IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දූෂණය ආයෝජනයට බාධකයක්

ඇමරිකානු තානාපතිනි අලයිනා බී. ටෙප්ලිට්ස් ඩේලි මිරර් පුවත් පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවට ආයෝජන ඇද ගැනීම සඳහා එහි ව්‍යාපාර පරිසරය තුළ ඇතිවිය යුතු වර්ධනයන් පිළිබඳව කතා කළාය. ඇෆ්ගනිස්ථානය, ක්වාඩ්  (Quad) රටවල් සම්බන්ධව (ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ඇ.එ.ජ.) විමසූ ප්‍රශ්නවලටද ඇය පිළිතුරු දුන්නාය. මේ එම සම්මුඛ සාකච්ඡාවයි.


ප්‍රශ්නය:- අවසාන වශයෙන් ඔබ ජනමාධ්‍යවේදීන් සමග යෙදුණු සාකච්ඡාවලදී වරාය නගර නීතිය පිළිබඳව යමක් සඳහන් කළා. මුදල් විශුද්ධිකරණය උදෙසා යම් විවෘත භාවයක් එහි පවතින බව ඔබ ප්‍රකාශ කළා. ඔබ මෙම නීතියේ කිනම් විශේෂිත කොටස් වල එය දකින්නේද?
උත්තරය:- ඔබ දන්නා පරිදි එය වරාය නගරය ආශ්‍රයෙන් අප ජනමාධ්‍යවේදීන් සමග සිදු කළ වඩා පුළුල් සාකච්ඡාවක්. අප වරාය නගරය විසින් නියත ලෙස පිරිනමන සංවර්ධන හැකියාවන් පිළිබඳවත් කතා කළා. ශ්‍රී ලංකා රජයටත් ඔවුන් දැනට ලබාගෙන ඇති ආකාරයේ අයෝජන බොහෝ සෙයින් වරාය නගරය තුළින් ලබා ගැනීමේ අවස්ථාව තිබෙන බව මා හඳුනාගත්තා. වරාය නගරය වෙත ආයෝජන ඇද ගැනීම සඳහා රජය හොඳම ව්‍යාපාර  පරිසරය නිර්මාණය කළ යුතු බවත් එහිදී නීති හෝ නියාමනයන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ පරෙස්සම් විය යුතු බවත් මා සැලකිල්ල දක්වන බව ප්‍රකාශ කළා.

මන්ද යත් එම නීති හෝ නියාමන ක්‍රියාත්මක වන ආකාරයෙන් මුදල් විශුද්ධකරණය වැනි නීති විරෝධී භවිතාවන්ට හා දූෂණයට දොරටු විවර වීමට ඉඩ තිබෙනවා. එම නියාමන නීති අන්තර්ජාතික වශයෙන් ඉහළම ප්‍රමිතියෙන් ක්‍රියාත්මක නොවේ නම් එවැනි අනෙකුත් අනිසි ක්‍රියා සිදු වීමට ඉඩ තිබෙනවා.

ව්‍යාපාරකරණය සඳහා එවැනි භාවිතාවන් ප්‍රායෝගික ලෙස සිදු නොවන බවට තහවුරු කිරීමක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ඇමෙරිකානු ව්‍යාපාරික ආයතන වලට දූෂිත කටයුතුවල නියැළීම නීතියෙන් තහනම් නිසා එම ව්‍යාපාර පරිසරය හැකි උපරිම අයුරින්  පිරිසුදුව නොපවතින්නේද යන්න ගැන ඔවුන් දැඩි පරෙස්සම් සහගත වේවි. එම නිසා එම කාරණා පිළිබඳව රජය දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු යයි මා සිතනවා. ව්‍යාපාරික ආයතන තමන්ට කරදරවලට මුහුණ දෙන්නට සිදු නොවේද යන්න ගැන සහතික ලෙස දැනගන්නට උත්සාහ ගන්නේ තම ව්‍යාපාර එවැනි විභවතා ඇති අයහපත් ව්‍යාපාර පරිසරයකට නිරාවරණය විය යුතු නැති නිසයි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ගැනීම වැදගත් නිසා ඊට ප්‍රමුඛතාව දිය යුතුයි. නීති රීති සහ නියාමනයන් ඉහළම ප්‍රමිතියෙන් පවතින්නේද යන්න සහතික කරගත යුතුයි.


