IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්වීම විශේෂ කරුණකි. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පරීක්ෂාවට ලක්වීම ද මෙවර ජනාධිපතිවරණයේ දී දැකිය හැකිය. එයින් ජාත්‍යන්තරයට ලැබුණු පණිවිඩය වන්නේ ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන රටක් බව තවදුරටත් තහවුරු වීමය. සියයට හැත්තෑපහක පමණ ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබීමෙන් පැහැදිලි වන්නේ ඒ පිළිබඳව ජනතාවගේ තිබූ උනන්දුවයි. එබඳු පරිසරයක් යටතේ පැවැති ජනාධිපතිවරණයෙන් අපට හෙළිදරවු කරගත හැකි යථාර්ථය කුමක්ද යන්න සැකෙවින් විමසා බැලීම මෙහි මූලික අරමුණ වේ.

නිදහසින් පසු මේ වන තෙක් මේ රට පාලනය කළේ කණ්ඩායම් කිහිපයකි. ඔවුහු ධනවත් දේශපාලන පවුල් පදනම් සහිතව පැමිණි පිරිසක් වූහ. ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ ආදී සෑම දෙනෙක්ම ඒ දේශපාලන පන්තිය නියෝජනය කළහ. එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී එක් පැත්තකින් එම දේශපාලන පන්තිය තරග කරන විට තව පැත්තකින් එම දේශපාලන පන්තිය නියෝජනය නොකළ ග්‍රාමීය පසුබිමක සිට ක්‍රමයෙන් ගොඩනැගුණු අපේක්ෂකයෙක් තරග කළේය. ඔහුට රටේ බහුතර මහජන සහාය ලැබීම ද මෙරට දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන අවස්ථාවකි.

මෙම ප්‍රතිඵලයෙන් පෙන්වන යථාර්ථය නම් නිදහසින් පසු වසර 75 කට වඩා මේ රට පාලනය කළ දේශපාලන පන්තිය මේ වන විට මහජනයා ප්‍රතික්ෂේප කොට ඇති බවය. ඔවුන් පිළිබඳව යම් කලකිරීමක් හා අවිශ්වාසයක් මහජනයාට ඇතිවී තිබෙන බවය. ඒ අනුව නව දේශපාලන සංස්කෘතියකට යා යුතුය යන මහජන පණිවුඩය මේ මැතිවරණ ප්‍රතිඵලවලින් ලැබී තිබේ.

මෙතෙක් කල් මෙරට පාලනය කළ දේශපාලන පන්තිය පිළිබඳ ජනතා කලකිරීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඔවුන්ගේ පාලනයේ පැවැති ගැටලුකාරී තත්වයය. දූෂණය පිළිබඳ ගැටලුය. පවුල් පාලනය සම්බන්ධ ප්‍රශ්නය. තමුන්ගේ වාසියට මහජනයාගේ වරම දිගින් දිගටම අවභාවිත කිරීම ය. ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන්නේ එම දේශපාලන සංස්කෘතියයි. මෙරට පුරවැසියන් නව දේශපාලන සංස්කෘතියකට හුරුවීමට සූදානම්ය යන පණිවුඩය මේ ප්‍රතිඵලයෙන් ලැබී තිබේ. එම නව දේශපාලන සංස්කෘතිය තුළ ජනතාව අපේක්ෂා කරන්නේ මහජනයාගේ අදහස් හුවමාරු කරගත හැකි, ඔවුන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන, විනිවිදභාවය, වගකීම සහිත දූෂණයෙන් තොර පාලනයකි.

