IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දෙපැත්ත යා කිරීම

ශ්‍රී ලංකා ජනපති ලෙස තෙවන වසරට පාතබා සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේනට මුහුණදීමට සිදුව ඇති අභියෝග වඩ වඩාත් දුෂ්කර වෙමින් හා හිසරදයක් වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාරගත් දිනයේ පටන් ජනපති සිරිසේන උත්සාහ කළේ පක්ෂය එක්සත් කිරීමටය. එහෙත් ඔහු අසාර්ථක විය.මේ හමුවේ පසුගිය තුන් වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය කණ්ඩායම හමුවෙමින් ඔහු ඉල්ලා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අකටයුතුකම් ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙසය.

ජනපති සිරිසේන රාජපක්ෂ හිතවතුන්ට රැකියා දුන්නේය. එය ඔහු සාධාරණීකරණය කළේ රාජපක්ෂට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර ඔහු වඩා සිටින පුද්ගලයන් ඔහුගෙන් දුරස් කළ යුතුව තිබෙන බව කියමින්ය. එතැනින් නොනැවතුණ ඔහු රාජපක්ෂගේ ළගම හිතවතුන්ට රාජ්‍යතාන්ත්‍රික තනතුරු දැරීමට අවස්ථාව ලබා දුන්නේය. එහෙත් යථාර්ථය වූයේ ජනපතිවරයාගේ මෙවැනි ක්‍රියාකාරකම් ඉදිරියේ ඔහුගේ ආධාරකරුවන් මෙන්ම ඔහුට සහය දුන් රටේ ජනතාව ඔහු කෙරේ අමනාප වීමය. ජනපති සිරිසේනට ඔවුන් අහිමි වූ බව කීමේ ද වරදක් නැත.

---------------------------

අමාත්‍ය කණ්ඩායම හමුවී දින 18 කට පසු අපේක්ෂාභංගත්වයෙන් මෙහෙයවුණු ජනපති සිරිසේන පක්ෂය එක්සත් කිරීම උදෙසා තවත් තීරණයක් ගත්තේය. පසුගිය ඉරිදා මහින්ද රාජපක්ෂ සමග හමුවකට සහභාගී වීමේ අවසරය ඔහු පළාත් සභා අමාත්‍යවරුන් හත් දෙනකුට ලබාදුන්නේය. මෙහි අරමුණ වූයේ ඉදිරියේ එන පළාත් සභා මැතිවරණයට මුහුණදීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයත්, මහින්ද රාජපක්ෂ පාර්ශවයත් එක්ව සන්ධානයක් පිහිටුවාගැනීමය. නැගෙනහිර, වයඹ සහ සබරගමුව යන පළාත් සභා මැතිවරණ මෙම වසරේ පැවැත්වීමට නියමිතය.

ප්‍රාදේශීය පාලන ආයතන මැතිවරණ තවමත් නැහැ

රජයේ මුල් පුටු වල සිටින්නවුන්ට මෙම මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්වීමට වුවමනා වී තිබීම අවධානයට ලක් කළ යුතු කරුණකි. දීර්ඝ කාලයක් මුළුල්ලේ නැවත නැවතත් කල් දැමෙමින් තිබෙන ප්‍රාදේශීය පළාත් පාලන ආයතන මැතිවරණය ගැන අදහස් දක්වමින් ඔවුන් පවසා සිටිනුයේ ඒ සම්බන්ධයෙන් තවත් ක්‍රියාමාර්ගයමය ගැටලු ඇති බවත් ඒවා විසඳා ගැනීම කාලය කා දමන බවත්ය. එහෙත් සත්‍යය මෙය නොවේ.  සිරිසේනට පක්ෂ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් රහසේ අදහස් දක්වමින් කියා සිටියේ පවත්නා තත්ත්වය හමුවේ ප්‍රාදේශීය පාලන ආයතන මැතිවරණයකට පිවිසීමෙන් පක්ෂය පරාජයට පත්වීම සහතික බවය. ප්‍රාදේශීය පාලන ආයතන මැතිවරණය දියත් කිරීම සදහා භාවිතයට ගතයුතු ඡන්ද ක්‍රමය ගැන තවමත් එකඟතාවක් නොමැති වීමද මැතිවරණය කල් දැමිීමට තවත් හේතුවක් බව ඔවුහු පැවසූහ. පළාත් සභා මැතිවරණයට සමානුපාතික ඡන්ද ක්‍රමය භාවිතයට ගැනීමට යන බවක් පෙනෙන්නට ඇත. ඇතැම් පළාත් සභා අමාත්‍යවරුන් ජනපති සිරිසේනට පැමිණිලි කරමින් කියා ඇත්තේ පවත්නා තත්ත්වය පක්ෂයට කිසිසේත්ම යහපත් නොවන බවය. මේ හමුවේ රාජපක්ෂ පාර්ශවය සමග කුමන හෝ එකඟතාවක් ඇති කරගැනීම ඉතාම සුදුසු බව ජනපති සිරිසේනගේ ළගම හිතවතුන්ගේ ද මතයයි. ඒ මාර්ගයෙන් පක්ෂය එක්සත් වනවා පමණක් නොව ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට මාර්ගයද පෑදෙන බව ඔවුහු පෙන්වා දෙති. රජයේ අනෙක් පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂය සමග එකගතාවට එළැඹිය නොහැකි කරුණු ගණන ක්‍රමයෙන් ඉහළ යමින් තිබියදී, මෙසේ මෛත්‍රී හා රාජපක්ෂ කදවුරු ඒකාබද්ධ වීම අනිවාර්යයෙන් සිදුවිය යුතුව තිබෙන බව ඔවුන් පවසන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති විකුණා දමලා

