IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියෙන් ගැයූ කිෂාණි කියන කතාව

 20-Rasap-p1-1-(2)   

කිෂාණි ජයසිංහ සැමියා සහ දරු දෙදෙනා

 

 

“කිෂාණි ජයසිංහ” නමැති ඇය යුරෝපයේ සිටින ඔපෙරා සංගීතය රසවිඳින සම්භාව්‍ය රසික සමාජයට අමුත්තියක නොවේ. ශ්‍රී ලාංකේය සමාජයේ සිටින සංගීතයේ උසස් රසය සොයා යන ප්‍රේක්‍ෂකයන්ට ද ඇය අමුත්තියක නොවිය හැකිය. නමුත්, සමස්ත ශ්‍රී ලාංකේය සමාජයට නම්, ඇය අමුත්තියකි. ශ්‍රී ලාංකීය සමාජයේ සමාජ වෙබ් අඩවි පරිහරණය කරන පිරිස සහ සමාජයේ වෙසෙන අනෙකුත් බොහෝ දෙනා අද මේ කිෂාණි ගැන බෙහෙවින් කතාබහ කරන්නේ පසුගියදා සැමරූ 68 වැනි නිදහස් දින සමරු උළෙලේ දී “දන්නෝ බුදුන්ගේ” ගීතය ඇය සතු උච්ච ස්වරයෙන්, නැතහොත් විශ්ව සංගීත භාවිතාවේ සුප්‍රානො රිද්මයෙන් ගැයීම නිසාය. ඇයි ඇය මෙලෙසින් දන්නෝ බුදුන්ගේ ගීතය 
ගැයුවේ? මේ කිෂාණි කවුරුන්ද? “ඉරිදා ලංකාදීප”යට ඇය අදහස් ප්‍රකාශ කළේ මෙලෙසිනි.

 

20-Rasap-p1-1-(4)
● කිෂාණි ඔබ ගැන කෙටි සඳහනක් කළොත්?
මගේ ගම කොළඹ. ඉගෙන ගත්තෙ කොළඹ විශාඛා විද්‍යාලයෙන්. සාමාන්‍ය පවුලක කෙනෙක්. තාත්තා ඉංජිනේරුවරයෙක්. නමුත් පවුලේ ව්‍යාපාරවලට දායක වුණා. අම්මා ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ කේටරින් අංශයේ කළමනාකාරවරියක ලෙස සේවය කළා. මට සිටින්නෙ එක් සහෝදරයෙක් විතරයි. එයා පදිංචිව සිටින්නේ එංගලන්තයේ. මම විවාහකයි. මහත්තයාගේ නම කවිංග විජේසේකර. අපි දෙදෙනාට දරු දෙදෙනෙක් සිටිනවා. පසුගිය දාහත් වසරක වගේ කාලයක් අපි සිටියේ එංගලන්තයේ.

 


● නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ?
දරු දෙදෙනාට ශ්‍රී ලාංකීය අගය වටහා දිය යුතුයි. ඒ වගේම ලෝකයේ කොතැන හිටියත් මාත් මගේ සැමියාත් වඩා කැමැති අපේ ශ්‍රී ලංකාවටයි.

 


● ඇයි එදා ඔබ එංගලන්තයට ගියේ?
උසස් පෙළ විභාගය සමත් වූ පසු නීතිය ගැන හැදෑරීම අපේක්ෂාව වුණා. අන්න ඒ නිසා තමයි එංගලන්තයට ගියේ. විශාඛාවේ පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේදී මම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. ටෙනිස්, රුවල් ඔරු, විවාද කණ්ඩායම, නර්තන, රංගන ඔය ආදී බොහෝ අංශ සඳහා දායක වූ පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක මෙන්ම ඒ කණ්ඩායම්වල නායකත්වය ද දැරුවා. සංගීතයට, බැලේ නර්තනයට මෙන්ම ගායනයට සමීප වුණේ ප්‍රාථමික පංතිවල සිටියදීමයි. වතාවක එම අංශයෙන් හොඳම යොවුන් ශිල්පිණිය ලෙසත් සම්මාන ලැබුවා. ඔරු පැදීමේ අංශයෙන් ජාතික ශූරිය වී වතාවක ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළා. මේ සියලු දේ අවසන එංගලන්තයට ගියේ නීතිය ගැන වැඩිදුර හැදෑරීමටයි. නීති උපාධිය සඳහා ඉගෙන ගන්නා අතරේ මගේ ජීවිතයට වඩාත් සමීපව තිබුණු සංගීත කටයුතු සඳහාත් වඩා උනන්දු වුණා. 

 


● ඉන්පසුව ඔපෙරා ගායන ශිල්පිණියක වුණේ කොහොමද?
කලාව සහ සංගීතය කෙරෙහි මගේ ඇතුළාන්තයෙන්ම තිබුණේ ගැඹුරු ආදරයක්. නමුත් මේ තරම් දුරකට විශ්ව සංගීතයට සමීප වේවි යැයි හිතුවේ නැහැ. ඒක මගේ අරමුණ වුණෙත් නැහැ. නීතිය සඳහා උපාධි ද්විත්වයක් ලබා නීතිඥවරියක වූ පසු දිනෙක ගිම්හාන සෘතුවේදී සංගීත පාසලකට ගියා. සංගීතයට තිබුණු බැඳීම නිසයි එතැනට ගියේ. එහිදී එම පාසලේ මහාචාර්යවරයකු මට හමුවුණා. ඔහු සමග සුහද කතාබහක යෙදෙමින් සිටියදී එතුමා මගේ හඬ ගැන උනන්දු වුණා. ඔබ නීතිය ගැන ඉගෙන ගන්නා සරසවිය අසල තමයි කටහඬ අභ්‍යාස පුහුණු කරන හොඳම ගුරුවරිය සිටින්නෙත්. ඉතින් නරක ද ගිහින් ඇය හමුවුණොත් කියලා එතුමා මට කිව්වා. මම එහෙම කියන්නෙ ඔයාගෙ හැකියාව ගැන මට දැනෙන නිසයි කියලත් එතුමා කිව්වා. ඒ අනුව “පැමෙලා කුක්” ගුරුතුමිය යටතේ හඬ පුහුණුවට යොමුවුණා. එය මගේ ජීවිතයේ විශාල භාග්‍යයක් වුණා.

 


● ඇය නිසාද ඔබ ඔපෙරා ගායිකාවක වුණේ. නැතිනම් වෙන මොන විදියටද?
එතුමියගෙන් දැනුම් සම්භාරයක් උකහා ගත්තා කිව්වොත් නිවැරදියි. ඉන්පසුව ඔපෙරා ශිල්පිණියක වීම සඳහා අයදුම්පතක් යොමු කරන්න කියා එතුමිය කිව්වා. පුංචි උත්සාහයක් ගන්න, හරිගියොත් හරි, නැත්නම්, ඔයා නීති අංශයෙන් ඉදිරියට යන්න කීවා. ඒ අනුව කටයුතු කළ නිසා මාව තේරුණා. එම අංශයේ උපාධිය දක්වාම ඉගෙන ගත්තා. ඒ සඳහා ශිෂ්‍යත්වයක් පවා ලැබුවා. ඔපෙරා ශෛලියේදී මගේ අංශය වුණේ උච්චතම ස්වර අභ්‍යාස ප්‍රගුණ කළ රිද්මයයි. ඒ මුළු පංතියෙන්ම ප්‍රධාන ඔපෙරා කණ්ඩායම සඳහා එම අංශයෙන් ශිල්පිණියන් දෙදෙනෙක් පමණක් ඇතුළත් වුණා. ඉන් එක් ශිල්පිණියක ලෙස මාව තේරුණා. මගේ ජීවිතය වෙනස් කළ අරුම පුදුම මොහොත වුණේ “රෝයල් ඔපෙරා හවුස්” හෙවත් රාජකීය ඔපෙරා කණ්ඩායම හා එක්වීමේ භාග්‍යය ලැබීමයි. තරුණ ගායිකාවන් සඳහා වසර දෙකක වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබුණා. ලෝකයේ සිටින විශ්ව සංගීතයේ විශිෂ්ටයන් යටතේ එහිදී දැනුම ලබා ගැනීමට මට හැකි වුණා. ඒ තැනට ප්‍රවේශවීම අතිශය දුර්ලභ අවස්ථාවක්. අවසන ඉහළතම ස්වරයෙන් 
ගයන එකම ශිල්පිණිය ලෙස මාව බඳවා ගත්තා. එනම් එකම සුප්‍රානො ගායන රිද්මයේ ශිල්පිණිය ලෙසයි.

