IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


එෆ්.සී.අයි.ඩී. පත්‍රිකාවෙන් හෙළිවූ මිග්-27 ගනුදෙනුවේ සුලමුල

ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ඔප දැමූ කොරිඩෝව පිටුපස ඇත්තේ බලයේ සහ බලපෑමේ වංකගිරියකි. මෙම වංකගිරියේ වඩාත් කැපී පෙනෙන චරිතයක් වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බෑණනුවන් වන උදයංග වීරතුංග යි. ඔහු කියෙව් නුවර කුඩා අවන්හලක් කළමනාකරණය කිරීමේ සිට, යුක්රේනයේ සමකාලීන පිළිගැනීමක් සහිතව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රාජ්‍ය තාන්ත්‍රික ප්‍රමුඛත්වයට පත්විය.

මෙම උච්චතම නැගීම හුදෙක් අහම්බයක් නොව, ඔහුගේ ගැඹුරට විහිදුණු මුල් බැසගත් සම්බන්ධතා සහ ඔහුගේ මාමාගේ ජනාධිපති ධුරයේ උපායමාර්ගික උපක්‍රම සඳහා කදිම සාක්ෂියකි.

වර්තමානය දක්වා වේගයෙන් ඉදිරියට යමින්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ව්‍යාපාරය පුරාම ප්‍රතිරාවය වූ මාතෘකාවක් වන කුප්‍රකට මිග්-27 ප්‍රහාරක ජෙට් ගනුදෙනුව පිළිබඳව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත නව ආලෝකයක් විහිදුවා ඇත. සත්‍යය හෙළිදරව් කර වැරැදිකරුවන්ට වගවීම සහතික කිරීමට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය. කෙසේ වෙතත්, යුක්තිය තවමත් නොපැහැදිලිව පවතින අතර, දූෂණය, මෙහෙය වීම සහ “පැරැණි මිතුරු” සම්බන්ධතා ස්ථර යට වළලනු ලැබ ඇත.

මෙම නව හෙළිදරව් කිරීම් සිදුවන්නේ, දැනට අක්‍රියව පවතින මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් ඉතා සූක්ෂම ලෙස රැස් කරන ලද සාක්ෂි වලිනි. මෙහි ඇති හාස්‍යයට කාරණයක් වන්නේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය, එය මුලිනුපුටා දැමීමට උත්සාහ කළ දූෂණයටම ගොදුරු වීමයි. එහි සොයාගැනීම් ඉහළම ලංසුකරුවන්ට විකුණා ඇති බවට චෝදනා එල්ල විය. එම පිරිස අතර එෆ්.සී.අයි.ඩී. ය නඩු පැවරීමට බලාපොරොත්තුවෙන් සිටි වැරදිකරුවෝද වෙති. එසේ තිබියදීත්, සත්‍යය තවමත් හෙළිදරව් වන තෙක් බලා සිටී. “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ වාර්තාවල පෙර තොරතුරු ඇතුළත් කරමින්, මෙම ලිපියේ අරමුණ වන්නේ අපකීර්තිය පිළිබඳ පුළුල් දැක්මක් ලබා දීමයි. කෑදරකම සහ බලය සහ ධනය සඳහා ඇති අසීමිත කුසගින්න නිසා යටපත් වූ සත්‍යයන් සහ ආමන්ත්‍රණය නොකළ අපරාධ රාශියක් ඉතිරි වී ඇත.

බල තරගය මධ්‍යයේ, එක් තීරණාත්මක මොහොතක් කැපී පෙනෙයි. 2006 පෙබරවාරි මාසයේ දිනක, එවකට ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා, එවකට ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ප්‍රශාන්ත ද සිල්වා වෙත විශේෂ දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. මෙම ඇමතුම හරහා තානාපති වීරතුංග සහ තවත් පුද්ගලයකු සම්බන්ධ සිදුවීම් මාලාවකට වේදිකාව සකසන අතර, ඔවුහු ප්‍රහාරක ජෙට් යානා සහ එංජින් ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රසම්පාදන පැකේජයක් ඉදිරිපත් කළහ. විමර්ශකයන්ට ද සිල්වා කළ ප්‍රකාශයෙන් හෙළි වූයේ “නිතර පැමිණෙන අමුත්තකු” වන වීරතුංග මෙම ගනුදෙනු මෙහෙයවන බවයි. තවදුරටත් තහවුරු කිරීම කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මිලදී ගැනීමේ නිලධාරි එයාර් වයිස් මාර්ෂල් ප්‍රකාශ් තෙන්නකෝන් විසිනි. ඔහු විමර්ශකයන්ට තහවුරු කරමින් පැවැසුවේ “මිග්-27 ගුවන් සේවා නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා වීරතුංගගේ නොනවතින උත්සාහය” යනුවෙනි.

