IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කොටි බිම හෙලූ ලයන් එයාර් යානය ගොඩගත් දවස

ලයන් එයාර් සමාගමට අයත් ඇන්ටනෝව් 24 (AN 24) ගුවන් යානය අතුරුදහන් වී වසර 15කි. යානය අතුරුදහන්වීමෙන් පසුව යානයට සිදුවු දේ පිලිබඳව විවිධ මත ඉදිරිපත් විණි. යානය පැහැරගෙන යන්නට ඇතැයිද සැකයක් තිබුණි. එවැනි කථා බහක් ඇතිවීමට හේතු වූයේ යානාවේ ගමන්ගත් පුද්ගලයෙකු හෝ යානාවට සිදුවූ දේ හෝ පිළිබඳව නිශ්චිත තොරතුරක් නොලැබී තිබූ බැවිනි. නමුත් ඉකුත් සතියේදී අතුරුදහන් ලයන් එයාර් යානාවේ අභිරහස විසඳුණි. ඒ ඉරණතිව් මුහුදු ප‍්‍රදේශයේදී ලයන් එයාර් යානාව මුහුදුබත් වී තිබියදී නාවික හමුදාව විසින් ගොඩගත් බැවිනි.

 

 

අද පැයෙන් පැයට කොළඹ සිට යාපනයටත් යාපනයේ සිට බස් තිබුණද 1990 දශකයේදී යාපනයට යනවා යනු ඇමරිකාවට යනවාට වඩා අමාරු කර්තව්‍යයකි. රිවිරැස මෙහෙයුමේදී යාපනය අර්ධද්වීපය රජයේ පාලනයට නතු වුවද දකුණු කොටස එනම් කිලිනොච්චි, මුලතිව් ප‍්‍රදේශ පාලනය කළේ එල්ටීටීඊ යයි. ඒ නිසා යාපනය හා දකුණ අතර ගොඩබිම් සබඳතා බිඳ වැටී තිබුණි. සියළු සැපයුම් කෙරුණේ ගුවනින් හා මුහුදිනි. මේ තත්ත්වය නිසා දැඩි ලෙසට පීඩා වින්දේ සාමාන්‍ය වැසියන්ය. ඒ වනවිට ලක්ෂ ගණනාවක් වූ යාපනය ජනතාවට විවිධ අවශ්‍යතා සඳහා දකුණට ඒමට සිදු වුවද ඒ සඳහා පහසුකම් තිබුණේ අවම වශයෙනි. සතියකට වරක් ත‍්‍රිකුණාමලයේ සිට පිටත්වන මගී නෞකාවක් හා පලාලිxරත්මලාන අතර පෞද්ගලික ගුවන් සේවයක් තිබුණි. මුදල් ගෙවා ගියද හිතු හිතු පරිදි යාමට නොහැක. ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබාගෙන තම අවස්ථාව ලැබෙනතුරු පොරොත්තු ලේඛනයේ සිටිය යුතුය. ඇතැම් විට මාස 4x5 පොරොත්තු ලේඛනයේ සිටිය යුතුය.

පලාලිxරත්මලාන ගුවන් මගී ප‍්‍රවාහනය සඳහා ලයන් එයාර් එක්ස්පෝ ලංකා, සෙරන්ඩිබ් ආදී වශයෙන් ගුවන් ප‍්‍රවාහන සමාගම් කීපයක්ම විය. අතුරුදහන් ලයන් එයාර් යානය පලාලි ගුවන් තොටෙන් ගුවන්ගත වූයේ 1998-09-29 දින දහවල් 1.30ටය. එම යානය ගුවන්ගත වීමට පෙර පෙරවරු 10.30ට පලාලි සිට රත්මලාන දක්වා ලයන් එයාර් යානාවක් පිටත් වූ අතර දෙවැනි යානාව 1.30ටද තවත් යානාවක් 4.30ටද පිටත්වීමට නියමිතව තිබුණි.

