ලයිලා පකීර් රථ වාහන හසුවරුමින්, කොස්තාපල් ජෙනීටා ද මෙහි සිටින්නීය....
පොලිස් සේවය මෙරට ස්ථාපිත කර ඇත්තේ 1866 වසරේ සැප්තැම්බර් මස 03 වැනිදාය.
අපේ රටේ පොලිස් සේවාව ආරම්භ වූ දවසේ සිට 1946 වසර දක්වා වසර 80ක පමණ කාලයක්ම පොලිස්පති ධුරය දරා ඇත්තේ සුදු ජාතිකයින්ය.
සුදු ජාතිකයින් පමණක් හොබවන ලද පොලිස්පති ධුරයට ශ්‍රී ලාංකිකයෙක් පළමුවරට පත්ව ඇත්තේ 1946 වසරේය.
ඒ ශ්‍රීමත් රිචඞ් අලුවිහාරේ මහතාය.
රිචඞ් අලුවිහාරේ මහතා 1955 වසර දක්වා පුරා වසර 09 ක පමණ කාලයක් පොලිස්පති ධුරය හොබවමින් පොලිස් සේවාවට දේශීය ඌරුවක් ලබාදීමට මෙන්ම පොලිසියේ දියුණුවට අනුපමේය මෙහෙයක් කළ නිලධාරියෙක් ලෙස පොලිස් ඉතිහාසයේ ඔහුගේ නම ලියවී ඇත්තේ රන් අකුරිනි.
එතෙක් කාලයක් පිරිමින්ට පමණක් සීමාවී තිබූ පොලිස් සේවාවට කාන්තාවක් බඳවා ගැනීම ආරම්භ කළේ ශ්‍රීමත් රිචඞ් අලුවිහාරේ පොලිස්පතිවරයාය.
පොලිස්පති අලුවිහාරේ මහතා කාන්තාවන් පොලිස් නිලධාරිනියන් වශයෙන් බඳවා ගැනීම ආරම්භ කළ යුතු බවට යෝජනා කර ඇත්තේ 1952 වසරේය.
මේ යෝජනාව ක්‍රියාත්මක වී ඇතැයි කියන්නේ 1953 වසරේය.
කාන්තා නිලධාරිනියන් පොලිස් සේවයට බඳවා ගැනීම අලුවිහාරේ මහතා පොලිස් සේවයේ උන්නතිය, දියුණුව වෙනුවෙන් කළ අනුපමේය සේවාවවන් ගණනාවක් අතරින් එකක් පමණි.
පොලිස්පති රිචඞ් අලුවිහාරේ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භකරන ලද කාන්තා පොලිස් සේවයට මුලින්ම එකතුවී ඇත්තේ තරුණියක් හතර දෙනෙකි.
මේ තරුණියන් හතර දෙනා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ලෙස තෝරාපත්කරගෙන ඇත්තේ පොලිස් සේවයට එක්වීමේ අපේක්‍ෂාවෙන් පැමිණි තරුණියන් සැලකිය යුතු පිරිසක් අතරිනි.
එවැනි භාග්‍යයක් වාසනාවක් ලැබුණු තරුණියන් හතර දෙනා අතරින් අදටත් ජීවත්වන කාන්තා කොස්තාපල්වරිය වන්නේ ලෙයිලා පකීර් මහත්මියයි.
ජීවිතයේ සැඳෑ සමය ගෙවා දමමින් සිටින ලෙයිලා පකීර් මහත්මිය පදිංචිව සිටින්නේ රාජගිරිය, නාවල පාරේ අංක 418 දරන නිවසේය.
ඇය ශ්‍රී ලංකාවේ පොලිස් සේවය ආරම්භ කර වසර 80 ක් ගිය තැන ආරම්භ කළ කාන්තා පොලිස් සේවයේ දෙවැනි නිලධාරිනිය ද වන්නීය.
