IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දැන් ඉතින් භාෂාවටත් සාහිත්‍යටත් දෙයියන්ගේම පිහිටයි

ජන කවිය ඔපවත්වන යශෝදරාවත, විමර්ශන දීපනී, වියරණ විනිස සහිත ගිරා සංදේශය, සංහිතා දීපනී, මයුර සන්දේශය ශාස්ත්‍රීය සංස්කරණය ඇතුළු ශාස්ත්‍රීය කෘති රැසක් සම්පාදනය කළ ආචාර්ය රංජිත් සේනානායක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරයෙකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘සිංහබාහු’’ නාට්‍යයට පසුගිය සතියේ 60 වසරක් සපිරුණි.

මේ නිමිති කොටගෙන විවිධ සාකච්ඡා හෝ සම්මන්ත්‍රණ සංවිධානය වී තිබූ අතර වීමංසා මෙවර සංවාදය ආචාර්ය රංජිත් සේනානායක මහතා සමඟ පැවැත්වෙන්නේ ද හැට වසරක් සපිරුණු සිංහබාහු නාට්‍යය පිළිබඳව සහ වත්මන් සාහිත්‍ය – කලා ක්ෂේත්‍ර පිළිබඳව විමසා බැලීමේ අරමුණෙනි.

• මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘සිංහබාහු’’ නාට්‍යයට අගෝස්තු මස 31 වැනි දිනට හැට වරසක් සම්පූර්ණ වුණා. හැට වසරක් සපිරුණත් සිංහබාහු නාට්‍යය දිනෙන් දින අලුත්වීමට සහ පවත්නා සමාජයට වලංගුවීමට මූලික හේතු හැටියට ඔබ දකින්නේ කවර කරුණු ද?
    
1961 අගෝස්තු 31 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංග භූමියේ දී පළමු වරට වේදිකාගත කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යය එදා වගේම අදටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලබා දෘශ්‍ය කාව්‍යයක්. එසේම ගීතයෙන් කාව්‍යයෙන්, සංගීතයෙන්, භාවපූර්ණ පද්‍යාවලියෙන් පණ පෙවුණු නාට්‍ය සම්ප්‍රදායකට උරදුන් නාට්‍යයක්..

පින් ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියේ සරච්චන්ද්‍ර මහතා මෙහෙම කියනවා.

‘‘මා තනියෙන් පේරාදෙණියේ වෙසෙද්දීය. මට සිංහබාහු නාඩගම ලියන්නට හිතුණෙ. එහි නිරූපණය වන්නේ Romatic Love පිළිබඳ සිහිනයක් බිඳී යන සැටිත්, දරුවන් වැඩිවිය පැමිණ ස්වාධීනව සිතන්නට පටන්ගත් විට පවුලේ ඇලුම් බැලුම් විපර්යාසයකට භාජනවන සැටිත්ය.’’
    
මේ සංකල්පය තවත් වසර ගණනක් ඉදිරියට ගියත් නැති වෙන්නෙ නැහැ. දරුවන් ස්වාධීනව කටයුතු කරන්නට පටන්ගත් විට මවුපියන් එල්බගෙන සිටින නොයෙකුත් සමාජ සම්මතයන් සිරිත් විරිත් වෙනස් කරගන්නට සිදුවෙනවා. එහෙම නොහැකි වුණොත් ගැටුමක් ඇතිවීම ස්වභාවිකයි. වසර හැටක් ගියත් සිංහබාහු අදටත් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබන නාට්‍යයක් බවට පත්වීමට බලපෑ ප්‍රධාන කරුණු කීපයක් මෙහි දී සොයා බලන්න පුළුවන්.
    