හිටපු ජනපතිවරයා හා පළාත් සභා අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය වූයේ කිසිවකු නොසිතූ සම්බන්ධතාවකිනි. එය සංවිධානය කළේ මෛත්‍රී හිතවාදියකු වන සබරගමුව පළාත් සභා අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ පුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු මුත් මහින්ද රාජපක්ෂ හිතවාදියකු වන, කනක හේරත් මහතාය. හිටපු ජනපතිවරයා ද හමුවට එක්වීමට කැමැත්ත පළකළ අතර පළාත් සභා අමාත්‍යවරුන් සමග එතරම් ඇයි හොදැයියක් නොතිබූ තම ප්‍රබල හිතවතුන්ද හමුවට එක්වන බවද සහතික කළේය. හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වත්මන් බස්නාහිර පළාත් සභා අමාත්‍යවරයා වන ඉසුර දේවප්‍රිය මහතා සමග අමනාපය. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, සබරගමුව පළාත් සභා අමාත්‍ය මහීපාල හේරත් මහතා සමග අමනාපය. සරත් ඒකනායක (මධ්‍යම පළාත), ශාන් විජයලාල් ද සිල්වා (දකුණු පළාත), ධර්මසිරි දිසානායක (වයඹ) සහ චාමර සම්පත් දිසානායක (ඌව), හමුවට එක්ව සිටි අනෙක් පළාත් සභා අමාත්‍යවරු වූහ.ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, සහ බන්දුල ගුණවර්ධන, මහින්ද රාජපක්ෂගේ ආරාධනය පරිදි හමුවට සහභාගීව සිටියහ. ඩලස් අලහප්පෙරුම මහතා ආරාධනා ලබා සිටියද, ඔහු නොපැමිණියේය.

තමන් පැමිණියේ ජනපති සිරිසේනගේ ඉල්ලීම පරිදි පක්ෂය නොබෙදන ලෙස රාජපක්ෂගෙන් ඉල්ලා සිටීමට බව පළාත් සභා අමාත්‍යවරු පැවසූහ. මුලින් තම ආරාධිතයන්ට පිළිතුරු ලබා දීමට ඉඩදුන් රාජපක්ෂ පසුව අදහස් පළකළේය.

“ඔබට ඕනෑම වෙලාවක මා හමුවන්නට පුළුවන්. ඒත් ඔබ එක්වෙලා ඉන්නේ පක්ෂයේ සතුරා සමග, එක්සත් ජාතික පක්ෂය සමග. මේ එකඟතාව පවතින තාක් කල් මට කිසිම දෙයක් සාකච්ඡා කරන්න බැහැ.“ ඔහු අවධාරණය කළේය.

දේශපාලනයෙන් ඉවත් වන්නේ නම් තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව පැවැත්වෙන නොයෙක් විමර්ශන කටයුතු අත්හිටුවීමට කටයුතු කළ හැකි බවට තමන් වෙත ආරාධනා ලැබී තිබෙන බව මෙම හමුවේ දී රාජපක්ෂ ප්‍රථම වතාවට අනාවරණය කළේය. ජනපති සිරිසේන රජයෙන් එක්සත් ජාතික පක්ෂය ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් පමණක් තමා පළාත් පාලන අමාත්‍යවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැමැති බව ඔහු පැවසුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයට විකුණා දමා තිබෙන බව ඔහු කීවේය.

“ මෙහෙම තියෙනකොට අපි කොහොමද ඔයාලා එක්ක වැඩ කරන්නේ?“ රාජපක්ෂ විමසුවේය.

තමා 2015 ජනවාරි මස නව වැනිදා දේශපානලනයෙන් විශ්‍රාම ගිය බව රාජපක්ෂ කීවේය.

’‘ ඔවුන් මට සහ මගේ පවුලේ සාමාජිකයන්ට පහර දුන්නා. මම හිතුවේ ඒ තත්ත්වය මාස දෙකක් හෝ හයක් විතර පවතීවි කියලා. මට ඒක තේරුම්ගන්න පුළුවන් මොකද ඒ වගේ දේවල් දේශපාලනයේ වෙනවා. ඒත් අවුරුදු දෙකක් ගිහිල්ලත් ඔවුන් තවමත් ඒක කරනවා. ඔවුන් විපක්ෂ දේශපාලකයන් හඹා හමින් සිටිනවා. ඔවුන් විමල් වීරවංශත් අත්අඩංගුවට ගත්තා. ඒත් ඔහුගේ පක්ෂ සමුළුව අති සාර්ථක අයුරින් පැවැත්වුණා. මැතිවරණය දිනාගන්න ඔවුන්ට මගේ සහය වුවමනායි. කවුද දන්නේ?, සමහරවිට දින්නට පස්සේ, විශ්‍රාම යන්නටය කියලා ඔවුන්ම මගෙන් ඉල්ලා සිටීවි.“

හමුව අවසානයේ උදැෑසන ආහාර භුක්ති විදීමට එක්වන ලෙස පැමිණ සිටියවුන්ට රාජපක්ෂ ආරාධනා කළේය. මේසය මත ආප්ප තබා තිබෙනු දුටු ඔවුන් අතර සිටියෙක්, දැන් තම පිරිස ආප්ප කෑමට පැමිණ සිටි බව මාධ්‍ය වාර්තා වල පළවනු ඇතැයි පැවසුවේය.

