IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


“ඉට්කා” අවසන් තීරණයට පෙර උගතුන්, බුද්ධිමතුන් සමඟ සාකච්ඡා කරනවා

 26_MAIN_P6

 

-ජනපතිගෙන් අහන්න” විශේෂාංගය සඳහා පාඨක ඔබගෙන් ලැබුණු ප්‍රශ්න සිය ගණනක් අතුරින් තෝරාගත් ප්‍රශ්න කිහිපයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දෙන ලද පිළිතුරු පහත පළවේ. ඉතිරි ප්‍රශ්න සියල්ල සඳහා සිය පෞද්ගලික අවධානය යොමු කර, පිළිතුරු තැපැල් මගින් ඔබ වෙත ලැබෙන්නට සලස්වන බවද ජනාධිපතිවරයා ඉරිදා ලංකාදීපය වෙත දැනුම් දුන්නේය.

 


ප්‍රශ්නය: ඉන්දියාව සමඟ අත්සන් කරන්නට යන ඉට්කා වෙළෙඳ ගිවිසුමට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. මෙය රටට ඉතා හානිකරය. ඉන්දියානු ශ්‍රමිකයින්ගෙන් මේ රටේ වෙළෙඳපොළ පිරීයනු ඇත. මා නගන තර්කයට ඔබතුමා එකඟද? නැතිනම් වෙනත් පිළිතුරක් තිබේද?
ජී.ඩී.ඒ. ධර්මසිරි, නිවිතිගල.

පිළිතුර--- ඉන්දියානු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් දැනට සියල්ලම තිබෙන්නේ සාකච්ඡා මට්ටමේ බව පළමුවෙන්ම කිව යුතුයි. මේ ගිවිසුමේ අපේ රටට නොගැලපෙන, නුසුදුසු දෙයක් තිබේ නම් ඒවා පෙන්වා දුන් විට, ඒ සියල්ල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජය අවසන් තීරණයක් ගැනීමට පෙර, ඒ පිළිබඳව මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, වෘත්තීයවේදීන් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන අවසන් තීරණයක් ගන්නේ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයි. දැනට මේ ගැන කිසිදු අවසන් තීරණයකට එළැඹිලත් නැහැ. මේ වන විට කරගෙන යන්නේ ගිවිසුමේ මූලික කෙටුම්පත් සකස් කිරීම පමණයි.

6
අනෙක් පැත්තෙන් ගත් විට ඉන්දියාවේ සිට කම්කරුවන්, උගතුන් හෝ වෘත්තිකයින් ගෙන ඒමක් මේ ගිවිසුමෙන් සිද්ධ වෙනවා කියන එක මම කිසිසේත් පිළිගන්නේ නැහැ. අපි එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එවැනි දේකට අපි කොහෙත්ම ඉඩ තියන්නෙත් නැහැ.


අපි ඉන්දියාව සමඟ පමණක් නොවෙයි, ලෝකෙ තවත් රටවල් සමග ආයෝජන ගිවිසුම් ඇති කරගන්නවා. වෙළෙඳ ගිවිසුම් ඇති කරගන්නවා. ආර්ථික සම්බන්ධතා ගිවිසුම් ඇති කර ගන්නවා. මෙය අලුත් දෙයක් නෙවෙයි. මේක මේ කලින් තිබුණු සීපා ගිවිසුම නොවෙයි. මේක ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්. මේකට විරුද්ධත්වය පල කරන සෑම කෙනෙකුටම මේ පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාවක් දෙනවා. එතනදි රටට නුසුදුසු දෙයක් තිබේනම් පෙන්වාදෙන්න කියා මා ඉල්ලනවා. රටට නුසුදුසු නොගැලපෙන දෙයක් තිබේනම්, එවැනි දේ සියල්ල ඉවත් කර, අපේ රටට වාසිදායක එකඟතාවක් විනා, අපේ රටට අවාසිදායක කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නෙ නැති බව මම බොහොම පැහැදිලිව කියනවා.

