කඳවුර තුළ සිටින ජනතාව
“අනේ ඇයි දෙවියනේ අපට මෙහෙම වුණේ.” අර ඈත සරුසාර මගේ වත්ත දිහා බල බල දෙවියන්ට නොකියා වෙන කාට කියන්නද? ඒ වත්තෙන් මම ජීවත් වුණේ ඒ සරුසාර තේ වත්තෙන්. ඒක මා දෙස දැන් බලන් ඉන්නේ මම කොයි මොහොතේ එයිද කියායි. ඒත් මම කොහොමද එතැනට යන්නේ. පාරක් නෑ. උදේ නිදාගෙන ඇහැරෙන කොටත් රෑ නිදා ගන්න යනකොටත් මට පේන්නේ සරුසාරව වැඩුණු මගේ තේ වත්ත. ඉතින් මම මේ කඳුළු කතාව මම දෙවියන්ට නොකියා වෙන කාට කියන්නද?
මේ ප්‍රකාශය ඔබට යම්කිසි විදිහකින් කුතුහලයක් ගෙනේවි.
එහෙත් එය සැබැවින්ම අසරණ වු අහිංසක ජනතාවගේ දුක් අඳෝනාවයි.
අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අසරණ වු ජනතාවගේ දෝංකාරය තවමත් ඒ අවට පවතී.
සාමසර කන්ද නායයාමෙන් තුන් මසකට ආසන්න වන දිනක ඔවුන්ගේ දුක් කඳුළු සොයා බලන්න අපි එහි ගියෙමු.
කන්ද අප දෙස බලා සිටියේ කිසිවක් නොකළ අයෙකු විලසිනි.
එහෙත් සාමසාර කන්ද නාය යාමෙන් සිදුවී ඇති හානිය සුළුපටු නොවේ.
ඒත් දැන් මොනවා කරන්නද සියල්ල සිදු වී හමාරය.
සාමසර කන්ද දැන් නිසොල්මනේය. විටෙක කන්ද වසාගෙන පැමිණි වලා පටලවලින් වැටෙන හීන් වැහි පොද අපට අසිරිමත්ය.
එහෙත් ඒ හිරිපොද වැසි වැටෙන විට සාමසර අවට සිටින ජනතාවට ඇතිවන්නේ තවමත් විශාල චකිතයකි.
මක්නිසාදයත් කොයි මෙහොතේ හෝ යළිත් කන්ද නායයාමේ අවදානමක් ඇතිවේ දෝ යන බිය නිසාය.
මේ ඔවුන්ගේ අපේක්ෂා සියල්ල නාය ගිය කතාවේ ආරම්භයයි.
දැන් ඔවුනට අත්‍යවශ්‍ය වන්නේ ස්ථීර වාසස්ථානයකි.
අඩුම තරමේ බිම් කොටසක්වත් ලබා දෙන්නේ නම් නිවසක් ඉදිකර ගැනීමට හැකි යැයි පැවසෙන්නේ අවධාරණයෙනි.
මම ජීවත්වුණේ අර පෙනෙන කන්ද ඉහළ කොටසේ මට තේ අක්කරයක් විතර තිබුණා. අර සරුවට වැවිලා තියෙන්නේ ඒ කොටස. හොඳට දලු කැඩුවා. දැන් ඒ පැත්තට යන්න බෑ. කොයි වෙලේ කන්ද නාය යයිද දන්නෑ. අනික පාරක් නැහැ. ඔක්කොම සේදිලා ගිහින්. දැන් මේ කඳවුරේ ඉන්න මට යන්න බෑ. මගේ මහත්තයටත් හොඳටම අසනීපයි. මමත් අසනීපෙන් ඉන්නේ. ඉස්සර නම් දලු කඩන්න කට්ටිය හිටියා. දැන් ඒ පැත්තට කවුරුත් යන්නෑ. හීන් වැහි පොදකට හරි දැන් බයයි. අපි හොඳට හරි හම්බ කරපු කට්ටිය. දැන් මේ කඳවුරක හිරවෙලා ඉන්නවා. කිසිම ආදායමක් නෑ.
