IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උතුරු කරළියේ ඉන්දීය භූමිකාව හැලේද?

මෙරට දකුණේ දේශපාලනයට වඩා උතුරු  නැගෙනහිර, විශේෂයෙන්ම උතුරේ දේශපාලනය වෙනස්ය. ඒ උතුරේ දේශපාලනය සෑම විටම ජනවාර්ගික ප්‍රශ්නය මුල් කර ගන්නා හෙයිනි. උතුරේ  දේශපාලනඥයන් ආර්ථික සංවර්ධනය පිළිබඳ කතා කරන්නේ කලාතුරකිනි.

දකුණේ ජනවාර්ගික ප්‍රශ්නය කරළියට එන්නේ බොහෝ විට මැතිවරණ කාලවලදීය. ඒ ජාතිවාදය අවුළුවා ඡන්ද ලබාගැනීමේ අරමුණෙනි. 2019 ජනාධිපතිවරණය හා 2020 මහ මැතිවරණය ආසන්තම හා හොඳම උදාහරණයකි.

 මේ වනවිට රට මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ දකුණේ දේශපාලනඥයන් ජනවාර්ගික ප්‍රශ්නය අමතක කොට දැමුවාසේය. මේ වනවිට රට මුහුණ දී ඇති අති විශාල විදේශ විනිමය අර්බුදය රසායනික පොහොර තහනම හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ලවූ තර්ජනය, අතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල මාස ගණනක් තුළ දී දෙගුණයක් වීම ඇතුළු පොදුවේ දක්නට ඇති අසාමාන්‍ය ලෙස ඉහළ යන බඩු මිල හා ජාතික සම්පත් විදේශවලට විකිණීම දකුණේ දේශපාලනයේ මේ දිනවල ප්‍රධාන මාතෘකාවයි.

2009 දී යුද්ධ්‍ය අවසාන වීමෙන් පසු  උතුරේ ඇත්තේ එක  තැන පල්වන දේශපාලන ඉල්ලීම් කිහිපයකි. එහි සියලු දේශපාලන පක්ෂ මේ ඉල්ලීම් මත පදනම්ව දේශපාලනය කරන අතර ඒවාට කොටු වී සිටින බව ද කිව හැකිය. පුළුල් බලය බෙදීමේ යාන්ත්‍රණයක් හා යුද්ධයේ දී දෙමළ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළ වුන්ට දඬුවම් දීම මේ අතරින්  ප්‍රධාන ඉල්ලීම් දෙකයි.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාවට අයත් මුහුදේ උතුරේ ධීවරයන්ගේ මත්ස්‍ය සම්පත් කොල්ලකෑම ද මේ දිනවල දෙමළ ජන මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් වී තිබුණ ද එම කාරණයට ඉන්දියාව සම්බන්ධවීම නිසා එය ආර්ථික ප්‍රශ්නයකට වඩා දේශපාලන ප්‍රශ්නයක් සේ සලකා පරිස්සමින් අත ගැසිය යුතු ප්‍රශ්නයක් ලෙස දෙමළ දේශපාලනඥයන් සිතන බවක් පෙනේ.

 එසේ නොවුවද මෙය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරන්නටද ඇතැම් දෙමළ දේශපාලනඥයෝ උත්සාහ කරති. වඩා පුළුල් බලය බෙදීමක්  ක්‍රියාත්මක  කරන්නට ශ්‍රී ලංකාවට බල කරන්නැයි ඉල්ලා  පසුගිය මාසයේ උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යැවීය. එසේ තිබිය දී පසුගිය මාසයේ 27 වැනිදා වැල්වෙටිතුරේ ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනකුගේ මළ සිරුරු එම මාසයේම 31 වැනිදා  වෙරළට ගොඩ ගසා තිබිණි. එය ඉන්දීය ධීවරයන්ගේ වැඩක්ය යන්න උතුරේ  බහුතරයකගේ මතයයි.

එහෙත් මෙම ලිපිය හා මළ සිරුරු එකට ගැට ගසා ප්‍රකාශයක් කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා මෙම ඝාතන සිදුවූයේ පෙර කී ලිපිය යැවීමෙන් පසුව වන හෙයින් මෙය ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩක් විය යුතු යැයි සැක පළ කොට තිබිණි. එනම් එම ලිපිය නිසා කෝපයට පත් ආණ්ඩුව ඊට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතන කරවා ඇති බවයි.

