IMG-LOGO

2025 අප්‍රේල් මස 06 වන ඉරිදා


කෘෂිකර්මයට නව දැක්මක අවශ්‍යතාව

ළඟ එන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෝ තම ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන කාරණය සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කර සිටිති. එහෙත් ඒ බොහෝ දෙනෙක් මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්නේ කෙසේ ද එය රටේ ආර්ථිකයට සක්‍රීයව දායක කරගන්නේ කෙසේද කෘෂි ආර්ථිකය මෙරට ආර්ථිකයේ තීරණාත්මක සාධකයක් වන්නේ කවර හේතු නිසාද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකරති.

ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ලොකු විභවයක් ඇති රටකි. ලංකාවේ කෘෂිකර්මාන්තය මීට වසර 50 කට පෙර පැවති තත්වය අනුව දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට තිහක පමණ දායකත්වයක් සැපයීය. එහෙත් අද වනවිට කෘෂිකර්මාන්තයේ දළ ජාතික නිෂ්පාදිතය සියයට 7 ක් පමණය. අතීත ශ්‍රී ලංකාව යනු කෘෂිකර්මාන්තය ලෝකයට ඉගැන්වූ රටකි. ලෝකයේ හොඳම වාරි ශිෂ්ටාචාරයක් අතීත ලංකාවේ පැවතිණ. සරලව ගතහොත් කෘෂිකර්මාන්තය යනු බෝගවල තත්වයත් පරිසරයත් එකිනෙකට ගැටගසා පවත්වාගෙන යන්නකි. එය සාර්ථක ලෙස ගැලපීමෙන් සාර්ථක කෘෂිකර්මාන්තයක් පවත්වාගෙන යා හැකිය.

ඕස්ට්‍රේලියාව වැනි රටවල් අද වනවිට කෘෂිකර්මාන්තයෙන් ඉහළ ප්‍රගතියක් ලබා ගෙන තිබෙන්නේ බෝගවල තත්වයත් පරිසරයත් සාර්ථකව බද්ධ කොටගෙන ඇති නිසාය. මේ අංශ දෙකෙහිම උපරිම සම්පත් ලංකාවේ දැකිය හැකි වුවත් එය හරියාකාරව පරිපාලනය කර නොගැනීම නිසා විවිධ අර්බුද හා ගැටලු‍ ඇති විය. ලංකාව ප්‍රබල ජෛව විවිධත්වයක් සහිත රටකි. උදාහරණයකට මාතලේ සිට නුවරඑළිය දක්වා ගමන් ගන්නා විට සෑම ගස් තුනකටම අලු‍ත් ගසක් හමු වේ . ශාක වර්ග 4000 කට අධිකව ලංකාවේ පරිසර පද්ධතිය තුළ දැකිය හැකිය. ඖෂධීය වශයෙන් ගතහොත් මේ ශාකවල පවත්නා ගුණය ප්‍රබලය. රටේ ශාක පද්ධතිය ද මෙරට කෘෂිකර්මාන්තයට ඍජුව සම්බන්ධ වුවත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් දැකිය නොහැකිය.

දැනට ලැබෙන සාක්ෂි අනුව වී ශාකයේ සම්භවය ශ්‍රී ලංකාව යැයි පිළිගැනේ. වී ප්‍රභේද ගණනාවක් ශ්‍රී ලංකාවේ තවමත් දැකිය හැකිය. එහෙත් අද වන විට ලංකාවේ වී අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 4කටත් අඩු ප්‍රමාණයකි. අද වන විට ලෝකයේ බොහෝ රටවල් මෙරට වී ප්‍රභේදම යොදාගෙන වඩා වැඩි අස්වැන්නක් නිපදවන බව පෙනේ. වර්තමානය වනවිට ඕස්ට්‍රේලියාවේ වී අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 15 ඉක්මවයි. චීනයේ වී අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 8-10 ක  ප්‍රමාණයකි. ජපානයේ එම මට්ටම හෙක්ටයාරයකට ටොන් 10 ට අධිකය. මේ අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ  වී අස්වැන්න වෙනත් රටවලට සාපේක්ෂව කෙතරම් පහළ අගයක් ගෙන තිබේද යන්න පැහැදිලි වේ. වී පමණක් නොව තේ, පොල්, රබර් ආදි කෘෂි නිෂ්පාදනවල තත්වය ද මීට වෙනස් නොවේ. 