නව සොයාගැනීම් පදනම් වී ඇත්තේ දැනට අක්‍රීයව පවතින එෆ්.සී.අයි.ඩී. ය විසින් අනාවරණය කරගෙන වාර්තා කරන ලද සාක්ෂි මත ය. එහි නිලධාරියකු විසින් සොයාගැනීම් විශාල මුදලකට චූදිතයන් ඇතුළු උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට විකුණා දැමූ බවට එල්ල වන චෝදනා මධ්‍යයේ ආයතනය වසා දමන ලදී. නඩු ලිපිගොනු අස්ථානගත කිරීම සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ආරක්ෂා කිරීම පිළිබඳ පුළුල් චෝදනා මතු වී තිබේ. පැහැදිලිකම සහ පසුබිම සඳහා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පෙර වාර්තා කිහිපයක්ද ඇතුළත් කර ඇත.

තානාපති වීරතුංග සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයට නිතර නිතර පැමිණි විදේශීය ජාතිකයා කවුද? නිලධාරීන් දෙදෙනා කළ ප්‍රකාශවලට අනුව, ඔහු මෙම සැකසහිත දෙදෙනාව හඳුන්වා දී ඇත්තේ යුක්රේන මිග්-27 ප්‍රහාරක ජෙට් යානා නිෂ්පාදකයා වන UKRINMARSH සමාගමේ නියෝජිතයකු ලෙසය. පෙනෙන විදිහට ගනුදෙනුවක් අවසන් කිරීමට නියමිතව තිබුණේ ඔවුන් සමඟය. එම පුද්ගලයා වෙන කිසිවෙකු නොව පෙරුගොඩෝවා දිමිත්‍රි ඇලෙක්සැන්ඩ්‍රොවිච් වන අතර, ඔහු පෙරුගුඩොව් ලෙස වඩාත් හොඳින් හඳුනාගෙන ඇත. ඔහු UKRINMASHසමාගමේ මව් සමාගම වන UKRSPETSEXPORT සමාගමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විය. මිග්-27 ගනුදෙනුවෙන් පසු මාස ​​කිහිපය තුළ, යුක්රේන බලධාරීන් විසින් ඔහුව විමර්ශනයට ලක් කළේ අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි. එෆ්.සී.අයි.ඩී.ය විසින් රාජ්‍ය බුද්ධි සේවය (SIS) වෙත යවන ලද ලිපියකින් මගින් මෙය සනාථ වෙයි. එහි සඳහන් වන්නේ “‍... කියෙව් නුවර දිස්ත්‍රික් විනිසුරුවරයා විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට අනුව, ඔහු දැනට ප්‍රංශයේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් රඳවාගෙන සිටී” යනුවෙනි. පෙරුගුඩොව්ට එරෙහි නඩුව රජයට අයත් ව්‍යවසායයක් වන UKRSPETSEXPORT හි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ඔහු යටතේ පවතී. චෝදනා අතර යුක්රේනයේ කැරලිකාර කණ්ඩායම්වලට ආයුධ විකිණීම ද වෙයි. “පූර්ව නඩු විභාග විමර්ශනය සඳහා වූ ක්‍රියා පටිපාටික මාර්ගෝපදේශ දෙපාර්තමේන්තුව” විසින් නිකුත් කරන ලද පිටු හයක වරෙන්තුවේ ඉංග්‍රීසි පරිවර්තනයක් ද “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට ලැබී තිබේ.