රංග ශෛලිය වඩාත් ප්‍රභාවත් කිරීමට නාට්‍ය රචකයා දැරූ ප්‍රයත්නය ඉන් ප්‍රධානයි. එසේම සම්භාව්‍ය සාහිත්‍යයෙන් උකහා ගත් භාවපූර්ණ වදන් වැලකින් යුත් ගී ආර දෘශ්‍ය කාව්‍ය හා මැනැවින් බද්ධ කොට ප්‍රේක්‍ෂකයා වෙත ගෙන යාමට දැරූ උත්සාහය තවත් කාරණයක්.. අනෙක් පැත්තෙන් සිංහබාහු යනු අතිශය සිදුවීම් හා මනෝභාව විදහා පෙන්වන විචිත්‍ර පාත්‍ර වර්ගයාගේ විශ්මිත කුසලතා පෙන් වූ නිර්මාණයක්. එසේම සරච්චන්ද්‍රයන් මේ නාට්‍යය හරහා සර්ව කාලීන සමාජ ගැටලුවකට කදිම පිළිතුරක් සපයනවා. සාර්ථක චරිත නිරූපණයට දැක් වූ සක්‍යතාවත් මේ නාට්‍යය අද දක්වාම සාකච්ඡාවීමට බලපා තිබෙනවා.


• සිංහබාහු නාට්‍යයේ විචිත්‍රත්වය, කතා තේමාව වගේම සරච්චන්ද්‍රයන්ගේ ගැඹුරු ගීතවත් බස් වහර එනම් එහි සාහිත්‍යමය ගුණය බලපා ඇති බව පැහැදිලියි. මේ ගැන ඔබේ නිරීක්‍ෂණය කෙබඳු ද?
    
සංස්කෘත නාට්‍යකරුවකු මෙන්ම විචාරකයකු ද වන ‘‘ශ්‍රී හර්ෂ’’ නාට්‍යයක සාර්ථකත්වයට ඉවහල්වන කරුණු හතරක් පෙන්වා දී තිබෙනවා. දක්‍ෂ නළු නිළි පිරිසක් ලොව ප්‍රකට කතා වස්තුවක් යොදා ගැනීම, නාට්‍ය රචකයා දක්‍ෂ කවියකු වීම ඒ කරුණු හතරයි. මේ කරුණු හතරෙන්ම සිංහබාහු සම්පූර්ණ වෙනවා. වෙනත් අපේ කිසිඳු ශෛලිගත නාට්‍යයක මෙබඳු විචිත්‍රවත් රංගනයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒක අවිවාදාත්මකයි.
    
සිංහබාහු නාට්‍යයේ සෑම කවියක්ම ගීතයක්ම ප්‍රේක්‍ෂකයාගේ දෙසවනට යොමුවන විට සංගීත රසයෙන් ද ගත සිත පිනා යන්නේ ඔහු නොදැනුවත්වමයි. ඒක නාටගම් ගීවලත් ශාන්තිකර්ම, සොකරි, කෝළම් ආදී ගැමි නාට්‍යවලත් දක්නට ලැබෙන්නක්. සිංහයාගේ හද පත්ලෙන්ම නැගෙන අඹු දරු සෙනෙහස ප්‍රේක්‍ෂක සන්තානය තුළ ද ජනිත කරන්නේ ශබ්ද – අර්ථ මාධූර්ය ගුණයෙන් පිරි කදිම රසෝත්පාදන අවස්ථාවකින්.
    ලොල්ලා වඩන නිති - දුල්ලාම රණලිය
    තුල්ලා නයනමිණි ඉඳුනිල්ලා
    පුල්ලා කමල වත දක්නාතුරා - මෙඇසිල්ලා
    නොවෙය සිත සැනසිල්ලා
    නාට්‍යාරම්භයේ දී සිංහයා ආත්ම කථනයක යෙදෙමින් ප්‍රකාශ කරන්නේ ඔහුගේ එඩිතර කෲර ස්වරූපයයි.
    ‘‘දස දෙස ඉන්ද්‍රා - වෙමි මම සිංහ
    රාජ මෘගේන්ද්‍රා
    මා බල බිඳ ලන – නැත සත මේ වන’’

    ආදී වශයෙන්.

