රුක්මණී දේවිය සමග මෙම සම්මුඛ සාකච්ඡාව මා විසින් පවත්වනු ලැබුවේ 1978 ඔක්තෝබර් මස 27 වැනිදා දහවල් 12.30 ට පමණය. ඊට පැය දහ අටකට පසුව 1978 ඔක්තෝබර් මස 28 වැනිදා සෙනසුරාදා උදෑසන 6.30 ට පමණ ජාඇළ තුඩැල්ලේ පල්ලිය අසල සිදුවූ මාරක රිය අනතුරකින් ඇය එතැනම කලුරිය කළාය. අවමගුල් උත්සවය පැවැත්වූ 1978 ඔක්තෝබර් මස 30 වැනි දින රාත්‍රියේ ප්‍රචාරය වූ ප්‍රවෘත්ති සංදර්ශනය වැඩසටහනේ ප්‍රචාරිත පටියෙන් පිටපත් කර ගන්නා ලද්ද මෙහි පහත දැක්වේ. නිෂ්පාදක සටහන්, පිටපත් කරද්දී මවිසින් සටහන් කරන ලද ඒවා වෙයි.
වසන්ත ලංකාතිලක: හදිසි රිය අනතුරකින් මිය ගිය රුක්මණී දේවි, ඇගේ අන්තිම ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාව පටිගත කළේ, ඇය මිය යෑමට හරියට පැය 18 කට කලින් ඒ සිකුරාදා ප්‍රචාරය වූ ප්‍රවෘත්ති සංදර්ශනය සඳහායි. රුක්මණී දේවිගේ අන්තිම ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූ ප්‍රවෘත්ති වැඩසටහන් සංස්කාරක පාලිත පෙරේරා.
පාලිත: සිකුරාදා දිනයේ සිදුවන වැදගත් සිද්ධීන්, එදින උදේ තෝරද්දී මට පෙනී ගියා ඉරිදා රුක්මණීගේ ස්වර්ණ ගී ප්‍රසංගය පැවැත්වෙන බව. ඒ නිසා, සිකුරාදා ප්‍රවෘත්ති සංදර්ශනය නිෂ්පාදනය කරන අසෝක සිල්වාට මා කීවා මීගමුවට හරි ගිහිල්ලා රුක්මණී දේවිගේ සම්මුඛ සාකච්ඡාවක් පටිගත කොට, වැඩසටහනට ඇතුළත් කරමු කියලා. පැය දෙකකට විතර පස්සේ රුක්මණී දේවි ඉන්න ඉසව්ව, ඉතා අමාරුවෙන් සොයා ගත්ත අසෝක සමග මා පිටත් වුණා කිරුළපනේ පළමුවැනි පටුමගේ ලෙස්ලි අමරසිංහ මහතාගේ නිවසට. අපි එහි යන විට ගුවන් විදුලි වාදක මණ්ඩලයේ අමරසිරි පීරිස් වාදනය කරන පියානෝව අසල පුටුවක වාඩි වී රුක්මණී දේවි ගීත පුහුණු වෙමින් සිටියා. අඩි එකේ එකහමාරේ බි්‍රස්ටල් බෝඞ්වල විශාල ඉංග්‍රීසි අකුරෙන් ලියා ගත් සිංහල ගීතවල පිටපත් අත ඇතිව, රුක්මණී දේවි ගීත පුහුණු වූවා. ඉතාමත් තෘප්තිමත් ගතියක්, ගීතය තුළ ජීවත් වන ගතියක් මෙන්ම ඉතාමත් පහසු ඉරියව්වක් මා එදා රුක්මණී දේවි තුළ දුටුවා.
දවල් 12.30 ට පුහුණුවීම් අවසන් වූ පසු රුක්මණී දේවි කෙළින්ම ආවේ අපේ පටිගත කරන යන්ත්‍රය වෙතටයි. කිසිම කලින් පුහුණු වීමක් නැතිව මා කෙළින්ම රුක්මණී දේවියගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා. ඈ ඒවාට කෙළින්ම උත්තර දුන්නා. විනාඩි පහමාරක් වැනි කෙටි කාලයක් වන මෙම සම්මුඛ සාකච්ඡාව කිසිම සංස්කරණයකින් තොරව සම්පූර්ණයෙන්ම දැන් අපි ප්‍රචාරය කරමු.
