IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


එදා-මෙදා ව්‍යවස්ථා සංශෝධන

 

ජනාධිපති නීතිඥ ආචාර්ය
ජයතිස්ස ද කොස්තා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතියයි. අප මේ වනවිට පාලනය වෙමින් සිටින 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව යනු 19 වැනි වතාවක් සංශෝධනයට ලක් වූ මූලික නීතිය යැයි කීමෙහි වරදක් නැත. විසි වැනි වතාවටත් සංශෝධනය වීමට නියමිත මෙකී මූලික නීතියේ ක්‍රමික විකාශනය ගැන කතා කිරීම මේ මොහොතේ වටී. විශේෂයෙන්ම රටේ මූලික නීතියේ මූලික හැඩතල කොතෙක්දුරට වෙනස්වීදැයි අපට නිරීක්ෂණය වනු ඇත්තේ එවැනි විමසා බැලීමකිනි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ගෙනඑනු ලැබූ 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු වැනි වරට සංශෝධනය කෙරුණේ 1978 නොවැම්බර් 20 වැනිදාය. හරියටම කිවහොත් දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනැවිත් මාස කීපයකිනි.

එමගින් සිදුවුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය සංශෝධනය කිරීමය. අභියාචනාධිකරණයෙන් කෙරෙන නීති කටයුතු ඇතැම් විශේෂ කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවැරීම එයින් සිදු විය. 1979 පෙබරවාරි 26 වැනිදා කෙරුණු දෙවැනි සංශෝධනය නම් තනිකරම දේශපාලන අරමුණකින් කෙරුණකි. යම් පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමන් තේරී පත් වූ පක්ෂයෙන් ඉවත් වූ හෝ නෙරපා හරිනු ලැබූ අවස්ථාවක මන්ත්‍රී ධුරය අහිමිවීමට සීමා පැනවීමය. මන්ත්‍රී ධුර අටක් දක්වා පහළ බැස අතිශයින් දුර්වලව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අඩපණ කිරීම මෙහි අරමුණ විය.

එජාපයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා විසින් ගන්නා ලදැයි යන මතය යටතේ මෙවැනි සංශෝධන පහසුවෙන් කරගැනීමට හැකි විය. 1982 අගෝස්තු 27 කෙරුණු 3 වැනි සංශෝධනයේ අරමුණ වූයේ නියමිත ධුර කාලය නිමාවීමට පෙර තමාට නැවත වාරයක් බලයට පත්වීම සඳහා ජනවරමක් ඉල්ලා ජනපතිවරණයක් කැඳවීමට අවස්ථාව ලබාගැනීමය. 4 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙරුණේ එම වසරේම දෙසැම්බර් 23 වැනිදාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි පරිච්ඡේදයේ 161 (ඊ) සංශෝධනය මෙමගින් විය. 1977 දී බලයට පත් පාර්ලිමේන්තු නිල කාලය තවත් වසර හයකින් දීර්ඝ කරගැනීමේ අරමුණෙන් කෙරුණු මෙම සංශෝධනය අනුමත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විය. මෙරට දේශපාලන ඉතිහාසයේ ලාම්පු කළගෙඩි ඡන්දය නමින් කුප්‍රකට වූයේ මෙම ජනමත විචාරණයයි. එමගින් එක්සත් ජාතික පක්ෂය ජයගත්තත් එයින් මෙරට දේශපාලනයට කෙරුණු බලපෑමේ විනාශය අතිමහත්ය. ඉන් වසරකට පසු 1983 පෙබරවාරි 23 වැනිදා කෙරුණු 5 වැනි සංශෝධනයෙන් කෙරුණේ අතුරු මැතිවරණ පවත්වා නව මන්ත්‍රීවරුන් තෝරාගැනීමට අවස්ථාව උදාකරදීමයි. එයින් මාස කීපයක ඇවෑමෙන් කෙරුණු 6 වැනි සංශෝධන මගින් මෙරට වාර්ගික ගැටලුව තවත් සංකීර්ණ කෙරිණි.

