දෙදහස් දහ නවයේ වූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවත් 2020 දී රට මුහුණ දුන් කොරෝනා වසංගතයත් 2022 දී සිට උදා වූ ආර්ථික බංකොලොත්භාවයත් නිසා ලංකාවේ ජන ජීවිතයට එල්ලවී තිබෙන බලපෑම ඉතා දරුණුය. කාලයකට පසු ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ බවට පත්වන්නේ 2019 සිටය. 2019 දී එය ඍණ 0.2කි. 2020 දී එය ඍණ 4.6කි. 2022 දී එය ඍණ 7.8ක් දක්වා ඉහළ යයි. 2023 අවසන් වෙද්දී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ 3ක් වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකතනය කරයි.
ලංකාවේ සේවා වියුක්තිය 2022 වෙද්දි සියයට 7.4කි. එය එසේ වෙද්දී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව පැවැතියේ ද පහළ වැටෙමිනි. 2022 දි එය ඉතා ඉහළ යයි. එයට හේතුව ආර්ථික බංකොලොත්භාවය නිසා ඇතිවූ බලපෑම්ය. දරිද්‍රතා රේඛාව ලෙස හඳුන්වන්නේ පුද්ගලයකුට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම වියදමය. 2019 න් පසුව එය දිගින් දිගටම වැඩිවෙයි. එයට විශේෂයෙන්ම හේතු වූයේ උද්ධමනය ඉහළයාමය.
සරලව කිවහොත් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමය. ඒ නිසා ලංකාවේ දුප්පත්ම ජන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ යයි. ආර්ථික බංකොලොත්භාවය ජනතාවගේ මුදල් ආදායම පහළ යාමට දැඩි හේතුවකි. ආර්ථික අවපාතය සමග නිෂ්පාදන පහළ යයි. රැකියා අහිමිවෙයි. නව රැකියා බිහි නොවෙයි. උද්ධමනය හා පොලී අනුපාත ඉහළ යයි. ඒ සියල්ල පවුලක ආදායම වෙත දැඩිව බලපායි. ආදායම පහළ ගියාට වියදම් ඉහළ යයි. ඒ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නිසාය.
ආදායම් බෙදීයාමේ විසමතාව රටේ සමාජාර්ථික හා දේශපාලනික ප්‍රශ්න රැසක් බිහිවීමට හේතුවකි. ආදායම් විසමතාව කියන්නේ රටක ආදායම ඒ රටේ සියලු ජනතාව වෙත සමානව බෙදී නොයාමය. ඒ බෙදා හැරීම අඩුවන තරමට අසමානතාව වැඩිවෙයි. 1990 සහ 1991 දී අපේ රටේ දිළිඳු ජනගහනය සියයට 26.1කි. එහෙත් 2016 දී එය සියයට 4.1ක් දක්වා අඩුවෙයි.
ඉන් අදහස් කරන්නේ නිල දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටි ජන පිරිස සියයට 26.1 සිට සියයට 4.1 දක්වා අඩුවූ බවය. ජනතාවගේ ආදායම වැඩිවී තිබෙන බව ඉන් අදහස් වෙයි. දිළිඳුකම අඩු කිරීමට අවුරුදු 40ක් තිස්සේ ප්‍රතිපත්ති සකස් කළාට ඒ කාලයේදී ආදායම් අසමානතාව හෙවත් විසමතාව වෙනස් නොවෙයි. අසමානව ආදායම් බෙදීයාම දිගින් දිගටම සිදුවෙයි.
ලංකාවේ ජීවත් වන මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 57කි. ඒ අතරින් ඉහළම ආදායම් ලබන හෙවත් ධනවත්ම පවුල් සියයට 20 රටේ සමස්ත ආදායමෙන් හෙවත් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 51.3ක් භුක්ති විඳිති. ඒ සියයට 20ට අයිති වන්නේ පවුල් ලක්ෂ 11කි. මා මේ කියන්නේ 2019 ආදායම් වියදම් සමීක්ෂණයේ ප්‍රතිඵලය.
