IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඇත්ත නොදැකීමේ විපාක

ශ්‍රී ලංකාව මේ වනවිට රටක් හැටියට තිබෙන්නේ ආර්ථික වශයෙන් අන්තිම නරක තැනකය. එහෙත් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී ආණ්ඩුවේ බොහෝ පිරිස් දක්වන අදහස්වලින් අපට සන්නිවේදනය වන කරුණක් තිබේ. එනම්, රටට මෙවැනි ඉරණමක් අත්වන බව දැන නොසිටියේය වැනි අදහසකි. රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ විද්‍යානුකූල දත්ත පදනම් කරගෙනය. එනිසා මේ කියන කතා විද්‍යාත්මකද කියා විමසීමට එවිට අපට සිදුවේ. විශේෂයෙන්ම ප්‍රතිපත්ති සකසුවන් මේ දේවල් දැනගත යුතුය. මක්නිසාද යත් මෙවැනි තැනකට රට වැටෙන බවට ඇසට පෙනෙන ආර්ථික දත්ත එළිමහනේ ඇති බැවිනි.

2017, 2018 කාලයේදී මහ බැංකු අධිපති ධුරය දැරුවේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාය. 2019 හා 2020 යනු වැඩිපුරම ණය ගෙවන්නට සිදුවන කාලයක් වන නිසා රටේ ආර්ථිකයට ඉදිරියේදී ලබන්නේ නරක දශාවක් බව කුමාරස්වාමි මහතා කල්තියා පැවැසුවේය.

එවිට ආණ්ඩුවත් විපක්ෂයත් අප වැනි නිරීක්ෂකයනුත් කවුරුත් මේ ඉරණම ගැන තොරතුරු ඇතිව සිටියහ. මේ ණය ගැන සූදානම කවර තත්ත්වයක තිබුණේදැයි කිවහොත් වැඩිපුර ණය ගෙවීම සඳහා ද කුමාරස්වාමි පාලනය යටතේ යම් සූදානමක් තිබිණි. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර යනු රජයකින් ගන්නා ණය නොවේ. එය වෙළෙඳපොළකි. එවැනි තැනකින් ගන්නා ණයට සහන ලබාගැනීම කළ නොහැකිය. මා මේ කරුණ අවධාරණය කරන්නේ ණය අර්බුදයක් ඇතිවන බව නොදැන සිටියේ යැයි කාටවත් කියන්නට බැරි බව පෙන්වාදීමටය. ප්‍රතිපත්ති සකසන වගකිවයුත්තන් මේවා දැනගත යුතුය. අපට ඇති ප්‍රධානම ප්‍රශ්නය එයයි. මේ ණය අර්බුදයට කොරෝනා වයිරසය සමග කිසි සම්බන්ධයක් නැත. එය කොරෝනා නිසා ජනිත වූවක් නොවේ.

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයත් අගෝස්තු මහමැතිවරණයත් අතර කාලපරිච්ඡේදය ලංකාවට අහේනි සමයක් විය. ඊට බලපෑවේ යහපාලන ආණ්ඩුව රවි කරුණානායක මහතා මුදල් ඇමැති කර ඉදිරිපත් කළ කඩිනම් අයවැයයි. කෙටියෙන් කිවහොත් එය මහත් විනාශකාරී අයවැයක් විය. ඒ විනාශකාරීත්වයට ඇත්ත හේතුව වූයේ අගෝස්තුවේ මහමැතිවරණය ජයගනු පිණිස රටේ ආර්ථිකය උත්තේජනය කරනු වස් ආණ්ඩුව මිනිසුන්ට මූල්‍යමය වශයෙන් අල්ලස් දීමය. එම පියවර වැරැදි එකක් බව කියමින් කරුණානායක අයවැයේ හානිකර ස්වරූපය මම ඒ අවස්ථාවේම පෙන්වා දුන්නෙමි. අයවැය හිඟය අපේ රටට අලුත් ප්‍රශ්නයක් නොවේ. හම්බ කරන මුදලට වඩා වියදම් කිරීම සිදුවන්නේ කාලයක පටන්ය. ණය අත්හළ විට උපයන මුදල පවා රටේ එදිනෙදා වියදම්වලටවත් ප්‍රමාණවත් නැත. මෙම තත්ත්වය යම් ආකාරයකට වෙනස් කරගෙන එදිනෙදා වියදම්වලට ප්‍රමාණවත් මුදලක් උපයාගැනීමට 2018 හා 2019 වසරවලදී හැකි විය. ඒ පනහ දශකයෙන් පසුව ප්‍රථම වරටය. මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගේ කාලයේදී මෙම ප්‍රතිඵලය ලැබුණේ බදු පද්ධතිය යම් ආකාරයකට විධිමත් කරගැනීමෙනි. එය ද ප්‍රසිද්ධ දත්තයකි. රහසක් නොවේ.