අප පසුගිය දවසක ලෙයිලා පදිංචිව සිටින නිවස සොයාගෙන ගියේ ඇය ගැන යමක් ලිවීමටය.
මේ පොලිස් කාන්තාව ගැන මා සමග පැවසුවේ පොලිස් සංචාරක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ලාසිලාන් අසන් මහතාය.
ඇය සොයා අපි ගියේ පොලිස් අධිකාරි ලාසිලාන් අසන් මහතාත් සමගය.
ලෙයිලා පකීර් පොලිස් කොස්තාපල්වරිය ගැන දැනුම්දීම ගැන ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය පොලිස් අධිකාරිවරයා වෙත පිරිනමන්නෙමු.
ශ්‍රී ලංකා පොලිස් සේවයට මුලින්ම එක්වූ පොලිස් කොස්තාපල්වරියන් හතර දෙනාගෙන් ජීවත්ව සිටින්නේ ලෙයිලා පකීර් පමණක් බව පොලිස් අධිකාරි අසන් මහතා පවසයි.
“මම ගැන කිසිම දවසක පත්තරේක මොනවත්ම විස්තරයක් පළවෙලා නැහැ. ඔයගොල්ලේ තමා මාව සොයාගෙන ආවේ. මම තමා ශ්‍රී ලංකා පොලිසියට බැඳුණු පළමුවැනි පොලිස් කණ්ඩායමේ දෙවැනියා. අසන් මහත්තයා හැරුණු කොට පොලිසියේ ඉන්න කිසිම කෙනෙක් මම තවමත් ජීවතුන් අතර ඉන්නා බවක්වත් දන්නෙ නැතිව ඇති. ඉරිදා ලංකාදීපයෙන් මාව සොයාගෙන ආපු එක ගැන ස්තූතිය පුදකරනවා” යැයි කියමින් ඇය අපව සාදරයෙන් සුහදශීලී ලෙස පිළිගත්තාය.
ඇය මැලේ ජාතික කාන්තාවක් වන්නීය.
පොලිස් අධිකාරි අසන් මහතාගේ බිරිඳ වන ඩීනා අසන් මහත්මියගේ පාර්ශවයෙන් ඇයට නෑදෑකමක් ද තිබෙන බව අපට දැන ගැනීමට ලැබිණි.
“ඔය ගොල්ලෝ හිතන්නේ මම කොච්චර වයසයි කියලාද? දැන් මගේ වයස අවුරුදු 87 ක් වෙනවා” යැයිද කියා සිනාසෙමින් ඇය අප හා පිළිසඳරට එක්වූවාය.
ඇයගේ පියා සම්සුදන් පකීර් ද ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස සේවය කර තිබෙන අතර මව චුන්ජීර් පකීර් ය.
ලෙයිලා ඔවුන් දෙපළට සිටි එකම දරුවා විය.
ඇය මෙලොව එළිය දුටුවේ 1930 වසරේ පෙබරවාරි මාසයේ 22 වැනිදාය.
මාතර, වැලිගම ඇයගේ උපන් ගම විය.
හොඳයි අපි ඔබගේ පාසල් කාලයෙන්ම මේ කතාව පටන් ගනිමු යැයි මම ඇයට යෝජනා කළෙමි.