ජාතිය, ආගම, කුලය, ප්‍රදේශය ආදී කාරණා මැතිවරණයක දී ප්‍රමුඛ නොවන බව ඔප්පු කළ අවස්ථාවක් ලෙස ද මෙම ජනාධිපතිවරණය හැඳින්වීමේ වරදක් නැත. සමස්ත මැතිවරණ ක්‍රියාවලිය තුළම එම තත්වය දැකගත හැකි විය. එබැවින් පළාත, ජාතිය හෝ වර්ගය මූලික කොටගෙන නායකත්වය ගොඩනැඟෙනවාට වඩා ජාතික මට්ටම නියෝජනය කරමින් නායකත්වය ගොඩනැගිය යුතු බව මෙරට දේශපාලන සංස්කෘතියට පූර්වාදර්ශයක් සැපයූ අවස්ථාවක් ලෙස ද මෙය පෙන්වා දිය යුතුය. ජනතාව ඡන්දය භාවිත කළ ආකාරය පරික්ෂා කළහොත් උතුරු නැගෙනහිර සහ කඳුකර ප්‍රදේශවල බහුතර ඡන්ද ලැබී තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට බව පැහැදිලි විය. එහෙත් දකුණේ බහුතර ඡන්ද ලැබී තිබුණේ අනුර කුමාර දිසානායක මහතාටය. මෙරට සුළු ජාතිකයන් අතර මුල් බැසගෙන තිබූ එක්තරා දේශපාලන මතයක් මෙයින් හෙළිදරවු වේ. එනම් ඒ ප්‍රදේශවල ක්‍රියාත්මක වන සුළුජාතික පක්ෂ ඉතා බලවත් බවය. එම දේශපාලන පක්ෂවලට ජනතාව ගරු කරනවා වගේම එම පක්ෂවල නායකයන් දරන මතය ද පිළිගන්නා බව මෙයින් පැහැදිලිය. මෙවර ද එම ප්‍රදේශවල බොහෝ විට සිදුවූයේ තම දේශපාලන නායකයන් ජනතාවට ප්‍රකාශ කළ මතය ජනතාව විසින් පිළිගනු ලැබීමය. එහෙත් සුළු ජාතිකයන්ට මෙහිදී ලැබෙන පණිවිඩය නම් අප තවදුරටත් මෙසේ බෙදී සිටීමෙන් පලක් නොවන බවය. රට සංවර්ධනය කිරීමට හෝ ජාතිය ගොඩනැගීමට හෝ එම බෙදීමෙන් වාසියක් අත් නොවේ. ජාතිය, ආගම හා ප්‍රදේශය පදනම් කරගත් දේශපාලන මතයකට කොටු නොවී ජාතික මට්ටමේ දේශපාලන ක්‍රියාවලියකට පෙළගැසිය යුතු බව අවධාරණය කළ හැකිය.

සුළු ජාතික දේශපාලන පක්ෂවල සිටින ඇතැම් නායකයන් තම දේශපාලන වාසිය සඳහා තම ප්‍රදේශවල සිටින පුරවැසියන් පාවිච්චි කිරීම මහත්මා දේශපාලනයක් නොවන බව ද පැහැදිලි කළ යුතුව ඇත. දකුණේ සහ උතුරු නැගෙනහිර දේශපාලන නායකයන් අතර තවමත් දැකිය හැකි දේශපාලන පරතරය අවම විය යුතු වගේම ඔවුන් ජාතික මට්ටමේ දේශපාලනය වෙත අවතීර්ණ විය යුතු බව මෙම මැතිවරණයේදී ද පැහැදිලි වූ කරුණකි. ඔවුන්ගේ ගැටලුවලට සාමුහිකව විසඳුම් සෙවිය හැක්කේ එවන් ජාතික මට්ටමේ දේශපාලන සංස්කෘතියක් තුළය.

එහෙත් මෙහිදී තව දෙයක් කිව යුතුය. සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට දකුණේ තරුණ තරුණියන් තුළ පැවැති වුවමනාව උතුරු - නැගෙනහිර හා කඳුකරයේ තරුණ තරුණියන් තුළ ද පැවතිණ. එය තවදුරටත් දියුණු කළ යුතුය යන අදහස මෙවර ජනාධිපතිවරණයෙන් පැහැදිලිව ඔප්පු වී පෙනෙන කරුණකි.

උතුරු - නැගෙනහිර දෙමළ සමාජය නියෝජනය කිරීමට අරියනේතිරන් මහතා වෙනම අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් මේ සඳහා සාමුහිකව එක්වූ බව දැකිය හැකිය. එහෙත් TNA වැනි  පක්ෂවල ඇතැම් දේශපාලකයන් මේ සඳහා විරුද්ධව සිටි බව ද පෙනුණි. එහෙත් මෙම අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහසකටත් අඩුය. එයින් පැහැදිලි වන කාරණාව වන්නේ උතුරු - නැගෙනහිර ජීවත්වන දෙමළ ජනතාව මැතිවරණයේදී ‘දෙමළ ජාතිකත්වය’ නමැති සංකල්පය තවදුරටත් පිළිගැනීමටම සූදානම් නැති බවය.

