ජනතා විමුක්ති පෙරමුණ විසින් ලෝකයේ පළමු අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක කරන ලද පළමු කැරැල්ල හෙටට අඩ සියවසක් සම්පූර්ණ වේ.
මාක්ස්වාදය අනුව සමාජවාදී සමාජයක් ගොඩ නැඟීම අරමුණු කොට ගෙන ඇති වූ එම තරුණ නැගිටීම මාක්ස්වාදය පිළිගත් පක්ෂ දෙකක් ද හවුල් වූ එවකට පැවැති සමඟි පෙරමුණ ආණ්ඩුව විසින් දරුණු ලෙස මර්දනය කෙරිණි.
කැරැල්ලට සම්බන්ධ වූ සහ නොවූ දස දහස් ගණන් තරුණ තරුණියෝ ඝාතනය කරනු ලැබූහ. තවත් ඒ හා සමාන පිරිසක් අත්අඩංගුවට ගෙන හෝ රජයට භාරවීමෙන් පසු සිරගත කරනු ලැබූහ. මාර්ග අයිනේත් ගංගාවල පාවෙමිනුත් මළ සිරුරු දක්නට ලැබිණි. ‘‘ටයර් සෑය’’ යන වචනය මෙරට දේශපාලන ශබ්ද කෝෂයට එකතු වූයේ එම කැරැල්ල සමයේදීය. ඒ අත්අඩංගුවට ගන්නා ලද ඇතැම් තරුණ තරුණියන් ඝාතනය කරනු ලැබ හෝ පණපිටින් ටයර් දමා පුළුස්සා දමනු ලැබූ බවට වාර්තා වූ හෙයිනි.
ඉන් වසර හතරකට පමණ පසු ආරම්භ වී දශක තුනක් තිස්සේ ප්‍රධාන වශයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර කෙරුණු යුද්ධය හා සමඟ සසඳන කල 71 කැරැල්ල කුඩා ළමයින්ගේ හිතුවක්කාරකමක් වැනිය. කැරැලිකරුවෝ තමන්ම නිෂ්පාදනය කරගත් අතිශයින් අනතුරුදායක වූ අත්බෝම්බ හා සොරකම් කරන ලද තුවක්කු ඉතා සුළු සංඛ්‍යාවකින් සන්නද්ධව සිටි අතර ඔවුන් මර්දනය කිරීම එවකට සාපේක්ෂ වශයෙන් කුඩා වූ පොලීසියට හා ත්‍රිවිධ හමුදාවනට වුවද එතරම් දුෂ්කර වූයේ නැත.
ඇතැම් පොලිස් ස්ථාන අල්ලා ගැනීමටත් ඇතැම් ප්‍රදේශ දින කිහිපයකට පාලනය කිරීමටත් කැරැලිකරුන්ට හැකිවූ නමුත් ක්‍රමවත් අවි පුහුණුවකින් හා අඛණ්ඩ අවි සැපයුම් මාර්ගයකින් තොරව ඉතා පහසුවෙන් ආරක්ෂක හමුදා තමන්ට යටත්වනු ඇතැයි යන පදනමකින් තොර විශ්වාසයකින් යුතුව ක්‍රියා කළ ඔවුනට ආරක්ෂක හමුදාවන්ගේ අඛණ්ඩ සුළු අවි ප්‍රහාරවලට හෝ මුහුණ දී ගත නොහැකි විය. සති දෙක තුනකින් කැරැල්ල මර්දනය කෙරිණි. සුළු පිරිසක් වන ගතවී මාස ගණනාවක් සිටියේ වුවද ඒ යළි කැරැලි ගැසීමේ අරමුණෙන් නොව ආත්මාරක්ෂාව සඳහා පමණි.
කෙසේ වෙතත් 1971 අප්‍රේල් කැරැල්ල පසුගිය සියවසේ මෙරට දේශපාලනයේ සිදුවූ වැදගත් සිදුවීම්වලින් ප්‍රධාන එකකි. කැරැල්ල පරාජය වුව ද එය මෙරට දේශපාලනයට කළ බලපෑම සැලකිය යුතු තරම්ය. කැරැල්ලට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ කිසිදු බලයකට පත් නොවුව ද මෙරට දේශපාලනයේ ප්‍රධාන අංගයකි.
