(බිඟුන් මේනක, තරිඳු ජයවර්ධන)
([email protected],[email protected])
වංචා හා දූෂණත් පාරිසරික වශයෙන් වන හානිත් නොතකා මහා සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම රාජපක්ෂ පාලනයට විපක්ෂයෙන් එල්ල වූ ප‍්‍රධාන චෝදනාවයි. කොතෙක් දුරට බලවත් සටන් පාඨයක් වී ද යත් අවසානයේදී ආණ්ඩු පෙරැළියකට පාර කැපෙන මහෝඝයක් බවට එය පත් විය.එහෙත් එයින් වසර කීපයක් යද්දී අලූත් පාලනය ද යමින් සිටින්නේ එම මගේමදැයි යන පැනය ජනතාව විසින්ම මේ වනවිට නඟනු ලැබෙමින් තිබේ. ඊට කදිම නිදසුනක් බවට පත්ව තිබෙන්නේ දැනට ක‍්‍රියාත්මකව තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයයි.
කඩවත සිට දඹුල්ල දක්වා ඉදිවන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවගෙන් නැගෙන ප‍්‍රධානතම චෝදනා වන්නේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ක‍්‍රමවේදය හා ඉඩම් අත්පත් කරගැනීමට අදාළවයි. අධිවේගී මාර්ගය කොන්ක‍්‍රීට් කණු මත ඉදි කරන බවට ව්‍යාපෘතිය ආරම්භයේ පටන්ම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් තමන් නොමග යැවූ බවට ඔවුහු චෝදනා කරති.
තවද ඉහළ වටිනාකමින් යුත් සිය ඉඩම්වලට හිමි නියම ගෙවීම නොකර නීත්‍යනුකූල ඉඩම් කොල්ලයක නිරත වන බවටය. මෙම විරෝධය වඩාත් උස් හඬින් මතුවෙමින් තිබෙන්නේ කුරුණෑගල ජනතාවගෙනි. මීරිගම සිට කුරුණෑගල දක්වා මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක‍්‍රියාත්මක වන්නේ මෙම ප‍්‍රදේශයෙනි.
‘‘මධ්‍යම අධිවේගී මාර්ගය කණු වෙනුවට පස් මත ඉදිවන බව අපි දැනගත්තේ මීට මාස දෙකහමාරකට පමණ පෙරයි. මාර්ග සංවර්ධන අධිකාරියේ කුරුණැගල ඉංජිනේරු හා නියෝජ්‍ය අධ්‍යක්ෂ තමයි අඩි විස්සක් පමණ උසට පස් පුරවා අඩි 350 ක පළලට මෙය ඉදිවන බව තහවුරු කළේ. හැබැයි මේ දෙදෙනාම ව්‍යාපෘතිය ආරම්භයේ සිට පැවැසුවේ මාර්ගය කණු මත ඉදිවන බවයි. ඒ අනුව ඔවුන් අපට මෙතෙක් කර ඇත්තේ බොරුවක්.
මේ තත්ත්වය මත කුරුණෑගල වැසියන් හැටියට කාරණා හතරක් බරපතළ ලෙස අපි අවධාරණය කරනවා. පවතින තත්ත්වය යටතේත් 2012 ගං වතුරෙන් රෝහලත් යට කරගෙන කුරුණෑගල නගරය යට වුණා. ගම් දහ දොළහක පමණ විශාල ජල කඳක් මේ වෙල් යාය හරහා නගරයට යනවා. වේඬරුව වැව වාන් දැමූවිට ඒ වතුරත් යන්නේ මේ හරහායි.
වෙනදා මහ වැස්සට මේ වෙල් අඩි හතරක පමණ ජලය රඳවාගෙන තාවකාලිකව වැවක් හැටියට කටයුතු කළත් වෙල් යාය මත පස් පුරවා අධිවේගී මග ඉදිකළ විට ඒ ආරක්ෂණය නැතිව යනවා. රඳවාගැනීමේ හැකියාව නැති වුණාම ඒ වතුර ගං යටකරගෙන ගලා යාවි. ඒ නිසා පළමුවෙන්ම විශාල ගං වතුරකට මුහුණදීමට අපිට සිදුවෙනවා.’’ කුරුණෑගල පරිසරය සුරැකීමේ එකමුතුවේ සභාපති සංජීව කුලතිලක ව්‍යාපෘතිය ප‍්‍රශ්න කරන්නේ ඒ අයුරෙනි.
පරිසරයට වන හානිය මෙන්ම පාරම්පරිකව ගොවි තැන බඩ රස්සාව කරගත් ජනතාවගේ ප‍්‍රශ්නයට ද සාධාරණ පිළිතුරක් නැති බව ඔහුගේ චෝදනාවයි.
‘‘ පායන කාලයේදී ජල පෝෂක ප‍්‍රදේශ හැටියට වෙල්යාය ක‍්‍රියා කරනවා. විද්‍යාත්මකව ගත්විට ඒවා යට තිබෙන්නේ ස්වාභාවික ජල ටැංකියි. වෙලෙන් තුනෙන් දෙකක් ගොඩ කළ විට එය ගමේ ළිං හිඳීයාමටත් බලපානවා. වැදගත්ම කරුණ නම් ගමේ ජනතාවගෙන් 70% කට වඩා කුඹුරු කරනවා. මේ මිනිස්සු කඩෙන් හාල් කන්නේ නෑ. හැබැයි දැන් කුණු කොල්ලයට කුඹුරු ඉඩම් පවරාගැනීම නිසා ඒ පද්ධතිය බිඳ වැටෙනවා.වාරිපද්ධතියත් අධිවේගී මාර්ගය නිසා බිඳවැටෙනවා. එතකොට ඉතිරි වෙලා තිබෙන කුඹුරුත් ඉවරයි.