“ කමක් නැහැ. ආප්ප කාලා ගිය එක්කෙනා එක්කනේ දැන් ඔයාලා ඉන්නේ,“ රාජපක්ෂ කීවේය. ඔහු එසේ කීවේ රජයෙන් ඉවත් වී ජනපතිවරණයට ඉදිරිපත් වීමට පෙර දින රැයේ මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සමග රාත්‍රී ආහාර වේල භුක්ති විදිමින් සිටි බවත්, ඔවුන් අනුභව කරමින් සිටියේ ආප්ප බවත්, පළව තිබූ මාධ්‍ය වාර්තා සිහිගන්වමිනි.

රාජපක්ෂ හා පළාත් සභා අමාත්‍යවරුන් අතර පැවැති හමුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණද, එයින් මතුවූ රිදී රේඛාව ජනපති සිරිසේනට නියත වශයෙන්ම සුබදායක ආරංචියක් විය. ගෙවුණු සතිය මුළුල්ලේම හිටපු ජනපති රාජපක්ෂ සිටියේ මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයට සහය දක්වන ලෙසට තම පාර්ශවයෙන්ම ඉදිරිපත් වූ ඉල්ලීම් වලට මුහුණදෙමිනි. පසුගිය අගහරුවාදා, විමල් වීරවංශගේ ප්‍රබලම ආධාරකරුවන් තිදෙනකු වන ඇල්ලේ ගුණවංශ හිමි, ගුණදාස අමරසේකර සහ නලින් ද සිල්වා රාජපක්ෂ හමුවූහ. ජනපති සිරිසේනට සහය දක්වන ලෙසත්, ව්‍යවස්ථාමය කරුණු සහ මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියෝය. එහෙත් රාජපක්ෂගේ අදහස වන්නේ විධායක ජනපතිධූරය අහෝසි කළ යුතුව තිබෙන බවය.

නුගේගොඩ රැලිය - සිරිසේනට චෝදනා නැහැ

රාජපක්ෂ පාර්ශවයේ මතය පසුගිය සිකුරාදා නුගේගොඩ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලියේදී වඩාත් පැහැදිලි විය. රැස්ව සිටියෝ පුවරු ප්‍රදර්ශනය කරමින් ආප්ප හොරා යැයි කියමින් ජනපති සිරිසේනට චෝදනා කළද, වේදිකාවේ දේශකයෝ කිසිවෙක් ඔහුට චෝදනා එල්ල නොකළෝය. ඒ වෙනුවට ඔවුන්ගේ දැඩි විවේචනයට ලක්වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයයි. මහින්ද රාජපක්ෂ පමණක්, ජනපති සිරිසේන පිළිබද සදහනක් කරමින්, දේශපාලනයෙන් විශ්‍රාම ගොස් සිටි තමා නැවත එය වෙතම තල්ලු කළේ ඔහු බව පැවසුවේය. මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ද ඔහු ඉතා විවේචනාත්මකව අදහස් දැක්වූයේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ කදවුරේ උත්සාහය දැන් පැහැදිලිය.එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන කදවුරු දෙකඩ කිරීමට ඔවුහු කටයුතු කරමින් සිටින්නෝය. මහ බැංකු බැදුම්කර වංචාව මෙන්ම, බරපතළ වංචා හා දූෂණ වල යෙදී ඇතැයි චෝදනා නැගී තිබෙන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්, මේ සදහා ඔවුන්ට තිබෙන අගනා මෙවලම්ය.

කැබිනට් තනතුරු මාරුවක් ගැන සාකච්ඡා

අගමැතිවරයා දිවයිනේ නොසිටි සමයේ තමා ගත් තීරණ කිහිපයක් සම්බන්ධයෙන් ඔහු දැනුම්වත් කිරීමේ බරපතළ කාර්යය ජනපති සිරිසේන හමුවේ තිබිණ. ස්විට්සර්ලන්තයේ ඩැවොස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගීව දිවයිනට පැමිණ පැය කිහිපයක් ගතවීමට මත්තෙන් අගමැතිවරයා සිටියේ ජනපති සිරිසේන හමුවේය. දෙදෙන අතර හමුව පැවැත්වුණේ පසුගිය ඉරිදා රාත්‍රියේය. සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළෙදාම් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විමර්ශන කොමිසමක් පත් කිරීමට තමන් කටයුතු කරන බව ජනපති සිරිසේන කීවේය. එමෙන්ම කැබිනට් තනතුරු වෙනසක් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඔහු පැවසුවේය. ජනපතිවරයාට සහ අගමැතිවරයාට සමීප ආරංචි මාර්ග පවසා සිටියේ ඒ සදහා තමාට මසක කාලයක් ලබාදෙන ලෙස එහිදී අගමැති වික්‍රමසිංහ, ජනපතිවරයාගෙන් ඉල්ලූ බවය. එහෙත් ජනපතිවරයා පවසා ඇත්තේ මසක කාලයක් ඒ සදහා වුවමනාවට වඩා වැඩි බවය. ඉතාම බරපතළ ලෙස විවේචනවලට ලක් වෙමින් සිටින එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ තනතුරු වෙනස් වීමක් සිදුවිය යුතු බවට ජනපතිවරයා මෙහිදී යෝජනා කළ බවද එම ආරංචි මාර්ග සදහන් කළේය. එම තනතුරු සදහා නව සාමාජිකයන් පත්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයෙන්ම බවද ඔහු පවසා ඇත.දුූෂණ, විපක්ෂ දේශපාලකයන් සමග රහස් ගනුදෙනු, පෞද්ගලික ධන ලාබය තකා ව්‍යාපෘති අනුමත කිරීම්, ආදිය මෙම අමාත්‍යවරුන්ට එරෙහිව නැගී ඇති චෝදනාය.

