IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඇමැතින්ට ඉලක්ක අවශ්‍ය ඇයි?

අලුත් ඇමැති මණ්ඩලයක් ඊයේ පත්විය. ඒ ඇමැති මඩුල්ල සම්බන්ධයෙන් ජනපති හා අගමැති කෙසේ ක්‍රියාත්මක විය යුත්තේ දැයි අද ‘ලංකාදීප’ය ඔස්සේ රටට කරුණු කියන්නේ වරලත් ඉංජිනේරු ලලිත් කහටපිටිය මහතාය.

එක්සත් රාජධානියේ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවල සාමාජිකයකු ද වන ඒ මහතා, මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍ය දැවැන්ත විදුලි පුවරු යනාදිය නිෂ්පාදනය කර ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, මාලදිවයින හා මැදපෙරදිග රටවලට අපනයනය කරමින් ලංකාවට විදේශ විනිමය උපයා දෙන කේ.අයි.කේ. ව්‍යාපාර සමූහයේ නිර්මාතෘවරයා ද වෙයි.

නිදහස ලැබූ 1948 සිට අද දක්වාම ලංකාව දියුණු වෙමින් පවතින රටකි. දියුණු වෙන්නේම නැත. එසේ වී තිබෙන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් සියල්ලන්ම බනින්නේ දේශපාලනඥයන්ටය. එදා සිට මේ දක්වාම සිදුවී තිබෙන්නේ දේශපාලකයන් මත යැපීමය. දේශපාලකයන් කළේ තමන්ට හිතෙන හිතෙන දේවල්ය. එහෙත් රට විනාශ කිරීමට කොතරම් බලවේග තිබෙනවා ද කියා කිසිවකු හීනෙන්වත් හිතා නැත. බරපතළම ප්‍රශ්නය තිබෙන්නේ එතැනය.

සමස්ත ලෝකයේම තිබෙන්නේ බල අරගලයකි. ඒ අරගලයේ නිරත ලෝක බලවතුන්ට වුවමනා වී තිබෙන්නේ අපේ වැනි රටවල් තිබෙන තත්ත්වයෙනුත් පහළට ඇද දැමීමය. ඒ රටවලට තම ව්‍යාපාර කරගෙන, ඔවුන්ගේ අරමුණුවලට යා හැක්කේ අපේ රටවල් දියුණු නොවී දියුණු වෙමින් පැවැතියොත්ය. රට ඇතුළේ සිට ජාතීන් හැප්පීම ඔවුනගේ එක් උපක්‍රමයකි. ජාතීන් හැප්පීමට නොහැකි නම් එකම ජාතියකට අයත් කණ්ඩායම් අතර හෝ ගැටුම් ඇති කරයි. ඉතිහාසයේ හැමදාම අපේ රටේ ගැටුම් තිබිණි. එක දිගට අපේ රටේ ගැටුම් තිබිණි. එකදිගට අවුරුදු පහක් සාමකාමීව රට තිබුණේම නැත. එල්.ටී.ටී.ඊ., ජ.විපෙ., ජාතිවාදී, ආගම්වාදී, දේශපාලන මත ලෙස තිබූ ගැටුම් කෙළවරක් නැත. රට ඇතුළේ එවැනි ප්‍රශ්න ඇති කිරීමට වෙනම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙයි. කරුමය වී තිබෙන්නේ කිසිවකු ඒ දෙස නොබැලීමය.

