කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ක්‍රියාත්මක කර තිබෙන ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය නිසා නිවෙස්වලටම වී දින ගණනාවක් ගතකරමින් සිටි පුරුෂයින්, කාන්තාවන් සහ දරුවන් බහුතරයක්, ගෙවුණු සිකුරාදා මධ්‍යම රාත්‍රිය වන විට සිටියේ නින්දේය. ආර්ථික වශයෙන් බරපතල පහරක් එල්ල කැරෙමින්, ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු කරවීමට හේතුවූ යමක් සිදුවූනේ එම හෝරා කිහිපයේදීය.
කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, කිසිවෙක් අපේක්ෂා කළ නොකළ මට්ටමින් ඉන්ධන මිල ඉහළට නැංවිණ. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ද, ඉහළ ගියේ ය.
මේ ආකාරයෙන් ඉතා වැඩි අගයකින් ඉන්ධන මිල ඉහළ නැංවුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය ද, පිරිසිදු පරිපාලනයක් හරහා රැකියා අවස්ථා ඉහළ නැංවීමට සහ ජීවන වියදම පහළට ගෙන ඒමට ඉදුරාම පොරොන්දු වූ රජයක් රට පාලනය කරමින් සිටින අවධියකය.
මෙසේ මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කිරීම ශ්‍රී ලංකාවේ ජනතාව පැත්තෙන් බැලූ විට ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැන්නකි. ඉහළ ගොස් තිබෙන ආහාර ද්‍රව්‍යවල මිලෙන් මිරිකෙමින් සිටින ඔවුන්ගේ ගෙල වටා වැටුණු ගලක් ගැටගැසූ ලණුවකි.
සහල් සහ එළවලුවල මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙන අතර, එයත් සමග අනෙක් භාණ්ඩ සහ සේවාවල මිලද ඉහළ ගොස් ඇත. කෙසේවුවත් මෙසේ ඉහළ ගොස් තිබෙන භාණ්ඩවල මිලේ ද දැන් ඉහළ ගොස් තිබෙන ඉන්ධන මිලේද සැබෑ බලපෑම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය නිසා තවමත් හරිලෙස දැනෙන්නට ගෙන නොමැත.
“එහෙම තත්ත්වයක් නොතිබුණා නම් මේ වෙනකොට මිනිස්සු පාරට බැහැලා” රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා අනතුරු ඇගවූයේය.
රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම අනතුරු ඇගවීම උද්ගතව තිබෙන තත්ත්වය අරබයා ජනතාව කෝපයටත් කළකිරීමටත් පත්ව සිටින්නේ යැයි බුද්ධි අංශ සිදුකරන තිබෙන පුරෝකථනයන්වලින් ද තවදුරටත් තහවුරු වන බව රජයේ ආරංචි මාර්ගයක් පැවසුවේය.
රට පුරා කුඩා පරිමානයෙන් සිදුවූ විරෝධතාවන් මර්දනය කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටින්නේ එම පුද්ගලයින් නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළේ යැයි චෝදනා මතය. ඉහළ ගිය ඉන්ධන මිලට පමණක් නොව රසායන පොහොර තහනම හමුවේ ඉදිරි සති කිහිපය ඇතුළත රටේ බරපතල පොහොර හිගයක් ඇතිවනු ඇතැයි ගොවීහු කරමින් සිටින අනතුරු ඇගවීම් ද එම විරෝධතාවලට පදනම සපයා තිබිණ.
ඉන්ධන මිල ඉහළ යෑම අරබයා තිරය පසුපස කතාවෙහි ඇතැම් වැදගත් කොටස් ජනතා අවධානයට යොමුකළ යුතුවම මෙන්ම බරපතල ලෙස ප්‍රශ්න කිරීමටත් ලක්කළ යුතුවම තිබේ. එහිලා, එක් වැදගත් පැනයක් වන්නේ ඉන්ධන මිල ඉහළ නැංවීම කැබිනට් මණ්ඩලය අනුමත නොකළේ ඇයි? යන්නය.
