මෙවර “-මුහුණට - මුහුණ” සංවාදය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟයි
● රටේ තොටේ දේශපාලනේ ගැන අවදියෙන් ද ඉන්නේ?
දේශපාලනයට ඍජුවම තාම සම්බන්ධවෙලා නැති නිසා එදිනෙදා සිද්ධවෙන දේවල් ටික තමයි දන්නේ. හැමෝම වගේ කියන දේ තමයි මේ අවුරුදු දෙක තුළ රට හැම අතින්ම මන්දගාමියි කියලා. පහුගිය රජය යටතේ හැම ක්ෂේත්‍රයකම කරපු කියපු දේවල් එක තැන නතරවෙලා වගේ තමයි පේන්නේ. ඒක මම විතරක් කියන කතාවක් නෙවෙයි රටේ ගොඩක් මිනිස්සු කියන කතාවක්. එක්කෝ මේ රජයට නිසි වැඩ පිළිවෙළක් නෑ රට ඉදිරියට ගෙනියන්න. එහෙම නැතිනම් තිබුණු ආණ්ඩුව පරාජය කිරීම පමණයි මේ අයට තිබුණු එකම වැඩ පිළිවෙළ.
මට සම්බන්ධ විෂය පැත්තෙන් කතා කරනවා නම් ආරක්ෂාව පිළිබඳ ලොකු අර්බුදයක් මේ වන විට මතුවෙලා තියෙන්නේ. රජයේ ප්‍රතිපත්තිමය ක්‍රියා පිළිවෙත නිසා හෝ මේ සම්බන්ධව දැනුවත්කමකින් මැදිහත්වෙලා නායකත්වය දෙන්න තරම් සුදුසු කෙනෙක් නැති නිසා හෝ රාජ්‍ය ආරක්ෂාව නම් නරක තැනකට ඇවිල්ලා කියන කාරණාව අපට පේනවා. උතුරේ ආරක්ෂාව පිළිබඳ මේ රජය ගෙනියන වැඩපිළිවෙළ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න පුළුවන් එකක් නෙවෙයි.

සංවර්ධනය පැත්තෙන් බැලුවත් අපිට සතුටු වෙන්න පුළුවන්කමක් නෑ. මේ ආණ්ඩුව බලයට එන්න උත්සාහ කරන වෙලාවේ ප්‍රධාන සටන් පාඨයක් වුණා චීනයට විරුද්ධ වීම කියන එක. ඒත් අද මොකද වෙලා තියෙන්නේ. ජනප්‍රිය සටන් පාඨවල එල්ලිලා මේ ආණ්ඩුව ආපු ගමන් චීන ආයෝජන නැවැත්තුවා. ඒත් පස්සේ මොකද වුණේ. මේ දුරදිග නොබලා කරපු වැඩ ආර්ථිකයට විශාල බලපෑමක් කරලා තියෙනවා. අද ආර්ථික සංවර්ධනයත් එකම තැන නැවතිලා. මම ලෝක බැංකු ණය ක්‍රමයන් යටතේ කොළඹ, ගාල්ල වගේම මහනුවර සංවර්ධනය කරන්න විශාල මුදලක් අපි සැලසුම හදලා ඉදිරිපත් කළාම තමයි ඒ මුදල ලැබුණේ. අපි මේ මුදල ලැබුණට පස්සේ ඉක්මනට වැඩ පටන් ගත්තා. ඒත් ඒක ඉවර කරන්න කලින් ආණ්ඩුව වෙනස් වුණා. මේක අවුරුදු පහක ව්‍යාපෘතියක්. තුනක් ඉවර කළා. තව අවුරුදු දෙකක් තියෙනවා. දැන් ඒ ව්‍යාපෘතිවලට මොකද වෙලා තියෙන්නේ. ඒ ඉතුරු මුදල් එහෙමම තියෙනවා. වැඩ කෙරන්නෙත් නැත්නම් මුදලුත් තියෙනව නම් මෙතන මොකක්ද වෙන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේවා තමයි අද අපේ රටේ දේශපාලනය කියලා අපට පේන්නේ. ඊට අමතරව විරුද්ධවාදීන්ව උසාවි ගානේ ගෙන්නලා එෆ්.සී.අයි.ඩී. එකට ගෙන්නලා, අල්ලස් එකට ගෙන්නලා රස්තියාදු කිරීමත් ජයටම කෙරෙනවා. ඒවා වැඩි හරියක් පදනම් විරහිත අභූත චෝදනා. අපේ ආණ්ඩුවත් එක්ක ඉඳපු අයගෙන් වැඩි දෙනෙක් මේ ආණ්ඩුව එක්කත් ඉන්නවා. හැබැයි මේ පරීක්ෂණ ඒ කවුරුවත් ගැන කෙරෙන්නේ නෑ. ආණ්ඩුවට සම්බන්ධ වුණේ නැති අය පස්සෙ විතරයිනේ පන්නන්නේ. අපේ ආණ්ඩුවෙ ඉඳලා මේ ආණ්ඩුවට එකතුවුණු අය ඔක්කොම සුඳනොද එතකොට. මේක පුදුම තියරියක්නේ.
