IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


උඩ යන යට යන කොමිෂන් සභා

පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දැරූ උත්සාහය පුස් වෙඩිල්ලක් බවට පත්වී තිබේ.

එසේ වූයේ ඔහු ඒ සම්බන්ධයෙන් යොදා ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද කොමිෂන් සභා වාර්තා දෙකම කතෝලික සභාවේ ප්‍රදානියා වන මැල්කම් රන්ජිත් කාදිනල්තුමා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසාය.

මුස්ලිම් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් 2019 අප්‍රේල් 21 වැනිදා ක්‍රිස්තියානි ජනතාව ලක්කොට එල්ල කළ එම ප්‍රහාර මාලාවෙන් වැඩියෙන් පිඩාවට පත් වූයේත්, සිත් වේදනාවට පත්වූයේත් මෙරට කතෝලික ජනතාවයි. එම ජනතාවගේ නායකයෝ මෙම කොමිෂන් සභා දෙකේ වාර්තා පමණක් නොව එම කොමිෂන් සභා ද අනවශ්‍ය ආයතන බව ඒවා පත් කෙරුණු දිනවලම පැවසූහ. මන්දයත් ඒ වනවිට මෙම ප්‍රහාර සම්බන්ධයෙන් යාන්ත්‍රණ ගණනාවක් මගින් පරීක්ෂණ පවත්වනු ලැබ තිබිණි.

මේ රටේ පාලකයන් විවිධ ප්‍රශ්න පිළිබඳව කරුණු සොයන්නටත්, පරීක්ෂණ පවත්වන්නටත් කොතරම් කමිටු, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා හා කොමිෂන් සභා පිහිටුවා අවසානයේ දී ඒවායේ වාර්තා කුණු කූඩයට දමා ඇත් ද යන්න විමසා බලන්නට ගම්මන්පිල මහතා අපට හොඳ ආරම්භයක් ලබා දී තිබේ.

මෙම පාස්කු ඉරිදා ආරාධනය සම්බන්ධයෙන් පත් කරනු ලැබ කමිටු කොමිෂන් සභා හා නඩු විභාග පිළිබඳව අපි පසුගිය සතියේ විස්තරාත්මකව පැහැදිලි කළෙමු. වික්‍රමසිංහ මහතාගේ කමිටු දෙකට පෙර ජනාධිපති කමිටුවත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්, ජනාධිපති කොමිසමක් පරීක්ෂණ පවත්වා වාර්තා භාර දී තිබිණි. මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක්  වික්‍රමසිංහ මහතා ද වගඋත්තරකරු කරමින් කොළඹ දිසා අධිකරණයේ නඩු 108ක් හා අපරාධයට සෘජුවමය සම්බන්ධ බව කියන 25 දෙනකුට එරෙහි මහාධිකරණ නඩුවක් විභාග වෙමින් තිබිණි. ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම කමිටු දෙක පත් කළේ ඒ පසුබිම තුළය.

පසුගිය වසරේ  ඔක්තෝබර් 2වැනිදා ජර්මනියේ දී එරට රූපවාහිනිය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී චැනල් ෆෝ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේ දැයි ජනමාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් හයක පරීක්ෂණ ආයතන පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කොට තිබිය දී තවත් පරීක්ෂණ කුමට ද කියාය.

එහෙත් ඔහුම පරීක්ෂණ කමිටු දෙකක් පත් කළේය. තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්  හා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය මගින් තවත් පරීක්ෂණ දෙකක් කරන්නට ද යන බව ඔහු ඊට කලින් ප්‍රකාශ කොට තිබිණි.

මෙසේ ඉවරයක් නැති කොමිෂන් සභා හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කෙරෙන තවත් කාරණයක් වී ඇත්තේ මැතිවරණ ප්‍රතිසංස්කරණයයි. මුලින්ම ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත් කෙරුණේ 2001දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධූරය දරද්දීය. එවක ඇමැතිවරයකු වූ දිනේෂ් ගුණවර්ධන මහතා එහි සභාපති වූ අතර ඒ වනවිට පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ සඳහා ක්‍රියාත්මක වූ සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු යැයි එම කාරක සභාව නිර්දේශ කළේය.