 


ප්‍රශ්නය: දැවැන්ත ප්‍රචාරයක් දීලා, ලොකුවට සද්දෙ දාලා ගේනවා කිව්ව ව්‍යවස්ථා සංශෝධනය තවමත් නැහැ. තවම ආණ්ඩුව තුළවත් මේ ගැන එකඟතාවක් නැහැ නේද?
විජිත ගුණරත්න, පට්ටිපොල.
පිළිතුර--
මම ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ ඒකමතිකව යෝජනාවක් සම්මත වුණා. ඒකට කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. මුලින් ඉදිරිපත් කළ යෝජනාවට සංශෝධන ඉදිරිපත් කළා. එම සංශෝධන සියල්ල බාරගෙන, පාර්ලිමේන්තුවේ ඒකමතිකව යෝජනා සම්මත වුණා.


දැන් මේ වන විට ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා මහජන අදහස් විමසීමේ කමිටුවක් පත් කර, ඒ කමිටුව දිස්ත්‍රික්කවලට ගිහින් මහජන අදහස් විමසීම කරගෙන යනවා. ඒ අනුව ඉදිරියේදී ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සඳහා මහජන අදහස් විමසීමෙන් අනතුරුව නීති විශාරදයින් කැඳවා කුමන විදියෙ ව්‍යවස්ථා සංශෙෘ්ධනයක්ද කළ හැක්කේ කියන කාරණය ගැන ඔවුන්ට උපදෙස් ලබාදෙනවා. එහෙම නැතිව මේක මේ හදිසියේ, කඩිමුඩියේ, පැය 24න් කළ හැකි දෙයක් නොවෙයි. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදද්දි, ඒ සඳහා ජනතාවට අවස්ථාව දිය යුතුයි. එහෙම නැතිව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වගේ නොවෙයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටේ මිනිස්සු දන්නෙත් නැහැ. කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දන්නෙත් නැහැ. ඒක රාජාණ්ඩුක්‍රමයක් සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කළ සංශෝධනයක්. ඒ ගැන එදා කවුරුවත් කතා කළෙත් නැහැ. අද මේ ගැන කතා කරන්න සම්පූර්ණයෙන් ඉඩකඩ දීලා තියෙනවා. විවේචනයට සාකච්ඡාවට මහජන අදහස් වලට ඉඩදීලා කටයුතු කරගෙන යද්දියි, ඔය වගේ දේ කියන්නෙ. කඩිමුඩියේ හදිසියේ ව්‍යවස්ථා හැදීමේ ක්‍රමවේදයක් ආණ්ඩුව අනුගමනය කරන්නෙ නැති බව බොහොම පැහැදිලිව කිව යුතුයි. ව්‍යවස්ථා සංශෝධනය සියලු පාර්ශව, සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර, අදියරෙන් අදියර කරන්න බලපොරොත්තු වෙනවා.

 


ප්‍රශ්නය: විදුලිය නැතිව ගිය සතියෙ පැය 6ක් රටම අඳුරේ. මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද, නැතිනම් ආණ්ඩුවේ නොහැකියාවද? ඔබතුමාගෙන් පිළිතුරක් අපේක්ෂා කරමි.
විජිත පල්ලේගම, ඇඹිලිපිටිය.
පිළිතුර-
එය ආණ්ඩුවේ නොහැකියාවවත්, කඩාකප්පල් ක්‍රියාවක්වත් නොවෙයි. යන්ත්‍ර සූත්‍ර වල අත්‍යවශ්‍ය නඩත්තු, සොයා බැලීම් නිසි පරිදි සිදුවී නැති බව ඉංජිනේරුවන්ම මේ ගැන සොයා බැලීමේදි වාර්තා කර තිබෙනවා. සමහර තැන්වල විදුලි උත්පාදන මධ්‍යස්ථානවල අලුත්වැඩියා කටයුතු සිදුවෙලා නැහැ. මෙය සම්පූර්ණයෙන්ම විදුලිබල පරිපාලනය සහ කළමනාකරණයේ තිබෙන දුර්වලතාවක්. එය සෑම කෙනෙක්ම පිළිගෙන තිබෙනවා. දැන් ඉංජිනේරු මහත්වරුන්ම මේ පිළිබඳ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ පිළිබඳ වගකීම සම්පූර්ණයෙන් ඒ අයට බාරදීලා තියෙන්නේ.


