IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දේශීය කර්මාන්තකරුවන්ට කොකා පෙන්වීම

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)

සාර්ථක දේශීය කර්මාන්තකරුවකු වන සමන්ත කුමාරසිංහ මහතා බංග්ලාදේශයේ හා වියට්නාමයේදී සිය කර්මාන්තශාලා ආරම්භ කර තිබේ. දේශීය කාර්මාන්තකරුවන් තම මව්බිම අතහැර ආයෝජනය සඳහා වෙනත් රටවලට යන්නේ ඇයි දැයි කුමාරසිංහ මහතාගෙන් කළ විමසුමට ඒ මහතා දුන් පිළිතුරු ඇසුරින් මේ ලිපිය සැකසිණි.

කර්මාන්ත ආරම්භ කිරීම සඳහා දේශීය කර්මාන්තකරුවන් විදෙස් රටවලට යාමට බලපාන හේතු කිහිපයක්ම තිබේ. පළමුවෙන්ම කිව යුත්තේ එසේ පෙළඹෙන්නේ ලෝකය ගැන අවබෝධයක් තිබෙන ව්‍යවසායකයන්ය. තමන්ගේ රටෙන් පිටට ගොස් වෙනත් රටක කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම විශාල අභියෝගයකි. අභියෝගවලට මුහුණ දිය හැකි පුද්ගලයන් එවැනි තීන්දු ගැනීම හා එසේ කටයුතු කිරීම තම මව්බිමේ දියුණුවට හේතු වෙයි. ඒ විදෙස් රටකදී උපයන මුදල් මව්බිමට ගෙන එන හෙයිනි.

විදෙස් රටක ආයෝජනය කිරීමට යන සෑම පුද්ගලයකුම සාර්ථක වන්නේ ද නැත. එසේ සාර්ථක නොවීමට ද හේතු කිහිපයක් තිබිය හැකිය. තමන්ගේ නොහැකියාව හා විදෙස් ආයෝජකයන්ට අපහසු වන ආකාරයට ඒ රටේ නීති වෙනස් කිරීම වැනි හේතු ද ඒ අතර තිබිය හැකිය. මූල්‍යමය ශක්තිය අඩුවීම හෝ තරගකාරීත්වය වැඩි වීම ද ඊට හේතු විය හැකිය.

දේශීය කර්මාන්තකරුවන් විදෙස් රටවල ආයෝජනය කිරීමට යාමට බලපාන තවත් හේතුවක් වන්නේ ලංකාවේ නීති දේශීය අයෝජකයන්ට හිතකර නොවීමය. ඒ බොහෝ නීති සැකැසී තිබෙන්නේ අධිරාජ්‍යවාදී සමයේය. ඒ යුගයේ ඒ නීති සැකැසුණේ මහා බ්‍රිතාන්‍යය මූලික කරගත් බහුජාතික සමාගම්වලට හිතකර ලෙසය. නිදහස ලැබීමෙන් පසුව බලයට පැමිණි ඇතැම් ආණ්ඩු ද කටයුතු කළේ ඒ බහුජාතික සමාගම්වලට හිතකර ලෙසය. ඒ සමාගම්වල හිත් රිදෙන අයුරින් ඒ නීති වෙනස් නොකළා පමණක් නොව ඒ සමාගම්වලට අවාසි වන නව නීති පැනෙව්වේ ද නැත. මාගේ මේ චෝදනාව සෑම ආණ්ඩුවකටම අදාළ නොවන්නා සේම රාජ්‍ය පරිපාලනයේ සිටි සෑම නිලධාරියකුටම ද අදාළ නොවේ.

