IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


කැලෑ කැපීම නැවැත්වීමට බැරි දේශපාලන සම්බන්ධතා නිසාද?

රටේ පරිසරය විනාශ කිරීම වැළැක්වීම සාමාන්‍යයෙන් ආරක්ෂක ලේකම්වරයා යටතට පැමිණෙන රාජකාරියක් නොවේ. ඔහුගේ ඉහළම ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ රට, ජාතිය සහ සියලු‍ වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහාය. එසේ වුවද ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා පසුගියදා ත්‍රිකුණාමලය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබුණේ එම ප්‍රදේශයේ සිදු කෙරෙන මහා පරිමාණ කැලෑ එළිපෙහෙළි කිරීම් වහාම නවත්වා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය. රටපුරා සිදුවෙමින් පවතින කැලෑ විනාශය නැවැත්වීමට සියලු‍ පියවර ගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා මේ පිළිබඳ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබිණි.

රටේ විවිධ ප්‍රදේශ තුළ අතොරක් නැතිව සිදු කෙරෙන මහා පරිමාණ වන විනාශය ඇතුළු පරිසර පද්ධතීන්ට හානි කිරීම් පිළිබඳව පසුගිය කාලය මුළුල්ලේම මාධ්‍ය හරහා අනාවරණය කෙරිණි. එහෙත් ඒවා වැළැක්වීමට රජයේ බලධාරීන්ගේ ප්‍රමාණවත් තරම් අවධානයක් යොමුවන බවක් පෙනෙන්නට නැත. ඒවා නැවැත්වීම කෙසේ වෙතත් මහා පරිමාණ කැලෑ කැපීම්වලට ඇතැම් රාජ්‍ය නිලධාරීන් ද හවුල් වන බවට ද තොරතුරු ලැබී තිබේ. එසේම දේශපාලනඥයන් පිරිසකගේ සහාය ද මේ කැලෑ සංහාරකයන්ට ලැබෙන බවත් විවිධ සංවර්ධන යෝජනා මුවාවෙන් ඒවා සිදු කෙරෙන බවත් යථාර්ථයයි.

පවතින මේ විනාශකාරී තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීම අවශ්‍යම මොහොතක එය ලැබීම යහපත් කාර්යයක් වශයෙන් අපි සලකමු. ඇත්තෙන්ම කැලෑ ඇතුළු සෙසු සියලු‍ පරිසර පද්ධතීන්ගේ ආරක්ෂාව සැලසීම රටේ ජාතික ආරක්ෂාවටම අයත් එයින් වෙන් කළ නොහැකි කොටසක් වශයෙන් අපි දකිමු. පරිසරය විනාශ වූ තැනක රටකට ජාතියකට ආරක්ෂාවක් ද නැතැයි පුන පුනා කිවයුතු නැත. එම වැරැද්ද කරන්නවුන් අල්ලා ඔවුන් කුමන තරාතිරමක පුද්ගලයන් වුව ද ඔවුන්ට එරෙහිව නීතිය ඉක්මනින් සහ දැඩිව ක්‍රියාත්මක කිරීම ජාතික අවශ්‍යතාවක් සේ අප දකින බව ද සඳහන් කළ යුතුය.

කැලෑ හෙළි කිරීම් විවිධ මුහුණුවරින් සිදුවන බව ද පෙන්වා දිය යුතුය. බොහොමයක් කැලෑ කපා දමන්නේ සංවර්ධනයේ මුවාවෙනි. එහෙත් ඇත්ත වශයෙන්ම බොහොමයක් ස්ථානවල දී සිදුව ඇත්තේ සංවර්ධනයක් නොව ඉතා වටිනා කැලෑවක් විනාශ කොට එහි තිබෙන මිල කළ නොහැකි වටිනා දැව ලබා ගැනීමත් දේශපාලන බලවතුන්ගේ හෙංචයියන්ට එම ඉඩම් කට්ටි වශයෙන් බෙදාදීමත් පමණි. ආරක්ෂක ලේකම්වරයා විසින් ශපථ කළ පරිදි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම එවන් දේශපාලන බලවතුන්ගේ පාමුල දී නතර වන්නේ නම් ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් දැකිය නොහැකි වනු ඇත. දේශපාලන තල්ලු‍වක් නැති නම් මහා පරිමාණ කැලෑ කැපීම්වලට කිසිදු ජාවාරම්කාරයකු හෝ පළාත් වාසියකු හෝ අත නොතබන බැවිනි.