ප්‍රශ්නය:- කලාපයේ කේන්ද්‍රස්ථානය හා දකුණු ආසියාවේ පිවිසුම් දොරටුව බවට පත් වන්නට ශ්‍රී ලංකාව උත්සාහ දරන බව කියා සිටිනවා. එම කර්තව්‍යයට සහභාගිවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව කෙතරම් දුරට උනන්දු වන්නේද?
උත්තරය:- ශ්‍රී ලංකාව වාණිජ හා ආර්ථික වශයෙන් බොහෝ විභවතා සහිත ස්ථානයක් බවත් වරාය මෙහෙයුම් කටයුතු සහ සම්පාදන මෙහෙයුම් සම්බන්ධයෙන් එයට අත්දැකීම් රාශියක් තිබෙන බවත් මා මුලින්ම කීමට කැමතියි. අගුළු වැටී ඇති එම විභවතාවල අගුළු මුදා හැර වඩා ස්ථිර සාරවූ සාර්ථකත්වයක් උත්පාදනය කර ගැනීමට විනිවිද පෙනෙන සුළු ආර්ථික පරිසරයක් නිර්මාණය කර ගැනීම වැදගත්. ආයෝජන ඇද ගැනීමට හේතුවන ප්‍රධානතම කාරණය එය වග මා නැවතත් සිතනවා.

දෙරටම වඩාත් උනන්දු වන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් ශ්‍රී ලංකාවක් උදෙසායි. ඇමෙරිකාව පැත්තෙන් අප ශ්‍රී ලංකාවේ ස්ථිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ කැප වෙමින් මූල්‍ය ආයතන කළමනාකරණය කිරීමටත් අන්තර්ජාතික වශයෙන් හොඳම පිළිවෙත් ඔස්සේ එහි රාජ්‍ය මුල්‍ය තත්ත්වය ස්ථාවර ලෙස පවත්වා ගන්නටත් ඉඩ දෙන අයුරින් ප්‍රතිපත්ති පැනවීමට ශ්‍රී ලංකා ආණ්‍ඩුව දිරිමත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථාන පිවිසුම් දොරටුවක් බවට පත් කර ගැනීමේ අදහස වටා ආයෝජන ආකර්ෂණය කරගනිමින් හොඳම ස්ථානයක් බවට පත් වන්නට සහාය දෙන්නට උත්සාහ කරන්නේ ඒ ආකාරයටයි.


ප්‍රශ්නය:- ඇ. එක්සත් ජනපදයේ ව්‍යාපාර දූෂිත පැවතුම් අතර ස්ථානගත නොවෙන බව ඔබ එම පුවත්පත් සාකච්ඡාවේදීම කියා සිටියා. යෝජිත නව බලශක්ති බලකොටුව (Fortress Energy) ට කරන ආයෝජන සම්බන්ධයෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔබ එසේ සඳහන් කළා. තානාපතිතුමියනි, ඔබේ මතය අනුව ශ්‍රී ලංකාවේ ගැටලුව කෙතරම් දුරට බැරෑරුම් වේද?
උත්තරය:- ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් 2020 වසර සඳහා සකස් කළ දූෂණ පෙන්නුම් කරන දර්ශකයේ රටවල් 179 කින් ශ්‍රී ලංකාව පසු වූයේ 94වැනි ස්ථානයේ. මෙම තත්ත්වය යහපත් අතට වර්ධනය කර ගැනීමේ පැහැදිලි අවස්ථා තිබෙනවා. ඉන්දියාව පවතින්නේ 86 වැනි ස්ථානයේ. රුවන්ඩාව 49 වැනි ස්ථානයේ. සිංගප්පූරුව 3 වැනි තැන. මෙම තරගකරුවන් හා අසල්වැසියන්ගේ තත්ත්වයට එන්නට ශ්‍රී ලංකාවට අවස්ථා එමටයි.

රජය තමන් අපේක්ෂා කරන ආකාරයේ ව්‍යාපාරික පරිසරයක් සකස් කර ගැනීම සඳහා දූෂණය හා දූෂණ විභවතාව මැන බැලීමක් අවදානම ගණන් බැලීමේදී කළ යුතු වෙනවා. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සියලු දෑ කරන අතරතුර දූෂණය තුරන් කර දැමීමද කළ හැකියි. එය ඉහළ අන්තර්ජාතික මට්ටමේ නීති සම්පාදනයක් ඇතිකර ගනිමින් එය පූර්ණ ලෙස ක්‍රියාවේ යෙදවීමක් හා සමාන වෙනවා. කාර්යයන් සුමට ආකාරයෙන් හා සරළ කරගත හැකි ආකාරයට ක්‍රියාමාර්ග හා ගිවිසුම් මගින් බල ගැන්වීම කෙරේ නම් එවිට අල්ලස්, අයුතු ලාභ ලැබීමේ අවස්ථාවලට පෙළඹීමට සිදුවන්නේ නැහැ.

වාණිජ නීතිය නොකඩවා ඉවහල් කර ගැනීම මගින් කුඩා පරිමාණ සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසාය ශ්‍රී ලංකාව තුළ වර්ධනය වන වාතාවරණයක් සකස් කර ගත හැකි වේ යැයි මා සිතනවා. ඔවුන්ගේ දේශීය ආර්ථිකය තුළ වර්ධනය වන්නා සේම අන්තර්ජාතික හවුල් ව්‍යාපාර කරා යොමු වන්නටත් ඔවුනට (එම ව්‍යවසායකයින්ට) හැකියි. මෙය විදේශ ආයෝජන උදෙසාම දරන ප්‍රයත්නයක් නොව එය ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායයන් සඳහා ලබාදිය හැකි හොඳම අවස්ථාවක් ලබාදීමක් යැයිද මා සිතනවා. දූෂණය පරාජය කිරීමෙන් මෙම අරමුණු කිහිපයක් කරා ළඟා විය හැකියි.