මෙය කඩාකප්පල් ක්‍රියාවක් හෝ කුමන්ත්‍රණයක් කියා මම කොහෙත්ම කියන්නෙ නැහැ. මෙය දේශපාලනඥයින් පිට දැමීමේ තේරුමකුත් නැහැ. මේ පිළිබඳ සම්පූර්ණ වගකීම විදුලිබල මණ්ඩලයේ සහ ඉංජිනේරුවන්ගෙ.


ඕනෑම රටක හිටපු ගමන් මෙවැනි දේවල් සිදුවෙනවා. වෙන රටවලත් වෙනවා. අපේ රටෙත් සිදුවෙනවා. එහෙම නැතිව මෙය පළමුවරට සිද්ධ වුණු දෙයකුත් නොවෙයි. මේ රටේ පහුගිය දශක කිහිපයේම ඔය වැනි සිද්ධීන් වෙලා තියෙනවා. අංශ භාර විශේෂඥයින්, තාක්ෂණික විද්‍යාඥයින් ඒවා නිවැරැදිව කරගෙන යනවා.


මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට හැම විටම වගබලා ගන්නා ලෙස රජය වශයෙන් උපදෙස් දී තිබෙනවා.

 


ප්‍රශ්නය: මැතිවරණයට පෙර කිව්වෙ පෝර්ට් සිටි (වරාය නගරය) ව්‍යාපෘතිය නතර කරනවා කියලයි. නමුත් දැන් අවුරුද්දකට පසුව නැවත එය හදන්න යනවා. ගතවුණු අවුරුද්ද තුළ මේ ව්‍යාපෘතිය පටන් ගත්ත නම් මේ වන විට බොහොමයක් ඉදිවෙලා අවසන් නේද?
රත්නසිරි කරුණාරත්න, වල්පොල.
පිළිතුර-
පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන චීන - ශ්‍රී ලංකා ගිවිසුමේ අඩුපාඩු රැසක් තිබුණා. ඇතැම් වගන්ති රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනියි. ඒ නිසා මේ ගිවිසුම සංශෝධනය විය යුතු බව අප පැහැදිලිවම කියලා තියෙනවා.


මේ ගිවිසුම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා නම්, ගිවිසුම අත්සන් කර තිබෙන ආකාරයට ගිවිසුම කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් 35 බැගින් මාස්පතා ගෙවිය යුතුයි. මසකට ඩොලර් මිලියන 30ක් 35ක් කියන්නෙ අති විශාල මුදලක්. මේ ගිවිසුම කඩ කළොත් ඉදිරි අවුරුදු සිය ගණනක් අපි ඒක ගෙවන්න ඕන.


ගිය ආණ්ඩුවේ මේ ගිවිසුම අත්සන් කළ අය ප්‍රධාන වශයෙන් මේ වැරැද්ද කර තිබනවා. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනියි. ගිවිසුමේ වගන්ති හරියට කියවලාද නැති නම්, කියවන්නෙ නැතිවද, මේ වගන්ති ඇතුළත් කර නොදන්නා සේ සිටියාද කියන කාරණා ගැනත් බැලිය යුතුයි. ගිවිසුම අත්සන් කරද්දි විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් ඒ වගකීම හරියට ඉෂ්ට වී නැහැ. ඒ නිසා ගිවිසුමේ වගන්ති සංශෝධනය කර අපට ගැලපෙන ආකාරයට මේ කටයුත්ත කිරීම ගැන අපි දැන් සාකච්ඡා කරගෙන යනවා.

