IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කොරෝනාවට බිලිවූ “හිත හොඳ ජීවකයා”

  • සේවයට වාර්තා කළේ යතුරුපැදියකින්
  • ග්‍රන්ථකරණයට හා චිත්‍ර ශිල්පයටත් දස්කම් පෑවා

 

කොරෝනා වසංගතය රටට ලෝකයට මේ ​ෙවන විට බොහෝ වටිනා ජීවිත අහිමි කර ඇත. අපේ රටට ද වටිනාකමක් ගෙන දුන් බොහෝ පුද්ගලයන් සේම යහපත් පුද්ගලයන් රැසක්ම කොරෝනා වසංගතය විසින් අපට අහිමි කර ඇත. 


කුරුණෑගල කා අතරත් ”‍ හිත හොඳ දොස්තර ”‍ නමින් ප්‍රසිද්ධව සිටි වෛද්‍ය සුදත් බණ්ඩාර ජයකොඩි ද මේ කොරෝනා වෛරසය රටට අහිමි කරන ලද තවත් වටිනා පුද්ගලයෙකි. 


තම වෘත්තීය තුළින් අසීමිතව ඉපැයිය හැකි මුදල් පසුපස කිසි විටෙකත් හඹා නොගිය මේ අපූරු වෛද්‍යවරයා සැබැවින්ම ජීවක වෙද පරපුරේ සැබෑ ජීවකයෙකි. 


බටහිර වෛද්‍යවරයෙකු ලෙස ඉහළ වැටුපක් සමඟ පෞද්ගලික චැනල් සේවාවෙන්ද ඉහළ ආදායමක් උපයමින් තීරු බදු රහිත සුපිරි වාහනයකට හිමිකම් කීමේ හැකියාවක් තිබුණ ද ඒ සියල්ල පසෙකලූ මේ හිත හොඳ දොස්තර මිය යන තෙක්ම පාවිච්චි කළේ පා පැදියකි. නැතිනම් පරණ ට්‍රේල් වර්ගයේ යතුරු පැදියකි. පාපැදියකින් කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවයට වාර්තා කිරීමට යන මේ වෛද්‍යවරයා කුරුණෑගල රෝහලට පැමිණෙන ජනතාවට ද අපූරු දසුනක් විය. 


වෛද්‍ය සුදත් බණ්ඩාර යනු වෛද්‍ය වෘත්තීයට සේම චිත්‍ර ශිල්පයට ද, ග්‍රන්ථකරණයට ද එකසේ දස්කම් පෑ අයෙකු බව දැන සිටියේ අතළොස්සකි. ඒ ඔහු තම නිසඟ හැකියාවන් ප්‍රසිද්ධ කිරීමට හෝ ඉන් බැබළීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු නොවූ නිසාය. 


පිරිමි දරුවන් තිදෙනෙකු සහ දියණියකගෙන් යුත් පවුලක බාලම පිරිමි දරුවා වූ සුදත් කුරුණෑගල මලිය⁣දේව විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. සෑම අතින්ම දක්ෂතා දැක්වූ සිසුවෙකු නිසාම මලිය⁣දේව විදුහලට ඔහු නිසා ලැබුණේ ඉමහත් කීර්තියකි. කුඩා කල සිටම අධ්‍යාපන කටයුතු වලට මෙන්ම බාහිර කුසලතාවන් සඳහා දස්කම් දැක් වූ සුදත් චිත්‍ර කලාවට දැක් වූ දක්ෂතාව නිසාම වයස අවුරුදු 14 දී ඉන්දියාවේ පැවති නේරු ජාත්‍යන්තර චිත්‍ර තරඟයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නේ මලියදේව මාතාව ද රටේ පාසල් අතර ඉහළට ඔසොවා තබමින්ය. ඊට පෙර පාසල් ශිෂ්‍යයෙකු ලෙස එම දක්ෂතාව දක්වා තිබුණේ ඩය⁣ලොග් ආසියාටා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසූරිය මහතාය. 


