IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


තානාපති සේවයේ තත්ත්වය බාල්දු නොකරමු

තානාපතිවරයකු යනු කිසියම් රටක රාජ්‍ය නායකයා වෙනුවෙන් වෙනත් නම් කරන ලද රටකට යවනු ලබන නේවාසික නියෝජිතයා වෙයි. වෙනත් රටක් නැත්නම් එය ජාත්‍යන්තර සංවිධානයක් වුව ද විය හැකිය. තානාපතිවරයකුගේ ප්‍රධානම කාර්යභාරය වනුයේ තමන් නියෝජනය කරන රටේ විදේශ සේවා නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණයත්, තමන්ගේ කාර්යාලයේ සේවය කරන නිලධාරීන් මෙහෙයවීමත්, අදාළ රටේ පවතින තමන්ගේ රටේ විවිධ ආයතන, ඒජන්සි, වෙළෙඳ ව්‍යාපාරවල ඕනෑ එපාකම් සොයා බැලීමත් වශයෙන් සැලකෙයි. ඊට අමතරව තමන්ගේ රටේත් තමන් ධුරය දරන රටේත් ජාතික කටයුතුවලදී ඉදිරිපත් වී කටයුතු කිරීම ද තානාපතිවරයකුගේ නිල කටයුත්තකි.

තානාපතිවරයකු හෝ එසේත් නැත්නම් මහ කොමසාරිස්වරයකු වශයෙන් පැවැරී ඇති එකී නිල රාජකාරි සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අවශ්‍ය යැයි අපට හැඟුණේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා නියෝජනය කරමින් විවිධ රටවලට යැවුණු තානාපතිවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් දැනගන්නට ලැබුණු තොරතුරු හේතුවෙනි. වත්මන් විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 12 වැනිදා ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වී තිබුණේ පසුගිය වසර 9 තුළදී තානාපතිවරුන් වශයෙන් පත්කොට යවන ලද 17 දෙනකුට විදේශ සේවා අත්දැකීම් නැති බවය. එහි තිබූ තවත් තොරතුරක් වූයේ ඔවුන් අතරින් දෙදෙනකුගේ අධ්‍යාපන සුදුසුකම් වශයෙන් තිබුණේ අ.පො.ස. උසස් පෙළ පමණක් බවය. මේ 17 දෙනා තානාපතිකම් හොබවා තිබුණේ සුළුපටු රටවල්වල නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බි්‍රතාන්‍යය, ඕස්ටේ්‍රලියාව, ජපානය හා ප්‍රංශය වැනි ලොවේ බලවත්ම රටවලට පවා විදේශ සේවයේ අත්දැකීම් නැති පුද්ගලයන් මෙසේ තානාපතිවරුන් වශයෙන් පත්කර ඇත.

කළුතර දිස්ත්‍රික් ජ.වි.පෙ. මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඇතුළත් වාර්තාව විදේශ සේවය සම්බන්ධයෙන් යොමු කර තිබූ ප්‍රශ්නයක පිළිතුරක් වශයෙන් මේ තොරතුරු විදේශ ඇමැතිවරයා විසින් සභාගත කර තිබිණ. ඉහත කී පුද්ගලයන් 17 දෙනාගෙන් පහළොස්දෙනකුට විවිධ උපාධි තිබුණත් ඒවා විදේශ සේවයට අදාළ උපාධි නොවන බව ද එකී වාර්තාව හෙළි කරයි. පාර්ලිමේන්තුවේ අඩු තරමින් සාමාන්‍ය පෙළවත් සමත් නැති මන්ත්‍රීවරුන් සෑහෙන සංඛ්‍යාවක් සිටින රටක මෙවැනි තත්ත්වයක් පැවැතීම ගැන එක අතකින් පුදුම විය යුතු නැත. එහෙත් තානාපති සේවය මේ තරමින් හෑල්ලුවට ලක්වීම හරහා රටේ ප්‍රතිරූපයට සිදුවිය හැකි හානිය පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමු වීම අවශ්‍යය.

ශ්‍රී ලංකාවේ විදේශ සේවයට නිලධාරීන් බඳවා ගනු ලබන්නේ විවෘත තරගකාරී විභාගයකිනි. මේ සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් වශයෙන් සඳහන් වන්නේ පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තිබීම හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිළිගන්නා විදෙස් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා සිටීමය. අයැදුම්කරුවන් වයස 22ත් 30ත් අතර විය යුතු බව ද රාජ්‍ය සේවයේ නිලධාරියකු නම් වයස 40ට අඩුවිය යුතු බව ද දැක්වෙයි. වසර කිහිපයකට වරක් පවත්වනු ලබන මේ තරගකාරී විභාගයේ සුදුසුකම් ලබන පිරිස විදේශ සේවයට III වැනි ශ්‍රේණියේ නිලධාරීන් වශයෙන් බඳවාගනු ලබන අතර ඔවුහු ඉන්පසුව උසස්වීම් සහ අවශ්‍ය පළපුරුද්ද ලබා එහි ජ්‍යෙෂ්ඨයෝ බවට පත්වෙති. තානාපති සහ මහ කොමසාරිස් ධුර සඳහා බඳවාගනු ලැබීමට ඔවුන් සුදුසුකම් ලබන්නේ ඉන්පසුවය. එහෙත් පසුගිය වසර 9 තුළදී ඒ ආකාරයට විදේශ සේවයේ සුදුසුකම් ලැබූවන් සඳහා ලැබිය යුතු තානාපති ධුර 17ක් සුදුසුකම් නොලත් පිටස්තර අයට ලැබී තිබේ. එසේ ලැබෙන්නේ දේශපාලන බලපෑම් හේතුවෙන් බව නොරහසකි.

