IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ථෙරවාදී ත්‍රිපිටක සංරක්ෂණ පනතක් අවශ්‍ය ඇයි?

ථෙරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු දැනට නීති කෙටුම්පත් අංශයේ කෙටුම්පත් වෙමින් පවතී. යෝජිත මෙම පනත සම්බන්ධයෙන් සමාජය තුළ පක්ෂව හා විපක්ෂව විවිධ ආකාරයේ කතාබහ සිදු වෙමින් පවතින බව පෙනේ. මේ ඒ පිළිබඳ විමසුමකි.

මෑත කාලයේ ත්‍රිපිටක සංරක්ෂණ පනතක අවශ්‍යතාව පිළිබඳ සමාජ සංවාදය ඇති වන භූමිකාව පිළිබඳ මුලදීම විමසීම වැදගත් වේ. වසර කිහිපයක පටන් ත්‍රිපිටක ධර්මය හා බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් ශාසන විලෝපකාරී කටයුතු සිදු කරන සංවිධාන හා පුද්ගලයන් පිළිබඳ ගිහිපැවිදි සමාජයේ දැඩි කතාබහකට ලක් විය.

එසේම බුදුදහමට නිගරු වන පරිදි විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරෙන ආකාරයක් ද දක්නට ලැබිණි. මෙවන් පසුබිමක් තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් ත්‍රිපිටකය ආරක්ෂා කරගැනීමේ පියවරක් වශයෙන් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කොට ප්‍රකාශ කරන ලදී. එසේම නායක මාහිමිපාණන් ඇතුළු ධර්මවිනයධර මහාසංඝරත්නයෙන් සමන්විත ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් ද පත් කෙරිණි. මෙම මණ්ඩලය විසින් සිය අවධානය යොමු කරන ලද ප්‍රධානතම කරුණු අතර, අනාගත පරපුර වෙනුවෙන් ත්‍රිපිටකය, අට්ඨකථා හා ටීකා ආරක්ෂා කොට තැබීම සඳහා නෛතික රැකවරණය සැලසීමට කටයුතු සංවිධානය කිරීමේ යෝජනාව විය. ඒ වනවිට ගැසට් පත්‍රයක් මගින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කොට තිබුණ ද ඉන් සැලසෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පෙනී ගිය බැවින් විධිමත් සුරක්ෂිතතාවක් සැලසීම සඳහා ත්‍රිපිටක සංරක්ෂණ පනතක් සකස් කළ යුතු බවට යෝජනා විය. ත්‍රිපිටක සංරක්ෂණ පනත සකස් කිරීම ආරම්භ වන්නේ මෙවන් පසුබිමකදීය.

යථෝක්ත පනත පිළිබඳ විමතිය උපදවන ඇතැමුන් විසින් මෙය ධර්මදේශකයන් වහන්සේලා සිරගත කරමින් පීඩාවට පත් කළ හැකි පනතක් වශයෙන් ද බුදුදහමේ පවතින චින්තන නිදහසට බාධා ඇති කරන්නක් වශයෙන් ද පවසනු පෙනේ. එසේම මෙම පනත මගින් පත් කෙරෙන කිසියම් මණ්ඩලයකට සිය අභිමතය පරිදි ධර්මවිනය පිළිබඳ තීරණය කිරීමට හැකි වන ආකාරයට ත්‍රිපිටකය පවරාදීමක් වැනි දෙයක් සිදු කෙරෙන බවට ද එම මණ්ඩලය විසින් ධර්මවිනය පිළිබඳ කවර දෙයක් පැවසුව ද ඒවා සියල්ලන් විසින් ම පිළිගත යුතු වන බවට ද දුර්මත පතුරුවනු දක්නට ලැබේ. මෙවැනි ප්‍රකාශනවල ව්‍යාජ බව තේරුම් ගැනීම සඳහා යථෝක්ත පනතේ අන්තර්ගතය විමසීම වැදගත් වේ.

මෙම පනතෙහි හැඳින්වීම පිළිබඳ කොටසෙහි ‘‘ත්‍රිපිටකය, පාලි අට්ඨකථා හා පාලි ටීකා වෙනස් කිරීම, විකෘති කිරීම, විරූප කිරීම, විනාශ කිරීම, නිග්‍රහ කිරීම, අවමන් කිරීම, අයථා භාවිතය, සාවද්‍ය ලෙස අර්ථ නිරූපණය කිරීම වැළැක්වීම සඳහා ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවන බව”‍ පැහැදිලිව දක්නට හැකි ය. ත්‍රිපිටක මූලාශ්‍ර වෙනස් කිරීමට නොදී ආරක්ෂා කොට තැබීම බුදුසසුනේ ආරක්ෂාව සඳහා ගත හැකි උසස් ම පියවරක් වන අතර, අතීතයෙහි සිට ධර්ම සංගායනාවලින් පවා සිදුකරන ලද්දේ නිර්මල බුද්ධභාෂිතය ඒ ආකාරයෙන් ම ආරක්ෂා කොට තැබීමයි. ධර්මධර විනයධර මහයතිවරු සහ සැදැහැවත් බොදුනුවන් යුද කෝලාහල, දුර්භික්ෂ ආදී සියලු‍ බාධක මැද ත්‍රිපිටකය රැක ගැනීම සඳහා අපරිමාණ කැපකිරීම් සිදු කළ බව ඉතිහාසය පිරික්සීමෙන් දත හැකිය. එබැවින් ත්‍රිපිටකය, පාලි අට්ඨකථා හා පාලි ටීකා ආරක්ෂා කර ගැනීම සඳහා නෛතික රැකවරණයක් සැපයීම සඳහා මෙම පනත සකස් කොට සම්මත කිරීම වර්තමානයේ බුදුසසුන වෙනුවෙන් සිදු කරනු ලබන විශිෂ්ටතම කාර්යභාරයක් වශයෙන් දැක්විය යුතුය. ලෝකයේ කවර රාජ්‍යයක් වුවද තමන් සතු වටිනාම සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ අනපනත් සම්මත කරගනු ලබන්නේ ඒවා ආරක්ෂා කොට අනාගතයට උරුම කරදීම සඳහාය. එසේ ඇති කළ මේ දක්වා අපගේ උතුම් ම සම්පතක් වන ත්‍රිපිටකය ආරක්ෂා කිරීම සඳහා අනපනත් සම්මත කර නොතිබීමේ අඩුව දැන්වත් පිරිමසා ගැනීමට කාලය එළඹ ඇත.

මෙම පනත පිළිබඳ ප්‍රකාශන සිදු කරන ඇතැමුන් විසින් ධර්ම දේශකයන් වහන්සේලා දහම් දෙසන විට අක්ෂරයක් වැරදුණත් ඒ සඳහා දඬුවම් ලෙස සිරගත කිරීමට ලක් කෙරෙන බවට ව්‍යාජ කරුණු පවසමින් ජනතාව මුළා කළද මෙම පනතෙහි ත්‍රිපිටකය විකෘති කිරීමට නොදී ආරක්ෂා කිරීම යනුවෙන් අදහස් වන්නේ එවැනි බොළඳ ක්‍රියාවලියක් නොවන බව පැවසිය යුතුය. සැබවින්ම මෙහිදී සිදු වන්නේ යම් කිසිවකු ත්‍රිපිටකය විකෘති කළ බවට හෝ ත්‍රිපිටකයට නිග්‍රහ කළ බවට පැමිණිල්ලක් ලැබුණු පසු මණ්ඩලය විසින් එම කරුණු පිළිබඳ අපක්ෂපාතී විමර්ශනයක් සිදු කරනු ලැබීමය.
 
එහිදී අදාළ චූදිත පාර්ශ්වය සමග සාකච්ඡා කිරීම, එම පාර්ශ්වයට කරුණු දැක්වීමට අවස්ථාව ලබාදීම, නොදැනුවත්කමින් හෝ චේතනාත්මකව සිදු කරන ලද දැයි විමර්ශනය කිරීම, ධර්ම විකෘති කළ බවට නැගෙන චෝදනාවන්ට අදාළ කරුණු ත්‍රිපිටකය ප්‍රමුඛ කොට අට්ඨකථා හා ටීකාවන්ට අනුගත දැයි විමර්ශනය කිරීම හා අදාළ තොරතුරු චූදිත පාර්ශ්වයට දැනුම් දීම, වරදක් වී ඇත්නම් ඒවා නිවැරැදි කරගැනීමට අවස්ථාව ලබාදීම ආදී කාර්යාවලියක් එම මණ්ඩලය මගින් සිදු කෙරේ. යම් තැනැත්තකු චේතනාත්මකව වරදක් කොට ඇත්තේ නමුත් ඔහු විසින් වරද පිළිගෙන මතු සංවරය සඳහා එළඹෙන්නේ නම් එවැන්නන් කෙරෙහි පවා සමාව දීමට මණ්ඩලයට හැකිය. කෙසේ වුව ද යම් කිසිවකු චේතනාත්මකව ත්‍රිපිටකය විකෘති කරමින් හෝ ඊට අපහාස කරමින් කටයුතු කරන්නේ නම් ඔහු වරද නිවැරැදි කරගැනීම සඳහා ද නොඑළඹෙන්නේ නම් එවැන්නන් කෙරෙහි පනතෙහි බලප්‍රකාරව කටයුතු සිදු කෙරෙයි. මෙහි දී මණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා එකී විමර්ශනය පිළිබඳ වාර්තාවක් මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දීමෙන් අනතුරුව නඩු පැවරීම සිදු කරන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නීතිපති මගිනි.