ලංකාවේ ඉතාමත් පහසුවෙන් කළ හැකි නිෂ්පාදන සේම මෙරට වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් තිබෙන ඇතැම් නිෂ්පාදන අදටත් කරන්නේ දේශීය සමාගම්වලින් නොවේ. රටේ නීති සැකැසී තිබෙන්නේ ද ඒ සමාගම්වලට හිතකර අයුරින් මිස දේශීය කර්මාන්තකරුවන්ට හිතකර අයුරින් නොවේ. මේ සම්බන්ධයෙන් ඉතාමත් පහසුවෙන් දැක්විය හැකි සහ මා කියන කාරණය ඉතාමත් පහසුවෙන් තේරුම් ගත හැකි තවත් සරල උදාහරණයක් වන්නේ සබන්ය. සබන් මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩයකි. එසේම ඉල්ලුම ද වේගයෙන් ඉහළ යන නිෂ්පාදනයකි. එහෙත් ඒ ඒ සබන්වල තිබිය යුතු ප්‍රමිතිය සම්බන්ධ නිර්නායක සකස් කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයයි. ඒ කාර්යාංශය සකසා තිබෙන ප්‍රමිති හා පිරිවිතරවලින් වැඩි වාසි සැලැසෙන්නේ දේශීය කර්මාන්තකරුවන්ට නොව දේශීය නොවන සමාගම්වලටය. ඒ කාර්යාංශයේ ඇතැම් ප්‍රමිති නිසා රටේ ජනතාවට තමන්ගේ සෞඛ්‍යයට අහිතකර නිෂ්පාදන භාවිත කිරීමට ද සිදුවී තිබේ. රාජ්‍ය ආයතනවල සිටින නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා නිසා ද දේශීය කර්මාන්තකරුවෝ රට අතහැර විදෙස් රටවලට යති.

දේශීය කර්මාන්තකරුවන් ආයෝජනය සඳහා මව්බිම අතහැර වෙනත් රටවලට යාමට රාජ්‍ය බදු ප්‍රතිපත්ති ද හේතු වෙයි. රජයේ ඇතැම් බදු නිසා අමුද්‍රව්‍ය මිල ඉතා ඉහළ මට්ටමක තිබිය හැකිය. ඒ ඇතැම් අමුද්‍රව්‍ය රට ඇතුළෙන්ම සපයා ගන්නවා විය හැකි අතර තවත් ඇතැම් අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ගෙන්වා ගන්නවා ද විය හැකිය. ඒ කාරණය ඉතා පහසුවෙන් අවබෝධ කරගැනීම සඳහා එතනෝල් භාවිත කර නිෂ්පාදනය කරන සුවඳ විලවුන් ගනිමු. ඒ සුවඳ විලවුන් හා කොලෝන් වර්ග නිෂ්පාදනය කිරීමට ගන්නා එතනෝල් සඳහා පසුගිය ආණ්ඩු කාලවලදී අය කළ බදු ඉතා විශාලය. මා මේ කතා කරන්නේ මත්පැන් නිෂ්පාදනය සඳහා ගන්නා එතනෝල් ගැන නොව සුවඳ විලවුන් හා කොලෝන් වර්ග නිෂ්පාදනය කිරීමට ගන්නා එතනෝල් ගැනය. නැතහොත් කර්මාන්ත සඳහා ගන්නා එතනෝල් පිළිබඳවය. කර්මාන්ත සඳහා ගන්නා එතනෝල්වලට තිබූ බද්ද මත්පැන්වලට ගන්නා එතනෝල්වලට තිබූ බද්දට වඩා විශාලය. එයට හේතු වී තිබුණේ නීති විරෝධී එනම් බදු නොගෙවන මත්පැන් නිෂ්පාදනය සඳහා කර්මාන්තවලට ගන්නා එතනෝල් භාවිත කර තිබීමය. ඒ නිසා කර්මාන්ත සඳහා ගන්නා එතනෝල්වලට පනවා තිබූ බද්ද ඉතා ඉහළ මට්ටමක පැවැතිණි. ඒ තත්ත්වයන් නිසාත් ඇතැම් කර්මාන්තකරුවෝ ආයෝජනය සඳහා පිටරටවලට යාමට පෙළඹෙති. ඔවුන් එසේ කරන්නේ එතනෝල් ආශ්‍රිත නිෂ්පාදන වෙනත් රටක නිපදවා එක්කෝ තම මව්බිමට ගෙන්වා ගැනීමටය. නැතහොත් ඒ රටේ වෙළෙඳපොළට නිකුත් කිරීමටය. එසේත් නැතහොත් වෙනත් රටවලට අපනයනය කිරීමටය.

