IMG-LOGO

2025 අප්‍රේල් මස 04 වන සිකුරාදා


කවි පොත් පහ ගහන්න කොස් ගස් පහක් වික්කා

දශක කිහිපයක් පුරා කාව්‍ය ග්‍රන්ථ විසිපහක් පමණ රචනා කරමින් සිංහල කවියෙහි තමන්ටම අනන්‍ය කවි ලකුණක් නිර්මාණය කරන්නට සමත් වූ ඔහු කුමාර හෙට්ටිආරච්චි ය. ඔහුගේ කවිය නූතනයේ වෙනත් කවියන්ට වඩා අමුතු අපූර්වත්වයකින් යුතු එකකි.

මීට පෙර ඔහු ලියූ ‘ගුවර්නිකා මට නිකං මොකද්ද වගේ, පැරඩයිස් උඩ අයිස්, ආකාශ ධාතුවට පෙකණි වැලකින් බැඳෙමි, ක්වොන්ටම් භෞතික සංඛාරා, පාරජම්බුල, සයංජාත සංජානන, ක්ෂණ භංගුර මිහිරියාව වැනි කාව්‍ය සංග්‍රහ ඒ අපූර්වත්වය මෙරට කවි සිතුවම වර්ණ ගැන්වූ අගනා නිර්මාණ වේ. කුමාරගේ කවිය පිළිබඳ කාගේත් අවධානය නැවත යොමුවීමට ආසන්නතම කාරණය වූයේ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය හිමි වීමය. ඒ කුමාර හෙට්ටිආරච්චි ලියූ බොහීමියන් සාංකාවේ ලු‍ම්පන් සහ බුර්ෂුවා කෘතිය වෙනුවෙනි.

කුමාර හෙට්ටිආරච්චි සමග අප මෙහි සැකැවින් සාකච්ජා කරන්නේ ඔහුගේ කවිය හා ඔහුගේ කවියට බලපෑ අත්දැකීම් ගැනය. කුමාර මුලින්ම ප්‍රකාශයට පත් කරන කාව්‍ය සංග්‍රහය සක්මන් මළුවයි. ඒ 1985 වසරේ දී ය. ඔහු සක්මන් මළුව ලියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ප්‍රථම වසරේ සිසුවකුව සිටියදීය. ඒ වන විටත් ඔහුගේ කවි පුවත්පත්වල පළ වෙමින් තිබුණි. සක්මන් මළුව ලියැවීමට බලපෑ පසුබිම කුමාර හෙට්ටිආරච්චි සිහි කළේ මෙලෙසිනි.

‘‘කවි පොතක් කරන්න මට ඒ කාලෙ ආසාවක් තිබුණත් කවි ටික එකතු කරගෙන සෑහෙන කාලයක් හිටියා. මට සැකයක් තිබුණා මේවා කව් ද කියලා. මට බයක් තිබුණා මම කරන පොත දැකලා මෙන්න මේ යකාට පිස්සු කියලා මිනිස්සු හිනාවෙයි ද කියලා. ඒ නිසා මම මේ කවි ටිකත් අරගෙන ගියා පේරාදෙණියෙ සිංහල අංශයට. මම සිංහල අංශයට එබෙනකොටම අයිසේ...මෙහෙ එනවා.. කියලා කෙනෙක් කෑ ගැහුවා. මම ගියා. බලපුවාම එතන ඉන්නවා මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය පී.බී. මීගස්කුඹුර, මහාචාර්ය ආනන්ද කුලසූරිය, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, ආචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම.

මම කිව්වා සර් මම ඇග්‍රිකල්චර් ෆැකල්ටියේ ෆස්ට් ඉයර් ළමයෙක්. මම ආසයි කවි පොතක් කරන්න. ඒත් මට සැකයි මේවා කව්ද කියලා.

තමුසේ මේ ටික තියලා යනවා. ලබන සඳුදා උදේ එනව මේ පැත්තෙ. එතකොට බලලා තියන්නම්.

මම ඊළඟ සඳුදා සිංහල අංශයට ඇතුළු වුණේ බොහොම බයෙන් බයෙන්. ඒත් මාව දැක්ක ගමන් පිළි අරගෙන අර ආචාර්‍යවරුන් මගේ කවි අගය කළා. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා එදා මට කිව්වෙ කවි ලිවීම සංසාර පුරුද්දක්. මේක දිගටම කරගෙන යන්න කියලා. සිරි ගුනසිංහ මහත්තයා මගේ පොත කියවලා ඒ ගැන සටහන් ලිව්වා. මම කවියෙක් හැටියට මතුවෙන්න ඒ විද්වතුන්ගේ දිරිමත් කිරීම් හේතු වුණා. ඒ නිසා මම ඔවුන්ට ණය ගැති යි.

