ලෝක ඉතිහාසයේ ගවේෂකයන්ට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. රාජකාරිය නිසා හෝ, ත්‍රාසය සෙවීමේ පිපාසය නිසා හෝ, එකිනෙකා අතර තරගය නිසා හෝ, ඔවුන් කළ ගවේෂණ නොවන්නට ලොව රටවල් එකිනෙකාගෙන් හුදෙකලා වන්නට හොඳින්ම ඉඩ තිබිණ. ඉහත කී කුමන හෝ හේතුවක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ වේවා ගවේෂකයන් ඔවුන්ගේ ගමනෙහි යෙදුණේ දිවි පරදුවට තබාය. සාර්ථකව ගවේෂණය නිමා කොට නැවත මව් රට පැමිණියෝ වෙත් නම් ඒ අතළොස්සකි. බහුතරය ඔවුන් තරණය කරන්නට වෑයම් කළ සයුර මතම ජීවිතයේ අවසානය සනිටුහන් කළෝ වෙති.
මෙම ලිපි පෙළ වෙන්වන්නේ එසේ ගවේෂණයේ යෙදුණවුන්ගේ ගවේෂණ සටහන් ඔබ වෙත ගෙන එන්නටය. ආරම්භයක් ලෙස ලොව පළමු ගවේෂකයා ගැන සටහන් තැබීම සුදුසු වුවත් අද ලිපිය සහ එළැඹෙන සති කිහිපයේ ලිපි වෙන්වන්නේ ගවේෂකයන් අතරින් ප්‍රමුඛ ස්ථානයෙහිලා සැලකෙන ෆර්ඩිනැන්ඞ් මැගලන් ගේ ගවේෂණ තොරතුරුවලටය.
මැගලන් උපන්නේ 1480 වර්ෂයේ පෘතුගාලයේදීය. මෙය ගවේෂණය පිළිබඳ ලොව බලවත් යැයි එවක සැලැකුණු ස්පාඤ්ඤය, පෘතුගාලය, ඕලන්දය වැනි රටවල දැඩි අවධානය යොමුව තිබූ සමයකි. පාලකයෝ තරගයට මෙන් නව දේශයන් සොයා යාමට අනුබල දුන්හ. සොයා ගත් අලුත් දේශයන් තමන්ගේ යැයි කියා සිටියහ. කෙනෙකු අත්පත් කරගත් නව භූමියකට තවත් කෙනෙකු ළං වීම පවා යුද්ධයකට අත වනන්නක් විය.
සමාජයේ උසස් යැයි සැලකුණු පවුලකට දාව උපත ලද නිසා මැගලන්ගේ ළමා විය නිදහසේ ගෙවී ගියේය. අනෙක් ළමුන් හා සමග කෙළි සෙල්ලමේද, මව්පියන්ගේ පෙරැත්තය නිසා අධ්‍යාපන කටයුතුවලද, ඔහු යෙදුණේය. නමුත් මේ සියල්ල පැරදු ආසාවක් මැගලන්ට විය. අවස්ථාව ලද සෑම විටකම වෙරළ වෙත දිව ගිය ඔහු කෙදිනක හෝ නෞකාවක නැගී සයුරු තරණයේ යෙදෙන්නට සිහින මැව්වේය.
නමුත් මේ සැහැල්ලු බව කෙටි කලකට සීමා විය. මැගලන්ගේ මව්පියන් ඔහු කුඩා සමයේදීම මිය ගිය අතර මෙයත් සමග ඔහුගේ භාරකාරීත්වය පැවරුණේ නෑසියන්ටය. අතට පයට සියලු සැපසම්පත් ඇතිව සිටි කාලය නිමාව දුටුවේය. තරුණ වියට එළැඹි වහාම මැගලන්ටද ජීවිත අරගලයට එක් වන්නට සිදුවිය.
නමුත් මේ දුෂ්කර සමය කුඩා කල ඔහුට තිබූ සිහිනය සැබෑ කරගන්නට කදිම අවස්ථාවක් විය. ඉන්දියාව බලා යන පෘතුගීසි නෞකා සමූහයකින් එක් නෞකාවක සුළු සේවකයකු ලෙස සේවයට එක් වන්නට ඔහුට වාසනාව තිබිණ. එදවස නෞකාවක සුළු සේවකයකු යනු විශාල වැඩකොටසක්, කිසිදු ප්‍රශංසාවක් හෝ දිරිමත් කිරීමක් හෝ නොලබා ඉටුකළ යුතු පුද්ගලයෙකි. නමුත් සයුරු තරණයේ යෙදෙන්නට මැගලන්ට තිබූ ආශාව සියල්ල පරදා නැගී තිබිණ. ඒ නිසා දෙවරක් නොසිතා ලැබුණු වාසනාව උරගා බලන්නට ඔහු කටයුතු කළේය.