1.30ට පිටත් වූ යානයේ මගීන් 48කු හා කාර්ය මණ්ඩලයේ 07කු ඇතුළු 55ක් වූහ. කාර්යමණ්ඩලයට රුසියානු ජාතික ගුවන් නියමුවන් සිව් දෙනෙකු, කාර්මික නිලධාරීන් දෙදෙනකු හා ගුවන් සේවිකාවක ඇතුළත් විය. ගුවන් සේවිකාව වූයේ හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රංජිත් ගුණසේකර මහතාගේ දියණියක වූ දර්ශණී ගුණසේකර (21) ය. මගීන් අතර කාන්තාවන් පිරිමින් හා ළමයින්ද වූහ. එහි ගමන්ගත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සංඛ්‍යාව 17කි. ඉන් වැඩි පිරිසක් දකුණේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය හා ඉංජිනේරු පීඨවල සිසුන්ය.

යානාව පලාලිවලින් ගුවන්ගත වී විනාඩි කීපයකින්ම පාලක මැදිරිය හා සබඳතා බිඳවැටිණි. ඉන්පසු යානයට වූදේ රජයේ පාර්ශ්වයට අභිරහසක් විය.
රජයේ පාර්ශ්වයේ තත්ත්වය එසේ වුවද එවකට එල්ටීටීඊ පාලන ප‍්‍රදේශයේ කථාව ඊට හාත්පසින්ම වෙනස්ය. ඉරණතිව් දුපත පිහිටියේ නාච්චිකුඩා වෙරළේ සිට කිලෝ මිටර් 22ක පමණ දුරකිනි. ඉංග‍්‍රීසි සමයේ සිට ජනාවාසව පැවැති ඉරණතිව් දුපත යුද්දය හේතුවෙන් ජනශූන්‍ය වී තිබුණි. එහි පදිංචි වැසියන් දුපත හැර ගොස් තිබුණේ 1992 වර්ෂයේදීය. එසේ වුවද දුපතේ ධීවර වාඩි තිබුණි. 1998.09.29 දින අළුයම 5.00ට පමණ ධීවර වාඩි වෙත පැමිණෙනුයේ සන්නද්ධ එල්ටීටීඊ සාමාජිකයන් පිරිසකි.

”වහාම දුපතෙන් පිටවෙයල්ලා” කොටින්ගෙන් අණ ලැබුණි.

සැලකිය යුතු පිරිසක් දුපතෙන් පිට වුවද කීප දෙනෙකු ඉතිරි විය. බිමට එළිය වැටීමෙන් පසුව දුපත අවට ධීවර කර්මාන්තයේ යෙදුන ධීවරයින්ටද ප‍්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නේය. දහවල් 1.45ට පමණ ඈතින් සිටි ධීවරයින් දුටුවේ ගුවන් යානයක් පැමිණෙනවාත් පසුව කළු දුමක් දමමින් විශාල ශබ්දයක් නගමින් මුහුදට පාත් වනවාත්ය. පසුදින වනවිට ගමන් මලූ හා යානයේ විවිධ කොටස් මුහුදේ පාවෙන්නට විය. වටිනා ඇතැම් දෑ ධීවරයින් විසින් ගනු ලැබූ අතර ඇතැම් ගමන් මලූ එල්ටීටීඊයට භාර දුන්නේය. ඒ අතර 1998-09-30 දින වන්නියේ මුද්‍රණය කෙරුණු ඊලනාදන් පුවත්පතේ ප‍්‍රවෘත්තියක් පළවිය.

ඒ අනුව ලයන් එයාර් යානයට සිදුවූ දේ, යානාව වැටුන ස්ථානය, වන්නි වැසියන්ට රහසක් නොවෙයි. අපගේ බුද්ධි අංශ දුර්වලතා හෝ වෙනත් හේතුවක් නිසා මේ තොරතුරු රජයේ පාර්ශ්වයට ලැබී නොතිබුණි.