ඒ හත්ගම්පළ විද්‍යාලයේ කඳවුරක ජීවත්වන යූ.ජී. සීලවතීගේ දුක් අඳෝනාවයි.
ඒත් අපි කෙසේ ඊට විසඳුම් සොයමුද? බලධාරීන් තවමත් නිහඬවී ඇත.
මාස 3 ක් ඉක්මවී ගොස් ඇතත් තවමත් අවතැන්වූවෝ කඳවුරු තුළ ජීවත් වෙති.
ඔවුන් සියලු දෙනාගේ එකම ඉල්ලීම නිවසක් හෝ ඉඩම් කැබැල්ලක් හෝ ලබාදෙන ලෙසයි.
මේ කූඩාරමේ පවුල් 26 ක් ඉන්නවා. අපි ඔක්කොම හොඳට කාපු බීපු අය. දැන් කඳවුරේ මේ පොඩි කුස්සියේ උයාගෙන කන්නේ. අපිට මේ කඳවුරෙන් කවදා නිවසකට යන්න වෙයිද දන්නෑ. ගෑස් ළිපකුයි පොඩි සිලින්ඩරයකුයි ලැබුණා. මේක ඉවර වුණාම අපිට ආයෙත් එකක් ගන්න විදිහක් නෑ. අපිට කිසිම ආදායමක් නෑ. අපි මෙහෙම ජීවත්වුණ අය නෙමෙයි. දැන් අපි හොඳටම අනාථයෝ වෙලා අපි ගැන හොයා බැලුවාට ඉන්න හිටින්න තැනක් හදලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. ඒ සීලවතී මහත්මියගේ දෑසට කඳුළු උනා තිබිණ.
කූඩාරම් තුළ කුඩා දරුවෝ
මේ කඳවුරේ ඉන්න අනුරසිරි බණ්ඩාර මහතා අප සමඟ කීවේ ආදායමක් නැතිවීමේ දැඩි සංවේගයකිනි.
අනේ අපිට කොහොම හරි ඉඩම් කෑල්ලක් ලබා දෙන්න.
අපි පුළුවන් විදිහට ගෙයක් හදා ගන්නම්. මමයි මගේ නෝනයි ළමයි 3 දෙනයි මේ පොඩි කූඩාරමේ ඉන්නේ. කිසිම පහසුකමක් නෑ. අපි හොඳට ජීවත් වුණ අය. මම මුළු සේසතම වියදම් කරලා ගේ හැදුවා. ඒ ගේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා.
දැන් ඉන්නේ මේ කඳවුරේ, කිසිම ආදායමක් නෑ. මේ දුක කවදා ඉවර වෙයිද අනේ අපේ දුක බලලා අපිට කොහොම හරි නිදහසේ ඉන්න ඉඩම් කෑල්ලක් ලබා දෙන්න. අපි කොහොම හරි ගෙයක් හදාගෙන දරුවන් එක්ක නිදහසේ ඉන්නම්.
අවතැන් වූ ජනතාවට ඉදිවෙන නිවාස
මේ කඳවුරේ ඉන්න මංගලිකා කුමාරි අපිට කිව්වේ තිබුණු ආදායම නැති භංගවී යාමේ සෝ සුසුම් සමඟය.
මම විවාහකයි. දැන් දරුවෙක් ඉන්නවා මහත්තයා. තේ දලු කඩලා, කරාබු නැටි විකුණලා හොඳට ජීවත් වුණේ. ඒත් දැන් කිසිම ආදායමක් නෑ. දැන් මේ කඳවුරේ ජීවත් වෙනවා. අමතර ආදායම් කිසිවක් නෑ දැන්.