 


● සුප්‍රානො ශෛලියේ ගායන ශිල්පිණියක වීම අතිශය බැරෑරුම් කටයුත්තක්ද?
මම මා ගැන ආත්ම වර්ණනාවක් කර ගන්නවා නොවෙයි. විශ්ව සංගීතය ඇසුරු කරන, එය රසවිඳින පිරිස එහි ඇති බැරෑරුම් බව ගැන දන්නවා. අතිතාරස්වර ගායන රිද්මයේ ශිල්පිණියක වීම, එනම් උස් හඬකින් නාද කරන, ඒ අතරිනුත් උච්චතම ස්වර පරාසයෙන් ගයන ශිල්පිණියක වීම අතිශය අසීරු කටයුත්තක්. ඒ සඳහා ඉගෙනීම්වලට අමතරව බොහෝ පුහුණු අභ්‍යාස කළ යුතු වෙනවා. මම මේ උච්චතම නැතහොත් අතිතාරස්වර ශෛලියේ මධ්‍යම ස්වරයකින් 
ගයන ශිල්පිණියක කිව්වොත් වඩා නිවැරදියි. සංගීතය යනු එක් තැනෙකින් නිමා නොවන, තව තවත් පුරුදු - පුහුණු සහ ප්‍රගුණ කළ යුතු සාගරයක් බදු විෂයයක්. ඔපෙරා ශෛලියේ ගීත නාටක ඉදිරිපත් කරන ආකාරයේ විවිධ ශෛලීන් තියෙනවා. අන්න එය තමයි ශ්‍රී ලාංකීය ප්‍රජාවට පැහැදිලි කළ යුතු දේ වන්නෙ. මේ අතිතාරස්වර හඬ විතරක් උපයෝගී කරගෙන ඉදිරිපත් කරනු ලබන අවස්ථාවකදී දෙදහසක් - තුන්දහසක් පමණ සිටින ප්‍රේක්‍ෂකාගාරයකට ඒ හඬ මුදා හරින්නෙ මයික්‍රෆෝන් මගින් නොවෙයි. තම මුළු සර්වාංගයෙන්ම ප්‍රගුණ කළා වූ හඬ තමයි සජීවීව මුදා හරින්නෙ. එවැනි දෙයක් කිරීමට නම් ස්වර අභ්‍යාසයේ ගැඹුරු පුහුණුවක් ලබා තිබිය යුතුයි. සුප්‍රානො (අතිතාරස්වර) හඬ මුදා හැරීම සඳහා සංගීතයෙහි බොහෝ දේ ප්‍රගුණ කළ යුතු වෙනවා. ඔපෙරා භාෂා රිද්මය හා වඩාත් බැඳුණු භාෂාව වන්නේ, එනම් මුල් තැන වන්නේ ඉතාලි භාෂාවයි. මේ අධ්‍යයනය වෙනුවෙන් ඉතාලියට ගිහින් ඒ භාෂාව පවා පුරුදු වුණා.

20-Rasap-p1-1-(5)

ඔපෙරා ප්‍රසංගයකදී...

 


● මේ විදියට සංගීතය වෙතින් ගමනක් යන ඔබට, මෙවර 68 වැනි නිදහස් දින සමරු උළෙල ප්‍රසංගයේදී ගීයක් ගැයීමේ අවකාශය ලැබුණේ කොහොමද?
පසුගිය දෙසැම්බරයේදී මගේ ප්‍රසංගයක් කොළඹ දී පැවැත්වුණා. එම ප්‍රසංගය අවසන ලැබුණෙ ඉතාමත් යහපත් ප්‍රතිචාර. මේ මොහොතේදී තමයි මට ආරාධනයක් ලැබුණෙ. ඊට විශේෂිතම දේ වුණේ එදා ඔපෙරා ශෛලියේ ගීතවලට අමතරව ඒ ශෛලියට අනුගාමීව “දන්නෝ බුදුන්ගේ” ගීතය ගැයීම නිසයි. විශ්ව සංගීතයෙහි අභාසය ලද මම මගේ රටට මගේ භාෂාවෙන් යමක් කළ යුතුයි. මා උගත් දේ රටට ලබාදීම මගේ යුතුකමක්. සුප්‍රානො ශෛලියෙන් ගීත ගැන කතා කළොත්, ප්‍රංශ, ජර්මානු, ඉතාලි මෙන්ම යුරෝපයේ අනෙකුත් රටවල භාෂාවන්ට අදාළව ගැයෙනවා. ඉතින් මගේ රටේ ගීතයක් එම ශෛලියෙන් දෙසැම්බර් ප්‍රසංගයේදී ඉදිරිපත් කළා. ඊට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා තමයි නිදහස් දින උළෙලට ආරාධනා ලැබුණාම මේ ගීතය ගැයුවේ. මම ශ්‍රී ලාංකික දියණියක්. පිට රටකින් ආ කෙනෙක් නොවෙයි.

 


● “දන්නෝ බුදුන්ගේ” ගීතයම ඊට තෝරා 
ගත්තේ ඇයි? මේ සුප්රානේ ශෛලිය සිංහල ගීතයට ගැළපෙනවා යැයි ඔබ විශ්වාස කරනවාද?
සංගීතයට භාෂාවක් තියෙනවාද? සංගීත රසවින්දනයට ජාතියක්, ආගමක්, භාෂාවක් නොවෙයි වැදගත් වන්නෙ. එය රසවිඳින විදිය විතරයි. සංගීතය යනු විශ්වීය භාෂාවක්. එය  වින්දනය සඳහාම පමණක් වූ විෂයයක්. රසවිඳීමේ පරාසය එකිනෙකාට වෙනස්. 

 


● නමුත් මේ විදියට ඔපෙරා ශෛලියෙන් මෙම ගීතය ගැයීම නිසා ඔබට එල්ල වූ විවේචන බොහෝමයි. එහෙම නේද?
මම හදවතින්ම ශ්‍රී ලාංකික දියණියක්. රටේ බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙන පාසලකින් උගත් දියණියක්. මේ විදියට, විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවි හරහා මට විවේචන එල්ල වුණේ සංගීතය ගැන වූ හරය බොහෝ දෙනාට නොවැටහෙන නිසා වෙන්න ඇති. ඒ වගේම ආණ්ඩු විරෝධී ආකල්ප දරන අය මේ විදියට විවේචන පටන් ගන්න ඇත්තේ ඒ ආකල්ප දරාගෙන වෙන්න ඇති. සමහරු හිතුවෙ මම දේශපාලන හෝ වෙනත් බටහිර ආකල්ප මේ රටට ගෙනැල්ලා දාන්න ආ කෙනෙක් කියලයි. එක්කෝ ජාතියට විරුද්ධව දෙයක් කරන්න යනවා කියලත් හිතන්න ඇති. ශ්‍රී ලංකාවට මෙතරම් ආදරය කරන මම මගේ රටට දෙන්නේ හොඳම දේ මිසක නරක දේ නොවෙයි. සිංහල - බෞද්ධ මම මියයන තෙක්ම ශ්‍රී ලාංකීයයි. ලාංකීය ශිල්පිණියක ලෙසයි ජාත්‍යන්තරයේ දී මම පෙනී සිටින්නෙ. පාසල් සමයේ සිට මගේ රටට මම කීර්තියක් මිසෙක අවනම්බුවක් කළේ නැහැ. අපේ සමහර මිනිස්සු හරි කලබලයි. පිංතූරයක් දැක්කා, කටහඬ ඇහුනා, ඊට පස්සෙ කෙනා කවුද යැයි නොසොයා විවේචන කළා. හෙව්වෙ නැහැ, බැලුවෙ නැහැ කවුද මේ කිෂාණි? මොකක්ද මේ ඔපෙරාව? ඔන්න ඔහොමයි බැලුවෙ. මේ විදේශිකයෙක්ද? අපේ භාෂාව කතා කරන්න බැරි කෙනෙක්ද? ඔන්න ඔය විදියට තමයි මුලදි හිතන්න ඇත්තෙ.