ඒ සමීක්ෂණය කරන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙනි. ඒ සමීක්ෂණයට අනුව රටේ දුප්පත්ම පවුල් සියයට 20 හෙවත් දුප්පත්ම පවුල් ලක්ෂ 11 ට ලැබෙන්නේ රටේ සමස්ත ආදායමෙන් සියයට 4.6කි. ඒ ලංකාවේ ජාතික ආදායම බෙදී යන අවලස්සන ස්වභාවයයි.
ආර්ථික බංකොලොත් භාවයට පෙර එනම් 2019 දී නිල දරිද්‍රතා රේඛාව රුපියල් 6,966කි. ඒ එක පුද්ගලයකුට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම මුදලයි. ලංකාවේ පවුලක සාමාජිකයන් සංඛ්‍යාව 4ක් ලෙස සැලකෙයි. ඒ අනුව 2019 දී සාමාන්‍ය පවුලකට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම මුදල (6,966x4) රුපියල් 27,864කි.
ඒ නිල දරිද්‍රතා මායිම හෙවත් එක් පුද්ගලයකුට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම මුදල 2020 දී රුපියල් 7,397කි. එවිට පවුලකට මාසයක් ජීවත්වීමට 2020 දී අවම වශයෙන් රුපියල් 29,588ක් අවශ්‍ය වෙයි. 2021 දි නිල දරිද්‍රතා මායිම 7,913කි. ඒ අනුව පවුලකට මාසයකට රුපියල් 31,652ක් අවශ්‍යය.
2022 දී එය පුද්ගලයකුට රුපියල් 13,138ක් වී පවුලකට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම මුදල රුපියල් 52,552ක් දක්වා ඉහළ නගියි. එසේ වන්නේ භාණ්ඩ හා සේවා මිල ඉහළයාම නිසාය. ඒ අනුව 2019 සිට 2022 දක්වා වූ අවුරුදු හතරේදී එක් පුද්ගලයකුට හා පවුලකට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම මුදල සියයට 88.60කින් ඉහළ ගොස් තිබේ.
නිල දරිද්‍රතා මායිම හෙවත් එක් පුද්ගලයකුට හෝ පවුලකට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම මුදල එසේ ඉහළ යාමට ප්‍රධානතම හේතුව වූයේ ආහාර හා ආහාර නොවන ද්‍රව්‍යවල මිල ඉහළ යාමය. 2022 ජනවාරියේ සිට ජුනි දක්වා රටේ උද්ධමනය සියයට 52 දක්වා ඉහළගියා අපට මතකය. ඒ කාලයේදි ආහාර උද්ධමනය සියයට 60කින් සහ ආහාර නොවන ද්‍රව්‍ය මිල උද්ධමනය සියයට 45කින්ද ඉහළ යයි. ඒ නිසා ස්ථිර ආදායම් ලබන්නන්ට සේම දිනපතා ආදායම් ලබන්නන්ටද මේ තත්ත්වය දැඩිව බලපායි.
ස්ථිර ආදායම් ලැබූ අයගේ විශේෂයෙන් පෞද්ගලික අංශයේ බොහෝ පිරිසකගේ ස්ථිර වැටුප් හා ආදායම් ද ගෙවුණු අවුරුදු තුනේදී අඩුවී තිබේ. දිනපතා ආදායම් ඉපයූ පිරිසට එල්ලවූයේ මරු ප්‍රහාරයකි. ඒ හේතු නිසා රටේ දුප්පතුන් සංඛ්‍යාව වැඩිවෙයි. ඉහළ නගියි.