ඉගෙනීමෙන් ද කප් ගැසූ සුදත් උසස් පෙළ විභාගයට පෙනී සිටි පළමු අවස්ථාවේදීම විශ්ව විද්‍යාල වරම් ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ සුදුසුකම් සපුරාලමින්ය. 
මේ සුදත්ගේ විශ්වවිද්‍යාලයේ සමකාලීන⁣යෙකු වන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදු බණ්ඩාර මහතා ඔහු පිළිබඳව දැක්වූ අදහස්ය. 
”‍ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණේ එක්දහස් නවසිය අසූ හය වසරේදීයි. ඒ වන විට සුදත් වෛද්‍ය පීඨයේ මට වඩා අවුරුදු හතරකින් පමණ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වී සිටියා. මම විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයට ඇතුළත් වෙලා යනකොට මට මුලින්ම හමු වුණු පුද්ගලයා තමයි සුදත්. පළමු වසරේ ශිෂ්‍යයෙකු විදිහට නවක වදයට මුහුණ දීමේ බියෙන් පසුවෙන අවස්ථාවක මට හමු වුණ සුදත් කියන මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාගේ රූපකාය සහ ඔහුගේ හැසිරීම මට ඇති වෙලා තිබුණු බිය සහ තැති ගැන්ම සම්පූර්ණයෙන්ම නැති කරලා දැමුවා ”‍. 


”‍ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වුණත් සුදත් ඒ බව කාටවත්ම පෙන්නුවේ නැහැ. විශේෂයෙන්ම නවක ශිෂ්‍යයන්ට පවා ඔහු දැක්වූයේ තම වසරේම ජ්‍යෙෂ්ඨයන්ට දක්වපු හිතවත්කමමයි. ඔහු නිතරම සිනා වෙලා හිටිය කෙනෙක්. තමන් ජ්‍යෙෂ්ඨයෙක් කියන උද්දච්චකම ඔහු තුළ තිබුණේම නැහැ . ඔහුගේ මේ සුහදශීලි හැසිරීම නිසාම නවක සිසුන්ට විශාල සහනයක් ලැබුණා. මාත් ඒ සහනය ලබපු කෙනෙක් ”‍. 
”‍ තවත් විශේෂත්වයක් තමයි සුදත් කියන්නේ බොහෝම විනෝදයට බර චරිතයක්. මේ නිසාම මුළු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම ඔහුට මිතුරෝ සිටියා. මේක සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක සිදු නොවන දෙයක්. වෛද්‍ය පීඨයේ පමණක් නොවෙයි කලා ඇතුළු අනෙකුත් පීඨ හතේම එක හා සමානවම මිතුරන් සිටිය පුද්ගලයෙක් ඔහු. සුදත් කීවාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයම හඳුනන කැරැක්ටර් එකක්. ඇත්තටම සුදත් කියන්නේ අපිට මේ රටේ දේශපාලනය කියන්නේ මොකක්ද කියලා කියා දුන්න කෙනායි ”‍. 
මේ අතර කාලයේදී රට තුළ වගේම විශ්වවිද්‍යාල අභ්‍යන්තරයන් ද වෙනස් වීමකට ලක් වන්නේ රටෙහි ඇති වෙමින් පැවති විවිධ දේශපාලනික හැලහැප්පීම් හේතුකර ගනිමින්ය. 

 


රට තුළ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ගැටලු මෙන්ම පළාත් සභා සංකල්පය ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කාරණා ඉස්මතු වීමත් සමඟම සුදත් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඒ සඳහා සිදු කෙරෙන සාකච්ඡා වලට සම්බන්ධ වූහ. රටේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වන අයිතීන් සඳහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් හා එක්ව සුදත් පෙරමුණ ගන්නා අතර එහිදී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෙකු ලෙසින් ක්‍රියාකාරි වන්නේ මින් පසුවය. 


පේරාදෙණිය වෛද්‍ය පීඨ කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ කමිටුව රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට බළ කිරීමේ සටනට එක්වන අතර එහිදී ඉදිරි පෙළ හිඳ සටන් මෙහෙය වූ ප්‍රධානම ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු විදිහට සුදත් බණ්ඩාර මෙරට විශ්වවිද්‍යාල සිසුන් අතරේ කැපී පෙනෙන ප්‍රබල චරිතයක් විය. 


මෙම ශිෂ්‍ය සටන ජය ගැනීමෙන් අනතුරුව සුදත් ශිෂ්‍ය සටන් වලින් එහා ගිය කාරණා වලට සම්බන්ධ වන්නේ ශිෂ්‍ය සටන් කොපමණ ජය ගත්ත ද ඉන් එහා ගිය ජයග්‍රහණයන් රටේ ජනතාවට ද ලබා දිය යුතු බව පවසමිනි. රටේ මිනිස්සුන්ගේ ජීවිත මීට වඩා හොඳ තැනකට ගියේ නැත්නම් මේ කරන අරගල වලින් පූර්ණ ජයග්‍රහණයක් අත් කර ගත නොහැකි බව ඔහුගේ අදහස විය. ඒ සඳහා ක්‍රියාත්මක සටන් ව්‍යාපාර සමඟ සුදත් ඉන් පසුව එකතු වී ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙකි. 


