මෙය ලියන මම සාහිත්‍ය කරුවකු නොවෙමි. ලේඛකයෙක්ද නොවෙමි. එහෙත් යම් රැකියාවක නමින් මා හඳුන්වා දීමටත් මට නොහැකිය. මක් නිසාද මම කිසිදු ස්ථීර රැකියාවක්ද නොකරන බැවිනි. කලෙක මම සිත්තරෙක්මි. තව කලෙක විදුලි කාර්මිකයෙක්මි. විටෙක නිවාස පින්තාරු කරුවෙක් වන මම, තව කලෙක රියදුරෙක්මි. රියදුරෙකු වුවත් “මල් ශාලාවක” රියැදුරකු වීමට මම, මාගේ ගෙවී ගිය ජීවිත කාලයේදී නොසිතුවෙමි. නමුත් ජීවිතය හෝ දෛවය හෝ යනු අප සිතන පතන දෙයක්ම ලබා දෙන්නක් නොවන බවත්, එය අප නොසිතූ දෙයක්ම ළඟා කරවන බවත් මම අසා ඇත්තෙමි. එහෙත් මම මල් ශාලාවක රියදුරෙකු බවට පත් වූයේ, පත් කර වූයේ දෛවය විසින් යැයි මම නොසිතමි. එය එසේ වූයේ පවත්නා ධනවාදී ක්‍රමය විසින් මගේ ජීවිතයට එල්ල කරනු ලැබුවා වූ මූල්‍යමය පීඩනය නිසා යැයි මම කියමි. එහෙත් දෛවය යනුත් එයමද?
කෙසේ වුවද එම මල් ශාලාවේ සේවය කරන කාලයෙහි මමද යම් අත්දැකීම් ලැබුවෙමි. මම රැකියාවෙන් ඉවත්ව දැනට වසර දෙකකට ආසන්න වෙතත් මා ලැබූ අත්දැකීම් හා මා ඇසූ දේ තවමත් මගේ සිත තුළ නොමැකී ඇත.
ඇත්තෙන්ම සමහරුන් කියන ආකාරයේ අත්භූත සිදුවීම් හා හොල්මන් අවතාර මෙම මල් ශාලා තුළ තිබේද? මල් ශාලාවක මෘත ශරීර බෙහෙත් ගල්වන්නා (එම්බාම් කරු) ට හෝ එහි අනෙකුත් සේවකයන්ට තම සේවා අත්දැකීම් ගැන කෙනකු විමසත්දී කීමට ඇත්තේ හොල්මන් අවතාර ගැන කතන්දර පමණක්ද? මෙහි පළමු පැනයට දීමට ඇති පිළිතුර නම් “නැත” යන්නයි. මගේම අත්දැකීම් අනුව කියන්නේ නම්, මගේ සේවා කාලය තුළ බොහෝ වාර ගණනක් මෘත ශරීර තුන හතරක් සමඟ තනිවම රැය පහන් කිරීමට මට සිදුවිය. අපේ සමහර සිංහල බෞද්ධ අයියලා තම මව, පියා මියගියත් අඟහරුවාදා සහ සිකුරාදා දිනවල මෘත දේහය නිවසට නොගෙන යන බැවින් ඒ දිනවලට අප මල් ශාලාවේ මෘත ශරීර තුන හතරක්වත් එකතු වෙයි. එම්බාන් කාමරයේ ඇති සිමෙන්ති මේස දෙකෙහි බෙහෙත් ගල්වා ඇති හෝ එසේ නැති සිරුරු ද, එයින් පිට තබා ඇති ගිලන් මැසි තුනක පමණ බෙහෙත් ගල්වා ඉටිකොළ ඔතා “බාගෙට” වැඩ අවසන් කොට ඇති (මරණ පරීක්‍ෂණය සඳහා විච්වේදනය කළ සිරුරුද ඇතුළුව) දේහයන් මගේ පේන මානයේ තිබියදී මා තනිවම රැය ගෙවූ අවස්ථා බොහෝය. බියක් චකිතයක් නොදැණුනා කීවොත් එය මුසාවකි. එහෙත් මම හොල්මන් හෝ අවතාර නම් නොදුටුවෙමි. තවද මා සේවය කළ මල් ශාලාවේ එම්බාම්කරු එම රැකියාවේ වසර තිහක පමණ අත්දැකීම් ඇත්තෙකි. හොල්මන් අවතාර ගැන මොනයම් හෝ අත්දැකීමක් ලබා ඇත්දැයි මා ඔහුගෙන් විමසූ විට ඔහුගේ පිළිතුරු වූයේ, “නැහැ. මට නම් එහෙම අත්දැකීමක් තවම ලැබිල නෑ.” කියායි. එමෙන්ම වසර 45ක් පමණ මෘත ශරීර සමඟ ගනුදෙනු කරන තවත් එම්බාම් කරුවකුගෙන් ඉහත පැනයම විමසුවෙමි. ඔහුද කියා සිටියේ තමන් මේ වනතෙක් හොල්මන් අවතාර නොදුටු බවත්, කිසිදා අත්භූත සිදු වීමකට මුහුණ පා නොමැති බවත්ය.