1983 කළු ජූලියෙන් පසුව හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස කෙරුණු මෙමගින් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යක් වෙනුවෙන් පෙනී සිටීම පක්ෂවලට හා පුද්ගලයන්ට තහනම් කෙරුණු අතර ඒ වෙනුවෙන් වෙනම දිවුරුමක් දෙන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු විය. එවකට ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ වූ බැවින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු වරම් අහිමි විය. 6 වැනි සංශෝධනයෙන් මාස දෙකක් ඇවෑමෙන් 1983 ඔක්තෝබර් 04 වැනිදා 7 වැනි සංශෝධනය ද ගෙන එනු ලැබිණි. කිලිනොච්චිය ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක අතරට අලුතින් එකතු වූයේ එමගිනි.

දේශපාලනයට ඍජුව බලපෑමක් නොකළ සංශෝධනයක් හැටියට සැලකෙන්නේ 8 වැනි සංශෝධනයයි. නීතිඥ වෘත්තියෙහි විශිෂ්ටත්වයට පත්ව ඇති නීතිඥයන් ජනාධිපති නීතිඥයන් වශයෙන් පත්කිරීමේ පූර්ණ අභිමතානුසාරී බලය ජනාධිපතිවරයාට ලැබුණේ එමගිනි. ඊට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ මත එම පත්කිරීම් කරනු ලැබුවේ අග්‍රාණ්ඩුකාරවරයා හෝ ජනාධිපතිවරයා විසිනි. ශ්‍රී ලංකාව සමූහාණ්ඩුවක් වන තෙක් එකී නීතිඥයන් හඳුන්වනු ලැබුවේ රාජ නීතිඥයන් වශයෙනි. කෙසේ වෙතත් නීති ක්‍ෂේත්‍රයෙහි ලබාගත හැකි ඉහළම ගෞරවය තනිකරම ජනාධිපතිවරයාගේ අභිමතයට යට කිරීම මුළු මහත් නීති ක්‍ෂේත්‍රයම ප්‍රතික්ෂේප කළ කාරණයක් විය. බ්‍රිතාන්‍යයේ දී රැජන විසින් රාජ නීතිඥයන් පත් කරනු ලබන්නේ නව දෙනකුගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මතය. අගවිනිසුරුන් ප්‍රමුඛව බැරිස්ටර්වරුන් සොලිසිටර්වරුන් ඇතුළුව නීතිඥයන් නොවන පුද්ගලයෝ එහි සාමාජිකත්වය දරති. කමිටුවේ සාමාජිකත්වය හිමි වන්නේ නීති වෘත්තියෙන් බාහිර තැනැත්තකුටය. එම කමිටු නිර්දේශ වෙනස් කිරීමට අගවිනිසුරු හෝ වෙනත් විනිසුරෝ ඉදිරිපත් නොවෙති. ඒ අනුව රැජනට අභිමතානුසාරී බලයක් තිබුණත් රාජ නීතිඥයන් පත්කරන්නේ කුසලතා අනුව පමණි. එහෙත් ශ්‍රී ලංකාවේ සිදුවූයේ එතෙක් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ අනුව කෙරුණු පත්වීම ජනාධිපතිවරයාගේ අභිමතයට යටකිරීමය.

1984 අගෝස්තු 24 කෙරුණු 9 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ තේරී පත්වීමේ ව්‍යවස්ථාමය සීමා වඩාත් විස්තර කෙරුණු අතර 10 වැනි සංශෝධනය කෙරුණේ එයින් වසර දෙකකට පසුව 1986 අගෝස්තු 6 වැනිදාය. හදිසි නීතිය දිගටම පවත්වාගෙන යාමට තිබූ සීමා ඉවත් කිරීම එහි අරමුණ විය. 1987 මැයි 06 වැනිදා කෙරුණු 11 වැනි සංශෝධනයෙන් අධිකරණ පද්ධතිය පුළුල් ප්‍රතිසංස්කරණයකට භාජන විය. විශේෂ කරුණ නම් 12 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුව ද එය සම්මත නොවීමය. ඉදිරිපත් වූ ව්‍යවස්ථා සංශෝධන අතර වඩාත් විවාදකාරී මෙන්ම මතභේදයට තුඩු දුන් ව්‍යවස්ථා සංශෝධනය සිදුවුණේ ඉන් අනතුරුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංශ රැසකටම බලපෑම් එල්ල වූ 13 වැනි සංශෝධනය එයයි.

