත්ය. ජාත්‍යන්තර ආර්ථිකයෙහි ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය 2016-2017 ට වඩා පහළ බැස තිබුණේ විශාල මට්ටමකිනි. 2015-16 දී රටවල් 140 කින් 64 වැනි ස්ථානයේ සිටි ලංකාව 2016-17 දී රටවල් 138 ක් අතරෙන් 71 වැනි තැන දක්වා පල්ලම් බැස්සේය. 2017-18 දී එය 85 ක් වැනි නරකම තැනකට පැමිණ තිබේ. මෙයින් කියැවෙන්නේ අපේ තරගකාරිත්වය ජාත්‍යන්තරය හමුවේ දිගින් දිගටම පහළ වැටෙමින් පවතින බවය. මෙහිදී තරගකාරිත්වය යන්නෙන් අදහස් වන්නේ ලංකා ආර්ථිකයේ ඵලදායිතාවය. රටේ ප්‍රතිපත්ති, ආයතන හා සෙසු සාධක සමඟ සලකාබැලීමෙන් ඒ ඒ රටවලට අගයන් ලබා දේ.
දකුණු ආසියාවේ සෙසු රටවල් සමඟ සැසඳීමේදී නේපාලය, භූතානය, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවල් 2016-17 දී තමන් සිටි තැනට වඩා ඉහළට පැමිණ තිබේ. මෙම ඉහළ නැගීම සිදුව තිබෙන්නේ නේපාලය 98 සිට 88 දක්වා ද භූතානය 97 සිට 82 දක්වා ද පාකිස්තානය 122 සිට 115 දක්වා ද බංගලාදේශය 106 සිට 99 දක්වා ද වශයෙනි. මෙම පහළ වැටීමට එම සංවිධානය හේතු දක්වන්නේ ලංකාවේ ආයතනික වශයෙන් වන විශාල බිඳවැටීමයි. ආර්ථිකය ගෙනයාමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන පද්ධතියක් තිබේ. මෙම පද්ධතියේ බිඳවැටීම දීර්ඝකාලීන ආර්ථික සංවර්ධනයක් කිරීමට දුෂ්කර තත්ත්වයක් උදාකරයි. විශේෂයෙන්ම භාණ්ඩ වෙළෙඳපොළේ කාර්යක්ෂමතාව පහළ යෑම හා ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය ඉතාම මන්දගාමී ස්වරූපයක් ගැනීම මෙම තත්ත්වයට බලපාන සෙසු සාධක දෙක වශයෙන් ගෝලීය ආර්ථික සංසදය දක්වයි. මේ සියල්ලෙන් පැවැසෙන්නේ ලංකාවේ දිගුකාලීන ආර්ථික දැක්ම ඇත්තේ එතරම් හොඳ තැනක නොවන බවයි. අනාගතය සුබ නැතැයි යන්නය. ආණ්ඩුවට සාර්ව ආර්ථික ඵලදායිතාව ඇති කිරීමට මේ ආණ්ඩුවට නොහැකි වී ඇත.
අපි ප්‍රධාන ආර්ථික කටයුතු නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය වශයෙන් බෙදා දක්වමු. සිදුවන දේ නිෂ්පාදනයට අයහපත් නම් එය පරිභෝජනයට ද බලපායි. උදාහරණයකට භාණ්ඩ නිෂ්පාදනයේ පිරිවැය ක්‍රමානුකූලව වැඩිවෙද්දී එය පරිභෝජනයට බලපායි. ජීවන වියදමට බලපායි. සාර්ව ආර්ථික විචල්‍ය මගින් මෙය විග්‍රහ කළ හැකිය. ජාතික නිෂ්පාදිතයේ වර්ධනය දිගින් දිගටම පහළ බැස ඇත. රුපියලේ අගය ද දිගින් දිගටම පිරිහී ඇත. රුපියලට අද වනවිට ලොව කුඩා මුදල් ඒකකයකටවත් මුහුණ දී ගත නොහැකිය. උද්ධමන වේගය ද එසේය. පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළ යද්දී රාජ්‍ය ණය හා පොලී අනුපාතත් එසේ ඉහළ ගොස් ඇත. ආණ්ඩුව අපේක්ෂිත අරමුණුවලට ආර්ථිකය රැගෙන යා නොහැකි වී ඇත්තේ මේ තත්ත්වය නිසාය. ආණ්ඩුව මේ තත්ත්වය තේරුම් නොගෙන වැරැදි තැනකින් අල්ලාගත්තොත් ඊට විසඳුම් සොයන්නට බැරිය.
