(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)
වෙඩි තැබීම
අද කාලයේ මෙන් නොව ඒ කාලයේ ගිනි අවි සපයා ගැනීම පහසු නොවූයේය. දේශපාලකයන් ඉලක්ක කරගත් ඝාතන ද සිදු වූයේ කලාතුරකිනි. ආරක්ෂාව පිළිබඳව සැලකිල්ල යොමු කිරීම මූලික අවශ්‍යතාවක් සේ සැලකුණ ද පමණට වඩා ආරක්ෂකයන් තබා ගැනීමට බණ්ඩාරනායක උනන්දු නුවූයේය. ඔහු පදිංචිව සිටි ස්ථානයට උදය කාලයේ ඕනම අයකුට පහසුවෙන් පිවිසිමේ හැකියාව තිබිණි. ඔහුට සමීපව වෙඩි තැබීම සිදු වූයේ අගමැතිවරයාගේ පෞද්ගලික නිවසේය. ඒ වනවිට පේන මානයේ අවම වශයෙන් 30ක් පමණ සිටියහ.
සෝමාරාම හිඳගෙන සිටියේ වැරැන්ඩාවෙන් පිටත එක් කෙළවරකයි. තවත් භික්ෂුවක් (නිවන්තිඩියේ ආනන්ද) සෝමාරාමට අඩි 10ක් පමණ එපිටින් වැරැන්ඩාවේ මැද හරියට වන්නට සිටියේය. වැරැන්ඩාව පිහිටියේ කොරිඩෝවේ පිවිසුම සමීපයේය. කොරිඩෝව විහිදී ඇත්තේ ඉදිරි ද්වාරයේ සිට නිවස තුළටයි. තවත් කිහිප දෙනෙක් අසල සිටගෙන සිටියහ. ආනන්දට ඉදිරිපසින් සිටගෙන උන් ගුණරත්න නැමති ගුරුවරයා ඉන් එක් අයෙකි.
අගමැතිවරයා මුලින්ම ආනන්ද සමග කතාකොට ඔහුට උපදෙස් කිහිපයක් දුන්නේය. ඉන්පසු වැරැන්ඩාව දිගේ සෝමාරාම ළඟට ගොස් පහත් වී වැඳ ආචාර කරද්දී වෙඩි පහර කිහිපයක් ඇසුණේය.
වේදනාවෙන් කෑ ගැසූ බණ්ඩාරනායක ආපසු හැරී නිවස දෙසට දිව යන්නට උත්සාහ කළේය. තවත් වෙඩි පහර කිහිපයක් ඇසුණු පසු අගමැතිවරයාගේ පපුවටත් උදරයටත් වෙඩි වැදී තිබිණි. ඔහුට වැදුණු වෙඩි උණ්ඩ සංඛ්‍යාව හතරකි. පළමුවැන්න ඔහුගේ වම් මැණික් කටුවේ යම්තමින් ගෑවී ගොස් තිබුණු අතර තුනක් ඔහු ගෙතුළට විසිවෙමින් දිව යද්දී බඳේ වැදී තිබිණි. වෙඩි පහර හොඳින් පෙනෙන තැනක සිටි ගුණරත්නගේ ගෙල හරියට පස්වැනි වෙඩිල්ල වැදී තිබුණේ බණ්ඩාරනායක ඔහුව පසු කරගෙන මැද කොරිඩෝව දිගේ බේරීම සඳහා ගෙතුළට දිවයන අවස්ථාවේදීය.
සියල්ල අවුල්ව ගිය පසු අගමැතිවරයා පසුපස රිවෝල්වරය අතැතිව දිවගිය සෝමාරාමට ඔහු කිසිවක් කියන්නට කලින් පහර දුන්නේ නිවසේ අනෙක් පැත්තෙන් පැමිණි මිනිසුන් කිහිප දෙනෙකි. පොරය අතරතුර රිවෝල්වරය පත්තු වී අවසාන වෙඩිල්ල ද නික්මුණ නමුත් කිසිවකුට එයින් අනතුරක් සිදු නොවූයේය. පළමු ලෝක යුද්ධ සමයට අයත් වින්ටේජ් රිවෝල්වරයක් වූ එය ඉතා පහත් තත්ත්වයේ එකකි. භාවිත කරනු ලැබූ එම රිවෝල්වරය පොලිසිය මගින් සොයා ගන්නා ලදී.
සෝමාරාම කීවේ සිවුරු හැඳගත් යම් අයෙක් වැරැන්ඩාවට පහතින් මිදුලේ සිට අගමැතිවරයාට පිට පිට වෙඩි තබා රිවෝල්වරය වැරැන්ඩාවට විසි කොට පාර පැත්තට දිව ගිය බවකි. ඉන්පසු ස්වේච්ඡාවෙන්ම තුවක්කුව අහුලාගෙන වගකීමක් ඇති අයකුට එය දීම සඳහා අගමැතිවරයා පසුපස ගේ දෙසට දිව ගිය බව ඔහු කීවේය.