කාලයේ වැලි තලාවෙන් යටපත්වීමට ඉඩතිබූ ලයන් එයාර් අභිරහස යළිත් කරළියට එන්නේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ (TID)  දක්ෂතාවය නිසාය. ඔවුන්ට ලැබෙන තොරතුරක් මත ගුවන් යානයට මිසයිල ප‍්‍රහාරය එල්ල කළ බව කියන කොටි සාමාජිකයා වන ශිවසුබ‍්‍රමනියම් නමැත්තා ටීඅයිඞී අත්අඩංගුවට පත්වන්නේ යාපනය මනිපායි ප‍්‍රදේශයේ සිටියදීය. මුලදී කිසිවක් නොකීවද පසුව සියලූ තොරතුරු හෙළි කරන්නට විය.

එල්ටීටීඊ සංවිධානයේ මිසයිල පුහුණුව ලබපු අය කීප දෙනයි හිටියේ. ඒ අතරින් කෙනෙක් තමයි මම. 1998.09.28 දා කෙනඩි කියන අපේ නායකයා කීවා ඉලක්කයක් තියෙනවා ඒකට යන්න සූදානම් වෙන්න කියලා. මාව එක්කරගෙන ගිහින් භාර දුන්නේ මන්නාරම මුහුදු කොටිනායක බිරින්දන් මාස්ටර් කියන කෙනාට. එතන කඳවුරේ ඉඳලා පාන්දරම ඉරණතිව් දුපතට ගියා. මට කියලා තිබුණේ දවල්ට ගුවන් යානයක් ඒවි. ඒකට මිසයිල ගහන්න කියලා. මම ඉරණතිව් දුපතේ යානය පැත්ත හොඳට පේන තැනකට වෙලා හිටියා. දවල් 1.30ට විතර මම බලාපොරොත්තුව හිටපු ගුවන් යානය ආවා. මමත් ඉලක්කය බලලා මිසයිලය ගැහුවා. යානය දුම දාගෙන පහත් වෙනවා දැක්කට මුහුදට වැටෙන එක ගස්වලට වැහිලා නිසා දැක්කේ නැහැ. ටාගට් එක හරි ගියා නිසා කට්ටියට සතුටුයි. මාව එවෙලෙම මුලංතවිල් මුහුදු කොටි කඳවුරට එක්කරගෙන ගියා. එතන නායකයා තංගෙයි අමරන් කියලා කෙනෙක්. හවස කිමිදුම් අංශයෙ කීප දෙනෙක් එතන පරීක්ෂා කරලා තිබුණා. එහෙම බලද්දී හම්බ උනා පර්ස් එකක සල්ලිවලින් රුපියල් 2000ක් මටත් දුන්නා. වන්නියට ගියාට පස්සේ නායකතුමාගෙන් (ප‍්‍රභාකරන්) මට කැඳවීමක් ලැබුණා. ඊට පස්සේ මට රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ලැබුණා. මට  ‘ 100 වර්ගයේ පිස්තෝලයකුත් තෑගි කළා. හැබැයි පස්සෙ මට දැනගන්න ලැබුණා ප්ලේන් එකේ අහිංසක දෙමළ කට්ටියක් ගියේ කියලා. එතකොට නම් මට දුකක් දැනුණා.” යැයි පාපොච්චාරණය කළ බව සඳහන්ය.

සැකකරු කොතරම් පාපොච්චාරණය කළද ඔහුට එරෙහිව ක‍්‍රියාත්මක වන්නේද රටේ සාමාන්‍ය නීතියයි. ත‍්‍රස්ත විමර්ශන ඒකකය ඊළඟට මුහුණ දුන් ගැටළුව වූයේ මොහුට එරෙහිව නඩු පවරන්නේ කෙසේද යන්නයි. තවද මෙම නඩුව එසේ මෙසේ නඩුවක් නොව සුවිශේෂී නඩුවකි. පුද්ගලයන් 55 දෙනෙකු ඝාතනය කිරීම හා කෝටි ගණනාවක් වටිනා ගුවන් යානයක් විනාශ කිරීම සම්බන්ධයෙනි. ලංකා ඉතිහාසයේ වැඩිම මිනීමැරුම් ගණනාවකට එරෙහිව එක් පුද්ගලයෙකුට විරුද්ධව පැවරෙන නඩුවක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

යානයේ කැබලි මතුකරගනිමින්...