බුදුසසුන වංචනික හා ශාසන විලෝපකාරීන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇත්තේ මේ දක්වා අදාළ නීති ප්‍රතිපාදන සම්පාදනය වී නොමැති බැවින් බව බොහෝදෙනා නොදනිති. ශාසනික අර්බුද ඇති කරන පුද්ගලයන් පිළිබඳ නිසි ක්‍රියා මාර්ග නොගැනීම පිළිබඳ ඇතැම් විට මහානාහිමිවරුන් වෙත චෝදනා එල්ල කළ ද පවතින සැබෑ ගැටලු‍ව වන්නේ ඒ සඳහා අදාළ අණපනත් මෙතෙක් නිසි පරිදි සම්මත කොට ගෙන නොතිබීමය. බුදුසසුන ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ ක්‍රියා මාර්ග සලසන ලෙස පැවති සෑම රජයකට ම මහනාහිමිපාණන් වහන්සේලා පවා ප්‍රකාශ කරන ලද අවස්ථා බොහෝ තිබුණ ද මේ දක්වා ද එවැනි නෛතික රක්ෂාවරණයක් සැලසුණු අවස්ථා නොමැති තරම්ය.

එබැවින් ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරිපත් වන මෙම පනත සම්මත කර ගැනීම ගිහිපැවිදි සමස්තයටම මහත් අස්වැසිල්ලක් වනු නිරනුමානය.

කෙසේ වුවද බුදුසසුන වැනසීමට සංවිධානාත්මකව ක්‍රියා කරන අයට සහ ඔවුන්ගේ අදිසි හස්තයන්ට නම් මෙම පනත මහත් හිසරදයක් වී ඇති බව සමාජ මාධ්‍ය තුළින් පෙනේ. එබැවින් ධර්ම දේශනයක දී පදයක් වැරදුණ ද උන්වහන්සේලාට මෙම පනත නිසා සිරගත වීමට සිදු වන බව පවසා බොරු බිල්ලන් මවා පෑම ජනතාව මුළා කිරීම සඳහා සිදු කරන වෑයමක් බව කිව යුතු ය. කිසියම් පනතක් සකස් කිරීමේ දී එයින් ස්ථාපිත වන ආයතනයෙහි සියලු‍ කාර්යභාරය පනතට ඇතුළත් නොකරන අතර, ඒවා පනත් සම්මත වීමෙන් පසු රීති මගින් සම්පාදනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බව අණපනත් ගැන අවබෝධයක් ඇති අය දනිති.

 මෙම ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්මත වීමට තබා කෙටුම්පත් කොට නිමා වීමටත් පෙර එහි කාර්යභාරය පිළිබඳ කිසිදු දැනුමක් නැති අය විසින් ජනතාව නොමග යැවීම සඳහා ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම තුළින් පැහැදිලි වන්නේ ස්වකීය යටි අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවක් මිස අනෙකක් නොවේ.

යථෝක්ත පනත මගින් බුදුදහමෙහි ලබා දී ඇති චින්තන නිදහසට බාධා වන බවට ද ඇතැමුන් ව්‍යාජ තොරතුරු පවසන බව පෙනේ. මානව ඉතිහාසය තුළ බුදුදහම තරම් සිතීමේ නිදහස හා වීමංසන බුද්ධිය සඳහා අවස්ථාව ලබා දෙන වෙනත් කිසිදු ආගමක් පහළවී නොමැත. කාලාම සූත්‍රය වැනි දේශනා තුළින් ප්‍රකට වන්නේ නිදහස් චින්තනය පිළිබඳ බුද්ධ මතයයි. සාමාන්‍ය ලෝකය තුළ ස්වාභිමතය අනුව ආගම් ඇදහීම සම්බන්ධයෙන් සහනශීලී පිළිවෙතක් අනුගමනය කළ උන්වහන්සේ නුවනින් විමසා බලා කටයුතු කිරීම නිරන්තරයෙන් අගය කළහ. බුදුසමය තුළ ඇති මෙම නිදහස් චින්තනයට ගරු කිරීමේ උදාර ලක්ෂණය ඇතැමුන් අපයෝජනයට ලක් කරන බව දක්නට හැකිය.

සිතීමේ නිදහස පිළිබඳ සඳහන් සූත්‍රපාඨ උදුරා දක්වමින් බුදුරදුන් වදාළ ධර්මය පවා නොපිළිගත යුතු බව බුදුරදුන් විසින්ම වදාරා ඇතැයි ද ඇතමෙකු විසින් පවසනු දක්නට ලැබේ. කෙසේ වුවද බුදුදහම නොපිළිගන්නා ලෙස ප්‍රකාශ කිරීමක් කාලාම සූත්‍රයෙහි හෝ වෙනත් තැනක ද සඳහන් නොවන අතර කාලාම සූත්‍රයෙහි විමසීම යන්නෙන් අදහස් වී ඇත්තේ කුසල අකුසල යන නිර්ණායක මත සිදු කෙරෙන වීමංසනයක් විනා කුමන ආකාරයේ හෝ විමසීමක් නොවේ.

තවද බුදුසමයෙහි චින්තන නිදහස අගය කොට ඇත්තේ බුදුදහමෙහි ඇති අක්ෂර, පද පවා විකෘති කිරීම සඳහා නොවන බව කිව යුතුය. එවැනි අඳබාල නිදහසක් බුදුසසුන තුළ නොමැති බව ඉඳුරාම කිව යුතුය. එබැවින් මෙම පනත මගින් සිදු කෙරෙන්නේ චින්තන නිදහස අහුරාලීම නොව එවැනි චින්තන නිදහසක් ලබා දී ඇති උතුම් ධර්මය අනාගත පරපුරටත් උරුම වන පරිදි ආරක්ෂා කොට තැබීමය.

තවත් අයෙක් බුදුදහම තම තමන්ට වැටහෙන ආකාරයෙන් ගෙන විවරණය කිරීමට අවස්ථාව තිබිය යුතු බව ද පවසති. ”‍පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි, තම තම නැණ පමණින් දැනගත යුතු”‍ වැනි වදන් දක්වමින් මේ අදහස සනාථ කිරීමට උත්සුක වන බව පෙනේ. මෙහි දී ඒ සඳහා පැවසිය යුත්තේ බුදුරජාණන් වහන්සේ විසින් තම තමන්ට වැටහෙන කවර හෝ ආකාරයකින් බුදුදහම අර්ථකථනය කිරීමට ඉඩක් ලබා දී ඇතැයි සැලකීම ද මුළුමනින් ම සාවද්‍යබවයි. මජ්ඣිම නිකායේ මහාතණ්හාසංඛය සූත්‍රයේ දී සාති භික්ෂුව විසින් ධර්මය වරදවා ගත් අවස්ථාවේ දී බුදුරදුන් සාති භික්ෂුවට මොඝපුරිස (හිස් පුරුෂය) වාදයෙන් නිග්‍රහ කොට සාති භික්ෂුව ධර්මය වරදවා ගැනීමෙන් බොහෝ අකුසල් සිදු කරගන්නා බවත් බුදුසසුනට දොස් පවරණ බවත් වදාළහ. එබැවින් තම තමන්ට වැටහෙන සියලු‍ දේ ම බුදුවදන් වශයෙන් ප්‍රකාශ කිරීම හිස් පුරුෂයන්ගේ කාර්යයක් මිස බුදුරදුන් අනුදැන වදාළ දෙයක් නොවන බව දත යුතුය. එබඳු අඥානවාද බුදුදහම වශයෙන් දැක්වීමට ඉඩ සැලසීමක් බුදුරජාණන් වහන්සේ විසින් ලබා දී නොමැති අතර, එය බෞද්ධ විනයානුකූලව ද වරදක් බව දැක්වා ඇත.  

ඇතැමුන් ත්‍රිපිටකයේ දැක්වෙන තත්ථ අපරිමාණා පදා අපරිමාණා අක්ඛරා අපරිමාණා බ්‍යඤ්ජනා අපරිමාණා ආකාරා නෙරුත්තා නිද්දේසා වැනි සූත්‍රපාඨයන් දක්වමින් ධර්මය විග්‍රහ කිරීමට ඕනෑ තරම් අක්ෂර, පද හා නිරුක්ති භාවිත කිරීමට බුදුදහම තුළ ඉඩ දී ඇති බවත් ත්‍රිපිටක පනත මගින් එම අවස්ථාව ඇහිරී යන බවත් පවසනු පෙනේ. මෙවැනි උදෘත දක්වමින් උත්සාහ කරන්නේ මේ කාලයේ ඇතමුන් විසින් ත්‍රිපිටකයට සපයන විකාරරූපී අර්ථකථන සාධාරණීකරණය කිරීමටත් එවැනි දෑ දිගින් දිගටම සිදු කරගෙන යාමටත් අවස්ථාව සලසා ගැනීමටය.

මෙකල ඇතැම් ධර්ම විකෘතිකයන් විසින් බුදුදහම විග්‍රහ කිරීමට අප්‍රමාණ අක්ෂර, පද ඇති බව පවසමින් සූවිසි ගුණ ප්‍රකාශ වන තැන්වල  ඇති ”‍ලෝකවිදූ”‍ යන පදයට”‍තුන් ලෝකයට ම විද්ද නිසා ලෝකවිදූ”‍ නම් වන්නේ යැයි ද ”‍සාමීචිපටිපන්න”‍ යන පදයට ”‍සතුටු සාමීචියට හරි ශෝක් නිසා සාමීචිපටිපන්න”‍ නම් වන්නේ යැයි ද ආදී වශයෙන් මුග්ධ, හිස් ප්‍රකාශ සිදුකිරීම තුළින් බුදුරජාණන් වහන්සේට හා සඟගුණයන්ට සිදු කරන අපහාසය කෙ‍තරම් ද? මේ ආකාරයෙන් සෑම බුදුවදනකටම විකාරරූපී අර්ථකථන සැපයීම තුළින් අනාගතයෙහි නිර්මල බුදුදහම වෙනුවට හිස් මිනිසුන්ගේ ප්‍රලාප ඉස්මතු වීම මගින් ශාසනය විනාශ වන බව කවරෙකුට නම් තේරුම් ගත නොහැකි ද?