කුමාර හෙට්ටිආරච්චි කවියාට මේ ලැබුණු උත්තේජනය නිසාම ඔහුගේ දෙවැනි කවි පොත වන භෂ්මාව ශේෂ ඔහු ලියන්නේ දවස් දෙකකිනි. තුන්වැනි කවිපොත වන මහද්වීපය ලියන්නේ දවස් හතරකිනි. සදාකාලික මධ්‍යහ්නය කාව්‍ය සංග්‍රහයට 1992 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි වූ අතර කුමාර එම කෘතිය රචනා කරන්නේ දවස් තුනකිනි. කුමාරගේ ප්‍රථම කවි පොත් පහ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඔහු හරිම අපූරු කතාවක් කීවේය.

‘‘මේ කවි පොත් පහ පළ කරන්න අපේ තාත්තා කොස් ගස් පහක් කැපුවා. කොස් ගහ විකුණලා තමයි පොත ප්‍රින්ට් කළේ.”‍

කුමාර තම කවි ලිවීමට බොහෝ කල් මරන්නේ නැත. කවි පොතම ලිවීමට ඔහු වැය කළේ දින දෙක තුනක් බව මුලින් කියැවිණ. එහෙත් කාව්‍ය සම්ප්‍රදායේ පිළිගත් මතය නම් හොඳ කවියක් නිර්මාණය වීමට කල් මැරීම නැවත නැවත කරන සංස්කරණය ආදිය හේතුවන බවයි. කුමාරට අනුව මේ සාම්ප්‍රදායික මතය පිළිගත හැකිද?

‘‘ඇත්තමයි මම මේ කියන්නේ මට කවියක් ලියැවෙන්නෙ විනාඩි හය හතකින්. මගේ ඔය කියන කල් මැරීමක් මොකක්වත් නෑ. පිටසක්වලින් හෝ කොහෙන් හෝ කවිය එනවද කියලා කියන්න බෑ. එක සැරේ එනවා මම ලියනවා . එච්චරයි. කිසිම සංස්කරණයක් මගේ කවියේ නෑ. ආඛ්‍යාන කාව්‍ය අටක් මම කළා. කිසිම සංස්කරණයක් කරලා නැහැ. අඩුම ගානෙ අනුප්‍රාසය අනුභූතිය ඒවා මේවා දැනගන්නකොට මම කවි පොත් පහක් විතර ගහලා . මම ඒව දන්නෙ නෑ. කවි ලියැවෙනවා. මම ලියනවා. එච්චර යි. සයිමන නවගත්තේගම මට කිව්වා කතාවක් කුමාර මම ව්‍යාකරණ දන්නෙ නෑ. මම ලියද්දි ව්‍යාකරණ ගැන හිතන්නෙවත් නෑ කියලා. මමත් ඔය කවියේ අලංකාර ගැන දන්නෙ නෑ. කවිය කියන්නෙ මට ඇගෙන දැනෙන අමුතු ආතල් එකක්.

මට හිතෙනවා හැම කවියකදිම මම මැරෙනවා කියලා. කවිය හිතට ඇවිත් විනාඩි හතෙන් අටෙන් ලියලා දැම්මට පස්සෙ මට මහා හිස් බවක් ඇති වෙනවා. ආයෙ මට කවි එන එකක් නැද්ද වගේ බයකුත් දැනෙනවා.”‍

එහෙත් කුමාරගේ කවි තුළ ප්‍රකම්පනය වන්නේ පුද්ගල හා සමාජ අත්දැකීම්වලම අපූර්ව ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකිය. ඔහුගේ කවි කිහිපයකින් පමණක් සරලව මෙය විමසා බලමු.

කුමාර හෙට්ටිආරච්චි 88-89 භීෂණ සමයේ කොළඹ පරිසරය තුළ සැරිසරන විට ඔහු දිනක් ඔහු කොළඹ විශ්වවිද්‍යාල බිමට එයි. විශ්වවිද්‍යාලයීය ආපණ ශාලාවෙන් තේ පානය කර පිටතට පැමිණෙන විට ඔහුගේ නෙත ගැටෙන්නේ මහා නුග ගස අසල රඳවා තුබූ පුවරුවක තිබුණේ ඔහුගේම කවියකි. රුවන් සක්මන කෘතියේ එන නුග ගසේ කතාව එම කවියයි. එය භීෂණ සමයේ මරණයට පත් වන දරු පැටවුන් ගැන අම්මාවරුන්ගේ විලාපය කියාපාන කවියකි.

