තමන්ද තම සහෝදරවරුන් වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතුයැයි පසුගිය 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට තමන් ගරු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දින කීපයකට ඉහතදී කියා සිටියේය.
එහෙත් ඉන් පසු පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ඔහු පවසා තිබුණේ තමන් එම අධිකරණ තීන්දුව නොපිළිගන්නා බවය. ආර්ථික අර්බුදයට බල පෑ සෑම මූල්‍ය කළමනාකරණ තීන්දුවක්ම පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් ගත් බව ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවසූ රාජපක්ෂ මහතා එහෙයින් මෙම කාරණයේදී තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය.
අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ අයකු එම අධිකරණ තීන්දුව නොපිළිගන්නා බව පැවසීම එක්තරා ආකාරයකට තරමක් අවුල් සහගත කරුණකි. එවැන්නකු අධිකරණය තීන්දුව දෙන තෙක්ම තමන් නිවැරැදිකරුවකැයිද තමන් වැරැදිකරුයැයි දෙනු ලබන තීන්දුවක් නොපිළිගන්නේ යැයිද සමහර විට අවංකවම පවා කිව හැකිය. උදාහරණයක් වශයෙන් ආර්ථික කටයුතු පිළිබඳ එතරම් දැනුමක් නොපෙන්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථික අර්බුදය පිළිබඳ නඩුවේ දී තමන් නිර්දෝෂියැයි තවමත් සිතනවා විය හැකිය.
එවැනි අයකුට අධිකරණයක් නඩු තීන්දුවක් දුන් වහාම ඔහුට තමන් වැරැදිකරුයැයි වැටහේද? ආර්ථික අර්බුදයට අදාළ නඩුව වැනි සංකීර්ණ නඩුවකදී වරදකරු කරනු ලැබුවකු තමන්ට එරෙහිව දෙනු ලැබූ තීන්දුවක් අසාධාරණයැයි අවංකවම සිතිය හැකිය.
කෙසේ වෙතත් තීන්දුවකට පෙරත් පසුවත් ඕනෑම අපරාධකාරයකු තමන් නිර්දෝෂියැයි තර්ක කරනු ඇත. නඩු විභාගයේදී ඔහුට එරෙහිව ඉතා පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වී ඇත්නම් ඔහුගේ එම තර්ක කිසිවකු පිළිගන්නේ නැත.
අනෙක් ප්‍රශ්නය නම්, තමන් නිර්දෝෂි යැයි කියා හෝ තමන්ගේ පැමිණිල්ලක් නිවැරැදි යැයි කියා හෝ සිතන්නකු තමන්ට එරෙහිව නඩු තීන්දුවක් ලැබී එය නොපිළිගන්නේ යැයි කිව හැකිද? යන්නයි. එස්.බී. දිසානායක මහතා අධිකරණ තීන්දුවක් නොපිළිගන්නා බව කියා අධිකරණයට අපහාස කිරීමේ වරදට හසුවී වසර දෙකක සිර දඬුවමක් ලැබීය. එහෙත් ඔහු තීන්දුව හැඳින්වූයේ ‘‘බලු තීන්දුව’’ යනුවෙනි. එය පැහැදිලිවම අපහාසයකි.
රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳ නඩුවේ තීන්දුව තමන් නොපිළිගන්නා බව පැමිණිලිකරු වූ ඕෂල හේරත් මහතා පවසා තිබිණි. එවිට එය අධිකරණයට අපහාස කිරීම කැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් ඇතැම්හු පැවසූහ. එමෙන්ම දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තමන් නොපිළිගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එම පිරිස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් අධිකරණයට අපහාස කිරීම කැයි කියනු ඇත්ද?
ඕෂල හේරත් මහතා තම නඩුවට අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කොට ඇත. ඒ ඔහු අභියාචනාධිකරණ තීන්දුව නොපිළිගන්නා හෙයිනි. එහෙයින් ඔහුගේ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීම කැයි තවදුරටත් කීම හාස්‍යයට කරුණක් වනු ඇත.