 

දූෂණයේ ආර්ථික බර

මිග්-27 ගනුදෙනුව සහ අනෙකුත් ඉහළ පෙළේ සිද්ධීන් වටා ඇති දූෂණය ශ්‍රී ලාංකිකයන් කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කළේය. ඒ වන විටත් දීර්ඝ හා මිල අධික යුද්ධයක අධික මූල්‍ය බර ඔවුහු දරා සිටියහ. මහජන අරමුදල් සහ සම්පත් අවභාවිතය යනු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, යටිතල පහසුකම් සහ හමුදා භටයන්ගේ යහපැවැත්ම වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා භාවිතා කළ හැකිව තිබූ මුදල්, ඒ සඳහා යොදවනවා වෙනුවට, දූෂිත දේශපාලනඥයන්, නිල ඇඳුමින් සැරසුණු අතලොස්සක් සහ ඔවුන්ගේ සහචරයින් විසින් ගසා කෑමයි. මෙම පුළුල් දූෂණය සාමාන්‍ය පුරවැසියන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා තවත් උග්‍ර කළේය. දූෂණයේ ආර්ථික බර උද්ධමනය, විරැකියාව සහ සමස්ත ආර්ථික පසුබෑම් ආකාරයෙන් දැනුණු අතර එය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත තවදුරටත් පීඩාවට පත් කළේය. ඒවා රටේ බංකොලොත්භාවයට හේතු වූ සිදුවීම් දක්වා එකතු විය.

මෙම ලිපිය හරහා රහසිගත ගනුදෙනු වසා ඇති තිරයක් ඇද දැමීමට උත්සාහ කරන අතර, ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රසම්පාදනයේ හරයේ ඇති කුණුවීම සහ එයින් ලාභ ලැබූ ක්‍රීඩකයන් හෙළිදරව් කරනු ඇත. සත්‍යය සොයා යාම නොනවත්වා සිදු වේ, මන්ද අතීතය හෙළිදරව් කිරීමේදී අපි විනිවිද පෙනෙන සහ වගකිවයුතු අනාගතයකට මග පාදන බැවිනි.

2006 දෙසැම්බර් 3 වැනි දින “සන්ඩේ ටයිම්ස්” පුවත්පත විසින් ප්‍රථම වරට වාර්තා කරන ලද මිග්-27 ගනුදෙනුවේ පසුබිම නැවත විමසා බලමු.  “ශ්‍රී ලංකාවේ නවතම සහ විශාලතම මිලිටරි ගනුදෙනුව වන මිග්-27 භූමි ප්‍රහාරක යාත්‍රා හතරක් මිලදී ගැනීම සහ තවත් යානා හතක් අලු‍ත්වැඩියා කිරීම සඳහා ගුවන් හමුදාව සමඟ එළැඹ ඇති රුපියල් බිලියන ගණනකට (හෝ ඩොලර් මිලියන ගණනකට) වඩා වටිනා ගනුදෙනුව ප්‍රශ්න ගණනාවක් මතු කර ඇති බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත විසින් කරන ලද විමර්ශනයකින් හෙළි විය.

“ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගුවන් හමුදාව සහ යුක්රේන රජයට අයත් සමාගමක් වන UKRINMARSH අතර ඇති කරගත් මෙම ගිවිසුම හුවා දක්වන්නේ රජයෙන් රජයට ගිවිසුමක් ලෙසිනි. එවැනි ගනුදෙනු සිදු කරනු ලබන්නේ අඩුම ලංසුකරු තෝරා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාව වළක්වා ගැනීම සඳහා ය. G-to-G ලෙස හඳුන්වන මෙම ගනුදෙනුවල පුළුල් ලෙස පිළිගත් මූලධර්මය වන්නේ, විශාල කොමිස් මුදල් ලබාගෙන එක රැයකින් බිලියනපතියන් බවට පත්වන තෙවන පාර්ශවයන් හෝ අතරමැදියන් ඉවත් කිරීමයි. මෙම අවස්ථාවේදී, 2006 ජූලි 26 වැනි දින අත්සන් කරන ලද කොන්ත්‍රාත්තුවෙන්, එක්සත් රාජධානියේ ලියාපදිංචි කර ඇති බෙලිමිස්සා හෝල්ඩිංග්ස් ලිමිටඩ් නම් අක් වෙරළ සමාගමක් “‍නම් කරන ලද පාර්ශවය” ලෙස හඳුනා ගෙන ඇත. මිග්-27 යානා හතරේ පිරිවැය, භාණ්ඩ ප්‍රවාහනය සහ අනෙකුත් ගාස්තු මෙම සමාගමට සෘජුවම ලැබෙනු ඇති අතර, කොන්ත්‍රාත්තුවේ සඳහන් වන්නේ, “...මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය මූල්‍ය සැපයීමට සම්බන්ධ වනු ඇත...” යනුවෙනි.