විමර්ශන කොමිසම

ජනපති විමර්ශන කොමිසමක් ඇති කිරීම සදහා වූ ප්‍රකාශ පත්‍රයට ජනපති සිරිසේන පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ අත්සන් තැබුවේය. මෙම විමර්ශන කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි යටතේ මෙහෙයැවෙන අතර, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති ජෙනරාල් කන්දසාමි වේලුපිල්ලේ එහි සාමාජිකයෝය. කොමිසමේ ක්‍රියාකාරීත්වය තවමත් සකස් කැරෙමින් පවතින අතර ලබන සතියේ එය ගැසට් කැරෙනු ඇත.ජනවාරි 22 වැනිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනපති සිරිසේන පවසා සිටියේ තමා විශේෂ ජනපති විමර්ශන කොමිසමක් ඇති කරන බවය. එහෙත් නීති උපදේශකයන්ගේ උපදෙස් හමුවේ ඔහු තීරණය වෙනස් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කොමිසම ඇති කිරීම සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළ කළේය.

“ මෙවැනි විමර්ශනයක් පැවැත්වෙන එකෙන් ගම්‍ය වෙන්නේ ඇත්තටම වංචාවක් සිදුවෙලා තියෙන බවත්, මහජන මුදල් සම්භාරයක් නාස්ති වෙලා තියෙන බවත්.“ යැයි ඔහු සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

කැබිනට් අමාත්‍යවරුන් ඉදිරිපත් කළ අපරාධ විනිශ්චය කොමිසමක් පිහිටුවීමට ප්‍රථමයෙන් මෙසේ විමර්ශන කොමිසමක් පිහිටුවීමට ජනපති සිරිසේන කටයුතු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුය.එවැන්නක් සිදුකිරීමෙන් ඔහු, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් දස දෙනකු ඉදිරිපත් කළ නිර්දේශ මාලාව පිළිගෙන ඇත.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුවේ නිර්දේශය වූයේ දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකගේ මෙහෙයවීමට නතු, ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතකුගේ සහ විගණන ක්ෂේත්‍රයේ වෘත්තියවේදියකුගේ සාමාජිකයන් දෙදෙනකුගේ සාමාජිකත්වයෙන් යුතු, ජනපති විමර්ශන කොමිසමක් මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලෙසය. කෝප් කමිටුව මේ සම්බන්ධයෙන් පිළියෙළ කර ඇති වාර්තාව පාර්ලිමේන්තු විවාදයකට යොමු කර, පාර්ලිමෙන්තු අනුමැතිය හිමිවූ පසු එය අනෙක් පියවරට යොමු කිරීම පමණක් කිසිසේත්ම නොසෑහෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් කර තිබිණි.

කෝප් කමිටු වාර්තාවට අනුව බරපතළ ගනයේ මුල්‍ය අක්‍රමිකතා සිදුව තිබෙන බවත් එයින් රජයට මහා පරිමාණ ආර්ථික අලාබයක් සිදුව තිබෙන බවත් පැහැදිලිය. පර්පෙචුවල් ටේ‍රෂරීස් මේ හරහා අධික ලාබයක් උපයාගෙන ඇත. ඔවුන්ට ඒ සදහා ගතව ඇත්තේ කෙටි කාලයකි. මෙය සාමාන්‍ය වෙළෙද ගනුදෙනු හා සැසදීමේදී සිදුනොවිය යුතු දෙයකි. විශේෂයෙන් මහ බැංකු අධිපතිවරයා (හිටපු) සහ පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් අතර පවතින සමිීප ඥාති සබදතාව සැක උපදවීමට තුඩු දෙන්නකි. හිටපු මහ බැංකු අධිපතිවරයාගේ මෙන්ම මහ බැංකුවේ ඇතැම් නිලධරයින්ගේ කටයුතු ද මෙම සිදුවීමේ දී බරපතළ සැක උපදවයි. ලෙස එම වාර්තාවේ සදහන් විය.

මහ බැංකු බැදුම්කර වංචාව, පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුව පැය නවයක විවාදයක් පැවැත්වීම දක්වා දීර්ඝ වීමට වස්තු බීජය විය. පසුදිනයේ ජනපති සිරිසේන සිටියේ නාරාහේන්පිට අභයාරාමයේ අඩි 54 ක උසින් යුතු වූ අවුකන බුදුහිමි අනුරුවක් අනාවරණය කිරීමේ අවස්ථාවට සහභාගීවය. මෙහිදී බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ ඉතා ප්‍රබල දේශනයක් සිදුකළහ.එයට ජනපති සිරිසේනද ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූයේය.පහත දැක්වෙන්නේ උන්වහන්සේගේ දේශනයේ සංක්ෂිප්තයකි.බෙල්ලන්විල නාහිමියෝ, කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි ධර්මශ්‍රී සංඝ සභාවේ අනු නායක ධූරය උසුලන්නෝය.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වන්නේද උන්වහන්සේය.