රටට සහ ජනතාවට අදාළ වන ඕනෑම තීරණයක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව ගැනීමේ හැකියාවක් ඇතැයි අදහසක් දෙන එය, ඉතාම භයානක පූර්වාදර්ශයකි. එසේ කර ඇත්තේ, ඉන්ධන මිල ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළේ නම් එය සහතිකවම ප්‍රතික්ෂේප වන තත්ත්වයක, රජය තවත් අවුලක පටලවා ගැනීමෙන් වළක්වාගැනීමට ද?
ගෙවුණු සඳුදා පැවැති කැබිනට් මණ්ඩලය රැස්වීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීව නොමැති අතර රැස්වීමේ මුලසුන හොබවා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. නිල ආරංචි මාර්ග හරහා සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ ආකාරයට එදින ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර හෝ එවැන්නක් සම්බන්ධයෙන් සාකච්ඡා කර හෝ නොමැත.
මෙම කාරණය අඩුම තරමින් අමාත්‍යවරු සිව්දෙනක් තහවුරු කළා පමණක් නොව, ඉන්ධන මිල ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවීම නිසා එවැන්නක් සම්බන්ධයෙන් සිය විරෝධතා දැක්වීමට පවා අවස්ථාව නොලැබුණු බව පැවසූහ.
“මගේ ඡන්ද දායකයින්ට මොනවා කියන්නද තියා ඔවුන් හමුවට යන්නේ කොහොමද කියාවත් මට අදහසක් නැහැ” යයි ඔවුන්ගෙන් කෙනෙක් පැවසුවේ ය.
කැබිනට් මණ්ඩලය ගන්නා යම් තීරණයක් අදාළ බලධාරියා වෙත මෙම කාරණයේදී නම් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත දැනුම්දෙනු ලබන්නේ කැබිනට් ලේකම්වරයාය. නමුත්, මෙම අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබෙන්නේ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මියයි.
ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි නොවූ බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද සහතික කළේය. සදුදා කැබිනට් රැස්වීම අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ඔහු “ඉන්ධන මිල ඉහළ යාම ගැන අපි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළේ නැහැ” යැයි පැවසුවේ ය.
ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූයේ යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියේ මෙවැනි පසුබිමකය.
සහතික ලෙසම වැරදි වූ එය නැවත නැවතත් ගෙනහැර දැක්වීමේ යෙදුණේ ඔහුම පමණකි.
ජීවන වියදම සම්බන්ධයෙන් වන කැබිනට් උප කමිටුව ඉන්ධන මිල ඉහළ දැමීමට නිර්දේශ කළේ යැයි අමාත්‍යවරයා කීවේය. මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූයේය යන්න ජනතාව පැහැදිලි ලෙසම නොමඟ යවන සුලු වූ මුත් එසේ ඉන්ධන මිල ඉහළ දැමීමට තුඩුදුන් කරුණු කාරණා ගෙනහැර දැක්වීමට තරම් ගම්මන්පිල මහතා සත්‍යවාදී විය. එම කාරණා ඇත්ත වශයෙන්ම කම්පනය දනවන සුලුය. එතෙක් ඒවා සම්බන්ධයෙන් දැනුම්වත්ව සිටියේ අතලොස්සකි. අගහරවාදා පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පලකළ අදහස් මෙසේය.
