IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


දූෂණ මැඩීම : කනස්සල්ලක්

ජාතික ජන බලවේගය-ජනතා විමුක්ති පෙරමුණ රජයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය සිකුරාදා සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස මාස හයක් රට පාලනය කිරීමයි.

පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනි දින පැවති ජනාධිපතිවරණය දේශපාලන භූමිකම්පාවක් විය. දිසානායකගේ ජයග්‍රහණය සාම්ප්‍රදායික ප්‍රබල බලවේග දෙකක් වන රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම පසෙකට දැමීය. උත්ප්‍රාසාත්මක ලෙස, සංහිඳියාව සඳහා ඔවුන්ගේ මෑත කාලීන උත්සාහය ඔවුන්ගේ අවුල් සහගත බව ඉස්මතු කළේය. අහිමි වූ භූමිය නැවත ලබා ගැනීම සඳහා එක්සත් වීම වෙනුවට, ඔවුන්ට හැකිවූයේ “එකඟ නොවී සිටීමට එකඟ වීමට” පමණකි.

බොහෝ කලකට පෙර පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය මැයි 6 වැනි දිනට නියමිතව ඇති අතර, වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය, පැරණි සගයන් විසින් අතහැර දැමූ හෙයින් හුදකලා සටනක යෙදී සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ තනිවම ඉදිරියට යමින් සිටී. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, සභාපති ඉම්තියාස් බාකීර් මාකර් ගිය සතියේ ඉල්ලා අස්වීමෙන් පසු තමන්ගේම කැළඹිලි සමග පොරබදමින් සිටී. ඔහු සාමාජිකත්වය හැර අනෙකුත් සියලුම නිල තනතුරුවලින් ඉල්ලා අස්විය. මෙම පසුබිම යටතේ, ජාතික ජන බලවේගය-ජනතා විමුක්ති පෙරමුණ බොහෝ පළාත් පාලනවල ජයග්‍රහණය සඳහා නිසැකවම සූදානමින් සිටින බව පෙනේ. මෙම මැතිවරණ පාලක සන්ධානයට එහි රට පුරා සහයෝගය පවත්වා ගැනීමට ඇති හැකියාව තක්සේරු කරමින් එහි පාලනය අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා වන ලිට්මස් පරීක්ෂණයක් ලෙසින් සැලකිය හැකිය.

සැබෑ ප්‍රශ්නය මතු වන්නේ, දූවිලි බැස යන විටය: දිසානායකගේ අභිලාෂකාමී පොරොන්දුවලින් කොපමණ ප්‍රමාණයක් යථාර්ථයක් බවට පත්ව තිබේද? දුන් පොරොන්දු දෙස ආපසු හැරී බලන විට ඇත්තේ මිශ්‍ර බෑගයකි. අමාත්‍ය මණ්ඩලය 25 කට සීමා කිරීමට ඔහු දුන් පොරොන්දුව ඔහු ඉටු කර ඇත. සම්පූර්ණයෙන්ම නොවුණත්, අදාළ විෂයන් අනුව අමාත්‍යාංශ බෙදා වෙන් කර ඇත. විදේශ කටයුතු සහ සංචාරක හෝ මාධ්‍ය සහ සෞඛ්‍ය එකට එක් කිරීමේදී දක්නට ලැබෙන පරිදි, තීරණ ගැනීම විධිමත් කිරීමට ගන්නා උත්සාහයේදී තනි අමාත්‍යවරුන් මත සැලකිය යුතු බරක් පැටවී ඇත.

