අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දින සැමරුම සහ ජාතික පිරිවෙන් දිනය අදට (19) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
අපිස් සතොස් යනාදී ගුණාංගවලින් පිරිපුන් සීල ගුණයෙන් සුගන්ධවත් වූ කාරුණික ගුණයෙන් මෘදු වූ සිත් ඇති මහා භාග්‍යසම්පන්න වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ අකලංක පවිත්‍ර චරිතාපදානය ගිහි පැවිදි සැමගේ ආත්ම සංයමය පිණිස හේතු වන්නේම ය. වර්තමාන සිංහල ඉතිහාසයෙහි ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයෙන් අනුස්මරණය කළ හැකි ප්‍රධාන ශ්‍රී නාමය වන්නේය. උන්වහන්සේ 18 වැනි සියවසේ ශ්‍රී ලංකාද්වීපයෙහි සංජාත බෝධිසත්වවරයකු සේ පිළිගත හැකිය. ලංකා ඉතිහාසයේ දුර්දසාපන්න අඳුරු කාල පරිච්ඡේදයක ජන්මලාභය ලැබ පිරිහී ගිය ශාසනික තත්ත්වය, භික්ෂු අධ්‍යාපනය හා ධර්ම ශාස්ත්‍රීය කටයුතු සමග භාෂා සාහිත්‍ය ව්‍යාපාරයන් යථා තත්ත්වයට පත් කළ සංඝරාජ මාහිමියෝ ලක්දිව සුවඳවත් කළ අසහාය යුග පුරුෂයාණ කෙනෙක් වූහ.
18 වැනි සියවසේදී ශ්‍රී ලංකාවේ ශාසනික, ජාතික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික තත්ත්වය අන්ත පරිහානිකර තත්ත්වයකට පත්ව තිබුණේ මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි-ලන්දේසි ආධිපත්‍යයට නතුවීම, නිරන්තර යුද කෝලාහල හා ඒ නිසාම වූ ආර්ථික පරිහානිය, මිෂනාරි ව්‍යාපාර යනාදී කරුණු නිසාය. මේ නිසාම භික්ෂු සමාජයද අන්ත පරිහානිකර තත්ත්වයකට පත්ව තිබුණි.
ශාසනික විනය කර්මයකට උපසම්පදා භික්ෂූන් වහන්සේලා සිව්නමක් වත් සොයාගත නොහැකි තත්ත්වයකට භික්ෂු සමාජය හිස්ව පැවතුණි. සංඝරාජ සාධු චරියාව හා සඟරජවත යන ග්‍රන්ථවලින් පෙනෙන පරිදි එකල විහාර සන්තක ඉඩකඩම් පරිහරණය කරමින් සිටියෝ ගණින්නාන්සේලා නම් වූහ. ඔවුහු ශ්‍රමණ සාරුප්‍ය පැවතුම්වලින් බැහැරව දිවි ගෙවූහ.
මෙවන් පරිසරයක මධ්‍යම පළාතේ, බටහිරින් සුපිහිටි තුම්පනේ කඳුවලින් වට වූ බලකොටුවක් වැනි සරුසාර කෙත්වතුවලින් පිරිපුන් වැලිවිට ග්‍රාමයේදී වර්ෂ 1698 ජුනි මස 19 වැනිදා සරණංකර මාහියෝ උපත ලදහ. කුඩා කල සිටම නිති පන්සිල් පොහොය අට සිල් රකිමින් ඉතා ධාර්මික ජීවිතයකට හුරු පුරුදු වූ කුලතුංග කුල කුමරු සොළොස් හැවිරිදි වියේදී සූරියගොඩ විහාරයේදී සූරියගොඩ සාමණේරයන් වහන්සේ වෙතින් සරණංකර නමින් උතුම් වූ ප්‍රවුජ්‍යාභාවයට පත් වූ බව සංඝරාජ සාධු චරියාවෙහි දැක්වෙයි. සැහැල්ලු ගති පැවතුම් නිසාත් පිණ්ඩපාත චර්යාව නිසාත් ‘පිණ්ඩපාතික වැලිවිට සරණංකර’ යන නමින් උන්වහන්සේ වඩාත් ප්‍රකට වූහ.