ඉහත දක්වා ඇති තත්ථ අපරිමාණා පදා... ආදී බුදුවදන් මගින් ප්‍රකාශිත ව ඇත්තේ චතුරාර්ය සත්‍යයෙහි ඇතුළත් දහම් කරුණු ප්‍රකාශ කිරීම සඳහා බොහෝ වචන භාවිත කළ හැකි බව මිස විකෘති අර්ථකථන සැපයීමට හැකි බව නොවේ. නිදසුනක් වශයෙන් දුක පිළිබඳ විවිධ වචනවලින් පැවසිය හැකිය. එසේ වුවත් දුක යන පදයට බුදුරදුන් වදාළ අර්ථය වෙනස් කොට වෙනත් විකාරරූපී අර්ථයක් දීමට යථෝක්ත සූත්‍රපාඨයෙන් අවස්ථාව ලබා දී නැත. පහත දැක්වෙන්නේ ත්‍රිපිටක ධර්මයේ පද වරදවා ගැනීම හේතුවෙන් සද්ධර්මය අන්තර්ධාන වන්නේ යැයි බුදුරදුන් වදාළ සූත්‍රයක කොටසකි.

ඉධ භික්‍ඛවෙ භික්‍්ඛු දුග‍්ගහීතං සුත‍්තන්‍තං පරියාපුණන්‍ති දුන්‍නික්‍්ඛිත‍්තස පදබ්‍යඤ‍්ජනෙහි. දුන්‍නික්‍්ඛිත‍්තස‍්ස භික්‍්ඛවෙ පදබ්‍යඤ‍්ජනස‍්ස අත්ථෝපි දුන්‍නයො හොති. අයං භික්‍්ඛවෙ පඨමො ධම්මෝ සද‍්ධම‍්මස‍්ස සම්මොසාය අන්‍තරධානාය සංවත‍්තති.

මහණෙනි, මෙ සස්නෙහි මහණහු වරදවා ගත් සූත්‍රාන්ත වරදවා ලූ පදව්‍යඤ්ජනයෙන් ප්‍රගුණ කරත්. මහණෙනි, වරදවා ලූ පදව්‍යඤ්ජනයාගේ අර්ථය ද දුර්නය වෙයි. මහණෙනි, මේ පළමුවන දහම ශාසනයේවිනාශය පිණිස අන්තර්ධානය පිණිස වැටෙයි.

මෙයින් ප්‍රකාශ වී ඇත්තේ බුදුන් වදාළ ධර්මයෙහි අක්ෂර, පද ආදිය වරදවා ගැනීම සද්ධර්මය අන්තර්ධාන වීමට හේතු වන බවයි. එබැවින් බුදුදහම ලෝකයෙහි බොහෝ කාලයක් පවත්වා ගෙනයාම සඳහා එහි අක්ෂරයක් පවා වෙනස් නොකොට ආරක්ෂා කිරීම ඉතා වැදගත් කරුණක් බව තේරුම් ගත හැකිය. එය ඉහත බුදුවදනින්ම වඩාත් පැහැදිලි වේ. මෙම පණත මගින් ත්‍රිපිටකයෙහි ඇති අක්ෂරයකට පවා ආරක්ෂාව සපයනුයේ කවර හේතුවක් නිසා දැයි දැන් ඔබට ‍වටහා ගත හැකිය.

මේ පිළිබඳ තවදුරටත් කිව යුතු වන්නේ මෙම පනත මගින් භාෂණයේ නිදහස උල්ලංඝණය වීමක් කිසි අයුරෙකින් සිදු නොවන බවයි. කතා කිරීමේ නිදහස ඇත්තේ අනෙකෙකුට රිදවීමට හෝ පීඩාවට පත් කිරීමට නොවේ. භාෂණයේ නිදහසේ නාමයෙන් බෞද්ධයන්ගේ සිත් පෑරීම, සමාජය තුළ අර්බුද ඇති කිරීම, ආගම්වලට නිග්‍රහ කරමින් හෝ විකෘති කරමින් ජනතාව අතර සංහිඳියාව විනාශ කිරීමට අවස්ථාව සැලසීම සමස්ත සමාජයට ම අන්තරායකර වූවකි.

මෙම පනත මගින් සිදු කෙරෙන්නේ ත්‍රිපිටකය, අට්ඨකථා හා ටීකා යන බෞද්ධ මූලාශ්‍රය විකෘති කිරීම් වැළක්වීම ය. ඉපැරැණි කවර හෝ මූලාශ්‍රයක් විකෘති නොකොට ආරක්ෂා කිරීම සමස්ත සමාජයේ ම වගකීමකි.

මෙම පනත මගින් පත් කෙරන මණ්ඩලය බුදුදහම පිළිබඳ ප්‍රකාශ කරන ධර්ම විරෝධී දෙයක් වුව ද බෞද්ධයන්ට පිළිගන්නට සිදු වන්නේ යැයි තවත් මතයක් සමාජගත කරමින් පවතින බව පෙනේ. මෙය මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක් බව මුලදීම කිව යුතුය. එවැනි මුග්ධ ක්‍රියාවලියකට කිසිදු අවසරයක් මෙම පනතෙහි අන්තර්ගත නොවේ.”‍මණ්ඩලය විසින් ධර්මය පිළිබඳ සපයන නිර්දේශ අවසානාත්මක නිර්දේශ වශයෙන් පිළිගත යුතු”‍ බවට පනතෙහි දැක්වෙන වගන්තිය ගෙනහැර දක්වමින් මෙවැනි දුර්මත පතුරුවා හරින බව පෙනේ. සම්පූර්ණ පනත පිළිබඳ විග්‍රහ නොකොට පනතෙහි කිසියම් කොටසක් පමණක් දක්වමින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරනු දක්නට හැකිය.

පනත තුළ මණ්ඩලයේ නිර්දේශ පිළිබඳ සඳහන් වන අවස්ථාවේ දී ත්‍රිපිටකය, අට්ඨකථා හා ටීකාවලට අදාළ කිසියම් කරුණක් සම්බන්ධයෙන් මතභේදයක් ඇති අවස්ථාවක ථෙරවාද අර්ථකථන සම්ප්‍රදාය හා පාලි ව්‍යාකරණ සම්ප්‍රදාය සැලකිල්ලට ගෙන මණ්ඩලය විසින් ඉදිරිපත් කරන නිර්දේශ අවසානාත්මක යැ”‍යි අදහස් වන වගන්තිය ද ”‍පනත යටතේ සිදු වන යම් නඩු කටයුත්තක දී මණ්ඩලයේ නිර්දේශය නිවැරදිබවට පූර්ව නිගමනය කළ යතු බව හා මතභේදයට විෂය වන කාරණාව පිළිබඳව තීරණාත්මක සාක්ෂි වශයෙන් පිළිගත යුතු වන බව”‍ සඳහන් වගන්තිය ද දැක්විය හැකි ය. මෙයින් ප්‍රකාශ වන්නේ ඉහත දී දක්වන ලද පරිදි යම්කිසි තැනැත්තෙක් චේතනාත්මකව ම ධර්මය විකෘති කරමින් පවතී නම්, ඔහු තම වරද නිවැරැදි කර ගැනීමට ද සූදානම් නැත්නම්, එවැනි පුද්ගලයන්ට එරෙහිව නඩුපැවරීමක් සිදු කළ අවස්ථාවක දී එකී ධර්ම විකෘතීන් පිළිබඳව හා අදාළ කරුණු ත්‍රිපිටකයෙහි නිවැරදිව සඳහන් වී ඇති ආකාරය පිළිබඳ මණ්ඩලය විසින් වාර්තාවක් සපයනු ලබයි.

‘‘මෙම මණ්ඩලයෙහි නිර්දේශය අවසානාත්මක බවත් නඩු කටයුත්තක දී එය නිවැරදි බවට පූර්ව නිගමණය කළ යුතු බව හා තීරණාත්මක සාක්ෂි වශයෙන් ගත යුතු”‍ බව පනතෙහි වගන්තිවලට ඇතුළත් කොට තිබෙන්නේ යථෝක්ත වාර්තාවට අදාළ නෛතික බලය ලබාදීම සඳහාය. මෙවැනි වගන්තියක් අවශ්‍ය වන්නේ නඩුව විසඳන විනිසුරුවරුන් ත්‍රිපිටකය හා පාලි භාෂාව පිළිබඳ ප්‍රවීණයන් නොවිය හැකි බැවින් අදාළ තීන්දුවලට එළඹීම සඳහා ත්‍රිපිටකය හා පාලි භාෂාව පිළිබඳ ප්‍රවීණතාවක් ඇති නෛතික බලයක් සහිත විශේෂඥ කමිටුවක නිර්දේශයක් තිබීම වැදගත් වන බැවින්ය. එසේම මෙය ශාසනික කටයුත්තක් බැවින් වගකිව යුතු භික්ෂූන් වහන්සේලාගේ නිර්දේශය ලබාගැනීම ඉතා වැදගත් වන බැවින්ය. ඒ හැර මෙයින් දැක්වෙන්නේ මණ්ඩලය විසින් ප්‍රකාශ කරන අධාර්මික දෙයක් වුවත් සියල්ලන්ම පිළිගත යුතු බව හෝ මණ්ඩලයේ නිර්දේශයන්ට පිටින් කිසිවෙකුට ධර්මය හැදෑරිය නොහැකි බවක් හෝ නොවේ. මෙසේ තිබිය දී අයෙක් පනතෙහි මෙවැනි වගන්ති යෙදී ඇති අරමුණු හා ඒවා භාවිත වන අවස්ථා පිළිබඳ කිසිදු වගවිභාගයකින් තොරව වගන්තිවල ඇති වචන කිහිපයක් දක්වා පනත පිළිබඳ විපරීත අදහස් දක්වමින් ජනතාව මුළා කරනු දක්නට හැකිය. කෙසේ වුව ද ඔවුන් එසේ කිරීමේ යටි අරමුණු කුමක් දැයි තේරුම් ගැනීම කාහට වුවත් අපහසු දෙයක් නොවේ.