එහෙත් මේ ආණ්ඩුව බලයට පත් වූ විගස කළේ කුමක්ද? විශාල වශයෙන් බදු කප්පාදුවකට යෑමය. අද වනවිට එය ආර්ථික වශයෙන් ලංකාවට වින්නැහියකි. නව ආණ්ඩුව බලය ලැබුණත් අයවැයක් ඉදිරිපත් කළේ නැත. නව ව්‍යාපෘති සඳහා මුදල් යෙදීමකින් තොරව එදිනෙදා වැටුප් ගෙවමින් ගෙනයන පාලනයකට ඔවුහු අවතීර්ණ වූහ. එවැනි පිළිවෙතක් අනුගමනය කරන අතරේම ඉතා දරුණු ආකාරයෙන් ආදායම අඩුවන ආකාරයේ බදු කප්පාදුවකට ද තීරණ ගත්හ. ආණ්ඩුවක් එවැනි තීන්දුවක් ගත්තේ නොදැනුවත්කමට නොවේ.

බදු නොගෙවන රටක බදු ප්‍රතිශතය අඩු කළහොත් මිනිසුන් බදු ගෙවන්නට පටන් ගනු ඇත යන්න මෙවැනි අවස්ථාවල ඉදිරිපත් කළ හැකි එක් තර්කයකි. දෙවැනි තර්කය වන්නේ බදු ගෙවීම ඉතා දුෂ්කර රටක බදු අඩු කර වැඩි දෙනකු ග්‍රහණයට ගැනීමෙන් ආර්ථිකය ශීඝ්‍රයෙන් උත්තේජනය කිරීමයි. මෙය සරල නිදර්ශනයකින් මෙසේ පැහැදිලි කළ හැකිය. යම් සමාගමක් රුපියල් සියයක ආදායමක් උපයද්දී ඔවුන්ගෙන් රජය සියයට දහයක බදු ආදායමක් ලබන්නේ යැයි සිතන්න. රජය ලබන බදු ආදායම රුපියල් දහයේ සිට හත දක්වා අඩු කළ විට ඔවුන්ට එයින් ලැබෙන සහන භාවිත කිරීමෙන් මෙතෙක් ලැබූ රුපියල් සියයේ ආදායම රුපියල් දෙසීය දක්වා වැඩි කරගත හැකි නම් සිදුවන්නේ කුමක්ද? රජය මෙතෙක් ලැබූ රුපියල් දහයේ බදු ආදායම රුපියල් දහ හතර දක්වා වැඩිවීමය. එහෙත් ආණ්ඩුව බදු කප්පාදුවට ගත් තීරණයෙන් පසු මෙවැනි වෙනසක් රටේ සිදුවී නැත. ඒ මන්දැයි විමසීමට නම් ලංකාවේ බදු ප්‍රතිශත ගැන අපට අවධානය යොමුකිරීමට සිදුවේ.

සාමාන්‍යයෙන් ලංකාවේ අය කරන්නේ අඩු බදු ප්‍රතිශතය. ලොව සෙසු රටවල් සමග සසදද්දී ලංකාවේ ඉහළ වැටුප් ලබන වෘත්තිකයන් රජයට ගෙවන බද්ද ඉතා අඩුය. මම ආයතනයක උපදේශකවරයකු හැටියට වැටුප් ලබද්දී එයින් කොටසක් බදු හැටියට කපාගෙන රජයට ගෙවමින් සිටියෙමි. පසුගිය නොවැම්බරයේදී එම බදු කප්පාදුව ද ඉවත්කිරීමට නීති සම්පාදනය විය. මා අසන්නේ එසේ කළේ ඇයිද කියාය.

