ඒකාබද්ධ විපක්‍ෂය තුළ ඔහුගේ කාර්යභාරය කුමක්ද? එජාපයේ කොන්ත්‍රාත්තුවක් අනුව ඔහු ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කරන්නේද? ඔහු කුමන්ත්‍රණකරුවෙක්ද? මේ ප්‍රශ්නවලට අපි ඔහුගෙන් උත්තර විමසුවෙමු. ඔහු හිටපු අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතාය. මේ අපගේ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරුය.
ප්‍රශ්නය : කොහොමද කිරුළපන මැයි රැලිය?
පිළිතුර : ඒක අතිසාර්ථක මැයි රැලියක්. එහෙම කියන්නේ... මෙවර හුඟ කාලයකට පස්සේ... ආණ්ඩුවක් තුළ ඉඳගෙන ජයග්‍රාහීව මැයි දින පවත්වලා... මෙවර විපක්‍ෂයේ ඉඳගෙන කරපු මැයි දිනය. ඒ විදියට බැලුවම අතිසාර්ථකයි. අනික් කාරණය තමයි සංවිධානයක ඉහළම මැදිහත්වීම ඉතාම අඩුවෙන් සිද්ධ වෙලා ගමේ ජන බලවේග කුළුගැන්විලා ස්වේච්ඡාවෙන් සම්බන්ධවුණු මැයි රැලියක් මේක. මීට ඉස්සර මැයි දිනයක් කියනකොට පක්‍ෂයේ මධ්‍යගත මැදිහත්වීමෙන් තමයි ඒක කෙරුණේ. නමුත් මේ පාර ජනතාව ස්වේච්ඡාවෙන්ම තමයි මේකට සම්බන්ධ වුණේ.
ප්‍රශ්නය : ඔබ කියන්නේ සංවිධානයක් තිබුණේ නැහැ කියලද? සංවිධානයන් දුර්වලයි කියලද?
පිළිතුර : නෑ නෑ වැරදි අර්ථකථන දෙන්න එපා. මේ මැයි රැලිය ජනතාවගේ මැයි රැලියක්. මේ රැලියට ආපු මහ ජනගඟ දිහා බලන්න. සංවිධානය කරලා ගෙන්වපු පිරිස්වලට වඩා හිටියේ තනි තනිව ආපු පිරිස්. සංවිධානය කරලා ගෙන්නුවා නම් නිල් ඇඳුම් හරි රතු ඇඳුම් හරි ඇඳගත්ත කණ්ඩායම් ඉන්නේ. නමුත් බොහෝ දෙනෙක් සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන හිටියේ. කැම්බල් පාක් එක ගත්තොත් කොළ පාටින් ඇඳගෙන ඉන්නවා. බී ආර් සී පිටිය ගත්තොත් රතු පාටින් ඇඳගෙන ඉන්නවා. ගාල්ල ගත්තොත් නිල් පාට. නමුත් මෙතැන එහෙම නෑ. හැම වර්ණයක්ම තිබුණා. ඒ කියන්නේ මෙතන වැඩි පිරිසක් මෙහෙයවීමකින් තොරව ස්වෙච්ඡාවෙන්ම මෙතැනට ආපු පිරිසක්. ඒකත් ලොකු ජයග්‍රහණයක්.
ප්‍රශ්නය : ජනාධිපති මෛත්‍රීගේ ගාල්ල මැයි රැලිය දියාරු වෙයි කියලා හිතුවට ඒකත් සාර්ථකයි?
පිළිතුර : සංවිධායකයන් බලාපොරොත්තු වෙච්ච ආකාරයට ඒක සාර්ථකයි කියලා මම හිතනවා.
ප්‍රශ්නය : ඒක වෙන්නේ කොහොමද? ඔබලා කලින් කිව්වෙ පාක්‍ෂිකයන් සියයට 99ක් ඉන්නේ මහින්ද රාජපක්‍ෂ සමග කියලනේ?
පිළිතුර : පාක්‍ෂිකයන්ගේ හදවත තියෙන්නේ මහින්ද මහත්තයා ළඟ. ගාල්ලට ගිය බහුතරයක් ජනතාවගේ නායකයා මහින්ද මහත්තයා තමයි. මහින්ද මහත්තයා ළඟ ඉන්න පිරිස වගේම යූඑන්පියේ අයත් ගාල්ලේ හිටියා. සහභාගිත්වය සංඛ්‍යාත්මකව හා ප්‍රදර්ශනාත්මකව ගත්තොත් ඔවුන් සාර්ථකයි. ඔවුන්ගේ අපේක්‍ෂාවන් ඉෂ්ට වුණා කියලයි මම කියන්නේ.
ප්‍රශ්නය : කිරුළපන රැලියට සෙනග ගේන්න ප්‍රාදේශීය නායකයන්ට ඔබ සල්ලි කුට්ටි විසි කලා කියලා චෝදනා එල්ල වුණා. කොහෙන්ද මේ සල්ලි?