මම මේ බීඩි ඔතලා තමයි කීයක් හරි හොයා ගන්නේ. බීඩි 1000 ක් මම දවස් දෙකකින් ඔතනවා. මට රුපියල් 600 ක් ලැබෙනවා. ඒකෙන් කොහොම හරි ජීවත් වෙනවා. අනේ අපිට කොහොම හරි ඉඩම් කෑල්ලක් හරි නිවසක් හරි ලබා දෙන්න කියලයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
දැන් මේ කඳවුරු ජීවිතය අප්‍රිය වෙලා. ඒකාකාරීයි. අනේ කොහොම හරි නිවසක් ලබා දෙන්න. අපිට ආයෙත් නාය ගිය ඉඩමේ පදිංචි වෙන්න බෑ. අපිට කවදා මේ කඳවුරෙන් යන්න වෙයිද දන්නෑ. කොහොම හරි නිවසක් ලබා දෙන්න කියලයි මම ඉල්ලන්නේ.
තාවකාලික කූඩාරම්
අපි මීළඟට ගියේ හත්ගම්පල ශ්‍රී ගෞතම විහාරයේ කඳවුරටය.
එම කඳවුරේ පවුල් 28 ක් ජීවත් වෙති. අවතැන් වුණු ඔවුහු මාස 3 ක් තිස්සේම සිටින්නේ මේ කඳවුරේ.
එහිදී අපට හමුවුණ ප්‍රියදර්ශනී නවරත්න මහත්මියගෙන් අපි කඳවුරු දිවියේ තතු විමසීමු.
අනේ කියලා වැඩක් නෑ. මේ කඳවුරේ ජීවත්වෙනවාට ඉන්නවා. කෑම බීම දුන්නාට කිසිම පවුල් ජීවිතයක් ගෙවන්න බෑ. අපිට පෞද්ගලිකත්වය කියලා කිසිම දෙයක් නෑ. දරුවන්ට බඩගිනි උණාම ඒ ගොල්ලන්ට ආස කිසිම දෙයක් හදලා දෙන්න බෑ. කොටින්ම දරුවන්ට කිරි දෙන්නත් බෑ. දෙනෝ දාහක් බලන් ඉද්දි තමයි දරුවන්ට කිරි දෙන්න ඕනේ. මහත්තයා එක්කවත් නිදහසේ ඉන්න බෑ. මේ කඳවුරේ ගොඩක් අයට එහෙමයි. අනේ අපිට කොහොම හරි නිවසක් ලබා දෙන්න. ආයෙත් නම් අපිට නායගිය පළාතකටවත් යන්න බෑ. දරුවොත් බයයි. අපිත් බයෙන් ඉන්නේ. හරියට මේ කඳවුරේ ඇඳුමක් මාරුකර ගන්නවත් විදිහක් නෑ. අපි හොඳට නිදහසේ ජීවත් වෙච්ච අය. දැන් මේ තත්ත්වයට පත් උණා. අපිට හොඳට ඉඩ කඩම් තිබුණා. දැන් ඒවා කිසිදෙයක් නෑ. ඇඳිවත පමණයි. මොනවා කරන්නද? කෑම බීම ටික දුන්නට මානසික නිදහසක් නෑ. අපිට කියලා කිසිම පෞද්ගලික ජීවිතයක් නෑ. මේ කඳවුරේ ඔහේ ජීවත් වෙනවා.
මෙහිදී හමු වු නම හෙළි කිරීමට අකමැති තරුණියක පැවසුවේ,
කඳවුරු ජීවිතය නම් දැන් අප්‍රිය වෙලා. අපිට කිසිම පෞද්ගලිකත්වයක් මේ කඳවුරේ නෑ. කොටින්ම තමන්ගේ මහත්තයා එක්ක නිදහසේ හැසිරෙන්නවත් අපිට බෑ. අපි ඉල්ලන්නේ කොහෙන් හරි කමක් නෑ. නිදහසේ ඉන්න ගෙයක්. තවමත් ඒ පිළිබඳ කිසිදු නිලධාරියෙක් ස්ථිර වචනයක් කියන්නෙ නෑ.
අපි ඊළඟට ගියේ දෙබත්ගම ශ්‍රී රතන ජොත්‍යාරාමයේ අවතැන් කඳවුරටය.
