බුදුන් දවස සැවැත්නුවර ජේතවනාරාමය ඉදිවන්නේ අනේපිඬු සිටාණන් චේතිය කුමරුගෙන් මිලට ගත් ඉඩමකය. එය මිලට ගැනීමට භූමියේ අදාළ බිම වසා කහවනු ඇතිරූ බව බෞද්ධ සාහිත්‍යයේ කියැවේ. අවසානේ තමා මිලටගත් ඉඩමේ ආරාමයක් ඉදිකර චේතිය කුමරුගේ නමද ඊට යොදා සඟසතු කිරීමට තරම් එදා බෞද්ධයකු වූ අනේපිඬු සිටාණෝ පරිත්‍යාගශීලී වූහ. නම්‍යශීලී වූහ. දැහැමි වූහ. එසේම ඔහු මූලධර්මවාදී තලෙයිබාන් බෞද්ධයෙක්ද නොවීය. මේ නිසා තමාගේ නමින් ජේතවනාරාමය නම් කිරීමට කොසොල් රජුගේ පුත් චේතිය කුමාරයා කළ ඉල්ලීමට අනේපිඬු සිටානෝ එකඟ වූහ. මේ සමඟම ජේතවනාරාමයට හතරවටින් ජනී ජනයා ඇදෙන්නට විය. මෙය අන්‍ය ආගම්කාරයන්ට ඇල්ලූවේ නැත. එම සියලූ ආගම් අභිබවා බුදුදහම සැවැත්නුවර පමණක් නොව ආසන්න ජනපදවලද ප‍්‍රචලිත විය. මෙය ඉවසුම් නොදුන් තීර්ථකයෝ තමන්ගේ ද ආරාමයක් ජේතවනාරාමය අසලම ඉදිකිරීමට පසේනදී කොසොල් රජුගෙන් අවසර ඉල්ලූහ. කොසොල් රජු තීර්ථකයන්ගෙන් පගාවක් ගෙන ඒ සඳහා ඉඩම් ලබාදුන් බව සූත‍්‍ර පිටකයේ සඳහන් වේ. එය ”රාජකාරාමය” ලෙස ප‍්‍රකට විය. අද මෙන්ම එදාත් දේශපාලනය කරන සමහර හාදයන් කටයුතු කරන්නේ එහෙමය. අනෙක් පැත්තෙන් පසේනදී කොසොල් රජු බුදුරජාණන් වහන්සේගේ පොඩි පහේ දායකයෙක් නොවේ. මහා දායකයෙකි. නිතර දෙවේලේ බුදුන් බැහැදකී. එවන් අයෙක් මේ කළ දේ කිසිසේත්ම ඔහුට තරම් වන්නේ නැත. මේ නිසා ආගම් බේදයක් ඇතිවීමට ඉඩ තිබේ යන මතය එදවස ද සංඝයා අතරත් බෞද්ධ ආගමිකයන් අතරත් පැතිරුණි. එහෙත් වහාම එය ඉවත් කරන්නැයි බුදුරජාණන් වහන්සේ තම මහ දායකයා වූ පසේනදී කොසොල් රජුට අණ කළේ නැත. රජුගේ ආගමික කටයුතුවලට මැදිහත් නොවන බවට සංඝ ආඥවක් නිකුත් කළේ නැත. කොසොල් රජුගේ ආණ්ඩුව අපහසුතාවට පත් වන ලෙස ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයෝ සම්බන්ධ කර ගෙන ඩෙඟා නැටීමට ගියේ නැත. තීර්ථකයන් සමඟ ආගමික ගෝරියකට ගියේ ද නැත. ඒ වෙනුවෙන් රජුට කරුණු පහදා දීමේ අනුශාසනාවක් කළහ. එම අනුශාසනාවේ ගැබ් වූයේ ආගමික අසමගියක් හා ආරවුලක් ඇති විය හැකි හෙයින් එය ඉවත් කිරීමට කටයුතු කරන මෙන්ය. එසේම අදාළ ආරාමය ජේතවනාරාමයට ඈතින් ඉදිකරන්නේ නම් ප‍්‍රශ්නයක් ඇති නොවන බවය. කොසොල් රජු