පිළිතුර : මම ඉතාම පැහැදිලිවම කියනවා... මේ මැයි රැලියට මම මුදලින් හෝ වෙනයම් ආකාරයකින් හෝ මැදිහත් වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි... සාමාන්‍යයෙන් මැයි දින රැලියක් වෙනකොට සංවිධානයෙන්... යම් යම් මැදිහත්වීම් කෙරෙනවා. නමුත් මේ පාර එහෙම දෙයක්වත් වුණේ නැහැ. අඩු ගානේ පෝස්ටර් පවා කිසියම් වියදම් දරලා තමයි සංවිධායකයන්ට ගන්න වුණේ. නමුත් මම දන්නවා සාක්කි ඇතිව ඔප්පු කරන්න පුළුවන් කොළඹ පක්‍ෂ මූලස්ථානයෙන් තමයි ලංගම බස්වලට නාරාහේන්පිට ලංගම ප්‍රධාන කාර්යාලයට ගෙවලා තිබුණේ. උදාහරණයක් කිව්වොත් කුරුණෑගල දිස්ත්‍රික්කයට අවශ්‍ය බස් ප්‍රමාණයට නාරාහේන්පිටට ගෙවලා අහවල් ආසනයට බස් 10යි. අහවල් ආසනයේ අහවලාට බස් මෙච්චරයි කියලා යවලා තිබුණා.
ප්‍රශ්නය : එතකොට ඒ කාලේ?
පිළිතුර : අපි කවදාවත් එහෙම කළේ නැහැ. ඒ කාලේ බස්වලට මුදල් ගෙවන්නේ ඒ ඒ ආසන බාර මැති ඇමතිවරුයි. ඔය මම කියන එක මේ පාර හැම දිස්ත්‍රික්කයකම වුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් බොහෝ දිස්ත්‍රික්කවලට කොළඹින් තමයි මුදල් බැඳලා තියෙන්නේ.
ප්‍රශ්නය : ඔබ මේ පාර දිස්ත්‍රික්කවලට ගිහින් මුදල් බෙදුවා කියලා චෝදනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුමයි?
පිළිතුර : ඒ කට්ටිය එහෙම කියන්නේ මොකද කියලා මං දන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් විතරක් නොවෙයි යූඑන්පී එකේ ඇමතිවරුත් ඔය කතාව කිව්වා.
ප්‍රශ්නය : බෙදන්න සල්ලි ලැබුණේ අසල්වැසි රටකින් කියලා කිව්වා?
පිළිතුර : ඒක බරපතළ චෝදනාවක්. වගකිවයුතු ඇමතිවරු ඔවැනි ප්‍රකාශ කිරීම නිසා ලංකාවට මීට කලිනුත් විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්න වුණා. ඔය චෝදනාව එල්ල කිරීමෙන් මට වඩා පහර වදින්නේ ඔය අසල්වැසි රටවල්වලටයි. ඔය වගේ කතා නිසා අපේ රටත් එක්ක තියෙන මිත්‍රකම් පවා අහිමිවෙන්නත් පුළුවන්. ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.
ප්‍රශ්නය : අපි කෙළින් කතා කරමු. අසල්වැසි ඉන්දියාවත් එක්ක මොකද්ද ඔබේ තියෙන ගනුදෙනුව?
පිළිතුර : ගනුදෙනු කිව්වේ?
ප්‍රශ්නය : සම්බන්ධතාවන්?
පිළිතුර : ඉන්දියාවත් එක්ක විශේෂ සම්බන්ධතාවක් මේ අවස්ථාවෙදි නැහැ. නමුත් ඉන්දියාවේ ජන්මය ලබපු කෙනෙක් සමග තමයි මගේ වැඩිමහල් දියණිය විවාහ වුණේ.
ප්‍රශ්නය : ඔහුට ඉන්දියාවේ දේශපාලන සබඳතා තියෙනවා?
පිළිතුර : කොහෙත්ම නැහැ. ඔහු ඉන්දියාවේ ඉපදුණාට අවුරුදු 20ක තරමේ කාලයක ඉඳලා පදිංචිය ඇමෙරිකාවේ. එයා ඇමෙරිකානු පුරවැසියෙක්. එයා විශේෂඥ වෛද්‍යවරයෙක්. එහෙම නැතිව මේ මුළු පවුලම ව්‍යාපාර කරපු අයවත් නොවෙයි. ඔහුගේ මාපියන් ගුරුවරුන්.
ප්‍රශ්නය : නමුත් ඉන්දීය දේශපාලනයත් එක්ක ඔබේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ කාලේ ඔබ තමයි නිතරම ඉන්දියාවට ආවෙ ගියේ?