එහි විහාරාධිපති දෙබත්ගම විජිතසීහ හිමියන් පැවසුවේ දැනට විහාරස්ථානයේ රැඳී සිටින පවුල්වලට අවශ්‍ය ආහාර පාන ලබා දුන්නද ඔවුන්ගේ පවුල් ජීවිතය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය බවයි. නිවාස ලබාදීම ආදායම් මාර්ගයක් ඇති කිරීම වැනි කරුණු පිළිබඳ අදාළ බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු අතර දැන් ඒ පිළිබඳ මන්දගාමී තත්ත්වයක් දක්නට ලැබීම ඉතා කනගාටුදායක බවද උන්වහන්සේ පැවසූහ. මේ නිසාම අදාළ බලධාරීන් කඩිනම්ව මැදිහත්වී ඔවුන්ගේ ජන ජීවිතය සාර්ථක කිරීමට ඉදිරිපත්වීම කඩිනම් කළ යුතු බව ද උන්වහන්සේ පැවසුහ.
මෙම කඳවුරේ දැනට සිටින මාවනැල්ල මයුරපාද විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන ජී. නෙත්මි හිමාෂා විජේවර්ධන දැරිය පැවසුවේ තමන්ට පාසල් යාමට ඇති වූ බාධක කන්දරාව ගැනය.
අනේ අපිට මේ ජීවිතය එපාවෙලා. අපි හරිම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. අපිට ඇඳුමක් මාරු කර ගන්න විදිහක් නෑ. හැමෝම බලන් ඉන්නවා. අපි උදේට ඉස්කෝලේ යන්නේ හරිම අමාරුවෙන්. ඇඳුම් මදින්න විදිහක් නෑ. යට ඇඳුම් හෝදලා වේල ගන්න අමාරුයි. අපි ගෙවල්වල හොඳට නිදහසේ ජීවත්වුණ අය. දැන් මේ කෑල්ලකට කොටුවෙලා අනේ මේ බුදුන් වඳින අත් දෙකෙන් වැඳලා කියන්නේ අපිට ඉක්මනට නිවසක් හදලා දෙන්න. අපේ පවුලේ කට්ටිය එකට ජිවත්වෙන්න වැඩ පිළිවෙළක් හදලා දෙන්න බලධාරීන් ඉක්මණට අපි දිහා බලලා අපේ ජීවිතය යළි ගොඩනගන්න.
මෙහිදී හමුවු මාග්‍රට් චන්ද්‍රලතා මහත්මිය පැවසුවේ තම ආදායමට වු විපත පිළිබඳවය.
අපි හොඳ පවුල් ජීවිතයක් ගත කරපු අය. මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. මාසෙට 30,000ක 40,000 දාහක ආදායමක් ගත්තා. ඊට අමතරව වත්තෙන් තවත් ආදායම් ලැබුණා. ඒ කිසිවක් දැන් නෑ. මාස 3 ක් වෙනවා මේ කඳවුරේ නැවතිලා දැන් රැකියාවක් නෑ.
මම යම් යම් අවස්ථාවලදී ණය ලබා ගත්තා. දැන් ලක්ෂ 5ක් විතර වැයවෙලා තියෙනවා. ඒවා ගෙවා ගන්න විදිහක් නෑ. මම ඉල්ලන්නේ ඒවා ගෙවලා දෙන්න කියලා නෙමේ. ඉන්න හිටින්න තැනක් හොයලා දෙන්න. අපේ ජනාධිපතිතුමනි, අපේ දුක් ගැන හොයලා බලලා ස්ථිර නිවසක් හදලා දෙන්න මැදිහත් වෙන්න. කන්න බොන්න ලැබුණට අපිට නිදහසේ ජීවත් වෙන්න ඉඩකඩ හදලා දෙන්න. අපිට කොහෙන් හරි කමක් නෑ ඉඩක් කෑල්ලක් හරි ලබලා දෙන්න. අපිට දැනගන්න ලැබුණා ලෝක ආධාර හම්බෙලා කියලා. ඒවා දෙන්නේ සමෘද්ධිය ලැබෙන අයටලු. අනේ අපිට සමෘද්ධියක් නෑ. මේ කන්ද නාය යාමේදී සමෘද්ධි ඇති නැති අය කියලා බේරුන්නෑ. හැමෝටම මේ විපත සිද්ධ වුණා. ඒක නිසා මේ වෙලේ ඕවා බලන්නේ නැතුව ඒ ආධාර අපි හැමෝටම ලබා දෙන්න නිසි වැඩපිළිවෙළක් යොදන්න කියලා මම ජනාධිපතිතුමන් ඇතුළු අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපිට මේ ජීවිතය එපාවෙලා දැන් මාස තුනක් පමණ වෙනවා. මේ කඳවුරුවල ඉඳලා මීට වඩා හොඳයි අපිත් ඒ පස් කන්දට යටවෙලා ගියා නම් කෑම බිම තුන් වෙලේම ලැබෙනවා. ඒත් අපිට කියලා කිසිම නිදහසක් නෑ. කඳවුරේ කොටුවෙලා ඉක්මනටම අපිව මේ කඳවුරු ජීවිතයෙන් අයින් කරගෙන නිදහසේ ඉන්න හිටින්න තැනක් හදලා දෙන්න.