 

20-Rasap-p1-1-(1)

 


● ඇත්තටම සිංහල වචන මේ ඔපෙරා ශෛලියට ගැළපෙන්නෙ නැද්ද?
භාෂාව නොවෙයි ප්‍රශ්නය. මෙතැන තිබෙන්නෙ රසවින්දනය පිළිබඳව වූ ගැටලුවක්. මට අවශ්‍ය වුණේ අපේ ගීතයක් ජාත්‍යන්තරයට දැනෙන විදියට මේ ශෛලියෙන් ගැයීමටයි. මම කතෝලික කියලත් සමහරු කිව්වා. මම බුද්ධාගම කන්න ඇවිත් තියෙන්නෙත් කිව්වා. මම සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන සිටියා. ඉවසන්නම බැරි වුණේ සමහර කාන්තාවන් - මට එල්ල කළ විවේචනයි. (සමාජ වෙබ් අඩවි හරහා). කාන්තාවකට ගෞරවයක් ගෙන දුන් කාන්තාවක් ලෙස මා ගැන නොසොයා සමහර කාන්තාවන් කළ කී දේ ගැන මම අතිශයින්ම කනගාටු වෙනවා. මම පොළවේ පය ගහලා කරවල හොද්ද එක්ක පොල් සම්බල එක්ක බතක් කෑමට රුසි සරල කාන්තාවක්. හොඳ සිංහල කාන්තාවක්. මෙතැනදි මම කළේ සංගීතයෙන් මා උගත් දේ වෙතින් ජාත්‍යන්තරයට ගැළපෙන විදියට අපේ දේ ඉදිරිපත් කිරීමයි. එදා මේ ගීතය ගැයූ පසු ඒ අවස්ථාවට සහභාගී වූ තානාපති අංශ ප්‍රභූවරුන් ඇතුලු බොහෝ දෙනාගෙන් ලැබුණු ප්‍රතිචාර හරිම ඉහළයි. ඔපෙරා ගායිකාවක වුවත් මම ඔපෙරා ඇඳුම නොවෙයි එදා භාවිතා කළේ. අපේ දේශීය හොඳ ඇඳුමක්. එතැනදීත් මම වඩා තැන දුන්නේ ලාංකීයත්වයටයි. නමුත් සංගීතය නමැති විශ්ව භාෂාව තේරුම් ගැනීම තමයි වැදගත් වන්නෙ.


 

දන්නෝ බුදුන්ගේ ගීතය කාගෙද?

 

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
ක්ලේෂ නස්නා භික්ෂූ
ඇත්තේය බෝ සේ
රහතුන් නිවාසනා පායා ප්‍රකාශේ

භූ ලෝ මතේ මේ දෙව් ලෝ පෑවා සේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ
සෙවණැල්ලෙන් හිරු රශ්මිය භංගේ

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරු පන්ති පන්ති පීනති බෝ සේ
අනුරාධ නගරය දැන් පේනේ බෝ සේ


සිංහල වේදිකා නාට්‍ය වංශ කතාවේ පුරෝගාමී චරිතය වන්නේ නීතිඥ ජෝන් ද සිල්වා සූරීන්ය. එතුමාගේ නාට්‍ය නිර්මාණ එකතුවේ එක් සුවිශේෂී නිර්මාණයක් ලෙස “සිරිසඟබෝ” නූර්තිය නම් කළ හැකිය. නූර්ති නාට්‍ය කලාවේ ශ්‍රී ලාංකීය සලකුණ ඇති කළ නූර්ති නාට්‍යය ලෙස සැලකෙන්නේ ද මේ “සිරිසඟබෝ” නූර්තියයි. එකල ගීතය විකාශය වූයේ නූර්ති හෝ ටීටර් සමග බැඳී ආ විෂයයක් ලෙසිනි. නමුදු පසුව ගීතය කේවල මාධ්‍යයක් ලෙස විකාශය වීම ඇරඹිණි. එහිදී ද නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් රචිත ගීත වලට හිමි වූයේ විශේෂිත ස්ථානයකි. 


නූර්ති නාට්‍ය සම්ප්‍රදායට පෙර ශ්‍රී ලංකාවේ පැවැතියේ නාඩගම් කලාවය. එහි පුරෝගාමී චරිතය වූයේ ශ්‍රී දොන් බස්තියන්ය. නමුත් ඊට පෙර මෙරට රඟ දක්වා තිබුණේ, බොම්බෙන් (මුම්බායි) සංක්‍රමණික නාඩගම්ය. ඒවා හින්දි - උර්දු - මරාති ආදි භාෂා වලින් විකාශය විණි. ශ්‍රී දොන් බස්තියන් සහ ජෝන් ද සිල්වා සූරීන් ශ්‍රී ලාංකීය සම්ප්‍රදායක් බිහිකිරීමට මුල් වූයේ ඉන් පසුවය. වෙසෙසින්ම නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන් නූර්ති නාට්‍ය කලාවට මෙන්ම එතෙක් එම නාට්‍ය හා බැඳි ආ ගීත කලාවට අපූරු රිද්මයක් එක් කළේය.


මෙම දන්නෝ බුදුන්ගේ ගීතය ඇතුළත් වූයේ එතුමා විසින් රචිත “සිරිසඟබෝ” නූර්ති නාට්‍යය වෙනුවෙනි. ඊට පෙර ජෝන් ද සිල්වා සූරීන් විසින් “දස්කොන්”, “රාමායනය” නූර්ති නාට්‍ය බිහි කර තිබුණද ඔහුගේ ස්වකීය නාට්‍ය කලාවට ආලෝකයක් ගෙන දුන්නේ, “සිරි සඟබෝ” නූර්තියයි. ප්‍රථම වතාවට ඉන්දියානු සංගීතඥ “විශ්වනාත් ලව්ජි” සිරිසඟබෝ නූර්තිය වෙනුවෙන් ජෝන් ද සිල්වා ශූරීන් සමග එක්විණි.


ශ්‍රී ලාංකීය ගීත කලාවකට මුල පිරූ ප්‍රථම සුසංයෝගය ලෙස සැලකෙන්නේ මේ දෙපෙළය. එනම් නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් සහ විශ්වනාත් ලව්ජි සුසංයෝගයයි. සිරි සඟබෝ වෙතින් පසුව මේ දෙදෙනාගේ සුසංයෝගයෙන් තවත් අපූරු නිර්මාණ රැසක් බිහිවිණි.