තමා බලයට පත් වුවහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් නොවන බව ප්‍රකාශ කිරීමට තරම් දූරදර්ශීභාවයක් දිසානායකට තිබුණි. ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර පැවති ස්ථාවරය මෙයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය විසින් ආරම්භ කරන ලද සංවාදය ඔහු දිගටම කරගෙන ගියේය. එපමණක් නොව, ඔහු ගත් සමහර මුලපිරීම් පෙර පරිපාලනය විසින් සිදු කරන ලද ඒවා පිළිබිඹු කරයි. උදාහරණයක් ලෙස ​ෙපෟද්ගලික බදුකරණය ගත හැකිය. එහිදී ඔහු රුපියල් 200,000 ක සීමාවක් පොරොන්දු විය. මැතිවරණයට පෙර ජනාධිපති වික්‍රමසිංහ එය රුපියල් 150,000 ක මට්ටමක තබා ගැනීමට පොරොන්දු වූ අතර, එය සිදු විය. අවසානයේ දිසානායකට තම දේශපාලන ප්‍රතිවාදියා පොරොන්දු වූ දේ ක්‍රියාත්මක කිරීමට සිදු විය. තවත් දෙයක් වනුයේ, සමහර වෙළෙන්දෝ ලාබ ලබන බව පවසමින් ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමයි. එහෙත් එහි කිසිදු වෙනසක් සිදු නොවීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ස්ථාවරය ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාවගේ සහ විදේශීය අාණ්ඩුවල ප්‍රසාදය දිනා ගත්තේය. පසුගිය රජයට සාපේක්ෂව, ඔවුන් ගෙන ආ ස්ථාවරත්වය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම් ස්ථාවර ලෙස වර්ධනය විය. අනෙක් අතට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ පිළිපැදීම ජීවන වියදම ඉහළ යාම කෙරෙහි නොවැළැක්විය හැකි ප්‍රතිවිපාක ඇති කර තිබේ. එබැවින්, අනුප්‍රාප්තික අාණ්ඩුව විසින් උරුම කරගත් මෙම ව්‍යාකූලත්වය ආවේණික වන අතර, එය ජාතික ජන බලවේග-ජවිපෙ රජයට වඩාත් බරකි. මැතිවරණ සමයේදී ඡන්ද බවට පරිවර්තනය වන ඉහළ ප්‍රමුඛතාවක් ඇති ක්ෂේත්‍රයක් මෙය බව කිසිවකු අවධාරණය කළ යුතු නැත.

ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන අංගයක් වූයේ අල්ලස හා දූෂණයට එරෙහිව සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. එය දිසානායකගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානතම අරමුණ වූ අතර, ඔහුට පහසු ජයග්‍රහණයක් ගෙන දුන්නේ එම පොරොන්දුවයි. ජාතික ජන බලවේගය-ජවිපෙ සන්නිවේදන අංශය සන්ධානයේ අපේක්ෂකයාගේ වීඩියෝ දර්ශන වරින් වර නිකුත් කරමින්, අවස්ථා ඉස්මතු කරමින් ඒවා පිළිතුරු ලබා දුන්නේය. දිසානායක ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසුව පවා එය දිගටම පැවතුනි.

 

ප්‍රධාන දූෂණ නඩු

ඔහු තේරී පත් වී සති කිහිපයකට පසුව පවා විධිමත් ලෙස පටිගත කරන ලද පණිවිඩ කැටි කොට දක්වන විස්තරයක් හරහා කෙනකුට අදහසක් ලබාගත හැකිය. 2024 ඔක්තෝබර් 6 වැනි දින මෙම තීරු ලිපිවල පළ වූ තොරතුරුවලින් උපුටා ගත් කොටසක් මේ සමග පළවෙයි. ජනාධිපති දිසානායක මෙසේ පැවසීය: “දූෂිත පුද්ගලයන්ගේ වළල්ලක් තියෙනවා. දූෂණය අවසන් කිරීමට අපට අවශ්‍යයි. ඔවුන්ගේ ධනය වර්ධනය වී ඇති ආකාරය සහ ඔවුන්ගේ බැංකු ගිණුම් වැඩි වී ඇති ආකාරය අපි නිරීක්ෂණය කරලා තියෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත ප්‍රමාණවත් ප්‍රකාශ ලබා දී තියෙනවා. තරුණ දේශපාලනඥයකුගේ ගිණුම් පිළිබඳ ප්‍රකාශ තියෙනවා. මිග්-27 ප්‍රහාරක ජෙට් ප්‍රසම්පාදන ගනුදෙනුවේ මුදල් තැපැල් කේතයක් සහිත සමාගම් වෙත මාරු කළ ආකාරය පිළිබඳ ප්‍රකාශ තියෙනවා. මිග්-27 ගනුදෙනුවෙන් ඩොලර් මිලියන 14 ක් පමණ තැපැල් කේතයක් සහිත සමාගමකට ගෙවා තියෙනවා. ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා. ඒ නිසා අපි දූෂණය අතුගා දැමිය යුතුයි. අල්ලස් කොමිසම විසින් 2021 දී අත්අඩංගුවට ගැනීම් 36 ක් සිදු කර තියෙනවා. අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයින් කවුද? ඔවුන් විදුහල්පතිවරයකු, උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරුන් තිදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනකු ඇතුළුව මුළු ගණන නව දෙනයි. සංවර්ධන නිලධාරියෙකු, ග්‍රාම සේවකවරුන් හතර දෙනෙකු සහ සිවිල් වැසියකු ද සිටිනවා. ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන ලිපිකරුවකු, තාක්ෂණික නිලධාරියෙකු, පශු වෛද්‍ය නිලධාරියෙකු, ඉඩම් නිලධාරියකු සහ බස් ඩිපෝ කළමනාකරුවකු අනෙක් අය අතර ඉන්නවා...

