IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


ඡන්දයේදී ජනතා අපේක්ෂා

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වීමයි. මෙය සුවිශේෂ තත්වයකි. වෙනදා නම් මේ වන විට දෙපස තුන්පස බෙදී විවිධ මට්ටමේ හැලහැප්පිලි හෝ ගැටුම්කාරි තත්ව පවා නිර්මාණය වී තිබෙනු ඇත.

එහෙත් මෙවර දේශපාලකයන්ට හා පක්ෂවලට තිබෙන උනන්දුව ජනතාවට නැත. මෙය පැහැදිලි කරගත හැකි එක් ක්‍රමයක් වන්නේ, ජනතාව තාමත් තම අතීත අත්දැකීම් ඔස්සේ සිය තීරණය ගැන සිතමින් සිටින බව ය. තවත් ක්‍රමයක් වන්නේ ඔවුන් මේ වන විට දේශපාලනය ගැන වන උනන්දුව අහිමි කරගෙන ඇති බව ය. දෙවැනියට සඳහන් කාරණයෙහි කිසියම් සත්‍යතාවක් තිබුණ ද එය මේ නිහඬතාවට පූර්ණ වශයෙන් වගකිවයුතු යැයි සිතිය නොහැකිය. ඒ අනුව මේ ගැඹුරු නිහඬතාවට සාධාරණ හේතුවක් විය හැක්කේ ජනතාව තම සුදුසුම විසඳුම පිළිබඳ කල්පනා කරමින් සිටින බවයි.

විශේෂයෙන්ම ලංකා දේශපාලනයේ සුවිශේෂි කඩ ඉමක් වූ දේශපාලන අරගලයෙන් පසු මෙරට සාමූහික ජනවිඥානයේ සේම දේශපාලන චින්තනයේ ද සැලකිය යුතු වෙනස්කම් ඇතිවිය. ඒ අනුව අරගලයට පෙර ලංකාව හා අරගලයට පසු ලංකාව යනු වෙන වෙනම කතා කළ යුතු තත්ව දෙකකි. මේ තත්වය පිළිබඳ දේශපාලන න්‍යායාත්මක දැනුමක් බොහෝ පුරවැසියන්ට නැති වුව ද ඔවුන්ට මේ පිළිබඳ කදිම ඉවක් තිබේ. ලංකාවේ බොහෝ අය දේශපාලන මතුනොව සෙසු බොහෝ තීන්දු තීරණ ගන්නේ ඉවෙනි. ස්වකීය ඉව අනුව යමින් ඔවුන්ට දියෙන් කිර වෙන් කරන්නාක් සේ යහපත අයහපතෙන් වෙන්කර හඳුනාගත හැකි ය. දේශපාලන අරගලය අවසන් වී වසර දෙකක් පමණ දැන් කල්ගත වී තිබීම නිසා ඔවුන් සිය ඉව ඔස්සේ සිතන්නට අවශ්‍ය අවකාශය ද සලසා තිබේ. මෙම ලිපියේ අරමුණ වන්නේ ඉදිරි ජනාධිපතිවරණය ආශ්‍රිත දේශපාලන තීන්දුවේ දී අප සිතිය යුත්තේ කුමක් ද යන කාරණය ගැන යම් සාකච්ඡාවක් ඇති කිරීමයි.

එහි දී නිතැතින්ම සිහිපත් වන්නේ යට කී දේශපාලන අරගලය ආශ්‍රිතව කාරණයයි. බුද්ධිමත් පුරවැසියකු විසින් කරනු ඇත්තේ එකී දේශපාලන අරගලයට මගපෑදු ආර්ථික අර්බුදයේ මූල සාධක සොයා බැලීමයි. යමක් තේරුම් ගැනීම සඳහා හා යම් ගැටලු‍වකට විසඳුම් සොයා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ මූල හේතු සොයා ගැනීමයි. මූල හේතු ආසන්න, මැද කාලීන හා දිගුකාලීන හේතු ලෙස බෙදා දැක්විය හැකි ය.

ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව කුමක්ද? යන්න මාගේ ලිපි මාලාවෙන් විවිධ අවස්ථාවල සාකච්ඡා කොට තිබේ. ඒ අන් යමක් නොව ලංකාවට මතු නොව ලෝකයටම බලපෑ කෝවිඩ්-19 වසංගතයයි. මේ හරහා ලොව පුරා ආර්ථිකයන්හි අනපේක්ෂිත කම්පන ඇති කළේ ය. වසංගතය පැමිණි අවස්ථාවේ තිබූ ආර්ථික සාධක මත ඊට මුහුණ දීමේ හැකියාව රටින් රටට වෙනස් විය. කෝවිඩ් එන විට ලංකාවේ තිබූ ආර්ථික තත්වය ඉතා දුර්වල වූ අතර, යහපාලන සමයේ සිදුවූ මහබැංකු වංචාව හා පාස්කු දින ප්‍රහාරය නිසා ආර්ථිකයේ සියලු‍ අංශ අඩපණ වී තිබුණි. ඒ මතට පැමිණි රුසියා-යුක්‍රේන අර්බුදය නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන හා ගෑස් මිල දෙගුණයකින් වැඩි වූ අතර එම ද්‍රව්‍ය ආනයනය කරන අපවැනි රටවලට ඉතිරිව තිබූ ඩොලර් සංචිත ද ශීඝ්‍රයෙන් පිටට ඇඳීමට එය හේතුවක් විය. ඉන්ධන හා ගෑස් පෝලිම් සඳහා ආසන්නතම හේතු ලෙස ඒවා දක්වත හැකිය.

මැද කාලීන හේතුව නම් ලංකාවේ ණය අර්බුදයයි. ණය ගැන කතා කරන විට 2005 වසරේ සිට 2015 දක්වා දත්ත ගෙන බැලූ විට සුවිශේෂි තත්වයක් හඳුනාගත හැකි ය. එනම් ලංකාව යුද්ධයක් පවතින සමයේ දී පවා ගමන් කළ එම වකවානුවේ දී ලංකාවේ ණය ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අඩුව වී තිබේ. දත්ත වශයෙන් කිවහොත් 2005 දී සියයට 102 ක් වූ ණය ප්‍රමාණය 2015 ලබන විට සියයට 71 දක්වා පහත වැටී තිබුණි. කෙසේ වෙතත්, 2015 සිට 2019 ලබන විට තත්වය වන්නේ එම ප්‍රතිශතය නැවත වැඩි වී තිබීමයි. ඉලක්කම් වශයෙන් ගත් විට ඒ සියයට 71 සිට සියයට 84 දක්වා විශාල වැඩිවීමකි. මෙසේ වීම ප්‍රධාන හේතුවක් වූයේ 2017-2019 අතර කාලයේ දී යහපාලන ආණ්ඩුව විසින් ඩොලර් බිලියන 12.5ක අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර ණයයි. මේ බොහොමක් ණය සියයට 6 පමණ පොලී අනුපාතවල ලබා ගෙන තිබූ අතර, 2020-2022 අතර කාලයේ පැවති කෝවිඩි වසංගත පසුබිම තුළ මේ ණයවල පොලිය විශාල වශයෙන් ගෙවිය යුතු විය. ඒ පිටරටින් ඩොලර් නොඑන පසුබිමක බව අප අමතක නොකළ යුතු වේ. මේ ආර්ථික අර්බුදයේ මැදකාලීය හේතුවයි. එම කාලය තුළ ඩොලර් බිලියන 9ක් පමණ විදේශ ණය ගෙවා ඇත.

