IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දුම්රියේ අගය නොදැනීම

කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන ආර්ථිකය හා
සැලසුම්කරණය පිළිබඳ මහාචාර්ය
සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි
ලලිතසිරි ගුණරුවන්

කොරෝනා පැතිරීම නිසා වසා දැමුණු රට ඔක්තෝබර් පළමුවැනි දා සිට නැවත විවෘත විය. එහෙත්, මගීන් උදෙසා දුම්රිය ධාවනයට අවසර දී නැත. එසේ දුම්රියට වැට බැන්දේ කවුදැයි මා නො දන්නා නමුත් එහි ප්‍රතිවිපාක ගැන නම් විග්‍රහයක් කිරීම අත්‍යවශ්‍ය වෙයි. මේ ප්‍රයත්නය ඒ උදෙසාය.

රට විවෘත වූ පසු එළැඹුණු සඳුදා උදෑසන තම අවශ්‍යතා උදෙසා කොළඹ දෙසට මහා මාර්ගයේ ගමන් කළ පිරිස්වලට නම් මා අත්දුටු දෑ රහසක් විය නොහැකිය. විශේෂ වශයෙන් නුවර පාර ඔස්සේ පෑලියගොඩට පැමිණ කැලණි පාලම් මතින් අගනුවරට පිවිසීමේ දී සහ ගාලු‍පාර ඔස්සේ පානදුර දෙසින් මොරටුව හරහා කොළඹ දෙසට ඒමේදී උදෑසන මාර්ගයේ තිබූ තදබදය පැහැදිලිව පෙනෙන්නට ඇත.  ඒ බව දෑසින් දැකීමට පෙරම පුරෝකථනය කිරීමට මේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැළි පර් යේෂකයන්ට හැකි වුව ද රට විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු නිර්දේශ තීරණය කරන්නන්ට ඒ හැකියාව හෝ අවශ්‍යතාව තිබිණි දැයි මම නොදනිමි.

පසුගිය ඔක්තෝබර් 4 වැනි සඳුදා පානදුරේ සිට කොළඹට මෝටර් රථයෙන් ගමන් කිරීමට මා හට පැය එකහමාරක් පමණ ගත විය. පාසල් වසා ඇති පසුබිමක එවැනි කාලයක් ගතවීම සැලකිල්ලට ගත යුත්තකි. ඉන් ගම්‍ය වන්නේ ගාලු‍ පාරේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 15 කටත් අඩු වූ බවයි. ඉන් උද්ගත වන අනිවාර්ය ප්‍රතිඵලයක් වන්නේ වටිනා මිනිස් පැය ගණනක් මහාමාර්ග තදබදය තුළ සමාජ-ආර්ථිකයට අහිමි වීමයි. තව ද, රටට ඉතාමත් හිඟ විදේශ සම්පත් වැය කරමින් ආනයනය කරන ලද ඉන්ධනවල අකාර්යක්ෂම දහනය නිසා ඇති වන ආර්ථික නාස්තිය මෙන් ම ඒ නිසා පරිසරයට මුදා හැරෙන දුම හා ඉන් මහජන සෞඛ්‍යයට ඇතිවන අහිතකර බලපෑම ද සුළු පටු නොවේ. මේ අනිසි ප්‍රතිඵල අවම කරගනිමින් ම මිනිස් සංචලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය උපායමාර්ගික ප්‍රවේශයක් වන්නේ ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් ජනනය කළ හැකි, මාර්ග ඉඩකඩ අරපිරිමැස්මෙන් භාවිතා කෙරෙන සහ තදබදය හා වායු විමෝචනය අවම කරන්නා වූ  ප්‍රවාහන මාධ්‍ය භාවිතය දිරිගැන්වීමයි.

පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතයට ඉහළ නැඹුරුවක් ඇති කිරීමට සහ මෝටර රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය භාවිත වෙළෙඳපොළ කොටස හැකිතාක් අවම කිරීමට ප්‍රතිපත්ති හා උපාය මාර්ග තේරීම සිදු කළ යුතු බව අනාදිමත් කාලයක පටන් ප්‍රවාහන විද්වතුන් විසින් පෙන්වා දෙන ලද්දේ මේ අරමුණෙනි. මේ සියලු‍ ගුණාංගවලින් පෙරමුණ ගන්නා වූ සහ මහාමාර්ග තදබදයට කිසිසේත් දායක නොවන්නා වූ දුම්රිය ප්‍රවාහනයට පොදු ප්‍රවාහන මාධ්‍ය අතරිනුත් වැඩි හා සුවිශේෂී අවධානයක් යොමු විය යුත්තේ මේ තත්ත්වය තුළ දී ය.

උපාය මාර්ගික අවශ්‍යතාව එය වුව ද, කොරෝනා වසංගතය පැතිරීම නිසා වසා තැබුණු රට විවෘත කිරීමේ දී සිදු වූයේ අනෙකකි. පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතය අවම කෙරෙන ලෙස සහ දුම්රිය ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර කෙරෙන ලෙස තීන්දු තීරණ ගෙන ඇත. කොරෝනා වසංගතය පැතිරීමට පොදු ප්‍රවාහනය ඉවහල් වන නිසා සෞඛ්‍යමය අවශ්‍යතාවලට ප්‍රමුඛතාව දෙමින් උපාය තේරිය යුතු බැවින් පොදු ප්‍රවාහනය සහ විශේෂයෙන් දුම්රිය ප්‍රවාහනය අධෛර්ය කිරීමට තීරණය කළා විය යුතු ය. එහෙත්, එසේ නිගමනය කිරීමේ දී පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයන්ට යොමු වීමට අත-මිට සරු නැති පුංචි පන්තියේ මගියා ගැන පමණක් නොව ඒ තුළ උද්ගත වන ජාතික ආර්ථිකමය හා සමාජමය අහිතකර බලපෑම් පිළිබඳව ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වනු ලැබුවේ ද යන්න ගැටලු‍වකි.

පළමු කොට අපි දුම්රිය මගියා දෙසට හැරෙමු. එදිනෙදා ගමන් සඳහා තුන්වැනි පන්තියේ යන දුම්රිය මගියා ගෙවන්නේ කිලෝමීටරයකට රුපියල් 1.30 කටත් අඩු මුදලකි. කාර්යාල වේලාවල් තුළ ගමන් ගන්නන් අති මහත් බහුතරය වාර ප්‍රවේශපත්‍ර භාවිතා කරන බැවින් ඒ අය ගෙවන්නේ කිලෝමීටරයකට සත 55 ක් පමණකි. රජයේ සේවකයන්ගෙන් අය කෙරෙනුයේ සත 20 කි. උදාහරණයක් ලෙස කළුතර සිට කොළඹට කිලෝමීටර 45ක් දුම්රියෙන් ගමන් ගන්නා පෞද්ගලික අංශයේ සේවය කරන මගියකු වාර ප්‍රවේශ පත්‍රය සඳහා එක දිශාවකට එක ගමනක් වෙනුවෙන් වැය කරන්නේ රුපියල් 25 ක පමණ සාමාන්‍ය ගාස්තුවකි. රජයේ සේවකයකු නම් එම ගාස්තුවේ දෛනික සාමාන්‍යය රුපියල්  10 කටත් අඩු ය.

මෙවැනි අඩු දුම්රිය ගාස්තු මට්ටම් මේ ලොවේ වෙන කොහිවත් නොතිබීමට ඉඩ ඇති නමුත් රජය විසින් යම් සමාජ-ආර්ථික හෝ දේශපාලන හේතු මත එම අඩු ගාස්තු නියම කර ඇත. එවැනි තත්ත්වයක් තුළ දුම්රිය නොමැති නිසා විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමට දුම්රිය ප්‍රවේශපත්‍ර හිමියාට සිදු වීම යනු ඔහුට සිදු කෙරෙන බලවත් අසාධාරණයකි. දුම්රිය නැති නිසා බසයෙන් ගමන් කිරීමට වුවද කළුතර සිට කොළඹ තෙක් තනි ගමනකට රුපියල් 85 කට වැඩි බස් ගාස්තුවක් ගෙවීමට ඔහුට සිදුවෙයි. පෞද්ගලික අංශයේ සේවය කරන දුම්රිය මගියකුට නම් එය ආසන්න වශයෙන් තුන් ගුණයකට අධික වැය බරක් වන අතර රජයේ සේවකයකුට නම් අට ගුණයකට අධික වැය බරකි.