ත්‍රිපිටකය ආරක්ෂා කිරීම සඳහා නීති පැනවීමක් අවශ්‍ය නොවන බව පවසමින් මේ පිළිබඳ ඇති ජනතා උද්‍්යෝගය නැති කිරීම සඳහාද ඇතමුන් ප්‍රකාශ සිදු කරන බව පෙනේ. ඔවුනට අතීතයේ පටන් බුදුදහම ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය මැදිහත් වීම සිදුවී ඇති බව අමතක වී ඇතියි අපට නොසිතේ. ප්‍රථම ධර්ම සංගායනාවෙහි දී අජාසත්ත රජු ප්‍රකාශ කළේ ඔබ වහන්සේලාගේ ධර්ම චක්‍රය වේවා! මාගේ ආඥා චක්‍රය වේවා! යනුවෙනි. ඒ අනුව ධර්මය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂාව කෙතරම් වැදගත් දැයි තේරුම් ගත හැකි ය.

තෙවන ධර්ම සංගායනා කාලයෙහි ශාසනයට පිවිස සිටි චීවරධාරීන් සැටදහසක් නෙරපා හැර බුදුසසුන තුළ අර්බුද හට නොගන්නා බවට පත් කරන ලද්දේ ධර්මාශෝක මහරජුගේ මැදිහත් වීමෙනි. ලක්දිව වෝහාරිකතිස්ස රජු එකල බුදුසසුන වනසන වෛතුල්‍යවාදය ගත් පාපී භික්ෂුන් වෙරලකුණු ඔබ්බවා (හන ගසා) සසුනෙන් නෙරපූ බව කියැවේ.

රාජ්‍ය ආරක්ෂාව සලසා බුදුසසුන රැකගත් අවස්ථා ඉතිහාසය තුළ කොතෙකුත් දක්නට හැකිය. වර්තමානයෙහි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පවතින බැවින් බුදුදහමට රාජ්‍ය ආරක්ෂාව ලබාදීමට ඇති හොඳම විධිය වන්නේ ඊට අදාළ අණපනත් සම්මත කොට ක්‍රියාවට නැංවීමයි. රාජ්‍ය අනුග්‍රහය නැති වී ගිය කාලයන්හි දී බුදුසසුන පරිහානියට පත් වී ඇති ආකාරය හා අනුග්‍රහය පැවති යුගයන්හි සසුන දියුණු වූ ආකාරය ඉතිහාසය තුළ මැනවින් පැහැදිලිය. බුදුසසුන විනාශ කිරීමේ ව්‍යාපාරවල යෙදෙන්නන් හා එම විනාශය දකිනු රිසිව නෙත් දල්වා සිටින්නන් විසින් බුදුදහමට රාජ්‍ය ආරක්ෂාව නොලැබීයාම පිළිබඳ දක්වන්නේ අසීමිත කැමැත්තකි. එබැවින් මෙවනි පනත් ඔස්සේ රාජ්‍ය ආරක්ෂාව මගින් බුදුසසුනේ ආරක්ෂාව තහවුරු වනු දැක්ම එවැන්නන්ට නම් ඇස්වල කටු ඇනීමක් බඳු බව දක්නට හැකිය.

මෙම පනත මගින් පත්වන ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිළිබඳව ද ඇතමුන් විවිධ මත ගොඩ නගමින් පවතින බව දක්නට ලැබේ. එබැවින් ඒ පිළිබඳව ද කෙටියෙන් හෝ හැඳින්වීමක් කළ යුතුය. යෝජිත පනතට අනුව ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගෙන් යුක්ත උසස් උපදේශන කමිටුවක් වන අතර, තුන්නිකාය ම නියෝජනය කෙරෙන ධර්මවිනයධර භික්ෂූන් වහන්සේලාගෙන් හා විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ විෂය පිළිබඳ ප්‍රවීණතාවෙන් යුතු ආචාර්ය භික්ෂූන් වහන්සේලාගෙන් යුක්ත ථෙරවාද ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් පත් කෙරේ.

මෙම මණ්ඩලය විසින් බලතල ක්‍රියාත්මක කිරීමේ දී හා කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමේ දී ථෙරවාද සම්ප්‍රදායට අනුව කටයුතු කිරීමට බැඳී සිටී. එබැවින් ත්‍රිපිටකය විකෘති කිරීමක් පිළිබඳ කිසියම් පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ දී ථෙරවාද සම්ප්‍රදායට අනුව එය විනිශ්චය කිරීමට මණ්ඩලයට සිදු වේ. මෙම මණ්ඩලය ධර්මවිනයානුකූල පදනමෙහි පිහිටා කටයුතු කිරීමට බැඳී සිටින බැවින් ද මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ උපදේශකත්වය ඇති බැවින් ද වගකිව යුතු නාහිමිපාණන් වහන්සේලා හා උගත්, බුද්ධිමත් භික්ෂූන්ගෙන් යුක්ත වන බැවින් ද මෙම මණ්ඩලයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ විමතියක් ඇතිකරගතයුතු නොවේ.

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනතට අනුව මෙම මණ්ඩලයට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කෙරෙන අතර, මෙම තනතුර පිළිබඳව ද විමතිය මතු කොට තිබේ. මෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයා තෝරා ගැනීම සිදු වන්නේ ද මණ්ඩලය විසින්වන අතර, ඔහු මණ්ඩලය පවරණ කාර්ය ඉටු කිරීමට බැඳී සිටී. සාමාන්‍ය පරිපාලන ව්‍යුහයක පවතින බලතල ඔහුට පැවරෙන අතර, එවැනි බලතල පිළිබඳ සඳහන් වගන්ති උපුටා දක්වමින්ඇතැමුන් ඔහු “සර්ව බලධාරී” අයෙකු වනබවට ව්‍යාජ ප්‍රචාර දියත් කරන බව පෙනේ. සාමාන්‍යයෙන් මෙවැනි පනතක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ බලතල සඳහන් කෙරෙන ආකාරය ගැන සුළු හෝ අවබෝධයක් ඇති අය නම් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් රැවටිය නොහැකි බව කිව යුතුය.

තවද මෙම පනතෙහි මණ්ඩලයේ බලතල පිළිබඳ සඳහන් වී ඇති වගන්ති පිළිබඳව ද ව්‍යාජ අදහස් සමාජගත කරමින් පවතින බව පෙනෙන්නට තිබේ. ”‍චංචල හෝ නිශ්චල දේපළ මිලදී ගැනීම, දැරීම, බද්දට ගැනීම, විකිණීම”‍ ආදි කරුණු පිළිබඳ දැක්වෙන වගන්තිය ද දේශීය හෝ විදේශීය තැනැත්තන් හෝ ආයතන සමග ගිවිසුම්වලට එළඹීම පිළිබඳව දැක්වෙන වගන්තිය ද උපුටා දක්වමින් මෙම පනත සම්මත කිරීම මගින් ත්‍රිපිටකය පවා විකිණීමට සැරසෙන බවටත් විදේශීය ඒජන්තවරුන්ගේ අවශ්‍යතා මත රට විනාශ කරන ගිවිසුම්වලට එළඹීමට සැරසෙන බවටත් අභූත චෝදනා එල්ල කරනු පෙනේ. මෙහිදී මුලින්ම කිව යුත්තේ එවැනි ප්‍රකාශ කරන්නන් රජයේ සංස්ථාපිත ආයතනයක් පිහිටුවීම පිළිබඳ පනතක් යන්තමින් වත් කියවා බලා නොමැති බවයි. එසේ කියවා ඇති අයෙක් නම් එවැනි අඥාන කතාවක් නොකරනු ඇත. එසේ නොවේ නම් මෙම පනත මගින් සම්බුදුසසුන ආරක්ෂා වන බව බලා සිටිය නොහැකි බැවින් දැනදැන ම අසත්‍ය ප්‍රචාර දියත් කරනවා විය හැකිය. ඇත්ත වශයෙන්ම මෙම වගන්ති මගින් බලය සැපයෙන්නේ මෙකී පනත මගින් ස්ථාපිත වන ආයතනය පවත්වා ගෙනයාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිසය. නිදසුනක් වශයෙන් මෙම මණ්ඩලය පවත්වා ගෙනයාමේදී ගොඩනැගිලි ලබා ගැනීම ආදී කටයුතු සිදු කිරීම දැක්විය හැකිය. දේශීය හෝ විදේශිය ගිවිසුම්වලට එළඹීම පිළිබඳ සඳහන් වන්නේ ද අවශ්‍ය අවස්ථාවලදී පනතේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා ගිවිසුම්වලට එළඹීම සඳහා නෛතික බලය ලබා ගැනීම පිණිසය. නිදසුනක් වශයෙන් යටත් විජිත සමයෙහි ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් ඇති පැරැණි පුස්කොළ පොත්වල පිටපත් වැනි දෑ මෙරටට ගෙන්වා ගැනීම් ආදි අවස්ථාවලදී ඊට අදාළ ව එම රාජ්‍යයන් සමග ගිවිසුම්ගත වීමට සිදුවේ. පනතක් මගින් නෛතික බලයක් ලබාදී නොමැති නම් එවැනි අවස්ථාවල කටයුතු කිරීමේ දී විවිධ අපහසුතා ඇති‍ වේ. එවැනි අවශ්‍යතාවන්හි දී භාවිතයට ගැනීමට මිස රට විකුණන ගිවිසුම්වලට අත්සන් කිරීමට මෙයට හැකියාවක් නොමැත.