පොරෝ තලයෙන් කපවු මා ළය කියත් තලයෙන් ඉරව් අත පය

බලවු අරටුව පලා වැගිරෙන උතුම් මවු සෙනෙහසේ රුධිරය

භාවනාවට පසේ බුදුවරු මගේ සෙවණට වඩින දවසක

කෑ ගසා අවනඩුව කීමට මං බලාගෙන ඉන්නවා

කුරුලු බිජුවට කෝටි ගණනක් අතු පතර තුරුළේ තියාගෙන

ආදරය විකසිත කරන්නට මවුබිමේ මුල් අදිනවා

තවත් විටෙක කවියා පිටකොටුවේ බෝ ගස කිට්ටුවදී අබිසරු ලියක් දකියි. ඇය අබිසරු ලියකැයි කියන්නේ ඒ වටා සිටි සාමාන්‍ය ජනයා යි. ඇය ගර්භිණී කාන්තාවකි. කවියා ඒ වන විට සරසවි සිසුවෙකි. ඔහු ඇය සමග කතාකරයි.

ඔයා කවුද ? ඇය අසයි

මම සරසවි සිසුවෙක්.

අර අය මොනවද මම ගැන කිව්වෙ. මගේ රස්සාව ගැන කිව්වද?

ඔව්. ඒත් ඔබ ගර්භිණී කාන්තාවක්. ඇයි එහෙම තියෙද්දි මෙහෙම රස්සාවක් කරන්නෙ?

මම ගර්භිණී වුණත් මම රස්සාව කරන්න ඕනෑ.

මේ කාන්තාවගේ කුසෙහි බෝධිසත්වයකු සිටින්නට බැරි දැයි සිතන කුමාර හෙට්ටිආරච්චි කවියා ඒ අත්දැකීම පදනම් කරගෙන බෝධිසත්ව ගබ්සාව නම් කව ලියයි. නුග ගසේ කතාව මෙන්ම බෝධිසත්ව ගබ්සාව නිර්මාණය ද එකල විශ්වවිද්‍යාල සිංහල අංශවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය.

නිල් මල් බිසවු උකුලේ බිම්මල් පිපුණී

පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී

නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී

පස් මහ බැලු‍ම් නොබලා කුස පිළිසිදුණී

 

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ

මැණික් කරඬු දෙතනේ රන් කිරි පිරුණේ

අදුන් තෙලින් නෑවෙනවද මල් යහනේ

මවුන් අතින් මෝරන දරු ගැබ බිඳුණේ

 

රිදී කඳුළුමයි රන් කොතලෙට පිරුණේ

මහමායාවරුන් ඇයි මහ මග පිපුණේ

වදා පලක් නැත බෝසත්වරු සොහොනේ

අපාගත නොවවු තනිවම මවුවරුනේ

88-89 භීෂණ සමයෙහිම කුමාර හෙට්ටිආරච්චි කවියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකව සිටින කාලයේ දවසක ඈතින් පන්සලක ඔහුට ඝණ්ටාර හඬක් කන වැකේ. ඒ ඝණ්ටා හඬ පහව යන්නත් මත්තෙන් අනෙක් පැත්තෙන් කවියාට ඇසෙන්නේ ඩෝං..ඩෝං .. හඩින් වන බියකරු වෙඩි වරුසාවකි. ඔහුට දැනෙන මේ මොහොත ඒ කම්පනය පිටතට එන්නේ කවියක් ලෙසිනි. කුමාර එම කව නම් කරන්නේ ධර්මද්වීපය නමිනි.

ධර්මද්වීපය

ටාං..ටාං..ටාං..

ඩෝං..ඩෝං..ඩෝං..

කුමාර හෙට්ටිආරච්චි කවියාගේ සංක්ෂිප්තම කවිය හැටියට සැලකෙන්නේ මෙම කවියයි. මෙය ඔහුගේ රුවන් සක්මන කෘතියේ ඇතුළත් කවකි.

දිනක් කොළඹ දුම්රියපොළේ කොනක යාචක මවක් කුඩා දරුවකු ද සමග සිටින සැටි කුමාර හෙට්ටිආරච්චි කවියා දකියි. ඒ කුඩා දරුවා බිම වාඩි වී අපිරිසුදු පෙනුමෙන් දූවිලි මත පරණ පොතක කැබැල්ලක් අතේ තබාගෙන සිටියි. ඔහු කරන්නේ කෙළ බේරමින් එම පොත් කැබැල්ල සපමින් සිටීමය. කවියා මේ අත් දැකීම ලියන්නේ මෙසේය.