බස් රථය වෙනුවට මෝටර් බයිසිකලයක් වැනි තම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් යොදා ගැනීමට ඔහුට සිදු වන්නේ නම් එම වැය බර තව ද කීප ගුණයකින් වැඩි වෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ තත්ත්වයට මුහුණ පෑමට දුම්රිය මගියා කර ඇති පාපය කුමක් ද? ඒ වෙනුවෙන් මෙම නිර්ණායක තීරකයන් දෙන සහනය කුමක් ද?

දෙවැනිව, අපි ජාතික ආර්ථිකයට මේ දුම්රිය තහංචිය නිසා ඇති කෙරෙන අනිටු බලපෑම විමසා බලමු. කොවිඩ් වසංගත තත්ත්වයට පෙරාතුව බස්නාහිර පළාත තුළ දෛනිකව ගමන් කළ දුම්රිය මගී ගමන් වාර සංඛ්‍යාව ආසන්න වශයෙන් ලක්ෂ දෙකකි. එය මගී කිලෝමීටර ලක්ෂ 24 ක් පමණ වෙයි. රට විවෘත කළ පසු දුම්රිය ධාවනය නොවන නිසා මේ සමස්ත මගී සංඛ්‍යාව බස් රථ වලින් ආසන ගණනට කොළඹට පැමිණ ආපසු සවස තම ගම් පළාත්වලට ගමන් කරනු ඇතැයි සිතුවහොත් ඒ උදෙසා දැනට වඩා බස් කිලෝ මීටර 60,000 ක් පමණ අමතරව ධාවනය කළ යුතු වෙයි.

දුම්රිය හා බස් රිය අතර මගී කිලෝමීටරයකට යෙදවිය යුතු සාමාන්‍ය ඩීසල් ප්‍රමාණයේ වෙනස අනුව ගණන් බැලූ විට මෙම මගී සංඛ්‍යාව බස් රිය වලින් ප්‍රවාහනය කිරීම සඳහා දිනකට ඉන්ධන ලීටර 13000 ක් පමණ වැඩිපුර අවශ්‍ය වෙයි. ඒ උදෙසා රටේ ආර්ථිකයට වසරකට රුපියල් මිලියන 400 කට අධික අමතර ඉන්ධන පිරිවැයක් දැරීමට සිදු වනු ඇත. මෙම සමස්ත මගී සංඛ්‍යාවම යතුරුපැදි වලින් යනු ඇතැයි සිතුවහොත් රටට ආනයනය කිරීමට සිදුවන අමතර ඉන්ධන ප්‍රමාණය දිනකට පෙට්‍රල් ලීටර 33000 ක් පමණ වනු ඇති අතර එහි අමතර පිරිවැය වසරකට රුපියල් මිලියන 1500 (කෝටි 150) ඉක්මවනු ඇත.

තමන්ට ගෙදර නතර වීමට සිදු වුවත් දුම්රිය වෙනුවට මෝටර් රථය සිය විකල්ප ප්‍රවාහන මාධ්‍යය ලෙස යොදා ගැනීමට මෙම අහිංසක දුම්රිය මගීන්ට නොහැකි බව සත්‍යයක් නමුදු හුදු සංසන්දනය උදෙසා ඔවුන් ද මෝටර් රථ වලින් ප්‍රවාහනය කිරීමට සිදුවන්නේ යැයි උපකල්පනය කළහොත් ඒ උදෙසා දිනකට රුපියල් කෝටි දෙකකට, හෙවත් වසරකට ඩොලර් මිලියන 30කට ආසන්න අමතර ඉන්ධන වියදමක් දැරීමට දුප්පත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වනු ඇත.

රටේ ප්‍රතිපත්ති තීරකයන් ඇතුළු නිලධාරීන් පමණක් නොව සාමාන්‍ය මහජනතාව පවා ඒ තරම් සැලකිල්ලට නොගත්ත ද රටේ ආර්ථිකයට හා විශේෂයෙන් ඉන්ධන වැය බර සැහැල්ලු‍ කිරීමට දුම්රියෙන් ලබා දෙන දායකත්වය පිළිබිඹු කිරීම සඳහා මෙම තත්ත්වයම වුව ද ප්‍රමාණවත් බව පැහැදිලිව පෙනී යා යුතුය.

