IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජාතිය වැටුණේ ඇයි?

නිදහසෙන් පසු වසර 75ක කාලයක්, අප අපේක්ෂා කළ නිදහස වෙනුවට දිනෙන් දින, වසරින් වසර වහල්භාවයේ පතුලට කිදා බසිමින් සිටින බව නොරහසකි. දළ දේශීය නිෂ්පාදනයේ අඩු වර්ධන වේගය, විදේශ වත්කම් හිඟකම, දිනෙන් දින පළල් වන වෙළඳ ශේෂය, අදායමට වඩා උස් වූ රජයේ වියදම ආදී මෙකි නොකී කරුණු මත පදනම් වූ ආර්ථික, සමාජීය සහ දේශපාලන අස්ථාවරත්වය නිසා ඉන්දියන් සාගරයේ මුතු ඇටය එම සාගරය තුළම ගිලී යන තත්ත්වයකට අද පත් වී ඇත.

වසර 2500 කටත් වැඩි අතීතයකට උරුමකම් කියන අප ප්‍රෞඩ ඉතිහාසයේ සලකුණු පවා නැතිවී යන තරමට මෙම තත්ත්වය අසාද්‍ය වී ඇති බව සියලු‍ දෙනාගේම පිළිගැනීමයි.

මෙම ව්‍යසනයට වගකිවයුත්තන් කවුරුන් ද යන ප්‍රශ්නය අද සමාජය විසින් නිරන්තරයෙන් අසනු ලබන පැනයක් වී ඇතිවා පමණක් නොව එයට නිරුත්තර වූ පාලකයන් ද අන්ද මන්ද වූ බවක් පෙනී යයි.

කවුරු කෙසේ කීවත්, මෙයට වගයුත්තෝ නිදහසෙන් පසු තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ දේශපාලකයෝ බව බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් රටෙහි පුරවැසියන් වශයෙන් අප සියලු‍ දෙනාමත් මෙම ප්‍රශ්නයට අඩු හෝ වැඩි වශයෙන් වගකිය යුතු වේ.

අප අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් ද්විත්වයටම බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබුණේ එකම අවධියකයි. එහෙත් බිලියන 1.3 කට වැඩි ජනගහනයක් ජීවත් වෙන ඉන්දියාව ආර්ථික බලවතෙක් බවට පත්වුණා පමණක් නොව ලෝක බලවතෙක් වීමේ මාර්ගයට අවතීර්ණ වූයෙත් අපට නැති එහෙත් ඔවුනට ඇති ව්‍යවසායකත්ව ලක්‍ෂණ නිසා බව, මෙහි  හේතු සහ ඵලයන් පිළිබඳව ගැඹුරට අධ්‍යයනය කරන්නකුට පෙනී යන කරුණකි.

එපමණක් නොව, 1950 ගණන්වල දී ලී කුවාන් යු බලයට පත් වූ පසු සිංගප්පූරුව, සිංගප්පුරුවෙන් වෙන් වූ මලයාවෙහි අනෙක් රට වන මැලේසියාව, ස්වාභාවික සම්පත් ඉතා අඩු තායිලන්තය මෙන්ම වසර ගණනාවක් ලොව බලවතා වන ඇමරිකාව සමග යුද වැදුනු වියට්නාමය වැනි අපට පෙනෙන දුරින් පිහිටි රටවල් අප පසුකරමින් ගවු ගණනක් ඉදිරියට පියනැගීමේ රහස සැලසුම්ක් මත මෙහෙයවුණු ව්‍යවසායකත්වයයි.

ශ්‍රී ලංකාව 1970 පටන් සංවර්ධනය වෙමින් පවතින රටකි. 2022 හිදී ද එහි වැඩි වෙනසක් නැත. ලේබලයක් හැටියට අප මැදි ආදායම් ලබන රටක් බවට හැඳින්වූවත් සාමාන්‍ය අවබෝධය අනුව නම් 1970දීත් අදත් බැලූ බැල්මට නම් ලොකු වෙනසක් නැත. ආර්ථික දර්ශක කෙසේ සඳහන් කළත් එක් අතකින් බලන විට වර්තමානයේ තත්ත්වය 70-80 කාලයටත් වඩා අන්තය.