ආදායම් අසමානතාව වෙනත් රටවල් සමග ද සංසන්ධනය කර බලමු. ඒ සඳහා භාවිත කරන්නේ ගිනි සංගුණකය හෙවත් ගිනි දර්ශකයයි. 2019 දි ලංකාවේ ගිනි දර්ශකය සියයට 37.7කි. ඉහළම ගිනි දර්ශකයක් තිබෙන්නේ දකුණු අප්‍රිකාවේය. එරට එය සියයට 63කි. ස්වීඩනයේ සියයට 29.3කි. බංග්ලාදේශයේ සියයට 34කි. අඩුම ගිනි දර්ශකයක් පවතින්නේ ස්ලෝවැකියාවේය. එරට එය 23.2කි. ගිනි සංගුණකයේ අගයන් පවතින්නේ බින්දුවේ සිට එක දක්වාය. අඩුම අගය බින්දුවය. වැඩිම අගය එකය. ඒ අතර ඕනෑම ගණනක් විය හැකිය. සියලු අගයන් දශම ගණන්ය.
යම් රටක ගිනි සංගුණකය බින්දුව නම් ඒ රටේ සමස්ත ආදායම සියලු ජනතාව අතර සමානව බෙදී යයි. යම් රටක ගිනි සංගුණකය එක නම් ඒ රටේ සමස්ත ආදායම තනි පුද්ගලයකු සතුවෙයි. එනම් එරට තිබෙන්නේ පරිපූර්ණ අසමානතාවකි. ඒ තොරතුරු අනුව ඉහළම ආදායම් විසමතාවක් දකුණු අප්‍රිකාවේ පවතින අතර අඩුම ආදායම් විසමතාවක් පවතින්නේ ස්ලෝවැකියාවේය. ලංකාවේ ආදායම් විසමතාව සියයට 37.7කි.
රටවල් අතර සේම රට ඇතුළේ නාගරික ග්‍රාමීය හා වතු ලෙස අංශ අතරත් පළාත් හා දිස්ත්‍රික් වශයෙන් ප්‍රදේශ අතර ආදායම් විසමතාව මැනීමටත් ගිනි සංගුණකය භාවිත කළ හැකිය. ලංකාවේ අංශ අතර ගිනි සංගුණකය ගණනය කර තිබෙන්නේ ආදායම් තත්ත්වය අනුව නොව වියදම් මට්ටම අනුවය. පවුල්වල වියදම් අතර පවතින අසමානතාව මත ලංකාවේ ඒ ඒ අංශවල ගිනි සංගුණකය ගණනය කර තිබේ. 2019 දී ලංකාවේ සාමාන්‍ය ගිනි සංගුණකය 0.4කි.
අඩුම ගිනි සංගුණකය හෙවත් අඩුවෙන්ම වියදම් කරන්නේ වතු අංශයේ ජනතාවය. වැඩියෙන්ම වියදම් කරන්නේ නාගරික ජනතාවය. නාගරික හා ග්‍රාමීය අංශ දෙක සමග වතු අංශය සංසන්දනය කළහොත් වතුකරයේ පවුල්වල වියදම් අතර පවතින්නේ අඩු අසමානතාවකි.
ලංකාවේ පහළම ආදායම් ලබන්නේ වතුකරයේ ජනතාවය. දෙවැනි පිරිස වැඩිහිටියෝය. අනතුරුව දිනපතා ආදායම් ලබන්නෝය. පැල්පත්වාසී ජනතාව ඊළඟටය. ඒ සියල්ලන්ටම ජීවිකාව දුෂ්කරය. වර්තමාන ලංකාවේ සෑම පවුල් 10 කින් පවුල් අටක්ම උපයන්නේ ආර්ථික බංකොලොත් භාවයට පෙර ඉපයූ ආදායමට වඩා අඩු ආදායමකි.
සෑම පවුල් 10කින් හතක්ම ආහාර ගන්නේ වේල් දෙකක් හෝ එකකි. ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ රටේ ජන ජීවිත ඉතාමත් අඳුරු ආගාධයක වැටී තිබෙන බවය. මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පැවැති කාලයේ රටේ මෙවැනි තත්ත්වයක් තිබුණේ නැත. දැන් රටේ පවතින්නේ දිළිඳුකමේ අන්තයට ගමන් කරන තත්ත්වයකි.