ප්‍රශ්නය:- ඇමරිකා එක්සත් ජනපදයේ ආයෝජන හා ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව තුළ වර්ධනය කළ හැකි අනෙකුත් විශේෂිත අංශ මොනවාද?
උත්තරය:- ව්‍යාපාර පහසුකරණය පිළිබඳ ගැටලුව විසඳීමට ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ලෙස කැප වෙනවා. ලෝක බැංකුවෙන් වාර්ෂිකව සකස් කරන ව්‍යාපාර පහසුකරණයේ දර්ශකය මීට අදාළයි. මේ වන විට රටවල් 190 කින් ශ්‍රී ලංකාව පසුවන්නේ 99 වැනි ස්ථානයේ. එම නිසා තවත් වර්ධනය වීමට ඉඩ ඇති බව අපට මෙයින් පෙනී යනවා නොවේද? වඩාත් හොඳ තත්ත්වයට පත්වෙන්නට ඉඩකඩ අවස්ථා බොහෝ සෙයින් පවතිනවා. ඒ අතින් මෙරට සාර්ථකත්වයට පත් වේවි යැයි මා දැඩි අපේක්ෂාවෙන් පසු වෙනවා.

ආයෝජකයන්ට ප්‍රධාන වශයෙන් පුරෝකථනය කරමින් ඉදිරිය දැක ගැනීමේ අවස්ථාව තිබිය යුතු බව මගේ හැඟීමයි. ඔවුන් ප්‍රතිපත්තිවල ස්ථාවර භාවය බලාපොරොත්තු වෙනවා. ආයෝජනයන්ට හිතකර ප්‍රතිපත්ති ඔවුන් අපේක්ෂා කරනවා. එම ප්‍රතිපත්ති තනි ආණ්‍ඩුවක කාලයෙන් ඔබ්බට ක්‍රියාත්මකව පැවතිය යුතුයි. එම නිසා දේශපාලනඥයන් ආණ්‍ඩුවේ අනෙකුත් නායකයන් කර්මාන්ත අංශයේ නායකයන් සාමූහිකව එක්වී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ හා දේශපාලනයේ අනාගතය පිළිබඳ යම් ආකාරයක දැක්මක් (දර්ශනයක්) බෙදා හදා ගෙන එය යථාර්ථවත් කිරීම සඳහා යම් ස්ථාවර ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවිය යුතු වෙනවා. ප්‍රබල ආර්ථික පදනමකට ස්ථාවරය වැටෙන්නේ එසේ කිරීමෙන්. ආයෝජකයන් ගොඩ නැගෙන්නේ එවැන්නකින්.

අප වරාය නගරය පිළිබඳ සාකච්ඡා කිරීමේදී කීදේ නැවත කියන්නට මා කැමතියි. දූෂණ සිදුවෙද්දී ආයෝජකයන් අවදානමකට නිරාවරණය වන්නට කැමැති නැහැ. එම විභවතාව පනත කටයුතු කරන අයට පමණක් ඇතිවන ගැටලුවක් නොවේ. ඔවුන් දෙස පරීක්ෂාවෙන් බලා සිටින කොටස් හිමියන්ගෙන් සමන්විත නියාමන ආයතනවලටද බලපාන ගැටලුවක්. ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලයට අවදානම් තත්ත්ව පිළිබඳව සිතා ගනිමින් තීරණ ගත නොහැකියි. තමන්ගේ සමාගම්වලට එරෙහි ආර්ථික පියවර ගනිමින් අයබදු අයකර ගන්නා ආයතනවලට එම සමාගම් අසුවේ දෝයි ඔවුන්ට කල්තියා දැන ගැනීමට අවශ්‍යයි.