මෙහිදී අදහස් පළ කළ ඩබ්.එම්. අබේරත්න මහතා කියා හිටියේ තමන් මීට පෙර යහතින් ජීවත් වු ඇත්නන් බවය.
අවදානම්, අධි අවදානම් කියලා කලාප කිහිපයකට වෙන් කරලා තියෙනවා. ඒත් කොච්චර කිව්වත් මොන දේ කළත් අපි
නම් ආයෙත් මේ ගෙවල්වලට එන්න අදහසක් නෑ. අපිට කොහෙන් හරි කමක් නෑ. ඉඩම් කෑල්ලක් හරි ගෙයක් හරි හදලා දෙන්න. දැන් අපිට කිසිම පවුල් ජීවිතයක් නෑ.. හරි හමන් රස්සාවක් නෑ. කිසිම ආදායම් මාර්ගයක් නෑ. අපි දැන් අනාථයෝ වුණා. අපි ගැන කව්රු හරි හොයලා බලලා අපිට ඉන්න හිටින්න තැනක් හදලා දෙන්න අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ එච්චරයි. අපි හොඳට ජිවත්වුණ අය. අපිට හොඳ ආදායම් මාර්ග තිබුණා. ඒ ඔක්කොම මේ කන්දත් එක්ක යටවුණා. අපි අලුතින් දැන් ජීවිතය පටන් ගන්න ඕනේ. අපි දන්නවා අපිට නැතිවුණ හැමදේම දෙන්න බෑ කියලා. ඒත් අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපිට නිවසක් හරි ඉඩම් කෑල්ලක් හරි ඉක්මනට ලබා දෙන්න කියලයි.
මෙවැනි දුක් අඳෝනා ප්‍රදේශයේ විපතට පත් වූ ජනතාවගෙන් විටින් විට අසන්නට ලැබේ. ඒත් බලාධාරීන් තවමත් මේ ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන්නට කල් මරන්නේ ඇයි? මේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නේ කවරදාද?
මේ විපතට තුන් මසක් පිරෙන දා දෙබත්ගම රතන ජොත්‍යරාමයේ විශේෂ පින්කමක් සුදානම් කොට තිබේ. ඒ එම විහාරස්ථානයේ විහාරාධිපති දෙබත්ගම සෝමරතන තිස්ස නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. මේ කරුණුකාරණ සියල්ල අසාගෙන අපි සාමසර කන්ද නාය ගිය ස්ථානයට ගියෙමු. ඒත් අපි මේ යන්නේ සිය ගණනකගේ ජීවිත අකාලයේ වැළලුණ බිම් කඩක් උඩින් නේද යන්න පිළිබඳව සිත සිතමිනුයි.
ඒ වන විටත් සාමසර කන්ද විටින් විට කළු වලාවන්ගෙන් වැසි හීන් පොද වරුසාව මුදා හරිනවා ඒ දෙස බලාගෙන තවමත් සුසුම් හෙළන බොහෝ දෙනෙක් අපට මුණගැසිණ.
මේ එම කන්ද පාමුල ජීවත්වන පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට මාවනැල්ල පොලිසියේ සේවය කරන එම්.පී. ලයනල් සමරවීර මහතා අප හමුවේ දැක්වු අදහස්ය.