පිළිතුර : ඔව්! 2009 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වුණාට පස්සේ, ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීම සඳහා විශාල වශයෙන් ඉන්දියාව සමග අවබෝධාත්මක සහයෝගයක් ලබාගත යුතුව තිබුණා. ඒක පැවරුණේ මට. ලලිත් වීරතුංග ජනාධිපති ලේකම්තුමත්, ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්තුමාත් අපි තුන් දෙනා හැම වෙලාවෙම වගේ නායකත්වයෙන් ගිහිල්ලා සාකච්ඡා කළා. මම විශේෂයෙන්ම කරුණානිධි මහ ඇමතිවරයා විදියට තමිල්නාඩුවේ උපවාසයක් ආරම්භ කළාම ඒ උපවාසය හරහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල වුණාම මම තමයි ගිහිල්ලා මැදිහත් වෙලා සාකච්ඡා කරල මධ්‍යම රජයට කරුණු පහදලා දීලා ඔවුන් ලවා කරුණානිධිට කතා කරවලා අවුරුදු 13කට පස්සෙ ඉන්දියාව අපේ රටත් එක්ක ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන කතාවත් පැහැදිලිවම ‘ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව’ කියන ජෙදය ඒ නිවේදනයට ඇතුළත් කර ගන්නත්. කොටි සංවිධානය ත්‍රස්තවාදීන් කියලා ඒ නිවේදනයෙන් හඳුන්වන්නත් පළමු වතාවට පුළුවන් වුණා.
ප්‍රශ්නය : ඔය ඔත්තු සේවා ජාලා සමගත් ඔබේ සබඳතා තිබෙන බවටත් ඇතැම් පාර්ශ්ව චෝදනා කළා?
පිළිතුර : ඔය ඔත්තු සේවා ගැන මගේ කිසිම අවබෝධයක් නැහැ. මම දන්නෙත් නැහැ. ඔත්තු සේවයක් කියන්නේ එළිපිට වැඩ කරන එකක් නොවෙයිනේ. ඒ නිසා සමහරවිට ඒ පුද්ගලයන් වෙනත් නාමයකින් මගෙත් එක්ක කතා කරලා තියෙනවද දන්නේ නැහැ. නැතිව ඍජුව ඔවුන් ඔත්තු සේවයේ කියලා දැනගෙනනම් මම ආශ්‍රය කරලා නැහැ. දැන් ලංකාවේ තියෙන ඉන්දීය තානාපති කාර්යාලයේත් මහ කොමසාරිස්තුමා එක්ක තමයි මම කටයුතු කරලා තියෙන්නේ. ඊට පල්ලෙහා අයත් එක්ක ඍජු සම්බන්ධයක් පත්වලා නැහැ. ඉතින් මම තවමත් විශ්වාස කරනවා ඉන්දියාව සමග වැඩි සම්බන්ධයක් වගකීමෙන් තියෙන්න ඕනැ කියල. නමුත් ඒක රටේ යහපතට මිසක් එක්කෙනෙකුගේ යහපතට නොවෙයි. එහිදී විශේෂයෙන්ම දේශපාලන, සාමාජික, යුදමය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් අපේ රටවල් දෙකකටම යහපත් විදියට බලපාන විදියට කටයුතු කරන්න ඕනැ. ඇත්තටම මට ලොකු විශ්වාසයක් තියෙනවා ඉන්දියාව සමග වගේම චීනයත් එක්කත් හොඳට කතා කරලා හොඳ යහපත් සම්බන්ධයක් පවත්වාගෙන ගියොත් ඒක රටට හොඳයි කියලා.
ප්‍රශ්නය : ඒකාබද්ධ විපක්‍ෂයෙ ඔබ දැනට දරන වගකීම කුමක්ද?