 ඔවුන් යම් ආයෝජනයක් කළ විට නිසි කලට වේලාවට ඊට අදාළ කටයුතු කරගත හැකි වේද යන්න ඔවුන්ට දැන ගැනීමට අවශ්‍ය වෙනවා. ගිවිසුම් වලට අදාළව බලය පැවරීම ඊට අදාළ විශේෂිත වූවක්.
ගිවිසුමක් අත්සන් කළ විට එය බලගැන්වී ඒ අනුව කළමනා කළ හැකියි. ඒ මගින් බලපත්‍රයත් පරිපාලන අනුමැතියත් එසැනින් පැවරිය හැකියි. තනි ස්ථානයකින් එකවර සියලු අනුමැතීන් ලබාගැනීමේ වර්ගයේ පහසුකම් පවා තිබිය හැකියි. ඉඩම් හෝ වෙනත් පහසුකම් ලබාගැනීමේදී යම් පහසුකම් කාර්ය පහසුකම් තිබේ දැයි ඔවුන්ට කල්තියා දැනගැනීමට අවශ්‍ය වෙනවා. එවිට නිෂ්පාදන කටයුතු සහ ව්‍යපාර මෙහෙයුම් කඩිනමින් පටන් ගැනීමට ඔවුන්ට අවශ්‍ය වෙනවා. බිල්පත් ගෙවීමට අවශ්‍ය වූ විටක හෝ ලාභය සියරට වෙත ගෙන යන විට ප්‍රාග්ධන පාලනයක් සිදුවී දැයි ඔවුන් සොයා බලනවා. එක්සත් ජනපදයේ විදේශ ආයෝජන වඩාත් ඇද ගැනීමට බලපාන්නේ මේ වර්ගයේ කාරණා. ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නට වුවද බලපාන්නේ එම සාධකමයි.


ප්‍රශ්නය:- ඔබේ මතය අනුව අමෙරිකානු ව්‍යාපාර වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ විභවතාව පවතින්නේ කුමන ව්‍යාපාර ඇසුරින්ද?
උත්තරය:- එක්සත් ජනපදයේ පෞද්ගලික අංශය මෙහෙයවන්නේ එ.ජ. රජයෙන් නොවෙයි. ඔවුන් තම ව්‍යාපාරික තීරණ ගන්නේ ව්‍යාපාරික අවස්ථා සහ ව්‍යාපාරික අවශ්‍යතා පදනම් කරගෙනයි. එහෙත් මෙරට ආයෝජන වැඩි වැඩියෙන් සිදුවනු දකින්නට මා කැමැතියි. අමෙරිකානු තානාපති කාර්යාලය දැඩි වෙහෙසක් දරමින් ඇමරිකානු ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කරණයට සහ වාණිජ අවශ්‍යතාවලට එක්කර ගන්නට දිරිමත් කරනවා. එය අපගේ කාර්ය භාරයේ කොටසක්. එය ශ්‍රී ලංකාවේ විදේශ දූත මෙහෙවරේ යෙදී සිටින අයගේ මෙන්ම විදේශ දූත මෙහෙවරේ යෙදී සිටින සැමගේ කාර්ය කොටසක්.

ඇතැම් වැඩි විභවතා ඇති අංශ පිළිබඳව මට සිතාගත හැකියි. ජනාධිපති රාජපක්ෂ, රජය ප්‍රමුඛතාව දෙන ක්ෂේත්‍ර ලෙස හුවා දැක්වූ බොහෝ අංග ඒවා හා සමපාත වෙනවා. විශේෂයෙන් තාක්ෂණික අංශය සහ බලශක්ති අංශය ඊට අයත්. බලශක්ති අංශයේදී ප්‍රතිචක්‍රීයකරණයට ලක්කළ හැකි බලශක්ති බලාපොරොත්තු වෙනවා. ඇමරිකානු ව්‍යාපාර එම ක්ෂේත්‍ර තුළින් ශක්තිමත් වන අතර යම් විභවතාවක් පිරිනමනවා.

කලින් ඇසූ ප්‍රශ්නයකදී ඔබ (New Fortress Energy) නව බලශක්ති බලකොටුව සම්බන්ධ විමසුවා. N.F.E. සහ රජය මෑතකදී අත්සන් කළ සැලසුම් රාමුවට අදාළ ගිවිසුමෙන් මා දිරිමත් වුවා. කීර්තිය දිනාගත් අමෙරිකානු සමාගමක් ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයේ ආයෝජනය කිරීමෙන් ගෝලීය ආයෝජන ප්‍රජාවට වඩාත් ධනාත්මක සංඥාවක් ලබා දෙනවා. එවැනි ආයෝජන ඇත්තෙන්ම ශ්‍රී ලංකාව තව තවත් ඇද ගැනීම අවශ්‍යයි. ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා සුදුසු ස්ථානයක් බව ඉන් පෙන්නුම් කෙරෙනවා.


ප්‍රශ්නය:- තානාපතිතුමියනි, ක්වාඩ් (Quad) රටවල් සම්බන්ධයෙන් එක් ප්‍රශ්නයක් අසන්නම්. ශ්‍රී ලංකාවත් මූලෝපායික ලෙස වැදගත් තැනක ස්ථානගතවී තිබෙනවා. Quad සම්බන්ධයෙන් අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?
උත්තරය:- මා හිතන්නේ මදක් පසුපසට පියවරක් තබා Quad යන්නේ අරුත විමසා බැලීම ප්‍රයෝජනවත් වේවි.  Quad යනු ඉංග්‍රීසි Quadrilateral යන චතුරස්‍රාකාර වචනයේ කෙටි යෙදුමක්. ඉන්දියාව, ජපානය, ඇ.එ. ජනපදය, ඕස්ට්‍රේලියාව යන රටවල් ඊට අයත් වෙනවා. 2004 සිදුවූ සුනාමියට ප්‍රතිචාර දැක්වීම උදෙසායි මුලින්ම මෙම රටවල් එකට එක්වී හමුවක් පැවැත්වූයේ.