එම කාරක සභා නිර්දේශ කිසිවකු ප්‍රතික්ෂේප කළේ නැත. එසේ තිබියදී 2006 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටිය දී එවකද ඇමැතිවරයකු වූ දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් තවත් තේරීම් කාරක සභාවක් එම කාරණය සඳහාම පත් කෙරිණි. එහිද නිර්දේශය වූයේ මිශ්‍ර මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුය යන්නයි.

ඒ අනුව පළමුව 2012 දී පළාත් පාලන මැතිවරණ මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා අදාළ පනත සංශෝධනය කෙරිණි. එහෙත් ඒ අනුව පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ඡන්ද කොට්ඨාසවල සීමා නිර්ණය කිරීම වසර පහක්ම ඇදි ඇදී ගොස් අවසානයේ දී 2017 දී අවසන් කෙරිණි.

එහෙත් එම ක්‍රමය යතේ 2018 දී පැවැති පළමු මැතිවරණයේදීම පෙනී ගියේ එම ක්‍රමය අවුල් ජාලාවක් බවය. ඒ අනුව නව මැතිවරණයේ දී ආයතන 340ක් 239ක් දිනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවා එම ක්‍රමය යළිත් සංශෝධනය කළ යුතු යැයි පැවසීය.

ඉන්පසු 2021 මැති සමයේ දී එනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහාම තවත් තේරීම් කාරක සභාවක් පත් කෙරිණි. එහි දී සභාපතිවරයා වූයේ එවකද ඇමැතිවරයකුව සිටි දිනේෂ් ගුණවර්ධන මහතාය. මෙය ඔහු සභාපතිත්වය දැරු එම විෂය සඳහාම වූ තුන්වැනි කාරක සභාවයි. 2022 ජූනි 22වැනිදා ගුණවර්ධන එම තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේය. එමඟින්ද යළිත් මිශ්‍ර මැතිවරණ ක්‍රමය නිර්දේශ කෙරිණි. එහෙත් 2018 පළාත් පාලන මැතිවරණවල දී ඇතිවූ අවුල් සහගත තත්ත්වයට පිළියම් එමඟින් නිර්දේශ කළ බවක් පෙනෙන්නට නොතිබිණි.

මෙම තුන්වැනි තේරීම්  කාරක සභාව පත් කරනු ලැබුවේ ඊට පෙර 2020 සැප්තැම්බර් 20 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්නට ජනාධිපති  නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව දෙනකුගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුවක් පත් කොට තිබියදීය. මැතිවරණ ක්‍රමය ව්‍යවස්ථාවේම කොටසකි. එම තේරීම් කමිටු වාර්තාවට මෙන්ම විශේෂඥ කමිටුවට ද ඉන්පසු කුමක් සිදුවුයේ ද යන්න පැහැදිලි නැත. 

මන්දයත් 2022 සැප්තැම්බර් 9 වැනිදා එවක ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ මහතා තම කාර්යාලයේ පැවැති වෘත්තිකයන් සඳහා වූ රැස්වීමක දී මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා තමන් ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නටත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්නටත් අදහස් කරන බව පැවසීය.

මැතිවරණය ක්‍රමය සංශෝධනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට වික්‍රමසිංහ මහතා උත්සාහ කරන්නේ ළඟ ළඟ එන පළාත් පාලන මැතිවරණ කල් දැමීමට යැයි එවිට විරුද්ධ පක්ෂ චෝදනා කළේය. එම මැතිවරණ කල් දැමීමට ඉන්පසු ගත වූ මාස දෙක තුළ වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ විවිධ උපක්‍රම සමග සලකා බලන කල එම චෝදනාව පදනම් විරහිත එකක් නොවන බව ද පෙනී ගියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා කළා සේම වික්‍රමසිංහ ද මෙම තේරීම් කාරක සභාව යෝජනා කරන්නට පෙර 2022 අගෝස්තු 3 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසියක් විවෘත කරමින් තමන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කොට සම්මත කර ගන්නට අදහස් කරන බව පැවසීය. එම නව ව්‍යවස්ථාව මඟින්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කරගත නොහැකි ද යන්න එහිදී මතු වූ ප්‍රශ්නය විය.

කෙසේ වෙතත් මැතිවරණය ක්‍රමය වෙනස් කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස 2022 සැප්තැම්බර් 26 වැනිදා එවක අධිකරණ ඇමැති වූ විජයදාස රාජපක්ෂ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය. තමන්ගේ  එම ඉල්ලීම අමතක විදෝ රාජපක්ෂ මහතාට යළිත් එවැනි තේරීම් කාරක සභාවක් සම්බන්ධයෙන් එම වසරේ දෙසැම්බර් මාසයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කොට තිබිණි. ඔහු ඒ බව පැවසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ද පළවිය. මෙයද ඒ දිනවල සැලකුවේත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උපක්‍රමයක් ලෙසය.