දුම්රිය දඬුකඳේ ගැසීමෙන් රටට සිදු වන අගතිය එපමණක් නොවේ. අමතර පෙට්‍රල් ලීටරයක් දහනය වූ විට කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 2.4 ක් පරිසරයට මුදා හැරෙයි. බස්නාහිර පළාතේ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සියලු‍ දෙනා එක දිනක් මෝටර් සයිකලයෙන් කොළඹ ආවොත් පරිසරයට මුදා හැරෙන අමතර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 75 ක් ඉක්මවනු ඇත. මේ අමතර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පරිසරයෙන් ආපසු උරා ගැනීමට නම් හොඳින් වැඩුණු ඝර්ම කලාපීය ගස් ලක්ෂ 11 ක් පමණ හෙවත් අක්කර 5000 ක පමණ වන වගාවක් අලු‍තින් අවශ්‍ය වෙයි. එසේ අමතර වනාන්තර නොමැති වුවහොත් වසරක් තුළ දී පරිසරයට එකතු වන වැඩිපුර කාබන් ප්‍රමාණය ටොන් 6400 ක් පමණ වෙයි.  

ඒ කාබන් නතර වන්නේ පෞද්ගලික වාහන වල සැපසේ යමින් පරිසරයට විස දුම එකතු කරන්නන්ගේ නොව පාරේ පයින් යන අහිංසක පදිකයන්ගේ සහ විශේෂයෙන් කුඩා දරුවන්ගේ පෙනහලු‍ තුළයි. කොරෝනා පැතිරීමෙන් බේරීමට දුම්රියට විලංගු දැමීම මහජන සෞඛ්‍යයට ගැළපෙන්නේ කෙසේ දැයි වෛද්‍ය විශේෂඥයන්ම පැහැදිලි කර දිය යුත්තේ ඒ නිසා ය.

තවද, දුම්රිය නොමැති වීම නිසා බස්නාහිර පළාත් දුම්රිය මගීන් ගෙන යාමට පමණක් බස් නම් 330 ක පමණ, මෝටර් රථ නම් 12000 ක් පමණ සහ යතුරුපැදි නම් 16000 ක් පමණ ආසන්න වශයෙන් අලුතින් මහපාරට අවතීර්ණ විය යුතුය. ඒ තරම් වාහන සංඛ්‍යාවක් දෛනිකව පාරට ආවොත් කෙබඳු තත්ත්වයක් උදා වනු ඇති ද?

වාහන තදබදය තුළ එක තැන බොහෝ වේලාවක් රැඳී සිටීමට සිදු වනු ඇත. මින් පෙර ද සඳහන් කළ පරිදි මිනිස් පැය බොහෝ ගණනක් මහමඟ නාස්ති වී යනු ඇත. එය වැළැක්වීමට කෝටි ගණනින් ලෝකෙට ණය වෙමින් මහාමාර්ග - අධිවේගී මාර්ග - ඉදිකිරීමට සිදු වනු ඇත. ඒවා ද ඉතා සුළු කාලයකදී වාහනවලින් පිරී යයි.

මගීන් හතළිහක් සහිත බස් රියක් වෙනුවට ඒ මගී සංඛ්‍යාව ගෙනයාමට කාර් යොදා ගනු ලබන්නේ නම් සෑම කාර් රථයකම හතර දෙනකු බැගින් හැම විටම ගමන් කරන්නේ යැයි උපකල්පනය කළ ද ඒ උදෙසා කාර් 10 ක් අවශ්‍ය වනු ඇති අතර ඊට බස් පහක පමණ මාර්ග ඉඩකඩක් වුවමනා වෙයි. යතුරුපැදි හෝ ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් වුව ද මාර්ග ඉඩ කඩ භාවිතයේ දී උද්ගත වන්නේ එවැනිම අකාර්යක්ෂම තත්ත්වයකි. ඉන් පෙනී යන්නේ අධික වශයෙන් විදේශ ණය බරක් දරමින් ඉදි කෙරෙන මහාමාර්ග ඉඩකඩ ඉතා අවප්‍රශස්ත ලෙස භාවිතා කරන්නේ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයන් බවයි.