මේ සියලු සටන් ව්‍යාපාරවල දිවා රෑ නොබලා නියැලෙමින් සිටිය ද ඔහු කිසි විටෙකත් තම අධ්‍යාපන කටයුතු අතපසු නොකළේය. මෙය අනෙක් ශිෂ්‍යයන්ට ද ඔහු ගෙන දුන් වටිනා ආදර්ශයක් විය. 
අනෙකුත් බාහිර කටයුතුවලට සේම ඉගෙනීම් කටයුතු සඳහා ද අති දක්ෂයෙකු ලෙස ප්‍රකට සුදත් පළමු වතාවෙන්ම සියලුම විභාග ඉතා ඉහළින්ම සමත් වූ ශිෂ්‍යයෙකි. ඔහුට ඒ සඳහා කිසිදු තරඟයක් ද නොවීය. දේශපාලන කටයුතුවල පූර්ණ කාලීනව නියැලෙමින් වුවද ඔහු තම ඉගෙනීම් කටයුතු ද අපූරුවට කරගෙන ගියේය. 


මේ කාලය වන විට උපරිමව දේශපාලනයේ යෙදී සිටි ඔහු ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ මුල් පෙළේ කාර්ය භාරයක් ඉටු කළ අයෙකි. මේ නිසාම ඔහු ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ පිහිටුවීමේදී ද විශාල කාර්ය භාරයක් ඉටු කළ අයෙකු ලෙස ප්‍රකටය. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, මියගිය නිමල් බාලසූරිය, සේන මච්චාගොඩ යන අය මෙම දේශපාලන සටන් ව්‍යාපාර වලදී සුදත් හා ඉතා සමීපව ඇසුරු කළ මුල් පෙළේ සටන් සගයෝ වූහ. 
සුදත් බණ්ඩාරගේ හදිසි මරණය අසා කම්පාවට පත් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා ඒ පිළිබඳව මුහුණු පොතේ තබන ලද සටහන මෙසේය. 


“වෛද්‍ය සුදත් බණ්ඩාර කොවිඩ් නිසා මියගිය පුවත හිතවත් ජෝන් පෙරේරා (කුරුණෑගල) මට පැවසීය. එක්වරම මට ඇඳී ගියේ, කට පුරා බුලත් කා ඒ මදිවාට සිගරට්ටුවකුත් දල්වාගත්, දෑස් රතු වෙන්න අඩියක් ද ගසා සිටින සුදත් නමැති බටහිර වෛද්‍යවරයාය. ඔහුව කුරුණෑගල මහ රෝහලට හෝ ටයි කෝට් ඇඳගත් ඩොක්ටර්ස්ලාට කෙසේ ගැලපෙන්නට ඇතිදැයි මට තවමත් හිතාගන්නටවත් බැරිය. 
1987 දිනක සුදත් සහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජයශ්‍රී මට මුලින්ම හමු වූයේ කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරය වූ බ්ලොම්පොන්ටන් හිදී⁣ය. ඒ දිනවල ඔහු ජවිපෙ පූර්ණකාලීනයෙකු ලෙස අන්තර් ශිෂ්‍ය විද්‍යාල බල මණ්ඩලයට ආවේය. පසුව ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය නම් වූ වෘත්තීය සමිති එකමුතුවක පූර්ණ කාලීනයෙකු විය. ඔහු නිතරම අප ඇතුළත්ව සිටි ජාතික චින්තන ගුරුකුලය හා එහි න්‍යාචාර්යවරුන් ලෙස සිටි මහාචාර්ය නලීන් ද සිල්වා, වෛද්‍ය ගුණදාස අමරසේකර හා සූර්ය ගුණසේකර මහත්වරුන් උපහාසයට ලක් කළේය. එවකට සුදත්ගේ න්‍යායචාර්ය වූයේ ”‍මහානාම”‍ නමින් හැඳින් වූ උපැවිදිව සිටි ජවිපෙ නායකයෙකි. 