මේ අතරේ මේ ව්‍යාපෘතියේ නිලධාරියෙක් සංවර්ධන කමිටු රැස්වීමකදී පහුගියදාක කිව්වේ ඒ ඉතිරි වෙල් යායත් ගොඩ කරනවා කියලයි. ඒ නිසා මේ සියලූ කරුණ මගින් පෙන්නුම් කරන්නේ බරපතළ පාරිසරික හා සාමාජික ව්‍යසනයකට පාර කැපෙමින් තිබෙනවා කියලයි. අපි සංවර්ධනයට විරුද්ධ නෑ. අපි කියන්නේ කලින් කී ආකාරයට කණු මත මේ ඉදිකිරීම කරලා මේ වෙන්න යන පාරිසරික හා සමාජීය ව්‍යසනය නතර කරන්න කියලයි..’’
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරට ඉඩම් අත්පත් කරගැනෙන හේනමුල්ල, වේරබැද්ද, මගුරාවෙල, අමුණවත්ත, නයිලිය ඇතුලූ ගම්මාන රැසක ගම්වැසියන් මුණගැසී කතාබහට අපි කටයුතු කළෙමු.
එහිදී ගම්වැසියන් සියල්ලන්ම පාහේ එක හඬින් කීවේ මාර්ග සංවර්ධන අධිකාරිය අසත්‍ය කරුණු කියා තමන් රැවටූ බවයි. එසේම ඔවුන් පවසන ආකාරයට මෙතෙක් කලක් සිය ජීවන මාර්ගය බවට පත් කුඹුරු ඇතුලූ ඉඩ කඩම් සඳහා රජය තක්සේරු කරතිබෙන්නේ වෙළෙඳපොළ වටිනාකමට වඩා ඉතාම පහළ අගයකි. මෙම අසාධාරණයට එරෙහිව ගම්මුන් කීප දෙනෙකු හඬ නැගුව ද තවත් පිරිසක් සිටින්නේ දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීමේ සිද්ධාන්තයේය. ගම්මුන්ම පවසන අයුරින් ඊට හේතුව නම් මාර්ග සංවර්ධන අධිකාරියේ ඇතැමුන් නිල නොවන තග දැමීම්ය. කොටින්ම නීතිය හමුවට ගියහොත් ලැබෙන මුදලත් නොලැබෙනු ඇතැයි ඔවුන් කළ අනතුරු ඇඟවීම්ය.
නයිලිය ප‍්‍රදේශවාසී එච්.ඊ.අමරසිංහ(65) මහතාගේ කතාව ඊට කදිම නිදසුනකි.
“මගේ ඉඩමෙන් පර්චස් 3.85ක් යනවා. ලක්ෂ තුනක් හතරක් ලැබේවි කියලයි හිතුවේ. හැබැයි දෙන්නේ රුපියල් හතළිස් පන්දාහයිලූ. අපේ පර්චස් එකක් රුපියල් ලක්ෂ එකහමාරක් විතර වටිනවා. ඇයි මෙහෙම කරන්නේ කියලා මම ප‍්‍රාදේශීය ලේකම්තුමාගෙන් ඇහුවා. එතුමා කිව්වෙ ව්‍යාපෘතියක් කරනකොට එහෙම වෙනවලූ. මගේ අඹ ගස් දෙකක් තිබුණා. අඹ ගෙඩි 800 ක් කැඩුවා. ඒවා විකුණලා රුපියල් 20 000 ක් ගත්තා. හැබැයි රඹුටන් ගස් දෙකටයි අඹ ගස් දෙකටයි ගස් හතරටම දාලා තියෙන්නේ 20 000 යි. මම මේ අවනඩුව ප‍්‍රාදේශීය ලේකම්තුමාට කිව්වාම එතුමා අහන්නේ කැමැතිද අකැමැතිද කියලා විතරයි. මහත්තයෝ රජයක් එක්ක නඩු කියන්න බෑ. ඉතින් නිස්සද්ද වුණා. ඕකයි ඇත්ත කතාව.’’
කුරුණෑගල නගරයට ආසන්නවම පවතින නයිලිය සිට ගැට්ටුවාන ගම්මානය දක්වා දිවෙන විශාලතම වෙල් යාය මතින් ද අධිවේගී මාර්ගය වැටී තිබේ. මෙය සංවේදී පරිසර කලාපයකි. කඳු වලල්ලකින් වට වූ නිම්න භූමියක පිහිටි මෙම වෙල් යාය කුරුණෑගල ගොවි පවුල් රැසක ජීවන මාර්ගයයි. එහෙත් අද වනවිට මේ වෙල්යායෙන් තුනෙන් දෙකකට වඩා අධිවේගී මාර්ගයට බිලිවන්නේ මේ පාරම්පරික ජීවන මාර්ග ද යට කරගෙනය. එහෙත් එසේ අත්පත් කර ගැනෙන ඉඩම් වෙනුවෙන් ඒ මිනිස්සුන්ට සාධාරණ වන්දියක් ගෙවන්නට බලධාරීන් කටයුතු කර නැතිවා මෙන්ම එවැන්නකට සාධාරණ උත්සාහයක් ගන්නා බවක් ද නොපෙනේ.