“ ආගමික අවස්ථාවක දී දේශපාලනය ගැන කතා කරන්න මම කැමති නැහැ. ඒත් ජනපතිවරයාත් මෙහි සිටින නිසා මම දෙයක් කියන්න හිතුවා. මේ රටේ ජනතාව අවුරුදු දෙකකට කලින් මහා දේශපාලන වෙනසක් සිදුකළා. ඉතින් ඒකත් එක්ක ජනතාව විශ්වාස කළේ ආණ්ඩුක්‍රමයේ යුක්ති සහගත වෙනසකුත් සිදුවේය කියලා. ඇත්ත, යම් දේවල් සිදුවෙලා තියෙනවා. ඒත් ජනතාව බලාපොරොත්තු වුණේ වංචාව හා දුූෂණය සම්බන්ධයෙන් වෙනසක්. නමුත් කියන්න දුකයි, මේ වෙනස සිදුවෙලා තියෙනවාද කියලා අපට ප්‍රශ්න කරන්න වෙලා තියෙනවා. මම එක උදාහරණයක් දෙන්නම්.“

“මම කිසිම දේශපාලන පදනමක් නැති බෞද්ධ හිමි කෙනෙක්.මම එක පැත්තක් අරගෙන අනෙක් පැත්ත විවේචනය කරන කෙනෙක් නෙවෙයි.මට එහෙම දෙයක් කරන්න වුවමනා නැහැ, මොකද මට රජයෙන් කිසිම දෙයක් වුවමනා නැහැ.මට රජය පෙරළන්නත් වුවමනාවක් නැහැ. මම කතා කරන්න යන්නේ මේ රටේ සිදුවූ අති දැවැන්ත වංචාවක් ගැන.හැම දෙනාම මේ ගැන දන්නවා. කුඩා දරුවෙක් පවා ඔබට මේ ගැන කියාවි. මේක හොරකමක්, වංචාවක්. ඇයි කොමිසමක් පත් කරන්නේ? එක වහලා දාන්නද? ඒක ගැන පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වෙනවා, ඒ වගේම අධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කෙරෙමින් තිබෙනවා. මේ ඔක්කොම විහිළු. ජනතාව හෑල්ලුවට ලක්වෙමින් තිබෙන්නේ. තමන්ගේ හිතවතුන් වූ නිසා මේ වගේ වංචාවක් කරන්න ඒ පුද්ගලයන්ට මෙහෙම අවස්ථා දෙන්න තරම් දේශපාලනඥයන්ට ලැජ්ජාව නැති වෙලාද? අපි ඔක්කොම දන්නවා ඔබ (ජනපතිවරයා) අවංක පුද්ගලයෙක් බවත්, රට වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන බවත්. ආනන්ද හිමියන් කිව්වා වගේ, පාවිච්චි කරන්න ඔබේ බලය. ජනතාව ඔබට මනාපය දුන්නේ වංචාව හා දුූෂණය අවසන් වේය කියා බලාපොරොත්තු තබාගෙන.“

“ මේක අමාරු දෙයක්. ඉතිහාසයේ පළමුවැනි වතාවට ප්‍රධාන දේශපාලන දෙක රට පාලනය කරන්න එකතුවෙලා ඉන්නවා.මේක රට හරි පාරේ යමින් තිබෙන බවට ලකුණක්. ඒක ලේසි දෙයක් නොවෙයි. ශ්‍රී ලංකාව කියන්නේ ආශිර්වාද ලත් රටක්.ඒ නිසාම විදේශිකයන් මතම රදා පවතින්නේ නැතිව ස්වදේශිකයන් බලගැන්විය යුතුයි රට ගොඩනගන්නට. ජනපතිවරයාගේ සිතුම් පැතුම් අවංකයි, ඒ වගේම පැහැදිලියි.මට දැනෙනවා ජනපතිවරයා කිසියම් දෙයක් නිසා හිරවෙලා සිටින බවක්.මේ රටට අලුත් ව්‍යවස්ථාවක් වුවමනා නැහැ.ගැටලු තියෙනවා නම් ඒවා විසදිය යුතුයි.ජනපති බලතල වෙනස් කරන්නට හැකියි, ඒ එක්කම අපිට ඉදිරියට යන්න පුළුවන්.“

“ බුදු දහමට හිමිවෙලා තියෙන තැන ගැන සාකච්ඡා කරන්න කිසිම වුවමනාවක් නැහැ. දැනටමත් බුදු දහමට මුල් තැන දීලා තියෙනවා. විවිධ යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙනවා.එයින් එකක් සමලිංගිකත්වය නිීත්‍යානුකූල කිරීම.ඒක විහිළුවක්, මොකද සමහර විදෙස් රටවල සිදුකරන දේවල් අපට අදාළ කරගන්නට බැහැ. ජීස්පී ප්ලස් සහනය අපට ලැබෙනවා නම් එය සිදුවිය යුත්තේ අපගේ අනන්‍යතාව ආරක්ෂා වන පරිද්දෙන්. ඒක ලබාගන්න අපේ සංස්කෘතිය පාවාදිය යුතු නැහැ.“

“මම මේ දේවල් ගැන කතා කළේ ජනපතිවරයා මෙහි සිටින නිසා. මට ඔහුට දැන්වීමට අවශ්‍යයි අපි විදින දුක.බොදු, ගොවි, දුෂ්කර පවුලකින් එන තමන් සතු බලය වටහාගෙන සිටින ජනපතිවරයාට මේ ගැටලු විසදාගන්න අවශ්‍ය ශක්තිය ලබාදෙන්න අපි කටයුතු කළ යුතුයි.“

ජනපතිවරයාගේ ප්‍රතිචාරය

පහත දැක්වෙන්නේ නාහිමියන්ගේ ප්‍රකාශයට ජනපතිවරයා ලබාදුන් ප්‍රතිචාරයෙන් උපුටාගත් ඇතැම් කොටස්ය.