සුදත් දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූ අතර මහානාම දක්ෂ කවියෙකු විය. ඔවුනට අනුව අපි ”‍ බුද්ධිවාදීන් ”‍ විය. ආචාර්ය නලීන් ද සිල්වා වැනි අය ”‍ මොළේ අර්ශස්කාරයන් ”‍ විය. 
ඉන්දු ලංකා ගිවිසුම හා පළාත් සභා හඳුන්වා දීමට එරෙහිව අපි උපවාස, පෙළපාලි සංවිධානය කරන කාලයේදී සුදත් බොහෝ විට සිටියේ මොරටුව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේය. 1897 ජූලි 27 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පාරට බැස්ස ක්ලිෆඩ් සහ නිමල් සොහොයුරන් මහ පාරේ මරා දැමුණු පසු ගණනින් නොගිනිය හැකි තරම් පිරිසක් මරා දමනු හෝ අතුරුදන් කරනු ලැබූහ. 
සුදත් හා මා අතර දැඩි සම්බන්ධයක් ඇති වූයේ ඒ දිනවල අන්තර් විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මැදිහත් වී ජයවර්ධන පාලනයට එරෙහිව පුළුල් සන්ධානයක් ”‍ දේශප්‍රේමී එක්සත් පෙරමුණ ”‍ නමින් ගොඩ නංවමින් සිටියදීය. එය නියෝජනය කළේ මමත්, සුදත් සහ ඒ දිනවල අතුරුදහන් කරන ලද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගාමිණී මාලසිංහත්ය. 


සිරිමාවෝ මැතිණිය, අනුර බණ්ඩාරනායක මැතිතුමා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, කුමාර් පොන්නම්බලම් මැතිතුමා, ඒ.එච්.එම්. අශ්රොප් මැතිතුමා හා රුක්මන් සේනානායක වැනි නායකයන් හඳුනා ගන්නට, සාකච්ඡා කරන්නට, වාද විවාද ඇති කරගන්නට අපට හැකි විය. 
සිදුවූ රසවත් සිද්ධීන් රැසක් තිබියදී එක් දිනක් කුමාර් පොන්නම්බලම් මහතා සිය ගෙග්‍රරි පාරේ නිවසේ දී කදිම ජායාරූපයක් අපට පෙන්වීය. එහි බණ්ඩාරනායක, පිලිප්, ජී.ජී.පොන්නම්බලම් හා ඩඩ්ලි සිටියෝය. දශක 4/5 කට පසු ඔවුන්ගේ දරුවන් හා ඥාති දරුවන් රට බාර ගැනීමට යන බව පොන්නම්බලම් මහතා සිනාසෙමින් ප්‍රසංශා කළේ අනුර, දිනේෂ්, රුක්මන් මහත්වරුන් ඉදිරියේය. 
එදින අඩ අඳුරේ පාරට බැස යන විට සුදත් ඒ සිදුවීම ගැන කීවේ ජවිපෙ බෝල්ෂෙවික් විප්ලවය ඒ ජායාරූපය නිශේධ කරනු ඇති බවය. 


1988 ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ජවිපෙ තීරණය කිරීමත් සමඟ සුදත් හා අපි වෙන් වූවෙමු. මා නැවත ඔහු හමුවන විට ඒ වියරු භීෂණයෙන් ඔහුගේ ශරීරය පමණක් නොව මනස ද නිදහස්ව තිබිණි. 
ඔහු ජවිපේ දේශපාලනයද, මාක්ස්වාදය ද අත් හැරියේය. ජාතික චින්තනය පිළිබඳව විශ්වාසය ඇති කර ගත්තේය. නමුත් කිසි විටෙක මියගියවුන් හෝ ජවිපේ විවේචනය නොකළේය. 


සුදත් සිය දරුවන්ට මොන තරම් යුතුකම් කළා දැයි නොදනිමි. ඔහුගේ එක් පුතෙකුට අකුරු කියවූයේ නම් මාය. එදින ඔහු විසින් සිංහලයට නඟන ලද ”‍ ස්පාටකස් ”‍ කෘතිය ඔහු මට පරිත්‍යාග කළේය. 
සුදත්ට සිය වෘත්තීය ක්ෂේත්‍රයේ බොහෝ සෙයින් ඉදිරියට යාමේ හැකියාව තිබුණි. ඔහුගේ සමකාලීනයන් අද ඉහළ ගණයේ විශේෂඥ වෛද්‍යවරුන්ය. එහෙත් 1987-90 යුගයේ සිදු වූ භීෂණය හා ඉන් දැනුණු කම්පනය ඔහුට එයට ඉඩ නොදුන්නේය. මධුවිතට ඔහු ඇදී ගියේ ඒ නිසා විය යුතුය. 