1950 ගණන්වල අග භාගයේදී පෞද්ගලික අංශයේ ව්‍යාපාර ජනසතු කිරීමෙන් පටන් ගත් මේ ව්‍යවසායකත්ව විරෝධි ක්‍රියාදාමය සහ එයට අනුරූප වූ රාජ්‍ය ප්‍රතිපත්ති  විටින් විට අඩු වැඩිවී, අදත් ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් සහ නිල නොවන වශයෙන් ක්‍රියාත්මක වීම මේ ව්‍යසනයට මූලික හේතුවයි.

ව්‍යවසායකත්වයේ උන්මාදය, ව්‍යවසායකත්ව උද්දීපනය, ව්‍යවසායකත්වය මත පදනම් වූ ආර්ථික රටා ගැන වරින් වර පාලකයන් මෙන්ම පාලිතයන් එක් එක් හඬවලින් පාරම් බෑවත්, ව්‍යවසායකත්ව වර්ධනයට නම් නිදහසෙන් පසු වූ උත්තේජනයක් නම් ඇත්තේම නැති තරම්ය.

දේශපාලකයන්ට චෝදනා නැගිය යුතු බොහෝ වෙන වෙනත් කරුණු ඇත. දුෂණය, වැරදි කළමනාකරණය ආදී වශයෙන් වූ බොහෝ අභාග්‍යන්ට දේශපාලකයන් සෘජුව වගකිවයුතු වුවත්, රට තුළ අද පවතින ව්‍යවසායකත්ව හිඟයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ව්‍යවසායකත්වයට එරෙහිව  සමාජය විසින්ම නිර්මාණය කරවූ  සමාජීය සහ සංස්කෘතික හේතුය.

එසේනම් අප කියවූ, අපටම එරෙහිව වූ සමාජීය හා සංස්කෘතික බලපෑම් මොනවාදැයි විපරම් කිරීම වටී. රටක සාර්ථකභාවය එසේත් නැතිනම් සෞභාග්‍ය මනින දර්ශක කිහිපයක් ඇත. එයින් පළමුවැන්න එහි පවතින ආර්ථික සංවර්ධනය සහ මුල්‍යමය ශක්‍යතාවයි. මෙය මැනීමට විවිධ මිනුම්  දඩු  ඇතත් දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල අදායම , වෙළද ශේෂය වැනි  දර්ශක මේවායින් ප්‍රධාන තැනක් ගනී.

රටක සෞභාග්‍යය මනින තවත් දර්ශකයක් නම් සාමාජීය සංවර්ධනයයි. නීතිය සහ එයට අවනත බව, සමානාත්මතාව, වර්ධනීය ආකල්ප, නීතියේ සාධාරණත්වය, දූෂණ වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගවල විනිවිදභාවය ආදියෙනුත් සෞභාග්‍යය මැනෙයි.

රටක් ආර්ථික වශයෙන් සංවර්ධන වූවත් සාමාජීය හා සංස්කෘතිකමය සංවර්ධනයක් සිදු නොවන්නේ නම් ආර්ථික සංවර්ධනයෙහි තිරසාරභාවයක් බලාපෙරොත්තු විය නොහැක. එයට හේතුව ආර්ථික සංවර්ධනය යන ලාම්පුව තබා ඇත්තේ සමාජීය හා සංස්කෘතිකමය සංවර්ධනය නම් කනප්පුව මත බැවිනි. කනප්පුවේ කකුල් කැඩුණහොත් ලාම්පුව බිම වැටී බිඳී ගොස් සියල්ල අඳුරු වනු ඇත.

ශ්‍රී ලංකාවට බලපා ඇති ප්‍රධාන ගැටලු‍ව ද මෙය බව පෙනේ. රට තුළ දීර්ඝ කාලීනව වර්ධනය වන ඍණාත්මක ආකල්ප ව්‍යවසායකත්වය සංවර්ධනයට උත්තේජනයක් සිදුනොකරන බැවින් ව්‍යවසායකත්වය බිහිවීමට රට තුළ ඇති ඉඩකඩ දිනෙන් දින ඇසිරෙමින් පවතී. වර්තමාන ලෝකයේ සමාජවාදී ආර්ථික ක්‍රමවලින් පාලනය වන රටවල් ඇත්තේම නැති තරම්ය. 200 කට ආසන්න ලෝකයේ රටවල් අතරින් සියයට 75ත් 80ත් අතර පාලනය වනුයේ වෙළෙඳපොළ හස්තයන් මගිනි. කවුරු කැමති වුවත් අකැමැති වුවත් මෙම ආර්ථික ක්‍රමවේදය හැඳින්විය යුත්තේ ධනවාදී ආර්ථික ක්‍රමය නමිනි.