 


ප්‍රශ්නය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අර්බුදය ගැන ඔබතුමා ළඟ ඉන්න අය එකක් කියනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ළඟ ඉන්න අය තව එකක් කියනවා. ලංකාවේ පේන්න තියෙන බරපතළම අර්බුදය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය කියා අප හිතෙනවා. ඔබතුමා ඒ බව පිළිගන්නේද?
නිශාන්ත විජේවික්‍රම, මතුගම.
පිළිතුර-
ලංකාවේ ඕනැ තරම් අර්බුද තියෙනවා. මේ කතා කරන්නෙ මොන අර්බුදයක් ගැනද? මේ රටේ ප්‍රධානම අර්බුදය තමයි ආර්ථික අර්බුදය. ඊළඟට සංහිඳියාව පිළිබඳ අර්බුදය. ඊළඟට යහ පාලනය පිළිබඳ අර්බුදය. මේවා අර්බුද යනුවෙන් මා අදහස් කරන්නෙ ඒවායේ තියෙන සංකීර්ණ ස්වභාවය සහ එහි වගකීම සම්බන්ධයෙන් වන කාරණා ගැනයි. ආර්ථිකය, සංහිඳියාව, යහ පාලනය මේවා තමයි රටේ තියෙන අභියෝග.


ආර්ථිකය, සංහිඳියාව සහ යහ පාලනය කියන අභියෝග සැලකිල්ලට ගෙන එය සාර්ථක කර ගැනීම සඳහා රටක් විදිහට කටයුතු කිරීම අවශ්‍යයි. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ තියෙන ගැටලුව ජාතික ප්‍රශ්නයක් නොවෙයි. ඔය කියන දේවල් දේශපාලන පක්ෂ වල නැතිව නොවෙයිනෙ. ඒ සියල්ල ඡන්ද කාලෙ වෙන විට විසඳෙනවා. මට ඊට වඩා වැඩ තියෙනවා. රටේ ජනතාව බලාගෙන ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදය දෙස නෙවෙයි. මට රට බාරදී රට ඉදිරියට ගෙනයාම ගැනයි ඔවුන් බලා සිටින්නෙ.


ඒ නිසා මගේ කාලය මා යොදවා තිබෙන්නේ රටේ ආර්ථිකය ගොඩගැනීම, සංහිඳියාව ශක්තිමත් කිරීම සහ යහ පාලනය ඇති කරන්නයි. හොඳ රටක් ගොඩගැනීමයි මගේ ඉලක්කය. ඒ වෙනුවෙන් මම මගේ කාලය යොදවලා තියෙන්නේ. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ තියෙන ප්‍රශ්න කාලානුරූපව විසඳෙනවා. ඡන්දයක් එනකොට ඔය සියල්ල විසඳගන්න පුළුවන් බව හැම කෙනෙක්ම දන්නවා.

 


ප්‍රශ්නය: අපගේ දීර්ඝ කාලීන මිතුරකු වන පාකිස්ථානය, ඉන්දියාව නිසා විරසක කරගන්නේ ඇයි? අපට යුද ආධාර පුහුණුව, ගුවන්යානා ලබා දුන් පාකිස්ථානයේ ප්‍රහාරක යානා ගනුදෙනුව නවතා දැමුවේ ඇයි?
පීටර් සමරසිංහ, අකුරැස්ස.
පිළිතුර
- ඉන්දියාව, පාකිස්ථානය යන රටවල් දෙකම අපේ මිත්‍රයින්. මේ රටවල් දෙකම සමඟ අපේ හොඳ සම්බන්ධතාවක් තිබෙනවා. ඉන්දියාව, පාකිස්ථානය, චීනය ආදී මේ සියලු රටවල් අපට ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න උදව් කළ රටවල් බව කිව යුතුයි. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ සෑම රටක්ම සමගම හොඳ හිත පවත්වාගෙන යමින් කටයුතු කිරීමට අපට හැකි වී තියෙනවා.