 රටේ ආර්ථික තත්ත්වය ගැන දන්නා ආර්ථික පිළිවෙත සකසන්නන් මෙවැනි තීන්දු ගත යුතු නැත. දැන් බොහෝ අසාර්ථකවීම් හමුවේ පිළිතුරක් බවට කොරෝනාව පත්කරගන්නා බවක් පෙනී යයි. එහෙත් රටේ ආර්ථිකය ඍණ අගයකට යන්නට පටන්ගත්තේ 2020 වසරේ පළමු කාර්තුවේ පටන්ය. එම කාර්තුවේ කොරෝනා බලපෑම තිබුණේ දින එකොළහක් පමණි. එම කාර්තුවේදී මේ රටේ සංචාරක කර්මාන්තයක් ක්‍රියාත්මක විය. සංචාරකයෝ ද රට පුරා පැමිණ සිටියහ. එම නිසා සමස්ත කාර්තුවක ප්‍රශ්න කොරෝනා පිටින් දමන්නට නොහැකිය. ආණ්ඩුව අනවශ්‍ය ලෙස ආර්ථික දත්ත ප්‍රමාද කර මැතිවරණය මුව විට නිකුත් කළේ මේ කතාව දන්නා නිසාය. මා මේ කාරණා අවධාරණය කළේ ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත සකසන්නන් වැරැදි තීන්දු ගත්තේ කරුණු නොදැන නොවන බව පෙන්වාදෙන්නටය.

මගේ නිරීක්ෂණය නම් මෙවැනි තත්ත්වයක් උදාවීමට ප්‍රධාන හේතුවක් වන්නේ රටේ සැබෑ තත්ත්වය ගැන සැබෑ විග්‍රහයක් ආණ්ඩුවට නොතිබූ බවය. ඒ නිසාම ඊට විසඳුම් සොයාගැනීම අද උගහට වී ඇති බවය. ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසුව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පළ කළ අදහස් මෙහිදී සැලකිල්ලට ගැනීම වටී. රාජ්‍ය සේවය අකාර්යක්ෂම යැයි ද එය අනවශ්‍ය ලෙස ප්‍රසාරණය වී ඇතැයි ද කී ජනාධිපතිවරයා අවධාරණය කළේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණ කළ යුතු බවය.

එහෙත් ඔහුගේ ආණ්ඩුකරණ පිළිවෙත වූ සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වූයේ රාජ්‍ය සේවයේ අලුතින් රැකියා දෙන බවටය. ඒ, උපාධිධාරීන්ට හා සාමාන්‍ය පෙළ අසමත් පහළ මට්ටමේ ආර්ථික තත්ත්ව ඇත්තනුත් වශයෙන් දෙකට බෙදාය. ආණ්ඩුව ඒ පොරොන්දුව ඉටුකිරීමට උත්සාහ කළේ මහමැතිවරණ සමයේය. මැතිවරණ කොමිසම මැතිවරණ සමයක එසේ රැකියා ප්‍රදානය අයුතු බලපෑමක් බව කියද්දී ආණ්ඩුව කළේ මෙකී රැකියා ප්‍රදානයට තමන්ට අවසර නොදෙන බවට කොමිසම දෝෂදර්ශනයට ද ලක් කිරීමය. අපට ඇති ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා රාජ්‍ය සේවය ප්‍රසාරණය ගැන විවේචනාත්මක අදහස් පළ කරන අතරේම මෙවැනි තීන්දු සෞභාග්‍යයේ දැක්මට අන්තර්ගත කළේ ඇයිද කියාය.

යහපාලන ආණ්ඩුව 2020 ජනවාරි මාසයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිකිරීමට තීරණයක් ගෙන තිබිණි. වත්මන් ආණ්ඩුවට ඒ සඳහා මුදල් නැති බව කියයි. එසේ නම් අලුතින් රැකියා ලබාදී ඔවුන්ට වැටුප් ගෙවන්නේ කෙසේද? රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට මගේ විරුද්ධත්වයක් නැත. මා පවසන්නේ සැබැවින්ම මෙරට රාජ්‍ය සේවකයන්ට මීට වඩා වැටුපක් ගෙවිය යුතු බවයි. එහෙත් එය විය යුත්තේ ඵලදායී ආකාරයෙනි. අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවයේ ප්‍රසාරණය වළක්වා ගුණාත්මක සේවයක් ලබාගෙනය. එහෙත් ආණ්ඩු කරන උදවිය කරන්නේ එය නොවේ. පැවැති යහපාලන ආණ්ඩුව ඉවක් බවක් නැතිව රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමත් නව ආණ්ඩුව එය නතර කර රාජ්‍ය සේවයට තවත් බඳවාගැනීමත් එකම කාසියේ දෙපැත්තය.  

