IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තුර්කියේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි ජනතා නැගිටීම

      24-page-6-s2-7

 

ජනාධිපති රෙසෙප් ටයියිප් එර්ඩොගන්ගේ රජය පෙරළා දමා තුර්කියේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ අරමුණින් එරට යුද හමුදාවේ එක්තරා පිරිසක් විසින් 15 වැනි සිකුරාදා ක්‍රියාත්මක කෙරුණු කුමන්ත්‍රණය ජනතා සහයෝගයෙන් සම්පූර්ණයෙන් මැඬ පවත්වන්නට තුර්කි රජය සමත් විය. 


කුමන්ත්‍රණය මෙහෙයවනු ලැබුවේ තුර්කි යුද හමුදාවේ ‘සාම මණ්ඩලය’ නමින් හඳුන්වා ගත් පිරිසක් විසිනි. ජනතාවගේ මානව හිමිකම් රැක ගැනීම සඳහා එර්ඩොගන් රජය පෙරළා දැමීමට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බැව් ඔවුහු කියා සිටියහ. තුර්කිය මිලියන 80ක පමණ ජනගහනයක් සිටින රාජ්‍යයකි. අරාබියට සහ යුරෝපයට පිවිසෙන එක් ප්‍රධාන දොරටුවක් වන්නේ තුර්කියයි. 2003 සිට එහි පාලකයා වනුයේ එර්ඩොගන්ය. 2014 ඔහුගේ පාලනය අවසන් වීමට නියමිත වූ අතර ඔහුගේම පක්ෂය මගින් පනවන ලද නීති රීති හේතුවෙන් සිවුවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට බාධා පැනවිණි.

එහෙත් තුර්කි දේශපාලනයේ පැවැති හිඩැස්වලින් රිංගා ගිය ඔහු 2014 යළි තරගකොට  ජනාධිපතිධුරයට පත්වන්නට සමත් විය.


ගතවු දසක කිහිපය තුළ අවස්ථා ගණනකදී තුර්කියේ හමුදා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වී තිබිණි. 1960, 1971, 1980, 1997 යන වසරවල හමුදා කුමන්ත්‍රණ ඇති වූ අතර 1971 ඇතිවූ කුමන්ත්‍රණයෙන් බලය අල්ලා ගත් හමුදාව වසර නවයක් එරට පාලනය ගෙන ගියේය. තුර්කි ආර්ථිකය දැඩි ව්‍යසනයකට මුහුණ දුන්නේ එකලය. එමෙන්ම අවස්ථා ගණනාවකදී තුර්කිය කුර්දි බෙදුම්වාදීන්ගේ සහ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලටද ලක්විය. එහි ප්‍රධාන ගුවන් තොටුපළ වන අටාටර්ක් ගුවන් තොටුපළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ මින් මාසයකට පමණ ඉහතදීය. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 42 දෙනක් මියගොස් 239 දෙනක් තුවාල ලැබූහ. මෙම හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූයේ එහි උණුසුම පහව යෑමටත් පෙරය.  

24-page-6-s2-6


කුමන්ත්‍රණකරුවෝ සිකුරාදා රාත්‍රියේ තුර්කියේ සිට යුරෝපය හා මැද පෙරදිග යා කෙරෙන ඉස්තාන්බුල්හි පිහිටි ප්‍රධාන පාලම් දෙකක් වන බොස්පොරස් සහ ෆතී සුල්තාන් මෙහෙමට් යන පාලම් යුද ටැංකි හරස්කොට වසා දැමූහ. ඔවුනට අවශ්‍යව තිබුණේ ඉස්තාන්බුල් හා අන්කාරා යන නගර අත්පත් කර ගැනීමටය. අන්කාරා නගරයේ පිහිටි රජයේ ප්‍රධාන ගොඩනැගිලි සියල්ල අත්පත් කර ගත් ඔවුහු රූපවාහිනී හා ගුවන් විදුලි මධ්‍යස්ථානයද තමන් භාරයට ගැනීමට සමත් වූහ. තුර්කියේ අටාටර්ක් ගුවන් තොටුපළද ඔවුන් විසින් අවහිර කර තිබූ බවට වාර්තා විය. අන්කාරාහි පාර්ලිමේන්තු සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබිණි.