ආර්ථිකයේ පැවැත්මට ප්‍රධාන වශයෙන් දායක වන්නේ පෞද්ගලික අංශයයි. එහිදී ව්‍යාපාරික විශ්වාසය යනු ව්‍යාපාරකරණයෙහි ප්‍රධානතම සාධකයකි. ව්‍යාපාරිකයන්ට ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය එයින් අදහස් කෙරේ. අද වනවිට මෙම ව්‍යාපාරික විශ්වාසය තිබෙන්නේ විශාල වශයෙන් බිඳවැටුණු තැනකය. ව්‍යාපාරික විශ්වාසය බිඳවැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් අලුත් ආයෝජන සිදු නොවන අතර රැකියා වෙළෙඳපොළට එය බලපායි. ව්‍යාපාර අලුතින් ආරම්භ නොවීම යනු රජයට ලැබෙන බදු ආදායමේ ද ප්‍රශ්න මතුවීමය. විදේශ විනිමය උපයන්නට හැකිවෙන්නේ අපනයන නිෂ්පාදනවලට ව්‍යාපාරිකයන් ආයෝජනය කළහොත්ය. මෙය තවත් සරල කළහොත් අවිනිශ්චිතතාව තිබෙන්නේ ආණ්ඩුවේය. ව්‍යාපාරිකයන් සිටින්නේ විශ්වාසභංගයෙන් ආණ්ඩුවට කුමක් වේද? කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් ආණ්ඩුවට කුමක් වේද, පාර්ලිමේන්තුවේ කොයි මොහොතක විසුරුවාවිද, සභාග ආණ්ඩුව අවසානද යැයි සිතමිනි. රටේ ආයතන සම්බන්ධයෙන් වන විශ්වාසය බිඳවැටීම යන්නෙන් අදහස් වන්නේ ද මේ තත්ත්වයයි. මෙය ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් බැලූ කල ඉතාම නරක තත්ත්වයකි.
ආණ්ඩුව ද හිතාමතා හෝ නොදැනුම්වත්කමින් බරපතළ වැරැදි කරයි. විවිධ බදු පනවයි. නැවත හකුලා ගනී. ඇතැම් බදු පැනෙව්ව ද ඒවා ක්‍රියාත්මක කරගත නොහැකිය. ආණ්ඩුවට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තියක් නැත. එහෙත් හිටිවනම ආදායම් බදු පනතක් ගෙනාවේය. ඇත්තවශයෙන්ම ආදායම් බදු පනතක් ගෙනෙන්නැයි කීවෝ කවරහුද? ආදායම් බදු පනතක් අවශ්‍ය වන්නේ දීර්ඝකාලීන ආර්ථික පිළිවෙත් ඇතිනම්ය. ආණ්ඩුව බදු නීති පනවන්නේ හිටි අඩියේ ජනතාවට හිතන්නටවත් ඉඩක් නොතබාය. උදාහරණයකට ආණ්ඩුව මෙවර ගෙනා බදු පනත සමඟ ප්‍රාග් ධන ලාභ බද්දක් පැනෙව්වේය. ප්‍රාග් ධන ලාභ නොව ලංකාවේ පවතින ආර්ථිකය යටතේ සැබැවින්ම මගේ ප්‍රශ්නය නම් බදු පනතක්ම කුමටදැයි කියාය. සැබැවින්ම ලංකාවේ තිබෙන්නේ අවිචාරවත් ආර්ථිකයකි. අවිචාරවත් ආර්ථිකයක් ඇති අවස්ථාවක කිසිදු රටක් බදු පනතක් ගෙනෙන්නේ නැත. මෙයින් සිදුවන්නේ ආයෝජනය තවත් අධෛර්යමත් වීමය. මෙවැනි පියවර ගනිද්දී ආයෝජකයන් දෙගිඩියාවට පත්වන්නේ ආණ්ඩුව ඉදිරියේදී තවත් කුමන දේ කරාවිදැයි කියාය. විශේෂයෙන්ම වසර එකහමාරක් වැනි කෙටි ආයුෂක් තිබෙන ආණ්ඩුවකට මෙම කෙටි කාලයේදී කළහැක්කේ කුමක්දැයි ඔවුන් සිතනවා ඇත. කැබිනට් මණ්ඩලයක් අලුතින් පත්කෙරෙන බව කීව ද නැවත අපට දකින්නට තිබෙන්නේ පරණ මුහුණුමය. ආණ්ඩුව මේ මොහොතේ අනුගමනය කරන කිසිදු පිළිවෙතකින් රටේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැත.