සමහරු මෙය වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය වශයෙන් ද හඳුන්වති. ධනවාදී ආර්ථික ක්‍රමයක් මගින් පාලනය වන රටක ආර්ථික කටයුතු වලින් සියයට 70ත් 80ත් අතර පමණ හසුරුවනු ලබනුයේ පෞද්ගලික අංශයයි. පෞද්ගලික අංශය ලාභ පරමාර්ථ කරගෙන ක්‍රියාත්මක වන බැවින් ඒවා අරම්භ කිරීමට පමණක් නොව පාලනය කිරීමට ද ව්‍යවසායකත්වය එසේත් නැති නම් ව්‍යවසායකයන් අවශ්‍ය වේ. අවාසනාවට මෙන් ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය අපට අවාසිදායක ලෙස හැසිරවෙනු ලබයි. වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් අනුගමනය කරන ශ්‍රී ලංකාවේ, පෙර සඳහන් කළ පරිදි එහි අත්‍යාවශ්‍යම අංගයක් වන, ආර්ථිකයේ කොඳු නාරටිය බදු  ව්‍යවසායකත්වය බිහිවීමට ඇති ප්‍රධාන බාධා සියල්ල නොඅඩුව පවති.

ව්‍යවසායකයකු නිරන්තරයෙන් ධනය නිර්මාණය කරයි. තවද එහි අතුරු ප්‍රතිඵලයක් හැටියට ඔහු රැකියා ද නිර්මාණය කරයි. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය ඉතා අසමතුලිත වේ. රැකියා නිර්මාණය කරන්නන්ට එරෙහිව රැකියා අපේක්ෂා කරන්නන්ගේ සංයුතිය සාමාන්‍යයෙන් සියයට 3 ට සියයට 97 කි. කෙටියෙන්ම කියතොත් ශ්‍රී ලංකාවේ ජීවත්වන වයස අවුරුදු 18 ත් 60ත් අතර රැකියා කිරීමට සූදානම් මුළු පිරිස මිලියන 8 ක් වන අතර ව්‍යවසායකයන්ගේ මුළු ගණන ඔවුන් අතරින් ලක්ෂ 2.5 කටත් අඩුය.

මේ සමීකරණය දෙස බලන විට මොනවට පෙනී යන කරුණක් නම් ශ්‍රී ලංකාවේ සිටින රැකියා නිර්මාණය කරන්නන්, එසේත් නැත්නම් ව්‍යවසායකයන්, රැකියා බලාපොරොත්තු වන්නන්ට ප්‍රතිශතාත්මකව ඉතා අඩු අගයක් ගන්නා බවයි. අප අසල්වැසි ඉන්දියාවේ ව්‍යවසායකයන්ගේ ප්‍රතිශතය සියයට 7 ක් වන අතර වියට්නාමයේ සහ සිංගප්පූරුවේ සියයට 10 කි. එම රටවල් කෙටි කාලක් ඇතුළත ශක්තිමත් ආර්ථිකයන් ගොඩනැගීමට ප්‍රධාන හේතුව මේ ව්‍යවසායකත්ව නැමියාව බව සියලු‍ ආර්ථික විශේෂඥයන් පිළිගනුයේ එබැවිනි.

රටක පවතින ව්‍යවසායකත්ව පරිසරය ගැන වාර්ෂිකව සමීක්ෂණය කරන GEDA ආයතනය විසින් එළි දක්වන GEI දර්ශකය විසින් ශ්‍රී ලංකාවේ තත්ත්වය වසරින් වසර පහත දමනු ලබනුයේ එබැවිනි. යුදමය වාතාවරණයක් මත වුවද 2007 වසරේ දී 71 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව, 2019 වසරේ දී 90 වැනි ස්ථානයට පහත වැටි ඇත. ඔවුන්ගේ නිර්වචනයට අනුව මෙම පහත වැටීමට ප්‍රධාන හේතුව වනුයේ ශ්‍රී ලංකාවේ දිනෙන් දින පහළ වැටෙන ව්‍යවසායකත්ව නැමීයාවයි.