ඉන්දීය ගමන වැඩි කරදරයකින් තොරව නිමාව දුටු අතර මාස කිහිපයක් එරට ප්‍රාන්ත කිහිපයක ගත කර මැගලන් නැවතත් පෘතුගාලයට පැමිණියේය. සුළු සේවකයකු ලෙස සේවයට එක්වුවද පෘතුගාලයට නැවත පැමිණෙන විට ඔහු නෞකා සහ සයුරු තරණය ගැන සැලකිය යුතු දැනුමක් එක් කර ගෙන තිබිණ. තවත් කෙනෙකු යටතේ නොව තමන්ගේම යැයි නෞකාවක් මෙහෙයවීමේ පිපාසයකින් ඔහු පෙළුණේය.
පෘතුගාලය යනු මෙසමයෙහි දේශ ගවේෂණයේ කෙළ පැමිණි රටක් විය. අභිනවයෙන් සොයාගත් නව දේශයන් රැසක් පෘතුගාල පාලනය යටතේ තිබිණ. ධනයට හා බලයට මනුෂ්‍යයාගේ ඇති උමතුව කිසිදා නිමා නොවන බව මනාව පසක් කර දෙමින් පෘතුගාල පාලකයන්ටද වුවමනා වූයේ තව තවත් නව දේශයන් සොයා ගැනීමටය. ඒ ඔස්සේ ධනවත් සහ බලවත් වන්නට නව මාර්ග සොයාගැනීමටය. මෙය තම වාසියට හරවා ගැනීමට සිතූ මැගලන්, කුළුබඩු දූපත් (ස්පයිස් අයිලන්ඞ්ස්) ලෙස නම් කර තිබූ ඉන්දුනීසියා දුූපත් සමූහයකට යා හැකි නව මුහුදු මාර්ගයක් සොයාගනු වස් ගවේෂණයේ යෙදීමට අවස්ථාවක් ලබාදෙන ලෙස පෘතුගාල පාලකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ස්පයිස් අයිලන්ඞ්ස් වෙත යන ගමන අතිශයින් දුෂ්කර වූ අතර එවක සොයාගෙන තිබූ මුහුදු මාර්ගයට අනුව ඉන්දුනීසියාව කරා ළඟා විය යුතුව තිබුණේ යුරෝපයේ සිට අප්‍රිකාවටත්, එතැන් සිට ඉන්දියාවටත්, අනතුරුව නැගෙනහිර ආසියා කලාපයටත්, අවසානයේ ඉන්දුනීසියාව සහ ස්පයිස් දුපත්වලටත් ලෙසය. නැඟෙනහිර දිග මුහුදු මාර්ගය ලෙස මෙය නම් කර තිබිණ. මෙම මාර්ගයේ ගමන් ගන්නා නෞකා නැවත සියරට පැමිණීමක් සිදුවූවේ නම් ඒ ඉතාම සුළු ගණනක් විය. බොහෝමයක් නෞකා සයුරේම අවසන් ගමන් ගියේය.
ස්පයිස් දූපත් නමේ අරුතින්ම කුළු බඩු ආශ්‍රිත වගාවන්ගෙන් පොහොසත් වූ අතර ඒවායේ හිමිකාරීත්වය දැරූ ස්පාඤ්ඤය හා පෘතුගාලය වැනි රටවල් එම වගාවන් විකුණා ඉහළ මුදලක් උපයා ගනිමින් සිටියේය. එම ඒකාධිකාරය වෙනත් රටවල් වෙත ලබාදෙන්නට ඔවුහු අකමැති වූහ. ලාභය ඉහළ නංවා ගත හැකි මාර්ග ගැන ඔවුහු නිරන්තර අවධානයෙන් සිටියහ.