ආණ්ඩුව බලයට පත්වුණේ 2015 ය. එවක් පටන් මේ දක්වා ආණ්ඩුව හඳුන්වා දුන් එක් නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළක් නැත. එය ගණනින් නවයකට වැඩිය. එක් නිවැරැදි ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නම් තවත් වැඩපිළිවෙළක් අවශ්‍ය නොවේ. 2025 වනවිට ලංකාව ගෙනයන්නේ යැයි නව ඉලක්කයක් පසුගියදා ගෙනආවේය. ආණ්ඩුව එවැනි කතාවක් කියන්නේ මීට පෙර දුන් ඉලක්ක සපුරාගත් නිසා ද? ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මේවා ගැන නොසිතුව ද ජනතාව අසන්නේ මෙවැනි ප්‍රශ්නය. රාජ්‍ය ආයතන ගැන ඇති විශ්වාසය කඩා වැටීමට ප්‍රධානවම බලපෑවේ මහ බැංකු බැඳුම්කර වංචාවය. රටේ මූල්‍යනයේ නියමුවා හැටියට ශ්‍රී ලංකා මහ බැංකුවට තිබූ විශ්වසනීයත්වය මෙම සිදුවීමෙන් අතිශය දරුණු ආකාරයට පළුදු විය. ඉන්පසුව මහ බැංකුව කියන දේවල් ගැන මහජනයා ඒ තරම් විශ්වාස කරන්නේ නැත. රුපියලේ අගය පහළ යෑම රාජ්‍ය ණයවලට ඒ සා බලපෑමක් නොකරන්නේ යැයි පසුගියදා පවසනු ලැබුවේ මහ බැංකු අධිපතිවරයා විසිනි. මෙය වෘත්තියමය මට්ටමේ ප්‍රකාශයක් හැටියට සැලකිය නොහැකිය. මෙවැනි කතාවලින් සිදුවන්නේ පළුදු වූ මහජන විශ්වාසය තවත් පළුදු වීමය.
අධිකරණයට ද මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුව තිබේ. පොලිස් දෙපාර්තමේන්තුව, පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම ආදී වශයෙන් මේ ලැයිස්තුව දීර්ඝය. ප්‍රජාතන්ත්‍රවාදී යැයි සම්මත රටක පැවැතිය යුතු ව්‍යුහයක් තිබේ. ඊට වැදගත්කමක් තිබේ. එහෙත් අද වනවිට මේ සමස්ත සැකැස්මම තිබෙන්නේ සුජාතභාවය පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දීය. මේ ආයතන පද්ධතිය අද තිබෙන්නේ මහජන සමච්චලයට ලක්වීය. මේ ඉරණමට හේතු වී ඇත්තේ අදාළ ආයතනවලට පත්ව සිටින පුද්ගලයන්ය. නොඑසේව එම පුද්ගලයන්ගේ චර්යාය. උදාහරණයකට හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා පොහොර ගැන නොයෙක් කතා කීවේය. එහෙත් වගා කරන ගොවීන් පැවැසුවේ වෙළෙඳපොළේ පොහොර නොමැති බවය. පොහොර යනු නිෂ්පාදනයට සෘජුවම බලපාන දෙයකි. නිසි සැපයුමක් නොමැතිව ඇමැතිවරයා කියන්නන් වාලේ කියවීමෙන් නිෂ්පාදනයට ඇති කරන හිතකර බලපෑමක් නැත. අවසානයේදී අද ඔහු එම ධුරයේ ද නැත.