“ප්‍රධාන දේශපාලන නඩු අධිකරණයෙන් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් පවරා ඇති මල්වාන නඩුව ඉදිරියට නොයන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ නිසා, මිනිසුන්ට දඬුවම් කළ හැක්කේ කෙසේද? ඔවුන්ට දඬුවම් කළ හැක්කේ දූෂිතයන්ට දඬුවම් කිරීමට කැමැත්තක් ඇති රජයකට පමණක් . “ගෝඩ් ෆාදර්ලා” ඉන්නවා. එක් නඩුවක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, (ආරක්ෂක සමාගමක හිමිකරු) අල්ලස් කොමිසමේ කාර්යාලයට ගොස් නිලධාරීන් දුර ප්‍රදේශයකට මාරු කරන බවට ඔවුන්ට තර්ජනය කළා. එම නිලධාරියා දුර ප්‍රදේශයකට මාරු කළේ නැහැ, එහෙත් විමර්ශන අංශයෙන් ඉවත් කර පරිපාලන අංශයට යවනවා. ඒ නිසා දූෂණය නැවැත්වීමට මේ දූෂිතයන්ට දඬුවම් කළ යුතුයි. ඒ ගැන සැකයක් තියාගන්න එපා. මේක ව්‍යාපෘතියක්. අනිත් පක්ෂවලට කියන්න බෑ තමන් දූෂණයෙන් තොරයි කියලා. එක්සත් ජාතික පක්ෂයට කියන්න පුළුවන්ද දූෂණයෙන් තොරයි කියලා? නෑ, මොකද (නායකත්වයේ ඉන්න අයටත්) චෝදනා තියෙනවා. මහින්ද රාජපක්ෂට නැගිටලා තමන්ගේ කඳවුර දූෂණයෙන් තොරයි කියන්න පුළුවන්ද? ඔහුටම දූෂණ චෝදනා එල්ල වෙනවා. අපි දූෂණය නවත්තනවා, දූෂිතයන්ට දඬුවම් කරනවා. දූෂණය කියන මාතෘකාව අපිට මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? අද අපි මුහුණ දෙන ප්‍රධාන අභියෝග තමයි මේ දූෂණය.

දිසානායකගේ දූෂණ විරෝධී ස්ථාවරය ඔහුගේ ජනාධිපති ධුරයේ පූර්වගාමියකු වූ අතර, එය මූලික ගලක් ලෙස මතු විය. ඉන් මහජන අපේක්ෂා ඉහළ නැංවීය. මහජන මුදල් අනිසි ලෙස භාවිත කිරීම සහ දූෂිත පුද්ගලයන් ආරක්ෂා කිරීම වැනි පද්ධතිමය ගැටලු මතු කිරීමෙන්, ඔහු ජාතික ප්‍රගතියට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට දූෂණයේ පුළුල් ඇඟවුම් ආමන්ත්‍රණය කළේය. පහළ මට්ටමේ වැරදිකරුවන් පමණක් නොව ඉහළ නිලධාරීන් සහ දේශපාලන චරිත ද වගවීම කෙරෙහි අවධාරණය කිරීම, පෙර පරිපාලනයන්ගෙන් කැපී පෙනෙන ලෙස ඉවත් වීමක් පිළිබිඹු කළේය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පාලනයේ ප්‍රධාන අභියෝගයක් ද ඉස්මතු කළ අතර, ඒ සියලු මට්ටම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීමයි. නිශ්චිත නඩු හෙළිදරව් කිරීමේ තීරණය මගින් මූල්‍ය අක්‍රමිකතා අනාවරණය කර ගැනීමේ සහ වැරදිකරුවන්ට නඩු පැවරීමේ වැදගත්කම අවධාරණය කෙරුණි.