ලංකාවේ වර්තමාන ආදායම් විසමතාවට ආසන්න වශයෙන් බලපා තිබෙන්නේ රටේ ආර්ථිකමය බංකොලොත් භාවයයි. ආර්ථිකය කඩා වැටීම, මූල්‍යමය ක්ෂේත්‍ර කැළඹීම, ආයෝජන නැතිවීම, ව්‍යාපාර වැසීයාම, රැකියා අහිමිවීම, ආදායම් හා වැටුප් අඩුවීම වර්තමාන ආදායම් විසමතාවට ආසන්නතම හේතුය.
කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථා නැතිවීම, නව නිර්මාණ කිරීමට නොහැකිවීම, අපේක්ෂා භංගවීම, මන්දපෝෂණය, ලෙඩ රෝගවලින් පොහොසත් සමාජයක් බිහිවීම මේ ආදායම් විසමතාවේ ප්‍රතිඵල වෙයි. ඕනෑම රටක ආදායම් විසමතාව ඕනෑවට වඩා වැඩි වුවහොත් එමගින් සමාජයේ ඒකාබද්ධතාව කඩා වැටෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුවයි. එමගින් ආර්ථික වර්ධනය ද පහළ වැටෙන බවද මූල්‍ය අරමුදල කියයි.
ආදායම් විසමතාව අඩු කිරීමට නම් පළමුව වර්තමාන ආර්ථික අර්බුදයේ බලපෑම් අවම කළ යුතුය. ආර්ථික අර්බුදයට, බංකොලොත්භාවයට බලපෑ හේතු පළමුව ඉවත් කළ යුතුය. ප්‍රධාන වශයෙන් කළ යුත්තේ දේශීය ආර්ථිකය ගොඩනැගීමය. රට දැන් සිටින්නේ විශාල ණය අර්බුදයකය. ඒ ණය දේශීය වශයෙන් සේම විදේශීය වශයෙන්ද පවතී. ඒ ණය ගෙවීමට විධිමත් කිසිම සැලසුමක් තිබෙන බවක් අදටත්, දැනටත් නොපෙනෙයි. ණය අරගෙන ණය ගෙවීමක් අදටත් ප්‍රදර්ශනය වෙයි.
විදේශීය ණය ගෙවීම තාවකාලිකව නවතා තිබේ. දේශීය ණය ගෙවීමට තවත් ණය ගැනීම අදටත්, දැනටත් සිදුවෙයි. ණය ගෙවීමට තවත් ණය ගනිද්දී දැනට තිබෙන ණයවලට වඩා ණය ගැනීමට සිදුවෙයි. හේතුව ණය වාරිකවලට අමතරව පොලියද ගෙවිය යුතු බැවිනි. ණය ගෙවීමට දිගින් දිගටම ණය ගැනීමෙන් රටේ ණය කන්ද තවත් ඉහළ යයි. ණය උගුලේ තව තවත් පැටලෙයි.
ණය ගෙවිය හැකි ක්‍රම දෙකකි. එකක් ණය ගෙන ණය ගෙවීමය. අනෙක ආදායම් උපයා ණය ගෙවීමය. ආදායම් උපයමින් ණය ගෙවීමට ලංකාවට දැනටත් කිසිම සැලසුමක් තිබෙන බවක් නොපෙනෙයි. එහෙයින් අප පළමුව කළ යුත්තේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමය. දේශීය ඉතිරි කිරීම් ශක්තිමත් කළ යුතුය. ආයෝජන දිරිමත් කළ යුතුය. නිෂ්පාදන ප්‍රවර්ධනය කළ යුතුය. එසේ කළහොත් පමණක් දැනට හකුළුවමින් සිටින ආර්ථිකයට යළි පණ ලැබෙයි. එවිට දැනට ආදායමක් නැති ජනතාවට ආදායම් ලැබෙයි.