සාමාන්‍යයෙන් පනතක ඇති ‍වගන්තියකින් බලය ලැබෙන්නේ එම පනතේ අරමුණුවලට අදාළ කටයුතු කිරීමට මිස සර්වබලධාරීව ක්‍රියා කිරීමට නොවන බව අනපනත් පිළිබඳ දන්නෝ දනිති. එවැනි දෑ පිළිබඳ අවබෝධයක් නොමැති අවිචාරවත් පුද්ගලයෝ පනතක වගන්තියක් දුටු සැණින් ‘‘අහස කඩා වැටෙන්නාක්”‍ මෙන් කෑමොර දෙති. එවැන්නන්ගේ බස් විශ්වාස කරන නොදන්නා අයද රැවටීමට ලක් වෙති. කෙසේ වුව ද මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ පනතේ අරමුණුවලින් බැහැර වෙනත් කිසිදු ගිවිසුමකට එළඹීමට මෙමගින් අවස්ථාවක් නොමැති බවයි. එබැවින් අඥාන විවේචකයන්ගේත් බුදුදහමට වින කරන රැවටිලිකාරයන්ගේත් මුසාබස්වලට නොරැවටීමට බෞද්ධයන් වගබලාගත යුතු ය.

ඇතැම් සමාජ මාධ්‍ය තුළ යථෝක්ත පනත මගින් විශ්වවිද්‍යාලයීය පර් යේෂණාත්මක අධ්‍යයන සඳහා බාධා විය හැකි බව සඳහන් වී තිබුණ ද මෙමගින් අධ්‍යාපන කාර්යාවලිය සඳහා බාධාවක් නොවන බව පනතෙහි ම ඇතුළත් ව ඇති බව සඳහන් කරමු. තව ද මෙම පනත මගින් ත්‍රිපිටකය ආරක්ෂා කිරීම හා සමාජගත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන සැලසෙන බැවින් වඩාත් විධිමත්ව හා සුරක්ෂිතව නිර්මල බුදුදහම සමාජගත කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

ත්‍රිපිටක බුද්ධවචනය වෙනස් වන්නට හෝ විනාශ වන්නට නොදී ආරක්ෂා කරගැනීම මහාසංඝරත්නයේත් රජයේත් සැදහැති බෞද්ධ පින්වතුන්ගේත් වගකීම වේ. අනුරාධපුර යුගයෙහි දොළොස් වර්ෂයක් මුළුල්ලේ බැමිණිතියාසාය පැවති කාලයෙහි කුසට අහරක් හෝ දිය පොදක් නැතිව පවා මහවැලි ගඟේ වැලිතලා මතට පිට දී ත්‍රිපිටකය කටපාඩම් කරමින් ධර්මවිනය ආරක්ෂා කරගත් ඉතිහාසයක් සහිත භික්ෂූන්ටත් බෞද්ධයන්ටත් යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

ශාසනභාරධාරී භික්ෂූන් වහන්සේ හතලිස් නමක් පමණ එක්වී සැකසූ මෙම පනත් කෙටුම්පත මේ වනවිට නීති කෙටුම්පත් අංශයේ සකස් කිරීම්වලට බඳුන් වෙමින් පවතින අතර එය ලද වහාම මහානායක මාහිමිපාණන්ගේ අවධානයට හා සමාජ සංවාදයට ඉදිරිපත් කිරීම සිදුවනු ඇත.

මේ වනවිට විවිධ කූට සංවිධානවලට අවශ්‍ය පරිදි ත්‍රිපිටක ධර්මය අමුඅමුවේ විකෘති කරමින් විනාශ කරනු දක්නට හැකි ය. එසේ බුදුදහම ඇස් පනාපිට ම විනාශ කිරීමට ඉඩ දී බලා සිටී ම සමස්ත බෞද්ධ ප්‍රජාවට ම සිදු කරන බලවත් අසාධාරණයකි. පසු ගිය කාලයෙහි බුදුසසුනට නිග්‍රහ වන පරිදි ”‍නිර්වස්ත්‍රම් පරමං සුඛං, බුදුන්ගේ රස්තියාදුව”‍ වැනි අශ්ලීල දෑ සමාජගත කිරීමට ඇතමුන් කටයු කළේ ද ත්‍රිපිටකයට නෛතික ආරක්ෂාවක් නිසි පරිදි සපයා නොමැති හෙයිනි. එබැවින් ශාසන විලෝපිකයන්ගෙන් බුදුසසුන ආරක්ෂා කර ගැනීම සඳහා යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්මත කරගැනීමට උරදීම ශාසනමාමක සැමගේ පරම වගකීමක් බව කිව යුතුය. 

(***)

රාජකීය පණ්ඩිත
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි



අදහස් (33)

ථෙරවාදී ත්‍රිපිටක සංරක්ෂණ පනතක් අවශ්‍ය ඇයි?

ගල්කිස්සේ අභයජීව Tuesday, 15 June 2021 01:14 PM

මේ හාමුදුරුවෝ මොනවද කතා කරන්නේ? හොරු බේරගන්න ගියානේද? අනෙක් භික්ෂූන්ගේ විනය සෙවීමට යෑම කොතරම් අවඤ්ඤා සහගතද? දහම ගතයුතු ආකාරය බුදු පියාණන් වහන්සේ බොහෝ තැන්වල පෙන්වා ඇත. එයට නීති අවශ්‍ය නැත. මේ බෞද්ධ අන්තවාදයක් සඳහා අත වැනීමකි...

:       11970       13015

nimalWednesday, 16 June 2021 06:14 AM

කෑගල්ලේ මාතුල අලුලෙනෙහි ලියනලද ත්‍රිපිටකයේ කොටසක් මේ වනවිට තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයක බව කියැවේ...

:       635       53

කෝසල Wednesday, 16 June 2021 01:01 PM

බෞද්ධ අන්තවාදය කියන වචනය දැක්කාම මේ කරුණ මතක් වුනේ... බෞද්ධ, ආගමික අධිකරණයක් ලංකාවේ පිහිටවපු ගමන්, ලංකාව තුළ ඉස්ලාමීය ශරියා ආගමික අධිකරණ පිහිටුවන්න පදනමක් වැටෙනවා. මුස්ලිම්ස්ලා ශරියා අධිකරණ ඉල්ලද්දී අපි බෑ කිව්වොත්, අරාබි රටවල් සියල්ලම අපිට කියයි "උඹලාට බෞද්ධ අධිකරණ දෙන්න පුලුවන් නම් ශරියා අධිකරණ දෙන්න බැරි ඇයි" කියලා. එතකොට අපිට කට උත්තර නැති වෙනවා. ඕක ආවොත් ඉතින් ලංකාවට ශරියා එනවා නියතයි. ශරියා රටක් ලෙස, ජාත්‍යන්තරය තුළ ලැජ්ජා නැති වෙන්නම අපිව නෝණ්ඩි වෙනවා. යුරෝපයට යන්න වීසාගන්න එක තවත් අමාරු වෙන එකයි වෙන්නේ...

:       4359       3558

WijethungaFriday, 18 June 2021 05:42 AM

බුදුදහමට තියෙන තර්ජනයේ තරම මේ ලිපියට තියෙන කමෙන්ට් සහ ලයික්, ඩිස්ලයික් වල ප්‍රමාණයෙන්ම පේනවා. ගිහි අපිත් කාලයක් තිස්සේ මේ විනාශය බලා සිටියා. මේ වගේ කාලකන්නින්ට විරුද්ධව දැන්වත් පියවර ගැනීම පිළිබඳව අපගේ බලවත් සතුට හාමුදුරුවනේ. පරවාද දුරු වේවා! බුදුදහම ලොව බැබලේවා!!

:       427       215

P. Silva Tuesday, 15 June 2021 01:36 PM

මේ කරුණුත් ඇතුළත් කරමු. එතකොට නම් දහම රැකෙයි. 1. විනය පිටකයේ පනවා ඇති අණ පනත් ඒ ආකාරයෙන්ම පිළිපැදීමට සහයෝගය දීම සහ එම නීති රීති කැඩීමට ඉඩ නොසැකසෙන සේ වාතාවරණයක් සැකසීම. (මේ යටතේ සිවුරු, පාත්තර හැර අනෙක් නිශ්චල සහ චංචල දේපල බුද්ධ සාසන අමාත්‍යාංශය යටතේ වූ භාරකාර මණ්ඩලයක් යටතට පත්කර එම බරින් භික්ෂූන් වහන්සේලා නිදහස් කිරීමද ඇතුළත් වේ).. 2. ලෝකයේ පැවැත්මට අදාළ ශාස්ත්‍රයන් වන දේශපාලනය (ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා), ධර්මයෙන් පිට ලෝක විෂයන් උගැන්වීම, වශී ගුරුකම් ආදී තිරස්චීන විද්‍යාවන් කිරීම තහනම් කිරීම සහ එවැනි දේ සඳහා වාතාවරණයක් සැකසීමෙන් වැලකීම. 3. ලෝකයේ පැවැත්මට අදාළ තාන්න මාන්න නිල තල සංඝ රත්නය උදෙසා පිරිනැමීම තහනම් කිරීම සහ එසේ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වීම. (මහාචාර්ය, ආචාර්ය උපාධි ඇතුළුව විවිධ ගරු නාමයන් මෙයට අයත් වේ). 4. භික්ෂුන් වහන්සේලා විසින් විවිධ දේශපාලනඥයන් සහ ක්‍රියාකාරීන් විවිධ ගරු නාමයන් ලබාගැනීම තහනම් කිරීම සහ එවැනි ගරු නාම ලබාගැනීමට යමෙකු ඉදිරිපත් වීම දඬුවම් ලැබිය හැකි වරදක් වීම. 5. භික්ෂුන් වහන්සේලාව දුසිරිතය සඳහා පොළඹවන්නන් හට නීති පැනවීම.