2007 දී එය රාජ්‍ය තාන්ත්‍රික කතිකාවක් බවට පත්වුණා. 2017 දී වඩා පුළුල් සාකච්ඡා උදෙසා එය යළි උපත ලැබුවා. පසුව එම රටවල් හතර ඉන්දු පැසිෆික් දැක්මක් බෙදා හදා ගැනීම උදෙසා කැඳවනු ලැබුවා. එය නිදහස්, විවෘත, ප්‍රකෘති අවකාශයක් සහිත දැක්මක්.

ලෝකයේ මෙම දැවැන්ත කලාපය, පිවිසීමට බාධා නැති ක්‍රියාශීලී අන්තර්ජාතික නීතියෙන් පාලනය වන කලාපයක් බවට තහවුරු කරගැනීමයි අපට අවශ්‍යවන්නේ. නිදහස, නාවික ගමන් වලට බාධා නැතිබව, ආරවුල් උදෙසා සමකාමී විසඳුම් සහිත බව මෙම ප්‍රදේශය පාලනය කරනු ලබන නීති බවට පත් විය යුතුයි. ඒ අතරම බලෙන් නම්මා නොගෙන එම රටවලට තමන්ගේම ප්‍රතිපත්ති පවත්වාගෙන යාමට හැකි බවත් සහතික කර ගත යුතුයි.

එම නිසා එකිනෙකා වටහාගැනීමයි එහි සන්දර්භය. එම කලාපයේ සියලු රටවල් උදෙසා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික නිදහස, නාවික ගමනයේ නිදහස ඇතුළු නිදහස, යන හර පද්ධති පොදුවේ ගොඩනංවා බෙදා හදා ගනීවි යයි ඇමරිකාව බලාපොරොත්තු වෙනවා.

සමෘද්ධිමත් බව කරා දිවෙන යහපත් ලෙස පවත්වාගෙන යන ආර්ථික පවතීද යන්නත් විමසා බැලීමත් ඊටම අයත්. අප අපගේ ද්විපාර්ශ්වික සම්බන්ධතා පවත්වාගැනීම උදෙසා කරන කාර්යයන් ඊට වෙනස් නොවෙන බව මා සිතනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය යනු එම අරමුණ කරා යන සිව් දිසාගත සිව් පාර්ශ්වික සංවාද වල කොටසක් පමණයි.

මේවා පොදුවේ ශ්‍රී ලංකාවද බෙදා හදා ගතයුතු අරමුණු වෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ශ්‍රී ලංකාව සයුරුගත වෙළඳාමේ නියැළෙන රටක්. එම නිසා එකී අරමුණ ප්‍රවර්ධනය කිරීම පිණිස අපට එක්ව වැඩ කළ හැකි යයි අප බලාපොරොත්තු වෙනවා.


ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි, මධ්‍යස්ථ වූවක් බව ශ්‍රී ලංකා රජය පුන පුනා ප්‍රකාශ කර තිබෙනවා. මෙම ස්ථාවරය එක්සත් ජනපදයට කෙතරම් දුරට පිළිගත හැකිද?
උත්තරය:- ශ්‍රී ලංකාව ස්වාධීන රටක් වන අතර වෙනත් රටවල් සමග තමන්ගේ සබඳතා කෙසේ පවත්වාගෙන යා යුත්තේද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකීය ජනතාවයි. ශ්‍රී ලංකාව වේවා වෙනත් රටක් වේවා ඔවුන්ගේ සබඳතා විවෘත ලෙස විනිවිද පෙනෙන භාවයෙන් යුක්තව අෙන්‍යාන්‍ය උපකාරය සැලසෙන ලෙස පවත්වාගෙන යාවි යයි අප බලාපොරොත්තු වන්නේය යන මතය අප නිතරම ප්‍රකාශ කර තිබෙනවා. ඇමෙරිකාව ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යන සබඳතා එවැන්නක් බව අප විශ්වාස කරනවා. ඊටත් වඩා අප අතර හවුල් සබඳතාවක් පවතිනවා. එය දෙපසටම ගලායන හවුලක්. එම තත්ත්වය නිසා තම තමන්ගේ මත ඔබේ හර පද්ධති වටා බැඳෙන සහයෝගීතාව, අන්‍යොන්‍ය උපකාරය, අදිය පවා සෘජුවම හුවමාරු කරගත හැකියි.