 1987 නොවැම්බර් 14 වැනිදා එය සම්මත කෙරුණේ ඉන්දීය රජයේ දැඩි බලපෑම මත අස්සන් කෙරුණු ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් හැටියටය. ආරම්භයේ සිටම පළාත් සභා ක්‍රමයට එරෙහිව රට තුළ පැවැති විරෝධතා හේතුවෙන් අදටත් ව්‍යුහයක් හැටියට එය තිබෙන්නේ ප්‍රශ්නසහගත තැනකය. සමානුපාතික නියෝජනය සහ මැතිවරණ කොට්ඨාස බෙදීම පිළිබඳ නීති ඇතුළත් කරමින් 1988 මැයි 24 වැනිදා 14 වැනි සංශෝධනය සම්මත කෙරුණේ ඉන් අනතුරුවය. එකම අවස්ථාවක දී සංශෝධන දෙකක් ඉදිරිපත් වූ අවස්ථාව වන්නේ 15 හා 16 වැනි සංශෝධන සම්මත කර ගැනීමය. 1988 ජනාධිපතිවරණයට පෙර මුස්ලිම් ඡන්දදායකයන් අතරේ ජනප්‍රිය වෙමින් පැවැති මුස්ලිම් කොංග්‍රසයේ සහාය පාලක එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ලබාගැනීමේ අරමුණෙන් 15 වැනි සංශෝධනය කෙරුණු බව දේශපාලන යථාර්ථයයි. කිසියම් ඡන්ද කොට්ඨාසයකින් මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීමට මූලික සුදුසුකම වූ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අටෙන් එකක් ගත යුතු බවට වූ නියමය මෙමගින් විස්සෙන් එකක් දක්වා පහළ හෙළනු ලැබිණි. සුළු ජන දේශපාලන පක්ෂවලට පැවැත්ම පිළිබඳ සහතිකයක් ලැබුණේ මෙම 15 වැනි සංශෝධනයෙනි. 16 වැනි සංශෝධනයෙන් කෙරුණේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විය යුතු වෙනස්කම් කිහිපයක් නීතිගත කිරීමය.

එයින් පසුව 17 වැනි සංශෝධනය සම්මත වන්නේ වසර දහතුනකට පසුව 2001 ඔක්තෝබර් 03 වැනිදාය. රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කිරීමේ මූලික අරමුණෙන් කෙරුණු 17 වැනි සංශෝධනය මෙරට දේශපාලන ඉතිහාසයේ ඒකච්ඡන්දයෙන් සම්මත වූ එකම ව්‍යවස්ථා සංශෝධනයයි. එයින් වසර නවයක ඇවෑමෙන් 2010 සැප්තැම්බර් 08 වැනිදා කෙරුණු 18 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරය නැවතත් ශක්තිමක් කෙරුණි. ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණනේ සීමාව ඉවත් කරමින් 17 වැනි සංශෝධනය අහෝසි කිරීම එයින් සිදුවිය. නැවතත් 2015 මැයි මාසයේ දී 19 වැනි සංශෝධනයෙන් කෙරුණේ 18 වැනි සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිෂන් සභා අලුතින් ද ස්ථාපිත කිරීමය. විශේෂයෙන්ම දූෂණ හා වංචා මැඩලමින් රාජ්‍ය මූල්‍ය නියාමනයට ලක්කිරීම ගැන 2015 වනවිට පැවැති සමාජ සංවාදය ද එවැනි සංශෝධනයකට මහජන නියෝජිතයන් තල්ලු කිරීමට පාර කැපුවේය. අද වනවිට ප්‍රශ්නය වී තිබෙන්නේ කවර පරමාර්ථයෙන් හෝ කළ එම සංශෝධනවලින් මහජනතාවට ලැබුණු ප්‍රතිඵලය ප්‍රමාණවත්ද යන්නයි.