(පසුබිමෙහි “අන්න සුදෝ අර පාට වලා...” යන ගීතය
පියානෝවෙන් අමරසිරි පීරිස් වාදනය කරයි.)
පාලිත: ඬේසි අක්කා අවුරුදු හතළිහක සංගීත ජීවිතයේ ඔබේ ජයග්‍රහණ මෙන්ම පසුබෑම් ද තියෙන්න ඕනෙ. මතක් කරන්න පුළුවන්ද ඒ වගේ දේවල්.
රුක්මණී: මේ අවුරුදු හතළිහ තුළ වෙච්ච දේවල්ද?
පාලිත: ඔව්
රුක්මණී: (සිනාවෙමින්) වෙච්ච දේවල් නම් හුඟාක් නම් තියෙනවා. කියන්නේ මම පොඩි කාලේ ඉඳලම ගීතවලට හුඟාක්ම ප්‍රිය කළා. ඒ වගේම මට අවස්ථාවක් ලැබුණා රූපසිංහ මාස්ටර් සමග ගීත තැටිවලට නඟන්න. ඉතින් කාලයක් මුදුන් පෙත්තටම නැගලා හිටිය ගීත තැටිවලින්. ඊට පස්සෙ චිත්‍රපටවලින්. ඊට පස්සෙ ටික කලක් ආයෙත් චිත්‍රපට දිගටම කාලයක් තිබුණේ නෑ. ඒ වුණත් මේ අවුරුදු හතළිහක උත්සවය පවත්වන්න නම් මගේ හිතකටවත් ආපු නැති දෙයක්. මේ නුගේගොඩ ඉන්න දොස්තර බර්ටි අමරසිංහ මහත්මයා මගේ හොඳ යාළුවෙක්. එයාගේ හිතේ තිබිලා තියෙනවා මම මෙහෙ ඇවිත් කතා කර කර ඉන්නකොට කිව්වා මෙච්චර කාලයක් ඬේසි අක්කා ගීත කිව්වට ඇයි මෙහෙම දෙයක් කරන්න නැත්තේ කියලා. මම කිව්වා අයියෝ ඕක හරි කරදරයක් වෙන්නත් පුළුවන්. අනික සින්දුත් නෑ විසිපහක් හොයල ගන්නත්. ආ ඒවා කිසි ප්‍රශ්නයක් නෑ ඒවා මම කරන්නම් කියලා එයා තමයි මට අත දුන්නේත් අදහස දුන්නේත් මේකට. ඒ දොස්තර මහත්තයාට මම හුඟාක් ස්තුතිවන්ත වෙන්න ඕනෙ මෙහෙම දෙයක් කරලා මාව ආපහු අවුරුදු හතළිහකට පස්සෙ මෙවැනි දෙයක් ඉදිරිපත් කරනවාට. නේද?
පාලිත: දැන් ඬේසි අක්කාගේ ඊළඟ උපන් දිනය යෙදෙන්නේ කවදාටද? කීවෙනි උපන් දිනයද යෙදෙන්නෙ.
රුක්මණී: (හයියෙන් සිනාසෙයි) හරි ප්‍රශ්නයක්නෙ ඇහැව්වෙ
පාලිත: (රුක්මණී සමග එක්ව සිනාසෙයි.)
රුක්මණී: ඒ ප්‍රශ්නයට කවුරු හරි උත්තර දෙනවද? මං අහන්නෙ ගැහැනියෙක්. (දෙදෙනාම මහ හඬින් සිනාසෙති.) ඒ වුණාට මම උත්තර දෙන්නම් පනස් දෙකයි.
පාලිත: පනස් දෙකයි
රුක්මණී: ඔව්
පාලිත: ඬේසි අක්කට මෙහෙම දෙයක් හිතෙන්නෙ නැත්ද? දැන් ඬේසි අක්කාගේ ජීවිතේ තනිවෙලයි කියලා තේරෙන්නෙ නැත්ද?
රුක්මණී: (හඬ තැන්පත් වෙයි) මොන අතින්ද
පාලිත: හැම අතින්ම වගේ. පවුල් ජීවිතයේදී එහෙම අරන් බැලුවොත්, දරුවො එහෙම.