එහෙත් කැරැල්ලට පනස් වසරක් ගතවන හෙට දිනයේ දී එහි උරුමය කියා ගන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවේ. ජවිපෙන් කැඩීගිය පිරිස් හා ජවිපෙන් කාලයත් සමග හැළී ගිය පිරිස්ද කැරැල්ලත් කැරලිකරුවන්ගේ පරිත්‍යාගයනුත් සැමරීමට වෙන වෙනම සැරසී සිටිති. අවසානයට ජවිපෙන් කැඩීගිය කණ්ඩායම වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉන් එක් කණ්ඩායමකි.
කලෙක ජවිපෙ තුළ කැපවීමෙන් ක්‍රියාකළ එහෙත් පසු කාලයේදි පවුල් බර දේශපාලන මතභේද හා අඛණ්ඩව තවදුරටත් කැප කිරීම් කිරීමට ඇති නොහැකියාව වැනි බොහෝ කාරණා හේතුවෙන් තනි තනිව එම පක්ෂයෙන් ඉවත් වූ හෝ ඉවත් කරනු ලැබූ පිරිසක්ද‘‘71 සහෝදර සංසදය’’ යන නමින් පසුගිය වසර කිහිපයක් තිස්සේ ‘‘බක් මහ විරු සමරුව’’ යනුවෙන් මේ වනවිට ජවිපෙ හා ඉන් ඉවත්වූවන් අතර ප්‍රචලිත සැමරුමක් පවත්වති.
මේ අතර තවත් පිරිසක් ද බක්මහ විරු සමරුව ඔස්සේ දේශපාලන ගොණුවක් ඇතිකර ගැනීමට උත්සාහ දරනු පෙනේ. ඒ ජවිපෙ නිර්මාතෘ, අභාවප්‍රාප්ත රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර හා රෝහණ විජේවීර මහතා සමඟ 1971 කැරැල්ලට පෙර සමීපව කටයුතු කළ කිහිප දෙනකුගේ පුතුන්ය.
පසුගිය දිනවල මෙම පිරිස ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ කැරැලිකරුවන්ගේ දෙවැනි පරම්පරාව සමඟ සබඳතා ඇති කර ගැනීමට කටයුතු කරනු පෙනිණි. එහෙත් ඔවුන්ගේ දේශපාලන අරමුණු පැහැදිලි නැත. ඔවුනට මෙරට දේශපාලනයට බලපෑමක් කළ හැකි වනු ඇත්ද? නැත්නම් එය හුදෙක් තම පියවරුන්ගේ කටයුතුවලින් ආස්වාදයක් ලැබීමේ ගොණුවක් ද යන්න පැහැදිලි නැත.
ජනතා විමුක්ති පෙරමුණ බිහිවූ දා සිට ඉන් බොහෝ කණ්ඩායම් කැඩීගොස් තිබේ. ඒවායින් යම් කාලයක් දේශපාලන කණ්ඩායමක් වශයෙන් පවතින්නට හැකි වී ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හා කර්මාන්ත ඇමැති විමල් වීරවංශගේ නායකත්වයෙන් 2008 වසරේ දී කැඩී ගොස් ජාතික නිදහස් පෙරමුණ ගොඩනැඟූ පිරිසට පමණි. එහෙත් ජාතික නිදහස් පෙරමුණ මේ වනවිට ජවිපෙ දේශපාලනය පමණක් නොව එහි දේශපාලන සම්ප්‍රදායයන් හා ජවිපෙ ප්‍රචලිත කළ ඇවතුම් පැවතුම් පවා අත්හැර ඇති බව පෙනේ. ඔවුන් පසුගිය කාලයේ 1971 කැරැල්ල වෙනුවෙන් හෝ 1988/89 කැරැල්ල වෙනුවෙන් හෝ සැමරුම් උත්සව පැවැත්වූයේ නැත.
1848 මාතලේ කැරැල්ලෙන් පසු සාමාන්‍ය ජනතාව අතරින් පැවැති ආණ්ඩුවට එරෙහිව පැන නැගුණ පළමු ආයුධ සන්නද්ධ නැඟිටීම 1971 අප්‍රේල් කැරැල්ලයි. ඊට පෙර හමුදා කුමන්ත්‍රණ වැනි රාජ්‍ය විරෝධී ප්‍රචණ්ඩ උත්සාහයන් දක්නට ලැබුණ ද ඒවා සාමාන්‍ය ජනතාව අතරින් පැන නැගුණු නැඟිටීම් නොවේ.