ඒ අතර ප්‍රධාන ගේට්ටුවේ එවේලේ සිටි මුරභටයා වන පොලිස් කොස්තාපල් සමරකෝන් ගේ තුළට දිව ගොස් සෝමාරාමට වෙඩි තැබුවේය. එම වෙඩි පහරින් සෝමාරාමගේ කළවා හා ලිංගේන්ද්‍රය ප්‍රදේශය තුවාල විය. අගමැතිවරයා කාර් රථයක නංවා රෝහල වෙත පිටත් කොට යැවුණු අතර ඒ සැනින් අගමැතිවරයා සමග කලින් වෙලාව වෙන් කරගත් පරිදි නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා එතැනට පැමිණ වියවුල් තත්ත්වය පාලනයට නතුකර ගත්තේය.
ඇත්ත වශයෙන්ම ද සොයිසා පැමිණියේ රෝහල වෙත යන අගමැතිතුමා යන රථය තමාව පසුකරගෙන ගිය පසුවය. ඒ රථය තුළ සිටියේ තුවාල ලැබූ අගමැතිවරයා බව ඔහු නොදත්තේය. සොයිසා පැමිණ මඳ වේලාවකට පසුව ලේ ගලමින් සිටි සෝමාරාමව යම් කිව නොහැකි හේතුවක් නිසා වරාය පොලිස් ස්ථානයට ගෙන යනු ලැබීය. පැය දෙකක් එහි රඳවා සිටීමෙන් පසු ඔහු රෝහලට ගෙනයනු ලදුව ඔහු ශල්‍යකර්මයකට භාජන වූයේය. එම ශල්‍ය කර්මයේ දී ඔහුගේ එක් වෘෂණ කෝෂයක් ඉවත් කරන ලදී.
වෙඩි තැබීම් 5 ක්ෂණිකව සිදු කරන ලද්දකි. අගමැතිවරයා ඉවත යමින් සිටි නිසා ඇතැම් විට ඊට ගතව ඇත්තේ තත්පර 10 ක කාලයක් විය හැකිය. අගමැතිවරයා කාර් රථයෙන් රෝහලට පිටත්ව යාමෙන් පසුව සිඩ්නි ද සොයිසාගේ පැමිණීම සිදුව ඇත්තේ විනාඩි 10 – 15 පමණ ගතවීමෙන් පසුවයි.
එය බැලූ බැල්මට පෙනී යන්නේ සංකීර්ණ නොවූ වටහා ගැනීමට අසීරු නොවූ සිද්ධියක් ලෙසයි. ප්‍රහාරකයා යයි කියනු ලබන්නා, ආයුධය, වෙඩි තැබීමට ගොදුරුවූ තැනැත්තා සහ සාක්ෂි සූදානම්ව තිබුණ අතර ඝාතනය සිදුවූයේ කොළඹ නගර මධ්‍යයේ. පටු ඉඩකඩක මහ දවාලේය.
එය සිදුවූ ආකාරය ඇසුරින් ඊට අදාළ වූ චේතනාවක්, ඊට හවුල්වූ අනෙක් අයත් විචක්ෂණයෙන් අවබෝධ කරගත යුතු විය. එහෙත් දේශපාලන ඝාතනවල දී නිතරම පිටතට පෙනෙන්නට ඇති දේම සිදුවන්නේ නැත.
නීතිමය ක්‍රියාමාර්ග
බුද්ධ රක්ඛිත හා ජයවර්ධන 1959 ඔක්. 14 වැනිදා අත්අඩංගුවට ගනු ලැබ සෝමාරාම සමග රිමාන්ඩ් භාරයේ තැබිණි. පොලිසිය විසින් කරන ලද සූක්ෂම විමර්ෂණයකින් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණය 1959 දෙසැම්බර් 14 වැනිදා ඇරඹුණේ ඝාතනය සිදුවී තුන් මසක් ඉකුත් වන්නටත් පෙරයි. එය 1960 ජූලි 27 දක්වා පැවතුනි. මාස හතක පමණ කාලයක නඩු විභාගයෙන් පසුව පස් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවට ඉදිරිපත් කළ යුතු බවට නම් කෙරිණි.
1. මාපිටිගම බුද්ධරක්ඛිත හිමි
2. එච්.පී. ජයවර්ධන
3. අනුර ද සිල්වා
4. තල්දුවේ සෝමාරාම හිමි
5. නිව්ටන් පෙරේරා
මෙම චූදිතයන් සියලුදෙනාටම, අගමැතිවරයා මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව එල්ලවූ අතර 4 වැන්නාට මිනීමැරීම යන චෝදනාව එල්ල වූයේය.