● මේ ආණ්ඩුව ආවෙම හිටපු ආණ්ඩුවෙ ඉඳපු හොරු අල්ලනවා කියලා. පරීක්ෂණ කරන එක වැරැද්දක් වෙන්නේ කොහොමද ඉතින්?
පරික්ෂණ පවත්වන එකට අපි විරුද්ධ නෑ. හැබැයි මේ රණවිරුවෝ රස්තියාදු කරන්නේ නිකම්ම චෝදනාවලට. ගුවන් හමුදාපතිවරු, නාවික හමුදාපතිවරු පවා මේ විදියට චෝදනා කරලා මේ ආයතනවලට නිතර නිතර කැඳවනවා. මම දන්නවා මේ කරුපු චෝදනා එකකටවත් පදනමක් නෑ. ඕනෑ දේක සාධාරණයක් තියෙන්න ඕනෑනේ.
● යුද්දෙ අන්තිම කාලේ උතුරේ සටන යන අතරේ දකුණේ වෙන වෙන සෙල්ලම් සිද්ධවෙලා කියලත් කියවෙනවා. සුදු වෑන් එහෙ මෙහෙ ගියාලු. ඔබ කොහොමද කියන්නේ මේ චෝදනා නිකම්ම නිකම් පදනම් විරහිත ඒවා කියලා?
රණවිරුවන්ට ඔය එල්ලවෙන චෝදනා ගැන මම කියන්නම්. විශේෂයෙන් ඔය එක්නැලිගොඩ සිද්ධිය ගැන කතාව එනකොට අපි එක්නැලිගොඩ කියලා මාධ්‍යවේදියෙක් හිටියද කියලා දන්නෙත් නෑ. එයා එහෙම ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් නෙවෙයිනේ. නමුත් ඒ කාලෙම අපි මේ පරීක්ෂණ ආරම්භ කළා. දැන් බලන්නකෝ මේ අය සිරගත කරලා. තාම ඉවරයක් නෑනේ. මේ අය බුද්ධි අංශ නිලධාරීන්. අවුරුද්දක් විතර කාලයකදීත් මේ පරීක්ෂණ ඉවරයක් කරන්න බැරිද? අවුරුද්දක් මදිද චෝදනාවක් ඔප්පු කරගන්න. මං දන්න තරමට මේ පරීක්ෂණ කරන අයට එක්නැලිගොඩ ඉන්නවද නැද්ද කියලා තහවුරු කරගන්නවත් බැරිවෙලා තියෙනවා. එක්නැලිගොඩ ඉන්නවද නැද්ද දන්නෙවත් නැතුව එයා මැරුවා කියලා චෝදනා කරමින් රඳවාගෙන ඉන්නවා. මොකක්ද මෙතන තියෙන සාධාරණත්වය. මේ අය නිකන්ම නිකන් රස්තියාදුකාර කසිප්පු කාරයොවත් පාරෙ ඉඳපු මිනීමරුවොවත් නෙවෙයිනේ. මේ අය බුද්ධි අංශ නිලධාරීන්. මේ අය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ විතරක් සේවය කරපු අය නෙවෙයිනේ. මේ අය දීර්ඝ සේවා කාලයක් තියන අය. මේ අය ත්‍රස්තවාදය තුරන් කිරීමට විශාල කාර්ය භාරයක් කරපු පිරිසක්. මේ අය නිසා තමයි දකුණේ ඉඳපු ත්‍රස්තවාදීන් ගැන තොරතුරු හොයා ගත්තේ. දකුණේ ත්‍රස්ත ක්‍රියා පාලනය වුණේ මේ අය නිසා. එහෙම නැතුව මේ අය වෙන වෙන ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වුණේ නෑ මම දැනුවත්ව.
● ගෝඨාභය රාජපක්ෂත් දේශපාලනයට එනවා කියන කතා එහෙන් මෙහෙන් ඇහෙනවා. මේවයි ඇත්ත නැත්ත මොකක්ද?
මම තාම ස්ථිර තීරණයකට ඇවිත් නෑ. ඒ පිළිබඳව කවුරු හරි එහෙම හිතනවා නම් හිතන්නේ අලුත් ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂට ආපහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි නිසා. එහෙම නම් කවුද ඊළඟට මේකට එන්ඩ පුළුවන් කියලා. ඒ අනුව තමයි ඔය අනුමාන කිරීම සිද්ධවෙලා තියෙන්නේ. මම තාම ඒ ගැන හිතලා නෑ. ඒකට තව කල් තියෙනවනේ. තව අවුරුදු තුනහමාරක් විතර කාලයක් කොහොමත් තියෙනවනේ. ඒ කාලයත් එක්ක තමයි මට දේශපාලනයට එනවද කියලා තීරණය කරන්න වෙන්නේ.
● ඔබේ කතාවෙ තියෙන්නේ දේශපාලනයට එන්න සූදානම් කියන පැත්තට වැඩි බරක් නේද?