අප අතර සම්බන්ධතා අවුරුදු 70 කට වඩා පැවතුණු එකක්. එයින් අවුරුදු 60 ක් තුළ අප සංවර්ධන සහාය ශ්‍රී ලංකාවට සැපයුවා. කෘෂිකර්මය, අධ්‍යපනය, සෞඛ්‍ය, නිවාස, ජලය, සනීපාරක්‍ෂාව, පරිසරය, කුඩා ව්‍යවසාය උදෙසා සහාය, කියන ඕනෑම කාර්යයකට සහයෝගය දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනටයි අප සහයෝගය දුන්නේ. ජීවන තත්ත්වය ඉහළ නංවමින් ප්‍රජාව ගොඩ නංවමින් ස්වයං පෝෂණය තහවුරු කරගන්නට අප සහාය පිරිනැමුවා. සබඳතාව එකිනෙකා අතර ගනුදෙනුවකට වඩා යමක් ලෙස ගෙනයන්නට අප කැපවුණා. ඉන් එකක් සැබෑ හවුල්කාරීත්වයයි. අපේ ද්විපාර්ශ්වික බැඳීම් ඒ ආකාරයි.


ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපද සබඳතා අංශ ගණනාවකින් යුක්ත විවිධ කාරණාවලට අදාලව පවතින්නක්. ඔබට මෙම සබඳතාවල බහුවිධ බව දෙස බැලූවිට ඒවා කෙතරම් දුරට එකිනෙක හා වෙළී පවතීදැයි පෙනී යන්නේද?
උත්තරය:- මා සිතන්නේ පාලනය, ආර්ථික වර්ධනය, සමස්ත ආර්ථික වර්ධනය සහ ආරක්‍ෂක සහයෝගිතාව, මුහුදු මාර්ග ආරක්‍ෂාව වැනි දේ, සමස්ත ආර්ථික කලාප, ව්‍යසනයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා සක්‍යතා සැපයීම මීට අයත්. මේ සියල්ලම එකිනෙක වෙළී පවතින කාරණා. ඒ සමගම එක්සත් ජනපදය ඉන්දු පැසිෆික් කලාපයට අදාලව උනන්දුවන කාරණා රාශියක් තිබෙනවා. ඒ සමගම මා සඳහන් කළ නාවික ගමනා ගමනයේ නිදහස වැනි මූලික කාරණා. මේ සියල්ලම අපගේ ආරක්‍ෂක සහයෝගීතාවට අයත්. ප්‍රජාතන්ත්‍රීය පාලනය සඳහා එය අවශ්‍යයි.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව පොදු අරමුණක් උදෙසා බෙදා හදා ගත යුතු එකිනෙක සහ බැඳුණු කාරණා මේවා යයි මා සිතනවා. යහපත් පාලනය ප්‍රවර්ධනය කිරීම උදෙසා අපට එක්ව කටයුතු කළ හැකියි. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්‍ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත් භාවය කරා යන්නට දිරිමත් කරමින් සියලු පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳ අයිතිය තහවුරු කරගන්නට අප ජනාධිපති රාජපක්‍ෂ හා රජය සමග එක්ව නීතිමය පාලනයත් ආර්ථික වර්ධනය උදෙසා අපට එක්ව කටයුතු කළ හැකියි.

ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණ උදෙසා ඇප කැපවී සිටිනවා. ඒ මගින් විශාල ක්ෂේත්‍රයක කටයුතු ආවරණය වෙනවා. එහි ප්‍රධාන කාර්ය කොටසට අදාලව කටයුතු කරද්දී ඔබට තනි කාර්යයක් කළ නොහැකියි. මන්ද යත් ඒ සියල්ල ඔබ කී ආකාරයට සියල්ල එකට වෙළී පවතින නිසා.


ප්‍රශ්නය:- මුල්‍ය උපකාර සහ සහයෝගීතාව උදෙසා ශ්‍රී ලංකාව තද බල ලෙස චීනය මත යැපෙන බවට ඇතැම් අය කනස්සල්ල පළකොට තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මුල්‍ය අර්බුදය ගත් විට ඇමෙරිකා එක්සත් ජනපදයට මෙරටට උදව් කළ හැක්කේ කෙසේද?
උත්තරය:- එක්සත් ජනපද පිරිනමන උපකාර වලට ආපසු ගෙවීමක් කළ යුතු නැහැ. අප ඇත්තටම ණය ලබා දෙන්නේ නෑ. අප පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවට වඩාත් අවශ්‍ය අංශ රාශියක් හරහා ශක්‍යතා ගොඩ නැංවීමටත් ඔවුන්ට ඒ සඳහා උපකාර කරන්නටත්. අප අවුරුදු 70 ක් පමණ දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ආර්ථික විභවතාව නංවන්නට බැඳී සිටියා. ඒවායේ ප්‍රතිඵලද ලබා දෙන්නට අප කැපවී ක්‍රියා කළා.