‘‘මගේ ඉඩම් පර්චස් 100 ක් පවරා ගත්තා. හැබැයි මට ලැබුණේ රුපියල් ලක්ෂ තුනයි. මහත්තයා තමයි මේ ප‍්‍රශ්නවලට ඉදිරිපත් වෙලා කතා කළේ. මෑතකදී ඔහු මිය ගියා. ඒ නිසා දැන් මේවාට කතාකරන්නවත් කවුරුවත් නෑ. මේක අසාධාරණයි කිව්වාම ඔවුන් කියන්නේ රජයේ තක්සේරුව මේක තමයි කියලයි. අපි මෙච්චර කාලෙකට පරම්පරා ගාණක් බඩ පුරවාගත්තේ මේ කුඹුරු යායෙන්. ඊළඟ පරම්පරාවට දෙන්නවත් දෙයක් දැන් අපිට උරුම නෑ මහත්තයෝ’’ හැට පස් වියැති චිත‍්‍රා මහත්මියගේ වේදනාබර හඬත් අපේක්ෂාභංග වූ දෑසත් දෙස මේ බලධාරින් අවධානය යොමු කරන්නේ කෙදිනද? ඉඩම් අත්පත් කරගත්ත ද තවමත් ඇයට වන්දි මුදල් ප‍්‍රදානය කර නැත. අනෙක් අතට පර්චස් 100 කට රුපියල් ලක්ෂ තුනක් වැනි සොච්චමක් වෙන්කෙරෙන ගණිත සූත‍්‍රය සැකැසුවෝ කවරහු ද?
මධ්‍යම අධිවේගයට අදාළව සැකැසූ අවසාන පාරිසරික ඇගයීම් වාර්තාවට අනුව දිස්ත‍්‍රික්ක හතරකට අයත් ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශ 18 ක ග‍්‍රාම නිලධාරි වසම් 163ක් හරහා මේ ව්‍යාපෘතිය දියත් වේ. එයින් ජනාවාස අතිබහුතරයක් ග‍්‍රාමීය මට්ටමේ පවතින බවත් ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් දුප්පත්කමින් පීඩා විඳින බව සැල කරන්නේ ද එම වාර්තාවමය. එහෙත් දැන් කටයුතු සිදුවෙමින් පවතින්නේ කල්තියා හඳුනාගත් මේ පීඩිතයන්ට සාධාරණයක් වන අයුරින් නම් නොවේ.
‘‘මුලින් හොඳට ගෙවනවා කිව්වා. පොල් ගහකට රුපියල් 50 000 ක් ගෙවනවා කිව්වා. පොල් ගහක වාර්ෂික ආදායම රුපියල් දාහක් කියලා සලකලා ගහක වයස හැත්තෑවක් කියලා සලකලා දැන් විස්සක් වයස නම් ඉතිරි පනහට පනස් දාහක් ගෙවනවා කිව්වා. හැබැයි දැන් කියනවා කොච්චර තිබුණත් වන්නේ ගස් දෙකටයි කියලා. ඉඩම් ප‍්‍රමාණය පර්චස් 40 ට වැඩි නම් ගෙවන මුදලේ තක්සේරුව 30% කින් අඩු වෙනවලූ. මගේ පර්චස් 135 ක් යනවා. පොල් ගස් 65ක්, ගම්මිරිස් පඳුරු හාරසිය ගාණක් යනවා. ගම්මිරිස් වැලකින් රුපියල් දෙදාහක් ගන්න පුළුවන්.
බලන්න මේක කොච්චර අසාධාරණයක් ද? පවරාගැනීමේ ලේඛනවලට අස්සන් ගත්තා. ඉඩම්වල පාරවල් කපන්න ගත්තත් අපි මුලින් ඉඩදුන්නේ . මොකද සල්ලි නොදුන් නිසා.හැබැයි ඒ අය දැන් කපනවා. නීතිය හමුවට යන්න එපා කියලා නිලධාරින් කියනවා. ගියොත් දෙන ගාන තවත් අඩුවෙයි කියනවා.’’ ඔහු නම සඳහන් කරන්නටවත් කැමැති නැත. තමන් හඳුනා ගත්තොත් තවදුරටත් සිදුවනු ඇත්තේ කබලෙන් ලිපට වැටීමය වැනි දුර්භාග්‍යසම්පන්න සිතුවිල්ලක් විශ්වාස කිරීමට තරම් තත්ත්වය නරකය.
මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් ඉඩම් මැන්නේ 2014 රාජපක්ෂ පාලන කාලයේදීය. මාර්ග සංවර්ධන අධිකාරියෙන් මේ අතරේ ගම්මුන් දැනුම්වත් කිරීම් ද කළහ. සම්මන්ත‍්‍රණ සාකච්ඡා සංවිධානය වූ අතර ඒ බොහෝමයක් පැවැත්වුණේ ගමේ පන්සලේය. නැත්නම් පාසලේය. මෙම තැන්වලදී ගම්මුන්ට මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් පැවැසුවේ ඉදිවන්නේ මංතීරු හයකින් යුතු අධිවේගී මාර්ගයක් බවයි. තවද ගම්මුන් පවසන ආකාරයට ඔවුන් දිගින් දිගටම සහතික වී ඇත්තේ එය කණු මත නිර්මාණය වන්නක් බවයි. මෙවැනි රැස්වීම්වලට මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු සහභාගී වී තිබේ.