මම, එම මල් ශාලාවේ සේවයට ගිය දිනම, එනම් මා එම මල් ශාලාවේ සේවයට එක් වී පැයක්වත් ඉක්ම යන්නට පෙර මෘත ශරීර දෙකක් රැගෙන ඒමට මට සිදු විය. ඉන් එකක් නිවෙස තුළම මිය ගොස් සිටි වයොවෘද්ධ කාන්තාවකගේය. අනෙක් මෘත ශරීරය තිබුණේ එම ප්‍රදේශයේ පිහිටි රෝහලේයි. මේ වනවිට එම ප්‍රදේශයේ මාර්ග පිළිබඳව මා කිසිත් නොදන්නා නිසාත්, මෘත ශරීර වාහනයට පටවා ගැනීමට මගේ සහයට කෙනෙක් අවශ්‍ය නිසාත් මේ ගමන් දෙකම මා සමඟ පැමිණියේ “වික්‍රමෙ” අයියායි. ඔහු මෙම මල් ශාලාවේ සේවකයකු නොව මල් ශාලාව හිමිකරුගේ වත්ත පිටියේ වැඩ කිරීම සඳහා පැමිණෙන්නෙකි. වසර හතරක් පමණ මෙතැන සේවය කරන ඔහු, මල් ශාලාවේ නිත්‍ය සේවකයන් කාර්ය බහුල වූ වේලාවට මල්ශාලාවේ වැඩත් කළ යුතුය. එබැවින් එදිනද මාත් සමඟ මෘතශරීර රැගෙන ඒම පිණිස පැමිණියේ ඔහුයි. අපි රෝහල කරා පැමිණියෙමු. මම මෘත ශරීරාගාරය අසලම වෑන් රථය නැවැත් වූයෙමි. එහෙත් “මෝචරිය” වසා තිබිණ. මෙවිට අප රැගෙන යාමට පැමිණි දේහයේ අයිතිකරුවන් කීවේ, මෝචරි සේවකයන් “තව ටිකකින් එන්නම්” කියූ බවත්, එතකම් සිටින ලෙසත්ය. අප මෙසේ විනාඩි 15ක් පමණ සිටින විට සුදු ඇඳුම් ඇඳි මෝචරි සේවකයන් දෙදෙනා පැමිණියහ. තැනින් තැන ලොකු හිල් තිබූ තහඩු දිරා ගිය, මෝචරියේ” දොර ඔවුන් ඇරියේ කිසිදු හදිසියකින් තොරවයි. ඉන්පසු මිනී ගෙනියන තැටියද රැගෙන වික්‍රමෙ අයියාත් මමත් ඒ තුළට පිවිසුනෙමු. එවිට එතුළ හුන් දෙදෙනාගෙන් එකෙක් මා දෙස බලා වික්‍රමෙ අයියා ගෙන් මෙසේ ඇසීය. “හාං... හ්... මෙයා කවුද...? අලුතෙන්ද...?” “ආ....ඔව්.....ඔව්.....