දැනට යම් ආදායමක් තිබෙන අයගේ ආදායම් ඉහළ නගියි. ආර්ථිකය හා රට ගැන ජනතා විශ්වාසය යළි තහවුරු වෙයි. ඒ සඳහා මහා වියදමක් කළ යුතු නොවේ. පළමුව කළ යුත්තේ යටිතල පහසුකම් සැලසීමය. රටේ දේශීය කර්මාන්ත රැසක් පවතී. ඒ ඔස්සේ අපනයන වර්ධනය කළ හැකිය. එහෙත් ඒ සඳහා දැනටත් කිසිවක් සිදුනොවෙයි. දැනට සිදුවෙමින් පවතින්නේ මෙතෙක් කලක් කළ අපනයන පවා අධෛර්යවත් කිරීමය.
දේශීය ආර්ථිකය පණ ගන්වා මෙමගින් සාමාන්‍ය ජනතාව කරා ආදායම් ගලායාමට සැලැස්වීම ප්‍රධාන හා මූලික කාර්යයක් විය යුතුය. ආදායම් වැඩි අයගෙන් වැඩියෙන් බදු අය කර අඩු ආදායම් ලබන අයට සහනාධාර දීමෙන් ආදායම් විසමතාව අඩු නොවන බව අවුරුදු 75ක අත්දැකීම්වලින් අවබෝධ කරගත යුතුය. තේරුම්ගත යුතුය. දැනට ලංකාවේ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය හේතුවී තිබෙන්නේ ආදායම් විසමතාව ඉහළ යාමටය.
කළ යුත්තේ සහනාධාර දීම නොව ආදායම් උපයා ගැනීමට අවස්ථා සැලසීමය. එසේ නොකළොත් දිගින් දිගටම මේ ආදායම් විසමතාව තව තවත් වර්ධනය වෙයි. සහනාධාර දිය යුතුම නම් දිය යුත්තේ ඒවා ලැබීමට සුදුස්සන්ටමය. එහෙත් සහනාධාරදීමෙන් ආදායම් විසමතාව තුරන් නොවේ. එය තුරන් කළ හැක්කේ රටවැසි සියලු දෙනාට ආදායම් උත්පාදන මාර්ග සකසා දීමෙන් පමණකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මුදිතා කරුණාරත්න
සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුප්පතුන් වැඩිවීමේ අවාසනාව
pakeer Thursday, 18 May 2023 08:36 PM
බොහෝ දෙනා ශ්‍රමය සූරාකෑමකට ලක් වී ඇත. රජයේ සෑම රැකියාවක්ම ශ්‍රේණිගත කිරීමකට ලක්කළ යුතුය. හම්බ කරන එක කෙසේ හෝ යටිමඩි ගසමින්, බොරු කරමින් කවුද වැඩගන්නේ..? බැරි කෙනාවම මිරිකන් කන එක තමයි සිරිත...
රංගන Friday, 19 May 2023 02:34 AM
ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඉතා වැදගත් කරුණු ඇතුළත් ලිපියකි..
s.m.u.b.samarakoon--pgia Tuesday, 23 May 2023 10:11 AM
හොඳ ලිපියක්... ඔබව දැකීමත් සතුටුයි... තව ලියන්න...!
Rasika Wednesday, 24 May 2023 08:45 AM
2021 දි ආර්ථිකය ධන වුණා. විපක්ෂ කණ්ඩායම් සහ ඇමරිකාව ඇතුලු බටහිර රටවල් එකතු වෙලා අරගලයක් පටන් ගත්තා ලංකාවේ නූගත් මිනිස්සු අල්ලගෙන (නූගත් යනු උපාධියක් නැති වීම නොවේ යන්න මගේ අදහස). ලංකාවේ උගත් යයි කියා ගන්නා කොටස ආත්මාර්තතකාමී හෝ බුද්ධියක් නැති අය. අරගලයෙන් රට නැවත පස්සට ගියා...