කොටස් හුවමාරුව ඉන් එකක්. මේවා එක්සත් ජනපදය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට පිරිනැමූ සංවර්ධන සහයෝගිතාව නිසා ලැබුණු දේ. රැකියා සඳහා බොහෝ පුහුණුවීම් ඇතුළුව මේ අවස්ථාවේ අප ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වර්ධනය කිරීම උදෙසා අවධානය යොමු කොට තිබෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකයට හානිකර විය හැකි යමක් හේතුවෙන් හදිසි අවශ්‍යතා මතුවෙන විට අප ප්‍රතිචාර දක්වනවා. ඉදිරියේදී පවා අප එසේ කටයුතු කරනවා. 2004 සුනාමිය ගැන කලින් සඳහන් කළා. 2017 ගංවතුරදිත් එහෙමයි. මේ අවස්ථාව වනවිට කොරෝනා වසංගතය මර්දනය උදෙසා අප සහය වෙනවා.
මෑතකදී අප මොඩර්නා එන්නත් මිලියන 1.5 ක් නොමිලේ ශ්‍රී ලංකාවට සැපයුවා. එය පැමිණියේ Covax පහසුකම් යටතේ. එහෙත් එය ඇමරිකාවේ එන්නත් සංචිතයෙන් පැමිණියේ. ඒ අපගේ වර්තමාන කටයුතුවල කොටසක්.

ඊට අමතරව කොරෝනා මර්දනය උදෙසා අප ඇ.ඩො. මිලියන 8 ක් ලබා දී තිබෙනවා. එය සෘජුව හෝ වක්‍රව ආර්ථික අපහසුතා වලින් මුදාගෙන ඉදිරියට ගෙනයාමට උපකාර කරන වෑයමක්. ඊට අමතරව ප්‍රදාන ලෙස වෙන්ටිලේටර 200 ක් සහ රෝගි විනිෂ්චය පරීක්‍ෂණ කට්ටල 500,000 කට වඩා එවනු ලැබුවා. එම නිසා අපගේ උපකාර ප්‍රවේශය වන්නේ ආර්ථික වර්ධන ශඛ්‍යතාව උදෙසාත්, අර්බුද කළමනාකරණය කිරීමට කරන උපකාර අාදියත්. ඉතා මෑතකදී කළේ වසංගත මර්දනය උදෙසා කරන උපකාර.


ප්‍රශ්නය:- මෑතකදී ඔබ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සමග සාකච්ඡාවක නියැලුනා. එම සකච්ඡාව පදනම් කොටගෙන එවේලේ පටන් කිනම් ප්‍රගතියක් සිදුවී තිබේද?
උත්තරය:- මුදල් අමාත්‍යතුමා සමග අපට හොඳ හමුවක් පවත්වන්නට හැකිවුණා. එය ඉතා සුහදව පැවති හමුවක්. අපගේ සංවාදයට මීට කලින් මැදහත් වූ මාතෘකාවක් වන අයෝජන ගැන කතා කිරීමට අවස්ථාවක් අපට ලැබුණා. අයෝජකයන් මුහුණපාන අභියෝග, ඔවුන්ට ඇති සීමා, ඔවුන් උදෙසා විවෘතව තැබීමේ අවශ්‍යතාව, විනිවිද පෙනෙන සුළු පරිසරය, ආයෝජකයන් අවදානමේ හෙළීම සිමාකිරීම හා ව්‍යාපාර පරිසරය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවට ඇති අපේක්‍ෂා සහ පිළිගත් අන්තර්ජාතික සම්මතයන්ට ගැළපෙන අයුරින් පිළිවෙත් පවත්වා ගැනීම ආදිය ගැන අප සාකච්ඡා කළා.

ශ්‍රී ලංකාව වෙත ගුණාත්මක බවින් ඉහළ ආයෝජකයන් ඇදෙනු දකින්නට මා කැමතියි. එම අදහස් මුදල් අමාත්‍යතුමා වෙත පළකළා. ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් මා ප්‍රසිද්ධියේ කියා පෑ අදහස් මා ඔහු සමගද බෙදා හදා ගත්තා. මේ අවස්ථාවේ එය හොඳ තත්ත්වයක පසුවෙන්නේ නෑ. වසංගත තත්ත්වය නිසා ගෝලීය වශයෙන්ද මෙය අසීරු කාලයක්. මා විශ්වාස කරන අන්දමට ශ්‍රී ලංකාවට ඇති එක් විසඳුමක් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රදානය කරන සම්පත් භාවිතා කිරීමයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සමාජිකයෙක්. අනෙකුත් රටවල් 188 ක් එහි සාමාජිකත්වය දරනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිහිටුවා ඇත්තේ දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීමට මෙන්ම ගෝලීය මුල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම තහවුරු කර ගනිමින් ගෝලීය රැකියා අවශ්‍යතාවලට උපකාර කිරීමටයි. එබැවින් එය ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය වන ආකාරයේ උපකාරයක් බව මා සිතනවා. එනිසා අප එහි සාමාජිකයකු වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපකාරක සම්පත් ලබා ගන්නා ලෙසට කියා සිටියා. එසේම ඉදිරිය කරා දිවෙන දැඩි ආර්ථික පදනමක් සකස් කරගැනීමට කළ යුතු සංශෝධන ගැනද සාකච්ඡා කළා.