මේ ප්‍රකාශ දෙක සසදන කොට කෙතරම් බලසම්පන්න වුණත් අඹුදරුවන් කෙරෙහි දක්වන අපිරිමිත සෙනෙහස කෙතරවේදැයි පෙනෙනවා. සිංහබාහු ලෙන අතහැර ගිය පසු සිංහයාගේ හදවතෙහි උපන් අඹුදරු සෙනෙහස බුර බුරා නැඟෙන හැටි කදිමට සරච්චන්ද්‍ර මහතා පෙන්වනවා. පුද්ගල සිතක අභ්‍යන්තර ස්වභාවය ඔහු ගැඹුරින් විවරණය කරන්නේ කාව්‍යමය ගුණය උත්කර්ෂවත් ලෙස ප්‍රකට කරමින්.

නාට්‍යයේ සිව්වැනි අංකයේ දී ගමරට විනාශ කරන සිංහයා මැරීමට සිංහබාහු ඉදිරිපත්වූ අවස්ථාවේ සුප්පා දේවිය මුහුණ දෙන්නේත් සිංහයා මුහුණ දුන් සියුම් භාව ප්‍රකම්පන අවස්ථාවටමයි.

‘‘ඇසට නැතේ දකින්නේ පුතු මාගේ’’
ගී කණ්ඩයෙන් මතු කරන්නෙ ඒක. සිංහබාහු නාට්‍යයේ තේමාව ගොඩනැඟී තිබෙන්නේ බුදුන් වහන්සේ රාහුල කුමරු පැවිදි කිරීමෙන් සුද්ධෝදන රජුට ඇති වූ භාව කම්පන අවස්ථාව මුල් කරගෙනයි. මහා වග්ග පාලියේ එය දක්වන්නේ,
    රාහුලෝ පුත්ත පේමං භන්තේ
    ඡවි ජින්දත ඡවි ජෙත්වා
    වම්මං ජින්දති
    වම්මං ජෙත්වා මං සං ජින්දති
    යනුවෙන්.
    මේ පාඨය සරච්චන්ද්‍රයන් හෙළ බසට නඟන්නේ මෙහෙම,
    ‘‘පුතු සෙනේ මස් නහර හම සිඳ,
    ඇට සොයා ගොස් ඇට තුළට වැද
    ඇට මිඳුළු මත රඳා සිට
    දුක් දෙයි නිබන්ඳා...’’

එය හෙළ භාෂාව ප්‍රතිභාවෙන් භාවිතයට ගත් කවරයකුගේ වුවද රසඥතාව කුළු ගැන්වෙන ගුණයෙන් සපිරුණ එකක්.


• සරච්චන්ද්‍රයන්ගේ කාව්‍යමය භාෂාව එතුමාගේ නාට්‍යවල පමණක් නොව මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා වැනි නාට්‍යවලින් ද මතුවී පෙනෙනවා. සාහිත්‍යයේ ප්‍රධාන මාධ්‍යය භාෂාව නිසා වත්මන් සාහිත්‍යකරුවන්ට සරච්චන්ද්‍රයන්ගේ භාෂා භාවිතයෙන් ගත හැකි ගුරුහරුකම් මොනවා ද?
    
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යමය භාෂාව පිළිබඳව ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ලෝමහංස නාට්‍ය ප්‍රස්තාවනාවේ මෙහෙම, සඳහන් කරන්නේ,
    
‘‘සංගීතය අභිබවා යන භාෂාවක් එතුමා සතු බවත් ඇතැම් ගීතවලට තනු නිර්මාණයේදී තමා අපහසුතාවට ලක්වූ බවත්ය. මනමේ නාට්‍යයේ ‘‘ප්‍රේමයෙන් මන රංජිත වේ’’ යන ගීතයේ අවසානය ‘‘මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ’’ ආදී අවස්ථා උදාහරණයි.
    