තුන් දිනක් තුළ බත් හුලක්

කහට උගුරක් හෝ නොලත්

කුඩා දරුවෙක් සිත් තොසින් ගෙන සිතියමක්

කඩා කෑවා

ආසියාවෙන් බාගයක්

කුමාර හෙට්ටිආරච්චි කවියාගේ ප්‍රබල කාව්‍යමය ප්‍රකාශනය හා අනන්‍යතාව රැඳී ඇති එක් කාරණයක් වන්නේ ඔහුගේ භාෂා භාවිතයයි. මේ තරම් ප්‍රබල මනරම් භාෂාවක් ඔහුගේ කවියට ගලා එන්නේ කෙසේ ද? ඔහු ඊට දුන්නේ මෙවන් පිළිතුරකි.

මම ඇත්තම කියන්නම්. මම දන්නෙ නෑ කොහෙන් එනවද කියලා. මම සිංහල කළේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි. ඊට පස්සෙ කළේ විද්‍යා විෂයයන්. හැබැයි ජපානයට ගිහින් ශාස්ත්‍රපති උපාධියට කළේ ඉංග්‍රීසි සාහිත්‍ය. උපාධි නිබන්ධනයට කළේ අර්නස්ට් හෙමිංග්වේ ගැන. ජපානයේ දී ආචාර්ය උපාධිය සඳහා කළේ සංස්කෘතික මානව විද්‍යාව. කොහොම වුණත් කවියක් ලියද්දී ඒකෙ ආකෘතිය මොකද්ද විරිත මොකද්ද කියල මෙලෝ හත්ඉලව්වක් මට හිතෙන්නෙ නෑ. ඕව හිතනකොට කවිය ඇවිල්ල ඉවරයි. කවිය කලින් සැලසුම් කරන්න බෑ.

ගුණදාස අමරසේකර මහතා පෙන්වාදෙන හද බස සංකල්පය ගැන සිතන්නේ කුමක්දැයි අප විමසූ විට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

‘‘මම ඒක ප්‍රතික්ෂේප කරනවා. හද බස කියන එක මම දන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. අමරසේකර මහත්තයා කිව්ව මහගමසේකර කවියෙක් නෙවෙයි කියලත්. මම ඒකට තදින්ම විරුද්ධයි. මට නම් සිංහල කවියේ මුදුන්මල්කඩ තමයි සේකර.

කුමාර හෙට්ටිආරච්චි කවියා අවධාරණය කරන්නේ කවියා පුදුම සහගත ලෙස කවියේදී අව්‍යාජ විය යුතු බවයි. අව්‍යාජ වන තරමට කවිය ලස්සන වන බවයි. කවියේ ඉතාම අසීරු කාරණය සරල බව ලබා ගැනීම බව යි ඔහු සිතන්නේ.

‘‘කවියට ආභරණ එල්ලන්න ලේසියි, විදග්ධ කවිය ලේසියි. සරලව ලිවීමයි අමාරු. සැබෑ කවිය ඉබේ එන්නෙ.

කුමාර හෙට්ටිආරච්චි අවධාරණය කරන මේ කාරණා නූතනයේ කවි ලියන ආධුනිකයන්ට අගනා ආදර්ශයක් වනු ඇත.

 

(*** සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (5)

කවි පොත් පහ ගහන්න කොස් ගස් පහක් වික්කා

මැක්ස් Wednesday, 11 December 2024 12:31 PM

ක්ලබ් වසන්ත මිය ගිය වෙලේ ඔහුට ඇලුම් කළ සමහරුන් විසින් මුහුණු පොත වැනි මාධ්‍යවල කුමාරගේ ධර්මද්වීපය කවිය පළ කළේ ඔවුන්ගේ නිර්මාණයක් පරිද්දෙනි. ලැජ්ජාව ගෑවී නැති එවැනි හිස් කොම්බවලට වීරත්වය ආරුඩ කළ "විප්ලවවාදීන්"ද හිටියා.

:       1       3

Hemantha Thursday, 12 December 2024 12:51 PM

කවි ලියන එක නම් හොඳයි... කපපු එක කොස් ගහක්වත් මලගම ගැන කවියක් ලිව්වාද? කොස් පැළ කීයක් ගස් වෙනුවෙන් හිටෙව්වාද?

:       3       4

Janahitha Thursday, 12 December 2024 11:34 PM

නොදකින් විතරක් කොස් ගස් කපන කාලයක් ද මේ

:       4       5

sam Friday, 13 December 2024 03:39 AM

සරල නමුත් හද ගැඹුරටම දැනෙන ප්‍රබල කවි. කුමාර හෙට්ටිඅරචිචිගේ සහ රුවන් බන්දුජීවගේ කවි වල යම් සමානතාවයක් ඇති බව මට හිතෙනවා.

:       1       2

Nabi fashion Friday, 13 December 2024 11:11 AM

අනේ උබ වගෙ පොල් බුරුවෙක් ... කොස් ගස් පහක් වික්කා

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 71 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 109 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 33 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 29 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 885 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1069 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 83 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 363 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 890 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site