එසේම මෙම ජනාධිපතිවරණයෙන් හෙළිදරවු වන තවත් කාරණයක් නම් රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ද ජනතාව ප්‍රතික්ෂේප කොට ඇති බව ය. මෙම ආර්ථික ක්‍රමයෙන් ජනතාව මත පැටවුණු බදු බර ඇතුළු දුෂ්කරතා ඔවුනට තවදුරටත් දරාගැනීමට නොහැකි බව මෙයින් ප්‍රකාශ වේ. මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ද විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු එකකි. අපේක්ෂා නොකළ තරමේ තැපැල් ඡන්ද සංඛ්‍යාවක් අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබුණි. මෙම ඡන්දවලින් නියෝජනය වන්නෝ රාජ්‍ය සේවකයෝය. ප්‍රතිඵලය අනුව පැහැදිලි වන්නේ රාජ්‍ය සේවයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධව විරෝධය පළ කළ යුතු බවට රාජ්‍ය සේවකයන් දැඩි මතයක සිටි බවය. දූෂණය නිසා රට විනාශ වී ඇති බව රාජ්‍ය සේවකයන් බහුතරය පිළිගෙන ඇති බව එයින් තහවුරු වේ. තමන් දූෂණයට එරෙහිව ක්‍රියාකිරීමට සූදානම් ය යන රාජ්‍ය සේවක පණිවිඩය මෙම ඡන්ද ප්‍රතිඵලය අනුව පෙනෙන්නට තිබේ. එය ඉතාම වැදගත් කාරණයකි.

තවමත් සමාජය තුළ පවත්නා පොදු මතය බවට පත්ව තිබෙන්නේ රාජ්‍ය සේවය දූෂිත බවින් යුක්තය යන්නය. රාජ්‍ය සේවය සම්බන්ධ මහජන  විශ්වාසය පළුදු වී තිබේ. දේශපාලකයන්ගේ දූෂණ අක්‍රමිකතා ආදියට උදව් දෙන්නේ රාජ්‍ය සේවකයන්ය යන අදහස කලක පටන් සමාජයේ තහවුරු වූ මතයකි. එහෙත් මේ වන විට රාජ්‍ය සේවයේ බහුතර පිරිසක් ඒ මතයට එරෙහිව තම පරම අයිතිය වන ඡන්ද බලය භාවිත කිරීම වැදගත් කාරණයකි. එය අලුතින් පත්වන ආණ්ඩුව ද අවධානයට ගත යුත්තකි. දූෂණයට විරුද්ධව ආයතන ක්‍රියාත්මක කිරීමට ඊට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට මෙය හොඳ අවස්ථාවකි.

මෙම මැතිවරණයෙන් අපට තේරුම් ගැනීමට ඇති තවත් වැදගත් කරුණක් නම් දේශපාලන පක්ෂ ක්‍රමයේ වෙනසක් ඇතිවී තිබීම ය. නිදහසෙන් පසු මේ දක්වා දිගින් දිගටම පාලනය අත්පත් කරගත් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි ප්‍රධාන පැරැණි දේශපාලන පක්ෂ මෙම මැතිවරණයෙන් මහජනයා ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ වෙනුවට අලුතින් බිහිවුණු ජාතික ජනබලවේගය සහ සමගි ජනබලවේගය යන පක්ෂවලට වැඩි ජනතා විශ්වාසයක් දිනාගැනීමට හැකියාව ලැබී ඇත. මෙම පක්ෂ දෙක ද සුළු පක්ෂ කිහිපයක එකතුවකින් සැදුම්ලත් සන්ධාන පක්ෂ වේ. මේ අනුව ලංකාවේ නව දේශපාලන පක්ෂ ක්‍රමයක ඇති එක් ප්‍රවණතාවක් ද මෙයින් හඳුනාගත හැකිය. ඒ සමගම අලුත් දේශපාලන පන්තියක් මේ රටේ ඇතිවී තිබේ.