හමුදා ප්‍රධානී හුලුසි අකාර් ප්‍රාණ ඇපයට ගත් කුමන්ත්‍රණකරුවෝ තම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ගුවන් සහය ලබා ගැනීමට අන්කාරා නගරයට කිලෝමීටර 50 පමණ ඔබ්බෙන් වූ අකින්සි ගුවන් හමුදා කඳවුරේ ගුවන් නියමුවන් 15 දෙනකුගේ සහය ලබාගත්හ. අකින්සි ගුවන් හමුදා කඳවුරේ සිට අහසට නැගුණු ජෙට් ගුවන් යානා අන්කාරා සහ ඉස්තාන්බුල් නගරවල ඉහළ අහසේ එහා මෙහා සැරිසරනු දකින්නට ලැබිණි. කුමන්ත්‍රණකරුවෝ  ප්‍රහාරය සඳහා හෙලිකොප්ටර් යානා හා යුද ටැංකි විශාල ප්‍රමාණයක් යොදා ගත්හ. ඔවුන්ට එරෙහිව නැගී සිටි ජනතාවට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට සහ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට යොදා ගැනුණේ මෙම යානා සහ යුද ටැංකිය.  


රාත්‍රි 11.25ට පමණ කුමන්ත්‍රණකරුවෝ ‘තුර්කියේ පාලනය සාම මණ්ඩලය විසින් අත්පත් කරගෙන ඇති අතර රටේ හමුදා නීතිය ක්‍රියාත්මක කර ඇති බවට’ වන නිවේදනයක් නිකුත් කළහ. කැරලිකාර හමුදා සෙබළුන් ඉස්තාන්බුල් නගරයට පිවිසෙන විට ජනාධිපති එර්ඩොගන්, තම පවුල සමග වෙරළබඩ නගරයක් වන මාර්මාරිස් වෙත නිවාඩුවක් ගත කිරීමට ගොස් තිබිණි. ඔහු යළි ඉස්තාන්බුල් කරා පැමිණියේ කුමන්ත්‍රණය ක්‍රියාත්මකව වෙමින් තිබූ අතරවාරයේය. ජනාධිපතිවරයාගේ ගුවන් යානය ඉස්තාන්බුල් කරා පැමිණෙමින් තිබියදී කුමන්ත්‍රණකරුවන්ට සහය දැක්වූ එෆ් 16 වර්ගයේ ගුවන් යානා දෙකක් ඔහුගේ ගුවන් යානය පසුපස හඹා ආ බවත්, එහෙත් ජනාධිපතිවරයාට ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන් නොපෙලඹුණේ මන්ද යන්න අරුමයක් බවත් ජනාධිපතිවරයාට පක්ෂ උසස් හමුදා නිලධාරියකු සඳහන්කොට තිබිණි.

 

24-page-6-s2-5

 


කුමන්ත්‍රණය පිළිබඳ වාර්තා වූ විගස ජනාධිපති එර්ඩොගන් රාත්‍රි 12.26ට පමණ ‘සීඑන්එන් ටර්ක්’ රූපවාහිනී නාළිකාවට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය. එහි සිටි නිවේදිකාව ඔහුගේ විඩියෝ ප්‍රකාශය ඒ මොහොතේම විකාශය කිරීමට පියවර ගත්තාය. ‘හමුදාවට සම්බන්ධ පිරිසක් විසින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බවත් රට බේරා ගැනීම සඳහා වීදි බැස එය ව්‍යර්ථ කිරීමට සහය වන ලෙසත්’ ජනාධිපති එර්ඩොගන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒ මොහොතේ ජනාධිපතිවරයා සිටින්නේ කුමන ස්ථානයකදැයි කිසිවකු දැන නොසිටි අතර ඔහුගේ සාධාරණත්ව සහ සංවර්ධන පක්ෂයේ නියෝජිතයකු  මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ ජනාධිපතිවරයා රට තුළ ආරක්ෂිකව සිටින බවකි.


ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත රාත්‍රි 1.50 පමණ වන විට දහස් ගණනින් ජනතාව තුර්කි ධජ ලෙළවමින් වීදිවලට බැස ඝෝෂා කරමින් කුමන්ත්‍රණකරුවන් ඉදිරියට ගමන් කරන්නට වූහ. ඒ මොහොතේ නගරය පුරා වෙඩි හඬ පැතිර ගිය අතර හෙලිකොප්ටර් යානාවලින් ජනයා දෙසට වෙඩි තැබූ බැව් වාර්තා විය. කැරලි හමුදාව සහ ජනතාව අතර ඇතිවූ ගැටුම්වලින් 294 දෙනකු මිය ගිය අතර ඔවුන් අතුරින් 104 දෙනෙක් කුමන්ත්‍රණයට සම්බන්ධ සොල්දාදුවෝ වූහ. ඔවුන්ගෙන් වැඩි පිරිසක් කෝපයට පත් ජනතාව විසින් පහර දී මරා දමනු ලැබ ඇතැයි පැවසේ. පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසක් හා සිවිල් ජනයා ඉතිරි පිරිසට අයත් වූහ. 1400කට අධික පිරිසක් තුවාල ලැබූහ. කැරලි නායකයන් රැගත් හෙලිකොප්ටර් යානයක් එෆ් 16 ප්‍රහාරක ජෙට් යානයක් මගින් වෙඩි තබා විනාශ කෙරිණි.


රාත්‍රි 2.51 පමණ වන විට කුමන්ත්‍රණය පරාජය කෙරුණු බවට තුර්කි ජාතික බුද්ධි අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.
කුමන්ත්‍රණය මැඬපැවැත්වීමෙන් පසු 7543 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි තුර්කි අගමැති බිනාලි යිඩිරිම් ප්‍රකාශ කළේය. ඔවුන්ගෙන් 6038 දෙනෙක් සොල්දාදුවන්ය. ඒ අතර ජනරාල්වරු සහ අද්මිරාල්වරු 26 දෙනෙක්ද වෙති.

 

24-page-6-s2-4

ජනාධිපති එර්ඩොගන් අටාටර්ක් ගුවන්තොටුපොළේදී.

 


කුමන්ත්‍රණයට මූලිකත්වය ලබාදී තිබුණේ 2015 සිට ගුවන් හමුදාපතිවරයා මෙන්ම උත්තරීතර හමුදා කවුන්සිලයේ සාමාජිකයකුද වන ජනරාල් අකින් ඔස්ටුර්ක්ය. ඔහුට සහය වූ අනෙක් පුද්ගලයා වූයේ මුහරම් කෝසේය. හමුදාවේ නීති උපදේශකවරයා වූ ඔහු විසින් සිදු කරන ලද විෂමාචාර හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ තනතුරින්  ඉවත් කරනු ලැබුවෙකි. එහෙත් ඔහු හමුදාවෙන් නෙරපා දැමුණේ නැත. කෝසේ දැනට ඇමෙරිකාවේ පදිංචි තුර්කි ආගමික නායකයකු වන ෆෙටුල්ලා ගුලෙන්ගේ අනුගාමිකයෙකි. මෙම කුමන්ත්‍රණය පසුපස සිටින මහමොළකරු ලෙස තුර්කි ජනාධිපති එර්ඩොගන් චෝදනා කරනුයේ ගුලෙන්ටය. ගුලෙන් සහ ඔහුගේ අනුගාමිකයන් තුර්කි පොලිසිය, අධිකරණය, ත්‍රිවිධ හමුදාව සහ මාධ්‍ය තුළ තම ආධිපත්‍යය පතුරුවමින් එර්ඩොගන් රජය පෙරළා දැමීමට උත්සාහ දරන බවට ඔහු චෝදනා කරයි. තුර්කියේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වන සෑම අවස්ථාවකම ඒවා පසුපස සිටින්නේ ගුලෙන් බවට එර්ඩොගන් විසින් චෝදනා කරනු ලබන අතර ඒ සෑම අවස්ථාවකම ගුලෙන් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටියේය. 
මෙම කුමන්ත්‍රණයේ පසුබිම එර්ඩොගන් අගමැති ධුරය දැරූ කාලය තෙක් දිව යන්නකි. එවක හමුදාවේ සිටි ප්‍රධාන පෙළේ නිලධාරීන් සිය ගණනකට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර ඔවුන් සිරගත කිරීමට එර්ඩොගන් අගමැතිවරයාව සිටි සමයේ ඔහුගේ රජය ක්‍රියා කළේය. පසුව ඔවුන් එම චෝදනාවලින් නිදහස් කෙරුණද ඉන් අත් වූ කැළල නොමැකිණි. එම නිලධාරීන් එර්ඩොගන් කෙරෙහි දැඩි අමනාපයකින් පසු වුවද ඒවා අළු යට ගිනි පුපුරු මෙන් පැවතියේය.