“සිරිසඟබෝ” නූර්තියේ මෙම ගීතය ඇතුළත් වූයේ, ගෝඨාභය, සංඝතිස්ස සහ සංඝබෝධි යන චරිත ත්‍රිත්වය සඳහාය. මෙම චරිත වෙනුවෙන් දායක වූ නළුවන් තිදෙනා “දන්නෝ බුදුන්ගේ” ගීතය ගයමින් අනුරාධපුරය බලා යන අවස්ථා විකාශය විණි. එම ගීතය මුලින්ම ගැයුවේ කවුරුද යන්න හරියටම සඳහන් නොවූවද, ඩබ්.ඒ. පෙරේරා, ඩබ්.ඒ. අප්පු සිංඤෝ, ඩබ්.ඩී.එස්. ජේම්ස් ගයා ඇතැයි සඳහන් වේ. පසුව හියුබට් රාජපක්ෂ, එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් මෙන්ම ඉන් පසුව තවත් කීප දෙනකු විසින්ද, පසුකාලීනව, පණ්ඩිත් අමරදේව ශූරීන් මෙන්ම විශාරද නන්දා මාලිනියද ඇතුළුව තවත් ශිල්පීහූ කීප දෙනකු විසින් ගයා තිබේ. එලෙසින් හෙට දිනයේද එය සිදුවනු ඇත. 


නමුදු මෙම “දන්නෝ බුදුන්ගේ” ගීතය යනු නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් විසින් රචිත සර්වකාලීන ගුණයෙන් සපිරි ගේය පද රචනාවක් වන්නේය. එහි අති සුවිශේෂී ගුණය වන්නේ එයයි. මේ කිෂාණි නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් හට ඥාතිත්වයක් ඇතැයි ප්‍රකාශ වේ. එයද විශේෂත්වයක් වන්නේ.

 

                    සටහන: සඳුන් ගමගේ                           

 



අදහස් (0)

දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියෙන් ගැයූ කිෂාණි කියන කතාව

චන්දි Friday, 26 February 2016 04:41 AM

මං හිතන්නේ බොහෝ අය පොට පටලවා ගෙන තියෙන්නේ මෙය බුදු ගුණ ගීයක්ය කියල වරදවා තේරුම්ගෙන.දන්නෝ බුදුන්ගේ ගීතය වනාහි අනුරාධ නගරය පිළිබද කෙරෙන පුර වැනුමකි. ගීතය හොදින් කියවා තේරුම් ගන්න. එනත් ආරයකට ගැයූ ප්‍රථම සිංහල ගීතය මෙය නොවේ. එම නුර්තියේම එන "සිරි සඟ බෝධි රජ මාලිගාවේදී " යන ගීතය රැප් කරලා රේප් කරලා කාල විකුණලා අනුභව කරලා හමාරයි. එයට හා හූවක් නොකීව අය අද (දේශපාලන හේතුවක් මත හෝ පුරුද්දට හෝ වීය හැක ) දැරිවියක් එක උත්සවයකට තම උගත් ශිල්පය අනුව ගැයූම ගැන ප්‍රහාර එල්ල කරනවා. එම ගැයුම විවේචන කරන මම දන්නා හුගක් අය සින්දුවක් තාලයට ගායන කරගන්නවත් බැරි ආණ්ඩු විරෝදීන් පිරිසක්. සිංහල බෞද්ද්ධ කම ගැන කතා කලාට ඒ විෂයය දෙකම O / L ෆේල් හෝ සාමාන්‍යය සාමාර්ථ තියෙන්නේ. හොදට හොයල බලන්න.මන් කියන දේ බොරුද කියල. නැත්නම් ගීතය බුදු බැති ගීයක් කියයිද? හැබැයි කිෂානි එකක්, මට නම් ඔය ඔපෙරයි ඔය බටහිර සමහර සංගීතයි පෙන්න බැහැ. එක වෙනම කාරණාවක්. (අ)

:       0       0

ප්‍රසන්න Friday, 26 February 2016 04:54 AM

දිලීප්,වෙන කාල වල නිදහස් දිනවල හින්දි ගායකයෝ ගෙනල්ල බජව් දානවා .මේ සැරේ ඒක එය සංකෘතික ප්‍රසංගයක්, වෙනත් රටවල් අභිබවමින් එම රටවලට අවේනික සංගීත ‍ශෛ ලියකින් ලොව ජයගත්ත අපේ සිංහල කෙල්ලක් තමා ප්‍රගුණ කල එවන් ශෛලියකින් අපේම ගීතයක් ගයා ලොවට පෙන්වීමේ වරදක් ම නම් දකින්නේ නැහැ. සංස්කෘතික උළෙලවල් වල අපි උත්තර භාරතී හින්දි සින්දු කියනවා ,ජපන්නු අපේ බුදු ගුණ ගී ගයනවා ඔවුන්ගේ ආරෙට,හින්දු අය අපේ ගී කියනවා ඔවුන්ගේ ආරෙකට ,අපි තායි නැටුම් නටනවා ,රොක් ආණ්ඩ රෝල්ල් හිප් හොප් නටනවා. ඒ සංස්කෘතික ප්‍රසංග වල.එක අතන කීව එච්චරයි. .නැතුව සල්ලි හම්බකරන්න නෙවේ. කතාකරනවානම් මොන තරම් විකෘති කරපු ගී තියෙනවද හම්බ කරගෙන කන්න කියපුව. (අ)

:       0       0

ආලෝක Saturday, 27 February 2016 06:16 AM

මම කියන්නේ සමහරු මේක බුදුගුණ ගීයක් කියලා හිතාගෙන අදහස් දානවා. උත්සවයකට වරක් කියපු සින්දුවක් මේ වගේ විවේචනයට භාජනය වෙන්නේ ඒ ගායනයට එච්චර බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියලා හිතලද? එතකොට ඒ නාට්‍යයේම තිබෙන සිරිසඟබෝධි ගීතය රැප් කරලා මුදල් වලට නිතර නිතර ගායන කරන එක ගැන කවුරුත් කතා කළේ නැහැනේ. මෙතන තියෙන්නේ වෙන කාරණාවක්. (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 26 February 2016 05:01 AM

හියුබට් රාජපක්ෂ විසින් 1930 දී පමණ ගයා තිබෙන මේ ගීතය කිශානි ගායනා කල ශෛලියට ගොඩාක් සමානයි. හියුබට් රාජපක්ෂත් මේ ගීය ගයා තිබෙන්නේ ඔපෙරා ශෛලියටයි. එම ගීතය අන්තර්ජාලයේ තිබෙනවා. එහෙම බලපුවහම කිශානිට අපහාස කරලා තියෙන්නේ නිසි විශ්ලේෂණයකින් තොරවයි. කොහොමත් අපේ රට ලෝකෙත් එක්ක ගත්තහම ඉන්නේ අවුරුදු 20ක් විතර පස්සෙන්. (අ)

:       0       0

නිම්මි Saturday, 27 February 2016 06:30 AM

ඉතින් ඔච්චර අමාරු නම් ආයෙත් අහන්නේ නැතුව ඉන්නකෝ අනේ. මොකද මේක සල්ලි හොයන්න නිතර නිතර ස්ටේජ් වල ගායනා කරන එකක්වත් ඇල්බම් එකකට විකුණන එකක්වත් නෙමෙයිනේ. (නි)

:       0       0

විශ්ව Friday, 26 February 2016 05:17 AM

ලකී කියපු දේ හරියටම හරි. වැරදි ස්ථානයක, වැරදි ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ, බහුතරයක් නොදන්නා දෙයක් කරන්න ගිය එක තමා වැරැද්ද. මෙතුමිය උගත්, බුද්ධිමත්, දක්ශ කෙනෙක් වෙන්න පුළුවන්. දශක දෙකකට ආසන්න කාලයක් ඉඳලා තියෙන්නේ එංගලන්තෙ. ඒත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව කියන්නේ රටවල් දෙකක්, සමාජයන් දෙකක්, අදහස්-උදහස් වර්ග දෙකක් කියලා තේරුම් නොගැනීම ලොකු අඩුපාඩුවක්. (අ)