මහාමාර්ග ඉදිකිරීමට, සංවර්ධනය කිරීමට හා නඩත්තු කිරීමට වැය කෙරෙන මුදල් එම මහාමාර්ග භාවිතා කරන ඇති-හැකි මෝටර් රථ ධාවකයන්ගෙන් අය කර නො ගැනීම ද අවධානයට යොමු විය යුතු තත්ත්වයකි. අධිවේගී මාර්ගවල යම් අයකිරීමක් කළ ද ඒ මාර්ග වෙනුවෙන් ගත් ණය ගෙවීමට - පොලී ගෙවීමට හා නඩත්තුවට අවශ්‍ය ප්‍රමාණවත් අයකිරීම් සිදුවේ දෑයි ප්‍රශ්න කළ යුතු ය.

එහෙත්, අධ්‍යාපනයට - සෞඛ්‍යයට යෙදවෙන රාජ්‍ය සහනාධාරවල කාර්යක්ෂම උපයෝජනය ගැන මැසිවිලි නඟන නව ලිබරල් ආර්ථික දෘෂ්ටිවාදීනට සල්ලිකාර මෝටර් රථ ධාවකයන් වෙනුවෙන් යෙදවෙන මහාමාර්ග සහනාධාරය පෙනෙන්නේ නැත.

 අවාසනාව වන්නේ මේ රටේ හරි හමන් පාරක් නැති කමින් කිලෝමීටර ගණන් පා ගමනින් පාසල් යන හද්දා පිටිසර දුවා දරුවන්ගේ දෙමාපියන් පවා විදේශ ණය මත අධිවේගී මාර්ග ඉදිකිරීමේ හා විවෘත කිරීම් අසා මෝඩ වින්දනයක් ලැබීමයි.

රාජ්‍ය ආදායමෙන් පහෙන් හතරක්ම වක්‍ර බදු වලින් සපයාගන්නා රටක දුප්පතාගේ සීනි හැන්දෙන් පවා බදු අයකරමින් එකතු කෙරෙන රාජ්‍ය වියදමින් පොහොසතුන්ට නොමිලේ හෝ සහන මිලට ඉගිලෙන්නට සුපිරි පාරවල් හැදීම විකෘතියක් පමණක් නොව පාපයක් බව කිසිවකුට නොපෙනීම ගැටලු‍වකි.

කොරෝනා උවදුර නිසා අගතියට පත් වී ඇති සේවා ක්ෂේත්‍ර ඇත්නම් පළමු තැනට පත් වන්නේ පොදු ප්‍රවාහනයයි. විශේෂයෙන්ම දුම්රියයි. දුම්රියෙන් - බස් රියෙන් මගීන් ඈත් කර තැබීම ඉතා පහසුය.

එහෙත්, එසේ ඈත් වන්නන් නැවත පොදු ප්‍රවාහනයට ඇදගැනීම නම් අති දුෂ්කර වනු ඇත. විවිධ සමාජ-ආර්ථික හේතු නිසා දුම්රිය වෙළඳපොළ කොටස කාලයක පටන් පැවැතියේ ක්‍රමයෙන් පහත වැටෙමිනි. එ සේ වූ දුම්රියට කොරෝනා සම්බාධක නිසා වැදී ඇත්තේ මරු පහරකි. ගහෙන් වැටුණු පසු ගොනා ද ඇනීමකි. නැවත ගොඩගත හැකි දැයි සැක සිතෙන තරමට අසාධ්‍ය කිරීමකි. දුම්රියෙන් ජනනය කළ හැක්කා වූ ඉතා අගනා සමාජ-ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ අප රටට  හා පුරවැසියාට අහිමි කිරීමකි. රට ඉදිරියේ බරපතළ ආර්ථික ප්‍රශ්න වැලක් නිර්මාණය කිරීමකි. කොරෝනා පාලනයට පොදු ප්‍රවාහනය සහ විශේෂයෙන් දුම්රිය සේවය මරා දැමෙන්නේ නම් එහි ගැබ් වී ඇත්තේ අටුව කඩා පුටුව හැදීමක් විනා අටුවත් පුටුවත් දෙකම බේරාගැනීමේ විද්‍යාත්මක විසඳුමක් නම් විය නොහැකි යැයි මා සිතන්නේ එබැවිනි.