අවසාන තීරණයකට ආවෙ නෑ කියලා මම මුලිනුත් කිව්වනේ. නමුත් මම අවුරුදු ගණනාවක් විවිධ ආකාරයෙන් රටට සේවය කරපු කෙනෙක්. මම රට වෙනුවෙන් කැපවුණු පුද්ගලයෙක්. ඉතින් තවදුරටත් රට වෙනුවෙන් යම් දෙයක් කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් මම සූදානම් ඒක කරන්න. ඒක දේශපාලනඥයෙක් වෙලා කරනවද කියන එක ඉදිරියේදී බලමු. ඒක ඉදිරියේදී මම තීරණය කරනවා.
● මහින්ද රාජපක්ෂ එක්ක ඉන්න ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් එහෙම ආරාධනා එනවද?
ඍජුවම එහෙම ඒ අයගෙන් ආරාධනයක් නෑ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාවත් මේ ගැන මාත් එක්ක කතා කරලා නෑ. සමාජයේ ඒ වගේ කතාවක් තියෙන බවක් පේනවා. විවිධ පුද්ගලයින්ගෙන් නම් එවැනි යෝජනා එනවා. වෙලාව ආවම බලමු මොකද වෙන්නේ කියලා. ඒ අවස්ථාව අනුව වඩාත්ම සුදුසු පුද්ගලයා ඒ සඳහා තෝරාගන්න ඕනෑ. ඉතින් ඒ පුද්ගලයා මම නම් මම ඒ තීරණයට එකඟ වෙනවා. තනතුරු පිළිබඳ ආශාවට වඩා මට තවදුරටත් රටට යුතුකමක් කරන්න අවස්ථාවක් තියෙනවද කියලයි මම හිතන්නේ.
● 2020 ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ගැනයි මේ කතාව තියෙන්නේ. ඔබ හිතන විදියට රටේ ජනාධිපතිකමට තරග කරන්න ඔබට මොකක්ද තියෙන සුදුසුකම්?
දේශපාලන වශයෙන් මට ලොකු පසුබිමක් තියෙනවා. මොකද ඒක පවුල් පරිසරයෙන්ම ආපු දෙයක්. අපේ රටේ දේශපාලනයට ගොඩක් අය එන්නෙම එහෙම වටපිටාවක් එක්කනේ. ඒ සුදුසුකම මට ඕනෑවටත් වැඩිය තියෙනවනේ. අපේ පවුලෙ පරම්පරා තුනක් මේ වෙනකොට දේශපාලනය කරලා තියෙනවා. අපේ පවුල තරම් දේශපාලනයට සම්බන්ධ වෙන පවුලක් තියෙනවද මන්දා. අපේ පවුලෙ නව දෙනෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම මම රාජකාරිමය වශයෙන් මට පැවරුණ දේ නිසියාකාරව ඉටු කරපු පුද්ගලයෙක්. ජනතාව මගෙන් බලාපොරොත්තු වුණු දේ මම රාජ්‍ය නිලධාරියෙක් විදියටත් අකුරටම ඉටු කරලා තියෙනවා. රාජ්‍ය ආරක්ෂව පිළිබඳව වගේම නාගරික සංවර්ධනය පැත්තෙනුත් කැපී පේන වැඩකොටසක් මගේ අතින් ඉටුවුණා කියලා බොහෝ දෙනා පිළිගන්නවා. එහෙම බැලුවම ජනාධිපතිවරණයකට ඉල්ලන්න මගේ තියෙන නුසුදුසුකම මොකක්ද? මට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනාධිපතිකම ඉතාම සාර්ථකව කරන්න පුළුවන් කියලා.
● එහෙම වුණොත් මහින්ද රාජපක්ෂගෙ දේශපාලන අනාගතයට මොකද වෙන්නේ?
ඒ ගැන මට අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි. ඒත් රට දිහා බැලුවාම පේනවා වඩාත් ජනප්‍රිය f්දශපාලන නායකයා මහින්ද රාජපක්ෂ කියලා. එතුමාට තාමත් පුදුම ජනතා ආකර්ෂණයක් තියෙනවනේ. ඉදිරියේදී ඔහු කුමන දේශපාලන ස්ථාවරයක ඉඳීවිද කියන්න නම් මට බෑ. ඉදිරියේදී ඇතිවන කුමන දේශපාලන බලවේගයකට වුණත් මහින්ද රාජපක්ෂ මඟහැර යන්න බැරි වෙයි. පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ඡන්දය දුන්නෙ නැති අය දැන් ඒ ගැන පසුතැවෙනවා ඇති. මහින්ද රාජපක්ෂම තමයි තීරණය කරන්න ඕනෑ ඉදිරියේදී මොන තැනටද යන්නේ කියලා. ජනාධිපතිකමට එන්න බැරි වුණත් අගමැතිකම හෝ ඊට එහා ගිය ආකාරයකින් නව පාලනයකට සම්බන්ධ වෙන්න ඔහුට ඉඩකඩ තියෙනවා. ඒක ඔහු අතේ තියෙන තීරණයක්.
● බැරිවෙලාවත් ඔබ ඉදිරි ජනාධිපති තරගයකට තරග කළොත් මහින්ද රාජපක්ෂගෙ සහයෝගය ලැබෙයි කියලා හිතනවද?