“ඉන්ධන මිල වැඩි කිරීමට ප්‍රධාන හේතුව වන්නේ රජයේ ආර්ථික උපදේශකයා වන මහ බැංකුව මැයි මස 31 වැනිදා එවූ උපදේශන සටහනක්”
“ඉන්ධන මිල වහාම ඉහළ නොදමන්නේ නම්, බැංකු පද්ධතිය කඩාවැටෙනු ඇතිය කියා ඉන් අනතුරු අගවා තිබුණා. එය එසේ වීම රටේ සම්පූර්ණ ආර්ථික පද්ධතිය කඩා වැටීමක්. ඒ වගේම අපගේ විදේශ සංචිත ප්‍රමාණය ඉතා අවම මට්ටමක, අවසන් විය හැකි මට්ටමක, පවතින බවටත් මහ බැංකුව වැඩිදුරටත් අනතුරු අගවා තිබුණා. ඩොලරයේ වටිනාකම රුපියල් 200 ආසන්නයේ පවතින නිසා (සෙනසුරාදා වන විට ඩොලරයේ නොනිල රුපියල් වටිනාකම රුපියල් 205ක් විය), ඉහළ ගොස් තිබෙන ජීවන වියදම, තවත් දරාගත නොහැකි තරමට ඉහළ යෑමට ඉඩ තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සියලුම ආනයන භාණ්ඩවල මිල අහස උසට නගීවී”
“මේ අනතුරු ඇඟවීම ගැන සාකච්ඡා කළ ජීවන වියදම් කමිටුව මේ තීරණය ගත්තා”
“ජනපති ලේකම් පී.බී.ජයසුන්දර, අගමැති ලේකම් ගාමිණී සෙනරත් සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරු මේ කමිටුවේ සාමාජිකයන් වෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මේ කමිටුවේ සිටින දේශපාලඥයින් වන සාමාජිකයන්. ඔවුන් මේ විෂය ගැන, ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් අනුසාරයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඉන්ධන මිල ඉහළ නොදැමුවහොත්, ජනතාවට අත්විය හැකි ප්‍රතිඵල වඩා දරුණු බව එනම් ඩොලරයට තවත් ඉහළ යෑමට ඉඩ තැබීම සහ බැංකු පද්ධතිය කඩා වැටීමටත් උද්ධමනය ඉහළ යෑමටත් ඉඩ තැබීම වඩා හානිදායක බව ඔවුන් අවසානයේ දී, තීරණය කළා. ඒ නිසා ඔවුන් ඉන්ධන මිල 6% කින් ඉහළ දමන්නට එකඟ වුනා. එයින් එල්ල වන බලපෑම ඇත්තටම විකල්පය තෝරාගන්නවාට වඩා අවමයි” යයි ඔහු කීවේය.
කැබිනට් උප කමිටුවකට කැබිනට් මණ්ඩලය හා සමාන බලතල තිබේ ද? යන පැනය මෙතැන දී, නැඟේ. අතීතය සැළකීමේ දී කැබිනට් උප කමිටුවක අධ්‍යනයට ලක්වූ සියලුම කාරණා අවසානයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් වුනි.
අමාත්‍ය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයෙන් පැහැදිලිවන යතාර්ථයන් ද්විත්වයකි.
රටේ විදේශ සංචිත ප්‍රමාණය පහළ බැස ඇතැයි ඔහු නිල වශයෙන්ම තහවුරු කරයි. එය බිය ගෙන දෙන්නකි.
මේ දක්වාම එවැනි අනතුරු ඇගවීම් නිකුත් කළේ අන්තර්ජාතික බැංකු කවයන් සහ ආයතන පමණකි. රජයට ආදායම් ගලා ඒම ඒ හා සමානවම ඉතාම අයහපත් තත්ත්වයක පවතින බවත් ඔහු තහවුරු කරයි. එයින් රට බංකොලොත්වනු ඇතිදැයි බියක් නැඟේ.
රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම දිගින් දිගටම ඉහළ යමින් තිබෙන වාතාවරණයක අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ පෙට්‍රෝලියම් ආනයනය කිරීම සදහා රජයට වඩ වඩාත් රුපියල් අවැසිය. ඩොලරයේ ඉහළ යාම නවතා ගැනීමට රජයට හැකිව නොමැත.
මත්පැන් ඔන්ලයින් ක්‍රමයට අලෙවි කිරීම නිර්දේශ කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තේ දේශීය මට්ටමින් ආදායම් උපදවා ගැනීමේ උත්සාහයක් ලෙසය.
තාවකාලිකව ලොක්ඩවුන් සීමාවන් ඉවත් කළ දිනයන් හි වැඩිම පිරිසක් ගැවසෙනු දැකගත හැකිවූයේ සුරාසැල් අසලය. එසේවුවත්, යුද හමුදාව යටතේ ක්‍රියාත්මක වන කෝවිඩ්-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය එම උත්සාහය ව්‍යර්ථ කළේය.