රටපුරා සිදුවන කැලෑ විනාශය කොතරම්දැයි කිවහොත් මාධ්‍ය හරහා එවැනි විනාශ වාර්තා නොවන දවසක් නැති තරමට තත්ත්වය බරපතළ වී තිබේ. පසුගිය දිනෙක මාතලේ ප්‍රදේශයේ ඇති එකම රක්ෂිතය වන බ්‍රාහ්ම ඇළ ද සීගිරිය අභයභූමියට යාබද පොතාන සහ අවුඩංගාව කැලෑද වන සංහාරකයන්ගේ ප්‍රහාරයට ලක්වී ඇති බව ද එම ජාවාරමට රජයේ නිලධාරීන් කිහිප දෙනකු පවා සම්බන්ධ වී සිටින බව ද වාර්තා විය. කැලෑ කපන පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථාවල දී ඔවුන් සතුව බලපත්‍ර  තිබූ බව ද එම බලපත්‍ර ලැබීම තුළින් පෙනෙන්නේ කොතැනක හෝ වැරැද්දක් තිබෙන බව ද ආරක්ෂක ලේකම්වරයා විසින් පෙන්වා දී තිබිණි.

කැලෑ කැපීමට කිසිදු රජයේ නිලධාරියකු ආවාට ගියාට බලපත්‍ර නිකුත් කරන්නේ නැත. ඔවුන් ලවා එවැනි බලපත්‍ර නිකුත් කරවා ගන්නේ ප්‍රදේශයේ බලවත් දේශපාලනඥයකු හෝ දේශපාලනඥයන් කිහිප දෙනෙකු හෝ විසිනි. කැලෑ විනාශය නවත්වා ගතයුතු නම් මුලින්ම කළ යුත්තේ එවැනි වන සංහාරක දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු හෙළි කිරීමය. එහෙත් මෙරට පවතින දේශපාලන පසුබිම මත එහි හෙළිදරව්වක් කිරීමට කිසිම ආණ්ඩුවක් පෙළැඹෙන්නේ නැත. ඊට මූලික වන හේතු සඳහන් කිරීම පවා අවශ්‍ය යැයි අපි නොසිතමු.
කැලෑ ආරක්ෂාව භාරව සිටින වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙහිදී අසරණව සිටින බව ආරක්ෂක ලේකම්වරයාගේ අවධානයට ලක්ව තිබීම ද වැදගත් සාධකයකි. පිරිස් බලය නොමැතිවීම හේතුව නිසා පමණක් නොව බලවත් දේශපාලනඥයන්ගේ අතපෙවීම් හමුවේ ද ඔවුන් අසරණ වන බව ද පෙන්වා දිය යුතුය. එසේම කනගාටුවෙන් වුව ද කිවයුතු වන්නේ ඇතැම් වනජීවී නිලධාරීන් ද විවිධ වරප්‍රසාද සහ ලාභාපේක්ෂා හේතුවෙන් වන විනාශයට ඉඩදී බලා සිටින බවය. එම තත්ත්වය ද වැළැක්වීම අවශ්‍යය.

රටපුරා වන විනාශයක් සිදුවන බව දිගින් දිගටම පෙන්වා දෙනු ලබන්නේ මේ රටේ පරිසර සංවිධාන සහ මාධ්‍ය විසිනි. ඒ බොහෝ තොරතුරු පිළිබඳ හැම රජයක්ම සිටියේ ‘නෑසූ කන්’ ඇතිවය. එහෙත් වත්මන් රජයේ බලවත් නිලධාරියකු වන ආරක්ෂක ලේකම්වරයා මේ සත්‍යය අවබෝධ කරගෙන එය වැළැක්වීමට පියවර ගැනීම සඳහා ඉදිරිපත් වීම මෙරට පරිසරයට සැබෑ ලෙසම ආදරය කරන සියලු‍දෙනාගේ ප්‍රශංසාවට ලක්වෙයි. කැලෑ කැපීම් නැවැත්වීමට ආරක්ෂක ලේකම්ගේ මූලිකත්වයෙන් ගන්නා සියලු‍ පියවරවලට එම පරිසර සංවිධානවල ද මාධ්‍යයේ ද උපරිම සහාය නොඅඩුව හිමිවන බව ද අවධාරණයෙන් කියා සිටිමු.