“තාත්තා පොලිසියේ සේවය කළ නිසා අපේ ජීවිතයේ වැඩි කාලයක් හිටියේ කොළඹ. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද කොලේජ් එකේ. ඒ කාලයේ ආනන්ද කොලේජ් එක මිශ්‍ර පාසලක්. ඉස්කෝලේ යන කාලයේ මම දක්‍ෂ ක්‍රීඩිකාවක්. නෙට්බෝල් කණ්ඩායමෙත් හිටියා. ජයග්‍රහණ එහෙම ගොඩක් ඒ කාලේ අපේ නෙට්බෝල් කණ්ඩායම අරගෙන තිබෙනවා. මම පාපැදි ශූරියක්. ඉස්කෝලේ හිටිය කාලයේ මම කැපී පෙනෙන සිසුවියක්. ගෙදරදීත් ඉස්කෝලේදීත් අපි දැඩි විනයක් යටතේ තමා කාලය ගත කළේ. මගේ මතකයේ හැටියට 1949 වසරේ විතර පාසල් ජීවිතයට සමුදුන්නා. පාසල් ජීවිතය හරිම සුන්දරයි. අද කාලයේ වගේ ප්‍රයිවට් පන්ති කියන ඒවා ඒ කාලේ තිබුණේ නැහැ. ඉස්කෝලේ ටීචර්ලා අපිට හොඳට ඉගැන්නුවා. අපිත් හොඳට ඉගෙන ගත්තා.
පාසල් ජීවිතය ගැන සිය මතකය අවදි කරමින් ඇය පැවසුවාය.
ඇය සිය මතකය එකිනෙක පෙළගස්වමින් මෙසේද කීවාය.
“තාත්තාගේ ලොකු බලාපොරොත්තුවක්, ආශාවක් තිබුණා පවුලේ හිටිය එකම දරුවා වන මාව ටීචර් කෙනෙක් කරන්න. මාත් හොඳට ඉගෙනගෙන තිබුණ නිසා ඉස්කෝලෙන් අස්වුණාට පස්සේ ගුරුවරියක් වශයෙන් පත්වීමක් ගන්න පුළුවන්කම තිබුණා. මුල්ම පත්වීම ලැබුණේ මාතලේ කන්‍යාරාම පාසලට. ඒ පාසලේ ලොකු පන්තිවලට ගෘහ විද්‍යා විෂය ඉගැන්නුවා. ඉංග්‍රීසි භාෂාව හොඳට පුළුවන්කම තිබුණ නිසා ඉංග්‍රීසිත් ඉගැන්නුවා. මට ගුරුපත්වීමක් ලැබුණු දවසේ තාත්තා තරම් සතුටු වුණ වෙන කෙනෙක් හිටියේ නැහැ. මොකද තාත්තා මට පුංචි කාලේ ඉඳලම කිව්ව දෙයක් තමා ඩෝටර් ඔයාව ස්කූල් ටීචර් කෙනෙක් කරනවා කියා. තාත්තාගේ ඒ බලාපොරොත්තුව ඉටු කිරීමට හැකිවීම ගැන මට හරිම සතුටක් දැනුණා. අම්මාත් මම ටීචර් කෙනෙක්වීම ගැන සතුටු වුණා.
මමත් කන්‍යාරාමයේ හිටිය ළමයින්ට ඉගැන්නුවා. ළමයි මට හරිම ආදරෙයි. මමත් එහෙම තමා. මගෙන් ඉගෙන ගත්තු ළමයි විභාගවලින් හොඳ ප්‍රතිඵල පෙන්නුවා. හේමා ගුණවර්ධන කියන මගේ යෙහෙළියක් හිටියා. ඇය අඟුරුවාතොට පැත්තේ කෙනෙක්. හේමා හරිම ලස්සන එඩිතර කෙල්ලක්. එයාත් ගුරුවරියක්. ඒනිසා අපි දෙන්නා හරිම හිතවත්. දවසක් හේමා මට පත්තරයක පළවෙලා තිබුණ දැන්වීමක් පෙන්නුවා. ඒ දැන්වීම පළකරලා තිබුණේ පොලිස් දෙපාර්තමේන්තුවෙන්. පොලිසියට කොස්තාපල්වරියන් බඳවා ගැනීමට යන බව ඒ දැන්වීමේ සඳහන් කර තිබුණා. අපි දෙන්නත් පොලිසියට බැඳෙමුද කියා ඇය මගෙන් නිකමට ඇසුවා. ඉතිං මමත් එක පාරටම හා කියා කිව්වා. ඊට පස්සේ අපි දෙන්නත් පොලිසියට බැඳෙන්න ඇප්ලිකේෂන් එකක් දැම්මා. පොලිසියෙන් අපිට ඉන්ටර්වීව්වලට කැඳවීමක් ලැබුණා.