වත්මන් ආණ්ඩුව වැඩි විශ්වාසයක් තබා ඇති අපනයන ක්‍ෂේත්‍රය ගත්ත ද මේ අසංගතභාවය රජයයි. අපනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත ජාතික ප්‍රතිපත්තියක් මෙරට සකසා තිබිණ. 2021 වනවිට බිලියන පහක පමණ අපනයන ඉලක්කයක් තොරතුරු තාක්ෂණ උපකොටස යටතේ එහි සඳහන් විය. එවකට තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා වශයෙන් මම එම ඉලක්කම ගැන සැක පළ කළෙමි. මන්දයත් එය අභියෝගාත්මක ඉලක්කයක් බැවිනි. අදාළ දත්ත ලැබුණේ කවර මාර්ගයෙන්දැයි එවිට මා විමසූ අතර වාණිජ මණ්ඩලවලින් යැයි දැනගැනීමට ලැබුණෙන් එම සැකය දුරු විය. මන්දයත් එය මෘදුකාංග අපනයනයෙහි නිරත නොවන ආණ්ඩුව මෙන් නොව විෂය දන්නා පිරිසක් ඉදිරිපත් කරන දත්තයක් වන බැවිනි. කෙසේ වෙතත් සෞභාග්‍යයේ දැක්ම ආණ්ඩුකරණ පිළිවෙතෙහි අදාළ අගය සඳහන් වූයේ බිලියන තුනක් හැටියටය.

ප්‍රභාෂ් සුබසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත්කෙරුණේ මේ ආණ්ඩුව යටතේය. ඔහු පැවැසුවේ මේ ආණ්ඩුව යටතේ කටයුතු සිදුවන්නේ ක්‍ෂේත්‍රය නියෝජනය කරන පිරිස මාස ගණන් මහන්සි වී සැකැසූ ජාතික ප්‍රතිපත්තිය මත මිස වෙනත් ප්‍රකාශන මත නොවන බවය. එනිසා ජාතික ප්‍රතිපත්තියේ සඳහන් බිලියන පහ සැබෑ ඉලක්කය බවය. ප්‍රභාෂ් සුබසිංහ මහතා වෘත්තියෙන්ම අපනයනකරුවකු වන අතර මත්ස්‍ය අපනයන වෙළෙඳපොළෙහි විශාල භූමිකාවක් නියෝජනය කරන්නෙකි. එසේ බලද්දී නැවතත් තහවුරු වන්නේ ආණ්ඩුකරණ පිළිවෙත සකසද්දී සුබසිංහ මහතා වැනි ක්‍ෂේත්‍රය ගැන ප්‍රවීණයන් ඊට සම්බන්ධ කරගෙන නැති බවයි. එයින් පැහැදිලි වන්නේ අපනයන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් පුළුල් සහභාගීත්වයකින් සැකැසූ ජාතික ප්‍රතිපත්තිය සෞභාග්‍යයේ දැක්මට මූලාශ්‍ර වී නැති වගය. එක්කෝ එවැනි ජාතික ප්‍රතිපත්තියක් ඇති බව දැන නොසිටි බවය. තොරතුරු තාක්ෂණය ග්‍රාම නිලධාරී මට්ටමට ගෙනයෑමට ආණ්ඩුව දුන් පොරොන්දුව ද මේ ආකාරයමය. ශ්‍රී ලංකාවේ ද‌ාහතර දහසකට අධික ග්‍රාම නිලධාරී වසම්වලට තාක්ෂණය ගෙනයෑමට නම් ආණ්ඩුවට විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. එහෙත් එහි මූලික පියවර ගැන ආණ්ඩුව අවධානය යොමු කර නොතිබූ අතර මේ වැඩපිළිවෙළ ගැන දැන් කතාවක් ද නැත.

ජයග්‍රාහී මැතිවරණ ප්‍රකාශනවලට ආචාර කර එය අනුගමනයට රාජ්‍ය සේවකයන් පෙළඹවීමට පෞද්ගලිකව මා එකඟ නැත. හරි නම් රාජ්‍ය සේවකයන් දිවුරුම් දිය යුත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමටය. නොඑසේව එක් එක් පුද්ගලයන්ගේ දේශපාලන ප්‍රකාශනවලට අත එසවීම වැරැදිය. මගේ විවේචය එසේම තිබියදී පවා රාජ්‍ය සේවකයන්ට ඒ අනුව කටයුතු කිරීමට සිදුවෙනවා නම් එම මැතිවරණ ප්‍රකාශන ඉතාම නිවැරැදිව සකස් කර තිබිය යුතුය. එහෙත් මේවා ගැන සොයාබලද්දී අපට පෙනෙන්නේ නිවැරැදි දත්ත මූලාශ්‍ර කරගෙන ප්‍රතිපත්ති සැකැසීමක් වී නැති බව නම් එය කනගාටුදායක නොවේද? වැදගත්ම කරුණ වන්නේ මේ සාකච්ඡාව පුරා අප කතාබහ කළ කිසිදු කරුණක් කොරෝනා වයිරසයට සම්බන්ධ නැතිවීමය.