එපමණක් නොව ව්‍යවසායකයන් බිහිවීමට පෙර හුරු සපයන පෞද්ගලික අංශයේ පවා සේවය කිරීමට නව පරම්පරාව තුළ ඇති අකමැත්ත ද නව ව්‍යවසායකයන් බිහිවීමට බාධක පමුණුවයි. රටට ඔරොත්තු නොදෙන, රජයේ ආදායමෙන් සියයට85 පමණ වැටුප් සඳහා වියදම් කරන රාජ්‍ය අංශයේ සේවය කිරීමට පුද්ගලයන් තුළ ඇති කැමැත්ත ද මෙයට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත. 

උදාහරණයක් හැටියට ගත්තොත් 2000 වසරේදී ක්‍රියාත්මක වූ රජයේ සේවයට බඳවාගත් උපාධිධාරීන් 50,000න් සියයට 30- සියයට 40 පමණ පෞද්ගලික අංශයේ සේවය කරමින් සිට, තමා එවකට ලබා ගනිමින් සිටි වැටුපෙන් හරි අඩකටත් හෝ ඊටත් අඩු වැටුපකට පෞද්ගලික අංශය හැර ගොස් රජයේ සේවයට බැදුණු පිරිස්ය.

අඩු වැටුපකට රජයේ සේවයට බැඳීමට හේතුව වශයෙන් ඔවුන් බොහොමයක් පවසනුයේ රජයේ සේවයෙහි පවතින අඩු අභියෝග වලින් යුතු රැකියා පරිසරය, වැස්සත්, පෑව්වත් ලැබෙන වැටුප සහ අනාගතයේ විශ්‍රාම වැටුපට ලැබෙන හිමිකම බැවින් අඩුවැටුපකට රජයේ සේවයට බැඳුනු බවයි. මෙවන් සාමාජීය සහ සංස්කෘතික ආකල්ප පවත්නා කල ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකත්වයන් බිහිවීමට ඇති ඉඩකඩ අල්ප බව දේශීය හා විදේශීය කළමනාකරණ විශ්ලේෂකයන්ගේ අදහසයි.

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඇති වූ ප්‍රධාන බාධාව යෙදවුම් වලට සාපේක්ෂ නිපැයුම් අඩු කමයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය මෙයට කදිම නිදසුන් සපයයි. 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අකර්මණ්‍ය බව මෙන්ව අකාර්යක්ෂම බව ගැන බොහෝ දෙනා සාක්ෂි සපයනු ඇත. එමෙන්ම රජයේ සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ඉහත තර්කයට අඩු වැඩියන් සපයනු ඇත. අධ්‍යාපනය, සෞඛ්‍ය, අත්‍යාවශ්‍ය සේවා වැනි රජයේ සේවාවන්හී යෙදවුම්වලට සාපේක්ෂව නිමැවුම් ගණිතමය වශයෙන් මැනිය නොහැකි වූවත් රජයට සම්බන්ධ විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, සිපෙට්කෝ ආයතනය වැනි මෙකි නොකී ආයතන නිරන්තරයෙන් ලබන පාඩු, යෙදවුම් සහ නිමැවුම් අතර ඍණ සම්බන්ධතාව මොනවට ඔප්පු කරනු ලබයි.

එසේනම් මෙම තත්ත්වයෙන් මිදීමට රටක පාලකයන් හා ජනතාව විසින් ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? යන්න විමසා බැලිය යුතුය. මෙයින් ගොඩ ඒමට නම් රටක් තුළ ව්‍යවසයකත්වයට මුල්තැන දෙන ජාතික උපාය මාර්ගික සැලසුමක් තිබිය යුතුය. තවද එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති රජයේ, පෞද්ගලික අංශයේ මෙන්ම ජනතාවගේ මැදිහත්වීමෙන් නිර්මාණය විය යුතුයි. 