බටහිර බලවතුන්ගේ වුවමනා මත ක්‍රියාත්මක වන කණ්ඩායම් හා පුද්ගලයෝ රැසක් අදටත් රට ඇතුළෙත් සිටිති. ඒ ඇතැමුන් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය නොවන සංවිධාන අටවාගෙනය. ඒවා ගැන නිසි සොයා බැලීමක් සිදු නොවෙයි. පාලකයන් කටයුතු කළේ තම පෞද්ගලික බල ව්‍යාපෘති මතය. රට හා ජනතාව ඔවුන්ට යළි අවශ්‍ය වූයේ බලය ලබා ගැනීමට පමණකි. පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකි වූයේ පාලකයන්ගේ බල ව්‍යාපෘති නිසා විය හැකිය. දෙස් විදෙස් ආරක්ෂක අංශවලින් අවස්ථා සියයකට ආසන්න ගණනක දී අනතුරු අඟවා තිබියදීත් පාස්කු ප්‍රහාරය සිදුවූයේ රට වනසන දෙස් විදෙස් බලවේග සම්බන්ධයෙන් පාලකයන් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ නිසාය. අවසානයේ ඉන් හානි වූයේ රටට හා ජනතාවටය.

රට වනසන බලවේග නැතහොත් බටහිර බලවතුන්ගේ වුවමනා මත කටයුතු කරන පුද්ගලයන් මැති ඇමැතිකම්, අගමැතිකම් කරමින් ආණ්ඩු ඇතුළේ ද සිටියා විය හැකිය. එසේම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආර්ථික මර්මස්ථානවල ද ඔවුන් සිටිය හැකිය. වාර්ගික සහෝදරත්වය හා ආගමික සහජීවනය නැතිවී ආර්ථිකමය වශයෙන් රට පල්ලම් බැස්සේ ඒ බටහිර බලවතුන්ගේ රූකඩවල ක්‍රියාකාරිත්වයේ මහිමයෙනි. ව්‍යවස්ථා සංශෝධන පවා සිදුවූයේ බටහිර වුවමනා මතය. එහෙයින් වර්තමාන රජයවත් ඒ ගැන සිතිය යුතුය. රජය රට නමැති ගොඩනැගිල්ල හදාගෙන යන විට තවත් පිරිසක් පැත්තකින් ඒ ගොඩනැගිල්ල කඩාගෙන එන බව වත්මන් පාලකයන්වත් මැනවින් අවබෝධ කරගත යුතුය. වටහා ගත යුතුය. ගොඩනැගිල්ල කඩන පිරිස් ඇතැම් විට ආණ්ඩුව ඇතුළේම සිටිය හැකිය. ඇතැම් විට ජනපතිට හෝ අගමැතිට සමීපව ද සිටිය හැකිය. එසේම ඉහත කී ආර්ථික මර්මස්ථානවල ද සිටිය හැකිය. බරපතළ ලෙස තේරුම් ගත යුත්තේ ඒ කිසිවකු සතුරු වේෂයෙන් පෙනී නොසිටින බවය. ඔවුන් පෙනී සිටින්නේම මිතුරු වේෂයෙනි. ඒ සතුරන් හා ඔවුන්ගේ ප්‍රහාර මැනවින් හඳුනා ගැනීමට පාලකයන්ට ව්‍යවහාර ඥානය (Commen Sence) තිබිය යුතුය. එසේම බුද්ධි අංශවලින් මනා ප්‍රයෝජන ගත යුතුය. එසේ නොකළහොත් රට දියුණු කළ නොහැකිය.

අනෙක් කාරණය බොහෝ රාජ්‍ය ආයතන එනම් සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු, අධිකාරි හා අමාත්‍යාංශවල ඉහළ සිට පහළටම සිටින අතිවිශාල බහුතරයකට ඒ ආයතන පවතින්නේ හා පවත්වාගෙන යන්නේ ඇයි දැයි නිසි වැටහීමක් හෝ අවබෝධයක් නැත. ඒ ඒ ආයතනවල වගකීම හා කාර්යභාරය කුමක්දැයි ඔවුහු කිසිවෙක් නොදනිති. දැනගැනීමට ඔවුනට වුවමනාවක් ද නැත. ඔවුන් සිතන්නේ ඒ ආයතන පවතින්නේ තම පැවැත්ම සඳහා බවය. ඒ තත්ත්වය අද අධිකරණ ක්ෂේත්‍රය දක්වාම ඔඩු දුවා තිබෙන බව රටට රහසක් නොවේ. එහෙයින් මේ තත්ත්වය වහාම දූරීභූත කළ යුතුය. ඒ ඒ රාජ්‍ය ආයතන තිබෙන්නේ ඇයි දැයි අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට කාර්යාල කාර්ය සහායක දක්වා සියලු නිලධාරීන්ට හා සේවකයන්ට කියා දිය යුතුය. අවබෝධ කර දිය යුතුය. ඒ ආයතන පවත්වාගෙන යන අරමුණු ඉටුකිරීම ඔවුනගේ වගකීමක් බව සියලු නිලධාරීන්ට හා සේවකයන්ට අවබෝධ කර දිය යුත්තේ තරයේය.