එහෙත් අධිකාරියේ සභාපතිවරයා දැන් ප‍්‍රදේශවාසින්ට කියන්නේ තමා එම තනතුරට පත්වුණේ 2015 ආණ්ඩු වෙනසින් පසුව බවයි. එනිසා ඊට පෙර සිදුවීම්වලට වගකියන්නට නොහැකි බවයි. සභාපතිවරයා රාජපක්ෂ පාලන කාලයට බෝලය පාස් කිරීමට උත්සාහ කළ ද 2015 න් පසුව පවා ගම්මුන්ට අධිකාරිය පැත්තෙන් දැනුම්දීම් කර ඇත්තේ අධිවේගය ඉදිවන්නේ කණු මත යැයි කියාය. එනිසා රටේ ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් ගැන ඇත්ත ඇති සැටියෙන් නොකියා රටේ ජනතාව රැවටීම ගැන මාර්ග සංවර්ධන අධිකාරිය දැන්වත් බොරු නොකියා සිටිය යුතුය.
කෙසේ වෙතත් වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය කල්තියා හඳුනාගෙන ඇත. පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව ඊට සාක්ෂි දරයි. වාර්තාවේ 4.2.1.3 ඉඩම් පවරාගැනීමෙන් සිදුවන බලපෑම් යටතේ එය දක්වා ඇත්තේ මෙසේය.
‘‘යෝජිත ව්‍යාපෘතිය සඳහා කුඹුරු ඉඩම් අත්පත් කරගැනීම, අධිවේගී මාර්ගය කුඹුරු ඉඩම් හරහා සැලකිය යුතු දිගක් ගමන් කරන දිස්ත‍්‍රික්ක තුනෙහි වගා කළ හැකි තෙත් බිම්වල උපයෝජ්‍යතාව කෙරෙහි අහිතකර ලෙස බලපෑමට හැකිවේ. මානව ජනාවාස සහිත උස්බිම් ඉතිරි කරමින් එවැනි ආකාරයෙන් ඉඩම් තෝරාගැනීම සිදුකළ ද ජාතියේ ප‍්‍රධාන ආහාරය නිපදවන කුඹුරු ඉඩම් ප‍්‍රමාණය ප‍්‍රතිස්ථාපනයට ක‍්‍රමයක් නොමැත. ව්‍යාපෘතිය නිසා බලපෑම් සිදුවන ප‍්‍රජාවන්ගේ ජනතාව, ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඔවුන්ගේ තිරසාර බව පිළිබඳ වූ ප‍්‍රධාන වත්කම වන කුඹුරු ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධව දැඩි ලෙස සැලකිලිමත් වේ. ඉඩම් හිමියන්ට අයත් ඇතැම් කුඹුරුවල පෞරාණික සහ පරම්පරාගත වටිනාකමක් සොයාගන්නා ලද අතර ඔවුන්ට ඒවායේ හිමිකාරිත්වය භුක්ති විඳීමට ලැබීම ඔවුන් ලබන සමාජ තත්ත්වයක් සේ සලකනු ලබයි’’
එහෙත් කටයුතු සිදුවන අයුරින් නම් පෙනෙන්නේ පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවෙන් හෙළි කරගත් කරුණු හා දත්ත ව්‍යාපෘතිය මෙහෙයවද්දී සැලකිල්ලට නොගන්නා බවකි. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් වාර්තාවේ ඉඩම් අත්කරගැනීමේදී ඇතිවන බලපෑම් අවම කිරීම මැයෙන් 5.2.3 යටතේ ගත යුතු පියවර පැහැදිලිව දක්වා ඇතත් ගම්වැසියන්ගේ දුක් ගැනවිලි විසින් ඔප්පු කරනු ලබන්නේ ඊට හාත්පසින්ම වෙනස් පියවර අනුගමනය කරමින් ඇති බවකි.
විශේෂයෙන්ම ව්‍යාපෘතියේ වියදම, යෝජන සහ අරමුදල් ප‍්‍රභව සම්බන්ධයෙන් මේ වනවිට තිබෙන්නේ ද විසල් විවාදයකි. පරිසර ඇගයීම් වාර්තාවේ සඳහන් වන්නේ ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ වියදම ශ්‍රී ලංකා රුපියල් බිලියන 445.30 ක් හැටියටය. කඩවත සිට මීරිගම දක්වා පළමු අදියරට චීනයේ එක්සිම් බැංකුවෙන් ද 2 වැනි අදියරට ආසියානු සංවර්ධන බැංකුවෙන් ද අදියර 4 සඳහා ශ්‍රී ලංකා රජය ද අරමුදල් සැපයෙනු ඇතැයි අපේක්ෂිතය යනුවෙනි. එහෙත් මේ වනවිට සියලූ ඉදිකිරීම් සිදුවන්නේ දේශීය බැංකුවලින් ලබාගත් ණය මතය. මේ සම්බන්ධයෙන් කුරුණෑගල සුරැකීමේ එකමුතුව පරිසර අධිකාරියේ සභාපතිවරයාගෙන් කළ විමසීමකදී ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ලබාගැනීමක් ගැන තමා නොදන්නා බව ඔහු මුලින් කියා තිබේ. එහෙත් එවැනි උත්සාහයක් තිබූ බව පසුව පිළිගත් සභාතිවරයා එම මුදල් ලබාගැනීම වැළැකී ගියේ ණය මුදල් ලබාදීමට බැංකුව මාස තුනක් කල්ගැනීම යැයි හේතු දක්වා ඇත. කෙසේ වෙතත් මෙම මුදල් ප‍්‍රභවයන්ගේ වෙනස්වීම සමඟ ව්‍යාපෘතියේ පිරිවැය ද වැඩිවීම පැහැදිලිව පෙනෙන්නකි. එය වෙනම විමැසිය යුතු කරුණකි.
