IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


එජාප - සජබ එකමුතුවක් ඇතිවේද?

දෙදහස් විසිපහ වර්ෂයට අදාළ අයවැය ලේඛනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හා දිනෙන් දින වර්ධනය වන මිනිමැරීම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ සමහර විවාදාත්මක ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම යටපත් වී ඇති බවක් පෙනේ.

තවත් නොබෝ දිනකින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට අදාළ මැතිවරණ කොමිසමේ නිවේදන ප්‍රකාශයට පත්වීමට නියමිතව ඇත. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අතර එකඟතා ඇතිකර ගැනීම සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා ඇතිව තිබූ නමුත් මේ වනවිට ඒවා ද යටපත් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. රටේ දක්ෂිණාංශික දේශපාලනය නියෝජනය කරන සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඒකාබද්ධතාවක් ඇතිකර ගැනීම පිළිබඳව සාකච්ඡා පසුගියදා ආරම්භ විය. මුල් අවස්ථාවේ එම සාකච්ඡා ඵලදායී අයුරකින් පැවැත්වෙන බව ඇඟවුණද මේ වනවිට ඒ පිළිබඳව කිසිදු අදහසක් ප්‍රකාශ නොවන තත්වයක් නිර්මාණය වී තිබේ.

එම සාකච්ඡා ආරම්භ වූ මුල් අවස්ථාවේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය ඇතුළු සාකච්ඡා සඳහා සහභාගී වූ දෙපාර්ශ්වයේම බොහෝ නායකයන් ප්‍රකාශ කළේ සාකච්ඡා ඉතා සාර්ථකව පවත්වාගෙන යන බවය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙරම පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිකර ගැනීමට අවස්ථාව උදාවෙනු ඇතැයි යන බලාපොරොත්තු සහගත ආකාරයේ ප්‍රකාශ ද ඔවුන් විසින් සිදුකර තිබුණි. එසේ වුවද මේ වනවිට එම සාකච්ඡා පැවැත්වෙන බවක් පිළිබඳව හෝ දැන ගැනීමට නොමැත.

පසුගිය කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා දේශපාලන ප්‍රවාහයේ සිදුවූ ඇතැම් වෙනස්කම් හේතුවෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය සක්‍රීයව ක්‍රියාත්මක වීමට බාධා ඇතිවන ආකාරයේ ඇතැම් ව්‍යූහාත්මක වෙනස්කම් ද දැකගත හැකිවිය. 2015 මහමැතිවරණ අවස්ථාවේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කැඩී යාමේ අවදානම පිළිබඳව අනතුරු අඟවමින් තමන් මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා දුන්නේ එවැනි තත්වයක් එම පක්ෂය තුළ ඇතිවීම වැළැක්වීමට යැයි ප්‍රකාශ කළේය.

එසේ වුවද මේ වනවිට රට තුළ වසර ගණනාවක් ක්‍රියාත්මක වූ ද්විපක්ෂ දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගුණි. රටේ වාමවාදී කඳවුරේ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තෝරා ගත්හ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අහෝසි වී නොගිය ද එය කැඩී බිඳී ගොස් තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී වාමවාදී කඳවුරේ බොහෝ දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද අතහැර ගොස් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වූ බව පෙනෙන්නට තිබේ. ඒ ආකාරයටම එක්සත් ජාතික පක්ෂය තුළින් සමගි ජන බලවේගය බිහි වූ අතර රටේ දක්ෂිණාංශය වැඩි වශයෙන් සමගි ජන බලවේගය වටා ඒකරාශී විය. එසේ වුවද දක්ෂිණාංශය පෙර පැවැති ආකාරයට ශක්තිමත් වීම කෙරෙහි එම බෙදීයාම අහිතකර ලෙස බලපා ඇති බැවින් පක්ෂ දෙක අතර ඒකාබද්ධතාවක් ඇති කරගත යුතු බව දක්ෂිණාංශයේ බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වී ඇත.

2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදුන් අතර එම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමටත්, වාමවාදී කඳවුර වටා ඒකරාශීව තිබූ බලය දක්ෂිණාංශික කඳවුර වෙත යම් තරමකට හෝ ගොනු කරවා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂයට හැකිවිය.

එසේ වුවද 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වූ අතර 2020 මහ මැතිවරණයේදී පක්ෂය දෙකඩ වී ගියේය. 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදුන් විසිහත් ලක්ෂයක පමණ පිරිසක් 2020 මහ මැතිවරණයේදී ඡන්දපොළ වෙත නොගිය අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයක් පමණි. එසේ වුවද එක්සත් ජාතික පක්ෂය එසේ දෙකඩවීම රටේ දක්ෂිණාංශික කඳවුරේ පිරිහීමටත්, රාජ්‍ය බලය දක්ෂිණාංශික කඳවුර වෙත මාරුවීම වැළැක්වීමටත් හේතු වී ඇති බව පෙනේ.