ආර්ථිකය ගැන කතා කරද්දී කිව යුතු ප්‍රධානතම දෙයක් වන්නේ මෙතෙක් කල් සාම්ප්‍රදායිකව කරගහගෙන පැමිණි ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති, නීති, රෙගුලාසි වෙනස් කිරීමට කාලය පැමිණ ඇති බවය. උදාහරණයකට අපේ රටේ ජීවන වියදම ගෙන බලමු. රටේ ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව අවිවාදයෙන් කවුරුත් පිළිගනිති. අප මේ ගැන බොහෝවිට කතා කරන්නේ පාරිභෝගිකයාගේ පැත්තෙනි. එහෙත් එහි අනෙක් පැත්ත කුමක් ද? රුපියලේ අගය පිරිහෙමින් ජීවන වියදම දිගින් දිගටම වැඩිවෙද්දී අහිමිවන්නේ පාරිභෝගිකයාට භාණ්ඩ හා සේවා ඇති මිලදී ගැනීමේ හැකියාවය. එයින් සිදුවන්නේ වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම පහළ බැසීමය. එනම් ජීවන වියදම වැඩිවීමෙන් සිදුවන්නේ නිෂ්පාදනය අධෛර්යමත් වීමය. මෙතැනදී අනෙක් අතට සිදුවන්නේ වැටුප් වැඩි කරන්නැයි ජන උද්ඝෝෂණ හටගැනීමය. මේ ලෙස වැටුප් වැඩි කළ විට නැවතත් සිදුවන්නේ නිෂ්පාදන වියදම වැඩිවීමය. එයින් නැවතත් පහර වදින්නේ තරගකාරිත්වයටය. සැබැවින්ම මෙය චක්‍රීය ප්‍රවාහයකි. බංගලාදේශය හා නේපාලය වැනි රටවල් අද ආමන්ත්‍රණය කරමින් තිබෙන්නේ මෙම තරගකාරිත්වයටය. අපේ තේ කර්මාන්තය ඇසුරෙන් මෙය පැහැදිලි කළ හැකිය. අපේ තේවල නිෂ්පාදන පිරිවැය එන්න එන්නම වැඩිවෙමින් තිබේ. ඊට ප්‍රධාන හේතුව වැටුප් පිරිවැය වැඩිවීමය. මෙය දිගින් දිගටම සිදුවද්දී කර්මාන්තය තවදුරටත් කරගෙන යනවාදැයි තීන්දු කිරීමට කර්මාන්තකරුවන්ට සිදුවේ.