පුරවැසියන් හා දේශීය කර්මාන්තකරුවන් ලෙස අපට එසේ කීමට සිදුවී තිබෙන්නේ ඇයි දැයි ඒ කවුරුත් තේරුම් ගත යුත්තෝය. උදාහරණයකට අපි විදුලිබල ක්ෂේත්‍රය ගනිමු. එහි පවතින්නේ බරපතළ අර්බුදයකි. විදුලිය වැඩියෙන් නිපදවිය හැකි හිරු එළිය, සුළඟ, මුහුදු රළ හා දැව රට ඇතුළේ අනන්තවත් තිබිය දී රටට අවශ්‍ය විදුලියෙන් සියයට 70කට වඩා නිපදවන්නේ රටට පිටින් ගෙන්වන ඉන්ධන හා ගල් අඟුරුවලිනි. එසේ ඒවායෙන් විදුලිය නිපදවද්දීත් අඛණ්ඩව විදුලිය සැපයිය නොහැකිය. නිතර විදුලිය කපා හරියි. බිඳ වැටීම් ද නිතර වෙයි. විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම වැනි ආයතනවල වගකීම් නිසි ලෙස ඉටුවන්නේ නම් ඒවා එසේ විය නොහැකිය. ඒ ආයතනවල දෑ හිතකාමීන් සිටින්නේ නම් හිරු එළිය, සුළඟ වැනි පුනර්ජනනීය සම්පත්වලින් වැඩි වැඩියෙන් විදුලිය නිපදවන්නේ නැතිව ඉතා අමාරුවෙන් හා අපහසුවෙන් උපයා ගන්නා ඩොලර්වලින් ඉන්ධන හා ගල්අඟුරු ගෙන්වන්නේ ඇයි? පැහැදිලිවම එසේ වන්නේ අදාළ රාජ්‍ය ආයතනවල වගකීම් ඉටු නොවන නිසාය.

මගේ මේ විවේචනය සියලු රාජ්‍ය ආයතනවලට අදාළය. විශේෂයෙන් රාජ්‍ය, සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ගෙන් ඔබේ ආයතනය පවතින්නේ හා පවත්වාගෙන යන්නේ ඇයි දැයි ඇහුවොත් ඒ බොහෝ අයට නිශ්චිත හා පැහැදිලි පිළිතුරක් දිය නොහැකි බව මට නිසැකය. සංස්ථා මණ්ඩලවලට පමණක් නොව දෙපාර්තමේන්තු හා අමාත්‍යංශවලට ද මේ විවේචනය අදාළය. ආයෝජන මණ්ඩලය තිබෙන්නේ රටට ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමටය. එහෙත් ඒ මණ්ඩලය පසුගිය කාලයේ ලබාගෙන තිබෙන ඍජු විදේශ ආයෝජන මොනවාද? කොතෙක්ද? කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ඔවුන්ගෙන් අපේක්ෂා කරන වගකීම මෙහෙවර නිසි ලෙස ඉටු කර තිබේද? අපනයන සංවර්ධන මණ්ඩලය ඒ නමින්ම හැඳින්වෙන වගකීම නිසි ලෙස ඉටුකර තිබේ ද? මගේ පිළිතුර නම් නැත යන්නය. එවැනි පිළිතුරක් දෙන තැනට මා තල්ලු කර තිබෙන්නේ ඒ ආයතනවල සිටි හා සිටින නිලධාරීන් හා ලොකු කුඩා සේවකයන්ය.