රටේ දේශපාලන ක්‍රමය සාර්ථක ලෙස ක්‍රියාත්මක වීම සඳහා ප්‍රධාන දේශපාලන බලවේග ප්‍රබල තත්වයකින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වූවකි. රට පාලනය කිරීමේ බලය පැවැරීමේදීත්, ඒ සඳහා තම නියෝජිතයන් පත් කිරීමේදීත් ජනතාවට විකල්ප තිබිය යුතුය. දේශපාලන පක්ෂ ක්‍රමය ශක්තිමත් නොවන විට ඡන්ද ක්‍රමය තුළින් විකල්ප තෝරා ගැනීමට මහජනතාවට ඇති ඉඩකඩ ද සීමා වේ.

දක්ෂිණාංශික කඳවුරේ බෙහෝ දෙනකුගේ මතය වනුයේ පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය බලයට පත්වීම සඳහා හේතු වූ ප්‍රධාන කරුණ වූයේ එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ලෙස දක්ෂිණාංශය බෙදී සිටීම බවය. ඡන්ද ප්‍රතිඵලවලින්ද මේ බව සනාථ කිරීමට ඔවුහු උත්සාහ කරති. අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයේදී සියයට පනහ ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි විය.

ඔහු ලබාගත් සමස්ත ඡන්ද ප්‍රතිශතය සියයට 42.31 ක් විය. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව තරග කළේ නම් දක්ෂිණාංශික ජනාධිපතිවරයකු පත්වීමට ඉඩ තිබූ බව සත්‍යයකි. ප්‍රේමදාස මහතා සහ වික්‍රමසිංහ මහතා එම ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යා එකතුවේ ප්‍රතිශතය සියයට 50.03 ක් විය.

එම පක්ෂ දෙක එකතු වී සිටියේ නම් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට බොහෝදුරට ඉඩ තිබුණි. මෙම පක්ෂ දෙක අතර එකමුතුවක් ගොඩනැගීමේ අවශ්‍යතාව දක්ෂිණාංශික කඳවුරේ බොහෝ දෙනකු අවධාරණය කරනුයේ ඒ හේතුව නිසාය.

සැබෑ එකමුතුවක් සඳහා කරනු ලබන සාකච්ඡාවලදී සෑම පාර්ශ්වයක්ම අවංක කැප කිරීමක් කළ යුතු වනු ඇත. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර මෙතෙක් පැවැති සාකච්ඡා සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය සහ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

තිස්ස අත්තනායක මහතා මෑතකදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ තමා ඇතුළු පිරිස මෙම සාකච්ඡාවලට සහභාගි වූයේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ කළමනාකරණ මණ්ඩලයේ තීරණයට අනුව බවය. එසේ වුවද තමාටත්, පක්ෂයේ මහලේකම්වරයාටත්, සාකච්ඡා කණ්ඩායමේ නියෝජිතයකු නොවන පක්ෂයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතාටත් පක්ෂය තුළින්ම චෝදනා සහිත සාවද්‍ය ප්‍රචාර පතුරුවා හැර ඇති බැවින් එම ප්‍රචාර පිළිබඳව සමාලෝචනයක් සිදුකර පක්ෂයේ ස්ථාවරය තහවුරු කරන තුරු ඉදිරි සාකච්ඡා සඳහා සහභාගීවීමෙන් වළකින බව ඔහු ප්‍රකාශ කළේය.

කණ්ඩායම් දෙක අතර එකමුතුවක අවශ්‍යතාව දැඩිව අවධාරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වෙමින් තලතා අතුකෝරාල මහත්මිය ප්‍රකාශ කර සිටියේ වෙන්ව සිටීම තුළින් පක්ෂ දෙකටම විශාල විනාශයක් සිදුවන බවය. එම ස්ථාවරය මේ වනවිට යථාර්ථයක් වී තිබේ. ඇය පක්ෂ මහලේකම් ධුරයට පත් කිරීමේ එක් අභිප්‍රායක් වූයේ ද පක්ෂ දෙක අතර එකමුතුවක් ‌ගොඩනැගීමය. මීට අදාළ සාකච්ඡා ආරම්භ කළ අවස්ථාවේදී පළාත් පාලන මැතිවරණයට පක්ෂ දෙකම එකට එක්ව තරග කළ හැකි බවට විශ්වාසය පළ වී තිබිණි.

පක්ෂ දෙක අතර එකමුතුවක් ගොඩනැගීමෙන් වඩාත් සතුටු වනුයේ මුලින් එක්සත් ජාතික පක්ෂය තුළ ගොනුව සිට මේ වනවිට පක්ෂ දෙකකට බෙදී සිටින සාමාජික පිරිස යැයි සිතමි. මෙම බෙදීම හේතුවෙන් සාමාජිකයන් බොහෝ දෙනෙක් අපේක්ෂාභංගත්වයට පත්ව සිටිති. ඒ නිසාම බොහෝ දෙනෙක් පසුගිය මැතිවරණවලදී ඡන්දපොළ වර්ජනය කළ බවක් ද පෙනේ. මුලින් එක්සත් ජාතික පක්ෂය ලෙස පැවැති දක්ෂිණාංශික එකමුතුව යළි ගොඩනැගීම අවශ්‍ය වනුයේ රටේ දේශපාලන ක්‍රමය ශක්තිමත් කිරීමටත්, මහජනතාවට දේශපාලනය තුළ හොඳ තේරීමක් සඳහා අවස්ථාව සැලසීමටත්ය.