“2006 ජූලි 27 වැනි දිනට, දිනකට පෙර මෙම කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇති අතර, ඒ වන විටත් සම්පූර්ණයෙන්ම රජය සතු සීමිත වගකීම් සමාගමක් වන ලංකා ලොජිස්ටික්ස් ඇන්ඩ් ටෙක්නොලොජීස් ලිමිටඩ්, සන්නද්ධ හමුදා සහ පොලිසිය සඳහා සියලු‍ම උපකරණ සහ සේවා මිලදී ගැනීම සඳහා ආරම්භ කර තිබුණි. “සන්ඩේ ටයිම්ස්” විමර්ශනවලින් හෙළි වූයේ නවතම ගනුදෙනුව වන මිග්-27 යානා හතර සඳහා මිලදී ගැනීමේ මිල, එක් යානයක් සඳහා ඇමරිකානු ඩොලර් 2,462,000 (හෝ රුපියල් 265,896,000) බවයි. භාණ්ඩ ප්‍රවාහනය නොමැතිව මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් 9,848,000 (හෝ රුපියල් 1,063,584,000) කි. කොන්ත්‍රාත්තුව අනුව, මෙය 1980 සහ 1983 අතර නිෂ්පාදනය කරන ලද භූමි ප්‍රහාරක ගුවන් යානා සඳහා වේ. මිග්-27 යානා හතක් සඳහා ගුවන් හමුදාව පෙර ගනුදෙනු දෙකක් පිරිසිදු වාණිජ ගනුදෙනු ලෙස අවසන් කළ බව සනාථ කරන ලියකියවිලි “සන්ඩේ ටයිම්ස්” පුවත්පත සතුව ඇත. ඒවා “රජයෙන් රජයට” ලෙස වර්ගීකරණය කර නොමැත. මෙම මිලදී ගැනීම් ගුවන් හමුදාව විසින් සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වනDS Alliance Private Limited වෙතින් සිදු කර ඇති අතර, එම සමාගම විසින් මූල්‍ය පැකේජයක් ලබාදී ඇත. යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති “‍රාජ්‍ය ව්‍යවසායයක්”‍ වන Lviv State Aircraft Repair Plant” විසින් ගුවන් යානා ලබාදී ඇත. නවතම ගනුදෙනුවේ දී මෙන්, මිග් යානා සැපයීම එවකටD.S. Alliance Pvt. Ltd හරහා UKRINMARSH මගින් සිදු කර ඇත....”‍

එෆ්.සී.අයි.ඩී. ලේඛනවලට අනුව, පසුව ගනුදෙනුව තහවුරු කළේ UKRINMARSHනොවේ. එය තහවුරු කළේ මව් සමාගම වන UKRSPETSEXPORT ය. කොළඹ සංචාරයක් අතරතුරේදී, තානාපති වීරතුංග විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ රැස්වීමක් සඳහා පෙරුගොඩොව්ව ආරක්ෂක අමාත්‍යාංශයට රැගෙන ගොස් ඇත. පසුව, ඔහු විසින් ඔහුට ලියූ ලිපියක, පෙරුගුඩොව් කියා සිටියේ, “‍අපි අපේ ගනුදෙනුව රජයෙන් රජයට පදනම යටතේ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමට කැමතියි.” යනුවෙනි. ගනුදෙනුව සඳහා ඔහු ඇමරිකානු ඩොලර් 14,280,000 ක මුළු පිරිවැයක් උපුටා දක්වා තිබුණි. එය පැවැසූ ආකාරයට රජයෙන් රජයට කරන ලද ගනුදෙනුවක් නොවන අතර, ඊට පාර්ශව තුනක් සම්බන්ධ විය. ඔවුන් ගැනුම්කරු, විකුණුම්කරු සහ නම් කරන ලද පාර්ශවය ලෙස හඳුනාගෙන ඇත. දෙවැන්නා බෙලිමිස්සා හෝල්ඩිංග්ස්, දෙවන මහල, 145-157 ශාන්ත ජෝන් වීදිය, ලන්ඩන් ලෙස ලැයිස්තුගත කර ඇත. මෙම ලිපිනයේ එවැනි සමාගමක් නොමැති බව විමර්ශකයෝ සොයා ගත්හ.