පරිසර හානිය වැඩියිපරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
“කඩවත සිට කුරුණෑගලට යන අධිවේගී මාර්ගය එන්නේ අපි මීට පෙර ප‍්‍රකාශ කළ පරිදි ජාතික භෞතික සැලසුමේ කොටසක් ලෙසයි. මෙය කුරුණෑගලින් නවතින්නේ නෑ. දඹුල්ල හරහා යාපනයට යනකම්ම යනවා. කිලෝමීටර දහසක අධිවේගී මාර්ගය තමයි මේ හැදෙන්නේ. මෙය වගුරු බිම්, කඳු, කැලෑ ආදිය මැදින් යනවා. අපි දිගින් දිගටම යෝජනා කළේ මේ අධිවේගී මාර්ගය කණු උඩ හදන්න කියලයි. හේතුව විනාශය අවම කරන්න. කිලෝමීටරයක් හදන්න පස් ගණ මීටර දෙලක්ෂ හතලිස් දහසක් පමණ යනවා. පස් කපන්න කඳු පාත් කරන්න සිද්ධ වෙනවා. කුරුණෑගල වියළි සහ තෙත් කළාප මිශ‍්‍ර පැත්තක්. ඉදිරියේදී විශාල ජල ගැටලූවලට මේ ප‍්‍රදේශය මුහුණ දෙනවා. මගුරු ඔය, කිඹුල් වානා ඔය, දැදුරු ඔය වගේ දිය කදුරු හතරකින් පහකින් තමයි මේ ප‍්‍රදේශය ආවරණය වෙන්නේ. පරිසරික ආඥා පනත, වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත, අනදරය පිළිබඳ ආඥා පනත ආදී පනත් ගණනාවක් උල්ලංඝණය කරමිනුයි මෙය ඉදි කරන්නේ. ජෛව විවිධත්වයට තදින්ම මෙය බලපානවා. පාරිසරික තක්සේරු වාර්තාවෙත් මේ ප‍්‍රදේශයේ ජෛව විවිධත්වය ගැන හරියට දාලා නෑ. සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා ආණ්ඩුව තේරුම් ගත යුතුයි. යුරෝපයේ අවුරුදු 100කට විතර පෙර කළ සංවර්ධනයයි දැන් අපේ රටේ කරන්නේ. සම්පත් විනාශ කිරීම, පරිසරය විනාශ කිරීම සංවර්ධනය නෙමෙයි. අපි විරුද්ධ වෙන්නේ සංවර්ධනයට නොවෙයි. පාරක් අවශ්‍ය නම් හැදුනට කමක් නෑ. කරන ක‍්‍රමයටයි විරුද්ධ. මිනිස්සුන්ගේ ජනජීවිතය විනාශ නොකර, පරිසරය විනාශ නොකර කළ හැකි ක‍්‍රම තිබෙනවා. මේ වැඬේදි කුරුණෑගල පරිසර සංවිධාන සහ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථාවය එක්ව වැඩ කරනවා. සියලූ පරිසර සංවිධාන මේ කාරණයේදි එකට වැඩ කළ යුතුයි. දැන් මේ පරිසර හානියට සහ සමාජ ප‍්‍රශ්නවලට එරෙහිව වැඩ කරන අය මැරබලය යොදා පහරදීමර්දනය කරන්න උත්සාහ කරනවා. එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. බදුරුදීන් ගස් කපනවා කිය කියා කෑ ගහපු උදවියත් මෙතනදි නිශ්ශබ්ද. අපි ආණ්ඩුව කරන මේ වැඩ පිළිවෙළට වගේම එන්ජී ඕ වලටත් විරුද්ධයි. ඒ නිසා ආණ්ඩුවේ විනාශකාරී වැඩවලට එරෙහිව අපි එන්ජී ඕ පස්සේ යන්නේ නෑ. ආණ්ඩුව ජනතාවට කං දෙන්නේ නැතිව මැර බලය පාවිච්චි කරනවා නම් ඊට එරෙහිව යන්න පුලූවන් හැම තැනකටම අපි යනවා. ලංකාවේ වකුගඩු රෝගය ගැන ලබන මාසයේදී ප‍්‍රංශයේ පැවැත්වෙන සමුලූවේදීත් මේ තර්ජන ගැන කතා කරනවා. ජිනීවා මානව හිමිකම් කොමිසමට හරි යනවා. “ |
---|
වැදගත්ම කරුණ වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර තොරතුරු දැනගැනීම මූලික අයිතියක් කළ රටෙහි තවමත් සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ තොරතුරු ගැන ජනතාව විමසද්දී රාජ්‍ය නිලධාරින් දක්වන ප‍්‍රතිචාරයයි. මධ්‍යම අධිවේගයෙන් ලියැවෙන සිය ඉරණම ගැන ජනතාව විමසද්දී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් අනුගමනය කරමින් සිටින්නේ නොකර සද්ද න්‍යායයි. කුරුණෑගල පරිසරය සුරැකීමේ එකමුතුවේ සභාපති සංජීව කුලතිලක චෝදනා කරන්නේ ඔවුන්ගේ උපායමාර්ගය වී ඇත්තේ මහජන විමසීම්වලට අවධානය යොමු නොකර ව්‍යාපෘතිය අවසාන කිරීම බවටය. කුලතිලක මහතා පැවැසුවේ ව්‍යාපෘතියේ ආයෝජන ප‍්‍රභව වෙනස්වීම සමඟ එහි පිරිවැය හා කාර්මික ඇඳීමේ වෙනස්වීම්වලට අදාළව කළ විමසීම් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිශ්චිත පිළිතුරක් ලබානොදුන් බවය. මෙම තත්ත්වය තුළ ඇතුගල්පුර වැසියන්ගේ බිය හුදු හුඹස් බියක් යැයි කිව නොහැකිය.
තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති බවක් පෙනීයන්නේ සිය අනාගතය ගැන ප‍්‍රශ්න කරන ඔවුන් සම්බන්ධයෙන් වගකිව යුත්තන් අනුගමනය කරමින් සිටින පිළිවෙතය. සංජීව කුලතිලක මහතාගේ නිවසෙට පසුගිය 22 වැනිදා මහ ? 12ට පමණ පොලිසියෙන් කඩාවැදී තිබුණේ රාජ්‍යවිරෝධී කුමන්ත‍්‍රණයක් සිදුවෙන බවට ලැබුණු පැමිණිල්ලක් අනුව බව කියමිනි. එහිදී පැමිණි උපපොලිස් පරීක්ෂකවරයකු තම නිවෙස පරීක්ෂා කිරීමට උත්සාහ කළ ද පසුව තමන් දිගින් දිගටම ප‍්‍රශ්න කරද්දී පැමිණි පොලිස් කණ්ඩායම ආපසු පිටව ගිය බව පැවැසීය.
සාරගර්භ පරිසර ඇගයුම් වාර්තා හා බරසාර මහජන මිත‍්‍රශීලී ආණ්ඩුකරණයන් අස්සේ මෙවැනි දේවල් සිදුවන විට පැහැදිලි වන එක දෙයක් තිබේ. ඒ සංවර්ධන ව්‍යාපෘති හා දේශපාලන අධිකාරින් අතර ඉපැරැණි කුප‍්‍රකට සම්බන්ධයයි. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සමඟ ප‍්‍රථමයෙන්ම සම්බන්ධ වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇමැතිකම දරන උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයයි.
ජනාධිපතිවරයා ඇමැතිවරයා හැටියට කටයුතු කරන පරිසර අමාත්‍යංශයත් වයඹ සංවර්ධන අමාත්‍යංශයත් ඇතුලූව ව්‍යාපෘතියේ විවිධ මට්ටම්වලදී ඊට සම්බන්ධ වන දේශපාලන අධිකාරිය විශාලය. ඒ අනුව ව්‍යාපෘතිය ප‍්‍රශ්න කරන්නන් පහරකෑමට ලක්වන විට රාජ්‍යවිරෝධී කුමන්ත‍්‍රණ නමැති කුප‍්‍රකට ගල් රෝල නැවත දිගහරින්නට යත්න දරන විට මේ රටේ වෙසෙන බත් කන ජනතාවට මතු වන මූලික ප‍්‍රශ්න කීපයකි. ඒ, මහා සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විපක්ෂයේ සිටිමින් මේ ආණ්ඩුවේ ලොක්කන් කී කතා අද වනවිට පුස්සක්ව ඇතිද යන්නයි. තවද නිලධාරි තන්ත‍්‍රය මගින් අසරණ ගොවි කම්කරු ජනයා පීඩාවට පත්කරමින් ඔවුන්ගේ පාරම්පරික ඉඩම් කුණු කොල්ලයට බා ගැනීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ජාතියක ආර්ථික ප‍්‍රගතියට මහා සංවර්ධන ව්‍යාපෘති අත්‍යවශ්‍යයය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් අප රටෙහි දියත් වූ ඇතැම් ව්‍යාපෘති නිසා අද වනවිට රටේ ආර්ථික වශයෙන් මතු නොව සමාජීය හා සංස්කෘතික වශයෙන් ද හටගෙන ඇති ව්‍යාධීන් සුළු පටු නැත. මධ්‍යම අධිවේගයේ ව්‍යාපෘතිධාරින්ට උකුණු හිසකවත් මොළයක් ඇති නම් කළයුත්තේ ව්‍යාපෘතිය මදකට හෝ නතර කර ඒ ව්‍යාධීන් හටගත්තේ මක්නිසාදැයි කල්පනා කිරීමය.