“ඊයේ මහ බැංකු බැදුම්කර ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වුණා. දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කරගත්තා. රජයේ අය කිව්වේ, දැන් රජයේ නැතිව විපක්ෂයේ ඉදගෙන ඉන්න අය එදා කරපු දේවල් ගැන. විපක්ෂයේ අය කිව්වේ දැන් රජයේ ඉන්න අය, ඒ පැත්තේ ඉදගෙන කරන දේවල් ගැන.ග්‍රාමිීය භාෂාවෙන්ම කියනවා නම් මම කියන්නේ දෙගොල්ලෝම හොදට නා ගත්තා කියන එක. එහෙමයි මම නම් දකින්නේ. කවුරු හරි, කාට හරි හොරෙක් කියලා කියනවානම්, ඒකට හරියට උත්තර දෙන්න ඕනේ අර පළමුවැනි කෙනා එදා කරපු හොරකම් ගැන මතක් කරලා නෙවෙයි. කවුරු කළත් හොරකම හොරකමමයි. වැරැද්ද වැරැද්දමයි. තම තමන්ගේ වගකීම් ඉටුකළ යුත්තේ කොහොමද කියලා හැම දෙනාම දැනගෙන සිටිය යුතුයි.එතකොට තමයි කෙනෙක් ගැන විශ්වාසයක් ඇති කරගත හැකි වන්නේ.“

“බෙල්ලන්විල හිමියනි, ඔබවහන්නේ පැවසුවා කොමිසමක් පත් කිරීම කියන්නේ බොරු වැඩක්ය කියා. මම මේකට පිළිතුරු දීම ගැන ඔබවහන්සේ මට සමා වෙන්න වුවමනායි. මෙම මේ කමිටුව ඇති කළේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නීති කටයුතු පිළිබද විද්වතුන්ගේ උපදේශනය ලබාගෙන. කොමිසමකට පිටතින් කරන විමර්ෂණයක් අවසන් වෙන්න වසර දෙකක් හෝ තුනක් වැනි කාලයක් ගත වෙනවා.“

“ මේක තමයි ඇත්ත.සාමාන්‍ය සම්ප්‍රදා වෙන්නේ කෝප් වාර්තාවක් නීතිපතිවරයාට යොමු කරන එක. කතානායකවරයා අද මට කතා කළා.පාර්ලිමෙන්තුවේ අදහස ඉදිරි දින කිහිපයේදී නීතිපතිවරයාට දැනුම්දෙන බව ඔහු මට පැවසුවා. ඉතින් වාර්තාව නීතිපතිවරයාට ලැබුනු පසු ඔහුට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබෙනවා. නීතිඥ මහත්වරුන් මට දැනුම්දීලා තියෙන හැටියට එයින් එකක් තමයි මේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශනයට යොමු කරන ලෙස දන්වලා, වාර්තාව පොලිස්පතිවරයාට යවන එක. වාර්තාවෙන් නම් කරලා තියෙන අයට එරෙහිව චෝදනා ගොනු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව.“

“ මට ලැබුණු උපදේශ වලට අනුව මේක ඉතාම දීර්ඝ ක්‍රියාවලියක්. සමහර විට අවුරුදු ගානක් ගතවෙන්න පුළුවන්. මට දැනගන්න ලැබිලා තියෙන හැටියට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නත් ඉස්සෙල්ලා මේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවටත්, පොලිස්පතිවරයාටත් යොමු කරලා තියෙනවා අධ්‍යයනය කිරීම සදහා. මම මේ ගැන සොයා බැලුවා.දැනට සිදුකරලා තියෙන පරික්ෂණ වලට අනුව ඔවුන් තීරණය කර තිබෙනවා මේ විමර්ශනය පැවැත්විය යුත්තේ අපරාධයක් ලෙස සලකා නොව සිවිල් කටයුත්තක් ලෙස සලකා බවට.මම ඒකට එකග නැහැ. මට මේක හරි විදිහට කරන්න වුවමනායි. මේ ගැන රටට දැනුම් දෙන්න වෙන්නේ මටයි.“

“මේ රටේ කොමිසම් වර්ග දෙකක් තිබෙනවා. එයින් එකක් තමයි විශේෂ ජනපති කොමිසම. අනෙක තමයි විමර්ශන කොමිසම. මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන්න භාවිතයට ගන්න පුළුවන් හොදම එක තමයි විමර්ශන කොමිසම. ගැසට් නිවේදනයක් ඔස්සේ මෙම කොමිසමට නිශ්චිත කාල රාමුවක් පනවන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ කාලය කොමිසමට බදවා ගන්න විනිසුරුවන්ගේ අදහස් අනුව වෙනස් වන්නට හැකි වුණත්, දීර්ඝ කාලයක් මෙහි කටයුතු ඇදෙන්නට ඉඩ දෙන්න මම එකග වන්නේ නැහැ. මම මේ කොමිසම පත් කළේ, මෙම විමර්ශනය විනිවිදභාවයකින්, අවංකභාවයකින් සිදුවිය යුතු නිසාමයි. වරදක් කර තිබෙනවා නම් චෝදනා ගොනු කරලා, නීතිමය පියවර ගැනීමට රටේ නීතියට අවස්ථාව ලබා දිය යුතුයි.“