සාම්ප්‍රදායික අලංකාරයෙන් පෝෂිත නාට්‍යමය ගුණයෙන් සපිරි මේ බස්වහර ඔහුගේ ඇතැම් නවකතාවල දක්නට ලැබෙන බව ඇත්තක්. රටින් රට සැරි සැරූ ලාංකික සිත්තරෙකු හෝ පෙම් බැඳගත් ජපන් තරුණියගේ අසාර්ථකව ගිය ප්‍රේමය පිළිබඳව දුක්මුසු ආකාරයෙන් මළවුන්ගේ අවුරුදුදා නවකතාවේ මතු කෙරෙනවා. එහි එන නොරිකෝ තරුණිය කලා ශිල්පියකුගේ සරණ පැතීමෙන් දුර්වල වූ තමන්ගේ හදවත විස්තර කරන්නේ මෙහෙම,
‘‘එළියේ මිදීගෙන ආ වැහි බිඳු උණුහුමින් තැවරුණු මගේ සිරුර කෙමෙන් මොළොක් වන්නාක් මෙන් මට දැනුණේය.’’

කාව්‍යමය භාෂාව ඔහු භාවිතයට ගත් තවත් අවස්ථාවක් හැටියට දෙවොංදොරාසං කෙරෙහි නොරිකෝගේ හදවත තුළ ඇති වූ අවසාන ශේෂය කියාපාන හැටි දක්වන්න පුළුවන්.
    ‘‘ඉක්මණින් නැවත එතොත්
    මළවුන්ගේ අවුරුදු දා
    මටත් නැවත එන්නට ඇහැකි
    මළගිය ඇත්තන් කැටුවම’’

    නවකතාවක හෝ කෙටි කතාවක හෝ නාට්‍ය්‍යක හෝ භාෂාව කාව්‍යමය වන විට එය වඩාත් නිර්මාණශීලී වෙනවා. විශ්වනාථයන් ‘‘සාහිත්‍ය දර්පණ’’ කෘතියේ දැක්වූයේ ‘‘වාක්‍යං සොත්මකං කාව්‍යම්’’ ලෙසයි. ඒ යනු රසවත් වූ මැකිය කවියයි. එය ගද්‍යයට ද පද්‍යයටද එලෙම විය යුතුයි. ඒ නිසා සරච්චන්ද්‍රයන්ගේ භාෂාව කවර ලේඛකයකුට වුණත් සාහිත්‍ය නිර්මාණයේ දී අධ්‍යයනය කළ යුතු අවැසි බස් වරහක්.


• සාහිත්‍ය විචාර කලාව ගත්තත් අපි තවමත් සරච්චන්ද්‍රයන්ගේ සහ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විචාර දෘෂ්ටීන් මත සහ නිර්මාණ දෘෂ්ටීන් මත යැපෙමින් සිටින බව බොහෝ දෙනා පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දුන් විචාර මතවා ද අදටත් වලංගුවීමට හේතු මොනවාද?
    
ස්ත්‍රිය පිළිබඳව සාම්ප්‍රදායික දෘෂ්ටිය වී තිබුණේ ‘‘ඉඩක් ලද විට වරදෙහි බැඳෙන තැනැත්තියක් හැටියට. අන්ධභූත, මහා පදුම, සත්තු භත්ද්‍රා වැනි ජාතක කතා වස්තූන් මේ කරුණ සනාත කළත් කුස ජාතකයේදී එය වෙනස් වී මිනිස් සිතක ස්වභාවය විවරණය වෙනවා. සරච්චන්ද්‍රගේ මනමේ, සිංහබාහු, පේමතෝ ජායතී සෝකෝ, ලෝමහංස, වෙස්සන්තර ආදී නාට්‍යවලිනුත් මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදුදා නවකතාවලිනුත් විවරණය වන්නේ ස්ත්‍රිය චපලත්වයේ ප්‍රතිමූර්තියක් හැටියට නොවෙයි.
    