සම්පූර්ණයෙන් කණු මතින් යෑමේ හැකියාවක් නෑ -මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර් එන් සූරියආරච්චි
“අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් කණු මතින් යන බවක් අපි කියලා නෑ. කණු මතින් යාම සහ දැන් කරන ක‍්‍රමයට කරන එක අතර සිව් ගුණයට වෙනසක් තිබෙනවා. රටකට දැරිය හැකි මුලක් බෙනවානේ. ඒ අනුව තමයි වැඩ කරන්නේ. හානිය අවම කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පහත් බිම් සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව වැඩ කටයුතු කරනවා. ප‍්‍රශ්නය - හැබැයි නිලධාරීන් මුලින් කියලා තිබ්බේ කණු උඩින් යනවා කියලා නේද? මම නම් දන්නේ නෑ. සම්පූර්ණයෙන් කණු උඩින් යන්න බෑ කියලා හැමෝම දන්නවානේ. මේ කියන පැත්තේ මීටර 200ක් කණු මතින් යන්න තීරණය කර තිබෙනවා. සියලූම වෙල් උඩින් කණු මතින් යන්න අපහසුයි. රටට ඔරොත්තු දෙන විදියට නිසි ආකාරයට අපි මෙය කරනවා. ප‍්‍රශ්නය - අධිවේගයට පස් කැපීමට විරුද්ධ වූ පිරිසකට පහර දී තිබෙනවා නේද? මමත් එය ෆේස්බුක් එකේ දැක්කා. අපි නම් එහෙම කරන්නේ නෑ. මිනිස්සුන්ට ගහලා මිනිස්සුන්ට යන්න පාරවල් හදලා දීලා වැඩක් තියෙනවාද. අපි එහෙම කරන්නේ නෑ. හානිය අවම වන විදියට අධිවේගී මාර්ගය හදනවා. ඒ වගේම ලබන සතියේ මේ ගැන යළිත් සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ රැස්වීමක් තිබෙනවා. |
---|
පත‍්‍රිකා පරීක්ෂා කළේ තොරතුරක් අනුවයි-පොලිස් මාධ්‍ය ප‍්‍රකාශය පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර පොලිස් හදිසි ඇමතුම් අංකයට ආපු දුරකතන ඇමතුමක් අනුවයි පොලිසිය කුරුණෑගල නිවසකට ගිහින් තියෙන්නේ. එහි තිබුණු දැන්වීම් පත‍්‍රිකාවලින් සාම්පලයක් පොලිසියට ගෙනැවිත් පරීක්ෂා කරද්දි එහි ගැටලූවක් නැති බව පෙනී ගිහින් තියනවා. ඒ නිසා නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවක් නැහැ.අලව්වේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යනවා. මේ වන විට එක් සැකකරුවකු අත්අඩංගුවට අරගෙන රිමාන්ඞ් කර සිටිනවා. තවත් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරගෙන යනවා |
---|
(සත්‍ය ගවේෂණ ඇසුරෙනි)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුරුණෑගල කුඹුරු මතින් බඩ යටකර ඉදිවෙන අධිවේගය
jayamini ileperuma kudahetti Wednesday, 30 August 2017 11:53 AM
පාර්ලිමේන්තුවේ ඉන්නේ පාසල් ගියේනැති මෝඩයින් රැලක්... පරිපාලනය කරන කට්ටිය ඊටත් හපන්.... මෙරට විනාශ කරලා ඉවරයි...
uddika Thursday, 31 August 2017 02:04 AM
අපේ රට කවදාවත් මේ මිනිස්සු ඉන්නකම් දියුණු වෙන්නේ නැහැ. පාරේ රබර් සෙරප්පු දෙකක් දාගෙන බෝක්කු උඩ කයිය ගහ ගහ හිටපු උන් පළාත් සභාවට ගිහින් පාර්ලිමේන්තු එනවා. උන්ට මෙලෝ දැනුමක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉදන් ගෙදර යන්න ඕන වාහන. හැබැයි ඒ වාහන දැරිය හැකි මිලකට බදු ගෙවන අපට ගන්න බැහැ. අපට ගන්න පුළුවන් ඉන්දියන් වාහන හෝ චීන වාහන. බස් එකේ යනවානම් දාඩිය පෙරා ගෙන බස් කාරයට ඕන විදියට යන්න ඕන. කෝච්චිය ගත්තවම එක ඊටත් අන්තයි. කොච්චර දුකක් මේ මිනිස්සු විදගෙන ජීවත් වෙනවද ? අනික් රටවල් එක්ක බලනකොට අපි ඉන්නේ කොහෙද.පුදුම දුකක් දැනෙන්නේ
ලුම්බිණි Thursday, 31 August 2017 02:49 AM
රජයේ තක්සේරුව මේක තමයි කියල මිනිසුන්ට අඩුවෙන් මුදල් ගෙවීම ඉතාම වැරදියි. වෙළඳපොල මිල ගණන් මේවට ගෙවන්න බැරි මොකද? බොරු දේවල් වලට දහස් ගණන් මුදල නැති කරන කාලේ මේ කරන දෙය ඉතාම වැරදියි. හැම දෙනාම එක් වී අධිකරණයට යා යුතුයි කියලයි මම හිතන්නේ.