“සමහර දේශපාලනඥයන් කියනවා කොමිසමක් පත් කළේ සිද්ධිය යට ගහන්න කියලා. මේ සිද්ධිය යට ගහන්න තරම් හේතුවක් මට නම් නැහැ. වංචාවෙන් හා දූෂණයෙන් පිරී ගොස් තිබුණු රජයකින් මම ඉවත්වුණා. මම එවැනි රජයකින් ඉවත් වුනේ ඒ වගේම පාලනයක් නැවත ඇති කරන්න නෙවෙයි.ඒ බව මම පැහැදිලිව කිව යුතුයි. හොරු ඉන්නවනම්, ඔව් ඒ අය හොරු තමයි. ඔවුන් කවුරු වුණත් වැඩක් නැහැ. මම මගේ රාජකාරිය හරියට කරනවා. ඔවුන් හිටපු රජයේ වුණත්, වත්මන් රජයේ වුණත් මට වැඩක් නැහැ.“

“ මම මගේ කාර්යය හරියට කරනවානම් ජනතාව මා සමග ඉදීවි.පාර්ලිමේන්තුවේ ඉන්න අය, ඔවුන් විපක්ෂයේ හිටියත්, රජයේ හිටියත් වෙනසක් නැහැ, වැරැදිකරුවන්ට එරෙහිව පියවර ගන්නට මම ඔවුන්ගෙන් සහය ඉල්ලා සිටිනවා.“

“ බැදුම්කර ගැටලුව මතු වුණේ පහුගිය අවුරුදු දෙකක කාලයේ. නමුත් එය පහුගිය අවුරුදු හතක අටක කාලයේත් සිදුවෙලා තිබෙන බව පැහැදිලියි. මේ වසර දෙකක කාලයේ සිදුවෙලා තියෙන අක්‍රමිකතා විමර්ශනය කෙරුණායින් පසු, අතීතයේ සිදුවෙලා තිබෙන අක්‍රමිකතා පිළිබද සොයා බලන්නත් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව කියන්න මම කැමතියි.“

“ මේ රට අනාගතය වෙනුවෙන් සුබදායක තැනක් කරන්න මට වුවමනායි. මම ඔබගේ අවවාදය ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අනෙක් රටවල වුවමනාවට මේ රට ගෙනයන්න මම සූදානම් නැහැ.මේ ගැන මම පෙර අවස්ථාවල සදහන් කර තිබෙනවා.“

“සමලිංගිකත්වය නීතිගත කිරීම සම්බන්ධයෙන් කියැවුණා. කැබිනට් මණ්ඩලයේ මේ ගැන සාකච්ඡා වුණු අවස්ථාවේ මමයි එය ප්‍රතික්ෂේප කළේ. ගණිකා වෘත්තිය නීතිගත කිරීමට පවා යෝජනාවක් තිබුණා. එය ප්‍රතික්ෂේප කළෙත් මමයි. රටට හානිකර එවන් යෝජනා කීයක් නම් මම ප්‍රතික්ෂේප කළාද කියලා වුවමනානම් ලැයිස්තුවක්ම කියන්න පුළුවන්.“

“අර්ජුන් මහේන්ද්‍රන් තනතුරෙන් පහ කළෙත් මමයි. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි තනතුරේ පිහිටවූයේ මමයි. වත්මන් විගණකාධිපතිවරයා කාර්යක්ෂම නිලධාරියෙක් බව රටම පිළිගන්නා කාරණයක්. ඒ වගේම රටම පිළිගන්නවා වත්මන් මහ බැංකු අධිපතිවරයාත් එවැනි දක්ෂ නිලධාරියකු බව. මම මගේ රස්සාව හරියට කරනවා. ඒ වගේම වැරැදි නිවැරැදි කරන්නත් මම සූදානම්. එහෙත් කවුරුන් හෝ වැරැදි කරනවානම්, රජයේ වේවා විපක්ෂයේ වේවා, මම ඔවුන් ආරක්ෂා කරන්නේ නැහැ. අවශ්‍ය පියවර ගන්න මම කටයුතු කරනවා.“

“අපි රට ගැන සිතිය යුතුයි. අපි පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන සිතිය යුතුයි.මේ සංයුතියත් එක්ක රට කොහොමද ගෙනියන්නේ කියා අපි සිතිය යුතුයි. ව්‍යවස්ථාවට අනුව අවුරුදු හතරකුත් මාස හයකුත් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට බැහැ. වත්මන් සංයුතිය යටතේ අපි රට ගෙන යා යුතුයි, ආණ්ඩුක්‍රමයට ගැටලුවක් ඇති නොවන පරිදි. මේ ඒකාබද්ධ රජය ඉතාම යහපත් ප්‍රවණතාවක් බව මම විශ්වාස කරන දෙයක්.“
“සාමාන්‍යයෙන් ඕනෑම රජයක් යටත්, ආර්ථික සැලැස්ම කුමක් වුවත්, හොද වැස්සක් වැටුණොත් ආර්ථික වර්ධන වේගය සියයට හතරකට වඩා වැඩියි.මහා සංඝරත්නයේ විවේචන හා අදහස් පිළිගන්න මම සූදානම්. මම කරන්නේ ජනතාවට අවශ්‍ය දෙය. මම කාගේවත් වුවමණාවලට නැවෙන්නේ නැහැ, ජනතාවගේ හැර.“