ඇඟලුම් කර්මාන්තයේ නියුතු දේශීය ව්‍යවසායකයන් ආයෝජනය සඳහා පිටරටවලට යන්නේ වෙනත් හේතු මතය. ඇඟලුම් කර්මාන්තයේ තිබූ කෝටා ක්‍රමය නිසා අපේ ඇතැම් කර්මාන්තකරුවෝ මැද පෙරදිග රටවල ද ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කළහ. කෝටා ක්‍රමය 2005 දී අහෝසි වීමත් සමඟ ඒ කර්මාන්ත ශාලා වැසිණි. ඉන් පසුව ඒ ඇතැම් කර්මාන්තකරුවෝ ඉතා ඉක්මනින් සිය ඇණවුම් සැපැයිය හැකි පරිසරයක් තිබෙන රටවලට යොමු වූහ. ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ තිබෙන බරපතළ ප්‍රශ්නයක් වන්නේ අවශ්‍ය තරම් සේවකයන් නැතිකමය. එහෙත් බංග්ලාදේශය වැනි රටවල එවැනි තත්ත්වයක් නැත. එරට කර්මාන්තශාලාවකින් අද සේවකයන් 20ක් ඉවත් කළහොත් හෙට ඒ වෙනුවට 40ක් බඳවා ගත හැකිය. එරට ඒ තරමට ශ්‍රමිකයෝ සිටිති. ඇතැමුන් කියන්නේ බංග්ලාදේශයේ ශ්‍රමයට ලංකාවේ මෙන් ඉහළ ගාස්තුවක් ගෙවිය යුතු නැති බවය. මගේ අවබෝධය හැටියට නම් ඒ මතය වැරැදිය. බංග්ලාදේශයේ මුදල් ඒකකය වන ටකාවලට වඩා වැඩි වේගයකින් ලංකාවේ රුපියල අවප්‍රමාණය වෙයි. දැනටත් එසේ වී තිබේ. එහෙයින් ශ්‍රමය සඳහා බංග්ලාදේශයේදී ගෙවිය යුත්තේ අඩු මුදලක්ය කියන කතාව වර්තමානයට ගැළැපෙන්නේ නැත.

ශ්‍රම ඵලදායිත්වය අතින් ද ලංකාව හා බංග්ලාදේශය අතර වෙනසක් පවතී. වෘත්තීය සමිති ක්‍රියාකාරකම් හා පටු දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වන ජනතාවට විපත් පැමිණවීමට පෙරමුණ ගන්නා නොමිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා ලංකාවේ ශ්‍රමිකයන්ගෙන් නියම ඵලදායිත්වය නොලැබෙයි. වැඩ වර්ජන මගින් මෙරට සේවකයන්ගේ වැඩ කිරීමේ උනන්දුව අඩු කර තිබේ. මෙරට බහුතරය සිතන්නේ වැඩ අඩුවෙන් කර වැඩියෙන් වැටුප් ගැනීමටය. එය ලංකාවේ රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශයට ද සංක්‍රමණය වෙමින් පවතින රෝගී තත්ත්වයකි. මගේ අවබෝධය වන්නේ ඇතැම් අයට ඒවා එලෙස නොපෙනෙන බවය.

කොරෝනාවලින් පසුව ලෝකයේ රෙදිපිළි වෙළෙඳපොළ හැකිළෙමින් පවතී. සියයට සියයක තිබූ ලෝක රෙදිපිළි වෙළෙඳ පොළ දැන් සියයට හැටක් දක්වා පල්ලම් බැස තිබේ. කොරෝනා ලෝකයෙන් සහමුලින් තුරන් වුවත් ලෝක රෙදිපිළි වෙළෙඳ පොළ නැවත තිබූ තත්ත්වයට නොපිබිදෙන බව ලෝක රෙදිපිළි වෙළෙඳ පොළ පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි. කොරෝනා නිසා ලෝකයේම මිනිසුන්ගේ ජීවන රටා වෙනස් වී තිබේ. ගෙදර සිට වැඩ කිරීම දැන් ලෝක ව්‍යාප්තව සිදු වෙයි. සේවා ස්ථානවලට පැමිණ කළ කටයුතුවලින් අවම වශයෙන් සියයට 30ක් පමණම දැනටත් ගෙවල්වල සිටම සිදුවෙයි. එය හාම්පුතුන්ටත් සේවකයන්ටත් ලාබදායකය. එසේම පහසුය. ඒ නිසා ඒ සේවකයන්ගේ ඇඳුම් අවශ්‍යතාව අඩුවෙයි. ඒ වගේම මෙතෙක් කල් ලොව පුරා පැවැති ඇතැම් වටිනාකම් හා සිරිත් විරිත් ද වෙනස් වී තිබේ. ඒ නිසා කොරෝනා ලෝකයෙන් සහමුලින් තුරන් වුවත් ලෝක රෙදිපිළි වෙළෙඳපොළ යළි පිබිදෙනු ඇත්තේ සියයට 80කින් පමණ මිස සියයට 100කින් එය පිබිදෙනු ඇතැයි සිතිය නොහැකිය.