ගෙවුණු සතියේ මුදල් අමාත්‍ය ලේකම් එස්.ආර්.ආටිගල ඉන්ධන ආනයනය කිරීම සදහා අවැසිව තිබූ ඩොලර් මිලියන 27 ක මුදලක් එකතු කරගැනීමේ යුහුසුලුව සිටි අතර ජනපති ලේකම් ජයසුන්දර මහජන බැංකුව සහ ලංකා බැංකුව සමග බැඳුම්කර හා බැඳුණු මුල්‍ය ගනුදෙනුවක් ඇති කරගැනීමට උත්සාහ කරමින් සිටියේ ය. එම උත්සාහය මෙතෙක් සාර්ථකව නොමැත.
මෙම සියලු පියවරයන් හදුන්වාදෙමින් තිබෙන්නේ හදිසි පියවරයන් ලෙසය. ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාව සළසා දෙමින්, වර්තමානයේ පනවා තිබෙන ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුව ඇතැයි ද නිර්දේශ ඉදිරිපත්ව ඇත. එවැනි නිර්දේශයන් ඉදිරිපත්ව තිබෙන්නේ එසේ ලොක්ඩවුන් සීමාවන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තරම් සුදුසු තත්ත්වයක් රටේ නොමැති වාතාවරණයකය.
වසංගත තත්ත්වය අරබයා එකිනෙකට පරස්පර දත්ත ලබාදීම සිදුවූයේ, කෝවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය වෙමින් පවතින බවට හැඟීමක් ජනිත කරවීමට ද?
සමස්ත ජාතියක් නින්දේ සිටි අවස්ථාවක වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය කටයුතු කළේ ඇයි? යන්න තවත් වැදගත් පැනයකි.
මීට දින කිහිපයකට පෙර යාපනයේ රජයේ එන්නත්කරණ වැඩපිළිවෙලෙහි සමාරම්භක උත්සවයට සහභාගීව සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අපට ඇති තරම් මුදල් තිබෙනවා යැයි පැවසුවේ ය. මෙවැනිම ප්‍රකාශයන් ඔහුගේ අමාත්‍ය සගයින් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු ද විවිධ අවස්ථාවන්හි සිදුකර තිබෙන්නේ මුදල් යනු ගැටලුවක් කරගත යුතු දෙයක් නොවන බව සහතික කරමිනි. නමුත් සත්‍ය එයට ඉදුරාම වෙනස්ය.
රජයේ විදේශ සංචිත ප්‍රමාණය පහළ බැස තිබෙනවා පමණක් නොව, දේශීය මට්ටමින් ගත්විට පවතින්නේ ආනයනය සදහා රජයට තව තවත් මුදල් අවශ්‍යව තිබෙන තත්ත්වයකි. කෙටියෙන් කිවහොත්, රජයට ප්‍රමාණවත් තරමක විදේශ සංචිත හෝ දේශීය මට්ටමින් මුදල් හෝ නොමැත. ඔවුන් සිටින්නේ බංකොලොත්වීමෙන් යන්තම් පියවර කිහිපයක් මෑතින්ය.
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පිටු දෙකක් පුරා දිවූ ඡේද 10 කින් සමන්විත නිවේදනයක් නිකත් කළ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අමාත්‍ය ගම්මන්පිල සිදුකර තිබූ සිත බියපත් කරවන සුලු කරුණු දැක්වීම් කිසිවක් එහි අන්තර්ගතකර තිබුණේ නැත. පරිසර හිතකාමී ශක්ති ප්‍රභව වෙත යොමුවිය යුතුව තිබෙන බව දක්වා තිබූ එහි, පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවලට වැය වන ඉන්ධන ප්‍රමාණය 60%කින් පහළ දැමිය යුතුව ඇතැයි සදහන් කර තිබිණ.
ඉදිරි කාලය ඇතුළත පොදු ප්‍රවාහන සේවාවන් යම් ආකාරයකින් කප්පාදුවනු ඇතිය යන්න එයින් ගම්‍ය වන අරුත වේ. ලංකා විදුලි බලමණ්ඩලය, විදුලිය නිපදවීම සදහා භාවිතා කරන ඉන්ධන ප්‍රමාණය 30%ක ප්‍රමාණයකින් පහත දමා ගැනීම සදහා, පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන්ගේ භාවිතය ඉහළ දැමීමටත් රජය ඉලක්ක කරන්නේ යැයි ද ජනපතිවරයාගේ නිවේදනයේ සදහන්ව තිබිණ.
