IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දූෂණය ලෝකය දකින ශ්‍රී ලංකාව

(සටහන – ගුණසිංහ හේරත්)

රාජ්‍ය අංශයේ දූෂණ අතින් ලංකාව වේගයෙන් සංවර්ධනය වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ දූෂණ සංජානන දර්ශකයෙන් අනාවරණය වෙයි. ඒ දර්ශකය ගණනය කරන්නේ ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශක සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළු බාහිර මූලාශ්‍ර  13කින් ලබාගන්නා දත්ත පදනම් කරගනිමිනි.

දූෂණ සංජානන දර්ශකයට අනුව ලකුණු 100ක් ලබාගන්නා රාජ්‍ය දූෂණයෙන් තොරය. ලකුණු බින්දුවක් ලබාගන්නා රාජ්‍යය අන්ත දූෂිත ය. 2022 ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 36කි. ඒ අනුව ලංකාවට හිමි ස්ථානය 107 වැනි තැනය.

ඒ ලෝකයේ රටවල් 180ක් අතරිනි. 2021 දී ලංකාව 102 වැනි තැනත් 2020 දී 94 වැනි ස්ථානයත් හිමිකරගෙන තිබුණේ පිළිවෙළින් ලකුණු 37ක් සහ 38ක් ලබාගනිමිනි. ඒ අනුව ලංකාවේ රාජ්‍ය අංශයේ දූෂණ ශීඝ්‍රයෙන් වර්ධනය වන බව මැනවින් අනාවරණය වෙයි.

දකුණු ආසියාවේ රටවල් අතරින් ලංකාව 107 වැනි තැන සිටියත් අසල්වැසි මාලදිවයින ලකුණු 40ක් ලබාගෙන 87 වැනි තැන සිටියි. භූතානය ලකුණු 68ක් ලබාගෙන 25 වැනි තැන සිටියි. දූෂණ වැඩිම රට සෝමාලියාවය. දූෂණ දර්ශකයේ අන්තිමට එනම් 180 තැන සිටින්නේ සෝමාලියාවය. එරට ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව  12කි. සෝමාලියාවට උඩින් 179 වැනි තැන සිටින්නේ සිරියාවය. සිරියාවට උඩින් සිටින්නේ දකුණු සුඩානයයි.

ලකුණු 90ක් හිමිකරගෙන සිටින ඩෙන්මාර්කය දූෂණ දර්ශකයෙහි ඉහළින්ම එනම් පළමුවැනි තැන සිටියි. දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගෙන සිටින්නේ ෆ්‍රීන්ලන්තය සහ නවසීලන්තයයි. ඒ ලකුණු 87ක් හිමිකරගෙනය. ලකුණු 83ක් හිමිකරගත් සිංගප්පූරුව පස්වැනි ස්ථානයේත් ලකුණු 47ක් හිමිකරගත් මැලේසියාව 62 වැනි තැනත් ලකුණු 42ක් හිමිකරගත් වියට්නාමය 83 වැනි ස්ථානයේත් සිටියි.

කොටින්ම කිවහොත් ඉතියෝපියාව පවා සිටින්නේ ලංකාවට ඉහළිනි. ඒ ලකුණු 38ක් හිමිකරගෙන 96 වැනි ස්ථානයේය. 2020 දී 94 වැනි ස්ථානයේ සිටි ලංකාව 2022 දී 107 වැනි තැනට වැටී සිටින්නේ දූෂණ මර්දනය ගැන කටමැත දොඩවන මැති ඇමැතිවරුන්ගේ සහ ඉහළ රාජ්‍ය නිලධරයන්ගේ සළුපිළි උනා දමමිනි.

දූෂණය අතින් ලංකාව සිටින තැන අවබෝධ කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දෙන බවට ගිවිසගත් ණය මුදලේ දෙවැනි වාරිකය පිරිනැමීමට පෙර ලංකාව තමන් සමඟ ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කර තිබෙන තරම ගැන සොයා බැලීමට මෙරටට පැමිණියේ පසුවුණු සැප්තැම්බර් මාසයේදීය. ඒ සමාලෝචනයෙන් පසුව ගිවිසගත් ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් නොකර ලංකාව ප්‍රමුඛතාව දී ක්‍රියාත්මක කළ යුතු සහ හඳුන්වාදිය යුතු නව නීති රැසක් පිළිබඳව නිර්දේශ 16ක් ඉදිරිපත් කර තිබේ. මතු දැක්වෙන්නේ ඒ නිර්දේශ 16න් කිහිපයක් පිළිබඳ සමාලෝචනයකි.