කොස්තාපල් පකීර් මහත්මිය සැමියා සහ පොලිස් අධිකාරි ලාසිලාන් අසන් මහතා සමග
ඒ කාලයේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයක් ඇති කරලා තිබුණේ නැහැ. බම්බලපිටියේ ඩිපෝ පොලිසියට තමා ඉන්ටර්විව් එකට එන්න කියා තිබුණේ. මමත් ගියා හේමා ගුණවර්ධනත් ඉන්ටර්විව් එකට ආවා. තවත් කෙල්ලෝ ගොඩක් ඉන්ටර්විව් එකට ඇවිත් හිටියා. හේමා කිව්වා අපිව තේරෙයිද කියන්නත් අමාරුයි. මමත් කිව්වා ෂුවර් එකක් නැහැ බලමු මොකද වෙන්නේ කියා. අපිට ඉන්ටර්විව් කළේ පොලිස් අධිකාරි ස්කානිවල් කියා මහත්තයෙක්.
අවසානයේදී ඉන්ටර්විව් එකෙන් මාව ඉහළින්ම තේරුණා. ඒ විතරක් නෙමේ මගේ මිතුරිය වන හේමාත් තේරුණා. අපි දෙන්නාම කිව නොහැකි තරම් සතුටක් ලැබුවා. පොලිසියට බැඳෙද්දී මගේ වයස අවුරුදු 23 යි.
හේමායි මායි එක්ක තව තරුණියන් දෙන්නෙක් තෝරාගෙන තිබුණා. ඒ දෙන්නගෙන් කෙනෙක් ජෙනිටා පෙරේරා. අනිත් ගැහැණු ළමයාගේ නම ලැනරෝල්. මෙන්න මේ අපි හතර දෙනා තමා ශ්‍රී ලංකා පොලිසියේ පළමු පොලිස් කොස්තාපල්වරියන් වුණේ. පොලිස් නිල අංක වශයෙන් මට අංක දෙක ලැබුණා. මම පොලිසියට තේරෙන කාලය වෙනකොට තාත්තා මියගිහින්. තාත්තා ජීවතුන් අතර හිටිය නම් පොලිසියට බැඳෙන්න කොහෙත්ම ඉඩ දෙන්නේ නැති බව මම හොඳාකාරවම දන්නවා. ඒ වෙන මොනවත් නිසා නෙමේ තාත්තා ඒ තරමට ගුරු වෘත්තියට ආදරය කළා.
පොලිසියට බැඳෙන්න ඉන්ටර්විව් එකට ගියාම පොලිස් අධිකාරි ස්කානිවල් මහත්තයා මොනවද ඇහැව්වේ? ඒ ගැන මතකයක් එහෙම තියනවාද? මම පකීර් මහත්මියගෙන් විමසුවෙමි.
ඔව්, ඔව් මට ඒ ගැන තවම මතකයේ තියෙනවා යැයි කියමින් ඇය මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නාය.
එස්.පී. සර් මගෙන් ඇසුවා. පොලිස් රාජකාරිය හිතන තරම් ලෙහෙසි පහසු නැහැ. කැමතිද එහෙම රස්සාවක් කරන්න කියා. මම කිව්වා මගේ තාත්තාත් පොලිසියේ හිටිය කෙනෙක් කියා. ඒ නිසා පොලිසියේ කරන රාජකාරී ගැන මට යම් තරමක අවබෝධයක් තිබෙනවා කියා. තාත්තා පොලිසියේ රස්සාව කළ නිසා තමා මටත් පොලිසියට බැඳෙන්න ලොකු ආශාවක් තිබුණෙ. ඒකයි ගුරුවෘත්තිය අතහැරලා පොලිසියට බැඳෙන්න හිතුවේ. පොලිස් ජීවිතයේදී කරන්න වෙන ඕනෑම රාජකාරියක් අවංකව අකුරට ඉටු කරන්න පුළුවන් කියා එස්.පී. සර් පැවසුවා. ඒ විතරක් නෙමේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් මට තිබෙන බව ඒ වෙනකොටත් අවබෝධකර සිටියා.