මම මුළු සේසතම වියදම් කරලා මේ නිවස හැදුවේ. යට තට්ටුවේ වැඩ සියල්ල දැන් ඉවරයි. ඒ යට තට්ටුව දැන් සම්පුර්ණයෙන්ම පස් වලින් වැහිලා. මම ඉතින් දවල්ට මේ ගේ දිහා බලබලා කඳුළු සලනවා. අපේ දරුවො නම් මේ පැත්තටවත් එන්නේ නෑ. ඒ ගොල්ලන්ට තාමත් බය දැනෙනවා. අපේ කුඹුරු සියල්ල පස්වලින් වැහිලා. දැන් මගේ රැකියාව විතරයි ඉතුරු වුණේ. අපිට නැවත මේ ගෙවල් හදලා දෙන්න කියලයි ඉල්ලීමක් කරන්නේ. ඒකට තව කල් යවන්නේ නැතුව ඉක්මනින් මේ අසරණ ජනතාවට සහනයක් ලබා දෙන්න සාමසර කන්ද නාය යාම නිසා දැන් පල්ලේබාග කියන ග්‍රාමය සම්පුර්ණයෙන්ම විනාශවෙලා තියෙන්නේ. මේ ගම නැවත ගොඩනගන්න පුළුවන් කියලා හිතා ගන්නත් අමාරුයි.
ඇත්තටම ඒ ග්‍රාමය දැන් පස් ගොඩක් වෙලා ජනතාවගේ කුඹුරු ඉඩකඩම් සියල්ල විනාශ වෙලා අපි සියැසින් දුටුවා. මේ තත්ත්වයට අදාළ බලධාරීන් කඩිනමින් විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි. ඒත් ඔවුන්ගේ ජන ජීවිතය ගොඩනැගීමේ වගකීම රජයට බාරය. මෙහිදී අපට හමු වු එම කන්දේ ජීවත්වුණු පාලිත පුවක්වැව මහතා කියා සිටියේ තමන්ට කොහේ හරි ඉඩම් කැබැල්ලක් ලබා දෙන්න කියලයි. නිවස හදා ගැනීම මම තනියම කර ගන්නම්. දැනටමත් මගේ නිවස විනාශ වෙලා. වත්ත පිටිය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකෙන් හොඳ ආදායමක් මම ලැබුවා. දැන් මේ නායයාම බලන්න එන ජනතාවට බඩ ඉඟුරු විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඒ කන්ද පැත්ත බලන්නත් බයයි. පොඩි වැස්සකටවත් කන්ද දිහාට යන්නෑ බයයි. කොයි වෙලේ නාය යයි ද දන්නෑ.
කෙසේ වෙතත් අවතැන් කඳවුරුවල මෙන්ම කූඩාරම්වල ජීවත් වන ජනතාවට ගැටලු රැසක් පවතී.
විශේෂයෙන් දැඩි අව්රශ්මියෙන් කූඩාරම් තුළ වෙසෙන ජනතාවට ගෙන දෙන්නේ දැඩි හිසරදයකි. ප්‍රදේශයේ අවදානම් තත්ත්වය නිසා ඔවුන්ට නිසි ස්ථාන ලබාදීම තවමත් ප්‍රමාද වෙමින් පවතී.
හත්ගම්පළ විද්‍යාලයේ කඳවුරක් තුළ ජීවත්වන නදීකා කුමාරි මහත්මිය පැවසුවේ කඩිනමින් ස්ථීර නිවාසයක් ඉදිකර දෙන ලෙසයි. මේ කූඩාරමේ කුඩා දරුවන්ට ඉන්න බෑ. දවල්ට රස්නෙයි. වැස්සට වතුර පිරෙනවා. ඉගෙන ගන්නත් බෑ. දවල් කාලයේ කූඩාරමෙන් එළියට ආවත් මේ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ ඉන්න නිසා. කිසි ගහක් කොළක් නෑ. ඒක නිසා ඉක්මණින් අපිට විසඳුමක් ලබාදෙන ලෙසයි.