පරිසර විද්‍යාත්මකව බැලු‍වොත් සෑම දෙයකටම උෂ්ණත්වය ඉතා වැදගත් කරුණකි. සාමාන්‍යයෙන් මේ රටේ මේ වසරේ අවම  උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේට් අංශක 10 කි. එහි උපරිමය සෙන්ට්‍රිග්‍රේට් අංශක 28කි. මගේ දැනීමේ හැටියට මෙබදු උෂ්ණත්ව පරාසයක් ලෝකයේ බොහෝ රටවල දැකිය නොහැකිය. එසේම මෙරට වර්ෂාපතන පරාසය මිලිලීටර් 7500 සිට මිලිලීටර් 750 අතර පවතී. මේ තත්වය කෘෂිකර්මාන්තය සඳහා ඉතාමත් යෝග්‍ය එකකි. මේ වර්ෂාපතන පරාසය අනුව ලංකාවේ කිසිම තැනක ජල ගැටලු‍වක් ඇතිවීමට ඉඩක් නැත. එහෙත් වර්තමානයේ ජල ගැටලු‍ ඇතිවී තිබෙන්නේ ජල කළමනාකරණයේ පවත්නා දුර්වලතා නිසාය. ලංකාවේ සූර්යාලෝකය පැය 12කි. බොහෝ රටවල ඒ තත්වය ඊට වඩා අඩු මට්ටමක පවතී. මේ සාධනීය  පාරිසරික සාධක නිසි පරිදි  ප්‍රයෝජනයට ගත්තේ නම් කෘෂි අංශයෙන් ලංකාවට බොහෝ දුර යා හැකිව තිබුණි. 

හරිත විප්ලවය ගැන අපි අසා ඇත්තෙමු. මීට වසර 70 කට පමණ පෙර ලෝකයේ හරිත විප්ලවය ඇති වූයේ ආහාර හිඟයට මුහුණපෑමේ පිළියමක් ලෙසය. හෙක්ටයාරයකට ටොන් එකක් පමණ පැවැති මේ රටේ වී අස්වැන්න හරිත විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස හෙක්ටයාරයකට ටොන් 3 දක්වා ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබිණ. එහෙත් එතැනින් ඉදිරියට අපේ කෘෂිකාර්මික අංශය වර්ධනය කර ගැනීමට නොහැකි වූයේ හරිත විප්ලවයෙන් පසු ලෝකයේ එකතු වූ නව තාක්ෂණය අපේ රටට බද්ධ නොවීමෙනි. හරිත විප්ලවයෙන් පසු පරම්පරා 4ක කෘෂිකාර්මික තාක්ෂණයක් ලෝකයට එකතු වුවත් අපට එය අහිමි විය. 

මේ තත්වය මෙරට සමස්ත කෘෂිකර්මාන්තයට කළ බලපෑම සුළුපටු නොවේ. මේ තත්වය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එදා සිට මේ දක්වා දිගින් දිගටම රටේ නායකත්වයේ පැවැති ගැටලු‍ ය. කවුරු කුමක් කීවත් මේ වනතුරු කෘෂි ආර්ථිකය වර්ධනය වෙනුවෙන් ක්‍රියා කළ හරිහමන් නායකත්වයක් පැවැති බවක් පෙනෙන්නට නැත. මෙරට කෘෂිකර්මාන්තය නැංවීමට නම් මූලිකව දේශපාලනික වශයෙන් පුළුල් දැක්මක් අත්‍යවශ්‍ය වේ . ඒ පුළුල් දැක්ම අප අතර සිටි නායකයන් අතර දක්නට නොලැබිණ. ඩී.එස්. සේනානායක මහතා කෘෂිකර්මාන්තය නංවාලීමට යම් දායකත්වයක් ලබා දුන් නමුත් ඉන් පසු එය එපරිදි සිදු වූ බවක් පෙනෙන්නට නැත.

මෙරට කෘෂිකර්මාන්තය කඩා වැටීම ආරම්භ වූයේ එය සහනාධාර සංස්කෘතියක් දක්වා පර්වර්තනය වූ තැන් පටන් ය. එයින් නිර්මාණය වූයේ යැපුම් ආර්ථිකය කි. පොහොර මිටියක්, උදැල්ලක් සහනාධාර වශයෙන් ගොවියාට ලබා දී මෙරට ගොවියා පාලනය කරන තත්වයට කෘෂිකර්මාන්තය පත් විය. කෘෂිකර්මාන්තයේ ඛේදවාචකයට මුල් වූයේ පාලකයන් තම ඡන්දය ලබාගැනීමට මෙරට ගොවියා අතකොළුවක් සේ භාවිත කිරීමය. එතැන් සිට ගොවියා සහ දේශපාලනය අතර සම්බන්ධය සහනාධාර සංස්කෘතිය මත පදනම් විය. අවසානයේ මේ රටේ ගොවියා සහනාධාර මත යැපෙන්නකු බවට පත් විය. ගොවියා දැන් මේ මානසිකත්වයෙන් මුදාලීම අතිශය දුෂ්කර කාරණයක් බවට පත්ව තිබේ. ඒ හැරෙන්නට ගොවියාගේ හැකියාවන් වර්ධනය කරන්නට හෝ කෘෂිකර්මය සංවර්ධනය කරන්නට හෝ වැඩපිළිවෙළක් සකස් කිරීමේ සැබෑ උවමනාවක් මෙරට පාලකයන්ට තිබූ බවක් නොපෙනේ. මේ කියන යැපුම් මානසිකත්වය තුළ ගොවියාට ජීවත්වීමට සුදුසු ආර්ථිකයක් නිර්මාණය වූයේ ද නැත.  ආර්ථික ඉලක්ක වෙත යාමට නම් කෘෂි ආර්ථිකයේ නිෂ්පාදනය දෙගුණ කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම කළ යුතුමය. ලංකාවේ කෘෂිකාර්මික ආදායම ඩොලර් බිලියන 15-20 අතර මට්ටමට රැගෙන ඒමේ හැකියාව හොඳින්ම පවතී. රටේ සමස්ත ආර්ථිකය වැඩිකළ හැක්කේ කෘෂි ආදායම මේ මට්ටමට රැගෙන ආවොත් පමණි.