(***)



අදහස් (8)

කැලෑ කැපීම නැවැත්වීමට බැරි දේශපාලන සම්බන්ධතා නිසාද?

Rata Perata Monday, 22 February 2021 07:42 AM

නිසැකයෙන්ම දේශපාලන බලපෑම් සහ නන්දසේනගේ වැඩ නිසා...

:       6       12

RaveendraMonday, 22 February 2021 08:20 AM

ඔබගේ අදහස්වලින් ගම්‍ය වන්නේ ඔබ පට්ටියේ බලය ලබාගත් දින ඉපදුණු ළදරුවෙකු බව නොවේද? නොඑසේ නම් ඔබ කිනම් හෝ පක්ෂයක පාට කණ්ණාඩි පැළඳගෙන මෙම ගැටලුව දෙස අදහස් දක්වන්නෙකු ලෙස නොවේද? මෙම පරිසර විනාශයට කිසිඳු පක්ෂ බේදයකින් තොරව සියලුම පක්ෂවල දේශපාලුවන් මෙන්ම ඒ ඒ දේශපාලකයන්ගේ අය ඍජුවම වගකිව යුතු බව අපගේ හැඟීමයි. නන්දසේනට පමණක් ඇඟිලි දිගු කිරීමෙන් ඔබ වන්දනාමාන කරන කුමක් හෝ පක්ෂයේ දේශපාලුවන් හොඳයි, අවංකයි යන්න හුවා දැක්වීමෙන් ඔබ ඔබවම රවටා ගැනීමක් ලෙස නොතේරීම කණගාටුවකි. කිනම් හෝ ගැටළුවක් දෙස අපට මධ්‍යස්ථව බැලීමට නොහැකිය යනු අප කිනම් හෝ දේශපාලකයෙකුගේ තකතීරු මෝඩයින් බව කීමට කැමැත්තෙමු. අපට කවුරු බලයේ සිටියත් අදාළම නැත. රටට අවැඩක් වේ නම් අප එය එක හෙලා විරුද්ධව අපගේ අදහස් ප්‍රකාශ කරන්නෙමු. එලෙසම රටට හොඳක් වේ නම් කවුරු බලයේ හිටියත් අප එය නිහතමානීව අගය කරන්නෙමු.

:       7       16

NMMonday, 22 February 2021 03:21 PM

ගෝඨාභයට දෝෂාරෝපණය කිරීමෙන් ඵලක් නොමැත. ඔහුට වෙනසක් කිරීමට අවශ්‍ය වුවත් ඔහු වටා සිටින්නේ පරණ දුෂිත දේශපාලකයන් නිසා ඔහු ජනාධිපතිවරයා වශයෙන් මේ වනවිට ලංකාවේ සිටි කිසිදු ජනාධිපතිවරයකුට වඩා දේශපාලනිකව සිරකරුවෙකුගේ තත්වයට පත්ව සිටියි. ඔහු පැමිණියේත් ජනතාව ඔහුව බලයට ගෙන අාවේත් වෙනසක් බලාපොරොත්තුව වුවද ඔහු වටා සිටින දේශපාලකයින් දූෂිත කණ්ඩායමක් නිසා මේ වනවිට ඔහු සියල්ලෙන්ම අසමත් බව බහුතර ජනතාවගේ මතය වේ. රටේ ජනතාවට තිබෙන එකම විකල්පය නම් වර්තමානයේ ලංකාවේ තිබෙන්නා වූ එකතැන පල්වෙන කුණු වූ දේශපාලන ක්‍රමය සහ දේශපාලකයන් වෙනුවට අලුත්ම කණ්ඩායමකට රට බාර දෙන්න. එසේ නොමැතිව මාරුවෙන් මාරුවට වර්තමානයේ සිටින්නා වූ කණ්ඩායම් බලයට පත් කිරීමෙන් රටට සෙතක් සහ වෙනසක් සිදුවන්නේ නැත..