ස්පයිස් දූපත් වෙත ළගා වීමට බටහිර දිග මුහුදු මාර්ගයකින් බැරි වේදෝයි කසු කුසුවක් මේ කාලයේ ඇතිව තිබිණ. ලෝකය ගෝලාකාර බව බොහෝ දෙනා, විශේෂයෙන් සයුරු තරණයේ යෙදුණු නැවියෝ හොඳින්ම දැන සිටියෝය. නැගෙනහිර දිග මාර්ගයකින් ස්පයිස් දුූපත් වලට ළඟා විය හැකි නම් බටහිර දිග මාර්ගයකින්ද එය කළ හැකි නොවේද? මෙයට පිළිතුරු සෙවීමට තිබූ එකම මාර්ගය වූයේ බටහිර දිග මුහුදු මාර්ගයක් සොයා ගවේෂණයක නිරත වීමය. නමුත් බොහෝ දෙනා ඊට බිය වූහ. මේ දක්වා කිසිවෙක් නොගිය, නුදුටු පෙදෙසක සයුරු තරණයේ යෙදීමේ අවදානම භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ.
ගවේෂණ පිපාසයකින් සිටි මැගලන් මේ අභියෝගය භාර ගැනීමට කැමැති විය. සැලැස්මක්ද සකස් කරගත් හෙතෙම පෘතුගාලයේ පාලක පළමුවන මැනුවෙල් රජු වෙත ගියේය. රජුට මැගලන් ගැන එතරම් ප්‍රසාදයක් නොතිබිණ. පෘතුගාලයට රහසේ වෙනත් රටවල් හා ගනුදෙනුවල යෙදුණේ යැයි චෝදනා මැගලන්ට එරෙහිව නැගී තිබූ අතර රජුගේ උපදේශකයෝ ගින්න තවත් අවුළුවා තිබිණ. මේ චෝදනා සාවද්‍ය බව පසු කාලයක ඔප්පු විය.
මැගලන් -- රජ තුමනි, මෙන්න. මට පුළුවන් බටහිර දිග මුහුදු මාර්ගයකින් ඉන්දුනීසියා දූපත් වෙත යන්න මාර්ගයක් හොයාගන්න. මේ දේවල් ටික දුන්නොත් මට අදම වුණත් වැඩ පටන් ගන්න හැකියි.
රජු -- (ඉදිරිපත් කළ සැලැස්ම කියවා බලමින්), හ්ම්ම්.. ඒක නෙවෙයි. තමුන්ට නැගෙන චෝදනාවලට මොනවද තියෙන උත්තර?
මැගලන් -- රජතුමනි ඒ ගැන කාලය නාස්ති කරන්න වේලාවක් නෙවෙයි මේක. ඔය චෝදනා ඔක්කොම බොරු. ඔප්පු වේවි නියම වෙලාවට. අපි දැන් මේ වැඬේ ප්‍රමාද කරනවා කියන්නේ ස්පාඤ්ඤය අපිට ඉස්සර වෙනවා කියන එක...
රජු -- ඔහේ හිතනවාද ඔය වගේ චෝදනා නැගිලා තියෙන කොට මේ ඉල්ලලා තියෙනවා වගේ නැව්, කපිතාන්ලා, සේවකයන් ඒ මදිවට කෑම බීම, ඔක්කොම නිකම් දේවි කියලා. නැහැ. ඉස්සෙල්ලාම නම පිරිසිදු කරගෙන එන්න. ඊට පස්සේ අපි බලමු මොනවාද කරන්න පුළුවන් කියලා. දැන් යන්න පුළුවන්.
මැගලන් අතිශයින් කෝපයට පත්වූ බව අමුතුවෙන් කිව යුතු නැත. සිහිනය සැබෑ කරගන්නටත්, ඒ අතරවාරයේම රටටත් සේවයක් කරන්නටත් තිබූ වුවමනාව ඉටු කරගන්නට පෘතුගාලයෙන් අවස්ථාවක් නොලැබෙන බව ඔහුට පසක් විය. මේ සියල්ල විමසා බැලූ. ඔහු අවසානයේ තීරණයක් ගත්තේය.
“මෙහෙ ඉඳලා හරියන්නේ නැහැ. මාව වුවමනා නැතිනම් මම යනවා ස්පාඤ්ඤයට. මගේ ඉල්ලීමට ඒ අය ඇහුම්කන් දේවි කියා මම හිතනවා.”
මැගලන් තම මිතුරු පිරිසක් හා කීවේය. ස්පාඤ්ඤයේ පාලකයන් සමග සමීප සබඳතා පවත්වාගෙන යමින් සිටි මිතුරෙකුද ඔහුට විය. මැගලන්ගේ අවශ්‍යතාව සහ ස්පාඤ්ඤ පාලකයින්ගේ වුවමනා එපාකම් මනාව ගැළපිය හැකි බව ඔහු වටහා ගත්තේය.