රටේ සමස්ත ජනතාවගෙන් සියයට 25 ක් පමණ කෘෂිකර්මාන්තයට ඍජුව සම්බන්ධ වී සිටිති. එසේම සියයට 60ක් වක්‍රව ඊට සම්බන්ධ වෙති. එපමණ පිරිසක් කෘෂි ක්ෂේත්‍රය නියෝජනය කරන්නේ නම් ආර්ථිකයේ වැඩි බරක් මේ දෙසට යොමු වේ. මූලිකව වැඩි ප්‍රතිලාභයක් එයින් ලැබිය හැක්කේ තාක්ෂණය නිසි පරිදි යොදාගැනීමෙනි. එසේනම් අප මූලිකව කළ යුත්තේ හරිත විප්ලවයෙන් පසු අපට අහිමි වූ පරම්පරා හතරක තාක්ෂණය දැන්වත් මේ රටට රැගෙන ඒමයි. එම තාක්ෂණය කෙරෙහි ගොවි ජනතාවගේ විශ්වාසය ඇති කිරීමයි.

අස්වනු නෙළන කාලවකවානු පිළිබද මනා සැලැස්මක් අනුව වගා කටයුතු කිරීම කෙරෙහි ලෝකයේ බොහෝ රටවල අවධානය යොමුවී තිබේ. එය නිෂ්පාදනය වැඩි කර ගැනීමට බලපාන මූලික කාරණයකි. එහෙත් අප තවමත් ක්‍රියාවට නංවන්නේ පරාක්‍රමබාහු යුගයේ සැලසුම් ය. මුළු ලෝකයම මේ වන විට දේශගුණ විපර්යාස ගැන කතා කරන බව පෙනේ. ඊට සාර්ථකව මුහුණදීමට නම් අපි නව තාක්ෂණයට පිවිසිය යුතු වෙමු.

 කෘෂිකර්මාන්තය යනු ජානමය, දේශගුණික හා පාරිසරික අංශ එකිනෙකට ගැට ගැසීමක් බව මුලින් කීවෙමි. මෙම කාරණා එකිනෙකට බද්ධ කිරීමේ දී රසායනික තෙල් පොහොර භාවිතය පිළිබඳව ද යමක් ප්‍රකාශ කළ යුතු ය. අඩුම තරමේ රටට අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණයවත් රට තුළම නිපදවා ගැනීමට උත්සාහයක් ඇති බවක් නොපෙනේ. එප්පාවල ෆොස්පරස් නිධිය වසර 500කට වඩා සම්පත් ලබාගත හැකි එකකි. කාබනික පොහොර කෘෂිකර්මාන්තයට යොදාගැනීම සම්බන්ධව රජයේ අවධානය යොමුවීම මෑත කාලයේ දේශපාලනයේ ප්‍රධාන සිද්ධියක් විය. එය ආර්ථික, දේශපාලනික වශයෙන් අර්බුදයක් නිර්මාණයවීමට ද බලපෑ කාරණයකි. කෙසේ වුවත් සියයට සියයක්ම කාබනිකකරණය කිරීමෙන් හෝ කාබනික පොහොර යෙදීම සඳහා ක්ෂණික පියවර ගැනීමෙන්  කෘෂිකාර්මික අර්බුදය තවත් වර්ධනය වනවා මිස එයින් විසඳුම් සෙවිය නොහැකිය. ඕස්ට්‍රේලියාවේ සමස්ත කෘෂිකර්මාන්තයෙන් කාබනිකකරණය කර ඇත්තේ සියයට තුනක ප්‍රමාණයකි. ලංකාව වැනි රටක මේ කාලයේ සම්පූර්ණයෙන් කාබනිකකරණයට යාමට කිසිම විභවතාවක් නැත. ආණ්ඩුව කාබනික පොහොර යෝජනාව ගෙනා අවස්ථාවේ දී ද එහි අවදානම අපි පෙන්වා දුන්නෙමු. එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට ඍජුවම මේ කාරණා අවධානයට යොමු කළෙමු. එය නො පිළිගැනීම නිසා සිදු වූ හානිය අපි තවමත් අත්විඳිමින් සිටිමු. ඒ අවස්ථාවේ නිවැරැදි තීරණය ගත්තා නම් මෙබදු අර්බුදයක් ඇතිවන්නේ නැත.