පිළිතුර : ඒකාබද්ධ විපක්‍ෂය කියන එක මෙතැනදී විග්‍රහ කරනකොට ඒක කොටස් 2කට බෙදන්න පුළුවන්. එකක් පාර්ලිමේන්තුව තුළ ඉන්න ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම. මම එතැන නැහැ. මොකද මම දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නොවන නිසා. ඒක පාර්ලිමේන්තුව තුළ නිල අයිතියක් දිනා ගන්න උත්සාහ කරන සංවිධානයක්. අනිත් එක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂයත් එකතුවෙලා හදලා තියෙන මේ ආණ්ඩුව. මේක ජාතික ආණ්ඩුවක්නේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් පස්සේ ව්‍යවස්ථාවෙන්ම කියනවා මේ වගේ ඇමති මණ්ඩලයක් තියාගන්න නම් යෝජනා සම්මතයකින් මේක ජාතික ආණ්ඩුවක් කියලා නම් කරන්න ඕනැ කියලා. එතකොට මේක එහෙම නම් කරපු ආණ්ඩුවක්. එතකොට මේ දෙගොල්ලොම මේ ආණ්ඩුවේ සියලු කටයුතුවලට හොඳ වැඩවලට වගේම නරක වැඩවලටත් වග කියන්න ඕනැ. එහෙම වගකියනකොට මෙතැන තවත් විකෘතියක් වෙලා තියෙනවා. ඒ තමයි විපක්‍ෂ නායකයා වගේම විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයත් ආණ්ඩුව තමයි තීන්දු කරලා පත් කළේ. අයවැයක් ඉදිරිපත් කරනකොට ලෝකයේ සම්ප්‍රදායක් තියෙනවා අයවැය විවාදය ආරම්භයේදීම මේ අයවැයෙන් රුපියල් 10ක් අඩු කරන්න කියලා යෝජනා කරනවා. ඒ විවාදය සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ විපක්‍ෂනායකවරයයි. නමුත් ලංකා ඉතිහාසයේ පළමු වරට අයවැයට පක්‍ෂව මේ විපක්‍ෂ නායකවරයා ඡන්දය ප්‍රකාශ කරනවා. මේ ආණ්ඩුවේ අනීතික, අසාධාරණ, දුෂ්ට සහ ජනතා ද්‍රෝහී ක්‍රියා කලාපයට එරෙහි ජනතාවට ක්‍රියාත්මක වෙන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි. අන්න එතැන පාර්ලිමේන්තුවෙන් බැහැරව ගත්තොත් ඒ සටන් පෙරමුණේ අපේ පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයන් ඉන්නවා. ඊට අමතරව තවත් නොයෙක් සංවිධාන තියෙනවා. පක්‍ෂයේ තියෙන සංවිධාන ගත්තොත් ඒවාට මම හුඟක් සම්බන්ධයි. මම පක්‍ෂයේ හිටපු ජාතික සංවිධායක. 70 දශකයේ ඉඳලා පක්‍ෂයේ තරුණ සංවිධානයේ ඉඳලා නොයෙක් සංවිධානවල වැඩ කරලා ඒ සම්බන්ධකම් තවම තියෙනවනේ. ඒ හරහා මට යම්කිසි කාර්යභාරයක් කරන්න පුළුවන්. එතැනදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ කාර්යභාරය යටතේ කෙරෙන ඕනෑම වැඩක මම ඉදිරියෙන්ම ඉන්නවා.
ප්‍රශ්නය : මගේ ප්‍රශ්නය වුණේ ඒකාබද්ධ විපක්‍ෂය තුළ ඔබට තනතුරක්, නිශ්චිත වගකීමක් පැවරිලා තියෙනවද කියලයි?
පිළිතුර : එහෙම නෑ. පාර්ලිමේන්තු කණ්ඩායමේ කොහොමත් නෑනේ. දෙවැනි සටන් පෙරමුණේ ස්වේච්ඡාවෙන් යම්කිසි කාර්ය භාරයක් කරනවා මිසක් ඇත්තටම එහෙම නිල සංවිධානයකුත් නෑනේ. මේ වෙලාවේ මම දකින ලොකුම අඩුවක් ඒක. කොහොමත් යම් කිසි දෙයක් බිහිවෙන්න කිසියම් කාලයක් ඕනැනේ. ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුව තුළ කරන කාර්යභාරය රට තුළ කරන්න පුළුල් දේශපාලන සංවිධානයක් බිහි වෙන්න ඕනෑ. ඒක මැතිවරණ නීතිය යටතේ අවශ්‍ය වෙන්න පුළුවන් ඉදිරියේදී. අඩුම තරමේ දැනට මේ වෙනකොට එහෙම සංවිධානයක් හැදෙන්න ඕනෑ.
ප්‍රශ්නය : මහින්ද සුළඟ මැද්දට ඔබ එන එක ගැන ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් නායකයන්ගේ මනාපයක් නැහැ?