ඔහුගේ සහයෝගය සහ ආශිර්වාදය අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනෑ. එහෙම ලැබෙන්නෙ නැත්නම් මම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නෙත් නෑ.
● යුද ජයග්‍රහණය පිළිබඳ සංවාදය යළිත් කරළියට ඇවිල්ලා.
යුද්ධය ගැන මොන විදියේ සංවාද කෙරුණත් වැදගත් වෙන්නේ මේක කවුද කළේ ඒකෙ අයිතිය කාටද හිමිවෙන්නේ වගේ කාරණා නෙවෙයි. අපි සාකච්ඡාවට ගන්න ඕනෑ ලෝකයේ භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කිරීම ගැනයි. මේ ජයග්‍රහණය ලැබුවෙ මහින්ද රාජපක්ෂගේ නායකත්වය සහ මගේ ආරක්ෂක ලේකම්වරයා විදියට මැදිහත්වීම තුළ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු මේකට දායක වුණු සියලුම දෙනාගේ කැපවීම උඩ. ඒක නිසා මේ ජයග්‍රහණයේ කෑලි කඩා ගන්න කාටවත් පුළුවන්කමක් නෑ. මේ හැමදෙනාම තම තමන්ගේ ප්‍රමාණයෙන් මේ ජයග්‍රහණයට කොටස්කාරයෝ වුණා. වසර තිහකට වැඩි කාලයක් විවිධ නායකයින් යටතේ විවිධ ආණ්ඩු යටතේ විවිධ ආරක්ෂක ලේකම්වරු යටතේ ආපු යුද්ධය අපිට ජයග්‍රාහීව නිමා කරන්න පුළුවන් වුණා. ඒක විශේෂ කාරණයක්. ඒක කාටවත් අමතක කරන්න බැරි කාරණයක්. ඕනෑම යුද්ධයක ජයග්‍රහණයකට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි.
● ප්‍රභාකරන්ගේ අවසානය ගැන පසුගිය දවසෙ නැවතත් විවිධ කතා මතුවුණා. ඔබ දන්න ඇත්ත කතාව මොකක්ද මේ ගැන?
අපි යුද්ධය ඉවරයි කියලා දැනගත්තු වෙලාවෙත් ඒක ජනතාවට කියපු වෙලාවෙත් අපි ළඟ තිබුණේ නෑ ප්‍රභාකරන්ගේ බොඩි එක. ඒත් මේ ත්‍රස්ත නායකයින් ඉන්නේ කොහේද කියලා එතන රාජකාරි කරපු අයට විශ්වාසයක් තිබුණා. ඒ අය දිගටම ඒ ගැන පරීක්ෂාවෙන් හිටියා. ඒ පරික්ෂාවේදී තමයි අර කළපුව ඇතුළට රිංගලා එක තැනක හැංගිලා හිටියේ. ඒ වෙලාවෙ එතන ඉඳපු අය තමයි කමල් ගුණරත්න සහ ශවේන්ද්‍ර සිල්වා. ඒ අයගෙ භට පිරිස් තමයි ඒ කාර්ය භාරය කළේ. ඒකට කවුරුවත් ආපහු තර්ක විතර්ක කරලා වැඩක් නෑ.
මේක කවුද කළේ කියන එකට වඩා මේ වැඬේට හවුල් වුණු හැම දෙනාටම ඒ සඳහා ලැබිය යුතු ගෞරවයයි මෙතැනදී වැදගත් වෙන්නේ. මේක තමයි තිස් අවුරුද්දක යුද්ධයේ අසීරුම පැය කීපය. මේ අවස්ථාවට මුහුණ දීපු අය දන්නවා ඇති ඒ අසීරුකමේ තරම. මමත් ඒ වෙලාවේ ශවේන්ද්‍ර සිල්වට කමල් ගුණරත්නට කතා කළා. මේ වෙලාවෙ සිවිල් වැසියොත් මේ මැද්දෙ හිටියා. ඒ අය ගැනත් බලන්න තිබුණා අපේ හමුදාවට. මේක හැංගිමුත්තන් සෙල්ලමක් නෙවෙයි.
● ප්‍රභාකරන් ඝාතනය කළා කියලා කවුද ඔබට දැනුම් දුන්නේ?
මට කිව්වෙ සරත් ෆොන්සේකා
● මොකක්ද ඔබේ ප්‍රතිචාරය වුණේ?
මට ලොකු සතුටක් ඇති වුණා. ප්‍රභාකරන්ගේ මළ සිරුරත් එක්ක තමයි අපිට වැඬේ ඉවරයි කියලා සුසුමක් හෙළන්න ඉඩ ලැබෙන්නේ. එහෙම නැතුව තවත් මිනිහෙක් මැරුවා කියන සංතෝසයක් නෙවෙයි අපට තිබුණේ. ත්‍රස්තවාදයේ නිමාව සටහන් කරන්න ඉඩ ලැබුණේ ප්‍රභාකරන්ගේ ඝාතනයත් එක්ක පමණයි.