වීරතුංග ගිවිසුම සමඟින් කොළඹට පැමිණි බව පරීක්ෂණවලින් තහවුරු වී ඇත. ඔහු එය සමඟ නැවත මොස්කව් බලා පිටත්ව ඇත. පසුව, රාත්‍රී කාලයේ ගිවිසුම අත්සන් කර ඇත්තේ මොස්කව් නුවර පිහිටි තානාපති වීරතුංගගේ නිවසේදී ය. සැමරීම සඳහා වොඩ්කා වටයක් පිළිගන්වා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් අත්සන් තාබ ඇත්තේ කොළඹ සිටිමින්ය. ඔහු අණදෙන නිලධාරියා ලෙස පත් වූයේ එයාර් වයිස් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා වෙනුවටය. UKRINMARSHවෙනුවෙන් පෙරුගුඩොව් “සේවා සපයන්නා” ලෙසත්, මොස්කව්හි වොඩ්කා සාදයට පෙර “නම් කරන ලද පාර්ශවය”‍ ලෙස මිකලොව් කුල්ඩියාර්කෙව් අත්සන් තබා ඇත.

තවත් එෆ්.සී.අයි.ඩී. ලේඛනයක සඳහන් වන්නේ “සියලු‍ම හමුදා ගනුදෙනු පෞද්ගලිකව සාකච්ඡා කිරීම”‍ වීරතුංග, තමා විසින්ම භාරගෙන ඇති බවත් ඔහුගේ සහචරයන් වූයේ පර්ගුඩොව් සහ කුල්ඩියාර්කෙව් බවත්ය. කියෙව් නුවරදී කුල්ඩියාර්කෙව්ගෙන් ප්‍රශ්න කිරීමට එෆ්.සී.අයි.ඩී. විමර්ශකයන් දැරූ උත්සාහයන් නිෂ්ඵල විය. ඔහු ඒ වන විට ලු‍ගාන්ස්ක් හි සිටින බව ඔවුන්ට දැනුම් දී ඇත. වීරතුංග සාක්ෂිකරුවකු ලෙස අත්සන් කරන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක සහ චාන්සරි ප්‍රධානී කුලසේන තන්ත්‍රිගේ ගෙන් ඉල්ලා ඇත. “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට දැක ගැනීමට හැකිවූ ලේඛනවලට අනුව, ප්‍රසම්පාදනය සඳහා හය දෙනෙකුගෙන් යුත් ඇගයීම් කමිටුවේ ප්‍රධානියා ලෙස එයාර් වයිස් මාෂල් ගුණතිතිලක කටයුතු කළ අතර, ඔහු යුක්රේන මිලදී ගැනීමේ මෙහෙයුමේ සාමාජිකයෙක්ද විය.

පිටු 65 කින් යුත් ගිවිසුම (එහි මුල් පිටුවේ අනුරුවක් මෙම ලිපිය සමග දැක්වේ) මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් අතුරුදහන් වී ඇත. සතියකට පෙර, වීරතුංග යූ ටියුබ් නාලිකා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, “කවුරුහරි ඒක සොරකම් කරලා” යනුවෙනි. ඔහු හෝ ඇය කවුදැයි තමන් නොදන්නා බව ඔහු පැවසීය. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද පිටපතක් ද අතුරුදහන් වී ඇත. ඒ ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් “සන්ඩේ ලීඩර්” පුවත්පතට නඩු පවරන විට ය. පසුව නඩුව සමථයකට පත් කරන ලද්දේ, වික්‍රමතුංගගේ මරණයෙන් පසු කර්තෘ ධුරයට පත් වූ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් විසිනි.