ඔක්තෝබර් 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් වන්නේ මීට පෙර රාජ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිදු නඩුවක් පැවරී නැති නිසාත් එහිදී ආණ්ඩුවක් ගත් තීන්දු වැරදියැයි අධිකරණය නිගමනයකට පැමිණීම නිසාත්ය. මෙය ප්‍රබල පූර්වාදර්ශයක් දෙන තීන්දුවකි.
නඩුව පවරා තිබුණේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වන ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්, ආචාර්ය මහිම් මෙන්ඩිස්, සූසයිඅප්පු නේවිස් මොරායස්, ශ්‍රී ලංකා පිහිනුම් ශූරයකු හා පුහුණුකරුවකු වන ජුලියන් බෝලිං, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හා ජෙහාන් කනකරත්න යන්නන් හා ආයතනයි.
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් හා ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල යන අය මෙහි විත්තිකරුවෝ වූහ. මෙම පිරිස මහජන විශ්වාසය කඩ කොට ඇති බවත් ඔවුන් වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු බවත් අධිකරණය තම තීන්දුවෙන් ප්‍රකාශ කොට තිබිණි.
කෙසේ වෙතත් මෙම පිරිසට එරෙහිව කිසිදු දඬුවමක් අධිකරණය විසින් නියම කරනු ලැබුවේ නැත. වන්දි පිළිබඳ ඉල්ලීමක් පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ නැති හෙයින් තමන් වන්දි නියම කිරීමක් නොකරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා තිබිණි.
අධිකරණ තීන්දුව අගය කරන බොහෝ දෙනකු වැරැදිකරුවන්ට දඬුවම් නියම කිරීමට ඉඩක් නොලැබීම ගැන කනස්සල්ල පළ කරති. එවැනි බොහෝ දෙනකුගේ තර්කය වී ඇත්තේ මෙම පිරිස යළිත් බලයට පත්වී ආර්ථිකය තවදුරටත් විනාශ කිරීම වැළැක්වීම සඳහා ඔවුන් තවදුරටත් දේශපාලනය තුළ හා රාජ්‍ය සේවයේ කටයුතු කිරීම වැළැක්වීම පිණිස ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවය.
මීට පෙර ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබූ සිරිමා බණ්ඩාරනායක මහත්මියට එරෙහි බලය අයුතු ලෙස යොදා ගැනීම හා මයොන් මුස්තපා මහතාට එරෙහි අල්ලස් දීමට උත්සාහ කිරීම යන චෝදනා සමඟ සන්සන්දනය කිරීමේදී රටක ජනතාව සමහර විට තවත් දශක ගණනාවකට බලපාන අයුරින් ආර්ථික අගාධයකට ඇද දැමීම අතිශයින්ම බරපතළය යන්න ඔවුන්ගේ තර්කය බව පෙනේ.
එහෙත් මෙම තීන්දුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි නීතිමය, සමාජමය හා දේශපාලනමය බලපෑම් අවම කර ගැනීම සඳහා පොදුජන පෙරමුණේ ඇතැම්හු විවිධාකාරයේ තර්ක ඉදිරිපත් කරති. යුද්ධය අවසන් කළ නායකයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කතා කිරීම ගුණමකුකමකැයි ඇතැමෙක් කියයි. රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අධිකරණයට තීන්දු දිය නොහැකි යැයි තවෙකෙක් කියයි.