● යුද ජයග්‍රහණයෙන් පස්සේ ඒ ගැන පොත් ගැහිල්ල පටන් ගත්තේ ඔබ. ඒ -ගෝඨාස්වෝ” හරහා. ඒ පොතේ නමේම නැද්ද අවුලක්. වැඬේ ඔබ අයිතිකරගන්න වගේ හැඟීමක් ඒ නමේම තියෙනව නේද?
නෑ. එහෙම අදහසකින් නෙවෙයි ඒක ලිව්වේ. යුද සාහිත්‍ය තුළ මේ වගේ පොත් මීට පෙරත් ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. අපේ රටෙත් මේ හරහා යුද සාහිත්‍ය මීට වඩා ඉහළ තැනකට එයි කියලා මම විශ්වාස කළා. ඒත් අවාසනාවකට ඒක වුණේ නෑ. මම නිතරම යුද්දයේ ඍජුවම ඉඳපු අයට වගේම මේ ගැන විශ්ලේෂණය කරපු අයටත් යෝජනා කළා මේ ගැන ලියන්න කියලා. එහෙම නැතුව කාටත් කලින් මම මේක ගැන ලිව්වා නෙවෙයි. ආරම්භයක් වශයෙන් තමයි චන්ද්‍රපේම මහත්තයා මාත් එක්ක ඉන්ටර්විව් කරලා මේ පොත ඔහු ලිව්වෙ. මම ඉතාම සතුටු වුණා කමල් ගුණරත්නගෙ පොත ගැනත්. තවත් අය ලිවිය යුතුයි කියල තමයි මම හිතන්නේ.
● හිටපු හමුදාපති සරත් ෆොන්සේකාත් ඔහුගේ පොත ලියනවලු.
ඉතාම හොඳ දෙයක්. එතකොට එයාගෙ පැත්තත් අපිට කියවන්න පුළුවන්.
● ඔබ ආරක්ෂක ලේකම්වරයා විදියට කනිෂ්ඨ හමුදා නිලධාරීන්ට කතා කරලා යුද්දයේ තොරතුරු අහන පුරුද්දක් තිබුණද?
ඒක චෝදනාවක් විදියට කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම රාජ්‍ය නිලධාරියෙක් විදියට විවිධ අයට කතා කරලා තොරතුරු ලබා ගත්තා. මට ආසන්නම නිලධාරීන්ගෙන් විතරක් තොරතුරු ලබාගෙන ඇත්ත දැනගන්න බෑ. ඕනෑම ආයතනයක වුණත් එහෙමනේ.
මම ජගත් ජයසූරියගෙන්, ශවේන්ද්‍රගෙන්, කමල් ගුණරත්නගෙන්, දයා රත්නායකගෙන් වගේම පුළුවන් හැම කෙනාගෙන්ම තොරතුරු ලබා ගත්තා. සමහර තොරතුරු කාටත් කලින් මට ලැබුණා.
● ඔබේ හොඳම මිතුරෙක් නේද ඩඞ්ලි සිරිසේන. රාජපක්ෂලා යහපාලන ආණ්ඩුව එක්ක අවුල් කියාල පෙන්නුවට වෙන පැතිවලින් සබඳකම් පවත්වගෙන යනවා. ඩඞ්ලි සිරිසේනගෙ පුතාගේ මඟුල් ගෙදරත් ඔබ කැපී පේන චරිතයක් වුණා.
අමුතු සබඳතා අපිට නෑ. ඩඞ්ලි කාලයක් තිස්සේ මගේ මිත්‍රයෙක් වෙලා ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාලයක් ඉඳපු කෙනෙක්. ඔහුත් අපිත් එක්ක සමීපව හිටියා. පහුගිය අවුරුදු දෙකට කලින්.
ඩඞ්ලි, මම 2005 මැතිවරණයේදී තමයි මුලින්ම අඳුර ගන්නේ. ඊට පස්සේ පුද්ගලිකව ඔහු මගේ මිත්‍රයෙක් වුණා. ඒ මිත්‍රත්වය උඩ තමයි ඔහුගේ පුතාගේ මඟුල් ගෙදර මම යන්නේ. ඩඞ්ලි අපේ ගෙදරටම ඇවිත් මට ආරාධනා කරලා ගියා. මෛත්‍රීපාල සිරිසේන පහුගිය ආණ්ඩුවෙන් අයින් වීම වළක්ව ගන්නත් ඩඞ්ලි ලොකු උත්සාහයක් දැරුවා. ඒ ගැන මාත් එක්කත් කතා කළා.
● අවුරුදු දහයක් විතර මේ රටේ බලවත්ම පුද්ගලයෙක් වෙලා ඉඳපු ඔබට දැන් බලය නැතුව ඉන්න පුළුවන්ද? මොකද ඔබලා හිටපු හැටියට සමහරුන්ට මේ ගැන පුදුමයි.