“මම හොයලා බලන්නම් වැඬේ කොහොමද කරන්නේ කියලා. හැබැයි ටිකක් කල් වුවමනායි. ඒ අතරේ ඔය සැලැස්ම තව ටිකක් මට්ටම් කරගන්න බලන්න. වැඬේ කරගන්න ඔයාව වුවමනාම වෙන තැනටම ඔය සැලැස්ම දියුණු කරන්න.
“හරියයි නේද වැඬේ?”
“සියයට සියයක්ම විශ්වාසයක් තියා ගන්නත් එපා. ඒත් විශ්වාසය නැති කරගන්නත් එපා. මම දන්නවා අපේ කට්ටියට අලුත් මුහුදු මාර්ගයක් හොයාගන්න ලොකු වුවමනාවක් තියෙනවා කියලා. පෘතුගීසි කට්ටිය ටිකෙන් ටික මුහුදයි, ගොඩබිමයි අල්ලා ගන්න එක ගැන ඒ අයගේ කිසිම මනාපයක් නැහැ. ඒ හින්දා ඉවසන්න. මම කතා කරලා බලලා කියන්නම්.”
දෙදෙනා අතර සංවාදය මෙතෙකින් නිමා විය. මිතුරා නැවත ස්පාඤ්ඤය බලා ගිය අතර මැගලන් පෘතුගාලයේ නැවතී තම ගවේෂණ සැලැස්ම දියුණු කිරීමෙහි නිරත විය.
මාස කිහිපයක් ගතවිය. මැගලන්ගේ කාමරයේ කසළ බඳුන ගුලි කරන ලද කොළ කැබලිවලින් කට ළඟටම පිරී ගොස්ය. එය අස්පස් කිරීමට පවා වුමනාවක් ඔහුට නොතිබිණ. ‘බෑ’ කියන්නට බැරි වන තැනට තම සැලැස්ම සකස් කිරීමේ අරමුණක් ඔහුට තිබිණ. එනිසා ලියන සියල්ල නැවත නැවත කටු ගාමින් ඔහු වැඩෙහි යෙදුණේය. සියයට සියයක් සෑහීමකට පත්විය හැකි සැලැස්මක් සකස් වන තෙක් ඔහු උත්සාහය අත් නොහළේය.
අවසන එය නිමාව දුටුවේය. මනාව සැලැසුම් කරන ලද ගවේෂණ සැලැස්මක් ඔහු සතුවිය. දැන් තිබෙන්නේ මිතුරාගේ පණිවුඩය ලැබෙන තෙක් සිටීමය. මැගලන් නොඉවසිල්ලෙන් පසුවිය.
දිනක්
දොරට තට්ටු කරන හඬක් ඇසුණි.
“කවුද ඔය”
“මේ මම. අඳුන ගන්න බැරිද. දොර අරින්න. මට දෙයක් තියෙනවා කියන්න.”
මැගලන් කඩිමුඩියේ දිව ගොස් දොර විවෘත කළේය. එතැන සිටියේ ස්පාඤ්ඤය බලා ගිය ඔහුගේ මිතුරාය.
“කොහොමද, කොහොමද මගේ වැඬේ.”
“ඒ කියන්න ඉස්සෙල්ලා පොඞ්ඩක් මට ගේ ඇතුළට එන්න දෙන්න. මහන්සියි. මම ඊට පස්සේ කියන්නම් මොනවාද වුණේ කියලා.”
මිතුරා පවසන්නට ඇත්තේ කුමක්ද? මැගලන්ගේ සිහිනය සැබෑ වනු ඇතිද ? ලබන සතියේ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුළුබඩු දූපත් සොයා මැගලන් ගිය ගමන
දමයන්ති පිරිස් Tuesday, 09 August 2016 04:54 AM
ඉතාමත් හොඳ ලිපියක් (ම)
චමිල් Monday, 08 August 2016 07:12 AM
නියම ලිපියක්. ඉතුරු ටික ඉක්මනට දාන්න (නි)
චමිල් Monday, 15 August 2016 10:35 AM
ඉක්මනට ඉතුරු කොටස පලකරන්න ස්තුතියි (බ)
Chamod Monday, 09 August 2021 10:40 AM
සුපර්