පසුගිය දශක දෙක තුළ මූල්‍ය කළමනාකරණය පිළිබඳ සියලු තීරණ ගන්නා ලද්දේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව බැවින් තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන බව මහින්ද රාජපක්ෂ මහතාද ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එහෙත් 2019 දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වසරකට රුපියල් කෝටි 68,000කට අධික මුදලක් රජයට අහිමි කරමින් බදු කප්පාදු කිරීමට තීරණය කිරීමට පෙර ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත් බවත් අපට මතක නැත. 2020 සිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගන්නා ලෙසට පාර්ලිමේන්තුවේදී කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් රජය කටයුතු කළා මිස එම කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටියේ නැත. එසේම 2021 දී ඩොලරයේ අගය කෘත්‍රිම ලෙස රුපියල් 203ක් ලෙස පවත්වාගෙන යන්නට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණු බවක් අපට මතක නැත. ආර්ථික අර්බුදයට හේතු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගෙනහැර දක්වා ඇත්තේ මෙම බදු කප්පාදුව, මූල්‍ය අරමුදලේ සහාය කල්තබා නොගැනීම හා ඩොලරයට කෘත්‍රිම අගයක් දීම ඇතුළු කරුණු කිහිපයකි.
අනෙක් අතට කුමන පක්ෂයක් බලයේ සිටියද සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය යනුවෙන් සිදුවන්නේ ආණ්ඩු පක්ෂයේ නායකයන් ඉදිරිපත් කරන අදහස්වලට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් වගවිභාගයකින් තොරව සහාය පළ කිරීමය.
උදාහරණයක් වශයෙන් බදු කප්පාදුවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලීමක් සිදු නොවුවද එම කාරණය පාර්ලිමේන්තු සාකච්ඡාවකදී ඇදී ආවහොත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පමණක් නොව ආණ්ඩුවේ සිටින ‘‘ආර්ථික විශේෂඥයෝද’’ එය අනුමත කරමින් අදහස් දැක්වූහ. එම තීන්දුව පිළිබඳ එවැනි සාකච්ඡා ඇතිවීමට පෙරම එවකට සිටි කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා එය රටට නිවේදනය කළේය. මෙම තීරණය මඟින් නිෂ්පාදනය ඉහළ ගොස් ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක්ම වර්ධනයක් ඇතිවනු ඇතැයි ඔහු එහිදී කීය.
එසේම, රටේ කෘෂිකර්මය විශාල වශයෙන් විනාශමුඛයට ඇද දැමූ හදිසි රසායනික පොහොර ආනයන තහනම ක්‍රියාත්මක කරන්නට පෙර ආණ්ඩුව ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තේ නැත. එහෙත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉන් පසු එය අනුමත කරමින් කතා කළහ. එය බොහෝ විට තනතුරු රැක ගැනීම සඳහා කළ එකක් විනා එම තීරණයට හදවතින් පක්ෂවීමක් නොවේ. සාමාන්‍ය පෙළට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ද අන්ද මන්ද කරමින් මුදල් නෝට්ටු මුද්‍රණය නිසා උද්ධමනය ඇතිවන්නේ හෝ වැඩිවන්නේ හෝ නැතැයි හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මහතා වරක් පැවසුවේද මෙවැනි තත්ත්වයක් යටතේ විය යුතුය.
ආර්ථික අර්බුදයට හේතු වශයෙන් අධිකරණය දැක්වූ කරුණු හිතලු නොව සැබෑ තත්ත්වය වූ හෙයින් ආණ්ඩුවේ නායකයන් අර්බුදයේ වගකීම භාර ගත යුතුය. ඇත්ත වශයෙන්ම මෙම තීන්දුවට පෙර ඔවුන් එක්තරා දුරකට එම යථාර්ථය පිළිගෙන තිබිණි. පොහොර තහනම හා කලින්ම මූල්‍ය අරමුදල වෙත නොයෑම වරදකැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අරගලය හමුවේ ඉකුත් වසරේ අප්‍රේල් 18 වැනිදා නව ඇමැති මණ්ඩලයක් පත්කොට එම නව ඇමැතිවරුන් අමතා ප්‍රකාශ කළේය. එසේම තමන්ද ඇතුළු වත්මන් හා අතීත නායකයන් මේ අර්බුදයට වගකිවයුතු යැයි මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ ඩේලි මිරර් පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි.