:       2240       2535

P. Silva Tuesday, 15 June 2021 01:37 PM

ඉතුරු ටික. 6. පාලි මුල් ත්‍රිපිටකය (දැනට බුද්ධ ජයන්ති ත්‍රිපිටකය) ඒ ලෙසම පවත්වාගෙන යාම සහ එය ඒ ලෙසම පරිහරණය සඳහා නිදහස අවකාශය ලබා දීම 7. මුල් පාලි ත්‍රිපිටක අධ්‍යයනය සඳහා ආධාර, උපකාර ලබා දීම සහ එම අධ්‍යයනයක් සඳහා දැනට පවතින සම්ප්‍රදාය බාධාවක් කර නොගැනීමටත්, එම අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල සහ අර්ථකතන විවෘතව සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමත් ඒ සඳහා රූපවාහිනිය, පිරිවෙන්, විශ්ව විද්‍යාල ආදී තැන්වල අවකාශය සකසා දීම. 8. ජාතක කතාවලින් එහා ගිය ත්‍රිපිටක අධ්‍යයනයක් සඳහා පාසල් සහ පිරිවෙන්වල විෂය නිර්දේශය සකස් කිරීම සඳහා පහසුකම් සැලැස්වීම. 9. රටේ ව්‍යවස්ථාවෙන් බුදු දහමට ලබා දී ඇති තැන ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම 10. විවිධ නිකායන් වලට බෙදී ඇති සංඝරත්නය එකම නිකායක් තුළට ගැනීමට සහ විනය පිටකය අනුව බුදුන් පනවා ඇති එකම විනය රාමුවක් තුළ කටයුතු කිරීමට පහසුකම් සැකසීම..!!! .

:       225       2027

රොහාන් ඇලිපිටිවල Tuesday, 15 June 2021 01:42 PM

මේ අර සිල් රෙදි හොරු බේරගන්න මුදල් පිණඩපාතයේ ගිය හාමුදුරුවන් නේද? ඔක්කෝටම කලින් විනය පිටකය හොඳට කියවලා ඒ ටික පිළිපැදලා පෙන්නුවා නම් හොඳයි නේද...?

:       1886       2142

NagasinghaWednesday, 16 June 2021 04:40 PM

මේ පණතෙන් බෞද්ධ අධිකරණය පිහිටවපු ගමන් තව පණතක් ගේනවා. ඒකෙ නම භික්ශු පණත. ඒක ගෙනා ගමන්, රටේ අධිකරණ වල තියෙන භික්ෂු නඩු, මේ බෞද්ධ අධිකරණයට මාරු කෙරෙනවා. එතකොට අර ලමා අපචාර නඩුව, තමන්ට හිතවත් බෞද්ධ අධිකරණයට මාරු කරගෙන, ඒකෙන් විභාග කරගෙන බේරෙන්න පුලුවන්. දැන් තේරෙනවනේ සමහරුන්ගේ යටි අරමුණු. මේව කියන එක උඩ බලාගෙන කෙල ගහගන්නව වගේ වැඩක් උනත්, බුදු සසුනේ පාරාජිකා වූ පිරිස් ගැන හෙලි කිරීම, ශාසන උන්නතියට හේතු වන බැවින්, ශාසනාලයෙන් යුතුව කියන්න සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි!

:       1876       2011

ganegoda Tuesday, 15 June 2021 01:43 PM

විහාරස්ථානවල සිදුවන දූෂණ සහ බෞද්ධ නොවන ක්‍රියාවන් මැඩලන්න. එතකොට අපේ බුද්ධධර්මය සදාකාලික වෙයි...

:       1901       1276

අසංක හෙට්ටිගේ Tuesday, 15 June 2021 01:51 PM

අපට බෞද්ධ අන්තවාදයක් අවශ්‍ය නැත. කවුරු කොහොම කිව්වත් හරි දේ තෝරගන්න අපට මොලයක් ඇත. ඒ ගැන බුදුන්ද දේශනා කර ඇති තැන් බොහෝය. නැගී එන දහම වහන්න දරණ මේ උත්සාහය කුමක්ද? හරි හෝ වැරදි හෝ අද බෞද්ධයා තුල දහම සෙවීම සඳහා විශාල ‍උද්යෝගයක් ඇත. ඒ උද්‍යෝගය මරා දමා අපාගත වීමට නේද මේ අදූරදර්ශී උත්සාහය? මේක ප්‍රාණඝාතයකට එහා ගිය මහා පවක්... නිකමටවත් කව්රුත් මේකට සහයෝගය දක්වන්න එපා.

:       2074       2221

nanda Tuesday, 15 June 2021 02:26 PM

සාදු... සාදු... මෙය එසේම විය යුත්තකි. සම්මා සම්බුදු සසුන බැබලේවා..!!!

:       1831       1900

Mahesh SenarathneFriday, 18 June 2021 05:58 AM

පල්ලෙහා කමෙන්ට් වල බුදුදහම රකින්න ඕන ක්‍රම දහස් ගාණක් විස්තර කරපු අන්‍යාගමික මහත්වරුන්ට බුදුදහම බැබලේවා කියන එක දරා ගන්න අමාරු හැටි ඩිස්ලයික් වලින් පේනවනේ. ඒ නිසා අමනයින්ගෙන් ධර්මය බේරා ගැනීමට මෙම පනත අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ.

:       614       421

නිලංක මනෝජ් Tuesday, 15 June 2021 05:15 PM

මහණෙනි මේ චතුරාර්ය සත්‍ය දෙසුමට අකුරු අප්‍රමාණයි, ව්‍යංජන අප්‍රමාණයි, බෙදුම් අප්‍රමාණයි. එසේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දීපු දහමක් පණතකින් සීමා කරන එක ධර්ම රත්නයට කරන විශාල හානියක්. ඔබ වහන්සේ වගේ අය මේ ගැඹුරු දහම නොතේරෙන නිසාම තමයි දේශපාලන කටයුතු වල නිරත වෙන්නේ. ඉතින් එහෙම හිටියා නම් එහෙම ඉන්න ගැටලුවක් නෑ.. නොදන්න දේවල් වලට අත නොදා...

:       103       1366

කමල් ඉලේපෙරුම Tuesday, 15 June 2021 06:16 PM

මුලින්ම "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ" කියලා බිම පෙරෙලි පෙරලි නමස්කාර කරලා, නිවන් මග යන බව පොරොන්දු වෙලා, මහන කම ඉල්ලගන්නවා. ඔන්න ඊට පස්සේ මහන කම හම්බෙනවා කියමුකෝ... ඊට පස්සේ බුදු හාමුදුරුවන්ටත් නැති පට්ටම් ටික නමට කලින් වට්ටගන්නවා. මේවා නිකන්ම හම්බෙනවා නෙමේ.. උදාහරණ- විනය විශාරද, සාසන සෝභන අග්ගමහා පණ්ඩිත වගේ ඒවා. ඔන්න ඊට පස්සේ ඔලුව ඉදිමෙන්න පටන් ගන්නවා. අං එන්න ගන්නවා. ඔන්න සබ්බ දුක්ඛ නිස්සරණ ටික ටික අමතකයි. කරන්න ආපු එක මගහැරලා මාධ්‍ය සාකච්ඡා පටන් ගන්නවා. ලෝකෙ නැති ඒවා පස්සේ යන්න ගන්නවා. නිවන් දකින මග විවරණය කරන පෙන්නන්න පිරිස් නිසා තමන්ගේ කුණු එළිවෙන නිසා මේ වගේ අයට ඉවසාගෙන ඉන්න බොහොම අමාරුයි. අං තියාගෙන නිකන් ඉන්නේ කොහොමද...? අනින්න පනිනවා. ඔන්න ඕකයි ඕකේ සත්‍ය කතාව. අර කියපු පට්ටම් නම් මුකුත් නොමැති සසර අතරමං නොවූ උත්තමයා ගෞතම බුද්ධ කියලා තමයි අදටත් ලෝකෙම දන්නේ...

:       228       2127

මහින්ද ජයවර්ධන Tuesday, 15 June 2021 06:29 PM

මැදගොඩ හිමි දේශපාලනය එළිපිට කරන, BMW එකකින් එහෙ මෙහෙ වඩින, කඩ කාමර කුලී පදනම මත දී ආදායම් ලබන, පඩියට රස්සා කරන, සංස්කෘත බස හදාරා ඒවා යොදා බණ කියන, භික්ෂුවක්. මෙකී සියල්ල විනය පිටකයට අනුව භික්ෂුවකට කැප සරු දේ නොවෙයි. මේ අයට ත්‍රිපිටක සංරක්ෂණ කරන්න දෙන එක නරියන්ට කුකුල්ලු බාර දෙනවා වගේ වැඩක්..! ජාතික ව්‍යාපාර තුළ රජයන් හදන්න සහ පැරණි රජයන් එලවන්න කටයුතු කරමින් භික්ෂුවක් අකැප දේම කරකර ඉඳිද්දී සසුන කොහොමැයි ගොඩගන්නේ....