සරණංකර සාමණේරයන් වහන්සේ මනා භික්ෂු ප්‍රතිපත්ති ඔස්සේ ගුණ නුවණින් වැඩෙත්ම මෙකල භික්ෂු ප්‍රතිරූපකයන් විනා සැබෑ සිල්වත් භික්ෂූන් වහන්සේලා නොමැති බව මනාව වටහා ගත්හ. මෙම තත්ත්වයෙන් සම්බුද්ධ ශාසනයත්, රටත් මුදවාගෙන යළි ශාසනික ප්‍රබෝධයක් ඇති කරලීමේ පරම පවිත්‍ර අපේක්ෂාවෙන් යුක්තව ඒ හා අදාළව ගත යුතු ක්‍රියාමාර්ග වෙත යොමු වූයේ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තවය. උන්වහන්සේට ප්‍රථමයෙන්ම අවශ්‍ය වූයේ ධර්මය ඉතා නිවැරදිව තේරුම් ගැනීමටය. ඒ සඳහා පාලි භාෂාව ඉගෙනීමේ අවශ්‍යතාව තේරුම් ගත් හෙයින් එය සපුරා ගැනීමට ආචාර්යවරුන් දෙදෙනකු වෙත යාමට සිදුවිය. පාලි ව්‍යාකරණය පිළිබඳ ලබාගත් මූලික දැනුම පාදක කර ගනිමින් එය තවදුරටත් දියුණු කරගෙන ස්වෝත්සාහයෙන්ම ධර්ම විනය හා භාෂා ශාස්ත්‍රය මැනවින් උගත්තේය. සරණංකර හෙරණපාණන් වහන්සේගේ ඊළඟ අභිප්‍රාය වූයේ තමා උගත් ධර්ම විනය උපයෝගී කර ගනිමින් භික්ෂුව නිවැරදි ප්‍රතිපත්ති මාර්ගයට යොමු කිරීමය. ඒ සඳහා භික්ෂූන් වහන්සේ දැනුවත් කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිසක් උන්වහන්සේ වටා එක් රැස් වූහ. බොහෝ කුල දරුවෝ ගිහි ගෙය හැරපියා උන්වහන්සේ වෙත අවුත් පැවිදි බව ලබා වත් පිළිවෙත් පුරන්නට වූහ. මෙසේ වැලිවිට හෙරණපාණන් වහන්සේ ඇසුරෙහි සිල් රකින වත් පිළිවෙත් පුරන පිරිස සිල්වත් සමාගම, සිල්වත් තැන යන නමින් හැඳින්වීය. ඒ සිල්වත් පිරිසට නොයෙක් අයුරින් නින්දා අපහාස කළෝ ‘වැලිවිට උන්නාන්සේගේ සමාගම’ යන නාමය ද පටබඳිමින් අවඥාවට ලක් කළහ. එසේ සිදු කළේ ප්‍රතිපත්ති අතින් පිරිහී සිටි ගණින්නාන්සේලා, අන්‍ය ආගමිකයන් හා දුර්මතධාරී බෞද්ධයන්ය.
මේ එක ද බලවේගයක් හමුවේ නොසැලුණු උන්වහන්සේගේ ඊළඟ අරමුණ වූයේ උපසම්පන්න භික්ෂූන් වහන්සේලාගෙන් හිස්ව තිබූ ශ්‍රී ලංකාවේ නැවත වරක් උපසම්පදාව පිහිටුවීමය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හා ශ්‍රී විජය රාජසිංහ යන රජුගේ සහායෙන් බුරුමය හා සියම යන රටවලින් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා වැඩමවා ගැනීමට දැරූ පළමු උත්සාහය අසාර්ථක විය. එහෙත් සරණංකර සාමණේරයෝ වහන්සේ ඉන් අධෛර්යමත් නොවූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සහාය ලබාගෙන නැවත ද සය දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් ලන්දේසීන් විසින් සපයා දෙන ලද නැවකින් සියමට යැවූහ. මෙම දූත චාරිකාවෙහි ප්‍රතිඵලයක් ලෙස උපාලි මහ තෙරුන් වහන්සේ ප්‍රධාන මහතෙරුන් වහන්සේලා 18 නමක් ද සාමණේරයන් වහන්සේලා 7 නමක් ද ලක්දිවට වැඩම කළහ. වර්ෂ 1753 ජූනි 15 වැනි දිනට යෙදුණු ඇසළ පුර පසළොස්වක පොහෝ දින මහනුවර මල්වතු මහා විහාරයේ විසුංගාම සීමාවේදී ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කෙරිණි. මෙය වර්තමාන ස්‍යාමෝපාලි (සියම් උපාලි) මහා නිකායේ සමාරම්භක අවස්ථාවය.