රුක්මණී: පවුල් ජීවිතය ගැන කීවොත් එහෙම, මට දරුවෝ නැති එක තමයි මට හුඟාක්ම තනිය දැනෙන්නෙ. නමුත් සමහර විට මට හිතෙනවා ඒවාත් මැකෙනවයි කියලා මේ සංගීතය තියෙන නිසා. ඒ කියන්නේ මම හුඟාක් චිත්‍රපටවල රඟපානවා. වේදිකාවල රඟපානවා. සංගීත සංදර්ශනවල ඉන්නවා. ඉතින් ඒවාවලට ගියාම මගෙත් එක්ක ආශ්‍රය කරන සහෝදර ගායක ගායිකාවෝ නළුවෝ නිළියො සියලු දෙනා සමග ඉන්න කොට නම් මට ඒ දුක මැකෙනවා. නමුත් මං තනියෙන් ඉන්න අවස්ථාවකදි නම් ඒක ලොකු වේදනාවක් තමයි. කොච්චර කලක්, මම අම්මා ගැන සින්දු කිව්වත් දරුවෙක් ගැන සින්දු කිව්වත් මට අම්මා කියලා අමතන්න කෙනෙක් නෑනෙ. ඒ දුක මට තියෙනව තමයි. ඒ දුක සදහටම තියෙනවා. කරන්න දෙයක් නෑ හැම දෙයක්ම ලෝකෙ ලැබෙන්නෙ නැහැ නේද සියලු සැපතක්ම.
පාලිත: ඊයේ රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් මහත්මයා කිව්වා මීට පස්සෙ ගායක ගායිකාවන්ට ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන හැම ගීතයකටම ගණනක් ගෙවන්න යනවයි කියලා. මේ ගැන මොකද කියන්නේ.
රුක්මණී: (සිනාසෙමින්)
මං හිතන්නෙ ඒක බොහොම හොඳ දෙයක්. කියන්නේ ඒක මෙච්චර කාලයක් නොකරපු දෙයක්නෙ. ඉස්සර නම් එච්.එම්.වී. තැටිගත කළ කාලයේදී නම් රූපසිංහ මාස්ටර්ලගෙ කාලයේදී ඒ තැටියට... මේ රෝයල්ටි කියල තියෙන්නෙ. අන්න එහෙම ගාණක් අපිට
ලැබුණා. පස්සෙ පස්සෙ ඒක නැතිව ගියා මේ මෑතකදි ඉතින් එහෙම අදහසක් ඒ මහත්මයා කරලා තියෙනවා නම් ඒක ලොකු දෙයක්, මං හිතන්නේ හැමෝටම ගායක ගායිකාවන්ට නේද?
පාලිත: ඬේසි අක්කාගේ මේ ස්වර්ණ ගී ප්‍රසංගයේ කොයි වගේ ගීත ද ගියනා කරන්න ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. අර පරණ තාලේ “දැඩි කළ මාතා” වැනි ගීත ගැයූ කාලේ ඉඳන්ම එහෙම.
රුක්මණී:- ඔව් මං හුඟාක් ඒ වගේ පැරැණි ගීත තමයි තෝරගෙන තියෙන්නෙ. ඒ මොකද සාමාන්‍යයෙන් සංගීත සංදර්ශනයකට ගියොත් එහෙම වැඩියෙන්ම කියැවෙන්නේ ඔය අලුතෙන් තැටිගත කරපුවා. නමුත් මේ පැරැණි ගීත අහන කෙනකුට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. දැන් ඒවායෙ තැටිත් නෑ. හුඟාක් ඒවයෙ තැටි දැන් නරක් වෙලා. ඉතින් දොස්තර මහත්තයා කීවා අපි පරණ ගීතම කියමු කියලා. එයා අදහස දාල දැන්
පැරැණි ගී තෝරගෙන තියෙන්නෙ. ගී විසි පහක් තෝරගෙන තියෙනවා.
පාලිත: මං මේක අහන එක හරිද මන්දන්නෙ නෑ. දැන් ඕනෑම ගායිකාවකට තියෙනවා තමන්ගේ මතකයේ තියෙන ඉතාමත් කැමැති ගීතයක්. මොකක්ද ඒක.