:       5502       10026

Kumud Tuesday, 15 June 2021 06:57 PM

බුදුන් වදාල විනයෙන් දහම සුරක්ෂිතයි මෙතෙක් කල්. මේ දහමේ කොතැනකවත් නැහැ බණ කියන අයට දඬුවම් කරන්න කියලා. එවැනි නොරිස්සුම් කමක් සිතේ හදා ගත්තා නම් ඒ උදවිය ආගමික උන්මත්තකයින්. අනික් හාමුදුරුවෝ කියන බණ වලට ද්වේශයක් ගොඩ නැගුණා නම් තමා දැන ගන්න ඕනේ තමා බුදුන් වදාල දහම හරි හැටි තේරුම් නොගෙන ඔය දේ කරන බව. මූලධර්මවාදය කරා බුදු සසුන රැගෙන යාමට ඉඩ නොදෙමු. මේ පුණ්‍යභූමිය ඉදිරියේදී තලෙයිබානයක් කරන්න හදන වැඩ පිළිවෙලට සියලු දෙනා විරුද්ධ විය යුතුයි.

:       816       1552

Saman Vedaarachchi Wednesday, 16 June 2021 12:21 AM

මාර කෙනෙක්නේ බුදුදහම ගැන කතා කරන්නේ.. දේශපාලකයින්ට කඩේ ගියා ඇති. දැන්වත් සසුන බේරගන්න.

:       0       0

Dr O Perera Wednesday, 16 June 2021 08:36 AM

එදා මහාවිහාරයෙන් තිස්ස තෙරුන් වහන්සේ සහ උන්වහන්සේගේ අනුගාමිකයන් නෙරපා හැරියේ ඔවුන් මහාවිහාරයේ ධර්මධර පිළිවෙතට එරෙහිව කටයුතු කරමින් දේශපාලකයන් (රජතුමා සහ ඇමැතින්) සමග අනවශ්‍ය දැඩි සම්බන්ධතා පැවැත්වූ නිසයි. අභයගිරි පාර්ශවයේ නායකත්වය ගත් තිස්ස තෙරුන්ගේ අනුගාමිකයන් පසුකලෙක මහා විහාරය ගින්බත් කිරීමට මහසෙන් රජතුමාව යොමුකළේ ථෙරවාදී මහාවිහාරයේ අවසානය ලඟාකරමින්. මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ යනු මහාවිහාර ධර්මධර පරියාය කුමක්ද කියා හෝ නිවන්මග කුමක්ද යයි නොදන්නා හුදු දේශපාලක ඉත්තෙක් පමණි..

:       794       1033

Dr. ඕ. Perera Wednesday, 16 June 2021 08:38 AM

මේ ලිපියේ මෙන්ම වෙනත් ලිපි වලද යෝජිත බෞද්ධ මර්දන පනතට විරුද්ධ අයට විවිධ මනඃකල්පිත, අභූත බොරු චෝදනා නගමින් සිදු කරන්නේ පරාජිකාවට හේතුවන භික්ෂුවකට නොතරම් වන වැඩ පිළිවෙලකි. කලාම සුත්‍රයේ මෙන්ම මහාපදේස සුත්‍රයේද සඳහන් වන්නේ කවරෙකුගේ දේශනාවක් වුවත් සුත්‍රයට, ධර්මයට, සහ විනයට සසඳා, බහා, ගලපා බලන ලෙසත් නොගැලපේ නම් බැහැර ලන ලෙසත්ය. ඒ නිසයි ධර්මාවබෝධය ඇති ශේඛයන් විසින් ඇතැම් පෘතග්ජන දේශකයින්ගේ වචන උදැසන කෙළ පිඩක්සේ ඉවතලන්නේ.

:       193       345

Cisco Wednesday, 16 June 2021 12:08 PM

ගරු ස්වාමීන් වහන්ස, සංඝ ප්‍රජාව නිසා බුද්ධ ශාසනය රැකුණු බව ඇත්තයි. නමුත් අද දවසේ නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ගිහියෙකු හට සරණක් කොහෙද තියෙන්නෙ කියලා හෝ මොන ස්වාමීන් වහන්සේද නිවැරදි මාර්ගය පෙන්වන්නේ කියලා කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේගේ කාලයේත් හා ඉන් පසුවත් දහම සංඝයා වහන්සේලා විසින්ම නිවැරදි කරගත්තා මිස රාජ නීති පනවන්නට කිසිවෙක් මහන්සි ගත්තේ නැති බවයි මට නම් වැටහිලා තියෙන්නේ.... රාජ නීති හැදීමෙන් සිදුවන්නේ එම නීතිවලට පිටුපාන පිරිසකුත් ඉබේම බිහිවීමයි. මගේ වැටහීම නම් මෙම පනතින් සිදුවන්නේ බුදුන් වහන්සේ්ගේ දහම සියළුම දෙනාටම අයිතිවීම නොව යම් පිරිසකට මෙමගින් නතුවීමයි.

:       753       912

Nagasingha Wednesday, 16 June 2021 12:19 PM

ඕකට "ත්‍රිපිටක සංරක්ශණ පණත" කියලා නම දැම්මට, සැබැවින්ම ඕක "දෙපිටක සංරක්ෂණ පණත" ක්. විනය පිටකය විකුර්ති කරණ අයට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි? එයාලා නේද වැඩිපුරම ශාසනය භක්ෂණය කරන්නේ. ධර්ම විකුර්ති කරන්නේ වැරදි ධර්මය දෙසීමෙන්. විනය විකෘති කරන්නේ වැරදි හැසිරීමෙන්. දේශපාලනය කිරීම, රැකියා කිරීම, මුදල් පරිහරණය, සිවුරු පාත්‍රා හැර වෙනත් දේ අයිති කරගෙන සිටීම (ඉඩකඩම්, යානවාහන), ලෞකික තාන්න මාන්න පට්ටම් දැරීම ආදිය විනය විකෘතීන්ට උදාහරණයි. තථාගත ශාසනයේ භික්ෂුවක් ලෙස සිවුරු පොරවමින් ඉන්න සමහර භික්ෂූන්, තථාගත ශාසනයට අදාල නොවන දේ කරනවා. එවිට, තථාගත ශාසනයේ භික්ෂුව යනු මෙවන් හැසිරීමක් සහිත කෙනෙක් යැයි මිනිස්සු තුළ වැරදි වැටහීමක් මුල් බැස ගන්නවා. එය බුදු සසුනේ විනය විකුර්ති කර දැක්වීමක්. විනය තිබෙන තුරු ශාසනය පවතින බව බුදුන් දේශනා කර තිබෙනවා. භික්ෂුනී ශාසනය ඇති කළ විට, ශාසනයේ ආයුෂ අඩකින් අඩු වන බව දැක, එය වැළැක්වීම සඳහා භික්ෂුණීන් සඳහා අමතර විනය කාරණා ඇතුළත් කලේ ඒ නිසා බව බුදුන් දේශනා කර තිබෙනවා. ඕකට අනිවාර්යයෙන්ම විනය කඩන අයට දඬුවම් දෙන වගන්ති ඇතුළත් කරන්න. නැත්නම් ඕකෙන් ඇති වැඩක් නෑ.

:       920       1119

Lucky Fernando Wednesday, 16 June 2021 12:51 PM

භික්ෂූන් වහන්සේලා දැනට භුක්ති විඳින වරප්‍රසාද, නිදහස, අසිිමිත දේශපාලන බලය නැති කර ගන්නයි හදන්නේ.. බුදු දහමත් දේශපාලනීකරණයකට භාජනය කරලා. උගන්වන අය පඩි ගන්නවා... ජෝතිෂ්‍ය කරන අය එහෙම මුදල් හොයනවා. විනයට අනුව අකැපයි. ආරණ්‍යවාසී උත්තමයින් භාවනා කරල සසරින් එතෙර වෙනවා. ප්‍රශ්නෙ බණ දේශනා කරන අයලු. නීතිගෙනත් බුද්ධ ශාසන ඇමති පත් කරන 8 දෙනෙක් ඇතුලු ගිහි පැවිදි 35 කින් සමන්විත සිවිල් මණ්ඩලයක් හරහා දඬුවම් ලබා දෙන්න ලෑස්තිය. අනේ අනිච්චං. යහපාලන රජය කාලයේදීත් මංගල සමරවීරලත් වැලිකෑවා ඔය බලය බිඳින්න. මේ වැඩේ මහා නායක හිමිවරුන්ගේ අනුමැතිය සහ ආශීර්වාදය ලබාගෙනද දන්නේ නැහැ කරන්නේ... කොලේ වහලා වගේ මහාචාර්ය ඇතුලු ලබුනෝරුවේ විබජ්ජවාදීන් මේක සම්මත කරගන්න හදන්නේ. හේතු වාසනා ඇති බොදුනුවෝ කළ්‍යාණමිත්‍ර සම්පත්තිය ලැබූ වේලාවේදි බණ ටික අහලා ආර්ය මාර්ගයට පිවිසෙයි. බුද්ධ ශාසනය අවුරුදු 2600ක් රැකුනේ එහි ඇති නිදහස් චින්තනය සංඝයා වහන්සේල ආරක්ෂා කළ නිසයි. මේ පනත බුද්ධ ආඥාවට එහා ගිය එකක්. එහි භයානක ප්‍රතිඵල රටම විනාශ මුඛයට ඇදලා දායි.