ආණ්ඩුව බලයට පත්වීමට පෙර රටේ ආර්ථික තත්ත්වය ගැන එහි ප්‍රතිපත්ති සම්පාදකයන්ට නිසි විග්‍රහයක් තිබී නැති බව පැහැදිලිය. එහි අනිටු පලය වී ඇත්තේ ඒ නිසාම අර්බුදයට නිසි විසඳුම් ද යෝජනා කිරීමට ඔවුන්ට නොහැකි වීමය. එනිසා මගේ අදහස වන්නේ සෞභාග්‍යයේ දැක්ම යනු ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ගත්කල දුර්වල ලියැවිල්ලක් බවය. විශේෂයෙන්ම 2019 නොවැම්බරය වනවිට කොරෝනා වයිරසයක් ගැන ජනාධිපතිවරයා නොදැන සිටි බැවින් ඊට අදාළ වැඩපිළිවෙළක් සෞභාග්‍යයේ දැක්මට අන්තර්ගත නොවීම අපට පිළිගත හැකිය. එය සාධාරණය. එහෙත් කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය හා එහි නපුර ගැන ඇස ගැටුණු විට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ට තමන් සකසන අයවැයෙහි මූලික සාධකයක් බවට කොරෝනා වයිරසය පත්කර නොගෙන සිටින්නට බැරිය. එය මෙවර අයවැයෙහි අන්තර්ගත විය යුතුය. එහෙත් අවාසනාවට මෙවර අයවැයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළක් ගැන සඳහනක් නැත. එනයින් බලද්දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනයෙහි හා ප්‍රමුඛතා හඳුනාගැනීමෙහි කුමක්දෝ වියවුලක් ඇති බව දැන් නම් සක්සුදක් සේ පැහැදිලිය. මෙසේ බලද්දී ආණ්ඩුවේ අයවැය පිළිවෙත මැතිවරණ දර්ශනය සමග නොගැළපීම ද පවතින සන්දර්භයට ගැළපෙන සේ ආර්ථික දැක්ම ප්‍රතිසංස්කරණය නොවීම ද ඉදිරියේදී ආණ්ඩුව තල්ලු කරනු ඇත්තේ ලොකු අවුලකටය.  


(*** සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (5)

ඇත්ත නොදැකීමේ විපාක

නුවන් Tuesday, 05 January 2021 07:28 AM

රොහාන් සමග කිසිම තැනක එකඟ නොවුවත් මේ ලිපිය මතුකරන කාරණා වලින් පැහැදිලි වන්නේ ආණ්ඩුව තුළ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධව ඝට්ටනයක් ඇති බවයි. හොඳම උදාහරණය නම් රාජ්‍ය සේවයයි. අකාර්යක්ෂම රාජ්‍ය සේවය නැවත වරක් විස්තාරණය කිරීම සහ සමාගම් බදු කප්පාදුව එකම ආණ්ඩුවක් කළේනම් ලෝකයේ එය ලංකාවේ පමණකි. මහින්ද ප්‍රතිපත්ති සහ ගෝඨා ප්‍රතිපත්ති අතර පැහැදිලි ගට්ටනයක් නොවෙද මේ?

:       5       9

aruna Tuesday, 05 January 2021 09:22 AM

වඩාත්ම ප්‍රාෙයා්ගිකව නවීන ලෝකය දෙස බලන්න ඔහු දක්ෂයි.