අදහස් (13)

දුම්රියේ අගය නොදැනීම

සිසිර කුමාර Monday, 11 October 2021 11:46 AM

ප්‍රවාහනය අවශ්‍ය වන්නේ ඇයි. මුලින්ම එය සීමා වන පරිදි කටයුතු කලයුතුය. ප්‍රවාහනය විලාසිතාවක් බවට පත්ව ඇත්තේ ඇයි? එය වලක්වා ගත යුතුය. සරලව කිව හොත් පානදුර නගරයේ කීර්තිමත් පාසල් ගණනාවකි. එහෙත් පානදුරේ කී දෙනෙක් කොළඹ පාසල් වල නම නිසා එහි යත්ද?රජයේ හෝ වෙනත් තැනක වැඩක් කරගැනීමට කී වතාවක් එම ස්ථාන වෙත බඩ ගෑ යුතුද නීතිමය කටයුතු වැනි කටයුතු උදෙසා කොපමන වාරයක් මිනිසුන් ඔබමොබ ගමන් කලයුතුද. මුලින්ම මේ ප්‍රමාද සහ කටයුතු කාර්යක්ෂම කොට මිනිසුන් හට ඇවිදීමට ඇති අවශ්‍යතා අඩු කලයුතුවේ.ප්‍රවාහනය විලාසිතාවක් ව ඇත්තේ කෙසේද. මොටෝ රියකින් ගමන් කිරීම මහා සමාජ තත්වයක් ලෙස සැලකීමට ලාංකිකයා පෙලබ සිටී. ඒකත් වඩා සුඛෝපභෝගි වීම තවත් අගනේය. විසදුම වන්නේ නාගරික පාරවලට මුදල් අයකිරීමත් පෙට්‍රල් අඩුම තරමින් රු.300/-වත් කිරීමයි .එහෙත් මෙහිදී ගුවන් සමාගම් වැනි දුප්පතෙක් පය නොතැබු ආයතන ගැන ඉන්දියාවෙ මෙන් කටයුතු කිරීමද දුම්රිය පුද්ගලික අයිතියට වැඩි කොටස් පැවරීමද අවශ්‍යය.

:       3       6

මගියෙක් Monday, 11 October 2021 08:14 PM

මේ වනවිට ලංකාවේ රාජ්‍ය ආයතන සියල්ලක්ම වගේ දුෂිත යූනියන්ස් මාෆියා කණඩායම් ග්‍රහණයට නැතුව ඇත. දුම්රිය දෙපර්තමෙන්තුව තුලද එක එක අංශය වෙනුවෙන් යූනියන්ස් මාෆියා කණ්ඩායම් පිහිටුවාගෙන ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලික කළයුතු වේ. එමගින් මගීන් හට කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට හැකි නම් දුම්රිය ගමන් ගාස්තුව සුළු මුදලකින් වැඩි වුවත් මගින් චෝදනා නොකරනු ඇත. ලංකාවේ විදුලි සන්දේශ දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමෙන් ඉතා කාර්යක්ෂම සේවාවක් මේ වනවිට සිදු කරනු පෙනේ. එම නිසා රටේ අනගතය ගැන සිතා දුෂිත යූනියන්ස් මාෆියා වන විසුරුවා හැරීම හෝ නීතියෙන් තහනම් කළ යුතුවේ.

:       1       10

Subani Monday, 11 October 2021 04:08 PM

ඉතා අනගි විශ්ලේෂණයකි. මෙහි සඳහන් නිර්දේශයන් ක්‍රියාවට නැංවිය හැකිනම් වටී...

