IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කොතලාවල පනත සකසද්දී අදහස් නොගැනීමේ විපාක

රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වී අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති වීදි සටන්වලට යොමුකෙරුණු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් තැබීමට රජයට සිදු වී තිබේ. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් රජය ඒ පිළිබඳ විවාදය කල් තැබූ බවද සඳහන්ය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අදාළ විවාදය කල් තැබූ බව සඳහන් කළේ කොතලාවල පනතට හවුල්කාර පක්ෂවල සහාය ලබාගැනීමේ වැඩපිළිවෙළක් තිබේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙනි. මෙහිදී විමතියට කරුණක් වන්නේ පක්ෂ ගණනාවකින් සැදුම්ලත් වත්මන් ආණ්ඩුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට මෙන්ම නිදහස් අධ්‍යාපනයටද එක සේ වැදගත් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි පනතක් කෙටුම්පත් කරන අවස්ථාවේදී ඊට සෙසු පක්ෂවල අදහස් ලබා නොගැනීමය. රටේ උසස් අධ්‍යාපනයට විශාල බලපෑමක් සිදු කළ හැකි පනත් කෙටුම්පතක් සම්පාදනයේදී ආණ්ඩුවේ සියලු‍ පක්ෂවල අදහස් ලබාගැනීමේ වැදගත්කම තේරුම් නොගැනීම ආණ්ඩුව තුළ පවා ව්‍යාකූල තත්ත්වයක් ඇතිකර තිබේ. එසේ නොවන්නට පනත් කෙටුම්පත නියමිත පරිදි අද (06) විවාද කොට සම්මත කර ගැනීමට රජයට හැකියාව තිබිණි.

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සකස් කරද්දී රජයේ හවුල්කාර පක්ෂවලින් යෝජනා සහ අදහස් ලබා නොගැනීම නිසා එම ඇතැම් පක්ෂවලට පනත් කෙටුම්පත පවතින ආකාරයට සම්මත කර ගැනීමට තමන්ගේ සහාය නොලැබෙන බවට ප්‍රකාශ නිකුත් කිරීමට පවා සිදුවිය. තවත් පක්ෂ කිසිවක් ප්‍රකාශ නොකර සිටියත් ඔවුන්ගේ පක්ෂ ඇතුළේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ මතභේද හටගෙන තිබිණි. සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ 2007 වසරේදී පිහිටුවූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ පනත් කෙටුම්පත් සියල්ල එක් පනතක් කිරීම නව පනත මගින් සිදුවන බවත් ඒ ගැන ඉතා ඵලදායී හා විධිමත් සාකච්ඡාවක් සිදුවනු ඇති බවත්ය. එවැනි සාකච්ඡාවක් පනත සකස් කිරීමට පෙර සිදු නොවීමේ පල විපාක දැන් ඇස් පනාපිට පෙනෙන්නට තිබේ.

ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලම පනත් කෙටුම්පත පවතින ආකාරයෙන් සම්මත කිරීමට දැඩි විරෝධය පළ කරමින් උද්ඝෝෂණ සිදු කරන අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුද ශිෂ්‍ය සංගම්ද වීදි සටන්වලට බැස සිටිති. ගුරු - විදුහල්පති වැටුප් සටනේ එක් සටන් පාඨයක් බවටද කොතලාවල පනතට එරෙහිවීම සඳහන් වෙයි. ඒ අතරවාරයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම තුළදී රජයේම ජ්‍යෙෂ්ඨ මැති ඇමැතින් කිහිප දෙනකුද පනතට සංශෝධන අවශ්‍ය බව සඳහන් කර තිබේ. රටටම බලපාන ඉතා වැදගත් පනතක් කෙටුම්පත් කිරීමේදී ආණ්ඩුවේම පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසිය යුතු බව අමතක කිරීම නැතහොත් ගණන් නොගැනීම මේ කෙටුම්පත් ගින්නට පිදුරු දැමීමක් වී තිබේ. මෙරට උසස් අධ්‍යාපනය තුළ කාලානුරූපව සිදුවිය යුතුව තිබෙන ප්‍රතිසංස්කරණද මේ අනුව පසෙකට තල්ලු‍ වී යාම මෙහි ලොකුම අවාසියයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු රටේ බුද්ධිමත් දූ දරුවන්ගේ අනාගතය සඳහා දොර හැරදීමක් වන අතරම එය නිදහස් සහ රටට අනාගතයේ විවෘත චින්තකයන් බිහි කරන විවෘත අදහස් පෝෂණය කරන ප්‍රධාන උල්පත බව විද්වත්හු පිරිසක් ප්‍රකාශ කරති. ඒ සඳහා මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තවත් දියුණු කරමින් හෙට දවසේ අභියෝග ජයගත හැකි විද්වත් පරපුරක් නිර්මාණය කරගත යුතු බවද ඔවුන් දරන අදහසය. එසේම රටක හමුදාව සහ පොලීසිය වැනි ආරක්ෂක අංශ සාමාජිකයන්ට උසස් අධ්‍යාපන අවස්ථා තිබිය යුතු බවත් ඒ සඳහා කවර රජයක් විසින් වුවද නිසි පහසුකම් සැපයිය යුතු බව විවාදයකින් තොරව තමන් පිළිගන්නා බවත් මේ විද්වත්හු ප්‍රකාශ කරති. එහෙත් හමුදා විනය යටතේ සිවිල් සිසුන්ද හික්මවන්නට යාමෙන් නියෝග පිළිගන්නා පිරිසක් බිහිවීම මිස නිදහස් චින්තකයන් බිහි නොවන බවද ඔවුහු පෙන්වා දෙති.

එහෙත් මෙරට උසස් අධ්‍යාපනයට අවශ්‍ය සියලු‍ සුදුසුකම් සපුරා තිබුණත් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීමෙන් සරසවි අධ්‍යාපනය අහිමි වන බුද්ධිමත් සිසුන්ගේ ඉහළ අධ්‍යාපන අයිතිය රැකදීමද මොනම ආණ්ඩුවක වුවද වගකීමක් බව පෙන්වා දීමට අපි කැමැත්තෙමු. දැනට සිදුවන්නේ හැකියාවක් ඇති මාපියන් මුදල් වැය කර ඔවුන් එතෙර විශ්වවිද්‍යාලවලට යොමුකිරීමය. එයින් සිදුවන්නේ මෙරට මුදලින් වෙනත් රටවල විශ්වවිද්‍යාල පොහොසත් කිරීමකි. ලොවේ ඇතැම් ධනවත් රටවල පවා විදෙස් සිසුන්ගෙන් උපයා ගනු ලබන ආදායම ඉතා විශාල බව සංඛ්‍යාලේඛන අධ්‍යයනය කිරීමෙන් තේරුම් ගත හැක. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අනුමත නිසි ප්‍රමිතියකට අනුව බිහිවන පෞද්ගලික විශ්වවිද්‍යාල මේ සඳහා හොඳ පිළිතුරක් බව අපගේ විශ්වාසයයි. එහෙත් එය සිදුවිය යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ගේ අයිතීන්වලට කිසිදු අගතියක් සිදු නොවන ආකාරයට බවද අවධාරණය කරමු. සරසවි සිසුන් කොතලාවල පනතට මේ තරම් දැඩි විරෝධයක් දක්වන්නේ ඇයිද යන්න යථාර්ථවාදීව තේරුම් ගැනීම ආණ්ඩුවේ වගකීමක් වන්නේ එබැවිනි.

ලෝකයේ ඇතිවන නව ප්‍රවණතාවන්හි පදනම ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පමණක් නොවේ. සියලු‍ සිසු දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය රැකදීමද නව ප්‍රවණතාවක් බව ලොව පුරා රටවල් උසස් අධ්‍යාපනයට මංපෙත් විවර කර ඇති ආකාරය දෙස බැලීමෙන් තේරුම් ගත හැක. අපට තිබෙන කනගාටුව කොතලාවල පනත විනිවිදභාවයකින් තොරව හදිසියේ සම්මත කිරීමට උත්සාහ නොගෙන ඒ ගැන සියලු‍ පාර්ශ්ව සමඟ පුළුල් සහ ඵලදායී සංවාදයක් ඇතිකර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වීම ගැනය.

(***)



අදහස් (0)

කොතලාවල පනත සකසද්දී අදහස් නොගැනීමේ විපාක

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 132 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 473 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 137 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 133 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 314 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 601 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site