මෙම කුමන්ත්‍රණය එහි ප්‍රතිඵලයක් විය. තමන්ට හමුදාවේ සියලු අංශවල සහය ලැබෙනු ඇතැයි ඔවුහූ සිතූහ. කුමන්ත්‍රණය ක්‍රියාත්මක කෙරෙැණේ එකී විශ්වාසය මතය. එහෙත් හමුදාව තුළ එර්ඩොගන්ට සහය දැක්වූ විශාල පිරිසක් වූහ. එහෙයින් කැරලි කණ්ඩායම අපේක්ෂා කරන ලද සහය ඔවුනට ලැබුණේ නැත. හිටපු හමුදා ප්‍රධානියකු සඳහන් කර සිටියේ තමන් පිළිබඳ අධි තක්සේරුවක සිටි ඔවුන් කුමන්ත්‍රණය කලින් ක්‍රියාත්මක කර ඇති බවයි. එමෙන්ම එර්ඩොගන් සතු ජනබලය පිළිබඳ නිවැරැදි තක්සේරුවක් ඔවුන්ට නොවූ බවට ඔහු වැඩිදුරටත් පවසා තිබිණි. එක්තරා රූපවාහිනී නාළිකාවක් අත්අඩංගුවට පත් සොල්දාදුවන් පිළිබඳව සඳහන් කරමින් පවසා තිබුණේ ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉතා තරුණ සෙබළුන් බවත් ඔවුන්ගේ දෙනෙත්වල ඇත්තේ අධිෂ්ඨානයක් හෝ ආත්ම පරිත්‍යාගශීලී හැඟීමක් නොව දැඩි බියපත් ස්වභාවයක් බවයි. රැකවරණ පතා හෙලිකොප්ටර් යානයකින් ග්‍රීසියට පලාගිය සොල්දාදුවන් පිරිසක් යළි තුර්කියට බාරදෙන ලෙසට තුර්කි රජය ග්‍රීසියෙන් ඉල්ලා තිබේ. 

24-page-6-s2-3

අත්අඩංගුවට පත් හිටපු ගුවන් හමුදාපති ඔස්ටුර්ක් ඇතුළු හමුදා නිලධාරීන් පිරිස.

 

24-page-6-s2-2

හිටපු ගුවන් හමුදාපති ඔස්ටුර්ක් අත්අඩංගුවට ගත් අවස්ථාව.

 


මෙම කුමන්ත්‍රණය සඳහා හමුදාව පොළඹවනු ලැබුවේ ගුලෙන් විසිනැයි පවසන එර්ඩොගන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට හෝ රටින් පිටුවහල් කරන ලෙසට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා තිබේ. ඉස්ලාම් ආගමික නායකයකු වන 75 හැවිරිදි ගුලෙන් 1999 සිට ජීවත්වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. ඔහුගේ අනුගාමිකයෝ විශාල පිරිසක් තුර්කියේ සිටිති. 