එෆ්.සී.අයි.ඩී.ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වෙත වාර්තාවක් නිකුත් කරමින් මෙසේ පැවසීය, “2006 ජුනි 17 සිට 2015 පෙබරවාරි 28 දක්වා කාලය තුළ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් කටයුතු කළ උදයංග වීරතුංග මෙම ගනුදෙනුවට අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදු කර ඇති බවට චෝදනා එල්ල වේ. ශ්‍රී ලංකා රජය සහ යුක්රේනය පදනම් කරගත් සමාගම අතර සිදුවූ මෙම ගනුදෙනුවේ ප්‍රතිලාභියෙකු ලෙස ක්‍රියා කළ ලන්ඩනයේ බෙලිමිස්සා හෝල්ඩිංග්ස් සමාගම සමඟ උදයංග වීරතුංග මහතාට සමීප සම්බන්ධතාවයක් තිබූ බවට විශාල සැකයක් ඇත.”

වීරතුංග “යුක්රේන ජාතිකයන් දෙදෙනෙකු සමඟ” කුමන්ත්‍රණය කර UKRINMARSCH සමාගමට වංචා කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ. සිදුව ඇති වංචනික ගනුදෙනුවේ තොරතුරු එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව ඇතුළු රටවල බලාත්මක කිරීමේ ආයතනවල සහාය ඇතිව එෆ්.සී.අයි.ඩී. ය විසින් අනාවරණය කර ගන්නා ලදී. එය කම්පන සහගත හෙළිදරව් කිරීම් සිදු කරයි. අන්‍යෝන්‍ය නීති ආධාර වැඩසටහන් හරහා මෙම රටවල් වෙත ප්‍රවේශ වී ඇත. මේවා පහත ඉස්මතු කර ඇති ප්‍රධාන හෙළිදරව්වකට හේතු විය:

●2006 දී (ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රහාරක ජෙට් යානා මිලදී ගත් විට), UKRINMARSH වෙතින් කිසිදු ආකාරයක ගුවන් යානා විකිණීමක් සඳහා කිසිදු ශ්‍රී ලාංකික ආයතනයක් සමඟ ගිවිසුමක් නොතිබූ බව ඔවුන්ගේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් එස්.වී.ස්ලියුසරෙකෝ පැවසීය. එෆ්.සී.අයි.ඩී. ය සතුව ඇති ලේඛනවලින් මෙය සනාථ වෙයි.

●යුක්රේන රජයට අයත් UKRSPECTEXPORT සමාගම ප්‍රහාරක ජෙට් යානා සහ එංජින් සැපයීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කිසිදු ජාත්‍යන්තර ගිවිසුමක් අවසන් කර නොමැති බව එෆ්.සී.අයි.ඩී. ලේඛන සනාථ කරයි. මයිකොලව් කුල්ඩියාර්කෙව්ට අත්සන් කිරීමට බලයක් නොමැති බව ද මෙම ලේඛනවල සඳහන් වේ.

අලු‍ත්වැඩියා කරන ලද මිග්-27 ගුවන් යානා 2006 දෙසැම්බර් 23 සිට 2007 සැප්තැම්බර් 12 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාරදී ඇත. අපනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ යුක්රේනයේ රාජ්‍ය මූල්‍ය සේවය විසිනි. මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව (ආරක්ෂක අමාත්‍යාංශය හරහා) UKRINMARSH වෙත ඇමරිකානු ඩොලර් 13,976,000 ක් ගෙවා ඇත. ඒ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වලට අමතරවය. මෙය සිදු වූයේ කෙසේද?

මීට අමතරව, ප්‍රහාරක ජෙට් යානා භාරදීමෙන් පසු කාර්මික ශිල්පීන් සහ නියමු කණ්ඩායමක් ද කොළඹට පැමිණියහ. ඔවුන්ව එවා ඇත්තේ මිග්-27 යානා පෙර සැපයුම්කරු වූ DS Alliance සමාගමට සම්බන්ධ අය විසින් බව පසුව අනාවරණය විය. එහි අධ්‍යක්ෂවරුන් වූයේ ව්‍යාජ ලන්ඩන් ලිපිනයක් ඇති බෙලිමිස්සා හෝල්ඩිංග්ස් ලිමිටඩ් නම් පෙරටුගාමී සමාගම සමඟ තිරය පිටුපස සිට ක්‍රියාත්මක වූ අයයි. ඒ වන විට, පොලිස් ප්‍රධානී චන්දන වික්‍රමරත්නට දැනගන්නට ලැබුණේ එෆ්.සී.අයි.ඩී. නිලධාරියකු සිංගප්පූරුවට ගොස් පරීක්ෂණවල සොයාගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ හඳුනාගත් සාමාජිකයින්ට විකුණා ඇති බවයි. ඔහුගේ නියෝගයෙන් කළ පරීක්ෂණයේ ඉරණම කුමක්දැයි දැනගැනීමට නොමැත. බටහිර රටකින් අන්‍යෝන්‍ය නීති සහය ලබා ගැනීම සඳහා එෆ්.සී.අයි.ඩී. ය විසින් ලබාදුන් ලේඛනයකින් වංචනික මිග්-27 ගනුදෙනුව සඳහා මුදල් ලැබුණු ආකාරය පිළිබඳ විස්තර සපයයි.