ආර්ථික අර්බුදයේ දිගුකාලීන හේතුව කුමක්ද? එය මෙරට සියලු‍ පුරවැසියන් විසින් දැනගත යුත්තකි. ඒ අන් කිසිවක් නොව, අප නිදහසින් පසු මුළු කාලය තුළම උපයනවාට වඩා වියදම් කර තිබීමයි. එය දෙයාකාරයකින් සිදුවිය. එකක් වෙළඳ ශේෂය හෙවත් අප විසින් අපනයනය කරනවාට වඩා ආනයනය කමින් පරිභෝජනය කිරීමයි. අනෙක නම් අයවැය හිඟයයි. එදා සිට අපගේ අයවැය වාර්තා ගෙන බලන විට පෙනී යන්නේ, අපගේ වියදම සැමටම උපයන තරමට වඩා වැඩිවීමයි. හිඟමුදල අප සරිකරගෙන ඇත්තේ ණය ගැනීමෙනි. එම ණය දේශීය හෝ විදේශීය විය හැක. කිවයුත්තේ ණය ගැනීම අයහපත් දෙයක් නොවන බවයි. කෙසේ වෙතත් අප ණයගත යුත්තේ අපගේ ගෙවීමේ හැකියාවට සාපේක්ෂවයි.

ඉහත දිගුකාලීන අර්බුදය තවත් උත්සන්න කළ සුවිශේෂ හේතු දෙකක් දැක්විය හැකි ය. එකක් නම් එල්ටීටීයත් සමග වූ වසර 30 යුද්ධයයි. දෙක ජනතා විමුක්ති පෙරමුණේ කැරලි දෙකයි. පළමුව එල්ටීටී යුද්ධය ගැන බලමු. එහි දී අපට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 200ක් පමණ අහිමි වී ඇත. ඒ අහිමි වූ මිනිස් ජීවිත හා එහි මිනිස් පැය ගණන නොමැතිවයි. ඩොලර් බිලියන 200ක් යනු ආසන්න වශයෙන් වසරකට ඩොලර් බිලියන 7කි. එනම් රුපියල් බිලියන 2100කි. කෝටිවලින් ගතහොත් කෝටි 21000කි. උදාහරණයක් ලෙස දකුණු අධිවේගයේ වියදම  බිලියන 70කි. ඒ අනුව, යුද්ධය සඳහා වසරකට වැය වූ මුදලින් පමණක් අපට දකුණු අධිවේගය වැනි මාර්ග 30ක් ඉදිකිරීමට හැකියාව තිබුණි. මේ වසරක යුද්ධයේ පිරිවැයයි. වසර 30ක බිලියන 200 ගැන දැන් ඔබට සිතාගත හැකි ය.

ඉහත මූල්‍යමය වියදමට අමතරව අපට යුද්ධය නිසා තව බොහෝ වස්තුව හා දේපළ පමණක් නොව එම කාලය තුළ අප රටට ව්‍යාපාරික වශයෙන් කොතරම් අහිමි වීමක් වන්නට ඇති ද? රටට පැමිණිය යුතුව තිබූ ආයෝජන කීයක් නම් නොඑන්නට ඇති ද?