මෙයා මේ දැන් ටිකකට කලින් තමයි වැඩ බාර ගත්තෙ....” වික්‍රමෙ අයියා කීය. මම එම සේවකයා දෙස බැලීමි. තද රතු පැහැයෙන් දිස් වූ ඔහුගේ කට කියාපෑවේ හේ දීර්ඝ කාලීන බුලත් විට හපන්නෙකු බවයි. ඒ මොහොතේද ලොකු බුලත් විටක් ඔහුගේ හකුපාඩා අතර ඇඹරෙමින් තිබිණ. ඔහුගේ කුඩා දෑස්ද බුලත් විටේ රතු පැහැයට දෙවැනි නොවීය. අප රැගෙන ගිය සුදු ඉටි කොළය මෘත ශරීරය වැසෙන සේ පෙරවූ ඔහු ඉටි කොළයේ දෙපැත්ත “සස්” “සස්” හඬින් මිනියේ පිට පැත්තට එබුවේ මළ මිනිය “පැකට්” කළා සේ පෙනෙන අයුරිනි. දැන් එම “බොඩිය” ද වෑන් රථයට පටවාගත් අපි මල් ශාලාව බලා එන්නට වීමු. ඒ එන අතර වික්‍රමෙ අයියා කතාවක් කීය. ඒ කතාව මෙසේය..... “අර බුලත් විටක් කටේ ඔබන් හිටපු මිනිහගෙ නම “ජයලත්” මිනිහ තමයි ඕකේ (රෝහලේ) මීනි කපන්නෙ. ඔය මිනිහ එක්කත් අපේ ලසන්ත (මා සේවය කරන මල් ශාලාවේ එම්බාම්කරු) වලියක් දා ගත්ත. මම හිතන්නෙ ජයලත්ට අපේ එකා කනට එකක් ගැහුවද කොහෙද. කොහොම හරි වැඬේ ටිකක් දුර ගියා. මොකද මෙයා ගැහුවෙ අර මිනිහගෙ ඩියුටි වෙලාවෙ, මෝචරිය ඇතුළෙදිම. අන්තිමට අපේ බොස් (මල් ශාලාවෙ අයිතිකරු) මැදිහත් වෙලා තමයි වැඬේ ගොඩින් බේර ගත්තෙ.
ඒත්.....එදා ඉඳන් අර ජයලත්, ලසන්ත ගෙන් පළිගන්නේ අමුතු ක්‍රමේකට..... දැන් ඔය සිද්ධිය වෙලා අවුරුද්දකටත් වැඩියි..... ඒත් මිනිහගෙ වෛරය ඉවර නෑ. තවම ගේම දෙනව....” “මොකක්ද අර අමුතු විදිහට පළිගන්න කතාව.....?” මම ඇසුවෙමි. “මෙහෙමයි.... බොඩිය කපන්න කලින් ජයලත් දැනගත්තොත් බොඩිය එන්නෙ අපේ මල් ශාලාවට කියල, මිනිහ කරන්නෙ මළ මිනියෙ බෙහෙත් ගහන නහර පුළුවන් තරම් ඇදල ඇතුළෙන්ම කපනවා. එතකොට එම්බාම් කරන මිනිහ ඒ නහර හොයා ගන්න පැය ගාණක් දගලන්න ඕන. සමහර නහර මැදින්, බාගෙට කපල තියලා තියනවා. එහෙම කෙරුවම බොඩියට ගහන බෙහෙත් ඔක්කොම ලීක් වෙනවා. ඉතින් ඒ ලීක් වෙන නගර හොය හොයා මහල බොඩිය හදන්න එම්බාම් කාරයා දස වදයක් විඳින්න ඕන. ඔන්න ඔහොමයි මිනිහ අපේ බුවාගෙන් පළිගන්නෙ.” වික්‍රමෙ අයියා කතාව නිම කළේය.