ඇත්ත වශයෙන්ම එම ලිපියේ අලුතින් කිසිවක් සඳහන්ව තිබුණේ නැත. උතුරේ දේශපාලන පක්ෂ ඉන් ඉල්ලා තිබුණේ ජනවාර්ගික ප්‍රශ්නයට පෙඩරල් පන්නයේ  විසඳුමක් දෙන ලෙසට ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන ලෙසත් එතෙක් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන ලෙසත් පමණි. එය අලුත් කාරණක් නොව දශක දෙකක පමණ කාලයක් තිස්සේ දෙමළ පක්ෂ  අවධාරණය කරන්නකි. එහෙයින්දෝ එම  ලිපිය ඉන්දීය  ආණ්ඩුව හෝ ශ්‍රී ලංකා ආණ්ඩුව ගණන් ගත්තේ ද නැත. ශ්‍රී ලංකා ආණ්ඩුවට එම ලිපිය නිසා ඇතිවූ අලුත් කෝපයක් ද නැත.

කෙසේ වෙතත් උතුරේ දේශපාලනඥයන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙක වන පුළුල් බලය බෙදීමක් හා යුද්ධයේ දී මානව හිමිකම් උල්ලංඝනය කළ වුන්ට දඬුවම් දීම මෙරට ආණ්ඩුවෙන් ඉටු කර ගත හැකිවේ යැයි සිතිය නොහැකිය. ඔවුන් ඒ සඳහා මෙතෙක් කළ උත්සාහයන් හා උද්ඝෝෂණ  සියල්ල ආසාර්ථක වී තිබේ. ඒ නිසා ඔවුන් ඒ සඳහා බලාපොරොත්තු තබා ඇත්තේ ඉන්දියාව  හා එ.ජා. මානව හිමිකම් කවුන්සිලය මතය.

මේ කාරණයේ දී මෑතක් වන තෙක් උතුරේ දේශපාලනඥයන් අතර පොදු එකඟතාවක් තිබිණි. ඔවුන් අතර වූ එකම වෙනස වූයේ දකුණේ දේශපාලනඥයන් මෙන්ම වඩාත් හොඳ දේශප්‍රේමීන් වන්නේ තමන්ගේ දේශපාලන පක්ෂය බව පෙන්වීම සඳහා කටයුතු කිරීමයි.

එහෙත් දැන් ඔවුන්  අතර යම් යම් වෙනස්කම් මතුවෙමින් තිබේ. එම වෙනස්කම් ඇති  කිරීමට විදෙස් ගත ශ්‍රී ලාංකික දෙමළ  ප්‍රජාව හෙවත් දෙමළ ඩයස්පෝරාව විශාල වශයෙන් බලපා තිබේ. දෙමළ ඩයස්පෝරාව මෙම මතභේදය ඇති කළේ ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය හා කැනඩාව යන රටවල දී දෙමළ ජාතික සන්ධානයට විරෝධය පාමින් කළ උද්ඝෝෂණ මාලාවක් මඟිනි. විදෙස්ගත දෙමළ ප්‍රජාව වෙතින් මතවාදීමය හා මූල්‍යමය ආධාර පතා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන් හා ශානක්‍යන් රාසමානික්කම් යන මහත්වරුන් කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ දී සති කිහිපයකට පෙර රැස්වීමක් පවත්වද්දී එහි කඩා වැදුණු දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක් කලහකාරි ලෙස හැසිරෙමින් එම රැස්වීම කඩා කප්පල් කළහ.

ෆෙඩරල් විසඳුමක් දෙනු, එතෙක් 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරනු යන දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය විවේචනය කළ උද්ඝෝෂකයෝ දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි දේශපාලන විසඳුම් නොව වෙනම රාජ්‍යයකැයි කියමින් සුමන්දිරන් හා රාසමානික්කම් යන දෙදෙනා ද්‍රෝහීන් ලෙස හැඳින් වූහ.

එම උද්ඝෝෂණ මාලාවෙන් පසු දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාද 13 වැනි සංශෝධනයට එරෙහිව කතා කරන්නට විය. එහෙත් ඔහු වෙනම රාජ්‍යය ඉල්ලීම දක්වා ඉදිරියට යාමට පසුබට විය. ඔහුගේ සටන් පාඨය වී ඇත්තේ ෆෙඩරල් විසඳුමක් අවශ්‍යය යන්නයි.