ඉත් දුක්ඛදායක පරිසරයක සිට මහත් ආයාසයෙන් ස්වකීය යෞවන වියේදී ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කළ සරණංකර සඟරජ මාහිමියෝ එකී අධ්‍යාපන රටාවෙහි වටිනාකම අත්දැකීමෙන්ම දත් හෙයින් පරිහානිකර තත්ත්වයකට පත්ව තිබූ ධර්ම ශාස්ත්‍රීය හා සාහිත්‍ය කටයුතු නගා සිටුවීමට නොපැකිලිව ක්‍රියා කළහ. ග්‍රන්ථකරණයෙහි නියැලීම, විද්‍යා පීඨ/ ශාස්ත්‍රශාලා ආරම්භ කිරීම, විද්වත් ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම හා පැරණි පොත්පත් ලියන්නන් ලවා පිටපත් කරවීම යනාදී ක්‍රියාමාර්ග කිහිපයක් ඔස්සේ එම සේවාවන් ව්‍යාප්ත කළහ.
සරණංකර මාහිමි ලක්දිව සංඝරාජ ධුරයට පත්කළ බව දන්වමින් කිර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් එම පදවිය සංකේතවත් කරන විජිනිපත පිළිගන්වන ලදී. සංඝරාජ පදවියෙන් පූජිත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියෝ “උඩඟු නොව මහණ, උඩඟු නොව මහණ, උඩඟු නොව මහණ” යනුවෙන් තෙවරක් තල්පතක සටහන් කොට තැබූහ. මෙවැනි ශ්‍රේෂ්ඨ පදවියකින් පවා මානය, අහංකාරය වැනි පහත් සිතුවිලි මාත්‍රයක්වත් ඉපදීම නොරිස්සූ බව මේ සිද්ධියෙන් මනාව පැහැදිලිය.
මෙසේ 18 වැනි සියවසේ ලක්දිව පහළ වූ බෝධිසත්ත්වවරයකු සේ පිළිගත හැකි සංඝරාජ මාහිමියන්ගේ සේවාවන් මහනුවර යුගයට පමණක් සීමා නොවූ අතර එහි ආලෝකය නූතන යුගය දක්වාත්, අනාගතය පුරාවටත් පැතිර පවතියි.
සංඝරාජ මාහිමියන්ගේ ජන්ම දිනය යෙදෙන මේ මස 19 වැනිදා ජාතික පිරිවෙන් දිනය ලෙස නම්කොට තිබීම උන්වහන්සේට සිදුකළ ඉහළම පූජෝපහාරයකි.
මෙවර කොවිඩ්-19 වසංගත රෝගී පරිසරය සැලකිල්ලට ගෙන මාර්ගගත (Online) ක්‍රමවේදයන් ඔස්සේ ගුණානුස්මරණ දේශන දිවයින පුරා පිරිවෙන් තුළ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව පියවර ගෙන තිබේ.
(***)
(ඌරුගමුවේ අස්සජි හිමි )
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුණ නැණ බෙලෙන් සිරිලක එකලු කළ වැලිවිට සඟරජ මාහිමියෝ
දුසන්ත යග්ගහවිට මාතර Sunday, 20 June 2021 04:28 AM
මෙවැනි බුදු පුතුන් ඡාතියට නැවත හඳුන්වාදීම උතුම් පිංකමකි...
Raveendra Sunday, 20 June 2021 06:50 AM
අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ පිළිබඳව අප නොදත් බොහෝ කරුණු කාරණා සඳහන් කිරීම පිළිබඳව ඌරුගමුවේ අස්සජි හිමියන්ට අප නමස්කාරපූර්වකව ස්තූතිවන්ත වන්නෙමු.