:       10       3

chamari Tuesday, 12 October 2021 02:31 AM

කන්ටේනර් යවන්න බැරි නිසා මොනෝ රේල් එපා කිවේ මෙතුමා නේද ? අඩුගානේ සිංගප්පුරුවට චපාති එකක් කන්ඩ ගියකෙනෙක් මෙහෙම කියන්නේ නෑ . දැන් කියනවා "පානදුරේ සිට කොළඹට මෝටර් රථයෙන් ගමන් කිරීමට මා හට පැය එකහමාරක් පමණ ගත විය" කියලා. විග්‍රහ විතරයි කරකර ඉන්නේ.

:       0       36

sriyantha tissera Tuesday, 12 October 2021 07:34 AM

ඉතා වටිනා ලිපියකි.

:       16       1

nalin Tuesday, 12 October 2021 10:27 AM

මේ අර බඩු පටවන්න බෑ කියලා LRT එපා කියපු කෙනා. මුන් වගේ අය නිසා තමයි රටට වැදගත් වෙන ව්‍යාපෘති රටට නැති උනේ.

:       1       32

Nalikaa Tuesday, 12 October 2021 01:18 PM

මේ වගේ පාදඩ බුද්ධිමත්තු යැයි කියා ගන්නා නිඝන්ටයෝ නිසා තමයි ලංකාව අමාරුවේ වැටුනේ. ජනාධිපති ලඟට රිංගලා ඒ මිනිහගේ ඔලුවත් කෑවා. කරුණාකරලා වැඩක් බලාගෙන ඉන්න, බම්බු කියවන්නේ නැතුව

:       1       26

ASELA ERANGA PERERA Tuesday, 12 October 2021 09:23 PM

ඔබ වැනි ප්‍රවාහන ආර්ථික විශේෂඥයින් ලංකාවට වැඩිපුර අවශ්‍යයි.

:       15       0

asiri Tuesday, 12 October 2021 11:23 PM

LRT එපා කියපු එක දැන් මෝටර් කාර්/ බයිසිකල් නිසා පරිසරයට වෙන හානියත්, පෙට්‍රල් සඳහා වැඩිපුර වියදම් වෙන එක ගැන කියන එක විහිළුවක් නෙවෙයිද?

:       0       13

ASELA ERANGA PERERA Wednesday, 13 October 2021 08:06 AM

ලලිතසිරි ගුණවර්ධනගේ අගය නොදැනීම රටේම අවාසනාවකි.

:       13       1

සන්ක Wednesday, 13 October 2021 10:15 AM

ඉහත කමෙන්ට් දමා තියෙන චමරි සහ නලින් ගේ අදහස් ඉතාම සත්‍ය බව කියා සිටිමි. මේ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි ලලිතසිරි ගුණරුවන් මහතා මොනතරම් බොරු තර්ක කියල ලංකාවට නිදහසෙන් පස්සේ ලැබෙන්න තිබ්බ අගනාම සහ කොළඹ වාහන තද බදයට ඉක්මන් විසදුම් ලැබීමට තිබුණු ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය දේශපාලුවන්ට කත් ඇදලා කැත විදියට කඩාකප්පල් කරලා දැම්ම. අද වෙනකොට සීග්‍රයෙන් දියුණුවන බංගලාදේශය එම ව්‍යාපෘතිය එරටේ යොදවලා ඉහල ප්‍රතිපල ලබනවා.

:       1       18

ajithThursday, 14 October 2021 04:24 PM

මෙයා තමය් බඩු පටවන්න බෑ කියලා එල්.ආර්.ටී රටට නැති කෙරුවේ

:       0       6

SahanFriday, 15 October 2021 11:04 AM

ඒක කලානම් නය බර වැඩි වෙලා බදු මිල ටහ්වත් උසට යයි .මොකද ඒකට ගෙවන්න වෙන්නේ ආණ්ඩුවේ සල්ලි . 16 km වියදම් කරන මුදල තව අධි වේගී මාර්ග 3 - 4 ක් හදන්න පුළුවන් .චම්පික එක වැඩක් හරියට කලේ නැහැ .ඒක ජපන් ආණ්ඩුවට දීලා කරන්න තිබුනේ .එයාලා කැමති නැත්තේ එයාලා දන්නවා එකෙන් එයාලට ලාබයක් නැහැ කියලා .මෙතුමා හරි

:       2       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 175 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 98 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 38 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3987 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12508 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 636 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38184 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site