මේ වන විට මාස හයක් ගතවී ඇතත්, වෙනත් ප්‍රධාන වැරැදි සිදුවීම් කෙසේ වෙතත්, අල්ලස් හෝ දූෂණ පිළිබඳ ප්‍රධාන නඩුවක් තවමත් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැත. එකම ව්‍යතිරේකය වන්නේ මෑතක් වන තුරු පොලිස්පති ධුරය හෙබවූ සහ දැන් වැඩ තහනමට ලක්ව සිටින දේශබන්දු තෙන්නකෝන්ගේ කතාවයි. එය නැවතත් අනපේක්ෂිත වර්ධනයක් ඇති කර ඇත. ඒ ගැන වැඩි විස්තර පසු ඡේදවල දැක්වේ. මේ දක්වා එළිදරව් වී ඇත්තේ නඩු දෙකක් පමණි. එකක් නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ ආච්චි සම්බන්ධ නඩුවකි. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබ ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගට අනුව, යෝෂිත රාජපක්ෂගේ බැංකු ගිණුමේ රුපියල් මිලියන 69 ක් සොයා ගැනීමෙන් පසුව, 2016 වසරේදී විමර්ශනය ආරම්භ විය. මෙම මුදල තමාට උරුම වූ ආකාරය පැහැදිලි කිරීමට අපොහොසත් වූ බවට ඔහුට චෝදනා එල්ල විය. මනතුංග බ්‍රහස්පතින්දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්විය. පසුව ඔහු තම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පැවැසුවේ තමා මාරුවක් ඉල්ලා ඇති බවයි, එය දැන් පොලිස් කොමිසම ඉදිරියේ ඇති ඉල්ලීමකි. පසුව හෙළි වූයේ යෝෂිත රාජපක්ෂ ඔහුගේ ආච්චි වන ඩේසි ෆොරස්ට් සමඟ හවුල් ගිණුමක් පවත්වාගෙන ගිය බවයි. අනෙක රුපියල් මිලියන 70 ක සාපරාධී අයථා පරිහරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ඇති අධිචෝදනා පත්‍රයයි. ක්‍රිෂ් ගොඩනැගිල්ල සඳහා වගකිව යුතු සමාගම විසින් ඔහුට මුදල් ගෙවා ඇති බවට චෝදනා එල්ල වේ. මූල්‍ය අපරාධ විමර්ශන අංශය වසා දැමීමට පෙර, මෙම විමර්ශනය අවසන් කර තිබුණි. එය දැන් නැවත පිහිටවනු ලැබ ඇත. පැහැදිලිව පෙනෙන පරිදි, ජනාධිපතිවරණයට පෙර සිටම අනෙකුත් ප්‍රධාන නඩු සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී තිබුණත්, මේ වන විට අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති එකම නඩු දෙක මෙයයි. එවකට සමහරක් සැකකරුවන් ගේ නම් පවා ප්‍රකාශ කර තිබුණි. අල්ලස්, දූෂණ සහ වෙනත් වැරදි සඳහා වන නඩු සම්බන්ධයෙන් කටයුතු කරන බවට රජය ප්‍රකාශ කිරීමත්, ඒ සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ බඳවා ගැනීමත් බොහෝ ප්‍රසිද්ධියට පත්ව ඇති හෙයින් මෙම ගැටලුව වඩාත් වැදගත් වේ. එක් අයෙක් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ය. අනෙක් පුද්ගලයා වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ශානි අබේසේකර ය. සෙනෙවිරත්න දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වන අතර, අබේසේකර ද්විත්ව තනතුරු හොබවයි. ඔහු මුලින්ම අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ වැළැක්වීමේ අංශයේ අධ්‍යක්ෂ ලෙස පත් කරන ලද අතර පසුව, ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස පත් කළේය.

 