 2023 මාර්තු 9 වැනිදාට නියමිත තිබූ වසරකට ආසන්න කාලයක් මේ සියල්ල අමතක විය. ඉන්පසු 2023 ඔක්තෝබර් 16 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා හිටපු අග විනිසුරු ප්‍රියසාත් ඩේස් මහතාගේ ප්‍රධානත්වයෙන් නව දෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් පත් කළේය. එහෙත් ඉන් දින දෙකකට පසු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම කාරණයම සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව  නියෝජනය කරන පක්ෂවලට නියෝජිතයන්ගේ රැස්වීමක් කැඳවා තිබිණි.

 මේ සියල්ල නොතකා හරිමින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරමින් අවශ්‍ය නීති සම්පාදනය කරන්නට නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දෙන්නට ඇමැති මණ්ඩලය මේ වසරේ මාර්තු 18 වැනිදා තීරණයක් ගෙන තිබිණි. එම තීරණයට හේතු වශයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ සිය නිවේදනයෙන් දක්වා තිබුණේ අතීත කමිටු තේරීම් කාරක සභා හා කොමිෂන් සභාවල නිර්දේශ කොට පසුගිය වසරේ සම්මත කරන ලද මැතිවරණ වියදම් පිළිබඳ රෙගුලාසි පනතේ අරමුණු ඉටුකර ගැනීම සඳහා මැතිවරණ නීති සංශෝධනයක්  අවශ්‍ය බවය. ඒ සඳහා දිනේෂ් ගුණවර්ධන මහතා සභාපතිත්වය දැරූ තුන්වැනි තේරීම් කාරක සභාවේ නිර්දේශ උපයෝගී කර ගත හැකි බවද කැබිනට් යෝජනාවේ සඳහන් බව එම නිවේදනයෙන් කියමිණි.

එම කැබිනට් තීරණයට පසු මේ වනවිට මාස හතක් ගතවී ඇත. එම තීරණය ද ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට නැත.

මේ ආකාරයටම ජනවාර්ගික ප්‍රශ්නය මානව හිමිකම් ප්‍රශ්නය හා අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්නය ආදිය සම්බන්ධයෙන් ද කමිටු තේරීම් කාරක සභා හා කොමිෂන් සභා විශාල සංඛ්‍යාවක් පත් කරනු ලැබ තිබේ. මානව හිමිකම් සම්බන්ධයෙන් පත්කරන ලද අතීත කොමිෂන් සභාවල නිර්දේශ සලකා බලන්නට ද තවත් කොමිෂන් සභාවක් 2021දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබීය.

ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව පත් කරන ලද යාන්ත්‍රණ අතර 1984 වට මේස සාකච්ඡාව 1986 දේශපාලන පක්ෂ සමුළුව, 1989 සර්ව පාක්ෂික සමුළුව, 1997 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එහි සර්ව පාක්ෂික නියෝජිත කමිටුව 2016 ජාතික සමගි හා සංහිඳියා කාර්යාලය හා 2016 සංහිඳියාව සඳහා වූ කාර්ය සාධන බළකාය ආදිය ප්‍රධාන විය.

 මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වූ වැදගත් යාන්ත්‍රණ වූයේ උදලාගම කොමිසම, පරණගම කොමිසම, ජාත්‍යන්තර ස්වාධීන විශිෂ්ට පුද්ගලයන්ගේ කණ්ඩායම හා උගත් පාඩම් හා සංහිඳියා කොමිසමයි.

අවසානයේ දී මේවා ඒ අවස්ථාවට මුහුණ දීම සඳහා පාලකයන් විසින් පත් කරන ලද ඒවාය. නැත්නම් ප්‍රකාශිත අරමුණු නොව වෙනත් අරමුණු සඳහා පත් කරන ලද ඒවාය. එහෙත් මේවාට අති විශාල ධනස්කන්දයක් මහජන මුදලින් වැයකොට තිබේ.

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (0)

උඩ යන යට යන කොමිෂන් සභා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 105 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 155 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 50 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 41 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 927 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1083 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 135 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site