අනේ මට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මට ඕනෑ බලයක් දරන්නත් පුළුවන්. බලය අතඅරින්නත් පුළුවන්. කිසිම බලයක් නැතුව සාමාන්‍ය පුද්ගලයෙක් විදියට ඉන්නත් පුළුවන්. මම පහුගිය ආණ්ඩුවෙ බලවත් පුද්ගලයෙක් වුණේ බලෙන් බලයක් ආරෝපණය කරගෙන නෙවෙයි. මම කරපු වැඩත් එක්ක මට බලය පැවරුණා. හැබැයි මම ඒ බලයෙන් මත් වුණේ නෑ. මම කරපු වැඩ ටික ගැන මට ලොකු තෘප්තියක් තියෙනවා. අදටත් මම කරපු වැඩ ගැන මිනිස්සු ප්‍රශංසාවෙන් කතා කරන බව මම දන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයග්‍රහණයේ කෑලි කඩා ගැනීමට කාටවත් පුළුවන් කමක් නැත. " ඒ ප්‍රකාශය ඉතා අගය කළ යුතුය. නායකත්වය, මැදිහත්වීම, දායකත්වය ඉස්මතුවිමේදී ඒ සඳහා කිසියම් ලැබීමකට උරුමය හිමිවේ. යුද බිය තුරන්වීම ගැන ජනතාව සතුටුය. ඒ වගේම රාජපක්ෂ පාලනයෙන් පසු අද රටේ ජනතාවට යම් නිදහසක් දැනෙනවා ඇත.මේ නිසා නිදහස අගය කරන ජනතාව රාජපක්ෂ මහතාට ඡන්දය නොදීම ගැන පසුතැවෙනවා ඇතැයි සිතිය නොහැකිය. මාර්ගයක් තැනීම, නගරයක් අලංකාර කිරීම ජනතාවක් රැවටීමකි. අද දින සිදුවෙන්නෙත් එයමය. (බ)
ඔබ සරත් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගත් විදියෙන්ම අප දැනගත්තා වීරයා කවුද නිවටයා කවුද කියා. (නි)
ගරු ආරක්ෂකතුමනි, ඔබෙන් අපේ රටට සිදුවුණ සේවය ඉතාමත් අගය කරමි. ඔබතුමා උගත්. ඒවගේම නිහතමානියි. ඔබත් මහින්ද මහත්තයත් අපේ රට ගැන හිතන අය. රට නගන්න අවශ්‍ය ඔබතුමාලා පමණි. ඉක්මනින් රට බාරගන්න. තෙරුවන් සරණයි! (නි)
ඔබ රටට ලොකු බලාපොරොත්තුවක්. මම හිතනවා ඔබ මීළඟ ජනාදිපති වෙයි කියල... (ම).
හරි හරි ලෑස්තිවෙන්න 2020 දී කරලා පෙන්නන්නකො ? (අ)
යුද්දෙට බයේ පන බේරගන්න රට පැන්න අයත් සමහර පුස්සන්ට වීරයෝ වගේ පේන එකනේ පුදුමේ? අපට නම් වීරයෝ හැටියට පෙනෙන්නේ යුධ පිටියට බැහැලා ජීවිතය පරදුවට තියලා යුද්දේ කළ රණවිරුවොයි. (අ)
නගර සභාවකවත් නාගරික මන්ත්‍රී පදවියක් දරා ඇත්ද ?....ක්‍රියා කාරී දේශපාලනයේ වසර කියක පලපුද්ද ඇද්ද .?....රටක නායකයේ හදන්න බැ හැදෙන්න ඕනා .රටක නායකයෙක් කියන්නේ දේශපාලන තෙන්පරාදුවක අබ ඇටයක් .(අ)
මැතිතුමනි, ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
මේ මහත්තයෝ, ඔයාට වෙන මොකුත් කරන්න බැරිද ජනාධිපතිකම ඇරෙන්න. (නි)
ජනතා නියෝජිත වරියක් විදිහට උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මියව පාර්ලිමේන්තු යවපු ජනතාවක් ඉන්න රටක, මෙතුමාව ජනාධිපති කමට පත්කර ගත්තත්, ඒක ඉතින් පුදුමයට කාරණයකුත් නෙවෙයි. (අ)