අපනයන සංවර්ධන මණ්ඩලය ඇතිකර තිබෙන්නේ ලංකාවේ අපනයන වර්ධනය කිරීම සඳහාය. රටේ අපනයන ආදායම වැඩිකර ගැනීම සඳහාය. ඒ අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති සකසා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසුවේ නම් ඔවුන් ධෛර්යමත් කළේ නම් අපට මෙසේ කතා කරන්නට සිදු නොවෙයි. පසුගිය අවුරුදු 30ක් තිස්සේ ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පවතින්නේ සුළු වර්ධනයකි. එය වර්ධනයක් හැටියට පෙනෙන්නේ රුපියල්වලින් බැලුවොත් පමණකි. ඩොලර්වලින් ගණනය කළහොත් වර්ධනයක් ඇත්තේම නැති තරම්ය. රුපියල්වලින් ගණනය කරන විට එය වර්ධනයක් ලෙස පෙනෙන්නේ ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව අපේ රුපියලේ වටිනාකම අඛණ්ඩව බාල්දුවන නිසාය. අපනයන සංවර්ධන මණ්ඩලය තිබෙන්නේ කුමන කර්තව්‍යය සඳහා ද? ඒ කර්තව්‍ය ඉටු කිරීම සඳහා කළ යුත්තේ මොනවාද? කියා නිවැරැදිව තේරුම්ගෙන කටයුතු කළා නම් අපට මෙවැනි විවේචන කිරීමට මඟ පෑදෙන්නේ නැත.

වගකීම් නිසි ලෙස ඉටු නොකරන බවට මා නගන චෝදනාව රාජ්‍ය, සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ ප්‍රධානීන්ට පමණක් නොව ඇමැතිවරුන්ට ද අදාළය. ඉතිහාසයේ සිටි ඇතැම් ඇමැතිවරුන් යටතේ ඒ ඒ අමාත්‍යාංශවලට අයත් ඇතැම් සංස්ථා මණ්ඩල ‘ජොබ් ෆැක්ටරි’ බවට පත්විය. විදුලිබල මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැක්විය හැකි සුපිරි උදාහරණයකි. ඇමැතිකම ලැබුණු ගමන් තම පාක්ෂිකයන්ගෙන් හා ඥාති මිත්‍රාදීන්ගෙන් ලංවිම පිරවීම සෑම ඇමැතිවරයකුම කළ ක්‍රියාවකි. සතොස හා සළුසල වැනසුණේ මේ නිසාය. ඉතා මෑත යුගයක සිටි සංස්කෘතික ඇමැතිවරයකු සංස්කෘතික ත්‍රිකෝණය ද ඒ තත්ත්වයට පත් කළේය. ඇමැතිවරුන් එසේ කටයුතු කිරීමෙන් ප්‍රදර්ශනය වන්නේ ඒ ඇමැතිවරුන්ගේ මොළයේ තරමය. තම අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින සංස්ථා, මණ්ඩල හා දෙපාර්තමේන්තු ජනතා බදු සහ දඩ මුදල්වලින් පවත්වාගෙන යන්නේ ඇයි දැයි බොහෝ ඇමැතිවරු නොදනිති. ඒ ආයතන මගින් රටත් ජනතාවත් සුඛිත මුදිත කළහොත් තමන්ටත් තම ඥාතීන්ටත් පාක්ෂිකයන්ටත් ඒ ප්‍රතිලාභම හිමිවන බව ඔවුනට නොදැනෙයි, නොපෙනෙයි, නොතේරෙයි.