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈදුතු නවකතාවෙන් ගම්පෙරළියෙහි එන නන්දාගේ චරිතය විවරණය වී තිබෙන්නේ ස්ත්‍රිය පිළිබඳවද විචාර පූර්වක දාෂ්ටියෙන් යුතුවයි. ඒ දෘෂ්ටීන් පසුකාලීන නිර්මාණ රචකයන්ට කළ බලපෑම සුවිශාලයි. ඒකයි අදත් මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ දෘෂ්ටින් ගැන කතා කරන්නේ. සමාජ විචාරය ද එසේමයි. වික්‍රමසිංහයන්ගේ තුන් ඈදුතු නවකතාවෙන්ම ඒ සමාජ විපර්යාසයට ගොදුරු වූ පුද්ගල චරිත ද විපර්යාසයකට ලක්වීම සාධාරණයි.


• සරච්චන්ද්‍ර යුගයේ විශ්වවිද්‍යාලය තුළත් සමාජය තුළත් සංස්කෘතික වශයෙන් ඇතිවූ ප්‍රබෝධය ගැන අදටත් අපි කතා කරනවා. ඒත් වත්මන් යුගයේ එබඳු ප්‍රබෝදයක් නොවීමට හේතු මොනවා ද?
    
සරච්චන්ද්‍රයන් නාට්‍යකරණයට පැමිණියේ ලංකා විශ්වවිද්‍යාලයේ නාට්‍ය යුගය නමින් හඳුන්වන කාලෙ. 1933 – 1943 දක්වා කාලය මහාචාර්ය ඊ.එෆ්.ජී. ලුඩොවයික්ගේ මූලිකත්වයෙන් ‘‘ඉංග්‍රීසි නාට්‍ය සංගමය’’ පිහිටුවාගෙන සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍ය බොහොමයක් කරළියට නංවා තිබෙනවා.
    
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් විශ්වවිද්‍යාලයීය සිංහල නාට්‍ය සංගමයක් පිහිටුවාගෙන අනුවර්න, පරිවර්තන, ස්වාධීන වශයෙන් නාට්‍ය නිපදවා තිබෙනවා. සරච්චන්ද්‍රයන් අතින් 1952 දී The Sinhalese Folk Play නමින් රචනා වූ කෘතිය 1966 දී The Folk Drama of Ceylon නමින් නැවත රචනා වුණා. 1980 දී මේ කෘතියම සිංහල බසින් රචනා වුණා ‘‘සිංහල ගැමි නාටකය’’ කියලා. මේ කාලයේ දී එතුමා ජපානය, චීනය, නවසීලන්තය ඇතුළු රටවලට ගොස් නාඩගම් කලාව ගැන අධ්‍යයනයක යෙදුණා. සිංහබාහු ඇතුළු නාට්‍ය හරහා විශ්වවිද්‍යාලය තුළත් බාහිර සමාජයේත් ප්‍රබෝධය ඇතිවුණා.

එහෙම බැලුවාම වත්මන් යුගය හරිම ශෝචණීයයි. කලා ක්ෂේත්‍ර සපුරා බිඳ වැටෙන තත්ත්වයක් උදාවෙලා තියනවා. වසර ගණනාවක් තිස්සේ සාහිත්‍ය කලාව හා භාෂාවත් ඒ පිළිබඳ ගැඹුරු අධ්‍යයන ආදියත් විශ්වවිද්‍යාලයෙන් පමණක් නොව බාහිර සමාජයෙන්ම බැහැර වෙලා. නව අධ්‍යාපන අණපනත්වලින් පාසල් විෂය ක්ෂේත්‍රයෙන් පවා මේ විෂයයන් කප්පාදු කොට තිබෙනවා. දැන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වෘත්තීය පාඨමාලා හැදෑරීමට වැඩි අවධානයක් ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. භාෂාව, සාහිත්‍යය හා කලාවෙන් ලබාදෙන මානව චින්තනයේ යථාර්ථවාදී විඥානය මොට කිරීමට අනපනත් ගෙනෙන බව පැහැදිලියි.