සමස්තයක් ලෙස සලකා බැලූ විට පෙනෙන්නේ මෙම සංශෝධන 19 නිසා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලින් තිබූ ආකාරයෙන් ක්‍රියාත්මක වීම කිසිම ආකාරයකින් නොකඩවා වී නොමැති බවය. උදාහරණයකට ගතහොත් මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණේ ජනාධිපතිවරයාට වසර හයක නිල කාලයකි. එහෙත් ඔහුට අවශ්‍ය පරිදි වසර හතරකින් පසු ජනවරමක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරණයක් කැඳවීමට ව්‍යවස්ථා සංශෝධනයකින් පාර කැපිණි. එය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙරුණු ප්‍රධාන වෙනසකි.

පක්ෂයේ ලේකම්වරයා හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා විසින් අනුපිළිවෙළට නම් කරනු ලැබූ අය වෙනුවට ඒ ඒ දිස්ත්‍රික්කවල මනාප ක්‍රමයක් අනුව මන්ත්‍රීවරුන් තෝරාගැනීමට ඉඩ සැලැසීම ද එසේය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු තනිකරම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමයේ ස්වභාවයම වෙනස් කළ සංශෝධනයකි. පළාත් සභා නමින් නව පරිපාලන රටාවක් හඳුන්වා දී උතුර හා නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීමට ඉඩ සැලැසුණේ ද එමගිනි. 17, 18 හා 19 යන සංශෝධන ද සැලකිය හැක්කේ එසේ ආණ්ඩුකරණයට අතිශයින්ම බලපෑ ව්‍යවස්ථා සංශෝධන හැටියටය.  මේ අනුව යම් යම් අවස්ථාවල දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ඇත්තේ ජනතාවගේ අවශ්‍යතාවට වඩා දේශපාලන අවශ්‍යතා අනුව බව පැහැදිලිය.

කෙසේ වෙතත් ජනවරමක් අනුව වර්තමානයේ කරන සංශෝධන ජනවරමක් නොමැතිව කළ සංශෝධන සමග පටලවා ගත යුතු නැත. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව කෙරෙහිය. වර්තමාන පාලකයන්ට එක් වරක් නොව දෙවරක්ම පිට පිටම ජනවරමක් මගින් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනයට අවස්ථාව ලැබී ඇත. එය ක්‍රියාත්මක කරන ආකාරය හා අන්තර්ගතය වෙන වෙනම විමසා බැලිය යුතු කරුණකි. ජනවරමක් යනු අනෙක් සියලු බලතල ඉක්මවා යන්නකි. මීට පෙර ද ශ්‍රී ලංකා ඡන්දදායකයෝ එක් අවස්ථාවක දී පැහැදිලිව 1970 දී එවකට පැවැති නාමික සෝල්බරි රාජාණ්ඩුව වෙනස් කර සමූහාණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනවරමක් දුන්හ. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය සහිතව ආණ්ඩුවක් බිහි වූ එම අවස්ථාවේ දී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනම රැස්වී ලබා දුන් ජනවරම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත්හ. ශ්‍රී ලංකාවේ පළමු ස්වයංජනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වසර දෙකක් පමණ රැස් වී සියලු අදහස් විමසා එය ඉදිරිපත් කෙරුණේ 1972 දීය. ඊට පෙර සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පැවැති සෙනෙට් සභාව පාර්ලිමේන්තුව බවට පරිවර්තනය වී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට යෝජනා සම්මත කරගත්තේය. එම වැඩපිළිවෙළ බැලූ බැල්මටම එවකට පැවැති සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වූ නමුත් සියලු දෙනාම එය එකහෙළා පිළිගත්හ. කිසිවෙක් එය අභියෝගයට ලක් කළේ නැත. 1972 දී ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව පැනවීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලු විනිශ්චයකාරවරු සහ සියලුම පාලනාධිකාරීහු එය පිළිගෙන ඊට අවනත වීමේ දිවුරුම දුන්හ. මෙම තත්ත්වය සලකාබැලීමේ දී ජනවරම අනුව ක්‍රියා කිරීමට ආණ්ඩුවට සදාචාරමය අයිතියක් ඇත.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)