ඔය කියන ප්‍රහාරක යානා සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවා, අවශ්‍ය මිලදී ගැනීම් කිරීමට අපි පොදු තීන්දුවක් ගෙන තිබෙනවා. ඕනෑම රටකට මේ සඳහා ඉදිරිපත් විය හැකියි. ටෙන්ඩර් කැඳවීම මගින්, රටට වාසිදායක ලෙස කටයුතු කිරීම අපේ බලාපොරොත්තුවයි.


එහෙම නැතිව කිසිම රටක් සමඟ අපට ප්‍රශ්නයක් නැහැ. අපි සියලු රටවල් සමඟ ඉතා හොඳින් ගනුදෙනු කරනවා.

 


ප්‍රශ්නය: යහ පාලනයට වසරකි. එම වසරක කාලය තුළ කෙරුණු සංවර්ධනයක් නැහැ. තිබුණු ව්‍යාපෘතිද නවතා දමා ඇත. එසේ වූයේ වැඩ බැරි නිසාද? දර්ශනයක් නොතිබුණු නිසාද?
රුවන් තිලකරත්න, අවිස්සාවේල්ල.
පිළිතුර -
නැහැ, අපි මේ වන විටත් බොහෝ ව්‍යාපෘති වල මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. මම පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් මේ ගැන කියා තිබෙනවා. අලුත් ආණ්ඩුව පත් වී තවම මාස 6ක් පමණ වෙන්නේ. 


ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීම ආදීය කරගෙන යනවා. ඔය බොහෝ අය කියන ඇහැට පේන විදියෙ භෞතික දේවල් මේ අවුරුද්ද අවසන් වන විට බලාගන්න පුළුවන්. අපි ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. 


ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ග්‍රාම නිලධාරි වසමකට ලක්ෂ 15 බැගින් ලබාදෙනවා. පළමු අදියරේ ලක්ෂ 10ක් දෙනවා. ඉන් පසුව ඉතිරි ලක්ෂ 5 දෙනවා. ඒ විදියේ සුළු, මධ්‍ය පරිමාණය සහ මහා පරිමාණයේ ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඉදිරි මාස 6 දී එහි ප්‍රගතිය හැමෝටම බලාගන්න පුළුවන්.

 


ප්‍රශ්නය: යුදවාදය රටට දැන් අවශ්‍ය නැති බව අපිද පිළිගනිමු. එහෙත් මේ යන සාම මාවතේ අවසන් ප්‍රතිඵලය තවත් දශක කීපයකින් යුද්ධයක් නොවේද? ත්‍රස්තවාදීන් නිදහස් කළ යුත්තේ නඩු අසා මිස දේශපාලන තීන්දු වලට නොවන බව ඔබතුමා පිළිගන්නේද?
ඩී.ඒ. වර්ණසිරි, මීරිගම.
පිළිතුර-
ත්‍රස්තවාදීන් නිදහස් කළේ කලින් ආණ්ඩුවෙන් මිස අපි නොවෙයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 12,000ක් ගෙදර යැව්වෙ පසුගිය ආණ්ඩුවෙන්. කරුණා, පිල්ලෙයාන් වගේ අයට ඇමැතිකම්, මහ ඇමැතිකම් දී බොහොම නිදහසේ ඉන්න ඉඩ දුන්නෙ පසුගිය ආණ්ඩුවෙන්නෙ. අපි ඒ දේවල් කිසිවක් කරලා නැහැ. මේ නිකන් බොරුවටනෙ කෑ ගහන්නේ. ත්‍රස්තවාදීන් නිදහස් කරනවා කියලා 12,000ක් 13,000ක් නිදහස් කරපු අයගෙනුයි ඕවා අහන්න ඕන. පිල්ලෙයාන්, කරුණා වගේ අයට මැති ඇමැතිකම්, මහ ඇමැතිකම් දීලා පක්ෂයේ උප සභාපතිකම් දීලා කටයුතු කළේ අපි නොවෙයි. මම ඒවා නරකයි කියා කියන්නෙ නැහැ. හැබැයි ඔය ප්‍රශ්න අහන අය ඒවා ඇසිය යුත්තේ ඔවුන්ගෙනුයි. ඒ අය කරපු දේවල් අපි කරලා නැහැ.