බුදුහිමියන්ගේ ඉල්ලීමට ඉඩදී අදාළ ආරාමය ජේතවනාරාමයට ටිකක් ඈතින් ඉදිකිරීමට තීර්ථකයන්ට අවසර දුනි. අදත් එම ”රාජකාරාමය” සැවැත්නුවරට යන බෞද්ධ බැතිමතුනට දැක බලාගත හැකිය. එපමණක් නොව ඉඩමක් ද තෝරාදුන් බව බෞද්ධ ඉතිහාසයෙන් අනාවරණය වේ. වැඩ වසම් යුගයේ අධිකරණ ව්‍යවස්ථාදායක හා විධායක බලය යන බල ව්‍යුහයන් තුනම පැවතියේ රජු අතේය. රජුගේ තීරණය නිරායාසයෙන්ම රාජ නීතිය විය. එවන් රජුන් හෝ මහ රජුන් හෝ අද නොමැත. වර්තමානයේ රටරටවල විධායකය හා ව්‍යවස්ථාදායකය බල ව්‍යුහ දෙකක් සේ කි‍්‍රයාත්මක වේ. එය හැඳින්වෙන්නේ ජනසම්මතවාදී ක‍්‍රමයක් ලෙසිනි. අධිකරණය මේ දෙකට (විධායක, ව්‍යවස්ථාදායක) මධ්‍යස්ථව ව්‍යවස්ථාදායකය ලබා දී තිබෙන නීතිමය සීමා යටතේ කි‍්‍රයාත්මක වේ. මේ අතර ජන සම්මත ආණ්ඩු අධිකරණයට ද ඇඟිලි ගැසීම වෙනම කතාවකි. විධායකය විනිශ්චයකරුවන් පත් කරයි. එහෙත් අධිකරණ බලය විධායකයට නැත. ජනාධිපතිවරයකුට මුක්තිය වුවද පවතින්නේ බලය සිටින තුරු පමණි. සමස්තයක් වශයෙන් ගත් කළ නූතන ජනසම්මතවාදී ව්‍යුහය තුළ අධිකරණය ස්වාධීන ආයතනයකි. මේ නිසා බුද්ධගයාව බේරාගැනීමට එදා අනගාරික ධර්මපාල තුමා ද ඉන්දියානු අධිකරණයේ පිහිට පැතීය. ධර්මපාල තුමා මැදිහත් වනතුරුම දඹදිව බෞද්ධ සිද්ධස්ථාන පැවතියේ අන්‍ය ආගමිකයන් අතේය. විශේෂයෙන්ම හින්දුන් අතේය. 12 වැනි සියවසේ සිදු වූ මුස්ලිම් ආක‍්‍රමණවලින් සියලූම බෞද්ධ සිද්ධස්ථාන බරපතළ ලෙස විනාශ විය. ඉන්පසු වල්බිහි වූ ඒවා පසුකලෙක හින්දුන්ගේ පාලනයට නතුවිය. සමහර ඒවා වල්බිහි විය. මේ අතුරින් බුද්ධගයාව පාලනය කළේ ”මහන්තා” නැමති ප‍්‍රාදේශීය චණ්ඩි බලවතෙකි. වරක් බුද්ධගයාවේ ශී‍්‍ර මහ බෝධිය අසල ධර්මපාල තුමා ගෙනැවිත් තැබූ බුද්ධ ප‍්‍රතිමාව විනාශ කළ මහන්තාගේ මැරවරයෝ ධර්මපාලතුමාට ද පහර දී එළවාදැමූහ. අවසානේ උපක‍්‍රමයක් පාවිච්චි කළ එතුමා ඒ අසලින් කි‍්‍රස්තියානි පල්ලියක් ඉදිකිරීමට සුදු ආණ්ඩුවෙන් අවසර ඉල්ලීය. ඒ අවසරය එතුමාට ලැබුණි. අද මහාබෝධි විහාරය ලෙස පරිවර්තනය වී තිබෙන්නේ එම කි‍්‍රස්තියානි පල්ලියයි. මේ තැන් සිට ධර්මපාල තුමා බුද්ධගයාවේ බෞද්ධ උරුමය වෙනුවෙන් ඉන්දියානු අධිකරණයේ පිහිට පැතීය. ඔබට