 



අදහස් (4)

එදා-මෙදා ව්‍යවස්ථා සංශෝධන

Champa Wednesday, 21 October 2020 09:37 AM

අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කරලා තියෙන කතාව විශ්මය දනවනවා. එතුමා කියනවා ජාතික ආරක්ෂාවට 20 වෙනි සංශෝධනය ගේන්න ඕනෙලු. ජාතික ආරක්ෂාව සඳහා ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ බව අපි නම් මේ ඇහැව්වාමයි. 2015 පැරදුණු මහින්ද රාජපක්ෂ ජනතාව විසින් නැවත පාර්ලිමේන්තු ගෙනාවේ රට, ජාතිය, ආගම වෙනුවෙන්. රනිල් - සිරිසේන ඉතාම ශක්තිමත් වෙලා හිටපු මොහොතක හිරේ විලංගුවේ වැටෙන්න හරි මන්ත්‍රීවරු එදා එතුමා වෙනුවෙන් පාරට බැස්සා... අද එතුමා, එදා එතුමා වෙනුවෙන් පාරට ආව සියලු සිංහල, බෞද්ධ, දේශප්‍රේමී ජනතාව පාවලා දීලා තියෙනවා.

:       0       0

Champa Wednesday, 21 October 2020 09:46 AM

ඊළඟට දෙවෙනි වරටත් 2019 නොවැම්බර් සිංහල බෞද්ධ ජනතාව එතුමා නම් කරපු ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් පාරට ආවේ රට ජාතිය, ආගම ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වෙච්චි නිසා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා අගමැතිතුමා දෙවන වරටත් එතුමා වෙනුවෙන් පාරට ආව සිංහල, බෞද්ධ ජනතාවත් පාවලා දීලා තියෙනවා. 20 වෙනි සංශෝධනය සම්මත වුණොත් ඊළඟට එන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් බව 10 වසර ළමයෙක්ගෙන් ඇහැව්වත් කියයි. මම කියන එක විශ්වාස නැත්නම් සිංහල බෞද්ධයන්ට පුළුවන් අවට බලන්න. බලන්න, ලංකාණ්ඩුව කරන හැම දේටම ප්‍රකාශ නිකුත් කරන කොටි ඩයස්පෝරාව 20 වෙනි සංශෝධනය ගැන නිහඬයි. ලංකාව කැස්සත් ඔරවන ඉන්දියාව 20 ගැන නිශ්ශබ්දයි. ටීඑන්ඒ එක මුලින් කලබල වෙලා පස්සේ "අසනීප" වෙලා නිශ්ශබ්ද වුණා. ලංකාවේ හැම දේටම හොට දාන තානාපතිවරු නිශ්ශබ්දයි. ඇයි හේතුව, රනිල් සිරිසේන ලව්වා අවුරුදු 5ක් තිස්සේ කරවා ගන්න බැරි වෙච්ච දේ, මහින්ද රාජපක්ෂ ඉල්ලන්නෙත් නැතුව කරලා දෙනවා.