ශ්‍රී ලංකා පොලිසියේ මුල්ම පොලිස් කොස්තාපල්වරියන් හතර දෙනා බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ (ඩිපෝ පොලිස්) දී මාස හයක පුහුණුවක් ලබාගෙන ඇත.
ඒ ගැන මතකය අවදි කරමින් ඇය මෙසේ පවසන්නීය.
“හේමා, ජෙනට්, ලැනරෝල් හා මම මාස හයක විතර කාලයක් අවි, ප්‍රථමාධාර සහ යතුරුලියනය (ටයිප් රයිටරය) ගැන මෙන්ම ආචාර පෙළපාළි සම්බන්ධයෙන්ද පොලිස් නීති රීති ගැනද පුහුණුවීම් ලබා ගත්තා. ඒ කාලයේ පොලිසියට තිබුණේ රයිපල් කියන ගිනි අවි වර්ගයයි. මමත් අවි පරිහරණය ගැන මනා පුහුණුවක් ලබාගත්තා. ඉලක්කයට වෙඩි තියා මම දස්කම් දැක්වූවා. පුහුණුවීම් කාලයේ තිබුණ විභාගවලින් ඉහළින්ම මම සමත්වුණා. අපි හතර දෙනාම හොඳ පුහුණුවකින් පස්සේ පොලිස් සේවයට එකතු වුණා.
පුහුණුවීම්වලින් පසු ඇය මරදාන, නාරාහේන්පිට, වැලිකඩ, කොටුව සහ වැල්ලවත්ත යන පොලිස් ස්ථානවල ද රහස් පොලිස්යේ (සී.අයි.ඩී.) හා පොලිස් ඇඟිලි සටහන් රෙජිස්ටාර් කාර්යාලයේ ද රාජකාරි කර ඇත.
එදා පොලිස් ඇඟිලි සටහන් රෙජිස්ටාර් කාර්යාලය ලෙස හැඳින්වූ මෙය වර්තමානයේ හඳුන්වන්නේ අපරාධ තොරතුරු වාර්තා කොට්ඨාසය (සී.ආර්.ඩී.) යනුවෙනි.
මම මේ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගේ පුද්ගලික සහකාර විදිහට හා යතුරු ලේඛිකාවක් වශයෙන් තමා සේවා කාලයෙන් වැඩිපුරම රාජකාරි කළේ. මේ රාජකාරිවලට අමතරව පොලිසියේ තවත් රාජකාරි කටයුතු මම කර තිබෙනවා යැයි ඇය පවසද්දී රාජකාරියේ රසමුසු තැන් අමතක නොවන සිදුවීම් එහෙම තිබෙනවාදැයි මම ඇයගෙන් විමසුවෙමි.
ඒ ප්‍රශ්නයට ඇයගෙන් ලැබුණු පිළිතුරයි මේ.