වත්මන් ඇතැම් පාලකයන් නිලධාරීන්, අධ්‍යාපනඥයන් උත්සාහ කරන්නේ බුද්ධිමත්, විනයගරුක, ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමට වඩා විශ්වවිද්‍යාලයක ද වෘත්තිකයන් බිහි කරන වෘත්තීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට බවයි පෙනෙන්නේ.. මෙහෙම ගියොත් යහපත් සමාජයක් බුද්ධිමත් සමාජයක් තැනීමට ප්‍රමුඛ වශයෙන් මඟ පෙන්වන සාහිත්‍යයට කලාවට හා භාෂාවට දෙයියන්ගේම පිහිටයි. කොරෝනා වසංගතයේ ප්‍රතිඵලත් විවිධ රජයන් මඟින් කරනු ලැබූ අණපනත් ආදියත්, පාලකයන් කලාව සාහිත්‍යය කෙරෙහි දක්වන ආකල්පත් නිසා නාට්‍ය කලාවට, සාහිත්‍යයට හා හෙළ බසට අතිශයින් අන්ධකාර යුගයක් එළඹෙන බව පැහැදිලියි.

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)

 



අදහස් (3)

දැන් ඉතින් භාෂාවටත් සාහිත්‍යටත් දෙයියන්ගේම පිහිටයි

chathura Wednesday, 08 September 2021 12:11 PM

ඇත්තටම හරිම කණගාටුයි සිංහල භාෂාව පරිහානියට පත්වෙන එකට.... වෙනත් ලෝක ප්‍රසිද්ද ශබ්ද කෝෂ කරන විදිහට හැම අව්රුද්දකම අලුත් වචන එකතු කර සිංහල ශබ්ද කෝෂයක් නිකුත් කරානම් ගොඩක් වටිනවා නේද? කොළඹ , ජපුර හෝ කැළණිය විශ්ව විද්‍යාලය අනුබද්දව මෙම ශබ්ද කෝෂය නිකුත් කර සැම පාසලකටම බෙදා හරීන්ඩ පුළුවන් නම්, අලුත් වචන සම පාසලකම භාවිතා වෙනවා ... තරුණ පරපුර නව වචන බාවිතා කරනවා. ඒ වගේම රටේ ඕනිම පුරවැසියෙකුට අලුත් වචන නිර්මාණය කර විශ්ව ව්දියාලයට අන්තරජාලය හරහා යොමුකරන වැඩ පිළිවෙලක් එම විශ්ව විද්‍යාල මගින් ක්‍රියාත්මක කරන්ඩ පුළුවන් නම් වටිනවා... එමගින් වාර්ෂිකව විශ්ව විද්‍යාලයේ වගකීමක් ඇතිව වචන බාශාවට එකතු වෙනවා... නිර්මාණ කරුගේ නමත් සදහන් කර අගය කල යුතුයි.. මෙවැනි දෙයක් වත් කරන්ඩ පුළුවන් නම් බාෂාවේ දියුණුවට කරන ලොකු වැඩ පිළිවෙලක්...

:       0       6

JanithFriday, 10 September 2021 07:59 PM

ඔබේ භාෂාවත් වැරදියි

:       1       1

chathuraSaturday, 11 September 2021 03:03 PM

මන් විදේශ ගතව ජීවත් වෙන්නේ අවරුදු 10කට වඩා. එක නිසා වැරදි ඇති. මන් කිව්ව අදහස තේරුනාද? ඊට වඩා හොද අදහසක් තියේනම් කියන්ඩ.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 81 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 399 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1027 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1514 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 455 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2096 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site