පරීක්ෂණ පවත්වන නිලධාරීන් මුහුණ දුන් ගැටළුව වුයේ ප‍්‍රධාන සාක්ෂි සොයා ගන්නේ කෙසේද යන ගැටලූවටයි. මළ සිරුරු කොටස් ගැනීම, ඒවා හඳුනා ගැනීම ගුවන් යානය වැනි නඩු භාණ්ඩ සොයා ගැනීම අනිවාර්ය වේ. ඒ අනුව කිළිනොච්චිය මහේස්ත‍්‍රාත් එම්. වහබ්දීන් මහතාගෙන් (ඉරණතිව් අයත්වන්නේ කිළිනොච්චිය දිස්ති‍්‍රක්කයටයි) ලබාගත් නියෝගයක් මත මළ සිරුර 31ක් වළ දමා ඇතැයි කියන පුනරින් ප‍්‍රදේශයේ කැනීම් කළද එම උත්සාහය එවර අසාර්ථක විය. පසුව අවධානය යොමු වුයේ නඩු භාණ්ඩයක් ලෙස සැලකෙන ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමයි. ප‍්‍රදේශයේ ධීවරයින්ගෙන් ලද තොරතුරු මත නාවික හමුදාව විසින් ගුවන් යානය මුහුදුබත් වී තිබෙන ස්ථානය සොයා ගන්නා ලදි. එය ගොඩ ගැනීමට කීප අවස්ථාවකදීම උත්සාහ කළද අයහපත් කාලගුණික තත්ත්වය හා විවිධ හේතු මත එය කල් දැමිණි.

කීප අවස්ථාවකදීම කල්ගිය ලයන් එයාර් ගොඩනැගීම පසුගිය 03 වැනිදා නැවත ආරම්භ විය. මේ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කළේ නාවික හමුදා කිමිදුම් අංශයයි. සුන්බුන් ගොඩගැනීම සඳහා දොඹකර සහිත නැවක් හා භාණ්ඩ පැටවිය හැකි තවත් නෞකාවක්, ඩෝරා යාත‍්‍රා, වෝටර් ජෙට් හා බෝට්ටු කීපයක්ද යොදවා තිබුණි. මෙහෙයුම සිදුකෙරුණේ ඉරණතිව් දුපතට කිලෝ මීටර් 06ක් පමණ දකුණට වන්නට මුහුදු ප‍්‍රදේශයේය. අඩි 25ක පමණ ගැඹුරක යානා කොටස් පතිත වී තිබුණි. 04 වැනිදා යානයේ කොටස් අංක ගත කරනු ලැබූ අතර විශාල ප‍්‍රමාණයේ කොටස් 16ක් ඒ අතර විය. 05 වැනිදා සුන්බුන් ගොඩගැනීම ආරම්භ කළේය. සුන්බුන් ගොඩ ගැනීමට සුළං පිරවිය හැකි බැලූන් විශේෂයක්ද භාවිතා කරන ලදි. ඒ අනුව 05 වැනිදා පස්වරුව වනවිට ගුවන් යානයේ ඇංජින් දෙක, රෝද තුන, බඳ කොටස ඇතුළු උපකරණද මගීන්ගේ බවට විශ්වාස කෙරෙන කාන්තා හා පිරිමි ඇඳුම් කිහිපයක්ද සොයා ගන්නා ලදී. පසුව ඒ පිරිස තීරණය කළේ පසුදිනත් මෙහෙයුම් කිරීමටයි. 05 වැනිදා සුන්බුන් ගොඩගැනීමේදී මුහුදු පතුල කැළඹුණු බැවින් කුඩා කොටස් සොයන මෙහෙයුම 06දාට කල් දමන ලදී. 06දා මුහුදු පැහැදිලි තිබුණ අතර එදින හිස් කබල් කොටස් දෙකක්, රත‍්‍රං කොපුවක් දමන ලද දත් ඇන්දක්, අස්ථි කොටස්, ඇඳුම් කොටස්, ජාතික හැඳුනුම්පතක් ආදී භාණ්ඩ රැුසක් හමුවිය. හමුවූ හැඳුනුම්පත දැනට ජීවතුන් අතර සිටින අයෙකුගේ බවත් එය වෙනත් අයෙකු රැුගෙන එමින් සිටියදී ගුවන් අනතුරට ලක්ව ඇති බවද හෙළි විය. කෙසේ නමුත් යානයේ ගමන්ගත් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන සාක්ෂි රැුසක්ම හමුවී තිබුණි.