එදින සවස මම මේ කතාව ඇත්තදැයි අපේ මල් ශාලාවේ එම්බාම් කරු වූ ලසන්තගෙන් විමසුවෙමි. “ඔව් මචං. අද ගෙනාපු මේ බොඩිය කපලා නෑ. (මරණ පරීක්‍ෂණය පවත්වා නොතිබූ) නැත්නං උඹට බලන්න තිබුණ මිනිහගෙ සෙල්ලම.” එහෙත් ඒ සෙල්ලම බැලීමට මට වැඩි දිනක් ගත කිරීමට සිදු නොවීය. ඊට දින දෙකකට පසු මෘත දේහයන් ගෙන ඒම පිණිස මට එම රෝහලටම යාමට සිදුවිය. එය මරණ පරීක්‍ෂණය සඳහා විච්චේදනය කළ පිරිමියකුගේ මළ සිරුරකි. අපේ මිත්‍රයා “ජයලත්” එදිනද මෝචරියේ සිටියේය. අපි ඔහුගේද සහයෙන් මළ සිරුර තැටියට දමා ගතිමු. ඔහු අපෙන් මෙසේ ඇසීය. “අර... හාදයා නේද තවම ඕකෙ ඉන්නෙ?” “කවුද? ලසන්තද? ඔව්..... මිනිහ තමයි තවම ඉන්නෙ.” එසේ පිළිතුරු දුන්නේ මා සමඟ ගිය අනෙක් සගයායි. ඊළඟට ජයලත් අපට මෙසේ දේශනයක් කළේය. “ඔය පරය හිතං ඇති අපිට චණ්ඩි පාට් දාලා වැඩ කොරන්ට..... මම ඕකට යන හැම බොඩියකම නහර කපනව තමයි.... මේකෙත් කැපුවා....ඇයි? ඌ මට මොනව කොරන්ටද.....? ඌට බෑ මිනීවල නහර කැපුව කියල මට මොකවත් කොරන්ට...... ඒත් අපිට පුළුවන්..... මේක ඇතුළෙ අපිට ඕන දෙයක් කොරන්ට පුළුවං හලෝ.....”
අපි එම දේහය රැගෙනවිත් මල් ශාලාවේ එම්බාම් කාමරයේ තැබුවෙමු. අපේ එම්බාම්කරු ලසන්ත පැමිණ මට අඬගැසීය. “අජන්ත මේ....බලපං අර මෑන් කළ වැඩ.... මේ...න්...න මෙතන තමයි.... බෙහෙත් ගහන නහරෙ තියෙන්න ඕන.” ලසන්ත එම මෘත දේහයේ කපා සුනු කරන ලද කලවයක් මට පෙන්වමින් කියයි. “ඒත් බලපං මේකෙ නහරයක් තියා මොකක්වත් තියෙනවද කියල....? ආයෙ බලන්න දෙයක් නෑ...අනිත් ඒවත් මූ කපලම දාලා ඇති....මේ.....” සුදු පාට ග්ලවුස් දැමූ දෑතින් මෘත ශරීරය අවුස්සමින්, පෙරළමින් මගේ මිත්‍රයා එහි නහර හොයයි. මේ අතර මගේ මතකයට නැගුණේ රෝහලේ “මිනී කපන්නා” දැනට ටික වේලාවකට පෙර අපට කියූ කතාවයි. “මේක ඇතුළෙ අපිට ඕන දෙයක් කොරන්ට පුළුවං හලෝ.....”
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එම්බාම් නහරෙ කපලා
චම්පික Thursday, 19 May 2016 11:11 PM
අජන්තා, ඔබ සාහිත්‍යකරුවෙකු, ලේකකයෙකු නොවුණාට සමහර ලේකඛයන්ට වඩා හොඳින් ලිපිය පෙළගස්වා තිබෙනවා. හැකියාව දියුණු කරගෙන තවත් ලියන්න. ඔබට හැකියාව ඇති බව පෙනෙනවා. බුද්ධිමත්ව කටයුතු කළොත් ළඟාවිය නොහැකි තත්වයක් නැත. ඔබට ජය. (නි)
අජිත් Wednesday, 18 May 2016 02:19 PM
ඕක මොකක්ද අනේ, දියවන්නාවේ මහගෙදර ඉන්න අයගෙත් ලජ්ජ නහරය කපළලු තියෙන්නේ...(බ)
කපිල Wednesday, 18 May 2016 05:06 AM
සොයුර, ඔබේ ලිපිය රසවත් මෙන්ම හරවත්ය. විශේෂයෙන්ම විසිඑක්වන තාක්ෂණ සියවසේදීත් හොල්මන් අවතාර, යන්ත්‍ර මන්ත්‍ර පසුපස යන අන්ධ සමාජයට ඉතා වැදගත්ය. ස්තුතියි! (නි)
මැටිපහන Tuesday, 17 May 2016 08:52 AM
හොල්මන්, අවතාර, බලි තොවිල් ගැන විශ්වාස කරන අයට හොඳ ලිපියක්. (නි)
සනත් Saturday, 21 May 2016 05:09 PM
චම්පික පැවසූ අදහස අනුමත කරමි. ඔබට රසවත්ව ලිවීමේ හැකියාව ඇත. සුබ පතන අතර ඔබගේ ලිපිය ඉතා රසවත් බවත් කියමි. (නි)