 

ලන්ඩන් ලිපිනය

එහි සංස්කරණය කරන ලද විශේෂ කොටස් මෙසේය: “බෙලිමිස්සා හෝල්ඩිංග්ස් සමාගම විසින් දී ඇති ලන්ඩන් ලිපිනයේ එවැනි සමාගමක් නොමැති නමුත්, එය බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල සංස්ථාගත කර ඇති ආයතනයක් බව විමර්ශනවලින් හෙළි වී තිබේ. ඔවුන් 2000 ජුනි 28 වැනි දින ජාත්‍යන්තර ව්‍යාපාර සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ ගිවිසුමකට එළඹීමට පෙර, ඔවුන් මුල් ලියාපදිංචිය සංශෝධනය කර ඇති අතර, ඔවුන්ට ලෝක මෙහෙයුම්, ගැනුම්කරුවන්, විකුණුම්කරුවන්, ඕනෑම ආකාරයක ආයුධ සැපයුම්කරුවන්, පුපුරන ද්‍රව්‍ය, ගුවන් යානා සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය ඇතුළු ආරක්ෂක ද්‍රව්‍යවලට සම්බන්ධ ක්‍රියා සිදු කිරීමට හැකි වන පරිදි වගන්තියක් ඇතුළත් කර ඇත. මෙම වගන්තිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ ගිවිසුම අත්සන් කිරීමට මාස දෙකකට පෙර, එනම් 2006 මැයි 26 වැනි දින හඳුන්වා දී ඇත.

“කොළඹ මහජන බැංකුව හරහා ලන්ඩනයේ බෙලිමිස්සා හෝල්ඩිංග්ස් සමාගම වෙත ප්‍රේෂණය කරන ලද මුදල් පසුව හොංකොං හි බේරිෂ් හිපෝ උන්ඩ් වෙරියන්ස් බැංකුවට යොමු කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මුලදී, එය නිව්යෝර්ක් හි ජේ.පී. මෝගන් බැංකුව හරහා සහ පසුව සිංගප්පූරුවේ බේරිෂ් හිපෝ උන්ඩ් වෙරියන්ස් බැංකුව හරහා සිදු කර ඇත.” එසේම, සිංගප්පූරුවේ නීතිපති මණ්ඩලය එෆ්.සී.අයි.ඩී. ය වෙත කළ දැනුම් දීමකින් තහවුරු කර ඇත්තේ බෙලිමිස්සා හෝල්ඩිංග්ස් සමාගමේ ලියාපදිංචි කාර්යාලයක් සිංගප්පූරුවේ නොමැති බවයි. “සැකයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා, “‍බෙයිමිස්සා” සහ “‍බෙල්මිස්සා” ලෙසින් වෙනස් කර බැලුවත් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නැතැයි” ඔවුන් පැවසීය. ගනුදෙනුවේ වඩාත්ම කම්පන සහගත කොටස පැමිණෙන්නේ ඉන් අනතුරුවය.