පිළිතුර : එහෙම එකක් නෑ. අනික මම මැද්දට පැන්නෙත් නෑ. මට දේශපාලනිකව බොහෝ දෙයක් කිරීමට හැකියාව තිබියදී එය නොකර සිටීම ඉදිරියේදී මට පසුතැවිලි වෙන්න හේතුවක් වේවි. ඒකෙදි ඇත්ත වශයෙන්ම මම මේ මොහොතෙදි දේශපාලනිකව මම එළියට එන එක මට විශාල අවදානමක්. මොකද විශාල දේශපාලන දඩයමක් යන වෙලාවේ මගේ පවුලේ අයගෙන් දරුවන්ගෙන් ලැබෙන උපදෙස් තමයි හැකි පමණ මේ වැඩවලින් අයින් වෙලා ඉන්න කියලා. එහෙම බැලුවම පෞද්ගලිකව අවදානම වැඩිවෙලා තියෙන්නේ. අකමැත්තෙන් හරි මම පසුගිය කාලේ අයින් වෙලා ඉන්නකොට ඒකෙන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට වෙච්ච පාඩුව මම දැක්කා. ඒ පාඩුව ඇතිවීම නිසා මම හිතනවා මගේ යුතුකම මම ඉටු නොකිරීම තුළ රට වෙනුවෙනුයි මේ ව්‍යාපාරය වෙනුවෙනුයි මට යම්කිසි කාර්යභාරයක් කරන්න පුළුවන්කම තිබියදී ඇයි මම ඒක නොකර ඉන්නේ. එහෙම හිතලා තමයි මම මේ කාර්යභාරය කරන්නේ. විශේෂයෙන්ම නීති විරෝධීව හා ප්‍රජාතන්ත්‍රවිරෝධීව පළාත් පාලන නියෝජිතයන් පත් කිරීමේ අවස්ථාව ජනතාවට අහිමි කරලා තියෙනවා. ජනතාවට තමන්ගේ ප්‍රශ්න විසඳගන්න තමන්ගේ නියෝජිතයන් නැහැ. එහෙම තියෙන අවස්ථාවක ඒ අයිතිය ගැනීම සඳහාත්... සුදුසුම නියෝජිතයන් තෝරාගැනීමේදී ඔවුන්ට යම් කිසි සහයෝගයක් දීමත් ඔවුන් මගෙන් බලාපොරොත්තු වෙනවා. මහ මැතිවරණයේදී ඒක එතරම් අවශ්‍ය නොවුණත් මේ වගේ අයට ඒ සහයෝගය අවශ්‍යයි. ඒ අවශ්‍යතාව ඉටු කරන්නයි මම මේ වෙලාවේ මැදිහත් වෙන්නේ.
ප්‍රශ්නය : පක්‍ෂය කඩන යූඑන්පී කොන්ත්‍රාත්තුවක් ඔබ ඉටු කරන බවටයි පක්‍ෂයේම ඇමතිවරුන් චෝදනා කරන්නේ?
පිළිතුර : පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩීමට මම සම්බන්ධ වෙන්නේ නැහැ. තවම ප්‍රසිද්ධියට පත් නොවුණත් සමහරවිට මේක මහින්ද මහත්තයා ළඟ ඉන්න හිතවතුන් පසුගිය මැතිවරණයේදී අපි වෙනම ඉල්ලන්න ඕනැ කියන මතයේ හිටියා. ඒ වගේම වෙනම ඉල්ලන්න එපා කියන මතයෙත් හිටියා. ඒ සංවාදයේ මම හිටියේ නැහැ. ඒ වෙනකොට මම රිමාන්ඞ් භාරයේ හිටියේ. හැබැයි එකට ඉල්ලන්න ඕනැ කියන මතය ස්ථිර වුණාට පස්සේ... ඒ එකඟතාව අතර මැදදී කඩා වැටෙන්න ගිය අවස්ථාවලදී මම පුළුවන් තරම් මැදිහත් වෙලා එකට යන්න උදව් කරපු කෙනෙක්. ඒක මොහොතකටවත් වරදවා තේරුම් ගන්න එපා. එකට ඉල්ලන්න ඕනැ කියන මතයේ මම හිටියා කියලා.
ප්‍රශ්නය : ඔබ හිටියේ වෙනම ඉල්ලන්න ඕනැ කියන මතයෙද?
පිළිතුර : එහෙමත් නෑ. දෙපැත්තෙන්ම ඇවිල්ලා මට කිව්වම මම කිව්වේ එහෙම මැදිහත් වෙන්න මට අයිතියක් නැහැ. රටේ දේශපාලන ක්‍රියාදාමයෙන් මම ඒ වෙලාවේ බැහැරව හිටියේ. මං රට ඉඳලා ආවා. ලොකු කාලයක් මම රට හිටියෙත් නැහැ. ජනවාරි ගිහින් අප්‍රේල්වල ආව. ඊට පස්සෙ අගෝස්තු වෙනකම් මම හිටියේ රිමාන්ඞ් බාරයේ. ඒ නිසා රටේ තත්ත්වය මම දැනගෙන හිටියේ නැහැ. මට එහෙම බලපෑමක් කරන්න අයිතියකුත් නැහැ. මොකද ජනවාරි 8න් පස්සේ මම කිසිම දායකත්වයක් නොදුන්න නිසා. නමුත් එකට ඉල්ලන්න කියලා තීන්දු කළාට පස්සේ ඒ සම්මුතිය බිඳනොවැටෙන්න අවශ්‍ය දේට මම සහයෝගය දුන්නා. ඒ නිසා අදත් මම පක්‍ෂය කැඩෙනවට විරුද්ධයි. මෙතැන පක්‍ෂය කැඩීමක් වෙන්නේ නැහැ.
ප්‍රශ්නය : නමුත් අලුත් පක්‍ෂයක් හදන ව්‍යාපෘතියේ ඉන්නේ ඔබ බව ප්‍රසිද්ධ රහසක්?