හිතවත් සොයුර සුදත්, 
ඔබ අපගේ හදවත් තුළ සදා සැමරෙනු ඇත. 
- පාඨලී චම්පික රණවක - 


 චම්පික රණවක මහතා තබන ලද මේ සටහනින් ඔහු කවරෙකුදැයි කීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. මේ සටහන කියැවීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් වන අපූරු චිත්‍රයක් නිතැනින්ම සිතේ මැවෙනු ඇත. අප්‍රකටව විසුව ද ඔහු ජාතික දේශපාලනය තුළ කුමන ස්ථානයක සිටි පුද්ගලයෙකු ද යන්න එමගින් අපූරුවට විග්‍රහ වේ. මෙරට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මේ අපූරු හිත හොඳ දොස්තර විසින් ජීවිතයට පරදුවට තබමින් ඉටු කරන ලද කාර්ය භාරය අති මහත් බව චම්පික රණවක මහතාගේ සටහනින් මනාව පැහැදිලි වේ. 
ජවි​ෙප ක්‍රියාකාරී දේශපාලන සාමාජිකයෙකු වීම නිසාම රට තුළ එවකට ක්‍රියාත්මක නිල ලත් සහ නිල නොලත් භීෂණය සුදත් පසුපස ද හඹා ආවේය. එම භීෂණයට මුහුණ දෙමින් කෙසේ හෝ දිවි රැකගැනීමට ඔහුට හැකියාව ලැබුණි. 


88/89 භීෂණය පහව ගොස් අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ පාලනය යටතේ රට තුළ නැවත සාමකාමී යහපත් වාතාවරණයක් ඇති වීමෙන් පසුව තම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමට නොහැකි වූවන් සඳහා නැවත අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා විය. මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් භීෂණයෙන් ගැලවීම සඳහා ජීවිතාරක්ෂාව පිණිස සැඟව සිටි සුදත් ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසකට නැවත අධ්‍යාපන කටයුතු ඇරැඹීමට හැකි විය. ඒ අනුව වසර හයකට පසුව 90 වසරේදී නැවත විශ්ව විද්‍යාලයට පිවිසෙන සුදත් තමන් අධ්‍යාපනය ලද කණ්ඩායමට වඩා වසර අටක් පමණ බාල ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ එක්ව තම වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළේය. 


එම ශිෂ්‍ය කණ්ඩායම තමන්ට වඩා බොහෝ වයසින් අඩු වුවද සුදත්ට එය ප්‍රශ්නයක් නොවීය. දේශපාලන ක්‍රියාකාරියෙකු ලෙස භීෂණයකාරී වාතාවරණය හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටියද සුදත් පෙනී සිටි පළමු වාරයෙන්ම තම අවසන් වසරේ විභාගය සමත් වීමද විශේෂත්වයකි. වසර අටකට පමණ පසුව වුවද කිසිදු පොත පතක් පරිශීලනය නොකොට එක වාරයෙන්ම උපාධිය සමත් වීම තුළින්ම අධ්‍යාපනයට ඔහු තුළ තබූ දක්ෂතාවය විදහා පෑවේය. 


ඉන් අනතුරුව තම වෛද්‍ය වෘත්තියේ සීමාවාසික කාල සීමාව කුරුණෑගල පළාත් මහ රෝහලේ ගත කළ සුදත් ඉන් අනතුරුව තම පළමු පත්වීම ලබා හුරුළුවැව රෝහලේ සේවය කළේය. ඉන් අනතුරුව නැවත කුරුණෑගල පළාත් මහ රෝහලේ සහ කුලියාපිටිය රෝහල්වල සේවය කළ ඔහු අවසන් කාලයේ දී කුරුණෑගල පළාත් මහ රෝහලේ බාහිර රෝග ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළේය. 


