IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


ඇත්ත - නැත්ත : අතේ රෝල්

 ජයතිලක ද සිල්වා

ඇත්ත නැත්ත සහ ‘අතේ රෝල්’ තුන් ඈඳුත්තකි. ඒවා එකට බැඳුණු සියුම් නිවුන් දරුවන් හා සමාන ය. සියුම් ව වෙන් කළ යුතු ය. ඇත්ත නැත්ත එකම කාසියෙහි දෙපැත්තකි. අතේ රෝල් නියමින්, හෝ අනියමින් ඒ දෙකට ම සම්බන්ධ ය. ඇත්ත යථාර්ථයෙහි පවතින්නක් වන අතර අතේ රෝල් සැබැවින් ම ප්‍රබන්ධ මිස අන් කිසිවක් නො වේ. 

යමක් සිදු වෙයි. එය දෙරණ තලයෙහි හා කාලයෙහි පැතිරෙයි. ඒ අතරතුර නිරතුරුව ම නා නා අයුරින් වෙනස් වෙයි. බොහෝ විට එකම කතාවෙහි ප්‍රභේද බොහෝ ය. එක් කුකුල් පිහාටුවක් පිහාටු හතක් වෙතැ යි අපේ පැරැන්නන් කීවේ ඒ ගැන ය. 

මේ සියල්ල දුරකතන, රේඩියෝ සහ රූපවාහිනියට බොහෝ ඈත සිට ය. එකල ද කට වචනය බලගතු ව පැවැතියේ ය. පුවත් පැතිරෙත් ම එය ද පුවතක් වෙයි. පුවතකින් පුවතක් බිහි වෙයි. මෙසේ පුවත පැටව් ගසමින් ඉදිරියට යත් ම මුල් පුවත අමතක වන්නට ද පිළිවනි. මිනිසුන්ගේ සිරිත අවසාන පුවත ගැන කතා කිරීම මිස කල් ඉකුත් වූ පුවත් ලුහුබැඳීමක් නො වේ. එය ඉතිහාසකරුවාගේ කාරියයි. නිදසුනක් ලෙස ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබඳ ප්‍රශ්නය ගන්න. අද කතා කැරෙන්නේ උසාවියෙන් සිර දඬුවම් ලද උන්වහන්සේට ජනාධිපතිතුමන් විසින් සමාව දෙනු ඇත් ද යන්න ය. එහි මුල් පුවත ගරු හිමියන් විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට නොසැබි වදනින් නිගරු කිරීම වෙයි. ඇය බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ ය. පළමුව කතා බස් තෙරිඳුන්ගේ හැසිරීම ගැන වුවද දැන් ඒ ගැන හාරා අවුස්සන කෙනෙකුන් නැති තරම් ය. දැන් කතා කෙරෙන්නේ සමාව දීමෙහි හොඳ නරක ගැන පමණි. ඔවුන් කරන්නේ කවුරුන් හෝ කී දෙයක් යළි උච්චාරණය පමණි. 

පුවත් අති බලගතු ය. එහි ඵල ක්ෂණික ය. පුවත් පියාඹතැයි කිව හැකි ය. ඩිජිටල් සන්නිවේදනයෙහි වත්මන් යුගයෙහි එය වඩාත් ඇත්තකි. එහෙයින් අද ජනමාධ්‍ය දේශපාලන රාජ්‍යය තරම්ම ප්‍රබල ය. මාධ්‍ය විසින් රජුන් තනන බවක් ද කියැවෙන්නේ අහේතුක ව නොවේ. එහෙත් එය හැමදා හැම තැනටම ගැළැපෙන නියමයක් නොවේ. අද කාලයෙහි යුද සටන්වල දී ජන මාධ්‍යය නැති ව ම බැරි වන්නේ ද ඒ නිසා ම ය. ජනමාධ්‍ය ද අද සංග්‍රාම ආයුධයකි. 

එයට එකම හේතුව තාක්ෂණවේදයෙහි ප්‍රබලතාව යැයි කිව නොහැකි ය. කුඩා වියට්නාමය අති නූතන සන්නාහයෙන් සන්නද්ධ ප්‍රබල ප්‍රංශ සහ ඇමෙරිකන් හමුදා පැරැදවීමෙන් ම ඒ බව සාධනය වෙයි. 

කට වචනය වුව ප්‍රබල ආයුධයකි. හදිසි අවස්ථාවන්හි “කටකතා” පැතිරීම සාපරාධී අපරාධයක් සේ සැලැකෙන්නේ එබැවිනි. සාමාන්‍ය කාලයෙහි වුව සන්නිවේදන මාධ්‍යයක් ලෙස කටකතා මහත් ව්‍යසන කැඳවන බව අපි අත්දැකීමෙන් ම දනිමු. ඇත්තට ම විටෙක එහි බලය හිරෝෂීමාවට වන් බෝම්බ සිය ගණනක තරම් විය හැකි ය. 