පිළිතුර : ඒක වැරදියි. මෙතැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩීමක් වෙන්නේ නැහැනේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ බෝඞ් ලෑල්ලක්වත්, මැතිවරණ කොමසාරිස්වරයා ළඟ ලියාපදිංචි වීමවත් නොවෙයි. පාක්‍ෂිකයාගේ මතවාදය.... ඒ දේශීය චිත්තනය, පොදු මහ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම අද සිද්ධ වෙන්නේ නැහැ. ඒ මතවාදය වෙනුවෙන් දේශපාලන සංවිධානයක් අවශ්‍යයි. ඒක නොකළොත් මේ සටන ප්‍රජාතන්ත්‍රවිරෝධී කණ්ඩායමක් අතට ගියොත් ඒක මුළු රටටම විපතක්. 88-89 දී සමහර විට වුණේ ඒක කියලා හිතන්න පුළුවන්. එදා විරුද්ධ පක්‍ෂයේ හිටපු පිරිස් නිවැරදි විදියට ඒ නායකත්වය නොදුන් නිසා එහෙම වුණා කියලා හිතන්න පුළුවන්. අද ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් විරුද්ධ පක්‍ෂයෙන් මැදිහත්වීමක් නොවුණොත් මොකද වෙන්නේ. මෙතැන තව ප්‍රශ්නයක් තියෙනවා. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්න පිරිස් සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් නැතිනම් ජනතාව සටනින් ඈත් වෙනවා. ගොවි අරගලය අරගන්න. ගොවියෝ තනියෙන් නැගිට්ටා. පොදුවේ සටන අරගෙන ගියා. කට්ටියක් ඒක ඉස්සරහට පැන්නා. ඒ කට්ටිය පත්තරවල ටීවීවල කතා කරල ඒක තමන්ගේ වැඩක් කියලා පෙන්වන්න හැදුවා. ගොවියා පැත්තකට වුණා. ඒ විරෝධය දැන් කෝ. ප්‍රශ්නය තවම තියෙනවා. හැබැයි සටන නැහැ. ඒකට හේතුව සටන ඉස්සරහට පැන්න අය ගැන ජනතාවට විශ්වාසයක් නැති නිසයි.
ප්‍රශ්නය : එහෙනම් කවදද ඔය පක්‍ෂය බිහිවෙන්නේ?
පිළිතුර : ඒ තීන්දුව මට ගන්න බැහැ. සුදුස්සෝ ඒ තීන්දු තීරණ ගත යුතුයි. අනික් කාරණය තමයි ඒක අවශ්‍ය වෙලාවට ගන්නත් ඕනැ.
ප්‍රශ්නය : මේ වෙලාවෙ නොවෙයිද?
පිළිතුර : මේ ඒ වෙලාව කියලා මම පිළිගන්නවා.
ප්‍රශ්නය : රාජපක්‍ෂවරුන්ගේ පවුල්වාදය සම්බන්ධයෙන් බරපතළ සමාජ විරෝධයක් මතු වුණා. දැන් යළිත් යන්නේ එතැනටමනේ.
පිළිතුර : නෑ. හැම රජයකම.... හැම නායකයෙකුටම ළඟ ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ප්‍රේමදාස මහත්තයාටත් හිටියා. චන්ද්‍රිකා මැතිනියටත් හිටියා. බණ්ඩාරනායක මැතිනියටත් හිටියා. ජේ.ආර්. ජයවර්ධනටත් හිටියා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂටත් ඒක තිබුණා. අර කට්ටියට වඩා මහින්ද රාජපක්‍ෂගේ කණ්ඩායමේ දක්‍ෂයෝ හිතවත්තු හිටියා.
ප්‍රශ්නය : ජනාධිපති මෛත්‍රී මාධ්‍ය ප්‍රධානීන්ට කිව්වා 2010 න් පස්සෙ රාජපක්‍ෂවරු උදේ කෑම මේසයේ වාඩිවෙලා සියලු තීන්දු තීරණ ගත්තේ කියලා?
පිළිතුර : ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙම අදහසක් අනුව සතියකට වරක් එතුමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවෙන්න අවශ්‍යයි කිව්වා. පක්‍ෂයේ ලේකම් හැටියට එතුමට පක්‍ෂයේ සභාපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමග සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා තමයි කිව්වේ. ජනාධිපතිතුමා බොහොම සතුටෙන් ඒ අවස්ථාව දුන්නා. ජනාධිපතිතුමා කෑම මේසයේ මැද වාඩි වුණා. අනික් පැත්තේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඊට ඉදිරි පසින් නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, සුසිල් ප්‍රේම් ජයන්ත, ඩලස් අලහප්පෙරුම, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා කියන ඇමතිවරු හා මම වාඩි වුණා.
ප්‍රශ්නය : හැම සතියකම මේ හමුව වුණා?