ඉහත සඳහන් කළ දෙවැනි කරුණ නම් ජවිපෙ කැරලි දෙකයි. 71 කැරැල්ල හා 88/89 කැරැල්ල මූල්‍යමය වශයෙන් ලංකාවට විශාල හානියක් කළේ ය. එම කැරලි මර්දනය කිරීම සඳහා රජයට අමතර අවි ආයුධ හා ආරක්ෂාව සැලසීමට සිදුවූ අතර ඒ හරහා රාජ්‍ය ආරක්ෂක වියදම් බෙහෙවින් ඉහළ ගියේ ය. ඊටත් වඩා අපට මෙම කැරලි දෙකෙන් අහිමි වූයේ ආවස්ථික පිරිවැයකි. මෙය එල්ටීටී යුද්ධයට වඩා දරුණු විය. එල්ටීටීය බොහෝ විට ක්‍රියාත්මක වූයේ උතුරේ හා නැගෙනහිරට සීමා වෙමින් ය. මුල් කාලයේ දකුණේ බෝම්බ හෝ ඝාතන සිදු වූයේ අතරින් පතර ය. ඒ අනුව, එම යුද්ධය දකුණේ ව්‍යාපාරික පරිසරය විනාශ කළේ යට කී ලෙස අවි හා සෙසු දේවල් සඳහා වැයවන මුදල් වියදම් කරවීම හරහායි. කෙසේ වෙතත්, ජවිපෙ කැරලි දෙක ඍජුවම ලංකාවේ ජනජීවිත වසර කීපයක් තිස්සේ පමණ අඩපණ කළ අතර, එම කාලයේ ආර්ථික වර්ධනය විශාල ලෙස කඩා වැටුණි. ඒ සියල්ලෙහි වියදම වත්මන් මුදලේ වටිනාකමින් අවම වශයෙන් ඩොලර් බිලියන 50කට ආසන්න විය යුතු ය.

ඉහත කරුණු තුන අනුව ඔබට ලංකාවේ ආර්ථිකයට කුමක් සිදුවූයේ ද යන්න ගැන මනා අවබෝධයක් ලබා තිබෙනවාට සැක නැත. ඒ අවබෝධය මගින් ඔබට සැලකිය යුතු තක්සේරුවක් ද කළ හැකි බව අපි විස්වාස කරමු. එය එසේ නම්, තාමත් මෙවර ඡන්දය සඳහා නිශ්චිත තීන්දුවක් ගෙන නැති හෝ වැරදි කරුණු මත සිට තීන්දු ගෙන ඇති ඔබට ඉහත ඉදිරිපත් කළ කරුණු ඔස්සේ නැවත සිතා බැලීමේ අවස්ථාව තිබේ.

එහි දී ඔබට නිරායාසයෙන්ම පැහැදිලි වනු ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් අති බහුතරයක් මේ සැබෑ ප්‍රශ්නය වසං කරනා බවයි. ඊට අමතරව ප්‍රශ්නය වෙනකක්ව තිබිය දී ලබාදෙනු විසඳුම් ඊට කිසිදු සම්බන්ධයක් නොතිබෙන බවයි. අප මෙම ප්‍රශ්නයේ ගැඹුර වටහා ගන්නේ නම් කළ යුත්තේ ඉහත සඳහන් මැද කාලීන හා දිගුකාලීය ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි. තිරසාර විසඳුමක් ලබාගත හැකිවනු ඇත්තේ ඒ ඔස්සේ පමණි. එහෙත් එක් අපේක්ෂකයකු ‘ලස්සන ජීවිතයක්’ දෙන බව හා තවෙකෙකු ‘මම ආපහු පෝලිම් ඇති වෙන්න දෙන්නෙ නෑ’ වැනි බොළඳ ප්‍රකාශ කරමින් මහජනයා සැබෑ ප්‍රශ්නයෙන් දුරස් කර රවටනු දැකිය හැකි ය. අපගේ මතය නම්, ඔබ මෙවර තීන්දු කළ යුත්තේ, යළිත් මෙවැනි අර්බුදයක් ඇති නොවන ආකාරයේ තිරසාර ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් බවයි. ඒ සඳහා අපට අපේක්ෂා සහගත උදාහරණ සපයන්නේ 2005=2015 අතර කාලයේ ආර්ථික ප්‍රතිපත්තිය පමණි. රට නිදහසින් පසු සෑම අතින්ම ඉදිරියට ආවේ එම වසර 9 තුළයි. අන් සියල්ල මෙරට විනාශය කැඳවූ ඒවා ය.


(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (0)

ඡන්දයේදී ජනතා අපේක්ෂා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 698 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 972 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 210 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 151 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 713 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 148 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 316 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 863 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 806 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site