මූල්‍ය අරමුදලේ පළමුවැනි නිර්දේශය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සාමාජිකයන් හෙවත් කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්කළ යුතු පුද්ගලයන් නම් කිරීමට ස්වාධීන විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශන කමිටුවක් පත් කළ යුතු බවය. එය මේ 2023 නොවැම්බර් මාසය ඇතුළත පත් කළ යුතු බව මූල්‍ය අරමුදලේ නිර්දේශයයි. ඒ නිර්දේශය කිරීමේ අරමුණ නීතියේ ආධිපත්‍යය සහ වගවීම ශක්තිමත් කිරීම බව මූල්‍ය අරමුදල කියයි. ඒ ස්වාධීන විශේෂඥ කමිටුව පිහිටුවීමේ වගකීම පැවැරෙන බලධරයා ව්‍යවස්ථා සභාව බවද මූල්‍ය අරමුදල කියයි.

මූල්‍ය අරමුදලේ දෙවැනි නිර්දේශය වත්කම් හෙළිකිරීම පිළිබඳව ය. ජනාධිපති, අගමැති සහ ඇමැතිවරුන් තම වත්කම් කාටත් දැක බලාගත හැකි වෙබ් අඩවියක ප්‍රදර්ශනය කළ යුතු බව මූල්‍ය අරමුදලේ නිර්දේශයයි. එය දැනට සම්මත කරගෙන තිබෙන දූෂණ මර්දන නීතියට අනුකූලව සිදුවිය යුතු බව මූල්‍ය අරමුදලේ යෝජනාවයි.

එසේම එය 2024 ජුලි මාසය වෙද්දි ක්‍රියාත්මක විය යුතු බව ඔවුන්ගේ නිර්දේශයයි. ඔවුන්ගේ වත්කම් ප්‍රකාශන වෙබ් අඩවියක ප්‍රදර්ශනය කිරීමේ වගකීම පැවරෙන බලධරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බව මූල්‍ය අරමුදල කියයි. තමන් ඒ නිර්දේශය කරන්නේ ලංකාවේ දේශපාලකයන්ගේ වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා බවද මූල්‍ය අරමුදල කියයි.

අපරාධ මර්දනය සඳහා පනවන සහ පනවා තිබෙන නීති එක්සත් ජාතීන්ගේ අපරාධ මර්දන නීතිවලට අනන්‍ය විය යුතු බව මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට කරන තෙවැනි නිර්දේශයයි. එය 2024 අප්‍රේල් මාසය වෙද්දි කළ යුතු බවද මූල්‍ය අරමුදල කියයි. ඒ වගකීම අධිකරණ අමාත්‍යංශයට පැවරෙන බව කියන මූල්‍ය අරමුදල තමන් මෙම නිර්දේශය කරන්නේ ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා බව ද පෙන්වා දෙයි.

පොදු දේපළ භාවිත කිරීමේ දී නැතහොත් පාවිච්චි කිරීමේ දී වගවීමකින් සහ අනවධානයෙන් කටයුතු කිරීම වැළැක්වීම සඳහා නැතහොත් අනවධානයෙන් කටයුතු කිරීම පාලනය කිරීම සඳහා පියවර ගත යුතු බව මූල්‍ය අරමුදලේ සිව්වැනි නිර්දේශයයි. එසේ කටයුතු කිරීමට අසමත්වන අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන් රජයට සිදුවන අලාබ අය කර ගැනීම සඳහා අධිභාර පැනවිය හැකි පරිදි ජාතික විගණන පනත සංශෝධනය කළ යුතු බව මූල්‍ය අරමුදලේ නිර්දේශයයි.

තමන් ඒ යෝජනාව කරන්නේ රජයේ මුදල් නැතහොත් පොදු දේපළ පාවිච්චි කරන රාජ්‍ය නිලධරයන් වගවීමකින් සහ විනිවිද පෙනෙන අයුරින් කටයුතු කරන තත්ත්වයක් ගොඩනැගීම සඳහා බව මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. එසේ කිරීමට හැකිවන පරිදි ජාතික විගණන පනත සංශෝධනය කිරීමේ වගකීම විගණකාධිපතිට සහ මුදල් අමාත්‍යංශයට පැවරෙන බවද මූල්‍ය අරමුදල කියයි.