:       787       1387

ganegoda Wednesday, 16 June 2021 12:56 PM

අපි සිංහල බෞද්ධයෝ, අපි අපේ බුද්ධාගම ආරක්ෂා කරගන්න නම් ප්‍රථමයෙන්ම සමහරක් චීවරධාරීන්ගෙන් එය ආරක්ෂා කරගත යුතුයි. මේ ඇතැම් චීවරධාරීන් බොරු බෞද්ධ කමක් මවාපාමින් අපේ බුද්ධ ධර්මය විනාශයට පත්කරලා තියෙන්නේ... තවදුරටත් විනාශයට පත්කරන්නේ..!!! 

:       838       652

fairoos Wednesday, 16 June 2021 06:00 PM

මේක බෞද්ධ රටක්, මෙවැනි පනත් ගේන්න ඉස්සෙල්ලා සුරාසැල් තහනම් කළොත් හොඳයි නේද?

:       769       875

M. Dammi Thursday, 17 June 2021 07:05 AM

බුදුදහමේ උන්නතිය වෙනුවෙන් කලයුතුම ක්‍රියාවක්. මෙයට බොහෝ කලකට පෙර කළයුතුව තිබු කටයුත්තක්. අපිට සංඝයා වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් වගකිවයුතු නැහැ. ඒවා උන්වහන්සේලාගේ කාර්යයක්. අපට වැදගත් වන්නේ බුදුන් වහන්සේ දේශනා කල රහතන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් රැකගෙන විත් මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඩ කළ නිවැරදි ත්‍රිපිටක ධර්මය හැදෑරීමයි ශ්‍රවණය කිරීමයි.

:       0       0

ranjan Thursday, 17 June 2021 02:33 PM

බුදුන්වහන්සේ උපන්නේ ඉන්දියාවේ නම් පනත් ගෙන ඒමේ කාර්යය අයිතිය ඉන්දියාවටයි

:       41       63

ganegodaThursday, 17 June 2021 05:44 PM

උදේ හිටන් රෑ වෙනකම් ඉන්දියාවට දොස් කියන අය බුදුදහම ඉන්දියාවෙන් ආපු දෙයක් කිව්වොත් මේක ලොකු බඩේ පාරක් නේද?

:       0       0

SenasingheFriday, 18 June 2021 05:52 AM

බුදුරජාණන් වහන්සේ උපන්නේ කිඹුල්වත් නුවර ඒක අද අයිති නේපාලයට..., උන්වහන්සේ දෙසූ ධර්මය පවතින්නේ ලංකාවේ... ධර්මය පවතින ඕනෑම රටකට තමන්ගේ ධර්මය පවත්වා ගැනීමට උපරිම බලය තියෙනවා. ඒකට අනුන් හොට දාන්න ඕනෑ නෑ.

:       0       112

Ras Thursday, 17 June 2021 10:35 PM

අන්තරාභවය කියන සංකල්පයට සමහර ස්වාමීන් වහන්සේලා විවිධ අර්ථකතන දෙනවා. නමුත් මහායාන හාමුදුවරු පිළිගත් මතය වෙන්නේ කෙනෙක් මියගිය පසුව තත්පර 0 සිට දවස් 7ක් දක්වා උපරිම කාලයක් ඕනෑම කෙනෙක් අන්තරාභවීය අවස්ථාවක සිටිය හැකි බව. එනම් කිසිඳු කයක සම්බන්දයක් නැති සිතක් කයක් ලැබෙනතෙක් දවස් 7 දක්වා උපරිම කාලයක් තිබිය හැකි බව. මේ මතය සමහර තේරවාදී හාමුදුරුවරුනුත් පිළිගන්නවා. නමුත් සමහර අය අන්තරාභවය යන එක තවත් යක්ෂ හෝ වෙනත් ආත්මයක් කියලත් අර්ථ දක්වනවා. නමුත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ දැරුවෙත් මහායානික මතයට ඉතා සමාන මතයක්... මෙතන තියෙන්නේ ත්‍රිපිටකයේ මේ පිළිබඳ පවතින එක් වාක්‍යයක් දෙවිදිහකට පරිවර්තනය කරන එක. අප තොරතුරු ලබාගන්නා අයට අනුව වල්පොල රාහුල හාමුදුරුවන් ඉදිරිපත් කළ තර්කත් සමහර අය තාර්කිකව ඉදිරිපත් කළ කරුණුත් නිවැරැදිය. 1. එනම් ආලවක යක්ෂයා යනු යක්ෂයෙක් නොව එකල ජීවත්වූ යක්ඛ ගෝත්‍රිකයෙකි. වනයක වාසය කල සොර කල්ලියක නායකයෙකි. 2. මුචලින්ද නාග රාජයා යනු නාග ගෝත්‍රික වෙළෙඳ ප්‍රධානියෙක් 3. නන්දෝපනන්ද නාගරාජයා යනුවෙන් හඳුන්වා ඇත්තේද නගර ප්‍රධානියෙක්...

:       55       12

විජිත් Friday, 18 June 2021 03:50 PM

බුදු දහමේ පෙන්වාදෙන ආකාරයට ඔය මොන සංරක්ෂණය දැම්මත් නොදැම්මත් තව අවුරුදු 2500 කින් පමණ බුදු දහම ලෝකයෙන්ම තුරන්වෙලා නැත්තට නැතිවෙලා යනවා. මතු බුදුවන බුදුවරයෙක් නැවත ලොව පහළ වෙනතෙක්ම ලෝකයේ මිනිසුන් නොයෙකුත් මතවාදයන්ට මුලාවී විනාශ වෙමින් සිටින යුගයක් ඒ. ගෞතම බුදුන් වහන්සේ මේ ලොව පහළවී දැන් අවුරුදු 2500 පසුකරලා තිබෙන්නේ. දැන් බුදු දහමේ අවරෝහණ කලාව පටන් අරගෙන තිබෙන්නේ.. තව අවුරුදු 2500ක් මේ ලෝකේ මිනිසුන්ට ඉතිරිවී තිබෙනවා .. උතුම් වූ බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන සසර ගමන කෙටිකරගන්න. නමුත් අපේ රට පිළිබඳව නම් ඒ තත්වය ඉතාම දුක්ඛිතයි. බුදුන්වහන්සේගේ උතුම් වූ ධර්මයේ හැසිරී, ඒ දහම ජනතාවට දේශනා කරමින්, කිසිම භෞතික දෙයක නොඇලී නොගැටී දිවි ගෙවන උතුම් යතිවරයන් වහන්සේලා කී නමක් අපේ රටේ වැඩ සිටිනවද..? එසේ සිටින බුද්ධ පුත්‍රයන් වහන්සේලා ශ්‍රී ලංකාවේ සිටිනවා නම් සිටින්නේ "ඉතාම අතළොස්සක් " පමණයි. උන් වහන්සේලාට මාගේ නමස්කාරය හිමිවේවා..!!! නමුත් අපේ රටේ ඔනෑතරම් සිටින දේශකාපාලුවන්ට කඩේයන, මිනිසුන්ට බොරු කියන, සුපර්මාර්කට් අයිති, කහ ඇඳගත් හොර ජූජක බමුණන් ඒ ගණයට අයත් නොවේ. ඔවුන් රටෙන් තුරන් කල යුතුයි.

:       1       42

රසික Saturday, 19 June 2021 07:27 AM

පසුගිය රජය කාලේ සංඝ කතිකාවත් පනත ගෙනාවිට ඒකට මහා විරෝධයක් ගෙනිච්චොත් මේ උන්නාන්සේ නේද? මහනාහිමිවරුන්ගේ උපදෙස් පරිදි භික්ෂූ විනය සකස් කරන්නට ගෙනා ඒ පනත හොඳ නැතෙයි... කියන්නත් යොදාගත්තේ මේ ලිපියේ තියෙන දැන් වැරදියි... කියන කාරණාම තමයි...

:       0       37

ජයන්ත අමරතුංග Saturday, 19 June 2021 01:35 PM

ත්‍රිපිටකය ආරක්ෂා කර ගත යුත්තේ නූතනයේ බුද්ධ භාෂිත නොවන අඅදහස් පතුරුවන අයගෙනි. නමුත් බුදුන් දවසද මෙවැනි වූ අනේක ඉදිරිපත් කිරීම් පැවතිණි. එදා බුදු රදුන් පහදා දුන්නේද නය විනයට සසඳා බලා ඊට ගැලපේ නම් පමණක් පිලිගන්නා ලෙසයි.

:       0       0

මංජුල වනසිංහ Sunday, 11 July 2021 12:28 PM

ත්‍රිපිටක සංරක්ෂක පනත මගින් සිදුකරන්නේ ත්‍රිපිටක අන්තර්ගතය සහ එහි අර්ථය සුරක්ෂිත කිරීමයි. ඉහත කරුණු සම්භන්ධයෙන් යමෙක් විරුද්ධ වේනම්, එය අර්ථයෙන් තොර දෙයක්. මෙයහට විරුද්ධ වන්නන්හට , අනිත් කරුණු කෙසේවෙතත් ත්‍රිපිටකය සම්භන්ධයෙන් අවබෝධයක් ඇත යන කරුණ විද්‍යමාන නොවේ. තවද බුදුවරයෙක් සහ බුදුවරුන්ගේ සර්වඤතා ඤාණය සම්භන්දයෙන් අවබෝධයක් ඇතිබවක් පෙනෙන්නට නැත.

:       86       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 810 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 391 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4288 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12704 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 694 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25236 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site