:       0       0

නාලී Tuesday, 01 March 2016 10:14 AM

මම යුරෝපයේ වසර 35 පමණ ජීවත්ව විවිදාකාර ශාස්ත්‍රීය සංගීත රටාවන් රසවිඳි අයෙක්මි. මට මෙම ප්‍රවීන කලාකාරිය ගැන ඇත්තේ මහත් වූ කනගාටුවකි. මෙම අවස්ථාව බසයකට සවි කලයුතු නලාවක් මොටෝර් රථයකට සවිකලා වැනියැයි සිතේ. මෙම කලා ප්‍රසංගය සංවිධානය කල අය දේසපාලන පන්දම්වලට පත්වූ අය වියයුතුය. කලාව සහ දේශාභිමානී හැගීම් පිලිබඳ ඔහුනට ඇති අල්ප දැනුම මෙම අවාසනාවන්ත තත්වයට මෙම ප්‍රවීන කළා කාරිය ඇද දැමීමට හේතු පාදක වී ඇතිබව පැහැදිලිය. මම ඇයගේ අසාමාන්‍ය හැකියාව පමණක් අගයමි. (ර)

:       0       0

නිල්මිණි-ජපානය Friday, 26 February 2016 05:28 AM

බොහෝ දෙනා නොදන්නා කරණය නම් "දන්නෝ බුදුන්ගේ" ගීය පුරවර වර්ණනා ගීයක් මිසක් බොදු ඉතිහාසය ගැන ගීයක් හෝ බොදු බැති ගීයක් නෙවෙන බවයි. මුල පේලිය පමණක් බලා "දන්නෝ බුදුන්ගේ" යනු බැති ගීයක් යයි කියන අයට නම් "බුදු තාත්තේ බොන්න එපා" පිය ගුණ ගීයක් විය හැකියි. පර්යේෂණ වලදී සමාජයෙන් ගැරහීමක් ලැබේද කියා බැලිය යුතු යයි කීම පර්යේෂණ ගැන නොදන්නා කෙනෙකුගේ ප්‍රකාශයකි. පර්යේෂණ සමාජ ගෞරවයට පාත්‍ර වන්නේ බොහෝ කාලයක පසුවයි. ඒ සාමාන්‍ය ජනතාවට පර්යේෂණ ගැන වටහා ගැනීමට නොහැකි නිසයි. නමුත් පර්යේෂණ නැවත්වීමට එය හේතුවක් නොවේ.(අ)

:       0       0

වික්‍රම Saturday, 27 February 2016 12:03 AM

කිෂානි, අල සුද්දගේ කෑමක් වුණාට අපි ඒක කන්නේ තෙල් දාලා, හොදි හදලා. නැතුව තම්බලා පොඩි කරලා නෙමෙයි, සුද්දෝ වගේ. ඔපෙරාවේ ශ්‍රී ලාංකික ලකුණ දකින්න ඕනෑ නම් කේමදාස මාස්ටර් කරපු "මානස විල " හරි "පිරිනිවන් මංගල්‍යය" නරඹන්න (නි)

:       0       0

සිරංගිකා Friday, 26 February 2016 12:14 PM

මේ ගායනයේ ඇති කිසිම වැරැද්දක් නෑ.(හේ)

:       0       0

සමීර Friday, 26 February 2016 12:25 PM

මට නම් මේ සින්දුව විතරක් නෙමෙයි එදා තිබුණු මුළු වැඩසටහනම පිස්සු කියන්න තමා වෙන්නේ. (හේ)

:       0       0

කසුන් Friday, 26 February 2016 06:48 AM

තමන්ගේ නිර්මාණයක් කරගෙන ඕන විදිහකට කියාගන්න. පැරණි නිර්මාණ විනාශ නොකර. (බ)

:       0       0

තුසිත Friday, 26 February 2016 01:07 PM

අනේ වෙච්ච දෙයක්.(හේ)

:       0       0

අකලංක Friday, 26 February 2016 07:37 AM

නිල්මිණි, ඔයා මොනවා කිව්වත් මෙම ගීතය මුල් ගායනයෙන් අසන්නට ලැබෙන සමාධිගත සුවය බටහිර අදෝනා ක්‍රමයෙන් ගායනා කලහම ලැබෙනවද? අනික අතුල කිව්වා වගේ වෙන ආගමක ගීතයක් ඔහොම ගායනා කලානම්... (ර)

:       0       0

ප්‍රසන්න Monday, 29 February 2016 04:45 AM

නිල්මිණි ,(මගේ මතකයේ හැටියට )දුටුගැමුණු නුර්තියේ එන .."පෙනෙති ස්ථූප මේ පුරේ ,වදිති ඊට දීප වාසි.. රකිති ධර්ම ශාක්‍ය සිංහ මුනිදු දේශනාව සේ.. ".යන ගීතය පටන් ගන්නේ :සුවද පත්ම ඕලු ආදී කියල නිසා සමහර විට කිශානි සුවද පත්ම ගීතය කීවානම් අපේ ගීත කලාව ගැන ඉතා උනන්දුවක් දක්වන සමහර අය ඒක පුර වර්ණනාවක් ලෙස නිවැරදිව තේරුම් අරගෙන ඒක තවත් ඒක පර්යේෂණාත්මක ගීතයක්ය කියල සද්ද වහල ඉන්න තිබුන.. අර දන්නෝ බුදුන්ගේ ගීතය පටන් ගන්න විදිහට අවධානයෙන් ගීතය අහගෙන නොඉන්න අයෙක් ඒක බෞද්ධ ගීතයක් වරදවා තේරුම් ගන්න පුළුවන්. කොහොමත් අපේ මිනිස්සු හරි හපන්කමක් දක්වනවා විවේචනයට, පදනමක් නැතිව හෝ ඇතිව. ඔය හුගක් විවේචන කරන යාළුවො ගීතයේ අර්ථය කෙසේ වෙතත් පදවත් දන්නේ නැතුව ඇති. (අ)

:       0       0

අජිත් Wednesday, 02 March 2016 01:35 PM

ප්‍රියා, මට දුකයි ඔයා ගැන. මෝඩ කමට බෙහෙත් නැහැනේ. ඔයා හිතනවද ඔය හිතන දේ හරි කියල?(අ)

:       0       0

පුපුදු ප්‍රසන්න Thursday, 25 February 2016 11:01 AM

සංගීතය හොඳින් රසවින්දානම් එදා කවුරුත් නරක කියන්නේ නෑ. එත් ඒ ගැන නොදන්නා පිරිසකුයි අදහස් දැම්මේ කියලයි මට හිතෙන්නේ. එත් මම පෞද්ගලිකව ඒක රසවින්දා. සුබපැතුම් මගෙන් අලුත් දෙයක් කරමින් ලෝකයා ඉදිරියට ලංකාව ගෙනිච්චට. (ර)

:       0       0

ධනුෂ්ක Saturday, 27 February 2016 02:22 AM

සත්‍ය වශයෙන්ම මැය විශිෂ්ට කටහඬක් හිමි දක්ෂ ගායිකාවකි. නමුත් මෙම නිර්මාණය හුදෙක් ලාංකීය සමාජයේ මුල් බැසගත් ගීයක විකෘති අනුවාදයක් පමණි. සංගීතය යනු විශ්ව භාෂාවක් වුවත් තම නිර්මාණය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සමාජයේ රසඥතාවට ගෝචර වන්නේද නැද්ද යන්න තීරණය කිරීම නිර්මාණකරුවා සතු වගකීමකි. එය එසේ නොවීමෙන් මෙලෙස දක්ෂ නිර්මාණකරුවන් සමාජය ඉදිරියේ අවඥාවට ලක්වීම සැබැවින්ම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

සුසන්ත Saturday, 27 February 2016 05:54 PM

සිංහල සින්දු සිංහල සම්ප්‍රදායට තියන්න. බටහිර සම්ප්‍රදායන් බටහිරට ගෙනියන්න. (නි)