“මම පොලිසියට බැඳිලා මුල් කාලේම මටයි මාත් එක්ක පොලිසියට බැඳුණු තවත් කාන්තා පොලිස් කොස්තාපල්වරියකටයි ඕ.අයි.සී. මහත්තයා රාත්‍රී රාජකාරියක් පැවරුවා. මගෙත් එක්ක රාජකාරියට යෙදෙව්ව අනිත් කාන්තා නිලධාරිනියගේ නම කවුද කියන එක දැන් මගේ මතකයේ ඇත්තේ නැහැ. ඔය කේරි කොලේජ් එක හරියේ තියන කොළඹ මහ රෝහලේ මෝචරිය (මිනී කාමරය) මුරකරන්න දැම්මා. මොනවා කරන්නද බැහැ කියන්න පුළුවන්කමක් නැහැනේ. පවරන ඕනෑම රාජකාරියක් කරන්න අපි බැඳිලා ඉන්නවානේ. ඔන්න ඉතිං අපි දෙන්නා මෝචරියේ මුර කරන්න හවස ගියා. පහුවදා උදේ වෙනකම් එතැන මුරට ඉන්න ඕනෑ. ඒකාලයේ අද වාගේ නෙමේ හරිම පාළුයි. මිනිස් පුළුටක් දකින්න නැහැ. බොහොම කලාතුරකින් රෑට මෝචරිය ඉස්සරහින් තියන පාරෙන් කෙනෙක් ගමනක් බිමනක් ඒ කාලයේ ගියේ. වාහන පවා රෑට යනවා අඩුයි. රෑ බෝවෙන කොට ඒ පැත්ත පාළුවට යනවා. මේ රාජකාරිය පවරපු මුල් දවසේ හිතට පොඩි බයක් දැනුණා. මම ඉස්ලාම් භක්තික කාන්තාවක්. ශුද්ධ වූ කුරාණය අතේ තියාගෙන තමා මුලින්ම මෝචරිය මුරකරන රාජකාරියට මම හිටියේ.
ඊට පස්සේත් අවස්ථා ගණනාවකදීම මෝචරිය මුර කිරීමේ රාජකාරියට මාව තවත් කොස්තාපල්වරියක් එක්ක යෙදෙව්වා. ටික දවසක් යනකොට එය අනෙක් රාජකාරි වගේ සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. මැරිච්ච මිනිස්සු ළඟ ඉන්න මොකටද බය වෙන්නේ කියා හිත හදා ගත්තා. එළිවෙනකම් ඇහැරලා ඉන්න ඕනා කියා මමයි අනිත් කොස්තාපල්වරියයි එක එක රස කතා කියව කියවා ඉන්නවා. එතකොට එළිවෙනකම් දන්නේම නැහැ” යැයි ඇය පැවසුවේ සිනාසෙමිනි.
“ගැහැනු වෙලත් අපි මිනී මුරකරන එකත් කළා. ඒත් අපි කවමදාවත් භූතයන් අවතාර දැක්කේ නැහැ” යැයි ද පකීර් මහත්මිය පවසන්නීය.
කාලයාගේ ඇවෑමෙන් පොලිස් නෝනලාව මිනී මුරකරන රාජකාරියෙන් ඉවත් කර ඇත. ඒ ගැන කාලවකවානු කියන්නට තරම් මතකයක් ඇයට අද නැත.
“මෝචරිය ළඟ රාජකාරි කිරීම නම් මට ජීවතුන් අතර සිටිනකම් අමතක වෙන්නේ නැහැ. එය හරිම අපූරු අත්දැකීමක් බව කියන්නට පුළුවනි” යැයිද ඇය පැවසුවාය.
වසර 27 ක පමණ වූ පකීර් මහත්මියගේ පොලිස් රාජකාරි ජීවිතයේ මතක සටහන් ලෙස තවමත් සුරැකිව තබාගෙන සිටින ඡායාරූප කිහිපයක් ඇත්තේය.
ඒ ඡායාරූප ඇය අප හමුවේ තැබූ අතර එයින් එක ඡායාරූපයක ඇත්තේ ඇය රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටින අන්දමය.