බොහොමයක් අවස්ථාවලදී අප දකින්නේ මහ මැතිවරණයෙන් පරාජයට පත්වන ඇතැම් ජ්‍යෙෂ්ඨයන් සඳහා තානාපති ධුර වෙන් කෙරෙන බවය. එසේත් නැතහොත් එවැනි අය විසින් නම් කරනු ලබන පුද්ගලයන් පත්කරන බවය. එය එක් පැත්තකි. තවත් පැත්තකින් අප දකින්නේ බලයේ සිටින පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ හිතවතුන් සහ ඥාතීන් ද මේ පත්වීම් ලබන බවය. මේ වැරැද්ද පසුගිය වසර 9 තුළදී බලයේ සිටි ආණ්ඩු විසින් පමණක් නොව ඊට කලින් සිටි ආණ්ඩු විසින් ද සිදුකර තිබෙන බව සඳහන් කළ යුතුය. ඇතැම් බලවතුන්ගේ සහෝදරයන්ට “මඟුල් තෑගි” වශයෙන් පවා තානාපති ධුර ලැබුණු අවස්ථා ද මෑත කාලීන අපේ දේශපාලන ඉතිහාසයේ ලියැවී තිබේ. එවැනි සිදුවීම් අපගේ විදේශ සේවයේ කළු පැල්ලම් වශයෙන් හැඳින්වීමේ වැරැද්දක් නැත.

මෙයින් වඩාත් අසාධාරණයක් සිදුවන්නේ නියමිත සුදුසුකම් සපුරා සිටින විදේශ සේවයේ නිලධාරීන් පිරිසකටය. ඔවුන්ට තානාපතිවරයකු වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව අහිමි වී යාමය. යම් යම් අවස්ථාවලදී විශේෂ හේතු මත ඇතැම් සුවිශේෂ පුද්ගලයන් තානාපතිවරුන් වශයෙන් පත් කිරීමට ද සිදුවන බව අපි දනිමු. එයින් රටට හානියක් නොවිය හැකි වුව ද තානාපති ධුර විදේශ සේවයේ සුදුසුකම් ලත් පළපුරුදු නිලධාරීන්ට පමණක් සීමා කළ හැකි නම් බොහෝ වැරැදි මඟහරවා ගැනීමට හැකිවනු ඇත. තානාපති වරප්‍රසාද ආණ්ඩුවේ බලවතුන්ගේ වරප්‍රසාද බවට පත්කළ යුතු නැත.



අදහස් (5)

තානාපති සේවයේ තත්ත්වය බාල්දු නොකරමු

de silva berlin Monday, 22 July 2019 07:06 AM

රටේ දියුණුවට සහ ආරක්ෂාවට අත්‍යවශ්‍ය ඉතා වැදගත් සහිත ලිපියක් ,

:       0       5

sampath Monday, 22 July 2019 11:11 AM

මේක ඔය කියන විභාගයෙන් විතරක් ගන්න එක අසාධාරණයි.. වෙන ක්ෂේත්‍රවලටත් ඉඩ ප්‍රස්ථාව තිබිය යුතුයි. ඒ වගේම මහා කොමසාරිස් හෝ තානාපති සේවය ජාත්‍යන්තරය පිළිගත් අයට ලබාදිය යුතුයි.

:       65       32

obaTuesday, 23 July 2019 01:19 AM

බොහොම හරි. ඉන්න දෙගොල්ලම එකයි තමන් අයිති රටට නැතුව ඉන්න රටට සේවය කර සිය පවූල සමග එහි පදිංචි වන තානාපති සේවයකින් අපට ඇති පලය කුමක්ද? සමස්ථ සේවයම පුනරුත්ථාපනය කල යුතුය. වර්ග දෙකේම වෙනසක් නැත. වෙළඳ ගිවිසුම් මගින් අපි ලබාගත් අයිතීන් රැකගන්න කාට හෝ පුළුවන් උනාද?

:       0       23

Demuni de silva Monday, 22 July 2019 12:28 PM

ඇත්තෙන්ම පුදුමයට පත්වුණා. අපිත් ඉගෙනගෙනයි තිබ්බේ..

:       0       0

oba Tuesday, 23 July 2019 12:48 AM

ඔය කියන සේවය කාගෙන් හෝ ලැබුනාද? සමස්ත තානාපති සේවයම දිරාගිය ලීයක් වගේ. රට ගිහින් දරුවන් සමග නවතින එක තමයි ඒ ගොල්ල කරන්නේ. තනිකරම වංචාවක්. අපේ වෙළඳ පල ආරක්ෂා කරගන්න කව්රුත් කතා කරලා වත් තියෙනෙවද.?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 84 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 62 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 493 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 247 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 134 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 178 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 403 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site