 


ප්‍රශ්නය: ජනාධිපතිතුමනි, ඔබතුමා මේ රටේ වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බව අපි දනිමු. එහෙත් ඔබගේ කකුලෙන් අදිමින්, එය වැළැක්වීමට උත්සාහ කරන්නේ ඔබේම පක්ෂයේ අය නේද?
නිලන්ත සිල්වා, බලපිටිය.
පිළිතුර-
ඔව්, ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පත් වූ විට ඔවුන්ට වැඩ කරගෙන යන්න ඉඩදිය යුතුයි. රටට ආදරයක් තිබේ නම්, එයට ඉඩ දිය යුතුයි. එහෙත් මෙතන සිදුව ඇත්තේ බලයේ සිටි අය රටට නොව බලයට ආදරේ කිරීමයි. අලුත් ආණ්ඩුවක් විදියට ගමනක් යන්න හදන විට බලයට තියෙන කෑදරකමත් එක්ක එය වළක්වන්න හදනවා. මහජනයා නොමග යවනවා. ඡන්දයක් නැතිව, උද්ඝෝෂණ රැස්වීම් තියෙනවා. මේවායෙන් බලාපොරොත්තු වෙන්නෙ, ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කර, ආණ්ඩුව අස්ථාවරයි කියා පෙන්වන්නයි. ඔවුන් මේ කරන්නෙ රටට ද්‍රෝහීකමක්. 


කවුරුත් ජීවත් වෙලා මැරිලා යනවා. ඔය කිසිකෙනෙක් සදාකාලිකව ජීවත්වෙන්නෙ නැහැ. හැබැයි මේ දේශපාලන අවස්ථාවාදීන් බලය පිළිබඳව සිහින මවාගෙන නැවත බලය ගැන සිතමින්, ඒ වෙනුවෙන් දුක්වේවි තැවි තැවී ඉන්නවා. එහෙම මිනිස්සු රටට කරන්නෙ විනාශයක්. අපි මේවා ගැන හොඳ අවබෝධයකින් ඉන්නෙ. ඒ නිසා මේ කකුලෙන් ඇදීම මොනව තිබුණත් අපි මහජනතාවත් එක්ක එකතු වී රට වෙනුවෙන් අපි මේ ගමන යනවා.

 


ප්‍රශ්නය: ඒකාබද්ධ විපක්ෂයේ හයිඞ් පිටියේ රැස්වීමට යන්න එපා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා කිව්වා. හැබැයි මන්ත්‍රීවරුන් 36 දෙනෙක් ගියා. මේ අය සම්බන්ධයෙන් ඔබතුමා ගන්නා පියවර කුමක්ද? ඔවුන් එළියට දමා පක්ෂයට යන්න පුළුවන්ද?
ඩී.ඒ. වර්ණසිරි, මීගොඩ.
පිළිතුර-
ඒවා මට අයිති දේ නෙවෙයි. ඒ පිළිබඳව සාකච්ඡා කර තීන්දු ගන්න පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන්. ඔය කරුණු සම්බන්ධයෙන් මගේ මැදිහත්වීමක් නැහැ. පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන සාකච්ඡාවකදී ඔය කරුණු ගැන සාකච්ඡා කරාවි.

m



අදහස් (0)