තවත් අපූරු කරුණක්නම් නිදහසින් වසර 23කට පසු ඇතිවූ නැඟිටීමක් වුවද 1971 කැරැල්ලද නිල වශයෙන් සැලකුණේ බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිව එල්ල වූ නැඟිටීමක් ලෙසය. ඒ එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය යටතේ ඩොමීනියන් තත්ත්වයේ රාජ්‍යයක් වූ හෙයිනි. ඒ අනුව බ්‍රිතාන්‍ය මහ රැජින මෙරට මහ රැජින වූ අතර මෙරට සිටි ආණ්ඩුකාරයා රැජිනගේ නියෝජිතයා විය.
කැරැල්ල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූවන් හට නඩු පැවරීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව යනුවෙන් අලුත් කොමිෂන් සභාවක් පිහිටුවන ලදී. එහිදී ඔවුන්ගේ චෝදනා පත්‍රවල සඳහන් වූයේ ‘‘නෛකශ්‍රින් විරාජමාන වූ මහා රාජිනියන් වහන්සේ ගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීම හා යුද්ධ කිරීම’’ යන චෝදනාවයි.
මෙය කැරැල්ලට පෙරම ජවිපෙ ජනතාව හමුවේ තැබූ ප්‍රධාන කාරණාවකි. එකල කැරැලිකරුවන් අලුතින් තම ව්‍යාපාරයට සම්බන්ධ වන්නන්හට පත්වන ලද පංති පහෙන් එකක් වූයේ ‘‘ නිදහස නව යටත් විජිත උපක්‍රමයකි.’’ යන්නයි. එමඟින් කියවුණේ 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබූ බව පාලකයන් පැවසුවද රට සැබවින්ම තවමත් පවතින්නේ රැජිනගේ පාලනය යටතේ බවයි.
මෑත ඉතිහාසයේ ඇතිවූ පළමු ප්‍රචණ්ඩ නැගිටීම වුවා සේම 1971 කැරැල්ල මෑත ඉතිහාසයේ පළමු දරුණුතම රාජ්‍ය මර්දනය ද විය. එතෙක් උපවාස සත්‍යග්‍රහ වැනි සාමකාමී උද්ඝෝෂණවලට සීමා වී තිබූ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අරගලය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගන්නට ආස්වාදයක් ලබා ගත්තේ අප්‍රේල් කැරැල්ලෙන් යැයි ඇතැම් විචාරකයෝ පවසති.
මුල් කාලයේ දී දෙමළ සංවිධාන ද යොමු වී සිටියේ මාක්ස්වාදය වෙතය. ඒ අනුව මාක්ස්වාදය වෙතට යොමු වූ දකුණේ පිරිසකගේ සන්නද්ධ අරගලයකින් මාක්ස්වාදය වෙතට යොමුවූ උතුරේ පිරිසක් ආදර්ශයක් ගැනීම විය හැකි දෙයකි. මන්දයත් මාක්ස්වාදය ප්‍රචණ්ඩ දේශපාලනය මුළුමනින්ම බැහැර නොකරන හෙයිනි.
ඇතැම් විට 1988/89 ජවිපෙ දෙවැනි කැරැල්ලටද 1971 කැරැල්ලේදී තම සගයන් කළ කැප කිරීම් හා පරිත්‍යාග පෙළඹවීමක් වූවා විය හැකිය.
පසුකලීන උතුරු හා දකුණු කැරැලිවල දී මෙන්ම 1971 කැරැල්ලේදීද ආරක්ෂක හමුදා මෙන්ම කැරැලිකරුවෝද අතිශයින් කෲර වූහ. ඒ අතර කැරලිකරුවන් වෙතින් අසාමාන්‍ය කැපකිරීම් ද දක්නට ලැබිණි.