පැහැදිලි වන ආකාරයටම, මේ සියල්ල දිගු කාලීන විසඳුම්ය. සියලු නිවාස, පාසල්, රෝහල් සහ රජයේ ගොඩනැගිලි සදහා සූර්ය පැනල ලබාදීමටත් තමාට වුවමනා බව ජනපතිවරයා පැවසුවේ ය. මෙතැන ද යොදා ගැනීමට නම් එම පැනල ආනයනය කිරීමට සිදුවන අතර, ඒ සදහා රජයට මුදල් නොමැත.
ඛනිජ තෙල් ආනයනය සඳහා විදේශ විනිමය ඇ.එ.ඩ.ඩෙ. මිලියන 4000 ක් පමණ වනු ඇත.
“මෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන, අපනයන ආදායමෙන්, තුනෙන් එකකට ආසන්න වියදමකි යැයි සදහන්ව තිබූ එම නිවේදනයේ, මෙම මිල ගණන් වැඩිකිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණි. එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩු කරන විනිමය අනුපාතය ශක්තිමත් කරගැනීමටත්, ජනතාවගේ සෞඛ්‍ය හා සුබසාධනය සුරක්ෂිත කරගැනීමටත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිශ්පාදන මත රදා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කරගැනීමටත් ගත් තීරණයකි” යැයි වැඩිදුරටත් දැක්විණ.
කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් යැයි මෙම නිවේදනයේ කිසිදු තැනක සදහන්ව නොතිබිණ. පොසිල ඉන්ධන භාවිතය අවම කරගැනීම සදහා ජනපතිවරයා හදුන්වාදී තිබෙන විකල්පය ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම සදහා විශාල වශයෙන් විදෙස් සහය මෙන්ම දැනටමත් රටට ඉතාම අවැසිය තිබෙන විදේශ විනිමය වඩවඩාත් අවැසි වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අනුගමනය කැරෙන විදේශ ප්‍රතිපත්තිය හමුවේ බොහෝ සංවර්ධිත රටවල දොරටු අපට වැසී තිබෙන අතර විවෘතව පවතින දොරක් වේ නම් ඒ චීනයේ පමණක් බව කිව හැකිය. නමුත් එය, මෙම ඉලක්කයන් තෘප්ත කරගැනීම සදහා ප්‍රමාණවත් නැත.
ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදුකිරීම එක් දෙයකි.
වඩාත් වැදගත්ම පැනය වන්නේ, ශ්‍රී ලංකාව මෙවැනි බංකොලොත්භාවයකට පත්වන තැනට රටේ ආර්ථික කටයුතු කෙසේ නම් කළමණාකරනය කැරුණේ ද? නොඑසේ නම් එසේ සිදුවන තැනට කළමණාකරනය කර ඇත්තේ ඇයි? යන්නය.
එය ආර්ථික කටයුතු සහ මුල්‍ය කටයුතු ඉතා දුර්වල ලෙස කළමණාකරනය කිරීම නිසා උද්ගතවූවක්දැයි යන්න නිසැකවම දැනගැනීමට ජනතාවට හැකියාවක් නොමැත.
මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන්නේ, ලැබුණු අයහපත් උපදෙස් නිසා ද?, දේශපාලන කරුණු මත පමණක් පිහිටා කළ විසල් පරිමානයේ වියපැහැදම් නිසා ද?, එසේත් නැතිනම්, නුසුදුසු පුද්ගලයින් තනතුරුවලට පත්කිරීම නිසා ද?, ඔවුන් ඇතැමෙක් මහා පරිමාන අලාභයන්ට වගකිව යුතු වුවත්, බොහෝ විට ඔවුන්ට සැළකෙන්නේ සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබිය හැක යන තත්ත්වයෙහිලාය.
ප්‍රතිඵලය- ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය නිසා රජය තවදුරටත් ජනතාවගේ අප්‍රසාදයට ලක්වීමය. එවැනි පුද්ගලයින් බොහෝ දෙනෙක්, මෙකී ප්‍රධාන තනතුරුවලට පත්ව සිටිති.
ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය කෝවිද ගුණසේකර
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන මිල වැඩිවීමේ බියකරු යථාර්ථය