:       0       0

නන්දා Thursday, 25 February 2016 05:22 PM

විශේෂයෙන් ආගමක් ඇසුරෙන් ඇතිවුණ මේ ගීය සැමගේ සිත්සතන් වලට කිඳාබැස ඇත. මේවා වෙනස් ආකාරයකින් ගයන්න හොඳ නැහැ. තව කාලයක් ගතවෙනකොට මහපිරිතත් මේ විදියට ගයයිද? (නි)

:       0       0

කුමාර Thursday, 25 February 2016 06:00 PM

කිෂානි, ඔබ ගොඩක් උගත්, දක්ෂ ගායිකාවක් වුවත් මෙතන තිබෙන වරද ඔබට වටහාගන්න නොහැකිවීම ගැන කණගාටු වෙනවා. අපි පර්යේෂණ කරන්න වුවත් යමක් තෝරාගත යුත්තේ සමාජයෙන් ගැරහීමක් නොලැබේය යන විශ්වාසය මත පදනම්ව. එහෙම නොමැති වුවොත් අපගේ පර්යේෂණය ආරම්භයේදීම අසාර්ථක වෙනවා. එය අපගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා. මාද කේමදාස ශූරීන්ගේ ඔපෙරා සංගීතයට කැමැත්තක් දක්වන්නෙක්. එහෙත්‍ ඔබගේ පර්යේෂණය අසාර්ථක වී ඇති බවත්, ඔබගේ ගායනය තුළින් ඔබ ළඟ තිබුනා වූ ගමේකම ඔබගේ සරලකම (ඔබ කියන පරිදි) නැතිවී ගිය සෙයක් ඔබ හට නොපෙනෙන්නේ මන්ද? (නි)

:       0       0

ගොඩ්ෆ්‍රී Wednesday, 02 March 2016 02:24 PM

මෙහි ප්‍රශ්නය ඇත්තේ අප තුලමය.ලොවේ දහස් ගණන් ඇති සංගීත රටා අතරින් ඔපෙරා යනු තව රටාවකි. අප මනසට කිදා බැස ඇති, හරවත්, රසවත්, දැහැමිවත්, බයිලාවන්, මල්කැඩීම්, හා ලිවිමට නොහැකි ගනයේ සංගීත රටාවන්ට සිමාවීම හා කෙනෙකුගේ දක්ෂතාවයන් පිලිගැනීමට අකමැති කමය .(5% පමණ එසේ නොවෙති). භක්ති ගීතයක් ඔපෙරා හඩින් ගයනා කිරීම යනු, රටට ඒ හඩ ඇසෙනුයේ තල්අත්තට බොරළු පෙරලන හඩට සමාන කමකි. ඒ හඩ තුලට බැස රස විදීම අපට නුහුරු නුපුරුදු දෙයකි. භක්ති ගීත රට තුල භාෂා කීයකින්,රටා කීයකින් ගයනා කර ඇද්ද? ඔපෙරා හඩිනුත් ඇසීම වරදක්ද?.ආගමකට අදාල , භාවනා, ගයනා, යැදීම, ගෙන මැය ඔපෙරා හඩින් ගයනා කර වරදක් කර ඇද්ද?. නව පරපුරට පරනදේ රැකදෙනවසේම කිරීමට හැකි අලුත්දේ පෙන්නාදීම අපේ යුතුකමකි. එයින් නව පරපුරට ලොව යැයි කියන රටේ ගමන් කිරීමට අලුත් පාරක් නොවන්නේද? අප දන්නා දේට වඩා නොදන්නාදේ බොහෝ දෑ ලොව සතුව ඇත. (අ)

:       0       0

අතුල Thursday, 25 February 2016 12:01 PM

බුදු දහම සමග සෑම කෙනෙක්ම එක එක පර්යේෂණ, අත්හදබලින් කරන්න ගොඩක් යොමු වෙනවා මොකද බෞද්ධයා කඩු පොලු අමෝරාගෙන එන්නේ නැති නිසා. නමුත් ඔයාගේ ඔය ශෛලිය ඔය ගීතයට ගැලපෙන්නේ නැති නිසා තමා ඔය ගීතේ මුල් ගායනයෙන් තොරව වටිනාකමක් ඉස්මතු නොවෙන්නේ. (ර)

:       0       0

ටෙශාන් Saturday, 27 February 2016 03:14 AM

රටේ මිනිස්සු බහුතරයකට ඇත්තටම එදා ඒ ඉදිරිපත් කරපු ගීතය විකාරයක් පමණයි. ක්‍රිෂාණි මහත්මියගෙන් ඉල්ලා සිටිනවා මින් පසු ඔය සංගීත පරීක්ෂණ එංගලන්තයේ හරි, ඔපෙරාවලට කැමති අපේ රටේ සීමිත පිරිස ඉදිරියේ හරි ඉදිරිපත් කරන ලෙස. (බ)

:       0       0

වජිර Thursday, 03 March 2016 04:47 AM

ඕනෑම ගීයක එහි ඇති තේරුමත් එක්ක කියන විදිය වෙනස් විය යුතුයි. බුදුගුණ ගීය ඒ අනුව හැඩගැස්විය යුතුයි. ආදර ගීතය, විරහ ගීතය, ශෝක ගීත, දේශානුරාගී ගීත, ඒ ඒ අනුව ගැයිය යුතුයි. (ම)

:       0       0

සුරංග Thursday, 25 February 2016 07:18 PM

එවැනි ගීත බෞද්ධයන්ගේ මහත් ගෞරවයට පාත්‍රවූ ගීත. ඒවගේ ගෞරවාන්විත දේවල් වලට ඔය එක එක අපිට නොගැළපෙන අත්හදා බැලීම් නොකර හිටියොත් බොහොම පින්. ඔබගේ හැකියාව අගය කරමු. හැබැයි මින්පසු අත්හදාබැලීම් වෙනුවෙන් මෙවැනි ගීතවල ආත්ම ගරුත්වය කෙළෙසන්න එපා. ඔබ කළ එම ගායනය ගැන කවුරු, කොපමණ සාධරණීකරණය කරන්න උත්සාහ කළත් එය විහිලුවක් පමණි. (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 28 February 2016 11:10 AM

මොනවත් කියන්නත් බයයි අගමැතිතුමාට තරහයයි කියලා. ඒත් මේවා නොකියත් බැහැ. කිෂානි ඇත්තටම අපි ඔබ ගැන හරි ආඩම්බරයි. ඔබ දක්ෂයි. එහෙත් සින්දු තෝරා ගැනීමේදී ටිකක් හිතලා බැලුවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. (නි)

:       0       0

යොහාන් Thursday, 25 February 2016 12:08 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ක්‍රිෂාන් Monday, 29 February 2016 03:26 PM

මේ තර්ක ගැන බය වෙන්න දෙයක් නැහැ නංගී. ඔයා කැමති දෙයක් කරන්න (නි)

:       0       0

කපිල Thursday, 03 March 2016 04:52 AM

කිෂාණි ඔබ ඔපෙරා ශෛලිය හදෑරැවත් මොන අංශයක් ඔස්සේ ඉදිරියට ගියත් මේ සිංහල බොදු අපට කම් නැත. නමුත් යම් යම් දේවල් තීරණය කරන විට ඔබට අවබෝධයක් නොමැතිනම් යම්කිසි බුද්ධිමත් පුද්ගලයෙකුගෙන් එය විමසා බැලිය යුතු නොවේද?. මෙම ගීතය කිසිසේත්ම ඔපෙරා ශෛලියට ගැලපෙන ගීතයක් නොවන බව මෙම ලාංකීය බොදු ජනයාගෙන් විමසූ විට ලැබෙන පිළිතුරයි. (කෞ)