වර්තමානයේ ක්‍රියාත්මක වන ජාතික විගණන පනත සම්මත කරගත්තේ 2015 ජනවාරියේ බලයට පත්වුණු යහපාලන ආණ්ඩුව යටතේ 2018 දී ය. ඒ පනත ක්‍රියාත්මක වන්නේ 2018 ජුලි 17 වැනිදා සිට ය. ඒ පනතට අදාළ කෙටුම්පත සම්පාදකයන්ගේ සහ යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට සම්මාදම් සහ සම්බන්ධවූවන්ගේ පරම අභිලාෂය වූයේ පොදු දේපළ අවභාවිත කරන අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින්ට අධිභාර පැනවිය හැකි පරිදි ඒ කෙටුම්පත සම්මත කර ගැනීම ය.

එහෙත් ඊට ප්‍රබලව විරුද්ධ වූයේ ඒ යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයකුව සිටි රවී කරුණානායක ය. ඔහු එදා ප්‍රසිද්ධියේ කියා සිටියේ විගණකාධිපතිවරයාට බුරන්නට මිස හපන්නට නොහැකි වන පරිදි විගණන පනත් කෙටුම්පත සම්මත කරගත යුතු බව ය. අවසානයේ වූයේ ද ඔහුට අවශ්‍ය දෙයයි.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද කියන්නේ විගණකාධිපතිවරයාට බුරන්නට නොව හපන්නට හැකි වන පරිදි විගණන පනත සංශෝධනය කළ යුතු බව ය. වර්තමානයේ රටේ ජනාධිපතිවරයා වන්නේ එදා ඒ යහපාලන ආණ්ඩුවේ සිටි අග්‍රාමාත්‍යවරයා ය. විගණකාධිපතිවරයාට හපන්නට හැකි වන පරිදි ජාතික විගණන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට එදා ඒ අග්‍රාමාත්‍යවරයාට ද වුවමනාවක් නොවී ය. එසේ නම් වර්තමානයේ කුමක් වේදැයි බලා සිටිමු.

ජාත්‍යන්තරයේ සම්භාවිත මට්ටමේ ප්‍රසම්පාදන නීතියක් 2024 දෙසැම්බර් වනවිට සම්මත කර ගන්නැයි මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට නිර්දේශ කරන්නේ තම හයවැනි යෝජනාව ලෙසිනි. තමන් එසේ යෝජනා කරන්නේ ලංකාවේ මුදල් පාලනයේ විනිවිදභාවය වර්ධනය කිරීමට බව කියන මූල්‍ය අරමුදල ඒ නව නීතිය සම්පාදනය කර සම්මත කර ගැනීමේ වගකීම මුදල් අමාත්‍යංශයට පැවරෙන බව ද සඳහන් කරයි.

මූල්‍ය අරමුදලේ නව වැනි නිර්දේශය වන්නේ රාජ්‍ය සංස්ථා හා මණ්ඩල ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නව සමාගමක් (Holding Company) සහ උපදේශක මණ්ඩලයක් පිහිටුවිය යුතු බව ය. අනතුරුව ඒ සමාගමට සහ උපදේශක මණ්ඩලයට ආචාරධාර්මික අතින් පොහොසත්, ස්වාධීන සහ කුසලතාවලින් පිරිපුන් පුද්ගලයන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් පත්කළ යුතු බව මූල්‍ය අරමුදලේ නිර්දේශයයි. ඒ නිර්දේශයේ අරමුණ විනිවිදභාවය වර්ධනය කිරීම බව කියන මූල්‍ය අරමුදල ඒ නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ වගකීම මුදල් අමාත්‍යංශයට පවරයි.