එහෙයින් ඇමැතිවරුන්ට ද ඉලක්ක දිය යුතුය. ඔබ ඔබේ අමාත්‍යංශය හා ඒ යටතේ පවතින ආයතන මෙහෙයවිය යුත්තේ මේ අරමුණු ඉටුකර ගැනීම සඳහා බව ඇමැතිවරුන්ට කියා දිය යුතුය. ඒ ඒ අරමුණු ඉටුකරගත යුතු කාල සීමාවක් ද සියලු ඇමැතිවරුන්ට ලබාදිය යුතුය. එය ජනපතිගේ හා අගමැතිගේ වගකීමකි. කාර්ය භාරයකි. ඇමැතිවරුන් තම වගකීම් ඉටු නොකරන්නේ නම් සහ ඉලක්ක සපුරන්නේ නැති නම් ඒ ගැන දෙවරක් නොසිතා ඒ ඇමැතිවරුන් ඉවත් කළ  යුතුය. එසේ කිරීම ද ජනපතිගේ හා අගමැතිගේ වගකීමකි, කාර්ය භාරයකි. එසේ නොකර අකාර්යක්ෂම හා දූෂිත ඇමැතිවරුන් නැළවීම තවදුරටත් කරගෙන ගියහොත් ලංකාව ඉදිරි අනාගතයේ දීත් පවතිනු ඇත්තේ දියුණු වෙමින් පවතින රටක් ලෙස මය. මෙය දියුණු රටක් වන්නේම නැත. එහෙයින් අකාර්යක්ෂම හා දූෂිත ඇමැතිවරුන් නැළවීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ජනපති හා අගමැති වහාම දුරස් විය යුතුය. ලංකාව පෙරදිග රටකි. එහි උපන්නෝ පෙරදිග මිනිස්සුය. පෙරදිග දර්ශනයට අනුව නැළවිය යුත්තේ වයස අවුරුදු පහට අඩු දරුවන් (ලාලයේත් පංච වර්ෂානි) පමණකි.

රට හා එහි ජනතාවගේ අභිවෘද්ධිය, දියුණුව හා සංවර්ධනය අරමුණු කර ගනිමින් ජනපති හා අගමැති ඇමැතිවරුන්ට ලබා දෙන ඉලක්ක සපුරන්නේ නම් ඒ ඇමැතිවරුන්ට දැනට වඩා වරප්‍රසාද ලබා දුන්නද ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඥාති සංග්‍රහය සහ නුසුදුස්සන්ට රැකියා හා උසස්වීම් දීමේ පිළිවෙත වහා අත්හැර දැමිය යුතුය. එසේම විදේශ විනිමය අනවශ්‍ය ලෙස එතෙරට ගලායාම වැළැක්වීමට නව රජය ගත් පියවර හා තහංචි යම් කාලයක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක විය යුතුය. අලුත් මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත සැප වාහන ගෙන්වා ගැනීමට ඉඩදුන්නොත් යළිත් විදෙස් විනිමය එතෙරට ගලා යයි. එහෙයින් අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන පිළිවෙතේ සිට කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. එසේම එය ජනතාවගේ ද අභිලාෂයයි. අවසාන වශයෙන් කිව යුත්තේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය මෙරට ඇති කළේ නිවැරැදි එහෙත් ජනප්‍රිය විය නොහැකි තීන්දු ගැනීම සඳහා බවය. පෞද්ගලික අවශ්‍යතා හා බටහිර බලවතුන්ගේ වුවමනා මත ඇති කළ සංශෝධනවලින් ජරා ජීර්ණව තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා ජනපති හා මහා මැතිවරණ දෙකේ දී දුන් පොරොන්දු පරිදි ජනතාවාදී නව ව්‍යවස්ථාවක් සකස් කර සම්මත කර ගැනීම නව රජයේ ප්‍රමුඛ වගකීමකි. වහාම එය නොකළහොත් රටට අවාසිදායක විදෙස් ගිවිසුම් අත්සන් කළ යුතු බවට බටහිරින් එන බලපෑම් තවත් තීව්‍ර විය හැකි බව අපේ වැටහීමයි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (6)