බුද්ධගයාව බෞද්ධයනට අයිති සිද්ධස්ථානයක් සේ ඔප්පු කිරීමට ඇති සාක්ෂි කවරේදැයි බිහාර් ප‍්‍රාන්ත අධිකරණය ධර්මපාලතුමාගෙන් විමසීය. එතුමා නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළෝය. බිහාර් අධිකරණයේ තීන්දුව ලැබෙන විට ධර්මපාල තුමා ජීවත්ව සිටියේ නැත. එහෙත් අධිකරණය සාධාරණ ලෙස තම කාර්යය ඉටුකර තිබුණි. එනම් බුද්ධගයාව අයිති බෞද්ධයන්ට බව අධිකරණය බිහාර් ප‍්‍රාන්ත ආණ්ඩුවට නියෝග කළේය. හින්දුන්ට අයිති සීමාව බුද්ධගයා සීමාවෙන් පිටත බවද එම තීන්දුවේම සඳහන් විය. මේ නිසා මහන්තාට බුද්ධගයා පුදබිමෙන් ඉවත් වීමට සිදුවිය. මේ ආදර්ශය දඹුල්ලට ආදේශ කළ නොහැක්කේ මන්දැයි කියන්න දන්නේ නැත. තලේබාන් ක‍්‍රමයකට හෝ ආගමික අන්තවාදයකට යෑමෙන් තොරව ප‍්‍රශ්න විසඳාගැනීමේ ආදර්ශයන් ඈත බෞද්ධ ඉතිහාසයේ පමණක් නොව මෑත ඉතිහාසයේ ද අපට තිබේ. ශීලාචාර ක‍්‍රමය වන්නේ ද එයයි. දඹුල්ලේ මුස්ලිම් පල්ලිය ඉදිකිරීමේ ප‍්‍රශ්නය එම ආදර්ශයන්ට අනුව අපට විසඳාගත හැකිය. ආගමික අන්තවාදය හා ඊට මුසුවන අවස්ථාවාදී දේශපාලනය වහා ගිනි ඇවිලෙන සුළුය. ප‍්‍රාදේශීය දේශපාලන සුනඛ පොරවලට මැදි වී ආණ්ඩුවක් පරිප්පු කෑ යුතු නැත. මේවා සංවේදී ප‍්‍රශ්නය. අන්ත ජාතිවාදය නිසා ගලාගිය ලේ ගංගාවල් දැන් ප‍්‍රමාණවත්ය. අලූත් ලේ අනවශ්‍යය. නැති වී ගිය මිනිස් ජීවිත හා දේපළ මිල කළ නොහැකිය. තවදුරටත් අප අතීතය ගොඩගත යුතු නැත. නිදහස ලබා වසර 64 ක් ගත වී ඇති නමුත් තවමත් ”ශී‍්‍ර ලාංකීය” ජාතිය නිර්මාණය කර ගැනීමට අපට නොහැකි වී තිබේ. එසේ වූවා නම් මෙවන් සිදුවීම් පැනනගින්නේ නැත. ඊට වගකිවයුත්තේ මේ රටේ අහිංසක ජනතාව නොවේ. දේශපාලනඥයෝය. මේ රටට නිදහස ලබාගැනීමේ අරගලයේ දී දෙමළ නායකයන් මෙන්ම, ටී.බී. ජායා ආදී මුස්ලිම් නායකයන් ද සිංහල නායකයන් සමඟ අත්වැල් බැඳගත් බව අමතක කරන්නේ නම් හෙට දවසේවත් අපට ගොඩයෑමක් නැත. එදා කිසිවෙක් වෙනම ආණ්ඩු ඉල්ලූවේ නැත. වෙනම ආණ්ඩු හා වෙනම මුස්ලිම් කලාප ඉල්ලන තැනකට රට තල්ලූ කිරීම ගැන රටේ දේශපාලනය කළ හා කරන සියල්ලෝම වගකිව යුත්තෝය. දඹුල්ලේ ප‍්‍රශ්නකාරී භූමිය ඇතුළු අක්කර 300 ක වපසරියක් 1984 ජූනි 8 දින ගැසට් පත‍්‍රයක් මඟින් අගමැති