පාස්කු ඉරිදා සමූල ඝාතන විමර්ශනය

2019 පාස්කු ඉරිදා සමූලඝාතනයෙන් පිරිමින්, කාන්තාවන් සහ ළමයින් 368 දෙනකු මිය ගොස් තවත් සියගණනක් තුවාල ලැබූහ. ජනාධිපති ධුරයට පත්වීමෙන් සති කිහිපයකට පසු, දිසානායක පාර්ලිමේන්තුවට පැවසුවේ “සති දෙකක් ඇතුළත” සැලකිය යුතු අත්අඩංගුවට ගැනීම් සිදුවන බවයි. විමර්ශනවල ප්‍රගතිය කතෝලික පල්ලියේ නායකයන්ට දැනුම් දෙන බව ඔහු සහ රජයේ අනෙකුත් නායකයෝ නැවත නැවතත් කියා සිටියහ. මෙය විශේෂයෙන් සිදුවූයේ පෙර දේශපාලන නායකයන් අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමට පසුබට වන බවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැමිණිලි කිරීමෙන් පසු වැරැදි වැටහීම් වළක්වා ගැනීම සඳහා ය. සමූලඝාතනවල හය වැනි සංවත්සරයට සති තුනක් පමණක් ඉතිරිව තිබියදී, මාර්තු 15 වැනි දින, කාදිනල් හිමිපාණන් මහජන සන්නිවේදන සංසදයකට පැවසුවේ යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට වීදි බැසීමට සිදුවනු ඇති බවයි. මීගමුවේ කටුවපිටිය පල්ලියට ගිය අවස්ථාවේදී ජනාධිපති දිසානායක මහතා අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

විරෝධතා තර්ජනයෙන් රජය කම්පනයට පත්ව ඇති බවක් පෙනෙන්ට තිබේ. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකයෙකු වූ, දැන් නැවැත සේවයේ පිහිටුවා තිබෙන ශානි අබේසේකර, මාර්තු 16 වැනි දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හත් දෙනෙකු සමඟින් බිෂොප් මන්දිරයේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවිය. මේ දක්වා සිදු කර ඇති පරීක්ෂණවල ප්‍රගතිය සහ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ඔවුන් ගන්නා උත්සාහයන් පිළිබඳව ඔවුහු කාදිනල් හිමිපාණන්ට කරුණු පැහැදිලි කළහ. මෙම අවස්ථාවට පසුදා කාදිනල්තුමා නවතම සාකච්ඡාවට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා කොළඹ රදගුරු පදවියේ රැස්වීමක් කැඳවීය. කතෝලික පල්ලිය තවමත් එහි නිල ප්‍රතිචාරය ප්‍රකාශ කර නොමැත. මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණ ගැන සෑහීමකට පත්වීමට නොහැකි නම්, පාස්කු ඉරිදා සංහාරයේ හයවැනි සංවත්සරය යෙදී තිබෙන අප්‍රේල් 21 වැනි දිනට පසුව කොළඹ සිට කටුවපිටිය දක්වා හෝ අනෙක් අතට පා ගමනක් පැවැත්වීමේ යෝජනාවක් පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇත. යෝජිත පාගමන පැවැත්වීමට නියමිත කටුනායක අධිවේගී මාර්ගයේ දිග කිලෝමීටර් 37.4 කි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකිනෙකට වෙනස් කණ්ඩායම් කිහිපයක් සමූල ඝාතනයේ විවිධ අංශ විමර්ශනය කරමින් සිටිති. මෑතකදී, ඡායාරූප සහ විස්තර රැගත් කණ්ඩායමක් මඩකලපුව බන්ධනාගාරයට පැමිණියහ. ඔවුහු එම ඡායාරූප නිලධාරීන්ට පෙන්වා, ඡායාරූපවල සිටින අයගෙන් කිසිවකු යම් නිශ්චිත කාල පරිච්ඡේදයකදී බන්ධනාගාරයට පැමිණ ඇත්දැයි විමසූහ. ඡායාරූපවල සිටින පුද්ගලයන් ඒ කාලයේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් මුණගැසී ඇත්දැයි දැන ගැනීමට ද ඔවුන්ට අවශ්‍ය විය. විමර්ශකයෝ තෝරාගත් විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන්ගේ නිවෙස්වලට ද ගියහ. ප්‍රශ්න කරන ලද අනෙක් අය අතර දෙමළ මක්කල් විඩුතලෙයි පුල්කියල් පක්ෂයේ සාමාජිකයන් කිහිප දෙනකු ද වූහ. මෙම දේශපාලන පක්ෂයට කලක් නායකත්වය දුන්නේ කොටි ගරිල්ලා සංවිධානයේ නැගෙනහිර පළාතේ හිටපු අණදෙන නිලධාරී විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා විසිනි. දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා, ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

විමර්ශකයන් උභතෝකෝටිකයකට මුහුණ දී ඇති බව පෙනෙන්නට තිබේ. 2019 දී සිදු වූ සමූල ඝාතන ලොව පුරා ප්‍රධාන මාතෘකා බවට පත් විය. ඒ තරමටම, ජාතික විමර්ශන ආයතන හෝ රටවල් කිහිපයක බුද්ධි අංශ කොළඹට පැමිණියේ ඔවුන්ගේ අදාළ රජයන්ගේ මූලිකත්වයෙන් ය. මෙයට එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI), ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP), ඊශ්‍රායලයේ මොසාඩ් සහ සිංගප්පූරුවේ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළත් විය.