:       2       4

NMTuesday, 05 January 2021 10:27 PM

රටේ පත්වන නායකයන් ඇත්ත නොදැකීමේ විපාක නොව සත්‍ය ඇත්ත දැනදැනත් කිසිවක් නොකරන්නේත් නෙකෙරෙන්නෙත් ලංකාවේ පුරවැසියා දැනුවත්ව හෝ නොදැනුවත්ව දේශපාලනීකරණය වී ඇති නිසා පමණක් නොව පුරවැසියා සිතන්නේ දේශපාලකයාට සියල්ල කළහැකි බව සහ වෙනසක් පිළිබඳ අවබෝදයක් නොමැති අවස්ථාවන් සහ එයට හැකියාවන් නොමැති ළිඳේ ගෙම්බන් වැනි ජනතාවක් සිටින විට රටකට මෙසේ සිදුවේ. දේශපාලනීකරණය වී තිබෙන්නා වූ සියල්ල එයින් මුදවා ගන්නා තුරු රටට යහපතක් වන්නේ නැත. අධ්‍යාපනයේ සිට අධිකරණය දක්වා සියල්ල දේශපාලනීකරණය වී ඇත. මධ්‍යස්ථ අවංක දේශපාලනය පළමුව කියා නොසිතන්නා වූ සහ රට ගැන සිතන්නාවූ නායකයෙකු හට මෙය අනිවාර්යයෙන්ම වෙනස් කල හැකියි. අවශ්‍ය වන්නේ මධ්‍යස්ථව බව, අවංක බව සහ සුදුස්සාට සුදුසු තැන ලබාදී ඒ පිළිබඳ අවධානයෙන් සිටින නායකයකුට පමණි.

:       0       7

මෝ Tuesday, 05 January 2021 01:41 PM

මේ විග්‍රහය ඉතා වටිනා එකකි. මක්නිසාද රටක දියුණුව, රඳා පවතින ප්‍රධාන සාධකය ගැන සරල විග්‍රහයක්... පසුගිය අත්දැකීම් මතින් ඉදිරිපත් කර ඇති නිසාවෙනි. හැම රජයක්ම තීරන තීන්දු ගත්තේ විද්‍යාත්මක දත්ත, පදනම් කරගෙන නොව අත්තනෝමතික ජනප්‍රිය සහ තමට බලය අල්ලාගෙන සිටීමට සහ නූගත් ජනතාව මුලාකර ඡන්ද ටික කොල්ල කා ගැනිමේ අදිටනෙනි. බදු අඩුකළ බව ප්‍රකාශ කලවිට ජනතාව හුරේ දැම්මේ එබැවිනි. ඔවුන් ඒ බදුසහනය, පාරාවලල්ලක් වී තමන් පසුපසින් එන බව තේරුම් ගන්නේ නැත. දියුණු රටවල් දියුණුව ලංකර ගැනීමේ හේතුවද විද්‍යාත්මක දත්ත මත තීරණ ගැනීමයි. උදාහරණයක් ලෙස ඇමරිකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රධානතම දත්තය වන්නේ මාසිකව උත්පාදනය, කරන රැකියා ප්‍රමාණයයි. ඔවුන් ඇතිකරන ලද රැකියාවන් සහ රැකියා අහිමිවීම් අතර වෙනස ධන අගයක තබා ගැනීමට වෙහෙසේ. රටේ මිනිසුන් තම ශක්තියෙන් නැගී සිට තම අවශ්‍යතා සපුරාගන්නා අතර නිතැතින්ම රජයට ඒ මගින් බදු මුදල් සපයයි. එමගින් රටේ භාණ්ඩාගාරයට නිතැතින්ම මුදල් ගලා ඒ... ලංකාවේ ක්‍රමවේදය, මීට හාත්පසින්ම වෙනස්ය. ජනතාවට රකියා අවස්ථා උදා කරනවා වෙනුවට ලැබෙන බදු මුදලින් සහ විශාල ණයකර මගින් කිසිම පදනමක් හෝ අධ්‍යයනයකින් තොරව සහනාධාරද දෙනු ඇත.

:       3       5

Raveendra Tuesday, 05 January 2021 02:40 PM

ඉතාමත්ම හොඳ විග්‍රහයක්.. ගැටලුව නම් අප අවුරුදු 60 ක් 70 ක්ම මෙම තත්වය පවත්වා ගෙන යාම නොවේද? එනමුත් ඇහුවොත් අප රටේ තරම් දැනුමෙන් පරිපූර්ණ වූ බුද්ධිමතුන් මෙන්ම තුන්ලෝකෙටම දේශපාලන දැනුම තිබෙන මී හරකුන්, ලෝකයේ හොඳම ඇමතිවරුන්ගෙන් පීරී ඉතිරි සිටිනවා නොවේද?

:       3       9

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 131 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 138 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 994 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 193 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 469 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1117 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2146 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site