තමන්ගේ මතය අවධාරණය කිරීම සඳහා කරුණු දක්වමින් පොන්නම්බලම් මහතා ඉන්දියාව කටයුතු කරන්නේ තමන්ගේ ජාතික අවශ්‍යතා පදනම් කොට ගෙන බවත්  13 වැනි සංශෝධනය ද එවැන්නක් බවත් පවසයි. මෑතක දී ඔහුගේ පක්ෂය ‘‘13 එපා’’ යන සටන් පුවරු රැගත් උද්ඝෝෂණයක් යාපනයේ දී පැවැත්වීය.

අනෙක් ප්‍රධාන පක්ෂ වන ආර්. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් වූ දෙමළ ජාතික සන්ධානය හා උතුරේ  හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් වූ තමිල් මක්කල් කුට්ටනි යන පක්ෂ ඉන්දියාව වැඩි  වැඩියෙන් මෙම ප්‍රශ්නයට ඈදා ගන්නා  අයුරින් කතා කරති.

 පසුගිය 7 වැනිදා පළවූ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත සමඟ විග්නේශ්වරන් මහතා කර තිබූ සම්මුඛ සාකච්ඡාවක් ඊට හොඳ උදාහරණයකි. උතුරු, නැනෙහිර දෙමළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම මගින් එම ජනතාව චීනයට වඩා ඉන්දියාවට පක්ෂපාතීව සිටීම තහවුරු කර ගත යුතු යැයි ඔහු  එහිදී ප්‍රකාශ කොට තිබිණි. ඉන්දියාවට ඉතා සමීප ශ්‍රී ලංකාවේ දූපත් තුනක පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට චීනය දැරූ උත්සාහයත් එහිදී ඉන්දියාව හා උතුරේ දේශපාලනඥයන් විරුද්ධවීමත් මෙහි දී අපට සිහිපත් වේ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ නීති විශාරදයන්ගේ කමිටුවක් පත් කළේය. එම කමිටුව සිය වාර්තාව සකස් කොට අවසන් යැයි කියවේ. ඒ ගැන මෙම සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කළ හිටපු ප්‍රධාන ඇමැතිවරයා එම නව ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය අනිවාර්යයෙන්ම ඇතුළත් කෙරෙන අයුරින්  ඉන්දියාව සිය රාජතාන්ත්‍රික  බලපෑම  කළ යුතු යැයි සඳහන් කොට ඇත. චීනය ශ්‍රී ලංකාව තුළ තම බලපෑම ශක්තිමත් කර ගනිමින් සිටින තත්ත්වය තුළ ඉන්දියාවේ ආරක්ෂාව වඩාත් උචිත  වන්නේ හැකිතාක් දුරට පුළුල් හා ශක්තිමත් බලය බෙදීමක් දෙමළ ජනතාවට සහතික වීම මඟින් යැයි ඔහු ඉතා ශක්තිමත් තර්කයක් ද මෙහිදී ඉදිරිපත් කොට ඇත.

කොටි සංවිධානය යළි හිස එසවීමට ඉන්දියාවේ දී මෑතකදී දරන ලද උත්සාහයන් ගැන මෙහිදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් විග්නේශ්වරන් මහතා කුමන තත්ත්වයක් යටතේවත් මෙරට දෙමළ  ජනතාව වෙනම රාජ්‍යයක් පිළිබඳ ප්‍රතිපත්තිය වෙතට යළිත් නොහැරෙන බවත් පසුගිය මැතිවරණයෙන් ජයගත් සියලුම දෙමළ පක්ෂ අවධාරණය කළේ නොබෙදුණු රටක බලය බෙදීමක් බවත් සඳහන් කළේය.

 එ.ජා. මානව හිමිකම් කොමිසමේ 49 වැනි සැසිවාරය මේ මස 28 වැනිදා සිට අප්‍රේල් 1 වැනිදා ජීනීවා නුවර දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති කාලයේ දී මානව  හිමිකම් උල්ලංඝනය කළ බවට ‘‘විශ්වාස කටයුතු’’ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්හට ලෝකයේ විවිධ රටවල දී නඩු පැවරීමේ යාන්ත්‍රණයක් පසුගිය වසරේ මානව හිමිකම් කවුන්සිලයේ දී  සම්මත වූ යෝජනාවකින් ප්‍රකාශයට පත් කෙරිණි. එහි ප්‍රගතිය මේ වසරේ සැසි වාරයේදී දැනගත හැකිවේ යැයි අපේක්ෂා කෙරේ.