ඔහු මෙහිදී අතීත නායකයන්ද ඇදගත්තේ වුවද ඔහු ඇතුළු වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ අතීතයේ කළ වැරැදි නිවැරැදි කරන බවට පොරොන්දු වෙමිනි. ඔවුන් එය නොකළා පමණක් නොව ජනතාව තවත් පරම්පරා ගණනාවක් දුක් විඳිනා තැනට රට පත් කළහ.
2020 මැද භාගය හා සමඟ සසඳන කල මේ වනවිට බඩු මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. විදුලි ගාස්තු පස් ගුණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මුදලේ සැබෑ වටිනාකම අනුව බහුතරයකගේ ආදායම් විශාල වශයෙන් පහත බැස තිබේ. ලක්ෂ ගණනකගේ නිවාස, වාහන, උසස් අධ්‍යාපන, විදේශ අධ්‍යාපන ආදි සිහින සුනු විසුණු වී ගොසිනි. දස දහස් ගණනක් විදේශ ගතවීමට බලා සිටිති. මධ්‍යම පන්තියද ඇතුළු ඉන් පහළ කිසිවකුට අනාගතය ගැන සහතිකයක් නැත.
තමන් විඳින මේ දුක් වේදනා ජනතාවට රහසක් නොවේ. එහෙයින් තමන් කළ දෑ සාධාරණී කරණය නොකොට නායකයන් ජනතාවගේ දුක්වේදනාවට සංවේදී විය යුතුය.
(*** එම්.එස්.එම්. අයුබ්)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතාව කබලෙන් ලිපට
fairoos Sunday, 26 November 2023 05:00 PM
බයියන්ට කොහේද මේවා තේරෙන්නේ...!
AB Tuesday, 28 November 2023 06:23 AM
ඕනෑම පුද්ගලයකු වෙනස් වීමට අවස්ථාවන් තිබේ. විවිධ හේතුන් තිබේ. නොවෙනස්වීමටද හේතුන් තිබේ. ලංකාව දියුණු නොවීමට හේතු බොහෝ තිබේ. ප්‍රධානතම හේතුව නම් බලයට පැමිණෙන දේශපාලකයින් රට වෙනුවෙන් නොව නැවත බලයට පැමිණීමේ අරමුණින් ක්‍රියා කිරීම සහ දේශපාලනය උපතේ සිට මරණය දක්වාම රටේ පුරවැසියන් ඍජුව හෝ වක්‍රව වෙලාගෙන තිබීම වේ. මේ වනවිට රටේ පුරවැසියන්ට දුක ජීවත්වීමේ අපහසුත්වයන් දැනී ඇත. දුක දැනෙනා වූ ඕනෑම කෙනෙකු දුක කුමක්ද අවබෝද කරගනිමින් සිදුව තිබෙන්නේ කුමක්ද යන්න සිතන්නට පටන් ගනී. දෙවනුව වෙනසක් පිළිබදව සිතා කටයුතු කරයි. ලංකාවේ පුරවැසියන් මේ මුහුණ දෙමින් තිබෙනුයේ ඔවුන්ගේ රට සහ අනාගතය ඔවුන් විසින් කෙසේ වෙනස් කර, සකස් කර ගතයුතුද සහ ඒ සඳහා කළයුතු වන්නේ කුමක්ද යන්න බුද්ධිමත්ව සිතා කටයුතු කළයුතු අවස්ථාවකි. දශක ගණනාවක් පරම්පරාවන් කිහිපයක් පැවත එන්නා වූ වර්තමාන දේශපාලන ක්‍රමය වෙනස්කර රටට වෙනසක් අවශ්‍ය නම් රටේ පුරවැසියන් රටට වෙනස් දේශපාලන ක්‍රමවේදයක් ලබාදීම සඳහා අලුත් කණ්ඩායමකට අවස්තාවක් ලබාදීමට කටයුතු කළයුතුවේ..