එසේම ජවිපෙ මුල සිටම මෙරට දේශපාලන සංස්කෘතියට ද විශාල බලපෑමක් කළේය. තම පරමාර්ථය වෙනුවෙන් ජවිපෙ නායකයන් හා සමාජිකයන් බහුතරයක් වෙතින් අසාමාන්‍ය වූ කැපවීමක් දක්නට ලැබිණි. තම පෞද්ගලික පල ප්‍රයෝජන නොතකා දින ගණන්, සති ගණන් හෝ ඇතැම් විට මාස ගණන් එක දිගට පක්ෂය වෙනුවෙන් වැඩ කිරීමට ඔවුහු ඉදිරිපත් වූහ.
දැනුදු පක්ෂය විසින් ගන්නා ලද තීරණයක් අනුව එහි පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු තම වැටුපත් වාහනත් වෙනත් දීමනාත් පක්ෂ අරමුදලකට බැර කොට පක්ෂයෙන් දෙන දීමනාවකින් හා පක්ෂයේ ආධාරකරුවන්ගේ උපකාරයෙන් තම අවශ්‍යතා ඉටුකර ගනිති. ජවිපෙ දේශපාලන තීරණ කෙනකුට කොතෙක් පිළිගත නොහැකි වුවද ඔවුන් මෙරට දේශපාලන සදාචාරයට එක් කළ මෙවැනි අංග නොපිළිගැනීමට හේතුවක් නැත.
දැනට වඩා පහසුකම් අතින් අතිශයින් දුෂ්කර වූ අතිතයේදීද බොහෝ ජවිපෙ සාමාජිකයෝ තමන්ගේ රැකියා හා උසස් අධ්‍යාපනය අත්හැර පූර්ණකාලීනව පක්ෂයේ කටයුතුවල නිරත වූහ.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉගැන්වීම් කෙනකුට පිළිගත නොහැකි වුවද එහි සාමාජිකයන්ගේ හා ක්‍රියාකාරිකයන්ගේ මෙම කැපවීම පිටුපස තිබූ උත්තේජනය වූයේ ද ඔවුන්ගේ අධ්‍යාපන වැඩ පිළිවෙළයි. එය එදිනෙදා ප්‍රශ්න පිළිබඳ සරල සාකච්ඡාවකින් පටන්ගෙන මාක්ස්වාදී දර්ශනය, ආර්ථික විද්‍යාව ආදි ගැඹුරු විෂයයන් කරා යන වැඩ පිළිවෙළක් විය.
එකල තරුණ පිරිස් සමාජවාදය වෙතට ආකර්ෂණය කර ගන්නට ජවිපෙ ඇතුළු ලෝකයේ වාමාංශික ව්‍යාපාරයට ඉතා ප්‍රබල ජාත්‍යන්තර උදාහරණ තිබිණි. ඒ අතිශයින් පසුගාමී හා වැඩවසම් සමාජ ලෝක බලවතුන් බවට පත් කළ රුසියානු චීන හා කියුබානු විප්ලවය සමාජවාදය දේශනා කරන දේශපාලන පක්ෂවලට එල්ලවූ දරුණුම ප්‍රහාරය වූයේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය කැඩී බිඳි විසිරී යාමත් සමාජවාදි රටවල්ද ක්‍රමයෙන් ධනවාදී ආර්ථිකය වැළඳ ගැනීමත්ය.
1983 දෙමළ විරෝධි කෝලාහලවලින් පසු ජනාධිපති ජේ.ආර්. ජයවර්වර්ධන මහතාගේ ආණ්ඩුව ජවිපෙ ඇතුළු පක්ෂ තුනක් කිසිදු සාධාරණ හේතුවකින් තොරව තහනම් කළේය. එහි ප්‍රතිඵලය වූයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී මාවත් ඇහිරී ජවිපෙ යළිත් 1988/89 කාල පරිච්ඡේදයේදී ආයුධ අතට ගැනීමයි. මෙය කොහෙත්ම නිවැරැදි පියවරක් නොවු අතර එහි ප්‍රතිඵලය වූයේ හැට දහසකට වැඩි පිරිසකට ජීවිත අහිමිවීමය. ජවිපෙ නායක රෝහණ විජේවීර මහතාද ඒ අතර විය.