Maheshika Thursday, 31 August 2017 11:08 AM
රට හරක් බලයට ගෙනාවම මෙහෙම තමයි. කොහොමද අර දක්ෂිණ අධිවේගේ ගැන කිව්වේ? කුණු නොදාපු නිසා ගංවතුර බැහැලා යන්නේ නැහැ කියලා. මේ අය කරන්නෙත් එම දේ. රටේ කරුමෙට මේ වගේ අය පාර්ලිමෙන්ට් එකට අරක් අරගෙන. තව අපේ පව් ගෙවිලා ඉවර නැහැ. මේ ඔක්කොම එකයි.
sahan Thursday, 31 August 2017 02:42 PM
මේ ලිපියේ තියෙන දේවල් දැක්කාම තේරෙනවා මේක සියලු දෙනාටම තියෙන ප්‍රශ්නයක් නොවෙයි... කීප දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් කියලා.
චමත් පද්මකුමාර Thursday, 31 August 2017 07:19 PM
ආර්ථිකයක මූලික අරමුනක් තමයි සාධාරනත්වය.. මේ ප්‍රශ්නෙ දිහා බැලුවාම ඒක මුලු මුනින්ම උල්ලංඝණය කරලා..මේ ආණ්ඩුව කියල වෙනසක් නෑ... ඉස්සර වගේ මිනිස්සු ගැන හිතන නායකයො නෑ... රටට මොකක් වෙයි ද දන්නෙ නෑ තව ඉස්සරහට... තමන්ගෙ රට සංවර්ධනය වෙනවට ඕන පුරවැසියෙක් කැමති.. ඒත් මෙහෙම සංවර්ධනයක් මොකට ද...? අනික මෙහෙම අසාධාරන විදිහට හදපු පාරවල් වල.. මිනිස්සුන්ගෙ කදුලු උඩින් යන්නෙ කොහොමද...
Danushka Friday, 01 September 2017 02:55 AM
දකුණු අධිවේගී මාර්ගය නිසා දැනට වැඩි තීවෘතාවකින් වැසි වැටුනම ප්‍රදේශ කිහිපයක් බොහොම ඉක්මනින් ගංවතුර තර්ජනයට ලක් වෙනවා. ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් වතුර රදා ගැනීමේ හැකියාව තිබු වෙල් ගොඩ කිරීම. අන්තර් වියලි කලාපයේ වෙල් ගොඩ කිරීමෙන් වැසි කාලයේ ගංවතුර තර්ජනය වැලක් වූ මෙන්ම වියලි කාලයට ජලය සෙමෙන් නිදහස් කිරීමේ ගබඩාවක් නැති වූ සේ සැලකිය හැකි. රාජ්‍ය නිලධාරින්ට රටේ ඉදිරිය පිලිබඳ දැක්මක් නැ. එහෙම දැක්මකින් ප්‍රතිපත්ති හදන්නේ නැ. ඒ අඩුපාඩුවෙන් දේශපාලකයෝ ප්‍රයෝජන ගන්නවා. අපේ රට ආයේ හදන්න නම් හිරෝෂිමා නාගසාකි වලට වුණ දේ වෙන්න ඕන.
ranjith Friday, 01 September 2017 04:35 AM
පණ්ඩිතයෝ නිසා රට දියුණු කරන්න අමාරුයි. කොයිදේ කරන්න හැදුවත් මේ පණ්ඩිතයෝ අකුල් එලනවා
pansilu Sunday, 03 September 2017 02:56 AM
කලින් ලැබූ වරප්‍රසාද නොලැබීමේ දුක තමා මෙවැනි මතවාද පැමිණෙන්නේ...
sathyayaa Sunday, 03 September 2017 08:20 PM
රටක් සංවර්ධනය වෙන්න පාරවල් හැදෙන්න ඕන. හැබැයි සුද්ද පාරවල් හදාගෙන අධිරාජ්‍යය පොහොසත් කරගත් ආකාරයෙන් පසු කාලයක සල්ලි අතපත ගා "සුද්දන් " වූ පිරිස් ඔවුන්ගේ සුඛෝපභෝගී වාහනවලට ඉගිලී ගමන් යා හැකි අධිවේගී මාර්ග හදන්න සැලසුම් කිරීමත්, ඒ සැලසුම් හරහා කොමිස් ගහන්නත් පටන් ගැනීමත් සමගම ආරම්භ වූ මහා පරිමාන දුෂණ අදත් යහතින් වැජඹෙනවා. අධිවේග මාර්ග වලින් සෘජුව රටේ සංවර්ධනයට දායකත්වයක් ලැබිය යුතුයි. සුද්ද කෝපි හා තේ වවල තමයි පාරවල් හැදුවේ. අඩු වශයෙන් ඒ පාඩමවත් සුද්දාගෙන් ඉගෙන ගන්න අපේ පාලකයින්ට බැරිව ගියේ බොරු දේශප්‍රේමීත්වයක් පෙන්වමින් ජනතාව රවටමින් සිටි නිසයි. කොන්ක්‍රීට් කණු මත මාර්ගය හදනවාට වඩා පසු කර යන සෑම ඉඩමකම වටිනාකමේ වෙනස මත වන්දි ගෙවීමේදී අක්‍රමිකතා මගින් විශාල ධනස්කන්ධයක් උපයා ගත හැකි බව මේ කවුරු කවුරුත් දනිති.
millawala Monday, 04 September 2017 07:27 AM
රටක්... දියුණු වෙන්න... පරිසර හානියක් වෙන්න හොඳ නෑ...