පුවත් පවුලෙහි අලුත්ම සාමාජිකයා හඳුන්වන්නේ ජනාධිපති ට්‍රම්ප් ගේ බසින් කිවහොත් “ෆේක් නිවුස්” හෙවත් ව්‍යාජ පුවත් ලෙස ය. කවදත් සුහුරු අපේ ජනමාධ්‍යවලට ද එය පැතිර ඇත. නිදසුනක් වශයෙන්, සිරස්තල මඟින් අවිචාරයෙන් හුවා දක්වන ලද නමුත් පසුගිය දිනෙක කොළඹ කළැයි කී විරෝධතාවට පැමිණියවුන්ට වස මුසු කළ කිරි බෙදාදීමෙහි පුවත සඳහන් කළ හැකි ය. 

සාමාන්‍යයෙන් ජවයක් සහිත අපේ ජනමාධ්‍යයෙහි දුබලකම පෙනෙන්නේ ආර්ථික සහ දේශපාලන වාර්තාකරණය තුළ සහ ගවේෂණාත්මක මාධ්‍යවේදයෙහි දී ය. දේශපාලනයෙහි වාර්තාවන්නේ දේශපාලකයන් ගේ හර සුන් කතා මිස ජනතාවට වැදැගත් ප්‍රශ්න නො වේ. කතා නොව ක්‍රියා වාර්තාකරණය කොහෙත් ම ප්‍රමාණවත් නැත. ඇතැම් විට රටේ කැරෙන වැඩකුත් නැති නිසා වන්නටත් පිළිවනි. 

මෙම තත්ත්වය තුළ මාධ්‍යයෙහි රික්තය පිරැවෙනුයේ ඕපාදූපවලිනි. ආර්ථික ප්‍රශ්නවලදී දේශපාලකයන්ගේ කතාවල තැන පුරවන්නේ ආර්ථික විශේෂඥයන් විසිනි. හර බර විමැසුම් ගැඹුරු අවලෝකන පරිලෝකන හිඟ ය. නිදසුන් මඟින් අපේ මාධ්‍ය සහ එහි පාඨක/ශ්‍රාවකයන් ගේ හැසිරීම බලමු. 

අපේ උගත් ජනාධිපති නීතිඥවරයකු මෙන්ම උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජාතික පොලිස් කොමිසම වැඩිහිහිටි නිවාසයක් හෙවත් මහලු මඩමක් යැයි පැවැසූ බවට ජනමාධ්‍යයෙහි ඉහළින් ම වාර්තා විය. එවන් විද්වතකුගේ කියමනක් නොවිමසා ඉවත දැමිය නොහැකි ය. එහෙත් පොඩි පරහක් දෙකක් ඇත. පළමු වැන්න කොමිසමෙහි ඇතැම් සාමාජිකයන් නම් කරන ලද්දේ ජනාධිපතිතුමන්, අගමැතිතුමන් සහ ගරු කතානායකතුමන් විසිනි. එතුමන්ලා කැර ඇත්තේ වරදක් ද? ගරු ඇමැතිතුමන් කැරැ ඇත්තේ සිය නායකයන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමක් නො වේ ද? දෙවැන්න එම කොමිසමෙහි එක් සාමාජිකාවක වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ඉහළ තනතුරක් දරන අත්දැකීම් බහුල උගත් කාන්තාවකි. ඇයට ද අපේ ඇමැතිතුමාට මෙන්ම ආචාර්ය උපාධියක් ද ඇත. ඒ ගැන ඇය තැන තැන කතා නොකළාට අප එය මෙහි මතක් කරන්නේ කොමිසමෙහි සාමාජිකයන්ගේ තරාතිරම දැක්වීමට ය. තවත් සාමාජිකයකු රාජ්‍ය සේවාවෙහි උසස් තනතුරු කලක් දැරූ මහත්මයෙකි. මේ හැම දෙනාම මහලු මඩමට යවන්නට ගරු ඇමැතිතුමාට වුවමනා වූයේ කවර “අධ්‍යාපනික සහ සාංස්කෘතික” හේතු මත ද? කෙසේ වෙතත් එතුමන්ගේ වචනය එලෙසින් ම පිළිගන්නා උදවිය සිටිය හැකි ය. වාසනාවට ගරු ඇමැතිතුමන් ගේ ගරු සරු නැති කතාවට පොලිස් කොමිසම සිය අභිමානය රැක ගනිමින් ම පිළිතුරු සපයා ඇත්තේ තමන්ට පවරන ලද රාජකාරිවලින් සියයට 85ක් පමණ ඉටු කැරැ ඇති බව පවසමිනි. 