අපේ රටේ රාජ්‍ය ආයතනද බල ධූරාවලියක් අනුව අවශ්‍ය නම් පෙළගැස්විය හැකිය. ඇතැම් රාජ්‍ය ආයතන ස්වභාවයෙන්ම බලවත්ය. කේවල් කිරීමේ ශක්‍යතාව වැඩි ආයතන කෙසේ හෝ පඩි වැඩි කරගනී. ලංකා විදුලිබල මණ්ඩලය හොඳ උදාහරණයකි. එහෙත් ඒ හැකියාව සෑම ආයතනයකටම නැත. පෞද්ගලික අංශයට අදාළව ගත්තොත් එය හැකියාව තිබෙන්නේ අතිශය පහළ තැනකය. මෙසේ බලද්දී රටකට ජීවන වියදම් දර්ශකයක් වැඩක් නැත. අපේ රටේ ද ජීවන වියදම් දර්ශකයක් තිබෙන මුත් එයින් අප ලබාගන්නා ප්‍රයෝජනය කුමක්දැයි පැහැදිලි නැත. වැටුප් වැඩි කිරීමේදී ජීවන වියදම් දර්ශකය අපේ රටේදී සැලකිල්ලට ගන්නේ නැති තරම්ය. එයින් සිදුවන්නේ රටේ ශ්‍රම වෙළෙඳ පොළ ව්‍යාකූල තත්ත්වයක් හටගැනීමය. මේ නිසා නැවතත් කර්මාන්තකරුවා ව්‍යාපාර පවත්වාගෙන යෑමේ ප්‍රශ්නයකට මුහුණ පායි. වගකිව යුතු ආණ්ඩුවක් කළයුත්තේ මිනිසුන්ට ලැබෙන පඩියෙන් ජීවත්වීමට හැකි ආකාරයට රටේ ජීවන වියදම කළමනාකරණය කිරීමය. නොඑසේව ජීවන වියදම වැඩිවීමට විසඳුම පඩි වැඩි කිරීම නොවේ. එසේ බලද්දී අපේ රටේ ආර්ථිකයේ හැසිරවීම් තවමත් සිදුවන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව බව පැහැදිලිය. ලංකාවේ ඇතැම් ක්‍ෂේත්‍රවල ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතී.
මීට ප්‍රධාන හේතුව වන්නේ රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක් නොමැතිකමය. අද සෑම තැනම ඩිප්ලෝමා, සහතික පාඨමාලා, උපාධි ප්‍රදානය කරන ආයතනය. පුවත්පත් දැන්වීම් පුරා දකින්නේ මෙවැනි ආයතනය. තරුණ පිරිස කරන්නේ ද වයස අවුරුදු විසි පහ තිහ පමණ වනතෙක්ම මෙවැනි පාඨමාලාවල නිරතවීමය. අවසානයේදී ලබාගන්නා සහතිකයට සරිලන රැකියා වෙළෙඳපොළේ නැත. සුදුසුකම් හා වෙළෙඳපොලේ පවතින රැකියා අතරේ ඇත්තේ විශාල නොපෑහීමකි. අර්ධකාලීන රැකියා සඳහා වෙළෙඳපොළක් තිබීම හොඳය. ලෝක ප්‍රවණතාව ද එයයි. අප ද එවැනි ප්‍රවේශවලට යා යුතුය. නීති වෙනස් විය යුතු යැයි මා කියන්නේ ඒ නිසාය. චීනෙන්, ඉන්දියාවෙන් කම්කරුවන් ඇවිල්ලා යැයි කියමින් නාහෙන් අඬන්නට සිදුවන්නේ මෙවැනි වෙනස්වීම් ගළපාගැනීමට නොහැකි වීමෙනි.
උද්ඝෝෂණ, ජන රැලි, විරෝධතා ආදිය නිසා ජාත්‍යන්තර වශයෙන් අද අපේ රට ගැන තිබෙන පැහැදීම තිබෙන්නේ දුර්වර්ණ වෙමිනි. ඉන්පසු සිදුවන්නේ අදාළ රට සංචාරයට යහපත් රටක් නොවන බවට නිවේදන නිකුත් වීමය. එවැනි වාරණ සංචාරක ව්‍යාපාරයට අන්තිම නරකය. රටේ නිෂ්පාදනයේ ඵලදායකත්වය වර්ධනය කිරීමට ආණ්ඩුවට හැකිවන්නේ මෙම වටපිටාව ගැන නිසි අවබෝධයකින් සාර්ව ආර්ථික විචල්‍ය විෂයෙහි ගන්නා නිවැරැදි තීන්දු මගින් පමණි. ආණ්ඩුවක් එවැනි තීන්දු ගැනීමට නම් ඊට දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතුය. එහෙත් ආර්ථික ප්‍රසාරණයෙහිදී අද මතුව ඇති ප්‍රධානතම ප්‍රශ්නය නම් ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීමය. බුද්ධිගලනය වැඩිවීමෙන් අපට පවසන්නේ එම කතාවය. බුද්ධිගලනය වැනි රටක අනාගතය යහපත් නොවේ. මහජනයා සිය ඡන්දයෙන් නියෝජිතයන් පත්කරන්නේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයකට අද අවකාශයක් නැති නිසාය. එසේ පත්කරන නියෝජිතයන් පක්ෂ දේශපාලනය හිසේ තබාගෙන බල ව්‍යාපෘති ගැනම කතා කර කර සිටීමෙන් රටකට අත්වන සුගතියක් නැත. රටේ ප්‍රමුඛම ප්‍රශ්නය ආර්ථික අර්බුදය වුවද රට කරවන ඇත්තන් කතා කරන්නේ පක්ෂය රැක ගැනීම ගැනය. පක්ෂය දෙකඩ වීම ගැනය. ඇමැතිකම රැකගැනීම ගැනය. පක්ෂ ප්‍රතිසංවිධානය ගැනය.