:       0       0

මල්ජින් ද සිල්වා Saturday, 27 February 2016 03:31 AM

ඇය ඉතා මහන්සියෙන් ශිල්පය ඉගෙන තියෙනවා. නමුත්, ගෙඩි පිටින් එය අපේ සංස්කෘතියට පොවන්න හැදුව.ඔපෙරා දන්නා කොළඹ අයට මෙය හොඳ වෙයි. අනික තමුන්ගේ නිර්මාණ හදල පරීක්ෂණ කරොත් වැදගත් නේද. එහෙම බැහැ කියන්නේ එයාගේ හැකියාවේ අඩුවක්.එබැවින් මින් මතු අනුන්ගේ සින්දු ගයා අල නොවෙන්න. (බ)

:       0       0

රොකි Friday, 26 February 2016 03:26 PM

ආලෝක, අනුරාධපුරේ ගැන කීවත් මේකේ මූලික විෂය තේරුම් ගන්න අමාරුයි වගේ නේද? ශ්‍රී දොන් බස්තියන් කියන නම වැරදියි. ඔහුගේ නම සී දොන් බස්තියන්. මේ ගීතය ඉංගිරිසි ආණ්ඩුකාර සොල්බර්ය්සාමිගේ දියණියක් වූ ජොවාන් එලිනෝර් රම්ස්බොතම් 1950 දසකයේදී ගායන කල. මෙහි තැටිය ගුවන් විදුලි සංස්ථාවේ ඇති. ඉංගිරිසි උච්චාරණය මදක්‌ තිබුනත් ඒ සුද්දී මේකට ඔපෙරා ඉස්ටයිල් දැම්මේ නැහැ. කාලෙකට ඉස්සර අපේ රටෙන් ඔලිම්පික් ක්‍රීඩා වලට රට ගිය දුන්කන් වයිට් මහත්තයත් මේ ගීය ගායනා කල බව මම අහලා තියනවා. මේ ගීතයට දැන් එයටම විශ්ෂ අනන්‍යතාවක් තියෙනවා ජනතාව අතරේ. එක තේරෙන්නේ නැත්තේ ඒගොල්ලන් බොහොම ඉහල සුපිරි රසවින්දනයක් තියන නිසා වෙන්නැති. (ර)

:       0       0

ජයන්ත Friday, 26 February 2016 03:28 PM

ඔපෙරා කියන්නේ ලෝක ප්‍රසිද්ධ ගායන ශෛලයක්. හැබැයි අපේ රටේ එය රසවිඳින්නේ සීමිත පිරිසක්. එවැනි තත්වයක, සාමාන්‍ය මිනිසුන් බහුතරයක් නැරඹූ සංගීත ප්‍රසංගයක, දන්නෝ බුදුන් වැනි සුප්‍රකට ගීයක් ඔපෙරා ක්‍රමයට අත්හදා බලන්නට යාම ඇත්තටම අනුවණ වැඩක්. (ර)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 25 February 2016 09:22 PM

කිෂානි, ඔයා තේරුම් නොගත් දෙයක් තිබෙනවා. මේ ගීතය ඔපෙරා ශෛලියෙන් වෙන වැඩසටහනක වෙන දවසක ගැයුවා නම් මේ තරම් විරෝධයක් එල්ල නොවන්න තිබුණා. රටේ ප්‍රධාන නිදහස් උත්සවය දවසේ, මිනිසුන්ගේ හදවත් තුල මුල්බැසගත් අපේ සිංහල බෞද්ධ ඉතිහාසය ගැන කියවෙන මේ ගීතය මේ විදියට එකපාරම වෙනස් වුණාම, මේ විරෝධය සාධාරණයි. (නි)

:       0       0

සංජීව Saturday, 27 February 2016 09:28 AM

අනේ කිෂානි නංගි.. අපේ කබ්බොන්ට මොන ඔපෙරා ද .. ඔය ඔහොමයන්න .. කිසි තැනක නවතින්න එපා වරදින්නෙත් නැහැ .. ඕනෙම ගීතයක් කියන්න පසුබට වෙන්න එපා.. කුහක කම පිරිච්ච්ච මහා සිංහල බෞද්ධ රටේ ඔයාට තැනක් නැහැ.. එකට කම නැහැ .(බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 29 February 2016 03:42 PM

ලාංකීය දියණියක් ඉගෙනගෙන ඇවිත් විශ්ව සංගීතයක්, හදවතින්ම පිදුවා එය ලක්මව වෙත. එහෙත් ලක්වැසියාට නුහුරු නුපුරුදු රිද්මයකින්. එහෙත් එම වරද නිවැරදි කරන්නට තිබුනේ නැද්ද අවස්ථාවක්, පෙරහුරු දවසේවත්? මන්ද යත් ඔබ මෙන්ම සංගීතයට ඇල්මක් ඇති කීපදෙනෙක් ලොව වටා වෙහෙසෙමින්, විශ්ව සංගීතය රට තුලට ගෙන එන්නට උත්සාහ කළත්, රටතුල බිහිවෙමින් පවතින ළදරු හා හිරිමල් වීයෙන් පටන් ගන්නා කෙටි පණිවිඩ, තරු පොකුරු තරඟ අතරේ පවතින සමහර ගායනා ගීතද, කතන්දරද, කවිද යන්නවත් සිතාගන්නට බැරි අවස්ථාද තිබුනත්, රටේ දනන්ගේ දෙසවන් හුරුවීගෙන එන අච්චාරු සම්ප්‍රදායට තවමත් ඔපෙරාව බොහෝ දුර බැවිනි. (නි)

:       0       0

කපිල Friday, 26 February 2016 03:30 PM

ගායනයෙන් ඔබ පියනගා ඇති දුර පිලිබදව ශ්‍රීලාංකිකයෙක් පිලිබදව සතුටුවෙමි. එහෙත් "දන්නෝ බුදුන්ගේ" තෝරාගැනීම නම් කිසිදු ගැලපීමක් නොමැත. අනික අපේ බොහෝ දෙනෙක් අත්හදා බැලීම් සදහා යොදාගන්නේ බෞද්ධ දේවල්මයි. (ර)

:       0       0

අජිත් Tuesday, 01 March 2016 01:14 PM

නාලී, හරිම ලස්සනයි ඔයාගේ පැහැදිලි කිරීම. (ර)

:       0       0

කුමාරි Saturday, 27 February 2016 09:43 AM

නිල්මිණි බලන්න දැන් මොකද කිෂානිට වුනේ? ඕනෑම මොලේ කළදක් හරි තියන කෙනෙකුට තේරෙනවා මෙම ගීතය ඔපෙරා ශෛලයට කියන්න ගිහින් රටේ බහුතරයකින් කිශානිට ලැබුන ප්‍රතිචාරය. කෙනෙකුට නිකම්ම පර්යේෂණයක් කරන්න ඕනනම් මේවා හොදයි.එත් ඉදිරියට යන්න තමන් තෝරා ගතයුත්තේ ආරම්භයක් වශයෙන් ඊටම ගැලපෙන දෙයක් මිස අන් දෙයක් නොවෙයි. කෙටියෙන්ම කියනවනම් දක්ෂ ගායිකාවක් වැරදි තෝරාගැනීමක් නිසා නිකම්ම ගැරහීමකට ලක්වුනා. ඇත්තටම ඔපෙරා වලට ඇලුම් කරන අයෙක් වුවත් මෙය අගය කරවී දැයි සැක සහිතයි. කොටින්ම විකාරයක්. (බ)

:       0       0

පුජිත Tuesday, 01 March 2016 01:40 PM

ක්‍රිෂාන්,ඔව් එයාට කැමති දෙයක් කරන්න පුළුවන්, වැදගත් කියලා පිළිගෙන තිබෙන ආධ්‍යාත්මය පිරුණු ගීත විනාශ නොකර! (නි)

:       0       0

හංසි Wednesday, 02 March 2016 09:14 AM

ඔබ මෙම අවස්ථාවට වෙනත් ගීතයක් තෝරා ගත්තා නම්, තත්ත්වය මීට වඩා බොහෝ වෙනස් වන්නට තිබුණා.(ම)