එහෙත් ලෝක සබන් හා සනීපාරක්‍ෂක ද්‍රව්‍ය වෙළෙඳ පොළ තිබුණාට වඩා පුළුල් වනු නිසැකය. විශේෂයෙන් මා මෙහිදී කතා කරන්නේ ඇඟ ගල්වන සබන් හා දියර ගැනය. ඒ වෙළෙඳපොළේ තිබුණු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 24කි. එය 2025 වනවිට ඩොලර් බිලියන 40 දක්වා ඉහළ යනු ඇතැයි ඒ පිළිබඳ විශේෂඥයෝ කියති. එයට හේතුව කොරෝනා නිසා සනීපාරක්‍ෂාව පිළිබඳව මුළු ලෝකයේම ඇති වී තිබෙන ඉහළ උනන්දුවය. කොරෝනාවලට පෙර දිනපතා දිය නොනෑ පුද්ගලයෝ දැන් දිනපතා දිය නාති. නිතර අත් නොසේදූ පුද්ගලයෝ නිතර අත් සෝදති. නිතර ඇඳුම් නොසේදූ පුද්ගලයෝ දැන් නිතර ඇඳුම් සෝදති. ඒ නිසා සබන් කැට හා දියරවලට තිබෙන ලෝක ඉල්ලුම නිසැකවම ඉහළ යන්නේය. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 24 සිට 40 දක්වා ඉහළ යාමෙන් සිදුවන්නේ සියයට 80ක වර්ධනයකි. ඒ වර්ධනය අප රට ඇතුළෙහි ද සිදු වෙයි.

එහෙත් මෙරට සිටින දේශීය සබන් නිෂ්පාදකයන්ට මේ අවස්ථාවෙන් ලබාගත හැකි ප්‍රයෝජන සීමා වී තිබේ. එසේ වී තිබෙන්නේ රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ වරදිනි. මෙරට සබන් නිපදවන ඇතැම් කර්මාන්තකරුවන් නිෂ්පාදනය කරන්නේ සබන් නොව බේදීන් බාර්ය. ඒවා නිපදවන්නේ රෙදි සෝදන කුඩුවලිනි. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය නටන්නේ ඒ බේදීන් බාර් නිෂ්පාදකයන්ගේ පදයටය. ප්‍රමිති කාර්යාංශය ඔවුනගේ රූකඩයක් ලෙස ක්‍රියා කරන බවට මම චෝදනා කරමි. ප්‍රමිති කාර්යාංශයේ ඒ රූකඩ පිළිවෙත නිසා ලංකාවේ මිනිසුන් අවුරුදු 20ක් තිස්සේ ඇඟෙහි ගල්වන්නේ රෙදි සේදීමට ගන්නා කුඩුය. ඒ සඳහා අවශ්‍ය ප්‍රමිතිය සකසා දී තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසිනි.

අපේ රටේ බොහෝ දෙනා චෝදනා කරන්නේ දේශපාලකයන්ටය. එහෙත් මගේ අවබෝධය, නිගමනය හා තක්සේරුව වන්නේ ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් ඉතා භයානක බවය. දේශපාලකයන්ට වඩා වැඩි වේගයකින් හා වැඩි ප්‍රමාණයකින් ඉහළ රාජ්‍ය නිලධාරීන්ට රට වැනසිය හැකිය. බොහෝ රාජ්‍ය නිලධරයන් විශ්‍රාම යාමට ආසන්න කාලයේ පය තබාගෙන සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළෙඳ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනවලය. එසේ නැතහොත් බහුජාතික සමාගම්වල හෝ මහා පරිමාණ පෞද්ගලික සමාගම්වලය. විශ්‍රාම යාමට ආසන්න කාලයේ ඔවුන් ඉටුකරන්නේ තම අනාගත දිව්‍ය ලෝකවල වුවමනාය. එහෙයින් අමාත්‍යාංශ ලේකම් හා දෙපාර්තමේන්තු ප්‍රධානී වැනි ඉහළ තනතුරු දරන රාජ්‍ය නිලධරයන් විශ්‍රාම ගොස් අවුරුදු දෙකක් ගත වන තුරුවත් ඔවුනට රාජ්‍ය සේවයේ අවසන් වසර කිහිපයේ ගත කරන ආයතන හෝ සේවාවලට සමානුපාත පෞද්ගලික හෝ ජාත්‍යන්තර ආයතන හෝ සේවා ස්ථානවල සේවයට යාම තහනම් කිරීමේ නීතියක් පැනවිය යුතුය.

දේශීය කර්මාන්තකරුවන්ට වැඩි වැඩියෙන් හිරිහැර වෙන්නේ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගෙන් මිස දේශපාලකයන්ගෙන් නොවේ.