එතරම් ප්‍රසිද්ධියට පත්ව නැති කරුණක් වන්නේ ශ්‍රී ලංකා රජය විසින් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය වෙත ලබා දුන් ආදාන ය. පොලිසිය විසින් එකතු කරන ලද ජංගම දුරකතන, ලැප්ටොප් සහ කැමරා වැනි ඉලෙක්ට්‍රොනික උපාංග 700 කට වැඩි ප්‍රමාණයක් ඒවාට ඇතුළත් විය. මෙයට හේතුව ඒවායේ අඩංගු දත්ත හොඳින් අධ්‍යයනය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට සම්පත් ශ්‍රී ලංකාවේ සතුව නොතිබීමයි. ගැඹුරු පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පෙළඹවූ ප්‍රධානම කාරණය වූයේ ප්‍රහාරයෙන් ඇමරිකානුවන් පස් දෙනෙකු මිය යාමයි.

2021 ජනවාරි 8 වැනි දින, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ, “ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකුට ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, ඒ අතර නම් කරන ලද විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට (ISIS) ද්‍රව්‍යමය සහාය ලබා දීමට කුමන්ත්‍රණය කිරීම ද ඇතුළත් ය. මෙම පුද්ගලයන් “ශ්‍රී ලංකාවේ ISIS” ලෙස හැඳින්වූ ISIS ආධාරකරුවන් කණ්ඩායමක කොටසක් විය. දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ප්‍රහාරයට එම කණ්ඩායම වගකිව යුතු අතර, එහිදී එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 268 දෙනෙකු මිය ගොස් තවත් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව අද මුද්‍රා තැබූ ෆෙඩරල් අපරාධ පැමිණිල්ලක දැක්වේ. කුමන්ත්‍රණයේ විත්තිකරුවන්ගේ භූමිකාවන් සහ 2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ කොළඹ, මීගමුව සහ මඩකලපුව යන නගරවල එකවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට හේතු වූ සිදුවීම් පැමිණිල්ලේ දක්වා ඇත. ඝාතනයට ලක් වූ එක්සත් ජනපද පුරවැසියන්ගෙන් එක් අයකු නිල කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ගිය වාණිජ දෙපාර්තමේන්තුවේ සේවකයෙකි.” චූදිතයන් වරදකරුවන් විය. අනෙකුත් බොහෝ ආයතන සමාන නිගමනවලට එළඹුණි.

 

දේශබන්දු අධිකරණයට භාරවීම

පොලිසිය දැඩි අපහසුතාවයට පත් කළ තවත් කාරණයක් වන්නේ ඔවුන්ගේ හිටපු පොලිස්පති තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ නඩුවයි. ඔහු බදාදා උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. එදින ඔහු කඩවත පිවිසුම්-පිටවීමේ ස්ථානයේ දී අධිවේගී මාර්ගයට ඇතුළු වූ බව දැන් අනාවරණය වී තිබේ. ඔහු අළු පැහැති ටොයොටා ප්‍රාඩෝ රථයකින් ගමන් කර තිබූ අතර ඔහුගේ “පරිවාරකයන්” ගමන් කර තිබුණේ තවත් කළු පැහැති වාහනයකිනි. දකුණු අධිවේගී මාර්ගයේ ගමන කිසිවෙකුගේ ඇස ගැසී නොතිබුණු අතර, නඩු විභාගය ආරම්භ වීමටත් පෙර ඔහු මහේස්ත්‍රාත් අධිකරණයේ අසුන්ගෙන සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත්වරයාට නොතීසි නිකුත් කිරීම අභියාචනාධිකරණය විසින් සඳුදා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු අධිකරණයේ පෙනී සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වූයේ වගඋත්තරකරුවන් වන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඩී. ඩබ්ලිව්. ආර්. බී. (රවි) සෙනෙවිරත්න සහ මධ්‍යම අපරාධ බුද්ධි විශ්ලේෂණ අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අය පෞද්ගලික වෛරයෙන් පෙළඹී නව විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවයි. තම සේවාදායකයාට එරෙහි විමර්ශනය ද්වේෂ සහගත, දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත, ඉලක්කගත, පක්ෂග්‍රාහී සහ ඔහුට එරෙහිව නඩු පැවරීම අරමුණු කරගත් එකක් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ද රොමේෂ් ද සිල්වා තර්ක කළේය.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය නීතියට අනුකූල බව සභාපතිත්වය දැරූ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් ප්‍රකාශ කළේය. එබැවින්, රිට් ආඥාවක් මගින් නියෝගයට බාධා කිරීමට කිසිදු පදනමක් නොමැති බව ඔහු තීන්දු කළේය. විනිසුරු කේ.කේ.එස්. දිසානායකද මෙම නියෝගයට එකඟ විය.