මේ තත්ත්වයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව සුදානම් වෙමින් සිටී. අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පසුගිය මාසයේ දී උතුරේ සිය අමාත්‍යාංශයේ ජංගම සේවයක් ක්‍රියාත්මක කළේය. ඊට. විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සම්බන්ධවීමෙන් එය මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිය ඉලක්ක කොට ගත් එකක් බව පැහැදිලිය.

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2019 දී අත්අඩංගුවට  ගනු ලැබූ 8 දෙනෙක් පසුගිය 8 වැනිදා  වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප පිට නිදහස් කෙරිණි. පසුගිය වසරේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් මිෂෙල් බැචලේගේ වාර්තාවේ නම් සඳහන්වූ නීතිඥ හිජාස් හිස්බුස්ලා ඉකුත් 9 වැනිදා ඇප මත නිදහස් කෙරිණි. එම වාර්තාවේ නම් සඳහන් වූ කවියකු වන අහ්නාත් ජසීම් ද සති කිහිපයකට  ඉහතදී ඇප පිට නිදහස් කෙරිණි.

කෙසේ වෙතත් විග්නේශ්වරන් මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ තම අසල්වැසියා වශයෙන් ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණයක් මානව හිමිකම් කවුන්සිලයේ දී ඉල්ලා සිටීමට ඉන්දියාවට නොහැකි නම් අනෙක් රටවල් ලවා එවැන්නක් කරවීම සඳහා ඉන්දියාව තම රාජතාන්ත්‍රික බලපෑම යොදා ගත යුතු බවයි.

දෙමළ නායකයන් මෙසේ ඉන්දියාව කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළද ඉන්දියාව හා ඔවුන් ගැටෙන තත්ත්වයක් ද ඇතිවී තිබේ. ඒ දෙරට අතර මුහුදේ ශ්‍රී ලංකාවට අයත් කොටසේ ඉන්දීය ධීවරයන් නීති විරෝධීව හා නීති විරෝධි ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරතවීම නිසාය. පසුගිය ශ්‍රී ලංකාවේ ධීවරයන් දෙදෙනකු මිය යාමේ සිද්ධියක් සමඟ තත්ත්වය අලුත් මුහුණුවරක් ද ගෙන තිබේ. මෙම ප්‍රශ්නය ඉන්දියාවේ හා තමිල්නාඩුවේ දේශපාලනඥයන්ගේත් මෙරට උතුරේ දේශපාලනඥයන්ගේත් ඇතැම් කටයුතු දැඩි ලෙස ප්‍රශ්නයට ලක් කරයි.

ඉන්දියාවේ විශේෂයෙන්ම තමිල්නාඩුවේ දේශපාලනඥයෝ යුද්ධ කාලයේදීත් ඉන් පසුවත් මෙරට දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූහ. එහෙත් තිස් අවුරුදු  යුද්ධයකින්  පසු තම ආර්ථිකය ගොඩ නඟා ගැනීමට උත්සාහ කරන උතුරේ ධීවරයාගේ ධීවර සම්පත් තමන්ගේ ධීවරයන් කොල්ල කෑම ද ඔවුහු අනුමත කරති. මෙරට දේශපාලනඥයෝ ද යුද්ධය පැවැති කාලයේ දී තමිල්නාඩු ධීවරයන්ගේ මෙම කොල්ලය දැක දැකත් නොදැක්කා සේ සිටියහ. දැන් ඔවුහුම ඒ ගැන මැසිවිලි නඟති.

කෙසේ වෙතත් පසුගිය දශකය කාලය තුළ ඉන්දියාවේ කටයුතු දෙස බලා එරට නායකයන් මත කොතෙක් විශ්වාසය තැබිය යුතු ද යන්න ගැන මෙරට දෙමළ නායකයන් අලුතින් සිතා බැලිය යුතුය. එසේම  උතුරේ ආර්ථික සංවර්ධනය මුළුමනින්ම නොතකා හැර වාර්ගික දේශපාලන ඉල්ලීම් මත පමණක්ම දේශපාලනය කිරීම කොතෙක් දුරට ජනතාවට ඵලදායක ද යන්න ඔවුන් අලුතින්  සිතා බැලිය යුතු කරුණකි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

උතුරු කරළියේ ඉන්දීය භූමිකාව හැලේද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3064 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12231 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 564 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 939 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1015 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site