පක්ෂය දෙකඩවීම මෙන්ම පක්ෂයේ පසුබෑම් පිළිබඳව ද විවිධ අයට විවිධාකාරයේ චෝදනා ඉදිරිපත් කළ හැකිය. එසේ වුවද එම කරුණු පිළිබඳව යළි යළිත් සිහිපත් කිරීම හෝ චෝදනා කිරීම මගින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත්වේ යැයි සිතිය නොහැකිය. මෙම අවස්ථාවේ දෙපාර්ශ්වයේම වගකීම වනුයේ තම කඳවුරුවල අපේක්ෂාභංගත්වයට පත්ව සිටින පිරිස්වලට අස්වැසිල්ලක් ඇතිවන ආකාරයේ විසඳුමක් ඇති කර ගැනීමය. රනිල් වික්‍රමසිංහ මහතා තවත් බොහෝ කාලයක් රටේ සක්‍රීය දේශපාලනය තුළ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එවැනි තත්වයන් ද සලකා සාධනීය විසඳුමකට පැමිණීම වැදගත් වනු ඇත.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබාදීම සඳහා තවත් ඇත්තේ කෙටි කාලයකි. ඊට පෙර දෙපාර්ශ්වය අතර සම්මුතියක් ඇතිකර ගැනීමට නොහැකි වන්නේ නම් දෙපාර්ශ්වය අතර නිතරග ගිවිසුමක් හෝ ඇතිකර ගැනීම වැනි මූලික එකඟතාවකට පැමිණීමට හැකියාව තිබේ. එවැනි එකඟතාවන්ගේ ප්‍රතිඵල සමාලෝචනයකට ඉඩප්‍රස්ථා විවර වන පරිදි එක් එක් දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන කිහිපයකට හෝ ඒකාබද්ධව අපේක්ෂකයන් ඉදිරිපත් කළ හැකිය.

එවිට දෙපාර්ශ්වයේ සහයෝගය සහිතව පළාත් පාලන ආයතන කිහිපයකට සමගි ජන බලවේගයේ නම සහ ලාංඡනය යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ද තවත් ආයතන කිහිපයකට එක්සත් ජාතික පක්ෂයේ නම සහ ලාංඡනය යටතේද අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට හැකිය. එසේත් නොමැති නම් පළාත් පාලන ආයතන කිහිපයකට එක් පාර්ශ්වයකින් ද තවත් ආයතන කිහිපයකට අනෙක් පාර්ශ්වයෙන් ද අපේක්ෂකයන් ඉදිරිපත් කළ හැකිය. පක්ෂ දෙකේ එකමුතුවකට ඉඩ සැලසීම තුළ ඒකාබද්ධයේ ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්න නිරීක්ෂණය කිරීමට ද මෙමගින් ඉඩ ලැබෙනු ඇත.

පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිකර ගැනීම පිළිබඳව බොහෝවිට විරෝධය දක්වනුයේ ඒ තුළින් තමන්ට පෞද්ගලිකව හානියක් වීමට ඉඩ ඇතැයි සිතන පිරිස් බව පෙනේ. ආසන සංවිධායක ධුර අහිමිවීම, තමන්ට අභියෝගයක් විය හැකි නව තරගකාරීත්වයක් බිහිවීමට ඉඩ තිබීම, පක්ෂයේ නිලතල අහිමිවීම වැනි හේතු මත මෙවැනි විරෝධතා ඇතිවේ. එවැනි හේතු නිසාම මෙම විරෝධතා ප්‍රබලත්වයට පත්වීමට ද ඉඩ තිබේ.

එසේ වුවද දෙපාර්ශ්වයේම පක්ෂ නායකත්වයේ වගකීම වනුයේ අත්මාර්ථකාමී, අවස්ථාවාදී බලවේගවලට ඉඩ නොතබා කවර හෝ තත්වයක් යටතේ වුවද ජනතා අභිලාෂ ඉටු කරලීම සඳහා අවස්ථාව උදා කරලීමය. දක්ෂිණාංශික කඳවුර ශක්තිමත් වීමට පමණක් නොව රටේ දේශපාලන ක්‍රමය ශක්තිමත් වීමටත්, මහජනතාවට තම අභිලාෂය ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් එමගින් අවස්ථාව සැලසෙනු ඇත. පළාත් පාලන මැතිවරණයට පෙර ඉහත සඳහන් කළ ආකාරයේ තාවකාලික එකඟතාවකට හෝ පැමිණීමට හැකි නම් එය රටේ දේශපාලනයේ නව ගමන් මඟක් සඳහා ඉඩ ප්‍රස්ථා විවර වන බව දෙපාර්ශ්වයම අවබෝධ කරගත යුතුව ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

එජාප - සජබ එකමුතුවක් ඇතිවේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 201 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 748 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 191 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 179 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 401 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 732 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 413 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site