කුමන්ත්‍රණය මැඬපැවැත්වීමෙන් පසු තම ආරක්ෂකයන් පිරිවරා අටාටර්ක් ගුවන් තොටුපළ වෙත පැමිණි ජනාධිපති එර්ඩොගන් තම පාක්ෂිකයන් හමුවේ පවසා සිටියේ කුමන්ත්‍රණයට සම්බන්ධ කිසිවකුට සමාව නොදෙන බවයි. සියයට පනස් දෙකක ඡන්ද ප්‍රතිශතයකින්  තුර්කි ජනතාව තමා ජනාධිපතිධුරයට පත් කරගත් බවත්, ජනතාව තමාට ආදරය කරන බවත් පැවසූ ඔහු තවමත් මෙරට ජනාධිපතිවරයා තමන් බවද කියා සිටියේය. මෙම සිදුවීම හමුදාව පිරිසුදු කිරීම සඳහා දෙවියන් විසින් ලබා දුන් අවස්ථාවක් ලෙස තමා දකින්නේ යැයිද ඔහු පැවසීය. කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍ය වූයේ තමා අත්අඩංගුවට ගැනීමට හෝ මරා දැමීමටයැයි පැවසූ ඔහු “ඔවුන්ගේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ මා නිවාඩුව ගතකරමින් සිටි මාර්මරිස් ප්‍රදේශයේදී. ඔවුන් මගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු මරා දැම්මා. මා එහි තව මිනිත්තු දහයක් හෝ පහළොවක් රැඳී සිටියානම් ඔවුන් මා අත්අඩංගුවට ගන්නවා නැතිනම් මරා දමනවා. ඉස්තාන්බුල් හා අන්කාරා නුවර කිසියම් සිදුවීමක් ඇතිවෙන බවට මා දැනුම්වත් කෙරුණා. ඒ මොහොතේම මා හෝටලයෙන් පිටවුණා.”   

24-page-6-s2-1

ෆෙටුල්ලා ගුලෙන්

 


ජනාධිපති එර්ඩොගන් හෝටලයෙන් පිටව ගොස් සුළු මොහොතකට පසු සොල්දාදුවන් 40 දෙනකු රැගත් හෙලිකොප්ටර් යානා තුනක් ඔහු රැඳී සිටි මාර්මාරිස් සංචාරක පුරවරයට පැමිණියේ ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ මරා දැමීමටය. එහෙත් ඔවුන් පැමිණෙන විට ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ හෙයින් ඔවුන්ගේ ප්‍රයත්නය අසාර්ථක විය.


මේ වන විට තුර්කියේ හදිසි නීතිය පනවා ඇති අතර ඉස්තාන්බුල් නුවරට දැඩි ආරක්ෂාවක් සපයා තිබේ. කුමන්ත්‍රණය අතරතුර ගුවන් හමුදාවට අයත් 50කට ආසන්න ගුවන් යානා ප්‍රමාණයක් අතුරුදන් වී තිබේ. එහෙයින් යළිත් වරක් කිසියම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් සිදුවිය හැකි බවට සැක කෙරෙන හෙයින් පෙර දැනුම්දීමකින් තොරව කිසිදු යානයක් ගුවන්ගත කිරීම තහනම් කර තිබේ. නවතම වාර්තාවලට අනුව හමුදා සහ පොලිස් නිලධාරීන්, සිවිල් සේවකයන් හා විනිසුරන් 20,000කට ආසන්න පිරිසක් සේවයෙන් නෙරපා හෝ අත්අඩංගුවට ගෙන හෝ ඇතැයි වාර්තා වේ. මුදල් අමාත්‍යාංශයේ 1500කට ආසන්න පිරිසක් වැඩ තහනමට ලක් කර ඇති අතර මිලියන 3කට අධික සිවිල් සේවකයන්ගේ වාර්ෂික නිවාඩු අවලංගු කර තිබේ.


යුරෝපා සංගමයට එක්වීම සඳහා 2004දී තුර්කිය වරදකරුවන්ට මරණ දඬුවම ලබාදීම අත්හිටුවන ලද අතර එය යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපති එර්ඩොගන් තීරණය කොට තිබේ. තුර්කි ආරක්ෂක හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.

m



අදහස් (0)

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි ජනතා නැගිටීම

සංජීව Monday, 25 July 2016 08:51 AM

ලංකාවේ වුන නම් දැන් මිනිස්සු හමුදාවට එකට උදව් කරයි මේ විදියට.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1504 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 250 2

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 899 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 78 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 175 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 228 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site