බදු පිළිබඳ සංශෝධන ඉදිරිපත් කිරීමේ දී රජයට ආදායම් අහිමි නොවන බවට වගබලා ගැනීමට සහ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ඇමැතිවරුන්ට බදු සංශෝධන පැනවීමට තිබෙන බලය සීමා කිරීමට හෝ අහෝසි කිරීමට පියවර ගත යුතු බව මූල්‍ය අරමුදලේ 11 වැනි නිර්දේශයයි. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ අරමුණෙන් ඒ යෝජනාව කරන බව කියන මූල්‍ය අරමුදල ඒ නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ වගකීම පවරන්නේ මුදල් අමාත්‍යංශයටයි.

2021 දී සීනි කිලෝවක ආනයන බද්ද රුපියල් 50 සිට සත 25කට අඩු කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවයි. එමගින් රජයට අහිමිවූ බදු ආදායම රුපියල් බිලියන 15.6ක් බව ප්‍රකට ය. මූල්‍ය අරමුදල මේ නිර්දේශය කරන්නේ එවැනි දේවල් යළි යළිත් නොවීම සඳහා ය. බදු ප්‍රතිපත්ති සහ බදු අනුපාත උදේ හවස වෙනස් කිරීමට ඇමැතිවරුන්ට තිබෙන බලය නිසා රජයේ බදු ආදායම පල්ලම් බැස තිබෙන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ නිරීක්ෂණයයි, නිගමනයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ නිර්දේශ 16 දෙස බැලීමේ දී අනාවරණය වන්නේ ඒවා ලංකා ආණ්ඩුව විසින් ගත යුතු පියවර මිස මූල්‍ය අරමුදල කියන තුරු බලා සිටිය යුතු ඒවා නොවන බව ය. ඒ යෝජනාවලින් මූල්‍ය අරමුදල උත්සාහ කරන්නේ ලංකාවේ යහපාලනය ශක්තිමත් කිරීම ය. වගවීමෙන් යුතුව ක්‍රියාත්මක වන මැති ඇමැතිවරුන්, අගමැතිවරුන් හා ජනාධිපතිවරුන් සේ ම රාජ්‍ය පරිපාලන නිලධාරි තන්ත්‍රයක් ගොඩනැගීමය.

ඒ නිර්දේශ 16න් හරි අඩක් එනම් 8ක් ම ක්‍රියාත්මක කිරීමේ වගකීම මුදල් අමාත්‍යංශයට පැවරීමෙන් ඒ අමාත්‍යංශය වගකීමකින් හා වගවීමකින් තොරව ක්‍රියාත්මක වන බවට මූල්‍ය අරමුදල තුළ තක්සේරුවක් ඇද්දැයි ඇත්තේ සැකයකි. ඒ නිර්දේශවලින් දෙකක් ක්‍රියාත්මක කිරීමේ වගකීම පවරා තිබෙන්නේ අධිකරණ අමාත්‍යංශයට ය. ජනාධිපති ලේකම් කාර්යාලයට, මහ බැංකුවට, ව්‍යවස්ථා සභාවට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සහ ඉඩම් හා කර්මාන්ත අමාත්‍යංශවලට නිර්දේශ එක බැගින් ක්‍රියාත්මක කිරීමේ වගකීම පවරා තිබේ.

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, වගවීම ශක්තිමත් කිරීම, විනිවිදභාවය සුරක්ෂිත කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ පරිපාලනය විනිවිදභාවයෙන් යුතුව කිරීම, ලැදියාවන් අතර ගැටුම් සමනය කිරීම යනාදිය යහපත් ආණ්ඩුකරණයක තිබිය යුතු අනිවාර්ය ගුණාංග ය. රටේ දූෂණ ඉහළ ගොස් තිබෙන්නේ ඒ ගුණාංග එලෙසින් ආණ්ඩුකරණයෙහි නැති නිසා ය. එහෙයින් මේ දේවල් කළ යුත්තේ මූල්‍ය අරමුදල කියන නිසා නොව දූෂණයෙන් තොර වගවීමෙන් යුතු, විනිවිදභාවයෙන් පොහොසත් ආණ්ඩුකරණයක් රටේ ස්ථාපිත කර ගැනීම සඳහා ය. ඒ අරමුණු හා අභිප්‍රායයන් මූල්‍ය අරමුදල කීමට පෙර අප සතුව තිබුණේ නම් රට බංකොලොත් නොවෙයි.

(***)



අදහස් (0)

දූෂණය ලෝකය දකින ශ්‍රී ලංකාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 666 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 299 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 726 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 628 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 417 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 433 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site