සුදත් තම දේශපාලන අරමුණු නිරන්තරයෙන්ම සිත් මත තබා ක්‍රියා කළ පුද්ගලයෙකු වශයෙන් ප්‍රකටය. මේ නිසාම ඔහු සෑම විටම පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු තම වෘත්තීය පමණක් නොව ලද වැටුපෙන් කොටසක් ද අසරණ ජනතාව වෙනුවෙන් කැප කළ අපූරු වෛද්‍යවරයෙකි. යහමින් මුදල් ඉපැයිය හැකි පෞද්ගලික චැනල් සේවාව ප්‍රතික්ෂේප කළ ඔහු වෛද්‍යවරුන්ට ලැබෙන සැප සම්පත්ද ප්‍රතික්ෂේප කළ අයෙකි. වෛද්‍යවරියක් වූ සුදත්ගේ බිරිඳ වන සුධර්මා අතපත්තුගම මහත්මිය පවුලේ කටයුතු සඳහා වාහනයක් පාවිච්චි කළ ද සුදත්ගේ වාහනය වූයේ පරණ යතුරු පැදියක් සහ පාපැදියකි. 
ඔහුගේ මේ අපූරු චරියාවන් ගැන ඔහු පිළිබඳව නොදන්නා වෛද්‍යවරුන්⁣ගේ ⁣සමච්චලයට ලක් වුව ද ඔහු පිළිබඳව දන්නා බොහෝ වෛද්‍යවරු ඔහුගේ මේ ගුණාංග වලට ගරු කළහ. සුදත් සමඟ කතා බහට එක්වූ හෝ ඔහුට උපදෙසක් දීමට පැමිණි බොහෝ දෙනෙකු ආපසු ගියේ ඔහුගෙන් වටිනා හරබර යමක් අසාගෙනය. 


වෛද්‍ය වෘත්තියේ යෙදෙන කිසිදු අවස්ථාවක ටයි පටියක් නොපැළැඳි සුදත් නිතරම සාමාන්‍ය ඇඳුමකින් සැරසී සේවයට යාම පුරුද්දක් ලෙස කළේය. ඔහු තම පාපැදියෙන් රෝහලට පැමිණ එය නවතා තබනු ලැබුවේ වෛද්‍යවරුන්ගේ රථවාහන නැවතීම සඳහා සකසා තිබෙන රථවාහන නැවතුම්පොළේමය. දිනක් ඔහු එසේ පැමිණ තම පාපැදිය නවතා තබද්දී ඔහු ගැන නොදැන සිටි කුරුණෑගල රෝහලේ සේවය කළ ආරක්ෂක නිලධාරියෙකු ඔහුට තදින් අමතා ”‍ අයිසේ ඔතැන තියෙන්නේ දොස්තර මහත්තුරුන්ගේ වාහන නවත්වන්න මිසක් ඔය බයිසිකල් නවත්වන්න නොවෙයි ..”‍ යනුවෙන් පවසා ඇත. ඊට සිනාසී පිළිතුරු දුන් වෛද්‍ය සුදත් ”‍ මේකත් උන්නැහේ දොස්තර මහත්තයෙක්ගේ වාහනයක් තමයි ...”‍ පැවසුවේ ආරක්ෂක නිලධාරියා අන්දමන් ද කරමින්ය. 