මහින්ද, සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තුමා, ඔබ සහ අනෙකුත් සියලු ආරක්ෂක හමුදා නිලධාරීන් සහ දුප්පත් මහජනයා එකතුව යුද්ධය ජයග්‍රහණය කළා. ඊට අමතරව ඔබ කළේ බැමි කඩා දමා, ටයිල් වැනි දේවල් අවශ්‍ය සහ අනවශ්‍ය තැන් වලටද අල්ලා කොළඹ නගරයේ සමහර තැන් වල ආවරනික මුහුණුවර වෙනස් කිරීම මිසක් නගර සංවර්ධනය නොවේ. නගර සංවර්ධනය යනු කර්මාන්ත, ව්‍යවසායකත්වය, කම්කරු සේවය සහ වෙළඳපොල විධිමත්ව ඒකරාශී කිරීමට යටිතල පහසුකම්ද සමගාමීව දියුණු කරමින් කරන විශාල සංකල්පයක්. මේවා කලයුත්තේ ආර්ථික සහ වාස්තු විද්‍යාඥයින් සහ නගරයේ මහාපරිමානික ආයෝජකයින්ගේ අදහස් අනුව මිසක් එවැනි පරක්තෙරකට පළපුරුද්දක් වත් නැති තනි පුද්ගල කැමැත්තකට නොවේ. (අ)
මේ මාලනිලා සෙනරත් ලා ගේ රාජකාරිය යල් පැනපු,මහජනයාට එපා වුණු පරණ ක්‍රමවේද තියෙන දේශපාලකයෝ කරලියට ගෙනල්ල ලංකා තවත් දේශපාලන පවුල් වාදයට පටලවල ලංකාව තවත් දුප්පත් රටක් කරන එක වගේ? (බ)
මේකට ප්‍රතිචාර දාලා තියන සමහර අයගේ දත් ටික හළන්න හිතෙනවා. මර බයේ හිටපු හැටි අමතක වෙච්ච තරම. මේ මිනිස්සු නැත්නම් අද සිංහල මිනිස්සු කොහෙද? මේ මිනිස්සු කරපු දේවල් තමයි අදටත් බැන බැන විවෘත කරන්නේ. (නි)
රන්ජන් ඔබ හරි. සරත් ෆොන්සේකලා සහ රණවිරුවන්ගෙන් වුණ සේවය මීට වඩා ඉහළින් අගය කළයුතුයි. (නි)
රට, ආගම, ජාතිය ගැන හිතන ඔබ වැනි ඒකාධිපතියෙක් අපේ රටට අවශ්‍යයි. එ්කට මහින්ද මහත්තයා හරියන්නේත් නැහැ. ඔබට ජය. (නි)
අර කොහෙද යන බලු රැලක් සමග එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයත් විනාශ කල හා එතුමාට ස්ථීර වශයෙන්ම ලැබෙන්න තිබුණු, බුද්ධිමත් බෞද්ධ ඡන්ද හා මුස්ලිම් ඡන්ද ලක්ෂ ගණන් අහිමි කල කෙනෙකුට රටේ පාලනය බාර දෙන්න හිතන සමහරක් ගැන අනුකම්පා කරනවා. හැර වෙන මොනවා කරන්නද? මොලේ තරමටනෙ හිතන්නේ නේද? මෙතුමා හොඳයි මියන්මාරයේ දේශපාලනයට? (අ)
යුගයේ අවශ්‍යතාවය අනුව එනව නම් ඔබ තමයි නියම සුදුස්සා.ඔබ ඉක්මනින්ම අපේ රටේ ජනාධිපති කරවන්න කියල මම දවසකට තෙවතාවක් දෙවියන්ගෙන් ඉල්ලනව.හැබැයි මහින්ද මහත්තයව ගෙදර යවන්න වැඩ කරපු අය ආයනං ලංකර ගන්න එපා.ජනතාව ඉන්නෙ ඔබල ලග.හොරකම් කරන්න,මැරකම් කරන්න ඉඩ දෙන්න එපා. (බ)
මෙතුමා හැර වෙන විකල්පයක් දැන් නම් ලංකාවට නැහැ .(බ)
මේ දවස්වල හැමතැනම ස්ට්‍රයික්, උද්ඝෝෂණ, විරෝධතා. රට ඉස්සරහට යන්න දෙන්නෙම නැහැ. ඔබතුමා හිටියා නම් මේවා මොනවත් නැහැ. (නි)
සේනානායකලා, බණ්ඩාරනායකලා, වගේම රජපක්ෂලත් ආයේ බලයට එන්නේ නෑ.(හේ)
මෙයා ජනාධිපතිකම කළොත් ලංකාවක් නැහැ, ලංකාවේ මිනිස්සුත් නැහැ. කොහොමත් ඔය හීන කවදාවත් හෑබෑවෙන ඒවා නොවෙයි (නි)
ඔබතුමා ගැන ලොකු පැහැදීමක් අපිට තිබුණා. ඡන්ද රස්වීකදී විමල් වීරවංස ඇමතිතුමා හරහා උසස් පොලිස් නිලධරියකුගේ රාජකාරිය බාල්දු කරපු දවසේ ඇයි ඔබ තුමා එහෙම කලේ කියල හිතුන. අපි ඔබතුමන්ලා ගැන ලොකු ගෞරවයකින් හිටියා.)අ(
2020 වෙනකොට ගෝඨාභය ජනතාවගේ හරසරින් ජනපති ධූරයට පත්වනවා සිකුරුයි (නි)
රටක ජනාධිපතිකමක් කරන්න ඔබ හිතනතරම් ලෙහෙසි නැහැ. රටක් කඩිනමින් දියුණුවීමට නම් මුළු රටේම සහභාගිත්වය අවශ්‍යයි. ඔබලාගේ ඔය පැරණි දේශපාලන ක්‍රමවේදයෙන් මිදී සියල්ලන්ටම එකසේ සළකන නායකයෙක් නොවන තාක් ඔබට රටක් දියුණු කළ නොහැකියි (නි)