“අපි අද මුහුණදෙන ගැටලු සියල්ලේ මූලාරම්භය තියෙන්නේ අදින් වසර දෙකකට ඉස්සෙල්ලා.ධූර කාලය අවසන් වෙන්න වසර දෙකක් තියෙද්දී හිටපු ජනපතිවරයා, ජනපතිවරණයක් කැදවූයේ මේ ගැටලු නිසා.මේක තමයි ඇත්ත කතාව. ඔහු ජනපතිවරණයට ගියේ රට ඉතාම දරුණු ගණයේ ආර්ථික අර්බුදයක් හමුවේ සිටිය නිසාත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ රට චෝදනාට ලක්වී තිබුණු නිසාත්. අපි රට බාරගත්තත් එක්ක මේ ගැටලුවලට මුහුණ දෙන්න අපිට සිදුවුණා. යුද අපරාධ සහ විමර්ශනය සදහා විදෙස් විනිසුරුවරුන් පත් කරගැනීම සම්බන්ධයෙන් විසදුමකට එන්න මට පුළුවන් වුණා. විදෙස් විනිසුරුවරුන් පිළිගන්න මම සූදානම් නැහැ.“

“අපට දැන් අන්තර්ජාතික සහය තිබෙනවා. ජාතියක් හැටියට අපි ගොඩනැගෙමින් සිටිනවා. අපිට මුහුණදෙන්නට සිදුවෙලා තියෙන ආර්ථික ගැටලුත් එක්ක, වංචාවට, දූෂණයට, නාස්තියට ඉඩ දෙන්නේ නැතිව වගකීමෙන් තම තමන්ගේ රාජකාරි වල යෙදෙන එක දේශපාලනඥයන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ හා සියලුම දෙනාගේ වගකීමකි. ඒනිසා වැරදිකරුවන් කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න මම සූදානම් නැහැ. ඒත් වැරදිකරුවන්ට දඩුවම් දෙන්න මම සූදානම්.“

යහපාලන රජයෙන් ජනතාව ඈත් වීම

නුගේගොඩ පැවැති රැලියේ ජන සහභාගීත්වය රජය ඉදිරියේ රතු එළියක් දල්වන්නකි. එයින් බොහෝ දෙනා මුදල් ගෙවා ගෙන්වාගෙන ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිවුවත්, යහපාලන රජයෙන් ජනතාව ඈත් වෙමින් සිටින බව නුගේගොඩට රැස්ව සිටි ජනතාවගේ උද්යෝගයෙන් පැහැදිලි විය.
වංචනිකයන් හා දූෂිතයන් නීතිය ඉදිරියට පමුණුවන බවටත්, නිසි දඩුවම් දෙන බවටත් වත්මන් රජය කියමින් සිටින්නේ වසර දෙකක සිටය. එහෙත් මේ දක්වාම සැළකිය යුතු කිසිවක් සිදුව නොමැත. අනෙක් පසින් ජනතාව පවසමින් සිටින්නේ රාජපක්ෂ රජයට වඩා වත්මන් රජයේ දුූෂණ හා වංචා ඉහළ බවය. නිවැරදි තීරණ ගෙන, මෙම තත්ත්වය වෙනස් කිරීමට රජය තවමත් ප්‍රමාද නැත.

Political-Cartoon



අදහස් (0)

දෙපැත්ත යා කිරීම

රංග Thursday, 02 February 2017 06:52 AM

රටට ආදරයක් ඇත්නම් කළයුතු පළමු දේ 'ආර්ථික මෙහෙයුම් කමිටුවේ' සංයුතිය වෙනස් කිරීමයි

:       0       0

දයානි Thursday, 02 February 2017 01:35 AM

අද රටේ ළදරුවෙකුට වුණත් තේරෙන දෙයක් තමා එකිනෙකාට බෝලය පාස් කර කර ඉන්න එක. අපිට තේරෙන දේ නම් දවසින් දවස රට, ජාතිය, ආගම, සම්පත්, විනාශ කරන එක. අපිට අඩනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

අජිත් Thursday, 02 February 2017 09:17 AM

රටට ආදරයක් ඇති අපේ හිටපු ජනාධිපතිතුමා නැවත බලගැන්විය යුතුයි. (ර)

:       0       29

තිළිණ Thursday, 02 February 2017 03:32 AM

දවසින් දවස අරාජිකත්වය කරා යන මේ රට මේ යන විදිහට කොහොමද ගොඩගන්නේ? (නි)

:       0       0

සමන් Thursday, 02 February 2017 05:05 AM

මේ ඔක්කොටම මුල දෙපැත්තේ අය බලයට කෑදරකම. මේ අය රටට ආදරයක් නැහැ. එයාලගේ මඩිය තරකර ගන්න තමයි බලන්නේ. (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 02 February 2017 05:32 AM

දියුණුවට පත්වුණු ආසියානු රටවල් අතළොස්සම එහෙම වුණේ අයෝමය හස්තයක් යටතේ අවුරුදු කීපයක්ම පාලනයවීමෙන්. එහෙම නැතුව මේ රටේ මිනිසුන්ගේ, නිලධාරීන්ගේ ආකල්ප වෙනස් කරන්න කිසිම විදියකින් බැහැ. හොඳම උදාහරණය ප්‍රේමදාස ජනාධිපති සමයේ රාජ්‍ය නිලධාරීන් වැඩකළ අපූරුව. අපේ රටට මේ වෙලාවේ අවශ්‍ය රටට ආදරය කරන එ්කාධිපතියෙක් මිස, ඔය කියන තක්කඩි ප්‍රජාතන්තවාදය නොවේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 580 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 56 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 166 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 206 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 145 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 215 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38818 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site