තවත් එෆ්.සී.අයි.ඩී. වාර්තාවක සඳහන් වන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය හරහා බෙලිමිස්සා හෝල්ඩිංග්ස් සමාගම මගින් UKRINMARSH සමාගම වෙත ඇමරිකානු ඩොලර් මිලියන 14.7 ක් ගෙවා ඇති බවයි, එය අසත්‍යයකි. එපමණක් නොව, විමර්ශනයේ සොයාගැනීම්වලට අනුව, කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීමට කුල්දිර්කායෙව්ට නිල බලයක් නොමැත. ගනුදෙනුව සඳහා UKRINMARSH සමාගම වෙත ගෙවා ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 7.833 ක් පමණක් බව සොයා ගෙන ඇත. එයද ගෙවා ඇත්තේ බෙලිමිස්සා හෝල්ඩිංග්ස් සමාගම විසින් මිස, ශ්‍රී ලංකාව විසින් නොවේ. ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 7.7 ක මුදලට සිදු වූයේ කුමක්ද? කොටසක් ලැට්වියාවේ ඇති බැංකු ගිණුමකට ගොස් ඇත. අරමුදල් ගොස් ඇති අනෙකුත් ගමනාන්ත වන්නේ නවසීලන්තය, පිලිපීනය, පැනමාව, යුක්රේනය, හොංකොං, සිංගප්පූරුව සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල ගිණුම් වෙත ය. ඒවාට උදයංග වීරතුංගට අයත් ගිණුම්ද ඇතුළත් වන බවට චෝදනා එල්ල වේ. කෙසේ වෙතත්, ඔහු තරයේ පවසන්නේ ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. ඔහුගේ ශ්‍රී ලාංකික බැංකු ගිණුම් කිහිපයක් තවමත් අත්හිටුවා ඇත.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානානක්කාර විසින් සාකච්ඡාවට භාජනය කරන ලද අධිකරණවලට සම්බන්ධ අයට එරෙහිව විභාග වෙමින් පවතින අධිචෝදනා අතර මිග්-27 ගනුදෙනුවද විය. ඔහු “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට අදහස් දක්වමින් පැවසුවේ, “මම විවෘත නඩු සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධතා වැඩසටහන් ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා වන රැස්වීමක සභාපතිත්වය දැරුවා” යනුවෙනි. මිග්-27 වංචනික ගනුදෙනුව පිළිබඳ විමර්ශන මුලින්ම හෙළි කරන ලද්දේ “සන්ඩේ ටයිම්ස්” පුවත්පත විසිනි. මෙම පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු පසුව එෆ්.සී.අයි.ඩී. ය වෙත ප්‍රකාශයක් කළ අතර, ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී, සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. ඉන්පසු අනෙකුත් මාධ්‍ය ආයතනද මෙම පුවත පළ කළේය. විශාල මුදල් සහ දේශපාලන පීඩනය ඉදිරි ගමන් මඟ අඩාළ කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් උදයංග වීරතුංග “සැලකිය යුතු දූෂණයකට” සම්බන්ධ වීම සම්බන්ධයෙන් “නම් කරනු” ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ය. ඔහුට සහ ඔහුගේ පවුලේ අයට එක්සත් ජනපදයට යාම තහනම් කර ඇත. “සැලකිය යුතු දූෂණයක් සඳහා නම් කරන ලද” තවත් අයෙක් වූයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු වූ කපිල චන්ද්‍රසේන ය. එයාර්බස් ගනුදෙනුවකින් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබා ගත් බවට ඔහු චෝදනා එල්ල වී ඇත.

 

“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ
දේශපාලන විශ්ලේෂක විසිනි

(***)
“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්ථනය කළේ
අනිල් කරුණාරත්න



අදහස් (2)

එෆ්.සී.අයි.ඩී. පත්‍රිකාවෙන් හෙළිවූ මිග්-27 ගනුදෙනුවේ සුලමුල

jeppo Wednesday, 12 February 2025 09:22 AM

ලිපි ලියා මේවා විසදිය නොහැක

:       13       7

,,Neel Friday, 14 February 2025 12:38 PM

මෙම ලිපියෙන් හොරු කවුද කියලා, ලිපිය කියවන ඔබ තේරුම්ගත යුතුයි. වටිනාකමක් තියෙන ලිපිගොනු අතුරුදන් වුණු එකේම ඒ බව මනාව අවබෝධ කරගත හැකියි...

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

පළාත් පාලන මැතිවරණය සිහිනයක්ද?
2025 පෙබරවාරි මස 22 32 0

පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 960 9

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 575 1

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 477 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්
2025 පෙබරවාරි මස 20 150 1

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍


අයි.එම්.එෆ්. මග යන අයවැයක්
2025 පෙබරවාරි මස 19 733 1

ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 128 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 396 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site