එකී චෝදනාව පහත දැක්වේ.
‘‘1958 අගෝස්තු 25 වැනි දින හා 1959 සැප්තැම්බර් 26 අතරතුර මෙම අධිකරණ බලප්‍රදේශයට අයත් කැලණිය, වැල්ලම්පිටිය, රාජගිරිය, කොළඹ හා වෙනත් ප්‍රදේශවල දී ඔබ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක යන අය ඝාතනය කිරීම හා ඊට අනුබලදීම යන වරද කිරීමේ අරමුණෙන් ඊට එකඟව ඊට අනුබල දෙමින් එක්ව ක්‍රියාකොට ඇති බැවින් ඔබ එකී මිනීමැරීම යන වරද සිදු කිරීම ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හා ඊට අනුබල දීම යන වරදට වරදකරු වන බැවින් එකී මිනීමැරීම සිදු කිරීමේ වරද කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙම අපරාධ විධිවිධාන සංග්‍රහයේ 113B සහ 102 යන වගන්ති හා එක්ව කියවෙන 296 වගන්තිය අනුව එම වරදට වරදකරුවේ.’’
මාස 13 කට පෙර දිනයක් (1958 අගෝ 25) කුමන්ත්‍රණය ආරම්භ කළ දිනය ලෙස එහි විශේෂයෙන් සඳහන් කර තිබිණි. මෙය මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණවේදියාගේ උපදෙස් පරිදි අගමැතිවරයා බුද්ධරක්ඛිතගේ සොයුරා බොහෝ සෙයින් උනන්දු වූ සමාගමකට, නැව්ගත කිරීමේ කොන්ත්‍රාත්තුවක් නොපැවරීමට තීරණය කළ දිනයයි. මෙම ක්‍රියාව කරන කොටගෙන බුද්ධරක්ඛිත අමනාපවීම හේතුවෙන් වසරක කාලයක් තිස්සේ කළ දීර්ඝ කුමන්ත්‍රණය මෙම ඝාතනයට සෘජුවම බලපෑවේය යන්න ඉන් අදහස් කෙරිණි.
මෙම නඩුවේ පවතින ඉහළ දේශපාලනික චෝදනා ස්වභාවය හේතු කොටගෙන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය ආරම්භයේ දී විත්තියේ නීතිඥ විසින් විශේෂ ජූරියක් ඒ සඳහා ඉල්ලා සිටියේය. රාජ්‍ය සේවකයන් එහි සිටිය යුතු නොවන බවට ඔවුන් ඉල්ලා සිටිය ද අවසානයේ ඉංග්‍රීසි කතා කරන ජූරියේ මෙහෙයවන්නා බවට පත් වූයේ රාජ්‍ය සේවකයෙකි. එම ජූරියේ සාමාජිකයන් හයදෙනකු ක්‍රිස්තියානින් බවත් හත්වැන්නා බෞද්ධයකු බවත්, ඒ සියලුදෙනා කොළඹ පදිංචිකරුවන් බවත් විශේෂයෙන් සඳහන් කරනු වටී. කෙසේ වුවද ජූරි සභිකයන්ගේ අවංකභාවය පිළිබඳව කිසිවිට ප්‍රශ්න කරනු ලැබුවේ නැත.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේ දී තුන්වැනි චූදිතයා වැදගත් නොවන චරිතයක් බව පෙනී ගිය හෙයින් අවසානයේ ඔහු ඒකමතිකව චෝදනාවලින් මුදවන ලදී. ඔහුට එරෙහි චෝදනා එල්ල කරනු ලැබුවේත්, සෝමාරාමට එරෙහිව පරස්පර නොවන සාක්ෂි ඇත්තේ නම්, ඔහුව සෝමාරාමට කලින් නම් කළේ ඇයි ද යන්නත් කිසිසේත් පැහදිලි නොවූයේය.
ඝාතනය සඳහා යොදාගත් රිවෝල්වරය සහ මූනිස්සම් සපයා දෙන ලද්දේය යන චෝදනාව පොලිස් නිලධාරියකු වූ නිව්ටන් පෙරේරාට එල්ල වූයේය. එසේම සෝමාරාම වෙඩි තැබීම සඳහා පුහුණු කළේය යන චෝදනාව ද ඔහුට එල්ලවූ නමුදු එය ඔප්පු වූයේ නැත. එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඔහු වරදකරුවකු නොවන බව ජූරියේ පහට දෙක යන බෙදුණු තීන්දුව මත තීරණය වූයේය.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය ඇරඹුණේ මාස හතක් ඉක්ම ගිය පසු 1961 පෙබරවාරි 22 වැනිදා විනිසුරු ටී.එස්. ප්‍රනාන්දු ඉදිරියේය. එය 1961 මැයි 12 දක්වා පැවැත්විණි. අපරාධ නඩු වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ නීතිඥයකු වූ ජෝර්ජ් චිට්ටි (රැජිනගේ නීතිඥ) ගේ සේවය රජය ලබා ගත්තේය. නීතිපති දෙපාර්තමේන්තුව මගහැර පෞද්ගලික නීතිඥයකු ලෙස ඔහුව යොදවා ගැනුණි. ඊට විරෝධය දක්වමින් මහේස්ත්‍රාත් අධිකරණයේ දී රජයේ නීතිඥවරයා වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය සොලිසිට ජනරාල් ඒ.සී.එම්. අමීර් ඉල්ලා අස් වූයේය.