ඔය ඡායාරූපයේ තියෙන්නේ මම කොළඹ-ගාලු පාරේ ශාන්ත ලෝරන්ස් බාලිකා විද්‍යාලය ළඟ ට්‍රැෆික් ඩියුටි කරන ආකාරයයි. මම ඒ වෙලාවේ පාරේ ගිය වාහන අත ඔසවා සංඥාකර නවතාගෙන සිටියදී මාත් එක්ක ට්‍රැෆික් ඩියුටි හිටිය පොලිස් කොස්තාපල්වරිය පාසල් සිසුවියන් කිහිප දෙනෙක් පාර හරහා කැඳවාගෙන යනවා. මේ ෆොටෝ එක අපි පොලිසියට බැඳිච්ච මුල්ම කාලයේ ගත්ත එකක් කියා මගේ මතකයේ තියෙන්නේ. මාත් එක්ක ඩියුටි කරන්නේ කාන්තා කොස්තාපල් ජෙනිටා පෙරේරා. ඇය තමා ළමයින්ව අතින් අල්ලාගෙන පාරෙන් අනිත් පැත්තේ තියන ඉස්කෝලේ ළඟට ඇරලවන්නේ. මේ ඡායාරූපයේ ජෙනිටාත් ඉන්නවා.
ඒ කාලයේ එච්චර යානවාහන පාරවල්වල නොගියත් පාසල් ළඟ අනිවාර්යයෙන්ම ට්‍රැෆික් ඩියුටි දානවා. ඒ කාලෙත් පදිකයින්ට මාරු වෙන්න පදික මාරු තිබුණා. පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව ගැන නිතර අපි සොයා බැලුවා. ඒ නිසා තමා ඉස්කෝල ළඟ පොලිස් නිලධාරීන් ඩියුටි දැම්මේ. හැබැයි ඒ කාලයේ අද වාගේ හැමදාම වාගේ රිය අනතුරු සිදුවන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමා රිය අනතුරක් ගැන අසන්නට ලැබුණේ. අද තරම් වාහන නොතිබීමත් වාහන අනතුරු අඩුවීමට බලපෑවා. ඒ වාගේම තවත් දෙයක් කියන්න කැමැතියි. හරිම විනයගරුක රියදුරු මහත්වරුන් ඒ කාලයේ සිටියේ. මෙයත් අනතුරු සිදු නොවීමට බලපෑ කරුණක් වශයෙන් කියන්න පුළුවනි.
පොලිසියට බැඳුණු මුල් කාලයේ ලැබුණු පැමිණිලිවල ස්වභාවය හා පොලිස් සේවාව ගැන අදහස් දක්වමින් විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය පැවසුවේ මෙවැනි කතාවකි.
ඇය කී ඒ කතාව මෙසේ පෙළගස්වන්නෙමු.
“අපි පොලිසියට බැඳුණු මුල් කාලයේ වර්තමානය වගේ කොල්ල කෑම්. මිනී මැරුම්, පැහැරගෙන යාම් හා ළමා අපචාර සිද්ධීන් ගැන අහන්න නැති තරම්. පවුල් ආරවුල් මුදල් හා ඉඩම් ආරවුල් ගැන පැමිණිලි තමා වැඩියෙන්ම ලැබුණේ. ඒත් ඒවගේ පැමිණිලිත් පොලිසියට ලැබෙන්නේ කලින් විභාග කරන්න ගම්මුලාදෑනින් පත්කර සිටියා. ඔවුන්ට විසඳාගන්න බැරිව ගිය පැමිණිලි තමා පොලිසියට යොමු කරන්නේ.
පික්පොකට් කාරයෝ නම් ඒ කාලයේ හිටියා. ඒත් පික්පොකට් කාරියෝ නම් හිටියේ නැහැ. කාන්තාවන් ඒ කාලයේ මේ වෘත්තියට යොමු වෙලා හිටියේ නැහැ. පික්පොකට් කාරයෝ ගැනත් පැමිණිලි ලැබුණා. ඒ කාලයේ හිටිය මිනිස්සු පොලිසියකට පැමිණිල්ලක් දාන්න එන එකත් ලජ්ජාවට කරුණක් කියා කල්පනා කළා. ඒ නිසා ඔවුන්ගේ ආරවුල් ඔවුනොවුන් කතා බස් කරලා සාමකාමීව විසඳා ගත්තා. කාලයක් යනකොට මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙන්නට පටන් ගත්තා. මම මේ කතා කළේ පනස් ගණන්වල ඉඳලා හැට ගණන් වෙනකම් විතර තත්ත්වය ගැනයි.