ලංකාවේ භූමිය තුළ වසර 50 ක පමණ කාලයක් තුළ කාබනික ද්‍රව්‍ය පසට එක් කර නැත. පස ක්‍රමිකව සරුවීමට නම් අඩුම වශයෙන් වසර දෙක තුනකට වතාවක්වත් කාබනික ද්‍රව්‍ය පසට එක් කළ යුතු වේ. එය දීර්ඝකාලීන සැලැස්මක් අනුව කළ යුත්තක් මිස ක්ෂණික තීරණ අනුව කළ හැක්කක් නොවේ. කෙසේ වෙතත් කෘෂිකර්මාන්තයෙන්  සියයට 20ක ප්‍රමාණයක්වත් කාබනිකකරණය කිරීම වැදගත් වේ.

මෙරට කෘෂිකාර්මික ඉලක්ක නිසි ලෙස සපුරා ගැනීමට නොහැකි තවත් ගැටලු‍වක් වන්නේ ගොවියන්ගේ නිසි කළමනාකරණයක් නොමැතිවීමයි. නිසි කළමනාකරණයක් සඳහා ඔවුන්ට මගපෙන්වීමේ වැඩපිළිවෙළක් නොමැතිවීම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. විශේෂයෙන්ම ගොවියන් අතර බරපතළ ලෙස රසායනික තෙල්, පොහොර අවභාවිතයක් දැකිය හැකිය. එය එසේ වීමට ඉඩ නොදිය යුතු තත්වයකි. අස්වැන්නට පවා ඇතැම් ගොවීන් රසායනික පොහොර යොදන බව පෙනේ. මේ සඳහා කෘෂිකර්ම  ප්‍රතිපත්ති ක්‍රමවේද නීත්‍යනුකූලව නොගෙනාවොත් තත්වය තවදුරටත් ව්‍යාප්ත වනු ඇත. මීටත් අමතරව ආහාර සුරක්ෂිතතාව, පෝෂණ සුරක්ෂිතතාව, අස්වනු කළමනාකරණය, පසු අස්වනු හානිය වැළැක්වීම වැනි කරුණු කෙරෙහි මීට වඩා වැඩි අවධානයක් යොමුවීමේ අවශ්‍යතාව පවතී.

මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට නම් මූලිකව පැහැදිලි දැක්මක් සහිත දේශපාලන නායකත්වයක් සහ ආයතන නායකත්වයක් අත්‍යවශ්‍ය වේ. කෘෂිකර්මය පාසල ඇතුළු සෑම ආයතනයක් තුළම ජනප්‍රිය කිරීම ඊට උනන්දුවක් ඇති කිරීම ඉතාම වැදගත්ය. කළ යුත්තේ කෘෂිකර්මාන්තයේ යෙදෙන තරුණ තරුණියන්ට වෘත්තීය ගෞරවයක් ඇති කෙරෙන පසුබිමක් නිර්මාණය කිරීමය. එම තත්වයට කෘෂිකර්මාන්තය රැගෙන ඒමට නම් ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමත් නව තාක්ෂණය භාවිත කිරීමත් අවශ්‍ය වේ. රටේ ශ්‍රම බලකායෙන් නිසි ප්‍රයෝජනයක් ලබාගැනීමට එයින් හැකිවනු ඇත. පත් වන ආණ්ඩුව කුමක් වුවත් කෘෂිකර්මය පෙරදැරි කරගත් නිසි  දේශපාලන නායකත්වයක් හා ආයතන නායකත්වයක් ඇති නොවුණහොත් අනාගතයේදීත් අපට සිදුවන්නේ තව දුරටත් පසුතැවිලිවීමට ය. ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් ද ඡන්දදායකයන් ද මේ සම්බන්ධ පැහැදිලි අවබෝධයකින් යුතුව කටයුතු කිරීම මේ වෙලාවේ ඉතාම වැදගත් ය.

 

(*** සටහන – ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

කෘෂිකර්මයට නව දැක්මක අවශ්‍යතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 321 0

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 70 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 195 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 376 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 84 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 64 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 303 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 439 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 946 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site