පිළිතුර : සති දෙකකට වරක් බදාදා ආරක්‍ෂක මණ්ඩලය රැස් වෙන්න ඉස්සෙල්ලා මේ හමුව තිබුණා. උදේ 8.30 ට රැස්වෙන්නේ. මම විශේෂයෙන්ම දන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හරි නිමල් සිරිපාල ඇමතිතුමා නොහිටියොත් ඒ රැස්වීම ජනාධිපතිතුමා තියන්නෙත් නෑ. ඒ දෙන්නගේ සහභාගීත්වය ජනාධිපතිතුමා ඒ තරම්ම අපේක්‍ෂා කළා.
ප්‍රශ්නය : ඔබ වාඩි වුණේ ඇයි?
පිළිතුර : මම ආර්ථික සංවර්ධන ඇමතිනේ. ඒ වගේම මම පක්‍ෂයේ ජාතික සංවිධායක. මීට අමතරව ජනාධිපති ලේකම්, එතුමා නැති වුණොත් අතිරේක ලේකම් ගාමිණී සෙනරත්, පී.බී. ජයසුන්දර හා ගෝඨාභය රාජපක්‍ෂ කියන ලේකම්වරුන් මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. ඔය කණ්ඩායම තමයි ආවේ.
ප්‍රශ්නය : සජින් ද වාස් ඔය හමුවට ආවේ නැද්ද? මොකද ඔහු ගැනත් ලොකු කතා තිබුණා?
පිළිතුර : සමහර වෙලාවට හිටපු ගමන් ඒ මන්ත්‍රීතුමා එනවා. එතකොට මම ප්‍රතිපත්තියක් හැටියට සභාවෙන් ඉවත්ව යනවා.
ප්‍රශ්නය : ඇයි ඒ?
පිළිතුර : මම හිතුවා ඒ සහභාගීත්වය සුදුසු නැහැ කියලා.
ප්‍රශ්නය : ඒක නවත්වන්න බලයක් ඔබට නැහැ?
පිළිතුර : මගේ විරෝධය පළ කිරීමේ ක්‍රමවේදය හැටියට තමයි මම නැගිටලා යන්නේ. අනික් කට්ටිය නම් හිටියා. නමුත් මම දන්නවා ඒ මන්ත්‍රීතුමා එතැනට එන්නේ ආරාධනාවකින් නොවෙයි කියලා.
ප්‍රශ්නය : නාමල් රාජපක්‍ෂ ආවේ නැද්ද?
පිළිතුර : කවදාවත් නැහැ. එතැනින් එහාට මෙහාට යන එන කොට සමහර වෙලාවට ජනාධිපතිතුමා කතා කරලා පෞද්ගලික දෙයක් කතා කළා මිසක් කවදාවත් ඒ දේශපාලන සාකච්ඡාවට එක් වුණේ නැහැ.
ප්‍රශ්නය : චමල් රාජපක්‍ෂත් නෑ?
පිළිතුර : සමහර අවස්ථාවලට කතානායකවරයා හැටියට එතුමා කැඳවලා කතා කරපු අවස්ථා තියෙනවා.
ප්‍රශ්නය : එතකොට ඒක රාජපක්‍ෂවරුන්ගේ සාකච්ඡාවක් නොවෙයි?
පිළිතුර : නෑ... මම ඒකයි පැහැදිලි කළේ... ඔය කියන සාකච්ඡාව ගියේ ඔහොමයි. අනෙක් පවුල්වල සහෝදර සහෝදරියන් ඇන කොටා ගත්තට අපේ පවුලේ සහෝදර සහෝදරියන් අතර ලොකු සමගියක් තියෙනවා. අපි නිතර ගෙදර සාදවලදී හමුවෙනවා. ඒ වෙලාවල්වලට අපි කතා නොකරන්නෙම දේශපාලනයයි. කොහොම වුණත් අපි අතර ඒ සම්බන්ධය අඩුවෙච්ච වෙලාවල්වලදි තමයි අපි වැටිලා තියෙන්නේ. ඒ නිසා ඔය කියන විදියේ රැස්වීමක් තිබුණා නම් අපි එහෙනම් හැමදාමත් දිනනවා. නමුත් ඒ රැස්වීමට වාඩි වුණේ මම ඔය කියපු පිරිසයි. ඉතින් දැන් මෙහෙම කියන්නෙ ඇයි කියලා මටත් ප්‍රශ්නයක්.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගාලු මැයි රැලිය සාර්ථකයි කියා මම හිතනවා
සත්‍යයා Tuesday, 10 May 2016 01:14 AM
ලංකාවේ මිනිසුන්ට අතීතය අමතක කරන්න අවශ්‍යය වෙන්නේ සතියයි කියලා ප්‍රභාකරන් කියපු කතාව එයාලා ඇත්ත කරලා. ඔහොම යමු මහත්තයෝ. (නි)