රණසිංහ පේ‍්‍රමදාස මහතා දඹුල්ල පූජා භූමියට ලබාදී ඇත. එදා මෙදා තුර පූජා භූමි සංවර්ධනය එම ගැසට් පත‍්‍රයට පමණක් සීමා වී තිබූ බව පෙනේ. මහපොළොවේ සිදු වූ සංවර්ධනයක් නැති ගානය. එතැන් සිට පැවැති ආණ්ඩු හා අදාළ ප‍්‍රදේශයේ මහජන මුදලින් පඩි ලබන මීට අදාළ රජයේ නිලධාරීන් ද වගකිව යුතුය. මහජන මුදල් සාංඝික දේපළ හා සමානය. පූජා භූමියක් සේ ගැසට් කළ ප‍්‍රදේශයක කිසියම් ආකාරයේ ඉදිකිරීමක් සිදුකරන්නේ නම් ඊට ඉඩ නොතැබීම හා තහනම් කිරීමේ වගකීම අදාළ නිලධාරී රොත්ත හා හැත්ත විසින් පැහැරහැර තිබේ. මේ නිසා ඉනාමළුවේ හිමියන්ගේ පැත්තේ ද සාධාරණ කතාවක් තිබේ. උන්වහන්සේ මෙය 2009 සිට ගෙනයන සටනක් බව පෙනේ. ඉනාමළුවේ සුමංගල හිමියන්ට මෙන්ම ඒ පළාතේ ආණ්ඩුවේ දේශපාලන බලධාරියා වන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාටද සවන්දීම වැදගත් වේ. ජනක බණ්ඩාර තෙන්නකෝන් යනු අරටු ශී‍්‍ර ලංකා කාරයෙකි. සාමාන්‍ය පන්තියේ මිනිසෙකි. දඹුල්ලේ හැදී වැඞී දේශපාලනය කරන සිංහල බෞද්ධ පරපුරකින් පැවත එන්නෙකි. ”රණසිංහ පේ‍්‍රමදාස මහතා නිවාස ඇමැතිවරයාව සිටියදී නාගරික සංවර්ධන සැලසුමක් හැදුවා. 1981 දී එම සැලසුම මිරිස් ගෝනිය වැව දක්වා තිබුණා. ඉන් පසුව ජනාධිපතිවරුන් පස් දෙනෙක් රට පාලනය කළා. ඒත් මේ සැලසුම් කි‍්‍රයාත්මක වුණේ නැහැ. 1994 දී මේ සැලසුම් කි‍්‍රයාත්මක කිරීමට පටන්ගත්තා. නිවාස කැඩෙනවාය කියා පිරිසක් ඊට විරුද්ධ වුණා. ඉන්පසුව එම සැලසුම් දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාට බාරදුන්නා. සංශෝධන සහිතව කි‍්‍රයාත්මක කිරීම ඇරඹුණේ ඉන්පසුවයි. නාගරික සංවර්ධන අධිකාරිය හා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පෙර මෙන් එකම අමාත්‍යංශයක් යටතේ තිබුණේ නම් මේ ප‍්‍රශ්නය විසඳීම ඉතා පහසුයි.” ”මුස්ලිම් පල්ලියකට ඉඩමක් විකුණුවා කියා මට චෝදනා කරනවා. මා ඉපදෙන විටත් මෙතන පල්ලියක් තිබිල තියෙනවා. එහෙම නම් මේ ගනුදෙනුව සිදු වී තිබෙන්නේ මා ඉපදෙන්නත් කලිනුයි. මේ ප‍්‍රදේශයේ සිංහල මුස්ලිම් ජනතාව කිසිම ආරවුලක් නැතුව චිරාත් කාලයත් සහයෝගයෙන් ජීවත් වුණා. මා මහජන නියෝජිතයෙක් මට ජනතාවගෙන් ඈත් වෙන්න බෑ.”