ප්‍රදේශයේ සෑම ජනතාවගේම ඉල්ලීම මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි. එහෙත් එම විසඳුම් සඳහා තවමත් නිශ්චිත විසඳුමක් නැත.
කඩිනමින් බලධාරීන්ගෙන් අවධානය යොමු කරන ලෙස ඔවුහු බලා සිටිති.
සාමසර කන්ද නාය යෑමේ සිද්ධිය දැක බලා ගැනීමට බොහෝ පිරිසක් පැමිණෙති. එහෙත් එම ප්‍රදේශයේ සැරිසැරීම තවමත් අවදානම් තත්ත්වයකි. ඇතැම් ස්ථාන තවමත් ගිලා බැසීමේ අවදානමක් පවතී. මේ නිසා එහි සැරිසැරීම තවමත් අවදානම් තත්ත්වයක පවතින බව බලධාරීහු පවසති.
කිසිදු පුද්ගලයෙක් තවමත් කන්ද පාමුල ජීවත් නොවෙති.
ඒ අධි අවදානම් කලාපයක් ලෙස භූ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමෙන් අනතුරුවය.
කෙසේ වෙතත් නිවාස අහිමිවූවන් විනාශ වූ නිවාස දෙස බලමින් තවමත් සෝ සුසුම් හෙළති.
කෙසේ වෙතත් නම හෙළිකීමට අකමැති රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු පැවසුවේ අවතැන් වූ ජනතාවට ඉඩම් ලබා දීමේ කටයුතු කිරීමේ දී ගැටලු රැසක් පවතින බවයි.
එම ගැටලුවලට නිසි විසඳුම් ලැබුණු වහාම ඔවුන් කඳවුරුවලින් ඉවත්ව නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කරන බවයි.
එහෙත් ඒ සඳහා නිශ්චිත කාල වකවානුවක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බවද ඔවුහු පැවසුහ.
එතෙක් කඳවුරුවල වෙසෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් උපරිම අයුරින් ඉටු කිරීමට කටයුතු කරන බවද ඔවුහු සඳන් කළහ.
නිවාස අහිමි වූ පවුල් 58ක් වෙනුවෙන් වසන්තගම ප්‍රදේශයේ නිවාස 58ක් දැනටමත් ඉදිවෙමින් පවතී. එක් නිවසක් අඩි 31 කින් දිගින් හා අඩි 25 පළලින් සමන්විතයි.
ඊට කාමර 2 ක්, කුස්සියක්, සාලයක් හා වැසිකිළියක් අයත්ය. ඒත් අවතැන් වූ ඇතැම් පවුල් සඳහා එහි ඇති ඉඩ පහසුකම් ප්‍රමාණවත් ද යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි.
මේ පිළිබඳව කඩිනමින් රජය මැදිහත්වී එම නිවාස නිසි ප්‍රමිතියෙන් ඉදිකිරීම පිළිබඳව සොයා බැලිය යුතුය.
කෙසේ වෙතත් මෙසේ අවතැන් වූ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම හා නිවාස ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා රජයේ මැදිහත්වීම කඩිනමින් සිදුකළ යුතු බව සාමසර කන්ද නාය යෑමෙන් විපතට පත් වූ දහස් සංඛ්‍යාත ජනතාවගේ ඉල්ලීමකි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තවමත් ඇවිළෙන සාමසර කන්දේ දුක් කන්ද
සමන් Saturday, 27 August 2016 06:10 AM
මේ මිනිසුන්ට ඉන්න තැනක් ඉක්මනින් හදලා දෙනවා නම් හොඳයි නේද? මගේ අදහස නම් වටේ හදන ගෙවල් සියල්ලම නවත්තලා මේ වැඩේ කරනවා නම් හොඳයි කියලා (නි)
සයුරි Wednesday, 30 November 2016 09:32 AM
අනාථ වුණු පවුල් වල තනිකඩ ගැහණු කෙනෙක් හෝ දරුවෙක් සහ මවක් ඉන්නවා නම් මගේ මව සමග ජිවත් වෙන්නට සලස්වා දෙන්නට පුළුවනි . (බ)