ටිකිරි Sunday, 15 May 2016 11:14 PM
මහින්ද හිස නැමුවා හෝ හිස නොනැමුවා කියන එක නෙමෙයි වැදගත්, ලෝක නීතියට ගරු කිරීමයි රාජ්‍යතාන්ත්‍රික බව කියන්නේ. මොහු වැඩ කළේ සහ වැඩ කරන්නේ එ්කාධිපති උමතුවෙන් (නි)
දීපාල් නිරෝෂ් Thursday, 12 May 2016 09:22 AM
අපේ රට ඒකීය රටක් ලෙස තවමත් පවතින්න මුලිකව ඉවහල් වෙලා තිබුනේ ශ්‍රී ල නි ප කියල පක්ෂයක් පැවතීමයි. අනිකුත් ප්‍රතිපත්ති මොනවා වුනත් ඉදිරියටත් ඒ තත්ත්වය එහෙමම කියලයි දැනටත් පැහැදිලි. ඉතින් මේ පක්ෂයේ පැවැත්ම උදෙසා ඔබතුමා මේ වෙලාවේ ඒ දේශපාලන ධාරාවෙන් ඉවත්ම සිටීම ඉතාම සුදුසු බවයි මට හිතෙන්නේ (බ)
පරතා Monday, 09 May 2016 11:28 AM
ඔබ තුමා තේරුම් ගන්න අපේ රටේ අයට ගොඩක් කල් යනවා. බඩට වැදුනොත් බැසිල් ඕන වේවි. කොටිය කෑවොත් ගෝඨා ඕනේ. (අ)
තේෂාන් Wednesday, 11 May 2016 03:26 AM
තවමත් හීන ලෝකයක ඉන්නේ, ඔබතුමාලාගේ කාලේ කරපු පව් දැන් ගෙවන්න වෙලා තියෙන්නේ අපිට (ම)
අෂික Tuesday, 10 May 2016 02:09 PM
ගොඩක් සාර්ථකයි මේ මැයි රැළිය.(හේ)
අජිත් Thursday, 12 May 2016 12:39 PM
කේෂාන්, ඔයා පාට කන්නාඩියෙන් බලන්න එපා මේ ප්‍රශ්නය දිහා. හොද සිහියෙන් කල්පනා කර බලන්න. මහින්ද මහත්තය නැත්නම් මේ රට ඉවරයි. ලෝකයේ කිසිම බලවතෙකුට හිස නොනවපු එකම අසහාය නායකයා ගරු මහින්ද රාජපක්ස මතිතුමයි. (ර)
නිම්මි Monday, 09 May 2016 03:21 PM
දැන් මේ රටේ මුකුත් ප්‍රස්නයක් නැ. සුරපුරයක්. (ර)
ටිකිරි Tuesday, 10 May 2016 04:58 PM
දැන් මේගොල්ලෝ එතකොට වැඩකළේ නොමිලේද? බලයේ ඉන්න කාලේ උන්නේ දෙවිවරු වගේ. දැන් තම ටිකක් මහජනතාව අතරට ඇවිල්ලා තියෙන්නෙත් (නි)
දිලිප් වික්‍රමරත්න Monday, 09 May 2016 10:34 PM
මෙතුමාට ඇති චෝදනා ගැන මම මොකුත් කියන්න යන්නේ නැහැ. හැබැයි මම පෞද්ගලිකව කිහිප වතාවක් ආයතනික වැඩ කටයුතු සඳහා හමුවෙලා තියෙනවා. බය නැතුව කියන්න පුළුවන් ලංකා දේශපාලනයේ ප්‍රේමදාස ජනාධිපතිගෙන් පස්සේ ඉහළම සංවිධාන ශක්තියක් තිබුණ කෙනා බව. උතුරු නැගෙනහිර ඉතා කෙටි කලකින් කළ යටිතල පහසුකම් සංවර්ධනය වෙන කාටවත් කළ නොහැකි දෙයක් (නි)
කපිල Tuesday, 10 May 2016 08:22 AM
දිලිප්ගේ අදහස මාත් අනුමත කරනවා.මම කවදාවත් මෙතුමා ඉන්න පක්ෂෙට ඡන්දෙ දීලා නැහැ.නමුත් යුද්ධයේ අවසන් මොහොතේ ඉන්දියාව කළමනාකරණය නොකළානම් සියල්ල වෙනස් වෙන්න තිබුනා.මෙතුමා ඒ සදහා දක්වපු දක්ෂතාවයෙන් යුතු දායකත්වය අපේ රටේ කවදාවත් නිසි ඇගයීමකට ලක්වුණේ නැහැ.මේ අදහස මගේ නෙවෙයි මේ රටේ ලොකු ව්‍යාපාරයක් කරගෙන යන ඉන්දීය ආයෝජකයෙක් අප සමග කිව දෙයක්. (බ)