රටේ අගමැතිවරයා සැබවින්ම ඝාතනය කළේ කවුරුන් ද යන්න ගැඹුරෙන් සොයා බලනු පිණිස ප්‍රබල පරීක්ෂණයකින් සත්‍ය විමසා බලනු වෙනුවට රජය වෙනුවෙන් පෙනීසිටි පැමිණිල්ලේ නීතිඥවරයා චෝදනා එල්ල වූ චූදිතයන්ට එරෙහිව තීන්දුව ලබාගන්නට උත්සාහ කළේය, යන්න ගැන විවේචන එල්ල වූයේය. එක්සත් රාජධානියෙන් පැමිණි ෆිනියාස් ක්වාස් (රැජිනගේ නීතිඥ) (Phineas Quass QC) (බුද්ධරක්ඛිත හා ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි) ඇතුළු විත්තිය වෙනුවෙන් පෙනී සිටි ඇතැම් නීතිඥවරුද නඩු විභාගය අතරතුර මේ බව ඉඟියෙන් පළ කළහ.
වෙඩිතැබීම දැකගන්නට තරම් සමීප ස්ථානයක සිටි ගුණරත්නව පැමිණිල්ල සාක්ෂියට කැඳවුයේ නැත. ප්‍රධාන සාක්ෂිකරුවකු වූ නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැමිණිල්ල විසින් සාක්ෂියට කැඳවූයේ ද නැත. ඔවුන් නඩුවේ විමර්ශන කටයුතු කළ නිලධාරීන්ය. ද සොයිසාව සාක්ෂියට කැඳවූයේ සෝමාරාමගේ නීතිඥ තැන වූ වීරමන්ත්‍රීය. අදාල නොවන ලෙස සලකා පැමිණිල්ල විසින් ලබානොගත් බොහෝ සාක්ෂි තිබිණි. රජය මුදල් ගෙවා එක්සත් රාජධානියෙන් පවා සාක්ෂිකරුවකු (බෲනෝ පෙරේරා) ගෙන්වා ගත්තේය. ඔහු අවධානය අවුල් කරන්නට ද කටයුතු කළේය. නඩුව අවසානයේ විනිසුරුවරයා ඔහුට දෝෂාරෝපණය කොට දඩ නියම කළේය.
විශේෂ ජූරි සභාවේ සාමාජිකයන් හත්දෙනා විනිසුරුවරයාටත් වඩා අවසාන විනිශ්චය තීරණය කරන්නවුන් වූහ. වාචික සාක්ෂි ඇගයුම් කිරීමේ ආයාසකර වගකීම ඔවුන්ට පැවරී තිබිය යුතු විය. බොහෝ නීතිඥවරුන්ගේ මැදිහත්වීම් සහ ඇමතීම් නිරවුල් කරගෙන, නීතිමය දෘෂ්ටියෙන් විනිසුරුවරයා දෙන උපදෙස් ග්‍රහණය කොටගෙන ඔවුහු තීරණයකට එළඹිය යුතුව තිබිණි. පරිගණක භාවිත නොවූ ඒ කාලයේ දින 55 ක් තිස්සේ තමන්ට ඇසුණු දේමත විශ්වාසය තබා ජීවිතයත් මරණයත් අතර තීරණ ගැනීම ජූරිය විසින් කළ යුතු විය. ඔවුනට සාක්ෂිවල මුද්‍රිත පිටපත් නොලැබිණි. සාක්ෂිකරුවන් 97 දෙනකුගෙන් සාක්ෂි විභාග කළ අතර යතුරු ලියනය කළ නඩු වාර්තාව පිටපත් 3356 කින් සමන්විත වූයේය.
එකල යතුරුලියනය කළ නඩු කටයුතුවල පිටපත් විනිසුරුවරයාටත්, නීතිඥවරුන්ට ඊට පසු දිනයේ ලබා දීම සිදුවිය.
(තව කොටසක් මීළගට)
පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ
සංජීව සේනානායක විසිනි
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරිඩෝවේ කලබගෑනිය