:       4       2

Raveendra Monday, 22 February 2021 08:07 AM

කතුවැකිය ඉතාමත්ම රසවත් මෙන්ම හරවත් ලෙස සකසා තිබීම පිළිබඳව කතෘතුමාට අපගේ සතුට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. බාලංශයේ ඉගෙනුම ලබන දරුවෙකුට මෙන්ම 8, 5 නොදත් මළපොතේ අකුරක් නොදත් අපට තේරෙන, වැටහෙන කරුණු කතෘතුමා "ප්‍රශ්නාර්ථය" ලෙස හුවා දැක්වීම පිළිබඳව අපගේ බලවත් කණගාටුවද සඳහන් කරන්නෙමු. පාට, පක්ෂ භේදයකින් තොරව පරිසර විනාශයට ඍජුවම සියලුම පක්ෂවල දේශපාලුවන් මෙන්ම ඒ ඒ දේශපාලකයන්ගේ ඇම්බැට්ටයන් දශක කීපයකට පෙර සිටම අපගේ මේ සුන්දර මාතෘභූමියේ සුන්දරත්වය විනාශ කරන බව අප නොබියව පවසන්නෙමු. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව දියවන්නාව පට්ටියේ 225 ටම කියවීමට හැකි වේවා...!!! 

:       2       12

Hafeel Monday, 22 February 2021 08:57 AM

කැලෑ කැපීම සිදු වෙන්නෙම රාජපක්ෂ පාලනයේ. එදත් එහෙමයි. අදත් එහෙමයි. 69 ලක්ෂ ජනතාව මේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගැන ලොකු විශ්වාසයක් තැබුවා. දැන් ඔය සේරම සුන්... ඇත්තටම මේ ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය ගැන ලැජ්ජයි.

:       4       11

Nihal Monday, 22 February 2021 09:03 AM

නෑ මහජනතාවගේ වරදින්. එයාලා තමයිලු වනෝද්‍යාන පවා කපන්නේ... දේශපාලකයින්ට මේ වගේ බලයක්, හයියක් නෑ.

:       1       4

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 February 2021 09:45 AM

කතුතුමාගේ සාරගර්භ අදහස් එකතුවට ස්තූතියි ... !!! මෙහිදී කෙටියෙන් පෙන්වාදිය යුත්තේ, මේ රටේ ඇතැම් දේශපාලකයින් කොතැනද... එතැන ඇත්තේ කැලෑ කැපීම හෝ පරිසර විනාශය බවයි. ඔවුන් ඒවා එළිපිට නොකළත්, තම සුවච කීකරු හෙන්චයියන් ගෝලබාලයන් ලවා රහසේ කරවයි. වැඩේ මාධ්‍ය වලින් හෙලිවී වකුරු වුවහොත්, ඔහු සත්ගුණවත් උපාසකයකු මෙන් ඉදිරිපත් වී ප්‍රකාශ නිකුත් කොට ජනතාව හා රට රවටා ලකුණු දමා ගනියි. මේ රටේ තරම් කපටි කෛරාටික මගෝඩි දේශපාලකයන් ලොව වෙනත් කිසිඳු රටක නොමැත්තේය.

:       0       12

wicky Friday, 26 February 2021 07:21 AM

අනිවාර්යයෙන්ම ඔව්... ඒකට අපේ රටට් හැම රජයක්ම වගකියන්න ඕනෑ. මේ මනාප පොරය නිසා දේශපාලකයන් මුදලාලිලාව එකතු කරගෙන ඡන්දෙ කරනවා. දිනුවට පස්සේ ඉල්ලන ඉල්ලන දොළපිදේනි දෙන්න වෙනවා. ඒක තමයි ඇත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 104 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 377 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 118 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 115 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 285 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 545 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site