ජවිපෙ වෙතින් එල්ලවූ මතවාදී පීඩනය 1970 මහ මැතිවරණයට පෙරම ශ්‍රීලනිප ඇතුළු සමඟි පෙරමුණට දැනිණි. ඒ අනුව ඩොමිනියන් පාලනය වෙනුවට බ්‍රිතාන්‍ය පාලනයෙන් මුළුමනින්ම වෙන්වූ ජනරජයක් සඳහා වූ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට බණ්ඩාරනායක මහත්මිය 1970 මැතිවරණයේදී පොරොන්දු වුවාය. එය කැරැල්ලෙන් පසු 1972 දී ඉටුවිය.
විධායක ජනාධිපතිවරයාගේ බලතල එක්තරා දුරකට හෝ අඩු කරන්නට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යටතේ වූ ‘‘පරිවාස ආණ්ඩුව’’ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේද ජවිපෙ කළ බලපෑම නිසාය.
වෙනම රාජ්‍යයකට සමාන අන්තර් කාල පරිපාලන සභාවක් සඳහා වූ යෝජනාව ඇතුළු කොටි සංවිධානයේ සියලු යෝජනා පිළිගනිමින් එ.ජා. පෙරමුණ ආණ්ඩුව සාම සාකච්ඡා ඔස්සේ යන්නට ගිය අනතුරුදායක ගමන වැළැක්වූයේ ද ජවිපෙයි.
එහෙත් ජවිපෙට නුදුරු අනාගතයේදී බලයට පත්වීමට හැකිවේදැයි යන්න ඕනෑම කෙනකු තුළ මතුවන ප්‍රශ්නයයි. ජනතාව පක්ෂයක් බලයට පත් කිරිමේදී ආකර්ශණීය ප්‍රතිපත්ති මෙන්ම එම පක්ෂයට බලයට පත්වන තත්ත්වයක් තිබේදැයි යන සාධක දෙක බලපායි. ඒ කාරණා දෙකේදී ජවිපෙට ඒ ඒ කාලවල ඇති ප්‍රධාන පක්ෂ දෙක සමඟ තරග කරන්නට මෙතෙක් හැකි වී නැත. ඔවුන් දේශපාලනය වෙනුවෙන් කරන පෞද්ගලික කැපකිරීම්වලින් ජනතාවට වැඩක් නැත.
(*** එම්.එස්.එම්. අයුබ්)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජ.වි.පෙට ජනතාව නොවැටහීම
කේ.එස්.ලංකාතිලක Monday, 05 April 2021 12:45 PM
චීනය වියට්නාමය හා කියුබාවේ කතිරෙන් නෙවෙයි මෙහි ජන හඩ ගෙන ආවේ විප්ලවවාදි තරුණයනි අද ලංකාවේ පෙන්විය යුතුය විප්ලවයක තිර බාවේ
NuwanTuesday, 06 April 2021 01:54 PM
කණගාටුවට කරුණ ලාංකික තරුණයන් පහුගිය කාලේ කළේ මහල්ලන්ට වන්දනා මාන කිරීම... දැන් පේනවා නේද ඒකේ ප්‍රතිඵල...
Deepsal Nirosh Wednesday, 07 April 2021 09:05 AM
අද තරුණ පරපුරේ බහුතර අපේක්ෂාව තමුන්ට අවශ්‍ය හෝ එසේ නැති හෝ ආණ්ඩුවක් පිහිටුවාගෙන කැප කිරීම් කර රට ගොඩනැගීම නොවෙයි. මීට වඩා තමුන්ට හොඳ යයි සිතෙන රටකට පැන ගැනීමයි. ආන්න ඒකට අවශ්‍ය පසුබිම සකසා ගැනීමයි ඔවුන් පවතින ආණ්ඩුවකින් අපේක්ෂා කරන්නෙ. ඉතින් මේ කාරණයවත් නො තේරෙන පක්ෂයකට ලංකාව තුළ මොන දේශපාලන අනාගතයක් ද?
නිරන්ජන් විතාරන Friday, 16 April 2021 05:25 AM
ජවිපෙ දැක්ම ,ආකල්ප,හැසිරීම ඔක්කොම හොදයි...ඒත් හිතෙනවද ජවිපෙට රටේ ආණ්ඩුව පිහිටවන්න වුවමනාවක් තියෙනව කියල? එයාලට හැමදාම ඕනෙ වුණේ තීරණාත්මක සාධකය වෙන්න විතරයි...පොඩි පක්ෂ කැපී පේන්නෙ විපක්ෂයේ ඉන්න තරමට