:       4       6

Champa Wednesday, 21 October 2020 10:19 AM

රනිල්වත් නොකරපු පාවා දීම සිංහල බෞද්ධයන් හදපු ආණ්ඩුව 20න් කරලා දෙනවා. 2015 ජනතාව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාරට නොඑන්න රාජපක්ෂ සහෝදරවරු සහ රාජපක්ෂ පවුල අදටත් සිරගත වෙලා. සිංහල බෞද්ධයින් එතුමාට කළගුණ සැලකුවාට එතුමා නම් කළගුණ සලකන්නේ දෙමල, මුස්ලිම් ජනතාවට සහ බටහිරට කියලා 20ට දෙන සහයෝගයෙන් පෙන්වනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.. සියලු රාජපක්ෂ මහත්වරු එල්ලිලා ඉන්නේ එක ඇණ මුරිච්චියෙන්... 20 ගෙනැල්ලා ඔවුන් විසින්ම මේ ඇණ මුරිච්චිය බුරුල් කරගන්න නිසා ඒක වැඩිකල් නොගිහින් ගැලවිලා වැටෙනවා. ඉස්සර නම් රාජපක්ෂවරු වැටෙන කොට බිමට වැටෙන්න නොදී අල්ලාගන්න සිංහල බෞද්ධයින් සහ මහා සංඝරත්නය දුවගෙන ආවා. 20 සම්මත කළාට පස්සේ නැවත ඔබ වෙනුවෙන් ජනතාව එන්නේ නැහැ. වැටෙන්න ඉඩදීලා ජනතාව බලා ඉන්නවා. මැකෝ ඉන්නකම් දිනුවට හැමදාම ඉඳියිද? බලය නැති කොට තිබ්බ දේශප්‍රේමය සැබෑවක් නොව වෙස් මුහුණක් කියලා ජනතාව දැනගත්තේ බලය ලැබුණු ගමන් ඒක ගැලවුණු නිසා. අගමැතිතුමා, ගෝඨාභය බැසිල් බෞද්ධයන් හෝ දේශප්‍රේමීන් කියලා මම කවදාවත් විශ්වාස කලේ නැහැ. හැබැයි ඔබ බෞද්ධයෙක් කියලා මම හැමදාම විශ්වාස කළා. නමුත් අද ඔප්පු කළා ඔබත් බෞද්ධයෙක් නෙමෙයි කියලා.

:       5       7

Champa Wednesday, 21 October 2020 11:12 AM

ගෝඨාභය ජනාධිපති වෙනුවට කොච්චර අකමැති වුනත්, වහල් ආණ්ඩුව පරාද කිරීම මුල් අරමුණ වුනු නිසාත්, වෙනත් යමක් දැක්ක නිසාත් අඩියක් පස්සට ගන්න වුනා. ගෝඨාභය එනකොටම ලෝකෙට කොරෝනාත් ආවා. ඒක වෙනස් කතාවක්. 20 මේ තරම් කලබලේ සම්මත කරගන්න දඟලන්නේ, 28 ලංකාවට එන මයික් පොම්පේයෝ එක්ක, ගෝඨාභය හෝ බැසිල් ඇමරිකන් පුරවැසියන් විදිහට එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න. ඇමරිකන් ඩොලර් ඉදිරියේ රාජපක්ෂ මහත්වරුන්ගේ ඇස් දිලිසෙනවා. උන්හිටි තැන අමතක වෙනවා. අධික තණ්හාවක් ඇතිවෙනවා. නමුත් මතක් කරලා දෙන්න ඕනේ, මුළු මහත් ජාත්‍යන්තරයේ සහයෝගය ලැබිලත්, ජිනීවා සහයෝගය ලැබිලත්, කොටි ඩියස්පෝරාවේ, දෙමල, මුස්ලිම් පක්ෂවල සහ එන්ජීඕ, අයිඑන්ජීඕ සහයෝගය ලැබිලත් රනිල්ට සිරිසේනට අවුරුදු 5ක් ගිහිනුත් රට පාවා දෙන්න බැරිවුනා. ජීවමානව වැඩ ඉන්න දළදා සමිඳුත්, ජය සිරි මහා බෝ සමිඳුත්, කතරගම දෙවියොත් තව බොහෝ නොපෙනෙන බලවේගත් මගේ රට ආරක්ෂා කරලා දෙනවා. සිංහල බෞද්ධ රට පාවාදෙන්න යන බව දැකල එදත් අපේ ඇස් වලින් කඳුළු වැටුණා. අදත් වැටෙනවා. අපේ කඳුළු ඒ හැම නොපෙනෙන බලවේගයකටම පෙනෙනවා. ඒ හින්ද රාජපක්ෂවරුන්ගේ පාවා දීමෙනුත් මගේ රට ආරක්ෂා කරලා දෙයි. බලා ඉමු.

:       5       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 141 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 142 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1023 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 195 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 471 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1118 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site