දේශබන්දු තෙන්නකෝන් දිනක් රිමාන්ඩ් භාරයේ තැබීමට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පසුගිය බදාදා නියෝග කළේය. ඉන්පසුව, බ්‍රහස්පතින්දා, ඔහු පිටු 13 ක නියෝගයක් නිකුත් කළේය. එහි මෙසේ දැක්වුණි: “2025 මාර්තු 11 වැනි දින තොරතුරු වාර්තාව මගින් මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර ඇති සහ විවෘත වරෙන්තුවක් මත සිටි දේශබන්දු තෙන්නකෝන්, ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා හරහා අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඇප ලබා දීමට පියවර ගත යුතු බවට දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කර තිබුණි. පැමිණිල්ල මෙහෙයවමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කළ දීර්ඝ ලෙස ඉදිරිපත් කිරීමේ සාරාංශය නම්, මෙම නඩුව සම්බන්ධයෙන් තීරණාත්මක පරීක්ෂණ පැවැත්වෙන බැවින්, සැකකරුට ඇප ලබා නොදී ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බවයි.

“ඒ කාරණයේ සමස්ත නීතිමය තත්වය සලකා බැලීමෙන් පසු, ඇප අයදුම්පත සලකා බැලීමට මෙම අධිකරණයට බලය ඇති බවට අධිකරණය නිගමනය කළේය. එබැවින්, ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත පිළිගෙන සැකකරු ඇප මත මුදා හැරිය යුතුද නැතහොත් නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිගෙන ඇප ප්‍රතික්ෂේප කළ යුතුද යන්න මෙම මහේස්ත්‍රාත් අධිකරණය තවදුරටත් සලකා බලා තීරණය කළ යුතුය.

“ සියලු කරුණු සලකා බැලීමෙන් පසුව, ලබාගත් නීතිමය  තත්වය පිළිගත යුතු බව මම තීරණය කරමි. ඒ අනුව, ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමි. සැකකරු 2025 අප්‍රේල් 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මම නියෝග කරමි. සැකකරු බන්ධනාගාරයේ සිටියදී සහ සැකකරු ප්‍රවාහනය කිරීමේදී ඔහුගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසත් ආරක්ෂක ක්‍රියා පටිපාටි අනුගමනය කරන ලෙසත් මාතර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරමි. සැකකරු සැඟවී සිටීමට ආධාර සහ අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව කඩිනම් සහ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, එම වැරදි සිදු කළ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අභියාචනාධිකරණය විසින් කරන ලද නියෝගවලට අනුකූලව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මම තවදුරටත් පැමිණිල්ලට නියෝග කරමි.”

2023 දෙසැම්බර් 31 වැනි දින වැලිගම W-15 හෝටලයෙන් පිටතදී මෙම වෙඩි තැබීම සිදු වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ-ජවිපෙ නායකයා පමණක් විය. සිද්ධිය ගැන මා දැනුවත් දැයි දැන ගැනීමට ඔහු එදින උදෑසන මට දුරකතන ඇමතුමක් දුන් බව මගේ මතකයේ ඇත. මම ඉන් පුදුමයට පත් වුණෙමි. පසුව මම ඔහුට කතා කර සිද්ධිය ගැන මා දන්නා දේ ඔහුට පැවැසීම සඳහාය. සිද්ධිය ගැන ඔහු හොඳින් දැනුවත්ව සිටි බව මට වැටහුණි. මා මෙම කාරණය සඳහන් කරන්නේ දේශපාලනඥයකු ලෙස ඔහු සියලු වර්ධනයන් පිළිබඳව යාවත්කාලීනව සිටි බව අවධාරණය කිරීම සඳහාය.