:       0       0

ආලෝක Friday, 26 February 2016 08:43 AM

අනුරාධ පුරය ගැන වර්ණනා කරන මේ ගීය බුදුගුණ ගීයක් ලෙස වරදවා තෙරුන් ගැනීම කිශානිගේ වරදක් නෙවේ,(හේ)

:       0       0

රොෂාන් Thursday, 25 February 2016 01:15 PM

අනේ වඳින්නම්. බුද්ධ ධර්මයට අදාළ නැති ගීත ඔයාගේ ඔය ක්‍රමයෙන් කියන්න. රටක් වටිනා ගීත කන්න එපා! (නි)

:       0       0

සෙනරත් Thursday, 25 February 2016 01:33 PM

බුදුගුණ ගීයක් ඔපෙරා ක්‍රමයට ගයා දස්කම් දැක්වුවා සේම වෙනත් ආගමක එන වැකි කීපයකුත් ඔබට ඕනෑ හැටියට ගයා පෙන්වන්නට පුලුවන්ද? (නි)

:       0       0

ඕදාත Tuesday, 01 March 2016 07:20 AM

ඔපෙරා ශෛලියෙන් ගායන කල යුතු සහ කල හැකි ගීත රැසක් තිබේ. නමුත් ඔබේ වරද මෙම ගීයම ඒ ආකරෙයෙන් ගායන කීරීමයී. මේ රටේ සංගීතය රස විඳිය නොහැකි පිරිසක් සිටිනවා කියා හිතන්න එපා. එය වැරදි වැටහීමක්! මෙම ගීය වටිනාකමින් ඉහල, නිසි තේරුමක් ඇති බක්ති ගීයකී... ඔබේ ඔය ඔපෙරා ශෛලෙයෙන් වන්නේ එහි හරවත්, රසවත්, දැහැමි බාවය හානි වීමක් පමනයී. කරුණාකර එය තේරුම් ගන්න. (ර)

:       0       0

නිල්මිණි-ජපානය Saturday, 27 February 2016 10:47 AM

කුමාරි, කිෂාණිට මොකුත් වුණේ නම් නැහැ. එයා සංගීත වෘත්තිකයෙක් විදියට අවශ්‍ය දුර ගිය කෙනෙක්. අනික එයාට මොනවා කරන්නද දේශපාලන ඊර්ෂ්‍යාවේ පැලෙන අය? මොළය කළදක් නෙමෙයි මොළය ඩෝල්ටන් එකක්වත් තියෙන කෙනෙකුට තේරෙනවා කිෂාණිට දොස් කියන්නේ කුහක මෝඩකමට කියලා. තනිකරම කුහකකමෙන් පැලෙන ලෝකේ නොදුටු මෝඩ අයගේ ප්‍රතිචාර කිෂාණි වැඩිය ගණන් ගන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රියා Wednesday, 02 March 2016 10:03 AM

මේ තරම් හොදින් පැහැදිලි කරලත් තවමත් දන්නෝ බුදුන්ගේ ගීතය දේශාභිමානී ගීතයක් හෝ බුදු ගුණ ගීයක් කියා හදුන්වමින් වක්‍රාකාරයෙන් ආණ්ඩුවට ඇගිල්ල දික්ක්කරන එකෙන් පේනවා සමහර අයගේ ඇත්තම වුමනාව මොකද්ද කියලා. ඇත්තටම ශාස්ත්‍රීය සංගීත හැදෑරුවෙක් නම් මේ වගේ ප්‍රවීනයෙකුගේ උත්සාහය ගැන නියම අදහසක් ගන්න තිබුනා. මේ ගැන විවේචනය කරන අය මේ ගීතයේ අර්තයවත් දන්නේ නැහැ කියලා පෙනෙනවා. ප්‍රවීණයෝ නිහඩයි. ඉතින් අපිට තියෙන සුසුකම් මොකද්ද මේ වගේ විවේචන කරන්න. එක එක්කෙනාගේ රස වින්දනය වෙනස්. නොඑක් අය තමා ප්‍රවීනයෙක් ලෙස හදුනාදෙමින් මෙහෙ කමෙන්ට්ස් දැම්මත් , ඒ කමෙන්ට්ස් නියමයි කියල එයම නැවත ලිවුවත් ලියන දෙයින්ම ප්‍රවීනත්වය මොකද්ද කියල තේරෙනවා. සමහර අය අන්තර්ජාලයෙන් සොයාගෙන කරුණු දානවා. (ර)

:       0       0

ගාමිණී Monday, 29 February 2016 01:05 AM

අනේ මන්දා? ඇට නැති දිව ඕනෑ පැත්තකට හරවන්න පුළුවන්නේ. වචන වලින් හරඹ කරලා ඕනෑ කෙනෙකුට දිනන්න පුළුවන්. ඒත් යථාර්ථය මොකක්ද කියලා දන්නා අයට තේරෙනවා. ඒ නිසා අපි හරි දේ තෝරාගනිමු. (නි)

:       0       0

ලකී Thursday, 25 February 2016 02:25 PM

ප්‍රසිද්ධියේ යමක් පිරිසකට ඉදිරිපත් කරන්න කලින් බලන්න ඕනෑ ඉදිරිපත් කරන ස්ථානය, සහභාගි වන පිරිස සහ අරමුණ. වැරදි ස්ථානයක, වැරදි ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ, බහුතර ශ්‍රී ලාංකිකයන්ට නුහුරු ඔපෙරා වැනි දෙයක් කරන්න යාම වැරදියි. ගාළු මුවදොර පැවැත්වෙන සංගීත සංදර්ශනයක් කියන්නේ, බොහොම සාමාන්‍ය මිනිස්සු සහභාගිවෙන දෙයක්. ඔපෙරා රසවිඳින පිරිසකට, එවැනි දෙයක් සඳහා සුදුසු සම්භාව්‍ය ස්ථානයක මෙය ඉදිරිපත් කළා නම්, මේ එල්ල වන චෝදනාවන් රැසක් අඩුවෙන්න තිබුණා. (නි)

:       0       0

අරුණ Thursday, 25 February 2016 03:01 PM

අපේ රටේ ඉන්නේ එක රැයෙන් බිහිවුණ සුපර් ස්ටාර්ස්ලා මිසක් සංගීතය ඉගෙනගත් මිනිස්සු නෙමෙයි. සංගීතය රසවිඳින මිනිස්සු ඉන්නේ 1% ටත් අඩුවෙන්. (නි)

:       0       0

ගයාන් Saturday, 27 February 2016 11:49 AM

කිෂාණි, ඔබ දක්ශ ඔපෙරා ගායිකාවක් වෙන්න ඇති. ඒත් ඔබ දක්ෂ සංගීතවේදියක් නෙමෙයි. ඒකයි අපේ සාම්ප්‍රදායික සුභාශිත ගීතයට කෙළින්ම ඔපෙරාව දැම්මේ. ඒක හරියට කේක් එකට මිරිස් දැම්මා වගේ. මේකෙදි මම වික්‍රමගේ අදහසට ගොඩක් ගරු කරනවා. ප්‍රේමසිරි කේමදාස වැනි වියතුන්ගේ අඩුව අපිට ගොඩක් දැනෙනවා නෝනේ. (නි)

:       0       0

නිවන්තක Monday, 29 February 2016 03:18 AM

මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තිබෙනවා (නි)

:       0       0

සේන Thursday, 03 March 2016 08:26 AM

මට හිතෙන්නේ මෙතුමිය සංගීත නිර්මාණය කුසල තාවය සහ ගායන කුසලතාවය පටවාගෙන ඉන්නේ - යාන්තමටවත් සංගීත නිමාන පැත්තට හිත යොමු කලානම් මහජනයාගේ ආදරයට පාත්‍ර වෙන්නේ ඉඩ තිබුනා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 318 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 937 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1427 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site