1978 ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය යටතේ පැවැත්වූ ජනාධිපතිවරණ නවයකට අපි මුහුණ දුන්නෙමු. මීට පෙර පැවැති ජනාධිපතිවරණ අටෙහිම අපේක්ෂකයා ලබාගන්නා සියයට 50 ප්‍රතිශතය ගැටලුවක් වූයේ නැත. එහෙත් මෙවර එම ප්‍රතිශතය ලබාගැනීමට කිසිම අපේක්ෂකයකුට නොහැකි විය. එයින් අප තේරුම්ගත යුතු කාරණය නම් මේ මැතිවරණ ක්‍රමයේ ඇති අවුල් සහගත භාවයයි. ප්‍රංශය වැනි රටවල් භාවිත කරන්නේ ද මෙම මැතිවරණ ක්‍රමය වුවත් අප එය භාවිත කිරීමේ යම් යම් වෙනස්කම් දැකිය හැකිය. අනාගතයේ මෙවැනි අර්බුද ඇතිවීම වැළැක්වීමට නම් මැතිවරණ ක්‍රමය පිළිබඳව අපි තවදුරටත් සිතා බැලිය යුත්තෙමු.

මෙම මැතිවරණයේ දී සමස්ත ඡන්දදායකයන්ගෙන් ලක්ෂ තිස්අටක් පමණ පිරිසක් ඡන්ද භාවිත කොට නැත. එයින් ලක්ෂ 20 ක් පමණ මැදපෙරදිග ඇතුළු විදේශවල රැකියා කරන පිරිසකැයි සිතුවත් තවත් ලක්ෂ 18 ක පමණ පිරිසක් සිටිති. මෙසේ ජනතාව ඡන්දය  පාවිච්චි නොකිරීමෙන් පෙනී යන්නේ මේ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳවත් පක්ෂ දේශපාලනය පිළිබඳවත් ජනතාව තුළ ලොකු අවිශ්වාසයක් ඇතිවී තිබෙන බවය. එය අවම කළ හැක්කේ කෙසේ ද? ඊට ගත හැකි ක්‍රියාමාර්ග කවරේ ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා මහජනයාට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම අවශ්‍ය වේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු අනෙකුත් ප්‍රතිසංස්කරණ සඳහා එම බහුතර බලය හා යම් කාලයක් අවශ්‍ය වේ. එහෙත් ඊට පෙර කෙටිකාලීනව ගතයුතු ක්‍රියාමාර්ග අතර ප්‍රධාන වන්නේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනීම ය. අඩුම තරමේ එය දැන් පවත්නා තත්වයේ හෝ තබාගත යුතුය. ආර්ථිකය තිබෙන තැනිනුත් කඩා වැටී තවදුරටත් අස්ථාවරත්වයට පත්වුවහොත් විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත.

එසේම ජාත්‍යන්තර මට්ටමින් අපේ රට හා පවත්නා සබඳතා තවදුරටත් වර්ධනය කිරීම වැදගත්ය. ඒ සබඳතා හරහා පදනම් කොට ගෙන විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමේ හැකියාව සොයා බැලීම ඉතාම අවශ්‍ය වේ. විදේශ ආයෝජකයන්ට ලංකාවේ ආණ්ඩුව පිළිබඳව දැනට පවත්නා අවිශ්වාසය දුරු කළ යුතුව ඇත.

මේ වසර තුළදී පමණක් තරුණයෝ 70000 ක් පමණ මේ රට අතහැර ගොස් සිටිති. ලංකාව පිළිබඳව ඔවුන්ට ඇත්තේ අවිශ්වාසයකි. අපේ රටට හා ආර්ථිකයට එයින් සිදුවන හානිය බරපතළ ය. එය වැළැක්වීමට නම් තරුණයන් රට හැර යන මානසිකත්වය දුරු කිරීමේ අවශ්‍යතාව පවතී. එම පරිසරය සකසන අතරෙහි රටේ නිෂ්පාදන ආර්ථිකයක් වර්ධනය කිරීමත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීමත් ඉතාම අවශ්‍ය වේ.

(*** සටහන – ගාමිණී කන්දේපොළ)

 



අදහස් (1)

​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය

Lakshman Thursday, 26 September 2024 03:02 PM

ස්තුතියි...! ඔබේ සවිස්තරාත්මක ලිපියට...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 112 0

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 41 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 182 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 338 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 74 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 56 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 246 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 416 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 931 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site