ජනාධිපති ධුරයේ මාස හයක් ගත වූ පසු, දේශබන්දු සිද්ධිය රජයේ දැඩි අවධානයට ලක්ව ඇත. ඊට හේතුව පොලිස්පති ධුරයට පත් කිරීමට හේතු වූ ක්‍රියාවලිය ජනාධිපති දිසානායක විසින් විවේචනාත්මකව විවේචනය කළ බැවිනි.

පළාත් පාලන මැතිවරණය ළඟ ළඟම එන අතර, උගතුන් සහ බුද්ධිමතුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ලෙස පත් කරගැනීම සඳහා ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ සටන් පාඨය උපයෝගී කර ගැනීමේදී ජාතික ජන බලවේගය-ජවිපෙ දැඩි ගැටලුවකට මුහුණ දෙයි. ඔවුන්ගේ පළමු පාර්ලිමේන්තු කථානායක අශෝක රන්වල සිද්ධියේ මෙම මෙම උපායමාර්ගය ආපසු හැරීම ඊට හේතුවයි. ආචාර්ය පදවියට හිමිකම් පෑම සනාථ කිරීමට අපොහොසත් වීමෙන් පසු ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය.

ජාතික ජන බලවේගය-ජවිපෙ රජය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ඇති ගතිකත්වයන් සැබවින්ම සිත්ගන්නා සුළුය. පරිපාලනයේ සාර්ථකත්වය පිටුපස ඇති ගාමක බලවේගය ඔහුගේ නොපසුබට උත්සාහයයි. ඔහු නාස්තිය අඩු කර ඇත. කෙසේ වෙතත්, එය විභව අසමතුලිතතාවක් ද පෙන්නුම් කරයි. ඔහුගේ වේගය සහ මැදිහත්වීම අනෙකුත් අමාත්‍යවරුන්ගේ අඩුපාඩු යටපත් කිරීමට හෝ හෙළිදරව් කිරීමට පවා ඉඩ ඇති අතර, එය ක්ෂුද්‍ර කළමනාකරණයට මග පාදයි. මෙය ඉතා ප්‍රායෝගික නායකත්ව ශෛලියක ශක්තීන් සහ අභියෝග දෙකම පිළිබිඹු කළ හැකිය. එය යම් ප්‍රමිතියක් සහ දැක්මක් සහතික කරන අතරම, එය එක් පුද්ගලයෙකු මත අධික ලෙස යැපීමේ අවදානමක් ද ඇති කළ හැකිය. එය ශක්තිය සහ දුර්වලතාව යන දෙකම එකට පිළිබිඹු කරයි.

ආධුනිකත්වය විසින් පරිපාලනය පීඩාවට පත් කර ඇති අතර, රට පුරා විදුලිය බිඳවැටීමට හේතුව වඳුරෙකුට ඇති අමුතු ගුණාංගයක් ලෙසට බලශක්ති අමාත්‍යවරයා විසින් පැවැසීම ඉන් නිරූපණය වේ. පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත, රජයේ මන්ත්‍රීවරුන් පුදුම සහගත ලෙස විපක්ෂ දේශපාලනයක නිරත වී ඇති අතර, ඔවුහු ජාතියේ දුක්ඛිත තත්වයන් සඳහා ඔවුන්ගේ පූර්වගාමීන්ට නිතර දොස් පවරති. එහෙත්, වැරැදි පියවර තිබියදීත්, ජාතික ජන බලවේගය - ජනතා විමුක්ති පෙරමුණ රජය සතුව ප්‍රධාන වාසියක් ඇත. ඒ රට තුළ දුර්වල හා අකාර්යක්ෂම විපක්ෂයක් පැවැතීමය.

 

(***)

“සන්ඩේ ටයිම්ස්” දේශපාලන විශ්ලේෂක විසිනි

සිංහලයට පරිවර්තනය කළේ - අනිල් කරුණාරත්න 



අදහස් (0)

දූෂණ මැඩීම : කනස්සල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 48 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 152 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 39 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ
2025 මාර්තු මස 29 276 0

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


බටහිර දෙබිඩි පිළිවෙත්
2025 මාර්තු මස 29 348 1

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට හා කොටි සංවිධානයේ හිටපු නායකයකුට එරෙහිව තහංචි පනවමින් බ්‍රිත්‍යාන්‍ය රජය පසුගිය සඳුදා (24) නිකුත් කළ නිවේදනයට ආණ්


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 216 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 52 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 673 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site