සුන්බුන් ගොඩගැනීම අධික්ෂණය කිරීම සඳහා කිළිනොච්චිය මහේස්ත‍්‍රාත්, අධිකරණ වෛද්‍ය නිලධාරීන්, පුරාවිද්‍යා නිළධාරීහු, නාරා ආයතනයේ නිළධාරීහු, මැනුම් නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මුහුදු බත්වූ ගවන් යානයක සුන්බුන් ගොඩගැනීම තාක්ෂණික අංශයෙන් එතරම් ඉදිරියට ගිය මෙවලම් නොමැති ලංකාව වැනි රටකට එතරම් පහසු කටයුත්තක් නොවේ. නමුත් නාවික හමුදාව මනාව තම රාජකාරිය ඉටු කළේය. ඊට අමතරව යානා කොටස් ගොඩ ගැනීම සිදුවුයේ ප‍්‍රධාන ගොඩබිමේ සිට කිලෝ මීටර් 25ක් පමණ දුරකින් හා ඉරණතිව් දුපතේ සිට කිලෝ මීටර් 06ක පමණ දුරකිනි. එහිදී මාධ්‍යවේදීන්ට නවාතැන් පහසුකම්, ආහාර හා මාධ්‍ය කටයුතු කරගෙන යාමට නාවික හමුදාව සහ මුලංකැබිල් පොලිසිය ලබාදුන් සහයෝගය විශේෂයෙන් අගය කළ යුතුය.

 

 ඕමන්ත ප‍්‍රියන්ත හේවගේ

 



අදහස් (0)

කොටි බිම හෙලූ ලයන් එයාර් යානය ගොඩගත් දවස

ටිකිරි Tuesday, 14 May 2013 04:23 PM

මෙය මානවහිමිකම් සමුළුවට පෙර ගොඩගත්තනම් ඒකත් ලංකා රජයේ මානවහිමිකම් කඩකිරීමක් විදියට ප්‍රචාරය කරන්න ඉඩ තිබුණා. කොහොම උනත් ඒ අඳුරු යුගයේ මියගිය අහිංසක සිවිල් ජීවිත ගැන ඉතාම කණගාටුයි. ජාති බේදයකින් තොරව අප විසින් කල්පනාකළ යුත්තේ කුමන අකාරයකින් හෝ ශ්‍රී ලංකාවේ එවැනි අඳුරු කාලයක් ඇති කිරීමට කාටවත් ඉඩ කඩ සලසා නොදීමයි. (ස)

:       0       0

කරෝලිස් අප්පු Sunday, 19 May 2013 07:14 AM

හමු වූ හැඳුනුම්පතේ මොකක් හරි හොරයක් තිබිය නොහැකිද? (නි)

:       0       0

අජිත් ප්‍රියන්ත Wednesday, 15 May 2013 10:27 AM

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මේ වගේ වැඩ වලට දක්ෂයි. ඒක අපිට ආඩම්බරයක්. ඊටත් වැඩිය මේ ලෝකයේ අනිත් රටවලට කරන්න බැරි අමාරු දේවල් අපේ අය කරනවා අඩු පහසුකම් තියාගෙන. අනිත් අයට ඉවසන්න බැරුව ඇති. මගේ ප්‍රාර්ථනාව අදුරු යුගයේ මුහුදුබත් වුණ සියලු දේ ගොඩගන්න දිරිය ලැබෙන්න කියලයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 198 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 37 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 68 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 158 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 222 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 860 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 492 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site