“ඉට්කා” අවසන් තීරණයට පෙර උගතුන්, බුද්ධිමතුන් සමඟ සාකච්ඡා කරනවා

ජානක Wednesday, 30 March 2016 01:53 PM

ත්‍රස්තවාදීන් නිදහස් කළේ කලින් ආණ්ඩුවෙන් මිස අපි නොවෙයි ඔබතුමා ඒ කාලෙ ඒ පක්ෂයේ සාමාජිකයෙක් නෙවේද? දෑනටත්? (අ)

:       0       0

සිල්වා බර්ලින් Tuesday, 29 March 2016 09:38 AM

ඉට්කා ගිවිසුම ගැන ඇති යෝජනා කෙටුම්පත ජනතාවට ප්‍රසිද්ධ කරන්න , මේ ගැන කිසිම තොරතුරක් දන්නේ නැතිව කොහොමද ජනතාව සහ ජනතා නියෝජිතයන් තීරණයක් ගන්නේ , මගේ වැටහීම අනුව නම් ඉන්දියාව සමග තිබෙන ගිවිසුම් හොඳටම ඇති (බ)

:       0       0

ඉන්දු Tuesday, 29 March 2016 07:01 AM

රට ගැන හිතලා කෙලින් වැඩ කරන නායකයෙක් බව මහජනතාවට පෙන්වන්න ඔබ තුමාට ලැබුණු අවස්තාවක් මේ... (ර)

:       0       0

කපිල Tuesday, 29 March 2016 11:13 AM

මං රනිල්ට කැමති නැති වුනත් ශශීක කියන කතාව එකහෙලා අනුමත කරමි. (ර)

:       0       0

සජිත Tuesday, 29 March 2016 12:59 AM

එට්කා ගැන ඔබතුමා මොනවා කිව්වත් අත්සන් කරන්නේ අගමැතිතුමාට ඕන විදිහටනේ. (ස)

:       0       0

ශෂික Tuesday, 29 March 2016 01:05 AM

ප්‍රකාශ නිකුත් කරලා. ලේකම්ලා ඉවත් කරලා. පක්ෂ මූලස්තානේ වහල. හෙන්චයියෝ මධ්‍යම කාරකසභාවට දාල චන්දෙ තිබ්බම මොන ශ්‍රී . ල.නි. ප.පාක්ෂිකයද ඔබතුමාට ගරු කරන්නේ. රනිල් මැතිතුමා ඔබට වඩා සැබවින්ම විචක්ෂණ සීලියි.එතුමාට පහරපිට පහරදුන් පක්ෂ මූලස්ථානයට පහරදුන් සියල්ලෝ අද ඇමතිවරු. දක්ෂයන්ගෙන් වැඩගන්නා හිතේ වෛරය නැති සැබෑ මහත්මයෙක්. (ස)

:       0       0

තිවංක Tuesday, 29 March 2016 08:48 AM

ඔබ අඩුම තරමේ මිනිස්සුන්ගේ අදහස් හරි විමසනවා ජනපති තුමනි. ඔබට ස්තුතියි. (ර)

:       0       0

නිම්මි Friday, 01 April 2016 03:13 PM

කවදාවත් මෙයාලා මේ රට හැදුවා කියලා නම් ඉතිහාසගත වෙන්නේ නැහැ. (නි)

:       0       0

ගීත් Friday, 01 April 2016 01:59 AM

රටට ආදරේ ඇති අය ඔබතුමාගේ වැඩ ගැන පැහැදීමෙනුයි පසුවෙන්නේ. හොරකාපු අය‍ට මේවා බලාගෙන ඉන්න බැරුව මේ වැඩ කටයුතු කඩාකප්පල් කරලා ජනතාව නොමඟ යවන්න බලනවා. ජනතාව ඒවා තේරුම් ගන්න ඕනෑ. ඔබතුමාට රට ඉදිරියට ගෙනියන්න ධෛර්යය ශක්තිය ලැබේවායි පතමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 615 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 82 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 102 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 331 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 226 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 119 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site