ඒ කාලයේත් කොළඹ ගණිකාවෝ හිටියා. හැබැයි ගණිකා මඩම් වශයෙන් පවත්වාගෙන ගියේ නැහැ. කළුවර වැටීගෙන එද්දී ගණිකා වෘත්තියේ යෙදෙන කෙල්ලෝ, කාන්තාවෝ පාරට බහිනවා. කාව හරි පිරිමි කෙනෙක් ඩැහැගෙන කොතැනකට හරි යනවා. එහෙම නැතිව අද වගේ ගණිකා මඩම් තිබුණේ නැහැ. ඒ වගේම තමයි ගණිකාවෝ අල්ලාගෙන ඇවිත් නඩු දැමීමක් කළෙත් නැහැ. අපි කරන්නේ ගණිකාවෝ දැක්කම පන්නා දමන එකයි. පොලිසිය එනවා දැක්ක ගමන් ගණිකාවෝ පැනලා දුවනවා. ඒ තරමටම ගණිකාවෝ පොලිසියට බයයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඒකාලෙ මිනිස්සු පොලීසියේ රස්සාව ලජ්ජාවක් හැටියට සැලකුවා
ආරි Tuesday, 06 September 2016 04:48 PM
ළමයි ටික අතින් අල්ලාගෙන පාර මාරුවෙන්න උදව් කරන දසුන හරිම ලස්සනයි. රාජකාරියට අමතරව හිතේ ආදරයක් තිබෙන බව පේනවා. ඔබතුමියට නිරෝගී සම්පත් ලැබෙවා. (අ)
සංජීව Tuesday, 06 September 2016 08:25 AM
ඒ කාලේ ලැජ්ජා වෙන්න ඕනේ නැහැ... අද තමයි පොලීසිය කිව්වම වමනේ යනවා (බ)
ආනන්ද Tuesday, 06 September 2016 05:00 PM
ලස්සන ලිපියක්. අාසාවෙන් කියෙව්වා. පළකළාට ස්තුතියි! (නි)
රංග Friday, 09 September 2016 11:54 PM
මැලේවරු ලංකාවේ බොහෝ තැන් වල නිහඬ අනුපමේය සේවයක් කළ අයයි. භාෂා බොහොමයක් මනාව හැසිරවීම ඔවුන් ලද සහජ හැකියාවක්. ඉතාමත් වටිනා ලිපියක් (නි)
ඇන්ජලෝ Saturday, 10 September 2016 01:34 AM
චන්න, ඔබ හරි. ඔබට එය මතක්වීම ගැන මා ස්තුති කරනවා (නි)
සුදර්මන් Tuesday, 06 September 2016 11:50 AM
ඒ කාලයේ හිටිය මිනිස්සු පොලිසියකට පැමිණිල්ලක් දාන්න එන එකත් ලජ්ජාවට කරුණක් කියා කල්පනා කළා. (ර)
චන්න බුවනක Tuesday, 06 September 2016 02:49 PM
දැන් ඔය වසර 150 ක් වුණා කියල උත්සව කොලා නේද. මොකක්ද එකේ තේරුම. මේවගේ අයට උපහාර කෙසේ වෙතත් උත්සවයට හරි ආරාධනා කොරන්න තිබුනා නේද. (අ)
උදේනි Tuesday, 13 September 2016 08:56 AM
මම වර්තමාන පොලිසියේ සේවය කරන නිලධාරිනියක් ,ඔබගේ ලිපිය මම අසාවෙන් බැලුවා. ඇත්තටම ඔයාව 15 වැනි සංවත්සරයට කැඳෙව්වේ නැති එක ලොකු අඩුපාඩුවක්, ඔබට නිරෝගී සුව (බ)