සියලු මිනිසුන් දාර්ශනිකයන් බව ග්‍රාම්ස්චි කීවේ ය. සියලු මිනිසුන් දේශපාලන සත්ත්වයන් යැයි අපි කියමු. ඇරිස්ටෝටල් ද ඒ බව පවසා ඇත. එහෙත් ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ම විචාරශීලි යැයි අපට කිව නොහැකි ය. නිදසුනක් ගතහොත් සිය දරුවන් ගේ විභාග ප්‍රතිඵල සාර්ථකත්වය රඳන්නේ ලෝකෝත්තර බලයක් මත හෝ දේවාශීර්වාදය හෝ මත යැයි බොහෝ දෙනා සිතත්. පාසල් සහ රාජ්‍ය ආයතන විසින් ද ඒ බව පිළිගන්නා සැටියෙකි. මෙය හරියට ලොව්තුරු බුදුන්, යේසුතුමන් හෝ නබි නායකතුමන් විභාග කොමසාරිස් පදවියට පත් ව ඇති සේ ය. අද සුබ ඵල ගෙන දෙන විවිධ අත් පැළැඳුම් භාවිතාවක් ඇතැමුන් අතර පවතී. දේශපාලනඥයෝ ඉන් ප්‍රමුඛයෝ හ. වෛවර්ණ නූලෙන් ගොතන ලද ලණුවක මහත ඇති වළලු මෙන් අත් පළඳනා පැළැඳ හෝ නාගුණවැල් ඇඟිලි තුඩු අතර රඳවා ගත් දේශපාලනඥයන් ඔබ දැක ඇතැ යි සිතමු. මේ අප නායකයන් දැ යි ඇතිවන්නේ සංවේගයෙකි. 

මෙම අවිචාරශීලිත්වයට බොහෝ විට නොදැනුවත්කම ද එක් වෙයි. නිදසුනක් ගනිමු. යළි පොලිස් කොමිසම වෙත අවධානය යොමුකළ හොත් වත්මන් පොලිස්පති ඉවත් නොකළැ යි ඇතැම් ඇමැතිවරු එයට දොස් පැවැරූ හ. එම කොමිසමට ඒ සඳහා බලයක් නැති බව ඔවුහු නො දත් හ. ඇමැත්තෝ සියල්ල දත්තෝ නොවන බව එයින් පසක් විය. එම බලය ඇත්තේ ජනාධිපතිතුමන්ට පමණකි. පත් කිරීමෙහි අධිකාරය ද ඔහු සතු ය. මෙම නොදැනුවත්කම මකාලීම ජනමාධ්‍යයෙහි ද වගකීමකි. එහෙත් ඇතැම් ජනමාධ්‍ය ද නූගත්කම වැපිරූ බව කිව යුතු ය.

මෙම නූගත්කම බොහෝ විෂය අරබයා පවතී. මානව හිමිකම් නිදසුනකි. ඒවා සදා එක සේ පවත්නා දේ නො වේ. මානව හිමිකම් සංවර්ධනය වූයේ සමාජයෙහි, ශිෂ්ටාචාරයෙහි සංවර්ධනයත් සමඟ ය. මානවයා ඒවා හැඳිනගත්තේ සහ ඒවාට ගරු කරන්නට පටන්ගත්තේ ද අනුක්‍රමයෙනි. එය ශිෂ්ටාචාරයෙහි මිණුම් දණ්ඩක් විය. අදත් ඇතැම් මානව හිමිකම් අහිමි ව ඇත්තෝ බොහෝ වෙත්. එබැවින් එකලට ගැළැපුන ද වර්තමාන සමාජය සඳහා ක්‍රිස්තු පූර්ව පස් වැනි සියවසෙහි මානව හිමිකම් සප්‍රාමාණික නො වේ. ඇතැම් අණ පනත් මඟින් මානව හිමිකම් අහිමි කැරීමෙහි පුරුද්ද ද ඉවත ලිය යුතු ය. එසේ වුව ද නිදසුනක් වශයෙන්, යෝජිත නව ත්‍රස්තවාද විරෝධී පනතෙහි ද වින්දිතයන්ට වදහිංසා පැමිණවීමට ඉඩ සලසන කටඋත්තර පාපෝච්චාරණ සේ පිළිගැනීමෙහි වගන්තියක් ඇති බව සැළ යි.
සංඛ්‍යාන දත්ත ද බොහෝ විට භාවිත වන්නේ දැනුවත්කම වඩාලීමට වඩා ඇත්ත වසන්කැරීමට ය. නිදසුනක් වශයෙන් කිසියම් පෙදෙසක එක් පාසලක සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කළ හොත් එය දැක්වෙන්නේ මුළු පළාතෙහි ම තත්ත්වය මහත් සේ නංවාලීමක් සේ ය. එහෙත් යථාර්ථය පළාතේ පාසල් සියයට අනූවක එම පහසුකම් නොමැති වීම ය.

 



අදහස් (0)

ඇත්ත - නැත්ත : අතේ රෝල්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 244 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 126 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 495 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 693 4

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 689 1

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 13580 5

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 935 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 410 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 561 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site