ප්‍රශ්නය- අවසාන වශයෙන් ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳවද මා අසන්නට කැමතියි. දශක දෙකකට පසුව ඇමෙරිකාව, ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වුණා. කලාපීය සාමය පිළිබඳව සැලකිලිමත් වීමේදී ඇමරිකාවේ මීළඟ කාර්ය භාරය කුමක් වේද?
උත්තරය:- ඇෆ්ගනිස්ථානයේ සිදුවන දේ බොහෝවක් මා බලා සිටියා. ඇෆ්ගනිස්ථානයෙන් ලැබුණු බොහෝ සළ රූ දැඩිසේ සිත් සසළ කරවන ඒවා. මේ වනවිට ගුවන් තොටුපොළේ තත්ත්වය සමථයකට පත්ව ඇති බව මා දැනගත්තා. මේ වනවිට හැරයාමේ කටයුතු සිදුව අවසන්. අප ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල් සහ අනෙකුත් කලාපීය රටවල් සම්බන්ධීකරණය කර ගනිමින් වඩා පුළුල් අන්තර්ජාතික ප්‍රජාවකට බද්ධ වෙනවා.

දැනට වර්ධනය වන තත්ත්වය හා එක්ව යන ප්‍රවේශයකින් කටයුතු සිදුවන බව තහවුරු කර ගැනීම අපට අවශ්‍යයි. දින දෙක තුනකට පෙර කළ ප්‍රකාශයේ ප්‍රතිඵල අප දැන් දකින බව මා සිතනවා. මේ වනවිට රටවල් 106ක් ඒකාබද්ධව පිටව යන්නට කැමති ඇෆ්ගන් ජාතිකයන්ට හා විදේශිකයන්ට නිරුපද්‍රිතව පිටවයාමට පහසුකම් සළසා දෙන ලෙස අදාල පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය ද එදිරිවාදිකම් නවතා දමන ලෙසත්, නව රජය සමග සාකච්ඡා තුළින් සමථයකට එන ලෙසත් ඉල්ලමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඉක්මනින්ම එළඹිය යුතු පියවර මේවා යයි මා සිතනවා.

මේ මොහොතේ අතිශය අසීරු තත්ත්වයක් අප පසුකරමින් සිටිනවා. එහෙත් අප කලාපය තුළ සහ පුළුල් ජාත්‍යන්තර ප්‍රජාවත් සමග සහයෝගයෙන් මෙම කාර්යය කළ යුතුයි.


ප්‍රශ්නය:- මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ඔබ කටයුතුවල නියැළී තිබේද?
උත්තරය:- ඔව්. අප ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පවත්වා අදහස් හුවමාරු කර ගත්තා. දැනට පැවැත්වෙන ගෝලීය සංවාදයේ කොටස්කරුවන් බවට ඔවුන් පත් වේවි.

(***)
සාකච්ඡා කළේ
කැලුම් බණ්ඩාර
2021.8.30 Daily Mirror
පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ



අදහස් (6)

දූෂණය ආයෝජනයට බාධකයක්

අජිත් චන්දන Tuesday, 07 September 2021 10:04 PM

සජබ අය මෙයාව ජනාධිපති කරගත්තනම් හරි.

:       3       72

Raveendra Wednesday, 08 September 2021 07:04 AM

"දූෂණය ආයෝජනයට බාධකයක්" ඇමෙරිකන් නගාගේ අරුම පුදුම සොයා ගැනීමකි ....අනේ නගෝ ඇමෙරිකාව විසින් අනාගතය, ආර්ථිකය දුෂණය කරපු ලෝකයේ තිබෙන රටවල් ගැන නගා මොකද කියන්නේ...?

:       2       42

රටවල් කනු ලැබේ Thursday, 09 September 2021 10:37 PM

ඇෆ්ගනිස්ථානේ ඔයාලා හොඳටම කරා අපි දැක්කා.

:       2       23

විජේ Friday, 10 September 2021 06:37 AM

ඒක ඔයගොල්ලන්ගෙ ප්‍රශ්නයක් නෝනෙ

:       0       0

Nimal Jayasooriya Friday, 10 September 2021 08:32 AM

ආගමික ස්ථානවලින් සිදුකරන " ආගමික ශබ්ද දූෂණය " නිදහසේ ජීවත් වෙන්නට බාධාවකි !

:       0       0

badman Friday, 10 September 2021 01:11 PM

දුෂණය ආයෝජනයට ලොකු බාධාවක් තමයි

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 90 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 405 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1030 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1521 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 246 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 457 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2099 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site