අවාසනාවකට මෙන් මේවා විමසිය යුතු ජනමාධ්‍ය කරන්නේ දේශපාලන ව්‍යාපෘති කරේ තියාගෙන යෑමය. ඇත්තවශයෙන්ම ජනමාධ්‍ය ද සිය කාර්යභාරය අත්හැර මේ තත්ත්ව නොවිමසා සිටීම කනගාටුවට කරුණකි. රටේ සිදුවන්නේ කුමක්ද යන්න අද අපි සැවොම හොඳින් දනිමු. එහෙත් නායකයන් යැයි කියාගන්නා තැනැත්තන් හැසිරෙන්නේ සීතාම්බර පට නාටකයේ රජා මෙනි. පාරේ ගිය දරුවාගේ කාරිය කිරීමට සමත් උපදේශකයකු පෙනෙන්නටවත් නැත.
සටහන - බිඟුන් මේනක ගමගේ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථිකයද බල අරගලයද
de silva berlin Wednesday, 02 May 2018 06:30 AM
ඉතා වැදගත් අදහස් සහිත හොඳ ලිපියක් , හොඳම උදාහරණය ජර්මනියේ 2005 -2006 ආර්ථික වර්ධන වේගය අඩුවෙලා තිබෙනකොට එරට රජය එරට නිවාස ණය සහ ව්‍යාපාරික ණය පොලි අනුපාතය වර්ෂයකට 1% වැනි අඩු අනුපාතයකට පහල දැම්මා, එවිට මිනිස්සු නිවාස ඉදිකරන්නටත් ව්‍යාපාරිකයෝ තම ව්‍යාපාර වැඩි දියුණු කිරීමට සහ අලුත් ව්‍යාපාර පටන්ගැනීමට පෙළඹුනා.
Thilina Wednesday, 02 May 2018 07:03 AM
ඉතාමත් හරවත් ලිපියක්. නායකයින් යැයි කියාගන්නා රට ගැන අබමල් රේණුවක් තරම්වත් කැක්කුමක් නැති උදේ ඉදන් රෑ වෙනකම් තමන්ගේ පක්ෂයේ ගොඩ වැඩි කරගන්න ඇමතිකම් බෙදාගෙන දගලද්දී කොහෙන්ද ආර්ථිකය හදන්න වෙලාවක්... ගොවි පුතෙක් ලක්ෂ 62 මිනිස්සු රවට්ටලා අද වඩු බාස් කෙනෙක් වෙලා කරන්නේ කැබිනට් හදන එකයි, කඩන එකයි.
ලුම්බිණි Thursday, 03 May 2018 06:14 AM
'...ඇත්තවශයෙන්ම ජනමාධ්‍ය ද සිය කාර්යභාරය..' හරියට නොකරන බව කියපු එක ලොකු දෙයක්. කිසිම වැදගැම්මකට නැති දේශපාලකයන්ට මුල් පුවත් දෙන මාධ්‍යක් අද තිබෙන්නේ. මාධ්‍ය තැනක් දෙන්නේ නැත්නම් මොවුන් මිනිසුන්ට අමතක වෙලා.