(පියානෝවෙන් තවමත් දිගටම පසුබිමේ වාදනය කෙරෙන අන්න සුදෝ යන ගීතය කෙරෙහි මදක් අවධානය යොමු කොට)
රුක්මණී: මං හුඟාක් ප්‍රිය කරනවා කැලෑ හඳ චිත්‍රපටයේ
පාලිත: මේ ඇහෙන එකද “අන්න සුදෝ...”
රුක්මණී: (යාන්තමට සිනාසෙයි) අන්න සුදෝ මං කැමැති ගීතයක් තමයි. “සිරියලතා” චිත්‍රපටයේ ගීතයක් තියෙනවා “ආලේ කළා නම්...” කියලා. මං ඒකට හුඟාක් ප්‍රිය කරනවා. නමුත් මං හිතන්නේ ඒකෙ තැටිය නෑ.
පාලිත: ඬේසි අක්කා මොකද ඔය ආදරය ගැන කියන ගීතවලට ඔය තරම් ඇලුම්කමක් දක්වන්නෙ?
රුක්මණී: ඒකෙ තමයි මිහිර තියෙන්නේ. (සිනාසෙයි)
පාලිත: නැතුව ඒක තමාගේ ජීවිතයටත්...
රුක්මණී: ජීවිතයටත් ඒක, එක කොටසකට ඇතුළත් වෙනවා. නැහැ කියන්න බෑ. ආදරය කියන දේ තමයි ලොකුම දේ මං හිතන්නෙ. මොන අතකින් වුණත් දරුවකුට හෝ වේවා ස්වාමියාට ආදරය වේවා පෙම්වතෙක් පෙම්වතියකට ආදරයක් වේවා. නමුත් හැම දෙයක්ම කෙරෙන්නේ ආදරයක් උඩනෙ.
පාලිත: නමුත් ඬේසි අක්කාගේ ගීත හුඟක් මං දැකලා තියෙන්නේ බලාපොරොත්තු සුන් වෙච්ච ගීත හුඟාක් ඬේසි අක්කා ගායනා කරලා තියෙනවා කියලා. ඒ වගේම ඬේසි අක්කා ඒවාට හුඟාක් ඇලුම් කරනව කියලා.
රුක්මණී: ඔව්. ඒවා මගේ ජීවිතයට හුඟාක් සම්බන්ධ වෙනවා. ඒ ගීත, ඒ ඒ විදියේ දුක. අනික ඒ වගේ ගීතත් මට ලැබිලා තිබෙන්නේත්... කලින් මම චිත්‍රපටවල රඟපාපු කොටස්. චරිත ඒ වගේ දුක් චරිත තමයි මුල හිටන්ම රඟපෑවේ... එතකොටත් ලැබුණා. ඉතින් ජීවිතයට ඕකත් සම්බන්ධ වුණා. එහෙම... (යන්තමින් ඇය සිනාසෙයි.)
පාලිත: බොහොම ස්තුතියි ඬේසි අක්කාට
පාලිත: රුක්මණී දේවි මිය යෑමට පැය දහ අටකට (18) පෙර පටිගත කළ ඇයගේ අන්තිම ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවයි. ඒ වසන්ත ලංකාතිලකගේ සහය ඇතිව. මේ ප්‍රවෘත්ති සංදර්ශන විශේෂ සංස්කරණය නිෂ්පාදනය කළේ පාලිත පෙරේරා.
රුක්මණී දේවියගේ ගීතයක් “සැප නෑ සංසාරේ... ගැලී දනෝ තණ්හාවේ දෝසේ - මීලෝල සේ දුකේ වැටී - දනෝ තණ්හාවේ දෝසේ... සැප නෑ සංසාරේ ගැලී දනෝ තණ්හාවේ දෝසේ...” ගීත ඉතා සෙමින් මැකී ඉවතට යයි.
(සුරස ප්‍රකාශනයක් ලෙසින් 2008 දී ප්‍රකාශයට පත්වූ “පාලිත පෙරේරා සමග සජීව ලෙසින්” කෘතියෙන් උපුටාගන්නා ලදී.)
(විශේෂ ස්තුතිය: ප්‍රේම් දිසානායක මහතාට)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඒකෙ තමයි මිහිර තියෙන්නේ