වර්තමානයේ සිටින කර්මාන්ත අමාත්‍යවරයා  කර්මාන්තකරුවන්ට පහසුවෙන් හමුවිය හැකි, සාකච්ඡා කර ප්‍රශ්න විසඳාගත හැකි, දේශීය කර්මාන්තවලට හිතැති පුද්ගලයෙකි. එසේම කර්මාන්ත අමාත්‍යාංශයේ දැන් සිටින නිලධාරීන්ගෙන් බහුතරය ද එවැන්නෝය. එහෙත් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වැනි ආයතනවල නිලධාරීන් නිවැරැදි වන්නේම නැත. දේශීය කර්මාන්තවලට හිතැති සේවයක් ඔවුන්ගෙන් වන්නේම නැත. වර්තමාන රජය යටතේ සේම පසුගිය යහපාලන රජය යටතේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ද අපට පහසුවෙන් වැඩ කළ හැකි විය.  

පසුගිය රජයේ ඇමැතිවරුන් දැනුවත් නොකර මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසඳාගත් අවස්ථා ගැන අපේ කර්මාන්තකරුවන්ට අත්දැකීම් තිබේ. එහෙත් රාජ්‍ය සේවයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන බහුතරයක එවැනි සංස්කෘතියක් නැති බව පොදු පිළිගැනීමයි. එවැනි තත්ත්වයන් ඇතිවීමට පසුගිය රජය යටතේ හොර පාරෙන් තනතුරුවලට පැමිණීම ද හේතු වී තිබෙන බවට ආරංචි තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය සම්බන්ධයෙන් ද එවැනි චෝදනා පවතී. ප්‍රමිති කාර්යාංශයේ අකටයුතු වර්තමාන රජය යටතේ ද සිදුවීම බරපතළ කාරණයකි. ප්‍රශ්නයක් මතු වූ විට විද්වත් කමිටු දම දමා ප්‍රශ්න යට ගැසීම දැන් ඒ කාර්යාංශයේ පිළිවෙත වී තිබේ. වැරැදි ප්‍රමිතිය නිවැරැදි කරන්නැයි අප ප්‍රමිති කාර්යාංශයෙන් ඉල්ලා සිටියේ 2018 මැයි මාසයේදීය. එහෙත් අදටත් ඒ ඉල්ලීම ඉටු නොකරන්නේ සබන් නමින් බේදීන් බාර් නිපදවන අයට වාසි සැලැසීමට බවට මම චෝදනා කරමි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය වහාම කිරිපිටි සමාගමක සේවයට ගියේය. වර්තමාන රජය යටතේත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සංස්ථාවක සිටින සභාපතිවරයකු සබන් නොවන බේදීන් බාර් ප්‍රවර්ධන දැන්වීමක පෙනී සිටියි. ඒවා සියල්ල සදාචාරයට හා සදාචාර සම්මතයට පටහැනිය. එවැනි කටයුතු වර්තමාන රජය යටතේත් සිදුවීම දේශීය කර්මාන්තකරුවකු ලෙස මගේ කනස්සල්ලට හේතුවකි. ඒ සම්බන්ධයෙන් මව්බිම ලංකා පදනම සිය විරෝධතාව ලිඛිතව දැක්වූවත් ඒ අශිෂ්ට ක්‍රියාව යළි යළිත් සිදුවෙයි. ඒ සම්බන්ධයෙන් මම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මගේ විරෝධය ද පළ කළෙමි. එහෙත් ඒ ක්‍රියාව අදටත් නතර වී නැත. ජනතා බදු මුදල්වලින් වැටුප්, දීමනා සහ වෙනත් වරප්‍රසාද භුක්ති විඳින මේ ඉහළ රාජ්‍ය නිලධරයන් දේශීය කර්මාන්තකරුවන්ට කොකා පෙන්වමින්, දේශීය කර්මාන්ත කනත්තට දැක්කීමට ගෙන යන ක්‍රියා පිළිවෙත් ජනපතිගේ හා නව රජයේ දර්ශනයට පටහැනිය. රජයේ අරමුණු හා දර්ශනයට පටහැනි දේවල් ඉහළ රාජ්‍ය නිලධරයන් වෙතින්ම සිදුවන්නේ කෙසේ දැයි අපට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

 



අදහස් (0)

දේශීය කර්මාන්තකරුවන්ට කොකා පෙන්වීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 62 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1363 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 635 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4621 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12961 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38512 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site