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දඹුලූ වාදය
මිනෝලි Tuesday, 01 May 2012 06:02 PM
බෞද්ධයන්ට මොනවද තියෙන උරුමය? අපිත් විදේශ රටවල හිටියට අපේ රටට ආදරෙයි
ෂහාඩ් Thursday, 03 May 2012 04:39 PM
ආගමක් වශයෙන් නොව එකම ජාතියක් වශයෙන් එක් වී අපේ රට වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි
චන්දන බණ්ඩාර Sunday, 06 May 2012 02:23 PM
ශ්‍රී ලංකාව බොදු රටක්... මේ බොදු රටේ ඕනෑම තැනක පන්සලක්.. බුදු පිළිමයක් ... චෛත්‍යක් සෑදීමට බොදු අපිට උප්ත්තියෙන්ම උරුමයි.. ඒකට කාටවත් අයිතිවාසිකම් හිමිකම් ගැන කතා කරන්න අයිතියක් නෑ.... සල්ලි කෑදරකමට බුද්ධ ධර්මය විකුණගෙන කන ජාතියක් අපිට මේ පිටින් පේන්න ඉන්නෙ.. ඒත් තවමත් අපේ රට ජාතිය ගැන කැක්කුමක් තියෙන කොල්ලො කෙල්ලො ටිකක්... මහා සංඝරත්නය අපිත් එක්ක ඉන්නවා... අපි මේ සටන කරන්නෙ යනකොට අරන් යන්න නෙවේ.. එන කෙනෙක්ට පරිස්සම් කරල දෙන්න... වටිනාකම බලාගන්න දෙන්න...
මහින්ද Friday, 27 April 2012 12:14 PM
රටේ සිටින ජාතීන් අතර අනුපාතයට අනුව ඒ ඒ අය අදහන ආගමීක සිද්ධස්ථාන අතර විශාල පරතරයක් ඇත. ඉන් වඩාත් ම අඩු අනුපාතයක ඇත්තේ බෞද්ධ සිද්ධස්ථානයි. හැමදාකමත් මෙන් අදත් මහ ජාතියට අසාධාරණයක්! කවදා වෙනතුරු අපි ඇස් කණ් පියාගෙන සිටිය යුතුද? ජාතීන් අතර සමාදානය යනු සෑම කැනහිලිකමක් ම ඉවසා සිටීමද? ජාතියේ වගකියයුත්තන් දේශපාලන වාසි සඳහා රටේ උරුමක්කාරයන් පාවදිය යුතුමද? 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පැනවූ නීතියට අනුව රජයේ අනුමැතිය නැතිව කිසිම සිද්ධස්ථානක් ඉදිකළ නොහැක. 1977 දී ඒවා සුළඟෙ ගියා. අද???????
කුමාරි Thursday, 03 May 2012 05:59 PM
දැන් අපිට අපේ හාමුදුරුවරු ගැන කළකිරීමක් තමයි ඇතිවෙලා තියෙන්නේ
උපුල් Thursday, 03 May 2012 10:12 AM
අපි වෙන රටකට ගියාම, ඒ රටේ ආගමික හා, සංස්කෘතික පසුබිමට අනුව අපි ජීවත් වෙන්න ඕනෙ. අරාබිකරයට ගිහින් ඔවුන්ගෙ නීතිය යටතේ වරදකරුවෙක් උනොත් බෙල්ල කපන එක නවත්තන්න කාටද පුලුවන්? නමුත් ලංකාවෙ? මේ රට දැන් ඇතැම් අය කියන විදියට බහු ආගමික හා බහු සංස්කෘතික රටක්. එහෙව් රටක ඕන කෙනෙක්ට ඕනෙ විදියට ඕන දෙයක් කරන්න පුලුවන්. මොකද අපිට නිශ්චිත ආගමක්, සංස්කෘතියක් නෑ. ගෝලීයකරණයත්, බහු ආගමික හා බහු සංස්කෘතික කරණයත් ඔක්කොම එකයි. අන්තිමට වෙන්නෙ දුබල හා කුඩා, ජාති, ආගම්, සංස්කෘති දියවෙලා නැතිවෙලා යන එකයි. සිංහල අපි අසරණයි. අපිට අපි විතරයි.