ආවට ගියාට දේශපාලකයන්ට පමණක් ශාප කිරීමෙන් මෙය විසඳා ගත නොහැකිය. ප්‍රතිපත්ති, සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ අවියයි. ඕනෑවටත් වඩා වැඩියෙන් රැලි වලින් සැරසු සැලසුම්, අප දන්නා අතීතය පුරා නිරන්තරයෙන් අසන්නට, දකින්නට ලැබුණත් ඒවාට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර කිසිවෙක් නොගත් බව පැහැදිලි කරුණකි.

උපාය මාර්ග සැලැස්මක් (strategic plan) යනු සැලසුමකට (blue print) පමණක් සීමා නොවී නිවැරදි දැක්මක් සහිතව ඒවාට අවශ්‍ය සම්පත් සහ පරිසරය නිර්මාණ කිරීම මෙන්ම, එම සැලැසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සහ ක්‍රියාත්මක කිරීමෙන් පසු නිරන්තරයෙන් පසු විපරම් කිරීම යන සියලු‍ කරුණු වලින් සමන්විත සාර්ව ව්‍යාපෘතියකි. 

ඉහත සඳහන් කළ කරුණු සමග රටක ආර්ථික අභිවෘද්ධියකට තුඩුදෙන සියලු‍ භෞතික සහ ආකල්පමය බාධක හඳුනාගෙන ඒවා වර්ධනය කිරීමට අවශ්‍ය උපාය මාර්ගික සැලැස්මක් නිර්මාණය කර ක්‍රියාත්මක  කිරීම ජාතියක් හැටියට අප සියලු‍ දෙනා විසින් වහ වහා සිදු කළ යුතු ජාතික කර්තව්‍යයකි.

එසේ නොමැතිව ආසියාවේ ආශ්චර්යය, යහපාලනය, සෞභාග්‍යයේ දැක්ම සහ තවත් මෙකී නොකී ලේබල් අලවා රතු, නිල්, කොළ අයවලු‍න් විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට පමණක් සීමා වූ ආර්ථික ප්‍රතිපත්ති සහ ඒවාට හාත්පසින් විරුද්ධ වූ පාලන ක්‍රමවේද නිසා රට වැටුණු අගාධයේ ගැඹුර මෙන්ම, පරණ තැටියම වාදනය කරමින් කල්මැරුවහොත් එයින් නුදුරු අනාගතයේ දී මුහුණ දීමට සිදුවිය හැකි භයානක ප්‍රතිඵල ගැන ද අටුවා ටීකා තැබීමට අවශ්‍ය නොවේ.

අවසානයට පෙර විශේෂයෙන් සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. ලොව ආර්ථික අවපාතයන්ට ගොදුරු වූ පළමු රාජ්‍යය ශ්‍රී ලංකාව නොවේ. අපේ අසල්වැසි ඉන්දියාව 1990දීත්, මැලේසියාව සහ තායිලන්තය 1997 දීත් මීටත් වඩා දරුණු ආර්ථික අර්බුදවලට මුහුණ දුනි. එය එසේ වුවත් ව්‍යවසායකත්වය උද්දීපනය කළ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති මත රැඳුණු උපායමාර්ගික සැලසුම් නිසා කෙටි කාලයක් ඇතුළත එම අවපාතයන්ගෙන් ගොඩ ඒමට ඔවුන්ට හැකි වූ බව සඳහන් කරනුයේ සතුටින් මෙන්ම ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ යහපත් බලාපොරොත්තුවක් ද සමගිනි.

රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ

(***)



අදහස් (2)

ජාතිය වැටුණේ ඇයි?

SL Monday, 22 August 2022 07:23 PM

මේවා ඉතින් පාර්ලිමේන්තු එන්න ඡන්ද ගන්න ඕනෙම කුප්ප පොරොන්දුවක් දෙන දියවන්නා අම්බරුවන්ට..., පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා අම්බරුවන්ට තේරෙයිද? දියවන්නාවේ ඉදිරිය දකින්න පුළුවන් කීදෙනෙක් ඉන්නවද?

:       0       0

ganegoda Thursday, 25 August 2022 10:51 AM

අපේ රට සහ ජාතිය අද තියන අපාගත තත්වයට ගෙනාවේ අපේ රටේ පාලකයොයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1634 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10183 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 496 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 875 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 919 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 475 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site