නිරන්තරයෙන්ම රටේ පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටි වෛද්‍ය සුදත් තම ලිවීමේ හැකියාව පෙන්නුම් කරමින් ග්‍රන්ථ තුනක්ම ප්‍රකාශයට පත් කළ ප්‍රකට නොවූ ගත් කතුවරයෙකි. පීඩිතයන් වෙනුවෙන් තම ජීවිතය පුද කළ සටන්කාමී වහලෙකු පිළිබඳව කියැවෙන අතිශයින් ජනප්‍රිය නව කතාවක් වන ”‍ස්පාටකස්”‍ සිංහලට පරිවර්තනය කළ ඔහු ඊට අමතරව ”‍ සැකකරුවෝ සහ බටහිර චින්තනය පිළිබඳ තොරතුරු විග්‍රහයක් ”‍ නමැති ග්‍රන්ථ ද ලියා ප්‍රකාශයට පත් කළේය. ඔහු ලියූ සෑම ග්‍රන්ථයකින්ම ඔහු දැරූ නිදහස් දේශපාලන අදහස් අපූරුවට ප්‍රකාශ කළේය. ස්පාටකස් ග්‍රන්ථයේ පිට කවරයද සුදත්ගේම නිර්මාණයක් වීමද විශේෂත්වයකි. 
මිය යාමට පෙර ඔහු කුරුණෑගල පළාත් මහ රෝහල මඟින් ක්‍රියාත්මක කරන ලද කොරෝනා එන්නත්කරණ වැඩ සටහන සඳහා ද සක්‍රීයව දායකත්වය ලබාදී තිබූ වෛද්‍යවරයෙකි. කලක සිට ශාරිරික රෝගී තත්ත්වයකින් පසු වූ සුදත්ගේ වටිනා ජීවිතය ද අවසානයේ දී කොරෝනා මාරයා බිලි ගත්තේ කුරුණෑගල පළාත් මහ රෝහලෙන් වාර්තා වූ කොරෝනාවට බිලිවූ ප්‍රථම වෛද්‍යවරයා ලෙස සටහනක් ද තබමින්ය. 
ඔහු ගැන දැන සිටි බොහෝ දෙනෙක් මේ අපූරු වෛද්‍යවරයාට අත්වූ ඉරණම පිළිබඳව බොහෝ සෙයින් කම්පාවට පත් වූහ. රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම ඔහුට හිතවත් වෛද්‍යවරුන් අවසාන මොහොත දක්වාම අපූරු ගතිගුණ වලින් පැවතුම් වලින් හෙබි මේ පුද්ගලයාට ආදරය කළහ. ගරු කළහ. ඇසුරු කළහ. 
මිය යන අවස්ථාව වන විට සුදත්ගේ වයස අවුරුදු 57 කි. ඔහුගේ වැඩිමල් පුතු ඉෂ්ට හෙළ කුමාර බණ්ඩාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටින අතර දෙවැනි පුතු තුමුල ගාන්ධීව බණ්ඩාර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා සුදුසුකම් ලබා සිටියි. 


කොරෝනා වෛරසය බිළිගත් බොහෝ යහපත් මිනිසුන්ගේ ඇතුළාන්තය දැන ගැනීමට හැකි වූයේ ඔවුන් මිය ගිය පසුවය. ඒ වන විටද ඒ වටිනා සුන්දර මිනිසුන් අප හැර ගොසිනි. සුදත් බණ්ඩාර නම් වූ අපූරු වෛද්‍යවරයා ද එවැනිම අයෙකි. පටු දේශපාලන පරමාර්ථ වලින් තොරව රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සහ පීඩිත ජනතාව වෙනුවෙන්ම තම ජීවිතයම කැප කළ ඔහුට නිවන් සුවය පතමු. 


(තොරතුරු ලබා ගැනීම සඳහා සහාය ලබා දුන් කුරුණෑගල පළාත් මහ රෝහලේ වෛද්‍ය ජිනදාස බණ්ඩාර, වෛද්‍ය සුදත් බණ්ඩාරගේ වැඩිමල් සොයුරු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන නිලධාරි උපාලි ජයකොඩි සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ කුරුණෑගල කලාප කළමනාකාර බණ්ඩාර වීරසූරිය මහත්වරුන්ට ස්තුතිය)

 

 

පුෂ්පකුමාර ජයරත්න



අදහස් (3)

කොරෝනාවට බිලිවූ “හිත හොඳ ජීවකයා”

Raveendra Sunday, 26 September 2021 11:17 AM

ඔබතුමාට නිවන්සුව අත්වේවා...!!!

:       0       22

වත්සි Sunday, 26 September 2021 01:50 PM

දොස්තර සුදත් බණ්ඩාර සැබෑම මානව හිතවාදියෙකි. 88/89 වකවානුවේ ජවිපෙ මතවාදයේ එල්බ සිටියත් ඉක්මනින්ම එතැනින් විතැන් වී ආචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායම හා එක්ව ජාතික චින්තන මතවාදයේ ක්‍රියාකාරීව මිය යන තෙක්ම නියැලී සිටියේය. ඔහු අතින් පොත්පත් ලියැවෙන්නේ ද ඒ අනුවය. එතුමාට නිවන් සුව ලැබේවා!

:       1       19

දාස Monday, 27 September 2021 01:33 PM

මොහු ගැන කියනකොට මට පුදුම හිතුණා මේ වගේ දොස්තර මහත්වරු අප රටේ ඉන්නවාද කියලා. ඔබලා වගේ මිනිසුන් විරලයි. දොස්තර මහතාණෙනි, ඔබට නිවන් සුව..!!!.

:       0       11

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 77 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 80 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 801 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 188 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 455 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1103 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2139 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site