අපි දන්නවා ඔබ කොහොමද හිටපු රජය විවේචනය කළ මාධ්‍යවේදියෝ එක්ක ගනුදෙනු කළේ කියලා. ඉතින් තව අපිට ඔබ ගැන හිතන්න දේවල් නැහැ. මේ රටේ ඉන්න මිනිස්සු හොඳට විමසීමෙන් ඉන්න බව මතක තියාගත්තොත් හොඳයි (නි)
සාමා, මාධ්‍ය එක්ක නියමෙට ඔහු කටයුතු කළා. නමුත් රට කන මාධ්‍යවේදින්ටත් ඔහු හොඳට සැළකුවා. ඔහු නියම නායකයෙක් (නි)
අපේ රටට අවශ්‍ය ඔබතුමා වගේ නායකයෙක්. ඔබතුමාට පැවරුණු රාජකාරි සියල්ල ඉතාම හොඳින් කළා. එහෙම කරන්න බැහැ වැනි වැනි තීරණ ගන්න කෙනෙකුට. ඒ වගේම ඔබතුමාට හොඳ දර්ශනයකුත් තියෙනවා. හැමකෙනාම කියන කියනදේට නැමෙන්නෙත් නැහැ. මේවා නායකයකු තුළ තිබියුතු ලක්ෂණ. මේ ලක්ෂණ ප්‍රේමදාස මැතිතුමාගේත් තිබුනා. එත් ඔහු යම් තීරණාත්මක දේ දැක්කේ බොහොම සැහැල්ලුවෙන් සහ අධිතක්සේරුවෙන්. එ්ත් ඔබතුමා ඒ අඩුපාඩුත් දැනටම නිවැරදි කරගෙන තියෙනවා. ඔබතුමාට ජයවේවා! (නි)
පවුල් පිටින් දේශපාලනේ කිරීම ජනදිපතිකමට සුදුසුකමක් යයි සිතීමම වැරදි. පවුල්වාදී අදහසක් කියලා මට හිතෙන්නේ. දැන් වෙනරටවලත් ඔහොමද... ජනපති අපේක්ෂකයෝ පත්කරන්නේ.? (ර)
ආයේ කවදාවත් රජ වෙන්න බෑ.(හේ)
හොරකම් වංචා දූෂණ ගැන ඇත්තේ මොනවගේ ආකල්පයක්ද? (නි)
ඔබ හොඳ පරිපාලන නිලධාරියෙක් . නමුත් එයම ප්‍රමාණවත් නැහැ හොඳ රාජ්‍ය නායකයෙක් වෙන්න. රටේ සියලු දෙනාම පිළිගන්නා කෙනෙක් වීම ලේසි නොවේ. (අ)
හලාවත රතුපස්වල අපිට මතකයි (නි)
අපේ රටට ඕනෑ රුසියාවේ පුටින් වගේ කෙනෙක්. අපේ රටට හරියන්නේ මෙතුමා විතරයි (නි)
දියුණුවට පත්වුණු ආසියානු රටවල් අතළොස්සම එහෙමවුණේ අයෝමය හස්තයක් යටතේ අවුරුදු කීපයක්ම පාලනය වීමෙන්. එහෙම නැතුව මේ රටේ මිනිසුන්ගේ, නිලධාරීන්ගේ ආකල්ප වෙනස් කරන්න කිසිම විදියකින් බැහැ. හොඳම උදාහරණය ප්‍රේමදාස ජනාධිපති සමයේ රාජ්‍ය නිලධාරීන් වැඩ කළ අපූරුව. රටට බලාපොරොත්තු තැබිය හැකි එකම මිනිසා ඔබයි (නි)
මින්පසු අපේ රටේ රාජ්‍ය නායකයා විශේෂ උගතෙක් වියයුතුයි. එමෙන්ම ඔහු වයසින් 50 ට අඩු සහ කිසිම අපරාධයකට සම්බන්ධ අයෙකු නොවිය යුතුයි. සිංගප්පූරුවේ මෙන් උගතුන් පාර්ලිමේන්තුවට යවමු (නි)
අද ඉන්න රුකඩ සහා කිසිම සැලසුමක් නැති රටට ආදරේ නැති රටේ වෙන කිසිදෙයක් නොදන්නා නායකයෝ එක්ක බලද්දී මෙතුමා හොදින්ම වඩාත්ම සුසුදුයි නායකත්වයට. මම එතුමාට සුභ පතනවා සහා මම මගේ උපරිමය ලබාදෙනවා එතුමා බලයට ගෙන්න. (අ)
ඔව් සෑර්, ජනදිපතිකම දුන්නොත්මටත් හොදට කරන්න පුළුවන් කියල මට හොද ආත්ම විස්වාසයක් තියනවා. " අස්වයන්ට ලාඩන් ගහන කොට මදුරුවත් අණ්ඩ ඉස්සුවලු මටත් ගහන්න කියල. (අ)
එන්න, නමුත් පවුලේ අය ගෙන්න බැහැ. අපිත් උදව් කරලා බලන්නම්. මේ රජයේ සංවර්දන වැඩ නම් මන්දගාමී තමා , නමුත් හොඳ යමක් වෙන බවට විස්වාසයක් තියෙනවා. (ර)