ඇමැතින්ට ඉලක්ක අවශ්‍ය ඇයි?

rana Thursday, 13 August 2020 06:49 AM

නිෂ්පාදන හො කාර්මික ආර්ථිකයක් සාදා ගැනීමට අපහසු අපට, වෙන රටවලට අතපාන්න වෙලා තියෙන අපට, ඔවුන්ගෙ බලය යටතේ වැඩ කිරීමට වෙනවා නේද? ඕකට තමයි කියන්නේ" හිඟන්නන්ට කොහෙන්ද උණු බත්" කියලා. ඔබ පුද්ගල සමාගමකින් ලාභයක් ලබාගන්නා සේ අපේ මැතිඇමතිවරු තමතමන්ට අයත් යැයි සිතන ආයතනවලින් තමාට ලාභය ඉපැයීම මිස රටට මොකටද? අඩුම වශයෙන් ඡන්දය දෙන්නේ... ඉල්ලන්නේ පුද්ගලික වාසි බලාගෙන මිස ප්‍රජාව වගෙ වාසියටද? අපේ ඈයෝ කවදාවත් පිට ඈයින්ගේ වරද මිස තමන්ගේ දේ සාදාගෙන පෙරට යන්න සිතන හො දිරියක් ඇති ජාතියත් බව නොපෙනේ... ඒ බැවින් පළමු කොටස ඒ තරම් සාරවත් නොවුණත් දෙවෙනි කොටස නම් තනි සත්‍යයයි.

:       0       1

SL Thursday, 13 August 2020 07:59 AM

වැඩ පෙන්වන්න බැරි ඇමතිවරු වසරක් ඇතුළත ඉවත් කලයුතුයි.

:       0       3

RaveendraThursday, 13 August 2020 12:26 PM

ඔබගේ අදහස් නිවැරදිය. වැඩ බැරි නම් තවත් මොකටද? ලංකා මාතාවට කිසිදු අයුරකින් මේ අය අවශ්‍ය නැත.. ඇයට අවශ්‍ය වන්නේ අවංකව තම හිතට එකඟව තම රට වෙනුවෙන් සේවය කරන ලක් දූදරුවන්ය. මහජන මුදල් කාබාසිනියා කරන්නේ මොන වැඩ බැරි කෙනාද? කිසිදු චකිතයකින් තොරව පන්නා දැමිය යුතුමයි..

:       0       2

NImalFriday, 14 August 2020 07:06 AM

එහෙම මෙතෙක් කාලයක් වැඩබැරිව ඉවත් කරපු එක්කෙනෙක් ගැන කියන්න බලන්න. ඒගොල්ලෝ දන්න එකම ඉලක්කය නායකයා වෙනුවෙන් කඩේ යාම මිසක් වෙන මොනවාද?

:       0       2

මෝ Thursday, 13 August 2020 10:26 PM

ශ්‍රී ලංකාව කියන්නේ හැම අංශයකින්ම ස්වයංපෝශිත කළ හැකි රටකි. අවශ්‍ය වන්නේ අපේ සම්පත් සොයා ගැනීම සහ ඒවා මනාව කළමනාකරණය කිරීමයි. විශේෂයෙන්ම ශ්‍රම සම්පත. අපි කිසිදා වෙනත් රටවල් මත යැපිය යුතු නැති ස්වර්ණ භූමියකි. රටේ කරුමෙට උදාසීන සහ රජයෙන් ඉල්ලං කන්න බලා සිටින ජනතාවකුත්, තක්කඩි දේශපාලුවනුත් නිසා රට හිඟන්නන් වී ඇත.

:       3       3

NImal Friday, 14 August 2020 07:04 AM

ඉලක්ක දෙන්න කළින් ඉලක්ක කියන්නේ මොනවාද කියලා එයාලට කියාදෙන්න වේවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 158 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 156 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1119 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 198 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 477 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1124 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site